“පියා නැත්තන්ට” ප්‍රේමණීය සැලකිල්ල දක්වන්න
1 යෙහෝවා “පියා නැත්තන්ට පියෙක්” වෙයි. (ගීතා. 68:5) මෙවැනි අයගේ ශුභසිද්ධිය ගැන ඔහු දක්වන සැලකිල්ල පුරාණ ඊශ්‍රායෙල් ජාතියට දුන් ඔහුගේ මේ ආඥාවෙන් පැහැදිලියි. “කිසි කනවැන්දුමියෙකුටවත් පියා නැති දරුවෙකුටවත් හිංසා නොකරන්න. නුඹ යම් ආකාරයකින් ඔවුන්ට හිංසා කළොත් ඔවුන් මට හඬගැසුවාම මම සැබවින්ම ඔවුන්ගේ හඬ අසන්නෙමි.” (නික්. 22:22, 23) මෙවැනි අයට ඔවුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාගැනීමට උපකාරවත් වන විධිවිධාන දෙවිගේ නීතියට ඇතුළත් වුණා. (ද්වි. 24:19-21) “මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී [බලාගන්න]” කියා ක්‍රිස්තියානි විධිවිධානය යටතේ සිටින සැබෑ ක්‍රිස්තියානීන්ට ප්‍රේමණීය ලෙස අවවාද කර තිබෙනවා. (යාකො. 1:27) තනි මාපියන් හෝ ආගමික වශයෙන් බෙදුණු නිවෙස්වල හැදී වැඩෙන දරුවන් කෙරෙහි යෙහෝවා දක්වන ප්‍රේමණීය සැලකිල්ල අපට අනුකරණය කළ හැක්කේ කෙසේද?
2 ආත්මික පුහුණුව: ඔබ තනි මාපියෙක් නම් හෝ ඔබේ කලත්‍රයා නොඇදහිලිවන්තයෙකු නම් ඔබේ දරුවන් සමඟ නිතිපතා නිවාස බයිබල් පාඩමක් පැවැත්වීම ලෙහෙසි දෙයක් නොවිය හැකියි. නමුත් ඔබේ දරුවන් සමබරව කටයුතු කරන මේරූ වැඩිහිටියන් ලෙස වර්ධනය වීමට නම් නිතිපතා අර්ථාන්විතව බයිබල් පාඩමක් කිරීම අත්‍යවශ්‍යයි. (හිතෝ. 22:6) ඔවුන් සමඟ දිනපතාම ආත්මික දේවල් ගැන කතා කිරීමද වැදගත්. (ද්වි. 6:6-9) සමහර අවස්ථාවලදී අධෛර්ය වීම් ඇති වෙන්න පුළුවන්. ඒ වුණත් ඔබේ වෑයම අත්හරින්න එපා. “ඔවුන්ව [ඔබේ දරුවන්ව] යෙහෝවාගේ හික්මවීමෙන්ද මානසික ශික්ෂණයෙන්ද ඇති දැඩි කරන්න” වෑයම් කිරීමේදී ඔබට අවශ්‍ය ශක්තිය හා මඟ පෙන්වීම ලබාගැනීම සඳහා යෙහෝවා වෙතට හැරෙන්න.—එපී. 6:4, NW.
3 ශුද්ධ ලියවිල්ලට අනුව ඔබට පැවරී තිබෙන වගකීම් ඉටු කරද්දී ඔබට යම් උපකාරයක් අවශ්‍ය නම් සභාවේ වැඩිමහල්ලන්ට ඒ ගැන පවසන්න. ඔබේ නිවසේ සිටින අයට ආත්මික ක්‍රියාකාරකම් ඇතුළත් හොඳ කාල සටහනක් සාදාගැනීමට ප්‍රායෝගික යෝජනා හා උපකාරය ඔවුන්ට සපයන්න පුළුවන්.
4 අනිත් අයට උපකාර කළ හැකි ආකාරය: ආගමික වශයෙන් බෙදුණු නිවසක ඇති දැඩි වුණත් මුල් සියවසේ විසූ තිමෝති යෙහෝවාගේ ජ්වලිත සේවකයෙකු බවට පත් වුණා. බාල කාලයේ පටන් ඔහුගේ මව සහ ආච්චි ඔහුට ශුද්ධ ලියවිලි ගැන ඉගැන්වීමට දැරූ වෑයම් ඔහු කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළ බවට කිසිම සැකයක් නැහැ. (ක්‍රියා 16:1, 2; 2 තිමෝ. 1:5; 3:15) කෙසේවෙතත් ප්‍රේරිත පාවුල් ඇතුළු වෙනත් ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීමෙන්ද ඔහු ප්‍රයෝජන ලැබුවා. ප්‍රේරිත පාවුල් ඔහුව හැඳින්වූයේ “ස්වාමීන් තුළ මාගේ ප්‍රිය වූ විශ්වාස දරුවා” කියායි.—1 කොරි. 4:17.
5 ඒ හා සමානව අදදිනත් ආත්මිකව මේරූ සහෝදර සහෝදරියන් තමන්ගේ සභාවල සිටින පියා නැති දරු දැරියන් කෙරෙහි ප්‍රේමණීය සැලකිල්ල දක්වද්දී එයින් ලැබෙන ප්‍රයෝජන මොනතරම්ද! පියා නැති දරු දැරියන් එක් එක්කෙනාව ඔබ නමින් දන්නවාද? ඔබ ඔවුන් සමඟ ක්‍රිස්තියානි රැස්වීම්වලදී හා වෙනත් අවස්ථාවලදී කතා කරනවාද? ඔබ සමඟ ක්ෂේත්‍ර සේවයේ යන්න ඔවුන්ට ආරාධනා කරන්න. ඔබේ පවුලේ අය සමඟ කරන පාඩමට හෝ හිතකර විනෝදාස්වාදවලදී හැකිකමක් තිබේ නම් ඉඳහිට ඔවුන්ගේ තනි මාපියන් හෝ ඇදහිලිවන්ත දෙමාපියන් සමඟ ඔවුන්වද ඇතුළත් කරගන්න පුළුවන්. මේ දරු දැරියන් ඔබව ඔවුන්ගේ මිතුරන් ලෙස දකිද්දී ඔවුන් ඔබේ ආදර්ශය සිතට ගන්නත් ඔබේ දිරිගැන්වීම් පිළිගන්නත් බොහෝදුරට ඉඩ තිබෙනවා.—පිලි. 2:4.
6 පියා නැති දරු දැරියන් කෙරෙහි යෙහෝවා ඉමහත් සැලකිල්ලක් දක්වනවා. සත්‍යයට එකඟව තම ජීවිත ගොඩනඟා ගැනීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා අප දරන වෑයම්වලට යෙහෝවා ආශීර්වාද කරනවා. තනි මාපියන් හෝ ආගමික වශයෙන් බෙදුණු නිවෙස්වල ඇති දැඩි වුණ බොහෝදෙනෙකුට එවැනි දිරිගැන්වීම් ලැබී තිබෙන අතර අද ඔවුන් පුරෝගාමීන්, සභා සේවකයන්, වැඩිමහල්ලන්, සංචාරක අවේක්ෂකයන්, මිෂනාරිවරුන් හෝ බෙතෙල් සේවකයන් ලෙස විශ්වාසවන්තව සේවය කරමින් සිටිනවා. අපේ ස්වර්ගික පියාව අනුකරණය කරමින් පියා නැති දරුවන්ට ප්‍රේමය පෙන්වීමේදී ‘විශාල විය’ හැකි ආකාර පිළිබඳව අපි සියලුදෙනාම සැලකිලිමත් වෙමු.—2 කොරි. 6:11-13.