ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/03 3-6 පි.
  • යහපත් දේ ගැන ජ්වලිත වන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යහපත් දේ ගැන ජ්වලිත වන්න!
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ‘දෙවිගේ වචනය සම්පූර්ණයෙන් දේශනා කරන්න’
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • ‘ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දරමු’
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • යෙහෝවාගේ පුදුම ක්‍රියා ගැන දිගටම කතා කරන්න
    2004 අපගේ රාජ්‍ය සේවාව
  • අපිට 2000 අප්‍රියෙල් වාර්තාගත මාසයක් කළ හැකිද?
    2000 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2003 අපගේ රාජ්‍ය සේවාව
km 3/03 3-6 පි.

යහපත් දේ ගැන ජ්වලිත වන්න!

1 අප 2003 සිහි කිරීමේ සමයට ඇතුල් වෙත්ම ‘යහපත් දේ ගැන ජ්වලිත වීමට’ අපට ඕනෑ තරම් හේතු තිබේ. (1 පේතෘ. 3:13) මෙම හේතු අතර ප්‍රමුඛව තිබෙන දෙයක් නම් යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාවයි. (මතෙ. 20:28; යොහ. 3:16) මේ ගැන ප්‍රේරිත පේතෘස් ලීවේ මෙසේයි. “නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනි වූ දිරා යන දේවල් කරණකොටගෙන නොව කැලැලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනි වූ ක්‍රිස්තුස්ගේ අනර්ඝ ලෙය කරණකොටගෙනය.” (1 පේතෘ. 1:18, 19) මෙම අතිවිශේෂ ප්‍රේමයේ ප්‍රකාශ කිරීම කෙරෙහි ඇති කෘතඥතාව අපව යහපත් දේවල්වල නියැලීමට පෙලඹවිය යුතු අතර යේසුස් “සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා යහපත් ක්‍රියා ගැන ජ්වලිත වූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍ර කරගන්න පිණිස අප උදෙසා තමන්ම දුන්” බව අප වටහාගත යුතුය.—තීත. 2:14; 2 කොරි. 5:14, 15.

2 අප දෙවිගේ ඇස් හමුවේ ප්‍රසන්න දේ කරන කල අපි ඔහු සමඟ හොඳ සම්බන්ධතාවක් භුක්ති විඳින අතරතුර ඔහුගේ නිබඳ ආරක්ෂිත සැලකිල්ල යටතට පැමිණෙන්නෙමු. පේතෘස් තවදුරටත් පැවසුවේ මෙසේයි. “ජීවිතයට ඇලුම් වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ . . . නපුරෙන් ඉවත්ව යහපත කරාවා. සමාදානය සොයා එය පස්සේ දුවාවා. මක්නිසාද යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ.” (1 පේතෘ. 3:10-12) මේ විපත්තිවලින් පිරි කාලයේ යෙහෝවා අපව තමන්ගේ ආරක්ෂිත සැලකිල්ල යටතේ තබාගනිමින් සිටින බවත්, අප වෙනුවෙන් ක්‍රියා කරමින් අපව “රැකබලා ගෙන තමන් ඇසේ කළුරුවාව මෙන්” අපව ආරක්ෂා කරන බවත් දැනගන්න ලැබීම මොන තරම් ආශීර්වාදයක්ද!—ද්වි. 32:10; 2 ලේක. 16:9.

3 පේතෘස් විසින් ලියන ලද ලිපිය ලැබූ මුල් ක්‍රිස්තියානීහු පරීක්ෂා හමුවේ වුවද නිවා දැමිය නොහැකි ජ්වලිතයකින් යුතුව ක්‍රියා කරමින් ශුභාරංචිය පුළුල්ව ප්‍රචාරය කළහ. (1 පේතෘ. 1:6; 4:12) අද දින දෙවිගේ ජනයා සම්බන්ධවද එය සත්‍යයක් වේ. අප ජීවත් වන්නේ “අවදානම් සහිත තීරණාත්මක කාලවල” වුවද යෙහෝවාගේ යහපත්කම උදෙසා ඇති කෘතඥතාව ජ්වලිත ලෙස දේවකැමැත්ත කිරීමට අපව පොලඹවයි. (2 තිමෝ. 3:1, NW; ගීතා. 145:7) මෙම සිහි කිරීමේ සමය තුළදී අප කඩිසරව නියැලෙණු ඇති යහපත් වැඩ සමහරක් ගැන දැන් අපි සලකා බලමු.

4 අනිත් අයට සිහි කිරීමට ආරාධනා කරන්න: මිදීමේ මිලය නමැති මෙම අතිවිශේෂ දීමනාව කෙරෙහි අපගේ අගය පළ කළ හැකි එක් ක්‍රමයක් නම් යේසුස්ගේ මරණය වාර්ෂිකව සිහි කිරීමේදී එයට පැමිණ සිටීමයි. මේ වසරේ මෙය පැවැත්වෙන්නේ අප්‍රියෙල් 16වන බදාදා හිරු බැස යෑමෙන් පසුවයි. (ලූක් 22:19, 20) පසුගිය වසරේ ලොව වටා සභා 94,600කින් ලැබුණු වාර්තාවලට අනුව පැමිණ සිටි මුළු සංඛ්‍යාව 1,55,97,746ක් විය! එය ඊට පෙර වසරේ පැමිණි සංඛ්‍යාවට වඩා 2,20,000ක වැඩිවීමකි.

5 මේ වසරේ කොපමණ සංඛ්‍යාවක් පැමිණෙනු ඇද්ද? එය බොහෝදුරට රඳා පවතිනු ඇත්තේ අප සමඟ රැස්වීමට තවත් අයට ආරාධනා කිරීමට අප දරන ප්‍රයත්නය මතය. මුල්ම පියවර ලෙස ඔබ ආරාධනා කිරීමට කැමැත්තෙන් සිටින සියලුදෙනාගේ නම් ලැයිස්තුවක් සාදන්න. ලැයිස්තුවේ මුලම සිටිය යුත්තේ ඔබේම පවුලේ සාමාජිකයන්ය. ඔබට නොඇදහිලිකාර කලත්‍රයෙක් සිටී නම් ඔහු හෝ ඇය ඔබ සමඟ ඊට සහභාගි වීම ඔබේ හෘදයාංගම ආශාව බව ඔහුට හෝ ඇයට කියන්න. එක් නොඇදහිලිකාර ස්වාමිපුරුෂයෙක් කීවේ තමා පසුගිය වසරේ සිහි කිරීමට පැමිණියේ තමන්ගේ භාර්යාවට එයින් ඉමහත් සතුටක් ලැබෙයි යන්න තේරුම්ගත් නිසා බවයි. ඔබේ ලැයිස්තුවේ ඊළඟට නෑදෑයන්, අසල්වාසීන්, රැකියා ස්ථානයේ එකට වැඩ කරන අය හෝ පාසැලේ ළමුන්ව ඇතුළත් කරන්නට පිළිවන්. ඔබේ බයිබල් ශිෂ්‍යයන්ටත් ආරාධනා කරන්නට අතපසු කරන්න එපා.

6 ඔබේ ලැයිස්තුව සෑදුවායින් පසුව සෑම කෙනෙකුටම පෞද්ගලිකව ආරාධනා කිරීම සඳහා කාල සටහනක් සාදාගන්න. සිහි කිරීමේ මුද්‍රිත ආරාධනා පත් පාවිච්චි කරන්න. සිහි කිරීම පැවැත්වෙන වේලාව සහ ස්ථානය මතක තබාගැනීමට ජනයාට උපකාර කරනු වස් ආරාධනා පතේ පහළ සිහි කිරීම පැවැත්වෙන වේලාව සහ ස්ථානය පැහැදිලිව ලියන්න. අප්‍රියෙල් 16වන දා ළං වෙත්ම ඔබේ ලැයිස්තුවේ නම් සඳහන් අයව පෞද්ගලිකව ගොස් බැහැදැක හෝ දුරකථනයෙන් ඒ ගැන ඔවුන්ට මතක් කරන්න. මෙම අතිපරිශුද්ධ අවස්ථාවට පැමිණීමට හැකි තරම් දෙනෙකුට අපි උපකාර කරමු.

7 සිහි කිරීමට පැමිණෙන අයට සහය වන්න: සිහි කිරීමේ රාත්‍රිය සෑමවිටම හද උණුසුම් කරවන අවස්ථාවකි. අපගේ රැස්වීම්වලට සාමාන්‍යයෙන් නොපැමිණෙන අයව සාදරයෙන් පිළිගැනීමට අපට ප්‍රස්තාවක් තිබේ. ඔබගේ ප්‍රදේශයේ තත්වයේ හැටියට කලින්ම පැමිණීමටත් ප්‍රමාද වී යෑමටත් සැලසුම් යොදාගන්න. පැමිණ සිටින නවකයන්ව දැනහඳුනා ගැනීමට මූලික පියවර ගන්න. ප්‍රේමණීය වන්න, සංග්‍රහශීලී වන්න.—රෝම 12:13.

8 සිහි කිරීමට පැමිණ සිටින ඇතැම් අයට නිවාස බයිබල් පාඩමක් තුළින් වැඩිපුර ආත්මික ප්‍රගතියක් ලැබීමට උපකාර කළ හැකිද? පැමිණ සිටින යම් කිසිවෙකුව දැනටමත් කිසිවෙක් ගොස් බැහැදකින්නේ නැත්නම් ඔහුගේ හෝ ඇගේ නම සහ ලිපිනය ලබාගන්න. එවිට ඔබට හැකියි එම තැනැත්තාව ගොස් හමු වෙන්න. ඔබ දෙන ප්‍රේමණීය සහය තුළින් මේ අයගෙන් සමහරෙක් ඊළඟ වසරේ සිහි කිරීමට පෙර බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් ලෙස සුදුසුකම් ලැබීමට ඉඩ තිබේ. සිහි කිරීමට පැමිණි අයව නැවත ගොස් බැහැදැකීමේදී අප්‍රියෙල් 27වන දා දීමට නියමිතව තිබෙන විශේෂ කතාවටද ආරාධනා කරන්න.

9 මාර්තු හෝ අප්‍රියෙල් මාසවලදී ඔබට උපකාරික පුරෝගාමි සේවය කළ හැකිද? යෙහෝවා කෙරෙහි අප තුළ ඇති ජ්වලිතය සෑම වසරකම විශේෂ දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම් සහිත මාසවලදී දේවසේවය තුළ අපගේ උපරිමය කිරීමට අපව පොලඹවයි. සිහි කිරීමේ සමය තුළ ශුභාරංචිය ජ්වලිත ලෙස දේශනා කිරීම සඳහා මුළු සභාවක්ම එක්සත්ව දරන ප්‍රයත්නයෙන් කදිම ප්‍රතිඵල නෙළාගත හැකියි.

10 ප්‍රචාරකයන් 107කින් සහ ස්ථාවර පුරෝගාමීන් 9දෙනෙකුගෙන් සමන්විත එක් සභාවක් පසුගිය අප්‍රියෙල් මාසය තමන්ට “අතිවිශේෂ මාසයක්” වූ බවත්, සියලුම වැඩිමහල්ලන් සහ සභා සේවකයන් ඇතුළුව උපකාරික පුරෝගාමීන් 53දෙනෙකු සේවය කළ බවත් වාර්තා කළේය. ඒ මාසයේ උපකාරික පුරෝගාමි සේවය කිරීමට වැඩිමහල්ලන් උද්‍යෝගයක් ඇති කළේ කෙසේද? හැකි සෑම කෙනෙකුටම ඒ සඳහා ඉදිරිපත් වන ලෙසට ඔවුහු කල් වේලා ඇතුවම දිරිගැන්වූහ. සභාවේ සියලුදෙනාටම පහසු වන පරිද්දෙන් දවසේ විවිධ වේලාවන්හි ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් පැවැත්විණ. දුරකථනයෙන් සාක්ෂි දැරීමට සභාවේ සිටින ආබාධිත අයට විශේෂ දිරිගැන්වීමක් දෙන ලදි.

11 සෞඛ්‍ය ගැටලු නිසා ඇවිදීමට බැරි එක් 86 හැවිරිදි සහෝදරියක් උපකාරික පුරෝගාමි අයැදුම් පතකට අත්සන් තැබුවාය. ඇය උදෑසනින්ම කුස්සියේ මේසයේ ඉඳගෙන පැය කිහිපයක් දුරකථනයෙන් සාක්ෂි දරා තවත් පැය කිහිපයක විවේකයක් ගෙන නැවත එලෙසම සාක්ෂි දරන්නට වූවාය. ඇය එලෙස ඇමතූ එක්තරා තැනැත්තියකගේ සැමියා සහ නහඹර වියේ පුතුන් දෙදෙනා පසුගිය වසර දෙක අතරතුර මිය ගොස් තිබූ අතර එවැන්නක් සිදුවීමට දෙවි ඉඩහරින්නේ ඇයි කියා තේරුම්ගැනීමට ඇයට නොහැකි වී තිබිණ. හොඳ සාක්ෂියක් දෙනු ලැබූ අතර බයිබල් පාඩමක් පටන්ගැනිණ. සවස් කාලවලදී හෝ වෙනත් වේලාවන්හිදී දුරකථනයෙන් සාක්ෂි දැරීම ගොස් හමු වෙන්නට බැරි ගොඩනැඟිලිවල හෝ යම් ප්‍රදේශවල වෙසෙන ජනයාව අමතන්නට තිබෙන බලපෑමෙන් යුත් ක්‍රමයකි. තවද, දවස පුරා නිවෙස්වල නොසිටින අයව අමතන්නටද ප්‍රචාරකයන්ට එය හොඳ ක්‍රමයකි.

12 වැඩිමහල්ලන් ඔවුන්ගේ වාර්තාව අවසන් කළේ මෙසේ කියමිනි. “අපට ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවක් උදා වී තිබුණා. අපට ලැබුණු වරප්‍රසාදය සහ අප සෑම කෙනෙකුටම යෙහෝවා දෙනු ලැබූ ආශීර්වාද අප බෙහෙවින් අගය කරමු.” නිසි ලෙස සැලසුම් කිරීමෙන් ඔබේ සභාවටත් එවන් ආශීර්වාද භුක්ති විඳිය හැකියි.

13 ප්‍රචාරකයන්ගෙන් සියයට සියයක්ම සහභාගි කරවාගැනීමට උත්සාහ කරන්න: දෙවි සහ අසල්වැසියා කෙරෙහි අප තුළ ඇති ප්‍රේමය අනුන් සමඟ ශුභාරංචිය බෙදාගැනීම සඳහා යමක් පරිත්‍යාග කිරීමෙන් හෝ අවශ්‍ය කාලය සොයාගැනීමට අපව පොලඹවයි. (මතෙ. 22:37-39) සභා පොත් පාඩම් අවේක්ෂකයන් සහ ඔවුන්ගේ සහයකයන් සෑම මසකම දේවසේවයේ හවුල් වීමට තමන්ගේ කණ්ඩායමේ සිටින අයට සහය වීම සඳහා යත්න දැරිය යුතුය. මේ සඳහා කදිම ක්‍රමයක් නම් කණ්ඩායමේ සිටින එක් එක් පුද්ගලයා සමඟ දේවසේවයේ හවුල් වීමට කලින්ම යම් සැලසුම් යෙදීමයි. මෙය කිරීමට සෑම මසකම අවසානය වන තෙක් බලා සිටිනවා වෙනුවට කලින්ම පටන්ගන්න. ප්‍රේමණීය උපකාරය ලබා දීමට මේ මගින් බොහෝ ප්‍රස්තාවන් ඔබට උදා කරාවි.

14 දේවසේවයේ හවුල් වීමට බොහෝ දුෂ්කරතාවන් ඇති ආබාධිත ප්‍රචාරකයන් ඔබේ පොත් පාඩම් කණ්ඩායමේ සිටිනවාද? ඇතැම් අය ඔවුන්ගේ නිවෙස්වලටම කොටු වී සිටිනවා නම් සාක්ෂි දැරීමට ඔවුන්ට ලැබෙන අවස්ථාවන් සීමිත බව නොකිවමනාය. නමුත් ලැබෙන ඒ සීමිත අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් ආලෝකය බැබළීමට සැලැස්වීමෙන් ඔවුන්ගේ යහපත් ක්‍රියා දකින අය සත්‍යය කෙරෙහි සැබෑ උනන්දුවක් දැක්වීමට පෙලඹේවි. (මතෙ. 5:16) තම ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම් විනාඩි 15 බැගින් වුවත් වාර්තා කළ හැකි බවට පොත් පාඩම් අවේක්ෂකයන් විසින් අනිවාර්යයෙන්ම ඔවුන්ව දැනුවත් කර තිබිය යුතුයි. මෙම විශ්වාසවන්ත ප්‍රචාරකයන්ට තමන් සාක්ෂි දරන කාලය වාර්තා කරන්නට හැකිවීම දිරිගැන්වීමක් වන අතර සතුටක් හා සෑහීමක්ද ඔවුන්ට ඒ මගින් ලැබේ. තවද ලොව වටා සිටින දෙවිගේ ජනයාගේ ක්‍රියාකාරකම් වාර්තාව නිවැරදිව තබාගැනීමට ඒ මගින් හැකි කරවයි.

15 යහපත කිරීමෙහිලා කාර්යබහුලව සිටින යෞවනයෝ! ක්‍රිස්තියානි යෞවනයන් ඔවුන්ගේ හැකියාවන් සහ ශක්තිය යෙහෝවාට සේවය කිරීමට යොදාගැනීම මොන තරම් දිරිගන්වනසුලුද! (හිතෝ. 20:29) ඔබ යෞවනයෙක් නම් මෙම විශේෂ ක්‍රියාකාරකම් සහිත මාසයේදී යෙහෝවා කෙරෙහි තිබෙන ඔබගේ ජ්වලිතය නිරූපණය කිරීමට ඔබට හැක්කේ කෙසේද?

16 ඔබ තවමත් සභාවේ බව්තීස්ම ලත් ප්‍රචාරකයෙක් නොවේ නම් එවන් වරප්‍රසාද අත් කරගැනීමට ඔබට පුළුවන්ද? පහත සඳහන් ප්‍රශ්න ඔබෙන්ම අසන්න. ‘බයිබල් සත්‍යයන් සම්බන්ධයෙන් මූලික දැනුමක් මට තිබෙනවාද? රාජ්‍යය දේශනා කිරීමෙහි හවුල් වීමට මට වුවමනාද? මගේ හැසිරීම ආදර්ශවත්ද? ශුභාරංචිය ගැන අන්‍යයන්ට කතා කිරීම මගින් මගේ ඇදහිල්ල පෞද්ගලිකව ප්‍රකාශ කිරීමට මට හැකිද? එසේ කිරීමට මගේ හදවතින්ම මා පෙලඹෙනවාද? එවන් ප්‍රශ්නවලට එසේය කියා පිළිතුරු දෙන්නට ඔබට හැකි නම් ප්‍රචාරකයෙකු බවට පත් වෙන්නට ඔබ තුළ ඇති ආශාව ගැන ඔබේ දෙමාපියන්ට කියන්න. එවිට සේවා කමිටුවේ වැඩිමහල්ලෙකුට ඒ පිළිබඳව දැනුම් දීමට ඔබේ දෙමාපියන්ට හැකියි.

17 ඔබ දැනටමත් සභාවේ ප්‍රචාරකයෙකු නම් දේවසේවය තුළ ඔබේ සහභාගිත්වය පුළුල් කරගැනීම පිණිස පාසැල් නිවාඩුවෙන් ප්‍රයෝජන ගැනීමට ඔබට හැකිද? හොඳ කාල සටහනක් සාදාගැනීමෙන් සහ දෙමාපියන්ගෙත් අන්‍යයන්ගෙත් උපකාරය ලබාගැනීමෙන් උපකාරික පුරෝගාමි සේවයේ නියැලීමට බව්තීස්ම ලත් බොහෝ යෞවනයන්ට හැකි වී තිබේ. උපකාරික පුරෝගාමි සේවය කරන්නට නොහැකි නම් ක්ෂේත්‍ර සේවයේ වැඩියෙන් හවුල් වීමට අදිටන් කරගන්න. ඔබටම ඉලක්කයක් තබාගන්න. වැඩි පැය ගණනක් මිඩංගු කිරීමට ඉලක්ක තබනවාට අමතරව ඔබේ දේවසේවයේ ගුණාත්මකභාවය දියුණු කිරීම සම්බන්ධවද ඉලක්කයක් තබාගන්න. සමහරවිට, සෑම නිවසකදීම ශුද්ධ ලියවිලි පදයක් කියවීමට, නැවත බැලීම්වල ගුණය දියුණු කරගැනීමට, බයිබල් පාඩමක් පටන්ගැනීමට නැතහොත් දුරකථනයෙන් සාක්ෂි දැරීමට හෝ සේවයේ වෙනත් අංගයක් පුළුල් කරගැනීමට ඔබට ප්‍රයත්න දැරිය හැකියි. මේ වසරේ සිහි කිරීමට ඔබේ අසල්වැසියෙකුව, පාසැලේ මිතුරෙකුව, හෝ නෑදෑයෙකුව කැටුව යෑමට ඉලක්කයක් තබාගැනීම ගැන කුමක් කියන්නට හැකිද? දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්වල පූර්ණ ලෙස හවුල් වීම විපාකදායී වන අතර එයින් සභාවේ සිටින වෙනත් අයද දිරිගැන්වෙනවා නියතයි.—1 තෙස. 5:11.

18 ප්‍රගතියක් ලැබීමට නවකයන්ට උපකාර කරන්න: පසුගිය සේවා වසරේදී ශ්‍රී ලංකාවේ සෑම මසකම පැවැත්වූ නිවාස බයිබල් පාඩම්වල සාමාන්‍යය 2,915කි. නියමිත කාලයේදී මෙම ශිෂ්‍යයන්ගෙන් බොහෝදෙනෙක් කැපවීමේ හා බව්තීස්ම වීමේ කඩ ඉමට පැමිණෙනු ඇත. කෙසේවෙතත්, ඔවුන් එම ඉලක්කයට පැමිණෙන්නට පෙරාතුව ශුභාරංචියේ ප්‍රචාරකයන් වශයෙන් සුදුසුකම් ලබාගැනීමට අප ඔවුන්ට උපකාර කළ යුතුය. යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් බවට පත්වීමට නවකයන්ට ඉගැන්වීමේදී මෙය වැදගත් පියවරකි. (මතෙ. 9:9; ලූක් 6:40) එම පියවර ගැනීමට සූදානම්ව සිටින බයිබල් ශිෂ්‍යයෙකු ඔබ සමඟ පාඩම් කරමින් සිටිනවාද?

19 ඔබ සමඟ පාඩම් කරන ශිෂ්‍යයාගේ ප්‍රගතිය ගැන ඔබට එතරම් ස්ථිරභාවයක් නැත්නම් ඔබේ පොත් පාඩම් අවේක්ෂකගේ හෝ සේවා අවේක්ෂකගේ සහය පතන්න. සමහරවිට ඔබ සමඟ බයිබල් පාඩමට යෑමට ඔහුට ආරාධනා කරන්නට පුළුවනි. ශිෂ්‍යයාගේ ප්‍රගතිය ගැන හොඳින් කිරා මැන බලන්නට අවශ්‍ය වටිනා අද්දැකීම් මෙම සහෝදරයන් සතුය. දිගටම ආත්මික ප්‍රගතිය ලැබීම සඳහා ශිෂ්‍යයාට උපකාරවත් වන යෝජනාද ඔවුන් සතුව තිබෙන්නට පුළුවන.

20 බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු වීමට කැමතියි කියා ඔබේ ශිෂ්‍යයා කියන විට ඔහුට සුදුසුකම් තිබෙන බව ඔබටත් හැඟේ නම් මුලසුන භාර අවේක්ෂක සමඟ ඒ ගැන කතා කරන්න. එවිට ඔහු ශිෂ්‍යයා ඒ සඳහා සුදුසුදැයි නිශ්චය කිරීමට වැඩිමහල්ලන් දෙදෙනෙකුව සූදානම් කරනු ඇති අතර ඔවුන් ඔබ සහ ශිෂ්‍යයා සමඟ අපගේ දේවසේවය පොතේ 98-9 පිටුවල සඳහන් තොරතුරු සලකා බලනු ඇත. (වර්ෂ 1989 මැයි 1 මුරටැඹ කලාපයේ 26වන පිටුව බලන්න.) ශිෂ්‍යයාව ප්‍රචාරකයෙකු වීමට අනුමත කරනු ලැබේ නම් ඔබ ඔහුව පුහුණු කිරීමට විගස පටන්ගත යුතුයි. ඔහු ක්ෂේත්‍ර සේවා වාර්තාව දුන් විගස ශිෂ්‍යයා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු බව සභාවට දැනුම් දෙනු ලැබේ. විශේෂ ක්‍රියාකාරකම් සහිත මෙම මාසවලදී බාල, මහලු, නවකයන් දහස් ගණනකට මෙම වැදගත් සැතපුම් කණුව පසු කිරීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

21 උපරිම යහපත අත් කරගැනීමට සැලසුම් කිරීම මහෝපකාරී වේ: මෙම සිහි කිරීමේ සමයේදී අපගේ ආත්මික ක්‍රියාකාරකම්වල සාර්ථකත්වය අත් කරගැනීමට සැලසුම් කිරීම මහෝපකාරී වේ. (හිතෝ. 21:5) මෙහිදී, වැඩිමහල්ලන්ගේ පැත්තෙන් අවධානය යොමු විය යුතු කාරණා බොහොමයක් තිබේ.

22 ක්ෂේත්‍ර සේවය තුළ උපරිමය කිරීම සඳහා සබයට උපකාර කිරීමට සතිය පුරා සහ සති අන්තවල ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් පැවැත්වීමට වැඩිමහල්ලන් ප්‍රායෝගිකව සැලසුම් කළ යුතුය. මෙම සැලසුම් කිරීමෙහිලා පෙරමුණ ගත යුත්තේ සේවා අවේක්ෂකයි. උදේ පාන්දරින්ම සැන්දෑ කාලයේ මුල් භාගයේ හෝ අග භාගයේ අමතර රැස්වීම් පිළියෙළ කළ හැකිද? මෙම සැලසුම් ගැන සභාවට දැනුම් දිය යුතුයි. මෙම වැඩසටහන දැන්වීම් පුවරුවේ දැමීමත් උපකාරවත් විය හැකියි.

23 අප්‍රියෙල් 16වන දා පැවැත්වීමට නියමිත සිහි කිරීම සඳහා අවශ්‍ය සියලු සැලසුම් කලින්ම කර ඇති බවට වැඩිමහල්ලන් වගබලා ගත යුතුයි. රාජ්‍ය ශාලාවේ රැස් වෙන අනෙකුත් සභාවන් සමඟ එය භාවිත කිරීමට අදාළ සියලු සැලසුම් සාකච්ඡා කර තිබීම, රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීම, පරිවාරකයන් සහ සංකේත අතිනත යවන්නන් තෝරාගැනීම සහ සංකේත කලින්ම සූදානම් කරගැනීම මීට ඇතුළත්ය. එමෙන්ම සිහි කිරීම පැවැත්වෙන වේලාව සහ ස්ථානයද සතියේ සාමාන්‍යයෙන් පවත්වන රැස්වීම්වල වේලාවන් වෙනස් කිරීමට තිබේ නම් ඒවා ගැනද කලින්ම සභාවට දැනුම් දිය යුතුය. මේ දේවල් ගැන කලින්ම සැලසුම් කිරීමෙන් සිහි කිරීම “විනීතවද පිළිවෙළකටද” සිදු කිරීමට මං උදා වනු ඇත.—1 කොරි. 14:40, NW.

24 සිහි කිරීමේ කාලයේදී පවුලක් හැටියට වැඩි වැඩියෙන් සේවයේ යෙදිය හැකි ආකාරය ගැන පවුලේ පාඩම තුළදී සාකච්ඡා කිරීමට පවුල් මූලිකයන්ට හැකිය. ඔබේ පවුලේ සියලුදෙනාටම උපකාරික පුරෝගාමි සේවය කළ හැකිද? නැතහොත් පවුලේ එක් කෙනෙකුට හෝ ඊට වඩා වැඩිදෙනෙකුට එසේ කිරීමට උපකාර කිරීමට පවුලේ අයට හැකිද? එසේ කිරීමට නොහැකි නම් වැඩි කාලයක් සේවයේ හවුල් වීම පිණිස පවුලක් හැටියට විශේෂ ඉලක්ක තබාගන්න. පවුලේ බාලයෙක් සිටී නම් සුළු දිරිගැන්වීමක් හා සහයක් ලබා දීමෙන් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු හැටියට සුදුසුකම් ලැබීමට ඔහුට උපකාර කළ හැකිද? මේ වසරේ සිහි කිරීමට කීදෙනෙකුට ආරාධනා කිරීමට ඔබගේ පවුලේ අයට හැකිද? හොඳින් සැලසුම් කිරීමෙන් මහත් ආශීර්වාද නෙළාගත හැකි අතර එසේ කිරීමෙන් ඔබගේ පවුලට මහත් ප්‍රීතියක් ලැබෙනවා නොඅනුමානය.

25 ඉතිරි වී තිබෙන කාලයෙන් පූර්ණ ප්‍රයෝජන ගන්න: පළමු සියවසේ ක්‍රිස්තියානීන්ට ලිවීමේදී ප්‍රේරිත පේතෘස් ඔවුන්ට මතක් කර සිටියේ යුදෙව් සමාජ ක්‍රමයේ අවසානය ළංව තිබූ බැවින් කාලවල තිබූ හදිසිතාව ගැනයි. (1 පේතෘ. 4:7) අද දින දක්නට තිබෙන සියලු සාක්ෂිවලින් පෙනී යන්නේ වර්තමාන සමස්ත ලෝක සමාජ ක්‍රමයේ අවසානය ඉතා ආසන්න බවයි. මෙය අවබෝධ කරගෙන සිටින බව සෑම දවසකම අප ජීවිතය ගත කරන ආකාරයෙන් දිස් විය යුතුය. යෙහෝවාගේ ජ්වලිතවත් සේවකයන් වශයෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හදිසි වැඩය ගැන අප අපේ මුළු අවධානය යොමු කළ යුතුයි.—තීත. 2:13, 14.

26 ජ්වලිත වීමටත් ක්‍රියා කිරීමටත් කාලය මෙයයි. ඔබටත්, ඔබේ පවුල සහ සභාව වෙනුවෙනුත් යෙහෝවා කර ඇති දේ ගැන මෙනෙහි කරන්න. යෙහෝවා අපට ප්‍රයෝජන ලබා දී ඇති බොහෝ ආකාරයන් දෙස බලන විට ඔහුට නැවත ගෙවන්නට අපට කිසිවිටෙකත් බැරි වුණත් අපගේ මුළු ආත්මයෙන්ම දෙන නමස්කාරය ඔහුට පුදන්නට අපට හැකියි. (ගීතා. 116:12-14) වෙහෙස මහන්සි වී කරන අපගේ වැඩවලට අපට ඉහළින් ආශීර්වාද ලැබේවි. (හිතෝ. 10:22) මෙම සිහි කිරීමේ විශේෂ කාලයේදී අපගේ ක්‍රියාකාරකම් වැඩි කරමින් ‘යහපත් දේ ගැන ජ්වලිත’ වෙමු. එවිට, ‘සියල්ලෙහිදී යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවිව මහිමයට පත් වනු ඇති.’—1 පේතෘ. 3:13; 4:11, NW.

[Box on page 3]

ලොව වටා සිහි කිරීමට පැමිණි සංඛ්‍යාවන්

1999 1,40,88,751

2000 1,48,72,086

2001 1,53,74,986

2002 1,55,97,746

[Box on page 4]

ඔබ සිහි කිරීමට ආරාධනා කරන්නේ කාටද?

□ ඔබේම පවුලේ අයට සහ නෑදෑයන්ට

□ අසල්වාසීන්ට හා හිතවතුන්ට

□ පාසැලේ ළමුන් හා රැකියා ස්ථානයේ අය

□ නැවත බැලීම් සහ බයිබල් පාඩම්

[Box on page 5]

සිහි කිරීමට පැමිණෙන අයට සහය වන්න

□ සාදරයෙන් පිළිගන්න

□ නැවත හමුවීමට සැලසුම් යොදන්න.

□ බයිබල් පාඩමක් ඉදිරිපත් කරන්න

□ විශේෂ කතාවට ආරාධනා කරන්න

[Box on page 6]

සිහි කිරීමේ කාලය සඳහා ඔබගේ ඉලක්ක මොනවාද?

□ ඔබ ආරාධනා කළ අයෙකුව සිහි කිරීමට රැගෙන ඒම

□ ශුභාරංචියේ ප්‍රචාරකයෙකු ලෙස සුදුසුකම් ලැබීම

□ දේවසේවයේ යම් පැය ගණනක් යෙදීම

□ දේව සේවයේ යම් අංගයක් තුළ දියුණු වීම

□ උපකාරික පුරෝගාමියෙකු ලෙස සේවය කිරීම

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න