යෙහෝවාගේ පුදුම ක්‍රියා ගැන දිගටම කතා කරන්න
1. ඔබ විශේෂයෙන් උතුම් කොට සලකන, යෙහෝවාගේ පුදුම ක්‍රියා සමහරක් මොනවාද?
1 අපගේ උතුම් දෙවි යෙහෝවා සමඟ කිසිම කෙනෙකුව සැසඳීමට නොහැක! දාවිත් ලීවේ මෙසේයි. “මාගේ දෙවිවූ යෙහෝවා, ඔබ බොහෝ දේවල් කර තිබේ. ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතිවිලිද බොහෝය. ඔබට සැසඳිය හැකි කිසිවෙකු නැත.” (ගීතා. 40:5, NW) යෙහෝවාගේ පුදුම ක්‍රියාවලට, විශ්වය මැවීම, මෙසියානු රාජ්‍යය, තම ජනයා කෙරෙහි ඔහුගේ ප්‍රේමණීය කරුණාව දැක්වූ ක්‍රියාවන් සහ ලෝක ව්‍යාප්ත දේශනා වැඩය ඇතුළත් වෙයි. (ගීතා. 17:7, 9; 139:14; දානි. 2:44, 45ආ; මතෙ. 24:14) යෙහෝවා කෙරෙහි ඇති ප්‍රේමය සහ ඔහු කර තිබෙන සියලු දේ කෙරෙහි අප තුළ ඇති කෘතඥතාව ඔහු ගැන අන්‍යයන්ට කතා කිරීමට අපව පොලඹවයි. (ගීතා. 145:5-7) මාර්තු, අප්‍රියෙල් සහ මැයි මාසවලදී අපට මෙය වඩාත් පූර්ණ ලෙස කිරීමට ප්‍රස්තාවන් තිබෙනවා ඇත.
2. උපකාරික පුරෝගාමි සේවය තුළින් අප පෞද්ගලිකව ප්‍රයෝජන ලබන්නේ කෙසේද?
2 උපකාරික පුරෝගාමියෙකු ලෙස: විශේෂ ක්‍රියාකාරකම් සැලසුම් කර ඇති මෙම මාසවලින් එකක හෝ කිහිපයක දේවසේවය තුළ පැය 50කට වඩා ගත කිරීමට ඔබට ඔබගේ කාලසටහන පිළියෙළ කරන්නට පුළුවන්ද? මෙසේ කිරීමට ඔබ ඔබගේ දින චර්යාවේ කරන ඕනෑම වෙනස්කමක් බොහෝසෙයින් වටින බවට කිසිදු සැකයක් නැත. (එපී. 5:16) තම දේවසේවයේ ගුණාත්මකභාවය වැඩි කරගැනීමට උපකාරික පුරෝගාමි සේවය බොහෝසෙයින් දායක වී ඇති බව බොහෝ දෙනෙකුට වැටහී තිබේ. නිවෙස්වලදී කිසිම අපහසුතාවකින් තොරව කතා කිරීමටද වඩාත් හොඳින් බයිබලය පාවිච්චි කිරීමටද ඔවුන්ට හැකියාව ලැබී තිබේ. දේවසේවය තුළ වැඩි කාලයක් ගත කිරීමෙන් තමන්ට හමු වූ උනන්දුව දක්වන අයට උපකාර කිරීමට හැකියාව ලැබෙන අතර, කලින් බයිබල් පාඩමක් පැවැත්වීමට හැකියාවක් ලැබී නැති අයට උපකාරික පුරෝගාමි සේවය කරන අතරේදී එසේ කිරීමට හැකි වී තිබේ. උපකාරික පුරෝගාමි සේවය තුළ අපට අනුන් වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ හැකි නිසා, එය ප්‍රීතිමත් ක්‍රියාවකි.—ක්‍රියා 20:35.
3. අසීරු තත්වයන් යටතේදී පවා උපකාරික පුරෝගාමි සේවය කිරීමට ඇතැම් අයට හැකි වී තිබෙන්නේ කෙසේද?
3 ඔබගේ තත්වයන් නිසා උපකාරික පුරෝගාමි සේවයේ නිරත වීමට ඔබට බැහැ කියා නිගමනය කිරීමට ඉක්මන් වෙන්න එපා. පසුගිය අවුරුද්දේදී, දරුවන් දෙදෙනෙකු සිටින සහ පූර්ණ කාලීන රැකියාවක නිරත වන එක් වැඩිමහල්ලෙක් උපකාරික පුරෝගාමි සේවයේ යෙදුණේය. කාර්යබහුල ජීවිතයක් ගත කරන මෙම සහෝදරයා එය කළේ කෙසේද? සතියේ දිනවල රැකියාව කරන නිසා ඔහු සති අන්තවල දිගු වේලාවක් සේවය කිරීමට සැලසුම් කළ අතර, සෙනසුරාදා දිනවල පෙ.ව. 7:00 සිට වීථි සේවයේ යෙදුණි. ඒ හා සමාන තත්වයන්හි සිටි සභාවේ කිහිපදෙනෙක්ම උපකාරික පුරෝගාමි සේවය කළ අතර, ඔවුහු එකිනෙකාට අනුබල දෙමින් දිරිගැන්වූහ. තවත් සභාවක, 99 හැවිරිදි සහෝදරියක්, තම දියණියගේ ආරාධනය පිළිගෙන ඇය සමඟ මැයි මාසයේදී පුරෝගාමි සේවය කළාය. සභාවේ සිටින වෙනත් අය මෙම වයසක සහෝදරියට ගෙයින් ගෙට සහ බයිබල් පාඩම්වලට යෑමට උදව් කළේ ඇගේ රෝද පුටුව තල්ලු කිරීමෙනි. ඇය දුරකථනයෙන් සාක්ෂි දැරීමේද, වීථි සේවයේ හා ලිපි ලිවීමේද යෙදුණාය. තමන් මේ දේවල් කළේ තමාගේම ශක්තියෙන් නොව, යෙහෝවාගෙන් ලැබුණු උපකාරය නිසා බව ඇය තදින්ම විශ්වාස කරන්නීය.—යෙසා. 40:29-31.
4. උපකාරික පුරෝගාමි සේවය කිරීමට කාලසටහනක් සාදාගැනීමේදී කිනම් සාධක සැලකිල්ලට ගත යුතුද?
4 ඔබගේ තත්වයන්ට වඩාත් ගැළපෙන අයුරින් කාලසටහනක් සාදාගැනීමට වෑයම් කරන්න. මේ කලාපයේ තිබෙන ආදර්ශ කාලසටහන ඔබට උපකාරවත් විය හැකියි. ඔබ පූර්ණ කාලීනව රැකියාවක් කරන කෙනෙක්ද? නැත්නම් පාසැල් යනවාද? මූලික වශයෙන් සති අන්ත හොඳින් යොදාගත හැකි කාලසටහනක් ඔබට වඩාත් ගැළපෙනවා විය හැකියි. ඔබට යම් සෞඛ්‍ය ගැටලු තිබෙනවා විය හැකියි. ඒ නිසා දේවසේවය තුළ දිගු පැය ගණනක් මිඩංගු කිරීමට ඔබට ශක්තියක් නැති විය හැකි බැවින්, සෑම දවසකම සුළු වේලාවක් මිඩංගු කළ හැකි කාලසටහනක් සාදාගැනීම වඩාත් සුදුසු විය හැකියි. උපකාරික පුරෝගාමි සේවය කිරීමට ඔබට ඇති ආශාව ගැන අන්‍යයන් සමඟ කතා කරන්න. සමහරවිට ඔවුන්ද එය ඉලක්ක කරගැනීමට ඉඩ තිබේ.
5. මාර්තු, අප්‍රියෙල් සහ මැයි මාසවලදී යෞවනයන්ට තැබිය හැකි ඉලක්ක මොනවාද?
5 යෞවනයන්ට හවුල් විය හැකි ක්‍රම: යෞවනයන් යෙහෝවාගේ පුදුම ක්‍රියා ගැන කතා කරන විට ඔහු ඉතා සතුටු වෙයි. (ගීතා. 71:17; මතෙ. 21:16) ඔබ බව්තීස්ම වී සිටින යෞවනයෙකු නම්, පාසැල් නිවාඩුව ලැබෙන මාසයකදී සමහරවිට ඔබට උපකාරික පුරෝගාමි සේවය කිරීමට හැකියි. ඔබට උපකාරික පුරෝගාමියෙකු ලෙස සේවය කිරීමට නොහැකි නම්, මෙම මාසවලදී සේවය තුළ වැඩියෙන් හවුල් වීමට හා ඔබගේ සේවයේ ගුණාත්මකභාවය වර්ධනය කරගැනීමට විශේෂිත ඉලක්ක තබන්න ඔබට හැකිද? ඔබ ඔබේ දෙමාපියන් සමඟ දේවසේවයේ හවුල් වෙමින් සිටින නමුත් තවමත් ඔබ බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙකු නොවේ නම්, මෙය ඒ සඳහා සුදුසුකම් ලැබීමට සුදුසු කාලය විය හැකියි. ඔබ බයිබල් ප්‍රශ්නවලට පිළිතුරු දීමට දක්ෂයෙකු විය යුතුය කියා හෝ බව්තීස්ම වූ වැඩිහිටියන්ට තරම්ම දැනුමක් ඔබටත් තිබිය යුතුයි කියා හෝ සිතන්නට එපා. ඔබට මූලික බයිබල් ඉගැන්වීම් වැටහෙනවාද? ඔබ බයිබලයේ සදාචාරමය ප්‍රමිතිවලට ඇලී සිටිනවාද? ඔබව යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුව ලෙසට හඳුන්වා දෙනු ලැබීමට කැමතිද? එසේනම්, ඔබගේ දෙමාපියන්ට මේ ගැන කතා කරන්න. ඔබට අවශ්‍ය සුදුසුකම් තිබෙනවාද කියා බැලීමට ඔබ සමඟ සභාවේ වැඩිමහල්ලන්ව හමුවීම සඳහා කටයුතු සූදානම් කිරීමට ඔවුන්ට හැකියි.—අපගේ දේවසේවය පොතේ පිටු 98-9 දක්වා බලන්න.
6. ශුභාරංචියේ ප්‍රචාරකයන් වීම සඳහා බයිබල් ශිෂ්‍යයන්ට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද?
6 දේශනා කිරීමට අන්‍යයන්ට උපකාර කිරීම: යම් ප්‍රගතියක් දක්වන බයිබල් ශිෂ්‍යයන්, මෙම විශේෂ මාසවලදී අප සමඟ හවුල් වීම සඳහා ප්‍රචාරකයන් ලෙස සුදුසුකම් ලැබීමට ඉඩ කඩ තිබේ. ඔබ සමඟ බයිබලය පාඩම් කරන ශිෂ්‍යයෙක් හොඳ ප්‍රගතියක් පෙන්වමින් සිටිනවා නම්, ඔබගේ පොත් පාඩම් අවේක්ෂක හෝ සේවා අවේක්ෂකගෙන් උපකාර පතන්න. ශිෂ්‍යයාගේ ප්‍රගතිය ගැන යමක් දැනගැනීමට ඔවුන්ගෙන් එක්කෙනෙකුට ඔබ සමඟ ඔහුගේ පාඩමට යා හැකියි. ශිෂ්‍යයාට සුදුසුකම් තිබේ නම්, එමෙන්ම ප්‍රචාරකයෙකු වීමට ආශාවක් දක්වයි නම්, ඔබ සහ ඔබගේ ශිෂ්‍යයාව හමුවීමට වැඩිමහල්ලන් දෙදෙනෙකුව සූදානම් කිරීමට මුලසුන භාර අවේක්ෂකට හැකියි. (වර්ෂ 1989 මැයි මුරටැඹ කලාපයේ 25වන පිටුව බලන්න.) ශිෂ්‍යයාට අනුමැතිය ලැබුණු වහාම, ඔහුව දේවසේවයට පුහුණු කිරීමට පටන්ගන්න.
7. කඩින් කඩ සේවයේ යෙදෙන සහ අක්‍රියාශීලී ප්‍රචාරකයන්ට උපකාර කිරීමට හැක්කේ කෙසේද?
7 පොත් පාඩම් අවේක්ෂකයන් තමන්ගේ කණ්ඩායමේ සිටින අක්‍රියාශීලී හෝ කඩින් කඩ සේවය වාර්තා කරන අයට විශේෂ අවධානයක් දීම වටී. ඔබ සමඟ දේවසේවයේ වැඩ කිරීමට හවුල් වන ලෙස ඔවුන්ට ආරාධනා කරන්න. ඔවුන් දිගු කලක් තිස්සේ අක්‍රියාශීලීව සිටී නම්, ඔවුන්ට සුදුසුකම් තිබේදැයි තීරණය කිරීමට වැඩිමහල්ලන් දෙදෙනෙක් පළමුව ඔවුන් හා සමඟ කතා කිරීම වඩාත් හොඳය. (2000 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටිය බලන්න.) මෙම මාසවලදී ඔවුන් සභාව තුළ දකින ජ්වලිතය මගින්, දේවසේවය කිරීම යළිත් වරක් තමන්ගේ ජීවිතයේ නිතිපතා අංගයක් කරගැනීමට පෙලඹීම ලැබිය හැක.
8, 9. විශේෂ සේවය සඳහා උද්යෝගය වැඩි කිරීමට වැඩිමහල්ලන්ට කුමක් කළ හැකිද?
8 වැඩිමනත් ක්‍රියාකාරකම්වලට දැන් සූදානම් වන්න: වැඩිමහල්ලෙනි, උපකාරික පුරෝගාමි සේවය කිරීම සඳහා සභාව තුළ උද්යෝගයක් ගොඩනංවන්න දැන්ම පටන්ගන්න. දිරිගන්වනසුලු අදහස් පළ කිරීමෙන් සහ හොඳ ආදර්ශයක් වීමෙන් ඔබට බොහෝ දේ ඉටු කළ හැකියි. (1 පේතෘ. 5:3) මීට කලින් සභාවේ උපකාරික පුරෝගාමී සේවය කළ උපරිම සංඛ්‍යාව කීයද? මේ වසරේදී එය ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් බවට පත් කිරීමට හැකිද? තම සේවය වැඩි කිරීම සඳහා තමන්ගේ කණ්ඩායමේ සිටින සියල්ලන්ව දිරිගැන්වීමට සභා පොත් පාඩම් අවේක්ෂකයන් සහ ඔවුන්ගේ සහයකයන් ක්‍රම සෙවිය යුතුයි. ක්ෂේත්‍ර සේවය සඳහා අමතර රැස්වීම් සූදානම් කරන්නට සේවා අවේක්ෂකයන්ට හැකියි. සැලසුම් කර තිබෙන වැඩ පිළිවෙළ ගැන කල්තියා සභාවට දැනුම් දෙන්න. සේවයේ පෙරමුණ ගැනීම සඳහා නිපුණත්වයක් දක්වන ප්‍රචාරකයන් සිටින බවටත් ක්ෂේත්‍ර සේවා රැස්වීම් වෙලාවට පටන්ගෙන වෙලාවට අවසන් වන බවටත් වග බලාගන්න. (2001 සැප්තැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටිය බලන්න.) තවද ප්‍රමාණවත් බලප්‍රදේශයක්, සඟරා සහ පොත් පත් සූදානම් කර තැබීමට සේවා අවේක්ෂක කටයුතු පිළියෙළ කළ යුතුය.
9 පසුගිය වසරේදී එක් සභාවක වැඩිමහල්ලන් තම සභාවේ අයට උපකාරික පුරෝගාමී සේවය කිරීම සඳහා බොහෝ කල්වේලා ඇතුව දිරිගැන්වීම් දුන් නිසා, ඔවුන්ගෙන් කිහිපදෙනෙකුම ඒ සඳහා අයැදුම් පත් ඉදිරිපත් කරන්නට වූහ. ක්ෂේත්‍ර සේවය සඳහා ඔවුහු අමතර රැස්වීම්ද පිළියෙළ කළහ. එක් රැස්වීමක් පෙ.ව. 5:30ට වීථි සේවය සඳහාද, තවත් රැස්වීමක් පාසැල් ඇරී ආ ළමුන් සඳහා ප.ව. 3:00ටද, රැකියාව නිම කර පැමිණි අය සඳහා ප.ව. 6:00ට තවත් රැස්වීමක්ද විය. මීට අමතරව, ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් තුනක් සෙනසුරාදා දිනවල පිළියෙළ කරන ලදි. මීට දක්වනු ලැබූ ප්‍රතිචාරය වූයේ සභාවේ 66දෙනෙක් අප්‍රියෙල් මාසයේදී උපකාරික පුරෝගාමී සේවය කිරීමයි!
10. තම සේවය වැඩි කරගැනීමට පවුල්වලට සූදානම් විය හැක්කේ කෙසේද?
10 පැමිණෙන මාසවලදී යථාර්ථවාදී ඉලක්ක තබාගැනීමට කතා කරගනු පිණිස ඊළඟ පවුල් පාඩමේදී ඒ සඳහා කාලයක් වෙන් කරගැනීම හොඳ නොවේද? හොඳ සහයෝගයකින් සහ සැලසුම් කිරීමකින් යුතුව පවුලේ කිහිපදෙනෙකුට හෝ සියලුදෙනාටම උපකාරික පුරෝගාමි සේවය කිරීමට හැකිකම තිබිය හැකියි. එය කිරීමට නොහැකි නම්, ඔබ සේවයේ ගත කරන කාලය වැඩි කරගැනීමෙන් හෝ අමතර දවස්වල ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමෙන් ඔබගේ සේවය වැඩි කරගැනීමට ඉලක්ක තබන්න. පවුලක් වශයෙන් මේ ගැන යාච්ඤා කරන්න. ඔබගේ ප්‍රයත්නවලට යෙහෝවා ආශීර්වාද කරන බවට ඔබට සහතික විය හැකියි.—1 යොහන් 3:22.
11. (අ) ක්‍රිස්තුස්ගේ පූජාව තුළින් ඉටු කරනු ලැබුවේ කිනම් පුදුම දේවල්ද? (ආ) ඔබගේ සභාවේ සිහි කිරීමේ උත්සවය පවත්වනු ලබන්නේ කොයි වේලාවටද? කොහේද?
11 දෙවිගේ වඩාත්ම පුදුම දනවන ක්‍රියාව: යෙහෝවා ප්‍රේමය ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨතම අන්දම නම්, අප වෙනුවෙන් ඔහුගේ පුත්‍රයාව මිදීමේ මිලයක් වශයෙන් දීමයි. (1 යොහන් 4:9, 10) මිනිස් වර්ගයාව පාපයෙන් හා මරණයෙන් මුදවාගැනීම සඳහා නීතික පදනම ලෙසට ක්‍රියා කරන්නේ මිදීමේ මිලයේ පූජාවයි. (රෝම 3:23, 24) යේසුස් වැගිරෙවූ රුධිරය අලුත් ගිවිසුම ක්‍රියාත්මක කළ අතර, අසම්පූර්ණ මිනිසුන්ට ස්වර්ගික රාජ්‍යයේ පාලනය කිරීමේ අපේක්ෂාව සහිතව දෙවිගේ පුත්‍රකමට භාරගනු ලැබීමට හැකිකම ඇති කළේය. (යෙරෙ. 31:31-34; මාර්ක් 14:24) ඊටත් වඩා වැදගත් කාරණය නම්, පරිපූර්ණ ලෙස කීකරු වීමෙන් යේසුස් ගත් ක්‍රියා මාර්ගය යෙහෝවාගේ නාමය විශුද්ධි කිරීමයි. (ද්වි. 32:4; හිතෝ. 27:11) අප්‍රියෙල් 4වන ඉරිදා, හිරු බැසයෑමෙන් පසුව, ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවය ලොව වටාම පවත්වනු ලබනවා ඇත.
12. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පැවැත්වීමේ උත්සවයට පැමිණීම උනන්දුව දක්වන අයට ප්‍රයෝජනයක් විය හැක්කේ කෙසේද?
12 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සිහි කිරීම මගින් යෙහෝවාගේ පුදුම ක්‍රියා තව තවත් මහිමවත් කෙරේ. මිදීමේ මිලය සැපයීමෙන් යෙහෝවා කළ දේවල් පිළිබඳව සිහි කිරීමේ කතාවෙන් අපගේ අවබෝධය සහ කෘතඥතාවය ගොඩනැංවේ. සබයේ සිටින උනන්දුව දක්වන අයට දෙවිගේ වෙනත් පුදුම ක්‍රියා දැකගැනීමට හැකි වෙනවා ඇත. යෙහෝවා විසින් සිය ජනයාට උගන්වා තිබෙන එක්සත්කම සහ උණුසුම් ප්‍රේමය විදහාපාන ආකාරය දැකගැනීමට ඔවුන්ටද හැකි වෙනවා ඇත. (එපී. 4:16, 22-24; යාකො. 3:17, 18) මෙම වැදගත් අවස්ථාවට පැමිණීම පුද්ගලයෙකුගේ චින්තනයට මහත් බලපෑමක් කළ හැකි නිසා, හැකිතරම් උපරිම සංඛ්‍යාවක් මෙයට පැමිණෙනවා දැකීම අපගේ ආශාවයි.—2 කොරි. 5:14, 15.
13, 14. සිහි කිරීමේ උත්සවයට අප ආරාධනා කළ යුත්තේ කාටද? කෙසේද?
13 පැමිණීමට වෙනත් අයට ආරාධනා කිරීම: ආරාධනා කිරීමට හැකි අයගේ නම් ලැයිස්තුවක් දැන්ම පිළියෙළ කරන්න. නොඇදහිලිකාර පවුල් සාමාජිකයන්, අසල්වාසීන්, ඔබගේ රැකියා ස්ථානයේ හෝ පාසැලේ ආශ්‍රිතයන්, කලින් බයිබලය පාඩම් කළ සහ දැන් පාඩම් කරන ශිෂ්‍යයන් සහ ඔබගේ නැවත බැලීම් සියල්ලක්ම මේ ලැයිස්තුවට ඇතුළත් කළ යුතුයි. යම් අක්‍රියාශීලී ප්‍රචාරකයන් වේ නම්, පොත් පාඩම් අවේක්ෂකයන් ඔවුන්වද තම ලැයිස්තුවට ඇතුළත් කළ යුතුයි.
14 සිහි කිරීමේ උත්සවය සඳහා මුද්‍රිත ආරාධනා පත් භාවිත කොට, සිහි කිරීම පැවැත්වෙන වේලාව සහ ස්ථානය පැහැදිලි අකුරෙන් ලියන්න. නැත්නම්, 2004 මාර්තු 15දා මුරටැඹ කලාපයේ හෝ 2004 අප්‍රියෙල් 8 පිබිදෙව්! කලාපයේ පිටුපස කවරයේ සඳහන් ආරාධනය යොදාගෙන ආරාධනා කරන්නට ඔබ කැමති වේවි. අප්‍රියෙල් 4දා ළං වෙත්ම, ආරාධනා ලැබූ අයගේ නිවසට ගොස් හෝ දුරකථනයෙන් ඔවුන්ට ඒ ගැන මතක් කරන්න.
15. සිහි කිරීම පැවැත්වෙන රාත්රියේදී පැමිණෙන අයව උණුසුම් ලෙස පිළිගැනීමට අපට හැක්කේ කෙසේද?
15 සිහි කිරීමේ උත්සවයේදී: එය පැවැත්වෙන සැන්දෑවේ හැකි තරම් වේලාසනින් පැමිණීමට උත්සාහ කරන්න. අලුතෙන් පැමිණි අයට උණුසුම් ලෙස ආචාර කිරීමෙන් ඔවුන්ව පිළිගන්න. (රෝම 12:13) ඔබ ආරාධනා කරන අමුත්තන් සම්බන්ධයෙන් ඔබට විශේෂ වගකීමක් තිබේ. ඔවුන්ව උණුසුම් ලෙස පිළිගෙන, සභාවේ වෙනත් අයට ඔවුන්ව හඳුන්වා දෙන්න. සමහරවිට ඔබ අසලම ආසනයක වාඩි වීමට ඔවුන්ට උදව් කළ හැක. යම් කෙනෙකුට බයිබලයක් හෝ ගීතිකා පොතක් නැත්නම්, ඔබේ හෝ වෙනත් කෙනෙකුගේ බයිබලය හෝ ගීතිකා පොත බැලීමට සලස්වන්න. සිහි කිරීමට පසුව, ඔවුන් විසින් ඇසිය හැකි යම් ප්‍රශ්න තිබේ නම්, ඒවාට උත්තර දීමට සෑදී පැහැදී සිටින්න. සමහර අය ඇවිත් තිබෙන්නේ පළමු වතාවට නම්, දෙවිගේ වචනය සහ අරමුණ ගැන තවත් දැනගැනීමට කැමතිදැයි විමසන්න. ඔබ ඔවුන් සමඟ නිවාස බයිබල් පාඩමක් කිරීමට කැමති බව ඔවුන්ට කියන්න.
16. සිහි කිරීමට පැමිණි අයට ආත්මික ප්‍රගතියක් ඇති කිරීමට උපකාර කිරීමට කළ හැක්කේ කුමක්ද?
16 පැමිණි අයට දිගටම උපකාර කරන්න: සිහි කිරීමට පසු සතිවලදී, එයට පැමිණි අයට වඩාත් උපකාර අවශ්‍ය විය හැකියි. කලින් නිතර නිතර රැස්වීම්වලට පැමිණි නමුත් දැන් සභාව සමඟ සීමිත ඇසුරක් පමණක් පවත්වන අයද මීට ඇතුළත්. එවන් අයව නොසලකා නොහැරීමට වැඩිමහල්ලන් උත්සුක විය යුතුය. ඔවුන් ආත්මික ප්‍රගතියක් ලැබීම නවත්වා ඇත්තේ මන්දැයි නිශ්චය කිරීමට වැඩිමහල්ලන් සැලකිලිමත් වීම අවශ්‍යයි. කාලයේ තිබෙන හදිසිතාව ඔවුන්ගේ මනසට කාවද්දන්න. (1 පේතෘ. 4:7) දෙවිගේ ජනයා සමඟ නිතිපතා එකට රැස්වීමට දී ඇති ශුද්ධ ලියවිලිමය අවවාදයට කීකරු වීමේ ප්‍රයෝජන දැකීමට සියලුදෙනාටම උපකාර කරන්න.—හෙබ්‍රෙ. 10:24, 25.
17. යෙහෝවාගේ පුදුම ක්‍රියා ගැන අප දිගටම කතා කළ යුත්තේ මන්ද?
17 අප සදාකල් ජීවත් වුණත්, යෙහෝවාගේ ක්‍රියා සම්පූර්ණයෙන්ම අපට වටහාගැනීමට බැරි තරම් පුදුමාකාරය. (යෝබ් 42:2, 3; දේශ. 3:11) එමනිසා, ඔහුට ප්‍රශංසා කිරීමට අපට තිබෙන හේතු කිසිදිනක අඩු වන්නේ නැත. මේ සිහි කිරීමේ කාලයේදී අපේ දේවසේවය පුළුල් කිරීමට විශේෂ ප්රයත්නයක් දැරීම මගින් යෙහෝවාගේ පුදුම ක්‍රියා කෙරෙහි අපගේ කෘතඥතාවය නිරූපණය කිරීමට අපට හැකියි.
[Chart on page 5]
මේ කාලසටහන්වලින් එකකට අනුව ඔබට උපකාරික පුරෝගාමි සේවය කළ හැකිද?
මාර්තු ඉ ස* අ* බ* බ්‍ර සි සෙ මාසය
එකතුව
සෑම දවසකම 2 1 1 1 1 1 5 51
දවස් දෙකක් 0 5 0 5 0 0 0 50
සති අන්ත පමණි 5 0 0 0 0 0 8 52
සති අන්ත සහ
සතියේ දවස් දෙකක් 2 0 0 2 0 2 6 50
අප්‍රියෙල්
ඉ ස අ බ බ්‍ර* සි* සෙ මාසය
එකතුව
සෑම දවසකම 2 1 1 1 1 1 5 50
දවස් දෙකක් 0 0 0 0 5 5 0 50
සති අන්ත පමණයි 5 0 0 0 0 0 8 52
සති අන්ත සහ
සතියේ දවස් දෙකක් 2 0 0 2 0 2 6 50
මැයි
ඉ* ස* අ බ බ්‍ර සි සෙ* මාසය
එකතුව
සෑම දවසකම 2 1 1 1 1 1 4 51
දවස් දෙකක් 0 5 0 0 0 0 5 50
සති අන්ත පමණයි 3 0 0 0 0 0 7 50
සති අන්ත සහ
සතියේ දවස් දෙකක් 2 0 0 2 0 2 5 51
* මාසයට පහක්