යෙහෝවා දෙවිගේ උතුම් ගතිගුණ සෑම තැනම ප්‍රකාශ කරන්න
1. යෙහෝවා දෙවිගේ උතුම් ගතිගුණ ගැන දසත ප්‍රකාශ කිරීමට අපව පොලඹවන්නේ කුමක් මගින්ද?
1 “යෙහෝවා, උතුම්කමද බලයද මහිමයද ජයද මහන්තත්වයද ඔබගේය; මක්නිසාද ස්වර්ගයෙහිද පොළොවෙහිද ඇති සියල්ල ඔබගේය.” (1 ලේක. 29:11) අපි යෙහෝවා දෙවිට දක්වන ප්‍රේමය හා ස්තුතිය අපට බලපාන්නේ කොහොමද? ‘අන්ධකාරයෙන් සිය විස්මයජනක ආලෝකයට අපව කැඳවාගත් තැනැත්තාගේ උතුම් ගතිගුණ ගැන සෑම තැනම ප්‍රකාශ’ කිරීමට එය අපව පොලඹවනවා. (1 පේතෘ. 2:9) අපේ උතුම් දෙවි ගැන අන් අයට නොපවසා ඉන්න අපට බැහැ. මාර්තු, අප්‍රියෙල් සහ මැයි මාසවලදී යෙහෝවා දෙවිගේ උතුම් ගතිගුණ ගැන ප්‍රකාශ කිරීමට අපට අද්විතීය අවස්ථාවක් තිබෙනවා.
2. සිහි කිරීම දැන්වීමට සැලසුම් කර තිබෙන්නේ කුමන විශිෂ්ට ව්‍යාපෘතියක්ද?
2 සිහි කිරීම දැන්වීමට විශේෂ ව්‍යාපෘතියක්: සඳුදාවක් වන අප්‍රියෙල් 2වෙනිදා ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සැමරීමෙන් අපි යෙහෝවා දෙවිගේ උතුම් ගතිගුණ ගැන විශේෂයෙන් කතා කරන්නෙමු. මෙම වැදගත් අවස්ථාව ගැන මාර්තු 17 සිට අප්‍රියෙල් 2 දක්වා ලොව පුරා විශේෂ ඇරයුම්පතක් බෙදා දීමටයි අපේක්ෂාව. පූර්ණ සහයෝගය දෙන්න කියා සියල්ලන්වම දිරිගන්වන්න කැමතියි. සුදුසුකම් ඇත්නම් නවකයන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීම ඇරඹීමට මෙය විශිෂ්ට කාලයක්. සුදුසුකම් ලැබිය හැකි බයිබල් ශිෂ්‍යයන් හෝ දරුවන් ඔබට සිටී නම් වැඩිමහල්ලන් සමඟ කතා කිරීමට මුලපුරන්න.
3. සිහි කිරීමට ජනයාට ආරාධනා කරද්දී කුමක් පැවසිය හැකිද?
3 මෙම ව්‍යාපෘතිය දිස්ත්‍රික් සමුළු සම්බන්ධයෙන් “ගැලවීම අත ළඟයි!” යන පත්‍රිකාව බෙදාහැරිය ආකාරයටමයි සිදු වන්නේ. ප්‍රචාරකයෙකුට 50 බැගින් සහ පුරෝගාමීන්ට 150 බැගින් ඇරයුම්පත් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෑම සභාවකටම යවනු ලබයි. මේවා බෙදාහරිද්දී මෙසේ කෙටියෙන් පවසන්න. “වාර්ෂිකව සමරණ වැදගත් අවස්ථාවකට ඔබටත් ආරාධනා කරන්න කැමතියි. මේ ඇරයුම්පතේ ඒ ගැන වැඩි විස්තර තියෙනවා. එදාට ඔබ එයි කියලා අපි බලොපොරොත්තුවෙන් ඉන්නවා.” නිවැසියා ප්‍රශ්න ඇසුවොත් පිළිතුරු දීමට කාලය ගත කරන්න. ඒ සඳහා බයිබලයේ ඉගැන්වීම් පොතේ උපග්‍රන්ථයේ 206වන පිටුවේ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය යන පිටුවෙන් පටන්ගන්නා ලිපිය උපකාරවත් වේවි. සති අන්තවලදී විශේෂ ඇරයුම්පත සමඟ අලුත් සඟරා ඉදිරිපත් කරන්න. උනන්දුව දක්වන අය ගැන අවධානයෙන් සිට නැවත බැලීම් කිරීමට සැලසුම් යොදන්න.
4. සිහි කිරීමේ විශේෂ ඇරයුම්පත බෙදාහරිනු ලබන්නේ කෙසේද?
4 හැකි සෑමවිටම නිවැසියාගේ අතටම එම ඇරයුම්පත දෙන්න. කිසිවෙක් නොසිටි නිවාස සටහන් කරගෙන වෙනත් වෙලාවක යළිත් ගොස් හමුවන්න. ඔබේ සභාවේ ඇරයුම්පත් ඉතිරි වී ඇත්නම් සිහි කිරීමට කලින් සතියේදී තවදුරටත් කිසිවෙකු හමු නොවූ නිවාසවලට ගොස් ඇරයුම්පතක් තබා එන්න. නැවත බැලීම්, බයිබල් ශිෂ්‍යයන්, නෑදෑයන්, සෙසු සේවකයන්, අසල්වාසීන් සහ දන්නා හඳුනන වෙනත් අය යන සැමට ඇරයුම්පතක් ලැබෙන්න සලස්වන්න.
5. උපකාරික පුරෝගාමි සේවයේ නියැලීමට අපි දැන්ම සැලසුම් යෙදිය යුත්තේ ඇයි?
5 උපකාරික පුරෝගාමි සේවය: මාර්තු, අප්‍රියෙල් සහ මැයි මාසවලදී උපකාරික පුරෝගාමි සේවයේ හවුල් වෙමින් යෙහෝවා දෙවිගේ උතුම් ගතිගුණ ගැන වැඩියෙන් ප්‍රකාශ කරන්න ඔබට පුළුවන්ද? එසේ කිරීමට දෛනික කටයුතුවල යම් වෙනසක් කරන්න ඔබට සිදු වෙයි. (එෆී. 5:15-17) යෙහෝවා දෙවිගේ සේවයෙහි වැඩියෙන් හවුල් වීමට දරන වෑයමෙන් ඔබට අනිවාර්යයෙන්ම ප්‍රීතිය මෙන්ම යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා. (හිතෝ. 10:22) සිහි කිරීමේ කාලය ළඟා වන නිසා දැන්ම සැලසුම් යෙදීම සුදුසුයි.—හිතෝ. 21:5.
6. පසුගිය වසරේදී උපකාරික පුරෝගාමි සේවයේ යෙදුණු 90-හැවිරිදි සහෝදරියගේ අද්දැකීමෙන් අපිට කුමක් ඉගෙනගත හැකිද?
6 වයස අවුරුදු 90ක සහෝදරියක් පසුගිය වසරේදී උපකාරික පුරෝගාමි සේවයේ යෙදුණා. ඇය පැවසූ දේ: “වත්තේ වැඩවලටයි පැළ හිටවන්නයි මම හුඟක් ආස වුණත් දේවරාජ්‍යයේ කටයුතුවලට මුල් තැන දිය යුතු බව මං තේරුම්ගත්තා. ඒ නිසා මාර්තුවල උපකාරික පුරෝගාමි සේවය කරන්න තීරණය කළා.” ඇගේ වෑයමට ආශීර්වාද ලැබුණාද? “සභාවට තවත් කිට්ටු වුණා කියලයි මට දැනෙන්නේ. ඒ නිසා යෙහෝවා දෙවිටත් වැඩියෙන් ළං වුණා” කියා ඇය පවසනවා. අපටත් හැකිද මුල් තැන දිය යුතු දේ සලකා බලා එවැනිම වෙනසක් කරන්න?
7. උපකාරික පුරෝගාමි සේවයේ යෙදීම අමාරු වැඩක්ද?
7 පැය 50ක් දමන එක ඔබ සිතන තරම් අමාරු වැඩක් නෙවෙයි. එදිනෙදා වැඩකටයුතු ගැන යාච්ඤා පූර්වකව සලකා බලන්න. කාලසටහනක් සකස් කර දේවසේවා ක්‍රියාකාරකම් සඳහා වෙන් කරන කාලයත් සටහන් කරගන්න. ඔබේ තත්වයන් ගැන හොඳින්ම දන්නේ ඔබයි. ඔබේ සෞඛ්‍යය තත්වය දුර්වල නම් සෑම දිනකම පැය දෙක තුනක් ගත කළත් ඇති. පාසැලට හෝ රැකියාවට යන කෙනෙක් නම් අපරභාගයේ හෝ සතිඅන්තවල දේවසේවයේ හවුල් වෙමින් උපකාරික පුරෝගාමි සේවය කළ හැකියි.
8. විවාහ යුවළකට උපකාරික පුරෝගාමි සේවයේ යෙදෙන්න හැකි කළේ කුමක්ද?
8 පවුලක් වශයෙන් උපකාරික පුරෝගාමි සේවයේ යෙදෙන්න බොහෝදෙනෙකුට හැකි වී තිබෙනවා. කලින් වසරවලදී එක් යුවළක් උපකාරික පුරෝගාමි සේවය කරන්න අකමැති වුණේ ඊට කාලය සොයාගන්න බැරි වෙයි කියා සිතූ නිසයි. ඒ ගැන ඔවුන් කළේ කුමක්ද? “කලක් තිස්සේ අපි ආශා කළ දේ එක්ව කරන්න අපිට උපකාර කරන්න කියා යෙහෝවා දෙවිගෙන් ඉල්ලුවා.” ඉන්පසු හොඳින් සැලසුම් කළ නිසා ඉලක්කය අත්කර ගත්තා. ඔවුන් පැවසුවේ මෙයයි. “අපි දෙන්නාට හුඟක් ආශීර්වාද ලැබුණා. උත්සාහ කරලා බලන්න කියලයි අපි ඕගොල්ලන්ටත් කියන්නේ. අපිට පුළුවන් වුණා නම් ඔබටත් හැකි වෙයි ඒක කරන්න.”
9. ඔබේ ඊළඟ පවුල් පාඩමේදී ඉදිරි මාසවල විශේෂ සේවාවේ යෙදීමට සූදානමක් වශයෙන් කුමක් කළ හැකිද?
9 ඔබේ ඊළඟ පවුල් පාඩමේදී ඊළඟ මාසවල පවුලේ හැමෝටම සේවය වැඩි කළ හැකි අන්දම ගැන සලකා බලන්න. මුළු පවුලටම උපකාරික පුරෝගාමි සේවයේ යෙදෙන්න බැරි වුණත් පවුලේ අනිත් අයගේ සහයෝගයෙන් එක්කෙනෙක්ට හරි පුළුවන් වේවි. එහෙමත් බැරි නම් මෙම විශේෂ සේවාවේ යෙදෙන මාසවල ඒ සඳහා වැඩි කාලයක් ගත කිරීම සඳහා මුළු පවුලටම හැකියි ඉලක්ක තබාගන්න.
10. සිහි කිරීමේ කාලයේදී උපකාරික පුරෝගාමි සේවයේ යෙදීමට තිබෙන ආශාව ගැන කතා බහ කළ යුත්තේ ඇයි?
10 අන්‍යෝන්‍ය උපකාරය: උද්යෝගය බෝවනසුලුයි. උපකාරික පුරෝගාමි සේවයේ යෙදීමට ඇති ඔබේ ආශාව ගැන කතා බහ කරන්න. එයින් අනිත් අයටත් පෙලඹීමක් ඇති වෙයි. ඊට අමතරව කලින් පුරෝගාමි සේවයේ හවුල් වූ අයගෙන් ඔබේ වැඩකටයුතු සැලසුම් කර කාලසටහනක් හදාගන්න උපකාර පැතිය හැකියි. (හිතෝ. 15:22) උපකාරික පුරෝගාමි සේවයේ යෙදෙන්න ඔබට හැකි නම් තවත් ප්‍රචාරකයෙකුට හෝ ඔබේම තත්වයේ සිටින කෙනෙකුට ඔබ සමඟ සේවයේ හවුල් වෙන්න කියා ආරාධනා කර නොබලන්නේ ඇයි?
11. ඉදිරි මාසවලදී උපකාරික පුරෝගාමි සේවයට අන් අයගේ උද්යෝගය පුබුදුවන්න වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේද?
11 මෙම විශේෂාකාරයේ සේවාවට හවුල් වීමට බොහෝ වැඩිමහල්ලන්ද අවශ්‍ය සැලසුම් යොදනවා. (හෙබ්‍රෙ. 13:7) මෙය ඇත්තෙන්ම සභාවට දිරිගැන්වීමක්! වැඩිමහල්ලන්ද උද්යෝගයෙන් මේ ගැන කතා බහ කිරීම අවශ්‍යයි. උපකාරික පුරෝගාමි සේවය කිරීමට පෙලඹෙන්න සමහරුන්ට අවශ්‍ය වන්නේ දිරිගැන්වීමේ වචන ස්වල්පයක් හෝ යම් ප්‍රායෝගික යෝජනා කීපයක් පමණයි. සේවා අවේක්ෂක විසින් අමතර ක්ෂේත්‍ර සේවා රැස්වීම් සැලසුම් කිරීමට ඉඩ තිබෙනවා. එවිට රැකියාවලට හා පාසැලට යන අයටත් කණ්ඩායම් වශයෙන් සාක්ෂි දැරීමට හවුල් විය හැකියි. මේ සැලසුම් ගැන නිතිපතා නිවේදනය කළ යුතුයි. සියලුදෙනාට සේවයේ යෙදීමට ප්‍රමාණවත් බලප්‍රදේශයක් මෙන්ම පොත් පත් තිබෙන බවට ඔහු වගබලා ගත යුතුයි.
12. උපකාරික පුරෝගාමි සේවයේ යෙදෙන්න ඔබට බැරි වුණත් කුමක් කළ හැකිද?
12 උපකාරික පුරෝගාමි සේවයේ යෙදෙන්න බැරි තත්වයක නම් ඔබ සිටින්නේ ඒ සඳහා කැමැත්තක් තියෙන අයව දිරිගන්වන්නත්, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්නත් ඔබට පුළුවන්. (හිතෝ. 25:11; කොලො. 4:12) සමහරවිට ඔවුන් සමඟ සතියේ දිනක දේවසේවයේ යෙදෙන්න හෝ සාමාන්‍යයෙන් ගත කරන කාලයට වඩා වැඩි කාලයක් එහි නියැලෙන්න ඔබට පුළුවන් විය හැකියි.
13. ශ්‍රී ලංකාවට දී තිබෙන්නේ කුමන ඉලක්කයක්ද? එය අත්කර ගැනීමට ඔබේ සභාවට දායක විය හැකි වන්නේ කෙසේද?
13 අප්‍රියෙල් මාසයේදී උපකාරික පුරෝගාමීන් 700ක ඉලක්කයක්: ශ්‍රී ලංකාවේ උපකාරික පුරෝගාමීන්ගේ මෙතෙක් ලැබී ඇති උපරිමය වශයෙන් 637ක් සටහන් වුණේ 2000 අප්රියෙල්වලදීයි. එමනිසා මේ අප්‍රියෙල්වල උපකාරික පුරෝගාමීන් 700ක ඉලක්කයක් දී තිබෙනවා. සෑම සභාවකම සිටින ප්‍රචාරකයන් පස්දෙනෙකුගෙන් එක්කෙනෙක් උපකාරික පුරෝගාමි සේවයට හවුල් වුණොත් එම ඉලක්කය අත්කර ගැනීමට අපට හැකි වෙයි. සමහර සභාවල ඊටත් වඩා සංඛ්‍යාවක් සහභාගි වේවි කියා බලාපොරොත්තු වෙනවා. සභා වැඩි සංඛ්‍යාවකට මෙය අත්කර ගත හැකි ඉලක්කයක්. ඔබේ සභාවේ තිබෙන්න යන උද්යෝගයත් එය ඔබේ බලප්‍රදේශයේ දේශනා සේවයට කදිම බලපෑමක් වන ආකාරය ගැනත් ටිකක් හිතලා බලන්න.
14. උපකාරික පුරෝගාමි සේවය සඳහා අප්‍රියෙල් කදිම මාසයක් වන්නේ ඇයි?
14 අප්‍රියෙල් මාසය මේ සඳහා කදිම මාසයක් වන්නේ ඇයි? සිහි කිරීම පවත්වන්නේ මාසේ මුලදීයි. පැමිණෙන අයව නැවත බලන්න යන්න ඉතිරි කාලය යොදාගත හැකියි. අපි සඟරා ඉදිරිපත් කරන්නේ නැවත බැලීමට ගොස් බයිබලයේ ඉගැන්වීම් පොත ලබා දී පාඩම් පටන්ගැනීමේ අරමුණ ඇතුවයි. එමනිසා අප්‍රියෙල් මාසයේ උපකාරික පුරෝගාමි සේවය බොහෝ බයිබල් පාඩම් ඇරඹීමටත් කදිම අවස්ථාවක් වෙයි. ඊට අමතරව අප්‍රියෙල්වල ඉරිදා දවස් පහක් තිබෙන නිසා රැකියාවල යෙදෙන හා පාසැල් යන අයටත් එය පහසුවක් වේවි.
15. සිහි කිරීමේ සමය ළඟා වෙද්දී අප හදිසිතාවේ හැඟීමක් තබාගත යුතු වන්නේ ඇයි?
15 පසු වී යන සෑම සිහි කිරීමේ කාලයක් තවත් වසරකින් අපව පවතින සමාජ ක්රමයේ අවසානයට ළං කරයි. ඒ නිසා අපේ උදාර දෙවි ගැන අන්‍යයන් සමඟ කතා කරන්න තිබෙන කාලය අඩු වෙයි. (1 කොරි. 7:29) මේ සිහි කිරීමේ කාලය අවසන් වූ පසු අපේ ස්වර්ගික පියාණන්ට ප්‍රශංසා කිරීමට තිබුණු ඒ අගනා කාලය යළි කවදාවත් ලැබෙන්නේ නැහැ. මාර්තු, අප්‍රියෙල් සහ මැයි මාසවලදී යෙහෝවා දෙවිගේ උතුම් ගතිගුණ හඬ නඟා ප්‍රකාශ කරන්න දැන් අපි හැකි උපරිමයෙන් සූදානම් වෙමු!
[4වන පිටුවේ කොටුව]
අප්‍රියෙල්වලදී 700ක ඉලක්කය අත්කර ගන්න හැකි වෙයිද?
◼ මුල් තැන දිය යුතු දේ සලකා බලන්න
◼ පවුලක් වශයෙන් ඉලක්ක තබාගන්න
◼ සැලසුම් ගැන අන් අය සමඟ කතා කරන්න