නැවත බැලීම් බයිබල් පාඩම්වලට මඟ පාදයි
1. නැවත බැලීමට යෑම ඉතාමත් වැදගත් දෙයක් වන්නේ මන්ද?
1 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ආඥා කළේ ජනයාට දේශනා කරන්න කියා පමණක් නොව ‘ගෝලයන් වන පිණිස ඔවුන්ට උගන්වන්න’ කියායි. (මතෙ. 28:19, 20) දේශනා කරන්නෙකුගේ කාර්යය වන්නේ යම් දෙයක් ප්‍රකාශ කිරීම පමණයි. නමුත් ගුරුවරයෙක් ඊට වඩා දේවල් කරයි. ඔහු දැනුම ලබා දෙයි. කාරණා පැහැදිලි කරයි. හේතු සාධක ඉදිරිපත් කරයි. අප අන් අයට උගන්වන එක් ආකාරයක් වන්නේ උනන්දුව දක්වන අය සමඟ බයිබල් පාඩම් පටන්ගැනීමේ ඉලක්කය ඇතුව ඔවුන්ව නැවත බැලීමට යෑමයි.
2. අපි නැවත බැලීමට යා යුත්තේ කාවද?
2 ඔබ නැවත බැලීමට යා යුත්තේ කාවද? පොත් පත් ලබාගන්න සෑම කෙනෙකුවම හා ශුභාරංචිය කෙරෙහි සුළු උනන්දුවක් හෝ දක්වන අයව නොවරදවාම නැවත ගොස් හමු වන්න. උනන්දුව දක්වන කෙනෙකුව ඔබට හමු වූයේ ප්‍රසිද්ධ ස්ථානයක නම් ඒ තැනැත්තාගේ ලිපිනය හෝ දූරකථන අංකය ලබාගන්න. මෙසේ කිරීමෙන් ඔහුගේ උනන්දුව දිගටම වර්ධනය කළ හැකියි. බයිබල් පාඩම් පටන්ගැනීම ගැන ශුභවාදීව සිතන්න. බයිබල් පාඩමක් පටන්ගැනීමට කැමැත්තක් දක්වන අයව අත් නෑර සොයන්න. ඔබට බොහෝදුරට එවැනි කෙනෙකුව හමු වනු ඇත.—මතෙ. 10:11.
3, 4. නැවත බැලීමක් සාර්ථක කරගැනීමට අයත් වන දේවල් මොනවාද?
3 පෞද්ගලිකව සැලකිල්ල පෙන්වන්න: නැවත බැලීමක් සාර්ථකව කිරීම සඳහා සූදානම් වීම ඇරඹෙන්නේ මුල්ම හමුවීමේදීයි. සාර්ථක එවැන්ජලිස්තවරුන් ගෙවැසියා උනන්දුව දක්වන දේවල් ලියාගෙන පසුව කරන සාකච්ඡාවන් සඳහා පදනමක් හැටියට එම තොරුතුරු යොදාගනී. ඊළඟ බැහැදැකීම සඳහා ගෙවැසියා තුළ උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් හමුවීම අවසානයේදී ඔහු වෙත ප්‍රශ්නයක් තබා ඒමද ප්‍රයෝජනදායක බව සමහරුන්ට පෙනී ගොස් තිබේ. අප නිවසින් පිට වී ගිය පසුව පවා ඔවුන් ගැන සිතීමට අප පෙලඹෙන්නේ ජනයා කෙරෙහි අප දක්වන අවංක උනන්දුව නිසයි. ඒ නිසා ප්‍රමාද නොකර නැවත ගොස් ඔවුන්ව හමුවීමටද අප පෙලඹේ. උනන්දුව උණුසුම් තත්වයක තිබෙන විට නැවත ගොස් හමුවීමට වෑයම් කරන්න. හැකි නම් දවසක් හෝ දෙකක් ඇතුළත නැවත යන්න.
4 නැවත බැලීමට ගිය විට ඔබ කලින් කළ සාකච්ඡාව මත කරුණු ගොඩනැඟිය හැකි ආකාරය සොයා බලන්න. සෑම අවස්ථාවකදීම අඩුම තරමින් එක ශුද්ධ ලියවිලි පාඨයක් මතවත් පදනම් වූ ගොඩනංවනසුලු කරුණක් ගැන සාකච්ඡා කිරීමට ඉලක්ක කරගන්න. ඒ වගේම සවන් දීමට කැමැත්තෙන් සිටින්න. ගෙවැසියාව වඩාත් හොඳින් දැනහඳුනා ගන්න. පසුව කරන බැහැදැකීම්වලදී ඔහුගේ හෝ ඇයගේ සැලකිල්ලට ලක් වන දේවලට ඍජු ලෙස සම්බන්ධ වන දේවවචනයේ සත්‍යයන් ඔහු සමඟ බෙදාගන්න.
5. බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා යොදාගත හැකි සරල ක්‍රමය කුමක්ද?
5 බයිබල් පාඩමක් පටන්ගැනීමට නිතරම මං සොයන්න: බයිබල් පාඩමක් පටන්ගැනීමේ ඉලක්කය ඇතුව නැවත බැලීමට යන්න. මෙය කළ හැක්කේ කෙසේද? සිත්ගන්නාසුලු කරුණක් ගැන සාකච්ඡා කරන්න ඔබ කැමති බව පවසා දැනුම පොතේ හෝ ඕනෑ කරන්නේ විවරණිකාවේ තිබෙන ඔහුගේ හෝ ඇගේ සිත්ගනියි කියා ඔබ සිතන ඡේදයක් පෙරළන්න. ඡේදය කියවා අදාළ ප්රශ්නය සලකා බලන්න. එමෙන්ම සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි පාඨයක් හෝ දෙකක්ද සාකච්ඡා කරන්න. මෙය විනාඩි පහක් හෝ දහයක් ඇතුළත දොර ළඟ සිටගෙන වුණත් කළ හැකියි. ඊළඟ ප්රශ්නය අසා වෙනත් වේලාවකදී තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා කටයුතු පිළියෙළ කරමින් සාකච්ඡාව අවසන් කරන්න.
6. නැවත බැලීමට යෑමෙහි ඇති වැදගත්කම වටහාගෙන තිබෙන බව පෙන්වීමට අපට හැක්කේ කෙසේද?
6 උනන්දුව දක්වන සෑම කෙනෙකුගේම උනන්දුව තවත් වැඩි කිරීමට මං සෙවීම අපේ දේවසේවයේ අතිවැදගත් දෙයක් වේ. එනිසා සතිපතා ඔබේ කාල සටහනෙහි නැවත බැලීමට යෑම සඳහාද කාලය වෙන් කරගන්න. මෙසේ කිරීමෙන් ඔබේ දේවසේවයේ සාර්ථකත්වය වැඩි කරගැනීමටත්, එයින් සැබෑ ප්‍රීතියක් භුක්ති විඳීමටත් ඔබට හැකියි.