යෙහෝවාගේ යුක්තිය අනුකරණය කරන්න
1 “යෙහෝවා යුක්තියට ප්‍රිය වන්නේය.” (ගීතා. 37:28) මේ අනුව, ඔහු මේ අධර්මිෂ්ඨ ලෝකය විනාශ වන බවට නියම කර තිබුණද, පළමුව ඒ පිළිබඳව අනතුරු ඇඟවීමක් දීමට විධිවිධාන යොදා තිබේ. (මාර්ක් 13:10) මේ මගින් පසුතැවිලි වී ගැලවීම ලැබීමට ජනයාට ප්‍රස්තාවක් ලබා දෙයි. (2 පේතෘ. 3:9) යෙහෝවාගේ යුක්තිය අනුකරණය කිරීමට අප දැඩි උත්සාහයක් ගන්නවාද? මිනිස් පවුල අද්දකින දුක්ඛිත තත්වය හා දුක් වේදනාවන් දැක රාජ්‍ය බලාපොරොත්තුව අන්‍යයන් සමඟ බෙදාගැනීමට අප පෙලඹෙනවාද? (හිතෝ. 3:27) අප යුක්තියට ප්‍රිය වෙනවා නම්, දේශනා සේවයේ ක්‍රියාශීලී ලෙස හවුල් වීමට පෙලඹේ.
2 අපක්ෂපාතීව දේශනා කරන්න: අපි අපක්ෂපාතීව සෑම කෙනෙකුටම දෙවිගේ අරමුණ ගැන ප්‍රකාශ කරද්දී, ‘යුක්තිය ඉටු කරන්නෙමු.’ (මීකා 6:8, NW) අන්‍යයන්ගේ බාහිර පෙනුම මගින් ඔවුන් ගැන යම් විනිශ්චයක් කිරීමට අසම්පූර්ණ අප තුළ ඇති නැඹුරුවාවට අප එරෙහි විය යුතුය. (යාකො. 2:1-4, 9) යෙහෝවාගේ “කැමැත්ත නම්, සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.” (1 තිමෝ. 2:4, NW) දෙවිගේ වචනයේ සඳහන් සත්‍යය මගින් ජනයාගේ ජීවිතවල කැපීපෙනෙන වෙනසක් ඇති කළ හැකියි. (හෙබ්‍රෙ. 4:12) මේ කාරණය වටහාගෙන අපි මීට පෙර අපට සවන් දී නැති අයට පවා නිසැකකමකින් යුතුව එළඹීමට උත්සුක වෙමු.
3 සාප්පුවක වැඩ කරමින් සිටි එක් සහෝදරියක් එම සාප්පුවට නිතර එන එක්තරා පාරිභෝගිකයෙකුගේ බාහිර පෙනුම නිසා තරමක චකිතයකින් පසු වූවාය. කෙසේවෙතත්, සුදුසු අවස්ථාව උදා වූ කල, ඇය ඔහුට පාරාදීසය පිළිබඳ දෙවිගේ පොරොන්දුව ගැන සාක්ෂි දැරීමට උත්සාහ කළාය. ඊට ඉතා රළු ලෙස පිළිතුරු දුන් ඔහු තමා සුරංගනා කතා ගැන විශ්වාස නොකරන බවත් තමා හිපියෙකු බවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවත් කියා සිටියේය. නමුත් ඇය තම උත්සාහය අත්හැරියේ නැත. එක් දිනක් ඔහු තමාගේ දිගු කොණ්ඩය ගැන සිතන්නේ කුමක්දැයි ඇයගෙන් විමසීය. එවිට ඇය බයිබලයේ මේ කාරණය ගැන පවසන දේ ඔහුට ඉතා උපායශීලී ලෙස පැහැදිලි කළාය. (1 කොරි. 11:14) ඇයව පුදුමයට පත් කරමින්, ඊළඟ දවසේ ඔහු සම්පූර්ණයෙන් ඔහුගේ රැවුල කපා කොණ්ඩයද කොටට කපා තිබුණි! ඔහු බයිබල් පාඩමක් ඉල්ලා සිටියේය. සහෝදරයෙක් එය පැවැත්වීමට සතුටින් ඉදිරිපත් වූ අතර, කැපවීම සහ බව්තීස්මය දක්වා ඔහු ප්රගතිශීලී විය. මේ මිනිසා මෙන්, අද දින යෙහෝවාට සේවය කරන බොහෝදෙනෙක් තමන්හට රාජ්‍ය පණිවුඩය ගෙනා අයගේ අපක්ෂපාතී, අඛණ්ඩ උත්සාහයට කෘතඥ වෙති.
4 යෙහෝවා ඉතා ඉක්මනින් මේ පොළොවෙන් අධර්මිෂ්ඨකම ඉවත් කරනවා ඇත. (2 පේතෘ. 3:10, 13) ඉතිරි වී තිබෙන සීමිත කාලයේදී, සාතන්ගේ අධර්මිෂ්ඨ ලෝකය මතට පැමිණෙමින් තිබෙන විනාශයෙන් බේරීමට සියල්ලන්හට අවස්ථාව සලසා දීම මගින් අපි යෙහෝවාගේ යුක්තිය අනුකරණය කරමු.—1 යොහ. 2:17.