දේවසේවා පුහුණු පාසැල—ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක්
1 අනාගතවක්තෘ යෙරෙමියා තුළින් යෙහෝවා පුරෝකථනය කළේ මෙයයි. “[මාගේ ජනයා] පෝෂණය කරන එඬේරුන් ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. ඔවුහු තවත් භය නොවන්නෝය. තැති නොගන්නෝය. එකෙක්වත් අඩු නොවන්නේය.” (යෙරෙ. 23:4) එවන් එඬේර වැඩක් අද දින සියලු ජාතීන්ට අයත් ජනයා අතර සිදු වෙමින් තිබේ. මෙය කරනු ලබන්නේ සභා වැඩිමහල්ලන් දස දහස් ගණනක් විසිනි. මීට අමතරව, පිනි මෙන් වූ යෞවනයන් ගණනාවක් යෙහෝවාට සේවය කිරීම සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වී ඇත. (ගීතා. 110:3) මෙම යටහත් පහත් සහෝදරයන් දෙවිගේ ජනයා සිටින සභාවන්ට මොන තරම් ආශීර්වාදයක්ද! කෙසේවෙතත්, ආත්මික වශයෙන් කෙරෙන මෙම එකතු කිරීමේ වැඩය දිගටම සිදු වන මෙම කාලයේදී තම සහෝදරයන්ට සේවය කිරීම සඳහා සුදුසුකම් ලත් සහෝදරයන්ගේ අවශ්‍යතාව තවදුරටත් පවතී.
2 තනිකඩ වැඩිමහල්ලන්ට සහ සභා සේවකයන්ට තව තවත් වගකීම්වලට උර දීම සඳහා ඇති කර තිබෙන කදිම විධිවිධානයකි, දේවසේවා පුහුණු පාසැල. වර්ෂ 1987 මෙම පාසැල ආරම්භ වූ දා පටන් රටවල් 140කට වඩා වැඩි ගණනකින් පැමිණි ශිෂ්‍යයෝ 22,000කට වඩා වැඩිදෙනෙක් පංති 999කින් පුහුණුව ලබා සිටිති. මෙම පාසැල මෙම සහෝදරයන් සඳහා “ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක්” වී තිබේ.—1 කොරි. 16:9.
3 පාසැලේ අරමුණ: දේවසේවා පුහුණු පාසැලේ ඉලක්කය වී ඇත්තේ සුදුසුකම් ලත් පුරුෂයන්ව පුහුණු කර සංවිධානයේ යම් අවශ්‍යතාවක් ඇති ඕනෑම තැනක වගකීම්වලට උර දීම සඳහා ඔවුන්ව සූදානම් කිරීමයි. එවැන්ජලිස්ත සේවය තුළ පෙරමුණ ගැනීමටද, රැළ බලාගැනීමේ හවුල් වීමටද, සභාවේ ඉගැන්වීමටද ඔවුන් තුළ ඇති හැකියාව මෙම පාසැල මගින් තවත් ශක්තිමත් කරයි. අවශ්‍ය පුහුණුව ලැබීමෙන් පසු ඇතැම් ශිෂ්‍යයන්ව විශේෂ පුරෝගාමීන් ලෙසට හෝ සංචාරක අවේක්ෂකයන් ලෙසට පත් කොට ඔවුන්ගේ මව් රටේ හෝ විදේශ රටක සේවයට යවනු ලැබේ. තවත් අය තමන්ගේ මව් සභාවේ සේවය කිරීමට හෝ ශාඛා බල ප්‍රදේශයෙහි වැඩියෙන් අවශ්‍යතාව තිබෙන තැනක සේවය කිරීමට පැවරුම් ලබති.
4 සති අටක් පුරා පවත්වන පාඨමාලාවේදී ශිෂ්‍යයෝ ඉතා ගැඹුරින් බයිබලය අධ්‍යයනය කරති. මෙහිදී බයිබල් ඉගැන්වීම් ගැන පුළුල් අධ්‍යයනයක නිරත වන ඔවුහු එඬේර වගකීම් ගැනද ක්‍රිස්තියානි ජීවිතය තුළ පැනනඟින ගැටලු හසුරුවන ආකාරයන් ගැනද හදාරති. එමෙන්ම සභාවේ පරිපාලනයට සම්බන්ධ කාරණා, විනිශ්චමය කාරණා හා සංවිධානාත්මක කාරණා ගැන ශුද්ධ ලියවිල්ලේ උගන්වන දේවල් ගැනද ඔවුහු ඉගෙනගනිති. කතිකත්වය සම්බන්ධයෙන් පුහුණුවක් ලබන ඔවුන්ට තම ආත්මික ප්‍රගතිය වැඩි කරගැනීම සඳහා පෞද්ගලික උපකාරයද දෙනු ලැබේ.
5 සුදුසුකම්: පාසැලට සහභාගී වීමට බලාපොරොත්තු වන අයගෙන් ඒ සඳහා විශේෂ සුදුසුකම් බලාපොරොත්තු වේ. අයැදුම්කරුවන් වැඩිමහල්ලන් ලෙස හෝ සභා සේවකයන් ලෙස අඩු තරමින් එක දිගට වසර දෙකක කාලයක්වත් සේවය කර තිබීම අවශ්‍යය. සියල්ලන්ම තනිකඩ, වයස අවුරුදු 23ත් 50ත් අතර අය විය යුතුයි. පාසැල පවත්වනු ලබන භාෂාවෙන් හොඳින් කියවීමට, ලිවීමට සහ කතා කිරීමට ඔවුන්ට හැකි විය යුතු අතර ඔවුන් විශේෂ සාත්තුවක් හෝ විශේෂ ආහාර වට්ටෝරුවක් අවශ්‍ය නොවන හොඳ සෞඛ්‍යයකින් සිටින අය විය යුතුය. පාසැල සඳහා සහෝදරයන්ව තෝරද්දී වැඩි මනාපයක් දක්වනු ලබන්නේ ස්ථාවර පුරෝගාමි සේවයේ යෙදෙන අයටයි.
6 මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අය, අවශ්‍යතාවක් තිබෙන ඕනෑම තැනක සේවය කිරීමට කැමැත්තෙන් සිටිය යුතුයි. එමනිසා ඔවුන් අනාගතවක්තෘ යෙසායාට සමාන ආකල්පයක් දැරිය යුතුය. ඔහු විශේෂ කාර්යයක් සඳහා ඉතා උනන්දුවෙන් ඉදිරිපත් වී “මා මෙහිය. මා යැව්ව මැනව” කියා පැවසීය. (යෙසා. 6:8) තවද යෙසායාද තමාගේ ජීවිත කාලය පුරා යටහත් පහත්කම ඇතුව සිටි පුද්ගලයෙකි. එමනිසා, දේවසේවා පුහුණු පාසැලට ඉදිරිපත් වන සහෝදරයන් එසේ ඉදිරිපත් විය යුත්තේ තම සහෝදරයන්ට තිබෙන ප්‍රේමය නිසාත් ඔවුන් වෙනුවෙන් සේවය කිරීමට ඇති ආශාව නිසාත්ය. එසේ නැතිව, ඉහළ තැනකට ඒමට හෝ විශේෂ තනතුරක් ගන්නට වැනි ආශාවක් ඔවුන් තුළ නොතිබිය යුතුය. එවන් කදිම පුහුණුවක් ලැබීමෙන් පසුව, තමන් ඉගෙනගත් දෙය අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා යෙදවීම ඔවුන්ගෙන් අපේක්ෂා කෙරේ.—ලූක් 12:48.
7 ප්‍රයෝජන: සති අටක් තුළ ලබන පුහුණුවේදී ශිෂ්‍යයන්ට විවේකයක් නොමැති තරම්ය. එනමුත් ඒ කාලයේදී ඔවුහු ‘යහපත් ඉගැන්වීමේ වචනවලින් පෝෂණය’ වෙති. (1 තිමෝ. 4:6) තමන් සේවය කරන සභාවල සහ චාරිකාවල සිටින අයට උපකාර කිරීමටත් දිරිගැන්වීමටත් මෙය ඔවුන්ව සූදානම් කරයි. දේවසේවා පුහුණු පාසැලේ පුහුණුවක් ලබා සිටින අයව යවා ඇති බොහෝ ප්‍රදේශවල ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම් වැඩි වී තිබෙන අතර, විශේෂයෙන් යෞවනයන්ට පුරෝගාමි සේවය කිරීමට දිරිගැන්වීමක්ද ලැබී තිබේ. තවද දෙවිගේ ජනයා සමඟ ඇසුරු කරන නවකයන් බොහෝදෙනෙකුට වැඩියෙන් පෞද්ගලික අවධානයක් දී තිබේ.
8 ඔබ වයස අවුරුදු 23ත් 50ත් අතර සිටින තනිකඩ වැඩිමහල්ලෙක් හෝ සභා සේවකයෙක්ද? දේවසේවා පුහුණු පාසැලට අයදුම් කිරීම ගැන කල්පනා කර නොබලන්නේ මන්ද? ඔබ යෙහෝවාගේ සේවය තුළ දීර්ඝ කාලීන ඉලක්ක තබාගැනීමේ අදහසින් සිටින යෞවන සහෝදරයෙක්ද? ඔබගේ ජීවිතය සරලව බාධාවලින් තොරව තබා නොගන්නේ මන්ද? එවිට ඔබට “ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක්” තුළින් ඇතුල් විය හැකියි. එය ඔබට බොහෝ ප්‍රීතියක් සහ තෘප්තියක් ලබා දෙනු ඇත. ඇත්තවශයෙන්ම, දේවසේවා පුහුණු පාසැල, පුහුණුව ලැබූ අයට පමණක් නොව ලොව වටා දෙවිගේ ජනයාගෙන් සමන්විත සභාවන්වලට මහත් ආශීර්වාදයක් වී තිබේ.
[Box on page 3]
ඔවුන් පුහුණුවෙන් ප්‍රයෝජන ලැබූ අන්දම
“මෙම පුහුණුව මගේ දේවසේවයද ශුද්ධ ලියවිලි යොදාගෙන ප්‍රඥාවන්තව සහෝදරයන්ව රැකබලා ගනිමින් ඔවුන්ට උදව් කිරීමේ හැකියාවද දියුණු කර තිබෙනවා.”
“සභාවේ විවිධ වගකීම් ඉසිලීමට අවශ්‍ය ආත්ම විශ්වාසය මෙම පාසැල මගින් මට බොහෝ සෙයින් ලැබී තිබෙනවා.”
“එය මගේ ජීවිතයේ සෑම පැත්තක්ම පාහේ වෙනස් කළා. ඒ වගේම දෙවි පාලනය කරන ආකාරය සහ දෙවිගේ සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය ගැන මට දැනුණු විදිහත් වෙනස් කළා.”
“අවශ්‍යතාව තිබෙන තැනක සේවය කිරීමට මම ඉදිරිපත් වෙන්න ඕනෑ කියා මෙම පුහුණුවෙන් පසු මම තේරුම්ගත්තා.”