යහපත්කම් කරමින් අන් අය සමඟ බෙදාගන්න
1 දොර්කස් ‘යහපත් ක්‍රියා කිරීමේද දයාන්විත ලෙස පරිත්‍යාග කිරීමේද බොහෝ සේ නියැලී සිටියා.’ (ක්‍රියා 9:36, 39) ඇගේ පරිත්‍යාගශීලී ස්වභාවය නිසා ඇයව දැනගෙන සිටි අයත් යෙහෝවා දෙවිත් ඇයට ඇලුම් කළා. හෙබ්‍රෙව් 13:16හි පවසන්නේ “යහපත කිරීමටද අනුන් සමඟ දේවල් බෙදා හදා ගැනීමටද අමතක නොකරන්න. මන්ද, එවැනි පූජා ගැන දෙවි සතුටු වන්නේය” කියායි. අද දින අපට යහපත්කම් කරමින් අන් අය සමඟ බෙදාගත හැක්කේ කොහොමද?
2 එක් ක්‍රමයක් නම් අපේ “සම්පත්” අන් අය සමඟ බෙදාගැනීමයි. (හිතෝ. 3:9) ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් අප දෙන සම්මාදම්වලින් ලොව වටා රාජ්‍ය ශාලා, එක්රැස්වීම් ශාලා හා ශාඛා කාර්යාලයන් ඉදි කිරීමට හැකි වෙනවා. දෙවිගෙන් ලැබෙන උපදෙස්වලින් සහ දෙවිට ප්‍රේම කරන අය සමඟ සිදු කෙරෙන ගොඩනංවනසුලු ආශ්රයෙන් ප්‍රයෝජන ලබාගන්න මිලියන ගණන්දෙනෙකුට හැකි කර වී තිබෙන්නේ අපගේ පරිත්‍යාගශීලීකම නිසයි.
3 සහනය ලබා දෙන්න: ව්‍යසනයන් සිදු වන විට යෙහෝවාගේ සෙනඟ සෙසු ඇදහිලිවන්තයන්ගේ මෙන්ම ඇදහිලිවන්තයන් නොවන අයගේ “යහපත පිණිස වැඩ” කිරීමට සූදානමින් සිටිනවා. (ගලා. 6:10) සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාව හා අසල්වැසි රටවල් පහර ලැබූ විට කදිම ආදර්ශයක් තබනු ලැබුවා. සහෝදරයන්ගේ ප්‍රේමය සහ අවංක ආශාව නිසා ඉඳුම් හිටුම්, ආහාරපාන, ඇඳුම් පැළඳුම්, කොට්ට මෙට්ට, ඇඳ ඇතිරිලි, හට්ටි මුට්ටි, බේත් හේත්, මිල මුදල් ආදිය දීමට පෙලඹුණා. ඒ නිසා ඊට ගොදුරුවූවන්ගේ අවශ්‍යතා පිරිමැසුණා. සහෝදර සහෝදරියන් වෙහෙස නොබලා විපතට පත්වූවන්ගේ ආරක්ෂාව ගැන සොයා බැලුවා; සහනාධාර බෙදාහැරීමේ කමිටුවල සේවය කළා; ඒවා අවශ්‍ය ස්ථානවලට ප්රවාහණය කරනු ලැබුවා. සමහරුන්ට එවන් උපකාරයක් ඉදිරි මාසවලදීත් උවමනා වන නිසා එම ප්‍රේමය දිගටම පෙන්වීම අවශ්‍යයි.
4 අපගේ අසල්වැසියන්ට යහපත කිරීමට බොහෝ ක්‍රම තිබුණත් ඔවුන්ට කළ හැකි හොඳම යහපත වන්නේ සත්‍යය පිළිබඳ අගනා දැනුම ඔවුන්ට ලබා දීමයි. එයට යෙහෝවා දෙවි පොරොන්දු කර තිබෙන “සදාකාල ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව” ඇතුළත් වෙනවා. (තීත. 1:1, 2) ලෝක තත්වයන් පිළිබඳ මෙන්ම තමන්ගේම පව්කාර තත්වය පිළිබඳව වැලපෙන අයට සැබෑ සහනය ලබා දෙන්නේ බයිබලයේ ඇති පණිවිඩයයි. (මතෙ. 5:4) යහපත්කම් කරමින් අන් අය සමඟ බෙදාගන්න අපට හැකියාව තිබෙන විට අපි එය වළක්වා නොගනිමු.—හිතෝ. 3:27.