මුහුණ දෙස බලා කතා කරන්න
1 ප්‍රසිද්ධ ස්ථානවල සහ ගෙයින් ගෙට සාක්ෂි දරද්දී, අප කතා කරන පුද්ගලයාගේ මුහුණ දෙස බලා කතා කිරීම සාමාන්‍ය දෙයක්. ඒ සුළු මොහොතේදී අපි කතා කරන දේට ඔහු කැමතිද නැද්ද කියා ඔහුගේ මුහුණේ ඉරියව්වලින් අපට කියන්න පුළුවන්. ඒ වගේම ඔහු මොන වගේ මානසික තත්වයක ඉන්නවාද කියාත් අපට කියන්න පුළුවන්. අනෙක් අතට, ඔවුන්ටත් අප ගැන බොහෝ දේවල් වැටහෙනවා. එක් කාන්තාවක් තමන්ට කතා කිරීමට ආ සාක්ෂිකාරියක් ගැන මෙසේ කීවා. “ඇගේ සිනහමුසු මුහුණේ සන්සුන් බවක් ශාන්ත බවක් තිබුණා මට හොඳට මතකයි. මගේ හිතට ඒක තදින් කාවැදුණා.” ශුභාරංචියට කන් දෙන්න ඇයව පෙලඹ වූයේ එයයි.
2 අප පොදු ස්ථානවල සේවය කරද්දී යම් පුද්ගලයෙකුගේ මුහුණ දෙස කෙළින්ම බලනවා නම්, සාකච්ඡාවක් ආරම්භ කර සාක්ෂියක් දෙන්න පුළුවන්. එක් සහෝදරයෙක් තමන් පසු කර යන අයගේ මුහුණ දෙස කෙළින්ම බලනවා. ඉන් පසුව ඒ තැනැත්තාට සිනහවක් පා සඟරා ඉදිරිපත් කරනවා. මේ ක්‍රමයෙන් තමන්ට හමුවන අය සමඟ සුහදව කතා බහ කිරීමට ඔහුට හැකි වී තිබෙනවා වගේම පොත් පත් බොහොමයක් බෙදාදීමටත් හැකි වී තිබෙනවා.
3 අනුන්ගේ හැඟීම් වටහාගන්න: මුහුණ දෙස බලා කතා කිරීමේ තවත් වාසියක් තමයි, අනුන්ගේ හැඟීම් වටහාගැනීමට හැකිවීම. අප කී දෙයක් කෙනෙකුට තේරුම්ගන්න අමාරු නම්, හෝ ඔහු ඊට එකඟ වෙන්නේ නැත්නම්, සාමාන්‍යයෙන් එය මුහුණින් දැකගන්න පුළුවන්. පුද්ගලයා වැඩ බහුල නම් හෝ අප සමඟ කතා කරන්න තරම් ඉස්පාසුවක් ඔහුට නැත්නම්, ඒකත් ඔහුගේ මුහුණින් දැකගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ඒ අනුව අප කියන දේ සකස් කරගන්න. කෙටියෙන් කතා කරන්න. මෙයත් ඔවුන් කෙරෙහි අප උනන්දුව පෙන්වන එක් ක්‍රමයක්.
4 අවංකව හා නිසැකකමින් කතා කිරීම: බොහෝ සංස්කෘතීන්වල, කෙනෙකුගේ මුහුණ දෙස බලා කතා කිරීමෙන් කතා කරන පුද්ගලයා කියන දේ අවංකව කියන බවට සැලකෙනවා. “ගැලවීම ලැබිය හැක්කේ කාටද?” කියා යේසුස්ගේ ගෝලයන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ආකාරය ගැන බයිබලයේ මෙසේ කියැවෙනවා. “යේසුස් ඔවුන්ගේ මුහුණු දෙස බලා, ‘මිනිසුන්ට මෙය කෙසේවත් කළ නොහැක. නමුත් දෙවිට සියල්ල කළ හැකිය’ යි ඔවුන්ට පැවසීය.” (මතෙ. 19:25, 26) යේසුස් කී දේ ගැන ඔහු තුළ තිබූ නිසැකකම ඔහුගේ මුහුණෙන් ප්‍රකාශ වූ බව පැහැදිලියි. ඒ හා සමානව අපත් අනුන්ගේ මුහුණ දෙස බලා කතා කරනවා නම්, දේවරාජ්‍ය පණිවුඩය අවංකව හා නිසැකකමින් යුතුව කීමට අපිට හැකි වෙනවා නොඅනුමානයි.—2 කොරි. 2:17; 1 තෙස. 1:5.