පාඩම 13
දෘෂ්ටි සම්බන්ධය
අපගේ ඇස්වලින් ආකල්ප හා චිත්තවේගයන් පළ කෙරේ. පුදුමය හෝ බිය ඉන් අඟවන්නට පුළුවන. ඒවායෙන් දයානුකම්පාව හෝ ප්‍රේමය වුවද ප්‍රකාශ කරන්නට පුළුවන. ඇතැම් අවස්ථාවලදී, යම් සැකයක් හෝ ශෝකයක් ඇති බවටද ඇඟවිය හැක. එක්තරා මහල්ලෙක්, සෑහෙන දුකක් වින්ද තම රටේ ජනතාව ගැන අදහස් දක්වමින් පැවසුවේ මෙසේය. “අපි කතා කරන්නේ අපේ ඇස්වලින්.”
වෙනත් අය අප ගැන හෝ අප පවසන දේ ගැන නිගමනවලට එළඹිය හැක්කේ අපගේ ඇස් නාභිගත කර ඇත්තේ කොතැනද යන්න මතය. බොහෝ සංස්කෘතීන්වල තමා සමඟ සුහද දෘෂ්ටි සම්බන්ධයක් පවත්වන පුද්ගලයෙකුව විශ්වාස කිරීමට වැඩිදෙනා නැඹුරු වෙති. අනික් අතට, නිතරම තම පාද දෙස බලන හෝ තමා කතා කරන තැනැත්තා දෙස නොබලා වෙන යම් දෙයක් දෙස බලන පුද්ගලයෙකුගේ අවංකකම හා සමර්ථකම ගැන යම් සැකයක් ඇති වේ. ඇතැම් සංස්කෘතීන්වල ප්‍රබල දෘෂ්ටි සම්බන්ධයක් පවත්වාගැනීම සලකන්නේ අසංවර, අවිනීත, කලහකාරි හෝ අභියෝගාත්මක දෙයක් ලෙසය. මෙවැන්නක් විශේෂයෙන්ම සැබෑවක් වන්නේ විරුද්ධ ලිංගයේ කෙනෙකුට නැතහොත් ජන නායකයෙකුට හෝ වෙනත් නිලධාරියෙකුට කතා කරන විටදීය. ඇතැම් ප්‍රදේශවල යෞවන කෙනෙක්, වයසින් මුහුකුරා ගොස් ඇති කෙනෙකු සමඟ ඍජු දෘෂ්ටි සම්බන්ධයක් පැවැත්වුවහොත් එයද සලකන්නේ අගෞරවනීය දෙයක් හැටියටය.
කෙසේවෙතත්, කෙනෙකුව අපහසුතාවකට ලක් නොකරන ප්‍රදේශවල, වැදගත් යමක් පවසන විට පුද්ගලයෙකුගේ නෙත් දෙස බලා කතා කිරීම එසේ පවසන දේ වැඩියෙන් අවධාරණය කිරීමට උපකාරවත් විය හැක. එය කථිකයා පවසන දේ විශ්වාසයෙන් යුතුව පවසන බවට සාක්ෂියක් ලෙස සැලකීමට පුළුවන. යේසුස්ගේ ගෝලයන් ඉමහත් විස්මයකින් මෙන් “ගැළවෙන්ට පුළුවන් කාටදැයි” ඇසූ විට යේසුස් ප්‍රතිචාරය දැක්වූ ආකාරය සලකා බලන්න. බයිබලයෙහි මෙසේ සැල වේ. “යේසුස් ඔවුන් දෙස බලමින්: ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන. නුමුත් දෙවිට සියල්ලම පුළුවනැයි කීවේය.” (මතෙ. 19:25, 26, අකුරු ඇල කළේ අපය.) ප්‍රේරිත පාවුල් තම සබයෙහි සිටි අයගේ ප්‍රතිචාරයන් හොඳින් නිරීක්ෂණය කළ බව ශුද්ධ ලියවිල්ල සනාථ කරයි. පාවුල් කතා කළ එක් අවස්ථාවකදී, උපතෙන් කොරව සිටි මනුෂ්‍යයෙක් පැමිණ සිටියේය. ක්‍රියා 14:9, 10හි මෙසේ පැවසේ. “ඔහු පාවුල් කතා කරනවා ඇසුවේය. පාවුල් ඔහු දෙස ඇස් යොමා, සුවය ලබන්ට ඇදහිල්ල ඔහුට තිබෙන බව දැක: නැගිට නුඹේ පාදවලින් කෙළින් සිටින්නැයි මහත් හඬින් කීවේය.”—අකුරු ඇල කළේ අපය.
ක්ෂේත්‍ර සේවය සඳහා යෝජනා. ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වන විට ජනයා වෙත මිත්‍රශීලී හා සුහද අන්දමකින් එළඹෙන්න. උචිත වන අවස්ථාවලදී, දෙදෙනාගේ උනන්දුවට හේතුවක් විය හැකි යමක් පදනම් කරගනිමින් සංවාදයක් ඇරඹීමට අදහස් විමසන ප්‍රශ්න භාවිත කරන්න. එසේ කරන විට දෘෂ්ටි සම්බන්ධයක් පවත්වාගැනීමට උත්සාහ දරන්න. එසේ නැතහොත් අඩුම තරමින්, ගෞරවාන්විත හා කාරුණික අන්දමකින් පුද්ගලයාගේ මුහුණ දෙස බලා කතා කරන්න. දෙනෙතින් අභ්‍යන්තර ප්‍රීතියක් ඇති බවට අඟවන කෙනෙකු පාන උණුසුම් සිනහරැල්ල බෙහෙවින් සිත්ගන්නකි. ඔබේ මුහුණේ එවන් හැඟීමක් දිස් වේ නම්, ඔබ කෙබඳු පුද්ගලයෙකුද යන්න ගැන හොඳ අදහසක් එම පුද්ගලයාට ලැබෙන අතර, ඔබ දෙදෙනා සංවාදයෙහි යෙදෙද්දී ඔහුගේ බිය සැක දුරු කිරීමටද එය රුකුලක් විය හැක.
පුද්ගලයාගේ ඇස්වලින් දිස් වන හැඟීම ඔහුව අපහසුතාවට ලක් නොකර නිරීක්ෂණය කිරීමෙන්, පැනනඟින යම් තත්වයක් හැසිරවිය යුතු ආකාරය ගැන ඔබට යම් ඉඟියක් ලබාගත හැක. පුද්ගලයා සිටින්නේ කෝපයෙන් නම්, එසේ නැතහොත් ඔහු තුළ උනන්දුවක් නැත්නම්, ඇතැම්විට ඔබට එය පහසුවෙන් දැකගැනීමට පුළුවන. ඔබ කියන දේ ඔහුට නොතේරෙනවා නම් එයද තේරුම්ගත හැකි වේ. ඔහුට නොඉවසිල්ලක් ඇති වෙනවා නම් එයද නිශ්චය කිරීමට හැකි වනු ඇත. ඔහුට දැඩි උනන්දුවක් තිබෙනවා නම් එයද ප්‍රත්‍යක්ෂ වේ. අනික් අතට, ඔබ කතා කරන වේගය සකස් කළ යුතු බව, ඔහුව සංවාදයට හවුල් කරගැනීම සඳහා අමතර වෑයමක් දැරිය යුතු බව, සංවාදය නතර කර දැමිය යුතු බව එසේ නැතහොත් බයිබලය පාඩම් කරන ආකාරය නිරූපණය කර දැක්වීමට අවශ්‍යතාවක් ඇති බව ඔහුගේ ඇස්වලින් තේරුම්ගැනීමට ඔබට පුළුවන.
ඔබ ප්‍රසිද්ධියේ සාක්ෂි දරනවා වන්නට පුළුවන. එසේ නැතහොත් නිවාස බයිබල් පාඩමක් පවත්වනවා විය හැක. කවර අවස්ථාවකදී වුවත්, ඔබ කතා කරන පුද්ගලයා සමඟ ගෞරවාන්විත දෘෂ්ටි සම්බන්ධයක් පවත්වාගැනීමට උත්සාහ කරන්න. කෙසේවෙතත්, ඔහු දෙස රවා බලන්න නම් එපා. එය ඔහුව බාධාවට පත් කළ හැකිය. (2 රාජා. 8:11) ඒ වෙනුවට ඔබ අමතන පුද්ගලයා දෙසම නිතර නිතර ස්වාභාවික මෙන්ම සුහද විලසකින් බලන්න. බොහෝ රටවල ඉන් කියාපාන්නේ ඔබට අවංක උනන්දුවක් ඇති බවට වූ හැඟීමය. කෙසේවෙතත්, ඔබ බයිබලය හෝ වෙනත් පොතකින් කියවන විට, ඔබ ඇස් මුද්‍රිත පිටුවලට යොමු වනවා නොඅනුමානය. එනමුත්, එක්තරා කරුණක් අවධාරණය කිරීමට කෙටි මොහොතකට වුවත් ඒ පුද්ගලයා දෙසම බැලීම ප්‍රයෝජනවත් වේවි. කියවන අතරතුරේදී, විටින් විට ඔහු දෙස බලනවා නම්, කියවන දේට ඔහු කෙබඳු ප්‍රතිචාරයක් දක්වනවාද යන්න ඔබට නිරීක්ෂණය කළ හැකි වේ.
ඔබ තුළ යම් ලජ්ජා ගතියක් ඇති නිසා දෘෂ්ටි සම්බන්ධයක් පවත්වාගැනීම ඔබට අසීරු යමක් සේ පෙනේ නම්, ඔබේ උත්සාහය අත් නොහැරීමට වගබලා ගන්න. අත්නෑර උත්සාහ කළහොත් දෘෂ්ටි සම්බන්ධයක් පවත්වාගැනීම ස්වාභාවිකව සිදු වන දෙයක් බවට පත් වන අතර, අන් අය සමඟ අදහස් බෙදාගැනීමේදී ඔබේ දක්ෂතාව වැඩි වර්ධනය වනු ඇත.
කතාවක් දෙන විටදී. යේසුස් සිය කන්ද උඩ දේශනාව ආරම්භ කරන්නට පෙර ‘ඔහු තම ගෝලයන් දෙසට ඇස් එසවූ’ බව බයිබලය අපට පවසයි. (ලූක් 6:20) එසේ නම්, ඔහුගේ ආදර්ශයෙන් ඉගෙනගන්න. ඔබ කණ්ඩායමක් ඉදිරියෙහි කතා කරන්නට යනවා නම්, ඔවුන් ඉදිරියෙහි පෙනී සිට කතාව ආරම්භ කරන්නට පෙර තත්පර කිහිපයකට ඔවුන් දෙස බලන්න. බොහෝ ප්‍රදේශවල සබයේ සමහරදෙනෙකු දෙස පමණක් බැලීම මීට ඇතුළත් වේ. මදකට මෙලෙස කතාව ප්‍රමාද කර එක් එක්කෙනා දෙස බැලීම මුලින් දැනෙන චකිතය යටපත් කරගැනීමට ඉවහල් විය හැක. අනික් අතට ඔබේ මුහුණෙන් දිස් වන ආකල්පය හෝ හැඟීමට අනුව සකස් වීමට අවස්ථාවක් ඉන් සබයටද ලැබේ. මීට අමතරව, එසේ කිරීමෙන් ඔබේ සබයට ඔවුන්ගේ සිතුවිලි එකලස් කොට, ඔබට ඔවුන්ගේ පූර්ණ අවධානය දීමට සූදානම් වීම සඳහා අවකාශ සැලසේ.
කතාව දෙන අතරතුරේදී, සබය දෙස බලන්න. සබය දෙස බලන විට සමස්තයක් ලෙස සමූහයක් දකින්න එපා. ඒ සබය තුළ සිටින පුද්ගලයන් දෙස බැලීමට උත්සාහ දරන්න. හැම සංස්කෘතියකම පාහේ ප්‍රසිද්ධ කථිකයෙකුගෙන් අපේක්ෂා කරන දෙයක් නම්, යම් ආකාරයක දෘෂ්ටි සම්බන්ධයක් පවත්වාගැනීමය.
සබය දෙස බැලීම යන්නෙන් අදහස් කරන්නේ ඔබේ ඇස් සබයේ එක් කොනක සිට තවත් කොනක් දක්වා විහිදීම පමණක් නොවේ. සබයේ සිටින ඇතැම් අය දෙස ගෞරවාන්විත ලෙස බලා දෘෂ්ටි සම්බන්ධයක් ඇති කරගන්න. යෝග්‍ය නම්, ඒ පුද්ගලයාට එක වාක්‍යයක්ම කියන්න. ඉන්පසුව, තවත් කෙනෙකු දෙස බලන්න. ඒ පුද්ගලයාටද තව වාක්‍යයක් දෙකක් පවසන්න. කෙසේවෙතත්, කෙනෙකුට අපහසුතාවක් දැනෙන තරමට ඔහු දෙස දිගටම බලා සිටීමෙන් වැළකී සිටින්න. අනික් අතට ඔබ මතක තබාගත යුතු කරුණක් නම් මුළු සබයේ කිහිපදෙනෙකු සමඟ පමණක් දෘෂ්ටි සම්බන්ධයක් පවත්වාගැනීමෙන්ද ඔබ වැළකී සිටිය යුතු බවයි. මුළු සබය ඔබේ මෙම ක්‍රියාවට සම්බන්ධ කරගන්න. පුද්ගලයෙකුට කතා කරද්දී, ඔහුටම කතා කරන්න. ඊළඟට වෙනත් පුද්ගලයෙකු වෙත යොමුවීමට පෙර, ඔහුගේ ප්‍රතිචාරය සැලකිල්ලට ගන්න.
කතාව දෙන අතරතුරේදී ඔබේ සටහන් දෙසත් බැලීම පහසු කරවීම සඳහා ඔබේ සටහන් කථික පුවරුවේ, ඔබේ අතෙහි නැතහොත් බයිබලයෙහි තබාගැනීම යෝග්‍යය. එවිට එක බැල්මකින් ඒවා දෙස බැලීමට හැකි වේ. ඔබේ සටහන් දෙස බැලීමට මුළු හිසම පහතට නමන්නට සිදු වේ නම්, සබය සමඟ ඇති ඔබේ දෘෂ්ටි සම්බන්ධය බාධාවට පත් වනු ඇත. ඔබේ සටහන් දෙස ඔබ කොතරම් වාර ගණනක් බලනවාද යන්න ගැනත්, බලන්නේ කවර අවස්ථාවලදීද යන්න ගැනත් සැලකිලිමත් විය යුතුය. කතාවේ උච්චාවස්ථාවකට පැමිණෙන මොහොතේදී ඔබේ සටහන් දෙස බලමින් සිටිනවා නම්, ඔබේ සභාවේ ප්‍රතිචාරය දැකගැනීමට ඔබ අපොහොසත් වනවා පමණක් නොව, ඔබේ ඉදිරිපත් කිරීමේ බලගතුකම යම් දුරකට දුර්වල වනු ඇත. එමෙන්ම, නිතරම ඔබේ සටහන් දෙස බැලීමට සිදු වේ නම්, සබය සමඟ ඔබේ දෘෂ්ටි සම්බන්ධයද නැති වේ.
කෙනෙකුට පන්දුවක් යොමු කරන විට ඔහු එය රැකගත්තාද කියා ඔබ නිරීක්ෂණය කරනු ඇත. සමානාකාරයෙන් ඔබේ කතාවේ සෑම අදහසක්ම සබය වෙත එල්ල කරන පන්දුවක් මෙනි. එය “අල්ලාගත්තාද” යන්න දැකගත හැක්කේ ඔවුන්ගේ ප්‍රතිචාරයෙනි. සමහරවිට, හිස සෙලවීමකිනි. සිනහවක් පෑමෙනි. එසේ නැතහොත් සාවධාන ඉරියව්වක් පවත්වාගැනීමෙන් එවැන්නක් දිස් වේ. එසේ නම්, ඔබ හොඳ දෘෂ්ටි සම්බන්ධයක් පවත්වාගෙන යනවා නම්, ඔබ ඉදිරිපත් කරන අදහස් හොඳින් “අල්ලාගන්නවා” යන කාරණය තහවුරු කරගත හැකි වේ.
සභාව ඉදිරියෙහි කියවීමේ පැවරුමක් ලැබුවොත්, කියවන විට සබය දෙස බැලීමට ඔබ උත්සාහ කළ යුතුද? ඔබේ බයිබල් කියවීමේදී සබයේ සිටින අය ඔවුන්ගේ බයිබල් දෙස බලාගෙන සිටිනවා නම්, ඔවුන් දෙස ඔබ බලනවාද නැද්ද යන්න වැඩිදෙනාගේ අවධානයට හසු වන්නේ නැත. කෙසේවෙතත්, සබය දෙස බැලීම ඔවුන්ගේ ප්‍රතිචාරය දැකගැනීමට ඔබ හට ඉඩ සලස්වන බැවින්, ඔබේ කියවීම ප්‍රාණවත් කරයි. තවද සබයේ සමහරදෙනෙකු බයිබලය භාවිත නොකරමින් සිටිනවා විය හැක. එසේ නැතහොත් ඔවුන්ගේ සිත එහෙ මෙහෙ දුවනවා වෙන්නට පුළුවන. එවන් අවස්ථාවකදී කථිකයා දෘෂ්ටි සම්බන්ධයක් පවත්වාගන්නවා නම්, කියවනු ලබන දේ වෙත නැවතත් ඔවුන්ගේ අවධානය යොමු කිරීමට එය මහෝපකාරි විය හැක. කෙසේවෙතත්, කියවන අතරතුරේදී ඔබේ කියවීමට බාධා වන ලෙස සබය දෙස නොබලන්න. ඔබ ඔවුන් දෙස බැලිය යුත්තේ කෙටි මොහොතකට පමණි. එමනිසා, හොඳම දේ ඔබේ බයිබලය අතට ගෙන, හිස ඔසවා තබාගැනීමයි. කියවද්දී හිස පහත් කර සිටීමෙන් වළකින්න.
ලේඛනයකින් සමුළු කතාවක් ඉදිරිපත් කිරීමට වැඩිමහල්ලන්ට කලින් කලට අවස්ථාව ලැබේ. මෙය සාර්ථකව ඉදිරිපත් කිරීමට නම් අද්දැකීම් ලැබීමත්, පරෙස්සමින් සූදානම් වීමත්, හොඳට පෙරහුරු වීමත් අත්‍යවශ්‍යය. ලේඛනයක් භාවිත කරනු ලබන විට, සබය සමඟ දෘෂ්ටි සම්බන්ධය යම් දුරකට සීමා වන බව මතක තබාගත යුතුය. එනමුත්, කථිකයා හොඳින් සූදානම් වී ඇත්නම්, කියවන ස්ථානය වරද්දන්නේ නැතුව විටින් විට සබය දෙස බැලීමට හැකියාව ඔහුට තිබිය යුතුය. මෙසේ කිරීම සබයේ අවධානය යොමු කරවා තබාගැනීමටත්, ඉදිරිපත් කරනු ලබන ආත්මික උපදෙස්වල හරයෙන් උපරිම ප්‍රයෝජන නෙළාගැනීමටත් මඟ උදා කරයි.