ඔවුන්ගේ ඇදහිල්ල ආදර්ශයට ගන්න
1 වර්ෂ 1937දී පූර්ණ කාලීන සේවයේ තවත් අංගයක වැඩ ඇරඹුණා. ඒ තමයි, විශේෂ පුරෝගාමි සේවය. දේවසේවයේ අද්දැකීම් ලත් පුරුෂයන් හා කාන්තාවන් ඉතා කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා සංවිධානය විසින් ඉල්ලා සිටින ඕනෑම තැනකට ගොස් සේවය කිරීමට. දැන් දශක කිහිපයකට පසු, අපි දකින්නේ කුමක්ද? දිගටම විශේෂ පුරෝගාමීන් දක්වා තිබෙන ඇදහිලිවන්ත ආදර්ශයයි. ඔවුන්ගේ එම ආදර්ශය ඇත්තටම අපි විසින් අනුකරණය කළ යුතුයි.—හෙබ්‍රෙ. 6:12.
2 පෙරමුණ ගෙන: මුල් අවදියේ මෙම විශේෂ පුරෝගාමීන් සේවය කළේ සභාවල් තිබූ විශාල නගරවලයි. ඔවුන් කළේ ගෙවැසියෙකුගේ දොරකොඩ අසලට ගොස් තැටිගත කළ බයිබල් කතාවක් වාදනය කිරීමයි. තවද නැවත බැලීම්වලදීද මේ ක්රමයම යොදාගත්තා. පසුව, විශේෂ පුරෝගාමීන්ව දේශනාකරුවන් වැඩියෙන් අවශ්‍ය ප්‍රදේශවලට යවනු ලැබුවා. උනන්දුව දැක්වූ හැම කෙනෙකුවම ගොස් හමු වී, ඔවුන් සමඟ බයිබල් පාඩම් පැවැත්වුවා. මේ උත්සාහය නිසා සභාවන් සිය ගණනක් පිහිටුවීමට හැකි වුණා. ඇත්තටම අද අපි දකින සංවිධානයේ වර්ධනයට බොහෝ සෙයින් දායක වුණේ ඔවුන්ගේ මේ නොපසුබස්නා උත්සාහයයි. (යෙසා. 60:22) මේ අනුව විශේෂ පුරෝගාමීන් “අහසින් යට මුළු මැවිල්ලෙහි” ශුභාරංචිය පතළ කිරීමට මහත් වෑයමක් දැරුවා.—කොලො. 1:23.
3 අනුකරණය කිරීමට වටී: ඇතැම් විශේෂ පුරෝගාමීන් දශක ගණනාවක් පුරා පූර්ණ කාලීන සේවය කර තිබෙනවා. දෙවිට ලැදි මේ පුරුෂයන් හා කාන්තාවන් ඔවුන් සේවය කළ වසර ගණනාව පුරා විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් තම ඇදහිල්ල ශක්තිමත් කරගෙන තිබෙන බවට සැකයක් නැහැ. (1 පේතෘ. 1:6, 7) සැප පහසුකම් අත්හැර, විශේෂ අවශ්‍යතා ඇති ප්‍රදේශවලට ගොස් සේවය කිරීමට ඔවුන් කැමති වී තිබෙනවා. දැන් වයස්ගත වී සිටින සමහරක් දෙනා, එතරම් හොඳ සෞඛ්‍යයක් ඇතිව නොවෙයි ජීවත් වෙන්නේ. සමහරවිට ඔවුන් වෙනත් අසීරු අභියෝගවලට මුහුණ දෙනවා විය හැකියි. (2 කොරි. 4:16, 17) එහෙත්, ඔවුන් “මහලු වයසේදී සපල වෙමින් සාරවත් වන්නෝය.” (ගීතා. 92:15) යෙහෝවා දෙවි කෙරෙහි දැඩි සේ විශ්වාස කරන ඔවුන්ට දෙවිගේ ආශීර්වාද තිබෙනවා.—ගීතා. 34:8; හිතෝ. 10:22.
4 ඇත්තෙන්ම, විශේෂ පුරෝගාමීන්ට අපේ උණුසුම් ප්‍රශංසාව හිමි විය යුතුයි. ඔබේ සභාවේ විශේෂ පුරෝගාමීන් සිටිනවා නම්, ඔවුන් සමඟ යම් කාලයක් ගත කිරීමටත් ඔවුන්ගේ අද්දැකීම්වලින් යමක් ඉගෙනගැනීමටත් උත්සාහ කරන්න. ඔවුන් විශ්වාසවන්තව දෙවිට කරන සේවය ගැන ඔබේ අගය ඔවුන්ට ප්‍රකාශ කරන්න. ඔවුන්ගේ ස්ථිරභාවය දැක ඉන් ශක්තියක් ලබාගන්න. ඔවුන්ගේ ඇදහිල්ල ආදර්ශයට ගන්නා සියල්ලන්ටම යෙහෝවාගේ අනුමැතියද ආශීර්වාදද දිනාගත හැකියි. මන්ද “විශ්වාසවන්තව ක්‍රියා කරන්නා ඔහුට ප්‍රසන්නය.”—හිතෝ. 12:22, NW.