හොඳ පුරුදු ඇති කරගෙන, මහඟු ආශීර්වාද නෙළාගන්න
1. නමස්කාරයට සම්බන්ධ දේවල්වල අප හවුල් වන ආකාරය ගැන සෝදිසි කර බැලීම වැදගත් ඇයි?
1 ඔබ ක්‍රිස්තියානියෙකු බවට පත් වූ අවස්ථාවේදී, බයිබලය පාඩම් කිරීම, රැස්වීම්, ක්ෂේත්‍ර සේවය සහ යාච්ඤාව වැනි දේවල් ඔබේ ජීවිතයේ පුරුද්දක් කරගැනීමට මහත් වෑයමක් ගන්න ඇති. ඔබේ වෑයමට යෙහෝවා දෙවි ආශීර්වාද කළ නිසා ඔබට සත්‍යය තුළ දියුණු වීමට හැකි වුණා. සමහරවිට දැන් ඔබ බව්තීස්ම වී වසර කිහිපයක් ගත වී ඇති. ඔබ බයිබලය පාඩම් කරන කාලයේදී තිබූ ඒ හොඳ පුරුදු තවමත් ඔබට තිබෙනවාද?
2. දිනපතා බයිබලය කියවීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?
2 ඔබගේ තත්වය කෙසේද?: ඔබ දිනපතා බයිබලය කියවනවාද? ඇත්තෙන්ම එසේ කිරීමෙන් මොන තරම් ආශීර්වාද නෙළාගන්න පුළුවන්ද! (යෝෂු. 1:8, ගීතා. 1:2, 3) ඉපැරණි ඊශ්‍රායෙලයේ, සෑම රජ කෙනෙකුටම දෙවිගේ නීතියේ පිටපතක් තමන්ටම හදාගෙන “තමාගේ ජීවිතයේ සියලු දවස්වල” කියවන්නට තිබුණා. ප්‍රයෝජන? යටහත් පහත් සිතක් ඇති කරගෙන යෙහෝවා කෙරෙහි රඳා පැවත ඔහුගේ අණ පණත්වලින් පිට නොයා ජීවත් වීමට ඉන් හැකි වුණා. (ද්වි. 17:18-20) ඒ හා සමානව අදත්, දිනපතා බයිබලය කියවන අපට මේ දූෂිත ලෝකයේ නිර්දෝෂීව අවංකව ජීවත් වෙන්න හැකිකම ලැබෙනවා. ඒ වගේම අපේ දේවසේවයට හොඳින් සූදානම්ව සිටින්නත් හැකි වෙනවා.—ෆිලි. 2:15; 2 තිමෝ. 3:17.
3. නිතිපතා රැස්වීම්වලට සහභාගි වීමෙන් අපට ලැබෙන ආශීර්වාද මොනවාද?
3 ශුද්ධ ලියවිලි සාකච්ඡා කෙරෙන සිනගෝගයට යෑමේ පුරුද්දක් යේසුස්ට තිබුණා. (ලූක් 4:16) මේ නිසා තමන් විඳින්නට සිටි පරීක්ෂාවලට සාර්ථකව මුහුණ දෙන්නට යේසුස්ට ශක්තිය ලැබුණු බව නිසැකයි. අපටත් එසේම ශක්තිමත් වෙන්නට පුළුවන්. ඒ, සභා රැස්වීම්වලින් අපට ලැබෙන උපදෙස්වලින් හා අප ලබාගන්නා “අන්‍යෝන්‍ය දිරිගැන්වීම” මගිනුයි. (රෝම 1:12) අප සහෝදරයන් සමඟ නිරතුරුවම එක් රැස් වෙනවා නම්, මේ අන්තිම දවස්වල තිබෙන දුෂ්කරතා විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය අපට ලැබෙන බව නිසැකයි. (හෙබ්‍රෙ. 10:24, 25) එසේනම්, සියලුම රැස්වීම්වලට සහභාගි වීමේ පුරුද්ද ඔබටත් තිබෙනවාද?
4. සතිපතා ක්ෂේත්‍ර සේවයේ යෙදීමෙන් අපට ප්‍රයෝජන ලැබෙන්නේ කෙසේද?
4 යේසුස්ගේ මුල් ගෝලයන් “දිනපතා දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත්” දේවරාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කළ බව අපට බයිබලයේ පවසනවා. (ක්‍රියා 5:42) අපට දිනපතා දේශනා සේවයේ යෙදීමට බැරි වෙන්න පුළුවන්. නමුත් සෑම සතියකම දේවසේවය තුළ යම් ආකාරයකින් නිරත වෙන්න අපට පුළුවන්ද? එසේ කරනවා නම්, අපට දෙවිගේ වචනය හොඳින් කියා දෙන්නට හැකි වේවි. ඒ වගේම දිරිගන්වනසුලු අද්දැකීම්ද අපට ලැබේවි.
5. යෙහෝවා දෙවිට නිතිපතා යාච්ඤා කිරීම ඉතා වැදගත් වෙන්නේ ඇයි?
5 අනාගතවක්තෘ දානියෙල් තම ජීවිත කාලය පුරාම “අත්නෑර” යෙහෝවා දෙවිට සේවය කරමින් මහඟු ආශීර්වාද නෙළාගත්තා. ඔහු නිතිපතා පුරුද්දක් හැටියට යෙහෝවාට යාච්ඤා කළා. (දානි. 6:10, 16, 20) අපත් එසේම යෙහෝවාට මුළු හදින්ම යාච්ඤා කරනවා නම්, ඔහු සිය බලය දෙමින් අපට ආශීර්වාද කරනවා ඇති. (ලූක් 11:9-13) ඒ හැම දේකටම වඩා, යෙහෝවා දෙවිද අපට ළං වී, අපට දෙවි සමඟ ඉතා කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳින්න හැකියාව ලබා දේවි! (ගීතා. 25:14; යාකො. 4:8) මොන තරම් මහඟු ආශීර්වාදයක්ද! එමනිසා, අප සියලුදෙනාම හොඳ පුරුදු ඇති කරගනිමු. ඒ මගින් යෙහෝවා දෙවිගේ ආශීර්වාද නෙළාගනිමු.
[පාඩම් ලිපියේ ප්‍රශ්න]