ගෘහමූලිකයෙනි—හොඳ ආත්මික දිනචර්යාවක් පවත්වාගන්න
1 රූප නමස්කාරයෙන් හා දූෂණයෙන් ගහන වූ බබිලෝනියේ දශක ගණනක් ජීවත්ව සිටියද, දානියෙල් නම් දරා සිටියේ යෙහෝවාට ‘නොකඩවා’ [නිරතුරුව, NW] සේවය කළ අයෙකු ලෙසය. (දානි. 6:16, 20) ඔහු තම ආත්මිකත්වය පවත්වාගත්තේ කෙසේද? සැබෑ නමස්කාරයට සම්බන්ධ ක්‍රියාකාරකම් ඉටු කිරීම සඳහා ඔහුට ක්‍රමවත් දිනචර්යාවක් තිබුණු බව බයිබල් වාර්තාව අඟවයි. නිදසුනකට, ඔහු තම උඩුමහලේ කාමරයේ සිට පුරුද්දක් ලෙස දිනකට තුන් වරක් යාච්ඤා කළේය. (දානි. 6:10) නීති සංග්‍රහය කියවීම වැනි වෙනත් ආත්මික ක්‍රියාකාරකම් සඳහාද ඔහු යම් ක්‍රියා පටිපාටියක් අනුගමනය කළ බවට සැකයක් නැත. ප්‍රතිඵලයක් ලෙස, තම ජීවිතය අවදානමෙහි හෙළූ පරීක්ෂාවකට මුහුණ දුන් විට දානියෙල් යෙහෝවාට නොසැලෙන භක්තියක් විදහාපෙන්වූ අතර, ඔහුට ආශ්චර්යවත් ගැලවීමක් ලැබිණ.—දානි. 6:4-22.
2 ඒ හා සමානව අදදින සිටින අප ඉමහත් වෑයමක් දරමින් ‘නිරතුරුව අවදිව සිටිය’ යුතුය. (එපී. 6:18, NW; [6:20, පැ. අ.]) අප ජීවත් වන මෙලොව ‘නපුරා තුළ’ පවතී. (1 යොහ. 5:19) විරුද්ධවාදීකම් හෝ පරීක්ෂා ක්ෂණිකව ඉස්මතු වී අපගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් කළ හැකිය. මහත් පීඩාවේදී මාගොග්හි ගොග් විසින් මහා පරිමාණයෙන් දියත් කරනු ලබන ප්‍රහාරයේ කුරුමානම දෙවිගේ සේවකයන් වනු ඇත. එම අවස්ථාවේදී දෙවිගේ සේවකයන් අන්ත අසරණ තත්වයක සිටිනු ඇතැයි කාටත් පෙනී යා හැක. මෙවැනි අවස්ථාවකදී යෙහෝවා කෙරෙහි මුළුමනින්ම විශ්වාසය තැබීම කොතරම් වැදගත් වනු ඇද්ද!—එස. 38:14-16.
3 ‘වැදගත් සාධකයක් නම්, පවුලක් වශයෙන් ඵලදායී ලෙස බයිබලය කියවීම, පවුලේ පාඩමක් කිරීම හා ආත්මික සාකච්ඡාවන් කිරීම එදිනෙදා ජීවිතයේ කොටසක් කරගැනීමයි.’ වර්ෂ 1998දී දිස්ත්‍රික් සමුළුවේ “පවුල් සාමාජිකයෙනි—දිනපතා බයිබල් කියවීම ඔබේ ජීවිතය සඳහා මඟ කරගන්න!” යන මැයින් රඟ දැක්වූ නාට්‍යයේ හැඳින්වීමේ මෙවැනි අදහසක් පළ විය. එහි තවදුරටත් මෙසේ පවසන ලදි. ‘පවුල එවැනි වැඩසටහනක් නිතිපතා ක්‍රියාත්මක කරන විට බයිබල් චරිත හා සිද්ධීන් හරියට ඇස් පණාපිටම සිදු වන්නා සේ දැනෙන අතර බයිබලය යොදාගෙන පුරුද්දක් හැටියට මෙය කිරීමෙන් පවුල කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති වේ. එය අපගේ දැනුම වර්ධනය කරයි. අපගේ ඇදහිල්ල ශක්තිමත් කරයි. එය අපට හොඳ ආදර්ශයනුත් සපයයි. එනම් සත්‍යය වෙනුවෙන් ස්ථිරව සිටීමට අපව පොලඹවමින් අපට ඉමහත් දිරියක් දිය හැකි බෙහෙවින් ඇදහිලිවන්තව සිටි ස්ත්‍රීන් සහ පුරුෂයන්ගේ ආදර්ශ එයින් අපට සැපයේ.’ යහපත් ආත්මික දිනචර්යාවක විවිධ අංගයන් මෙතැන් සිට සලකා බලමු. එසේ කරන අතරතුරේදී ගෘහමූලිකයන්ට තම පවුලේ ආත්මික වැඩසටහන වැඩිදියුණු කරගත හැකි ක්‍රමයක් හෝ දෙකක් ගැන සැලකිලිමත් විය හැක.
4 දේවවචනය දිනපතා අධ්‍යයනය කරන්න: “කිසිම විරුද්ධවාදියෙකුගේ බලපෑමක් නැතුව දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී හා ඔහුගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ඉටු වෙද්දී, නපුරු මිනිසුන්ගෙන් හෝ සතුන්ගෙන් හෝ ‘කිසිම අනතුරක්වත් විනාශයක්වත් සිදු වන්නේ නැත.’ (යෙසා. 11:9; මතෙ. 6:9, 10)” මෙම වදන් පළ වූයේ දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම—2001 යන පොත් පිංචයේ සැප්තැම්බර් 11වනදාට නියමිත දිනපදය යටතේ සපයා ඇති විස්තරයේය. එදින ලැබූ එම සිහිගැන්වීමෙන් මොනතරම් සැනසීමක් ලැබෙන්නට ඇද්ද! ගෘහමූලිකයෙකු ලෙස ඔබේ පවුල සමඟ දිනපදය සහ අදාළ විස්තරය කියවා සාකච්ඡා කිරීමේ දෛනික පුරුද්ද ඔබට තිබෙනවාද? එසේ කරන්නේ නම් එයින් නෙළාගත හැකි ප්‍රයෝජන අපමණය. මෙය එකට ඉඳ උදෑසන වරුවේ සාකච්ඡා කිරීමට නොහැකි නම්, දවසේ වෙනයම් අවස්ථාවක එසේ කිරීමට පුළුවන. එක් පියෙකු පැවසුවේ මෙසේය. “දිනපතා බයිබල් පදයක් සාකච්ඡා කිරීමට රෑ කෑම කන වෙලාව අපට හොඳ අවස්ථාවක්.”
5 පවුලක් වශයෙන් දිනපදය සාකච්ඡා කිරීමේදී ඔබ දැනටමත් හොඳ දිනචර්යාවක් අනුගමනය කරනවා නම්, එය පැසසිය යුත්තකි. තවදුරටත් ප්‍රයෝජන ලබාගැනීම සඳහා එම අවස්ථාවේදී බයිබලයෙන් කොටසක් කියවිය හැක. සමහරුන්ගේ පුරුද්ද වන්නේ දිනපදය රැගත් බයිබල් පදයට අදාළ මුළු පරිච්ඡේදයම කියවීමයි. තවත් සමහරු දිනපතා යම් පිළිවෙළකට බයිබල් කොටස් කියවති. ප්‍රතිඵලයක් ලෙස බයිබලයේ එක්තරා පොතක් ක්‍රමානුකූලව කියවා නිම කරනු ලැබේ. දිනපතා බයිබලය කියවීම මගින් යෙහෝවාව අසතුටු කිරීමට හිතකර බියක් ප්‍රවර්ධනය කරගැනීමට ඔබේ පවුලට හැකි වන අතරම, ඔහුගේ කැමැත්ත කිරීමට ඇති ඔවුන්ගේ ආශාවද තවත් ගැඹුරු කරනු ඇත.—ද්වි. 17:18-20.
6 ඔබේ පවුලේ බයිබල් කියවීමේ සහ දිනපදය සාකච්ඡා කිරීමේ වැඩසටහනෙන් තවත් ප්‍රයෝජන නෙළාගත හැකි වන්නේ එම තොරතුරුවල ප්‍රායෝගික වටිනාකම ගැන සාකච්ඡා කිරීමට විනාඩි කිහිපයක් මිඩංගු කරගැනීමෙනි. සේවා පාසැල් පාඩම් පොතෙහි 60වන පිටුවෙහි මෙම යෝජනාව ඇතුළත් කර තිබේ. “සතියට නියමිත බයිබල් කියවීමෙන් පද කිහිපයක් තෝරා, ඒවායෙහි තේරුම සාකච්ඡා කර මෙවැනි ප්‍රශ්න ඇසීමට ඔබට පුළුවන. ‘මෙය අපට මඟ පෙන්වීමක් ලබා දෙන්නේ කෙසේද? මෙම බයිබල් පද ක්ෂේත්‍ර සේවයෙහි භාවිත කළ හැක්කේ කෙසේද? යෙහෝවා ගැන හා ඔහු යම් දේවල් කරන ආකාරය ගැන ඒවායින් අපට එළිදරව් වන්නේ මොනවාද? ඔහු කෙරෙහි අපගේ අගය එයින් ගොඩනැඟෙන්නේ කෙසේද?’” ආත්මික තලයක පවත්වන මෙවැනි සංවාදයන් ඔබේ පවුලට ‘යෙහෝවාගේ කැමැත්ත කුමක්ද කියා තේරුම්ගැනීමට’ මහෝපකාරී වේ.—එපී. 5:17.
7 පවුලේ පාඩම: ආත්මික දේවලට මුල් තැන දෙන බව ගෘහමූලිකයන් විසින් තම දරුවන්ට පෙන්විය හැකි කදිම ක්රමයකි සතිපතා අඛණ්ඩව පවුලේ පාඩම පැවැත්වීම. එක් තරුණයෙක් මෙසේ සිහිපත් කරයි. ‘සමහර දවස්වල තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකොට කොච්චර මහන්සිද කියනවා නම් එයාගේ ඇස් දෙක ඇරගෙන ඉන්න අමාරුයි. කොහොම වුණත්, පාඩම කරගෙන ගියා. ඒක අපිට උපකාර කළා පවුලේ පාඩම කොච්චර වැදගත් දෙයක්ද කියලා තේරුම්ගන්න.’ මෙම විධිවිධානයේ සාර්ථකත්වයට දරුවන්ගේ දායකත්වයද සඳහන් කිරීම වටී. දරුවන් නවදෙනෙකුගෙන් යුත් එක් පවුලක් තම පවුලේ පාඩම පැවැත්වීම සඳහා උදේ පහට අවදි වූයේ වෙන වේලාවක් ඒ සඳහා මිඩංගු කරගත නොහැකි වූ නිසාය.
8 පවුලේ පාඩම ඵලදායී වීමට නම්, ගෘහමූලිකයා ‘තම ඉගැන්වීම ගැන නිරතුරු අවධානයකින් සිටිය’ යුතුය. (1 තිමෝ. 4:16, NW) සේවා පාසැල් පාඩම් පොතේ 32වන පිටුවෙහි මෙසේ සඳහන් වේ. “පවුලේ පාඩමක් පැවැත්වීමේ කාර්යය ඵලදායී වන්නේ ඔබ ඔබේ පවුලේ තත්වය හොඳට අධ්‍යයනය කළහොත් පමණි. එමනිසා, ඔබේ කාර්යය ඇරඹෙන්නේ මෙම අධ්‍යයනය සමඟිනි. . . . ඔබේ පවුලේ සාමාජිකයන් ආත්මික ලෙස ලබන්නේ කෙබඳු ප්‍රගතියක්ද? . . . ඔබේ දරුවන් සමඟ ක්ෂේත්‍ර සේවයෙහි නිරත වන විට, ඔවුන්ගේ පාසැල් මිතුරු මිතුරියන් ඉදිරියෙහි තමන් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු කියා හඳුන්වා දීමට අදිමදි කරනවාද? පවුලක් වශයෙන් බයිබලය කියවන විට හෝ අධ්‍යයනය කරන විට, ඔවුන් එයට සහභාගි වන්නේ සතුටින්ද? ඔවුන් ඇත්තටම ඔවුන්ගේ ජීවිත මාර්ගය යෙහෝවාගේ මාර්ගයන්ට අනුව සකස් කරමින් සිටිනවාද? මේ සම්බන්ධයෙන් හොඳ නිරීක්ෂකයෙකු වන්න. එවිට, පවුලේ සෑම සාමාජිකයෙකු තුළම කවර ආත්මික ගුණාංග ඇති කළ යුතුද කියාත්, තවත් ගොඩනැඟිය යුත්තේ කුමන ඒවාද කියාත් ගෘහමූලිකයෙකු ලෙස ඔබට පෙනී යාවි.”
9 සභා රැස්වීම්: සභා රැස්වීම්වලට සූදානම් වීම සහ ඒවාට සහභාගි වීම ඔබේ සතිපතා දිනචර්යාවේ වැදගත් අංගයක් විය යුතුය. (හෙබ්‍රෙ. 10:24, 25) ඇතැම් අවස්ථාවලදී පවුලක් ලෙස සමහරක් රැස්වීම්වලට සූදානම් වීමට ඉඩ කඩ තිබිය හැක. අන්තිම මොහොත තෙක් සිටිනවා වෙනුවට, කල්තියාම හොඳින් සූදානම් වීමට කටයුතු කරන්නට ඔබට පුළුවන්ද? ඔබේ සූදානම් වීමේ ගුණය ඔප්නැංවීමටත්, රැස්වීම්වලින් වැඩිපුර ප්‍රයෝජන නෙළාගැනීමටත් ක්‍රමවත් දිනචර්යාවක් මහෝපකාරී වනු ඇත.—හිතෝ. 21:5.
10 ඵලදායී ආත්මික දිනචර්යාවක අනිවාර්ය අංග ලෙස හොඳ ගුණයක් තිබීම සහ අඛණ්ඩව කරගෙන යෑම දැක්විය හැක. ඔබේ තත්වයන් නිසා සියලුම රැස්වීම් සඳහා සූදානම් වීම ඔබට අපහසු නම් කුමක් කිව හැකිද? සේවා පාසැල් පාඩම් පොතේ 31වන පිටුවේ මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. “කෙසේ හෝ සූදානම් කළා කියා කීමට ඒ තොරතුරු උඩින් පල්ලෙන් බැලීමේ උගුලට හසු වන්න එපා. එසේ නැතහොත් කාල වේලා නැති නිසා කොහොමටවත් අධ්‍යයනය නොකිරීමේ උගුලටද හසු වෙන්න එපා. ඒ වෙනුවට, ඔබට ඉඩ සැලසෙන හැටියට කොතරම් ප්‍රමාණයක් අධ්‍යයනය කළ හැකිදැයි තීරණය කොට, ඒ කොටස හොඳින් අධ්‍යයනය කරන්න. මෙය සතිපතාම කරන්න. කල් යත්ම, ඔබට අධ්‍යයනය කළ හැකි එම ප්‍රමාණයට වෙනත් රැස්වීම්වල කොටස්ද ඇතුළත් කරගැනීමට දැඩි ප්රයත්නයක් දරන්න.”
11 පවුල් කල් වේලා ඇතුව රැස්වීම්වලට පැමිණෙන විට යෙහෝවාට ප්‍රශංසා කිරීමටත්, ඔහු සපයන උපදෙස්වලින් ප්‍රයෝජන ලබාගැනීමටත් හැකි වන පරිදි ඔවුන්ගේ මනස් හොඳින් සකස් කරගන්නට එය උපකාරයක් වෙයි. ඔබේ පවුලට මෙම පුරුද්ද තිබෙනවාද? හොඳින් සැලසුම් කිරීම හා පවුලේ සියලුදෙනාගේම සහයෝගය ඒ සඳහා අවශ්‍යය. රැස්වීම් පවත්වන දිනවලදී ඔබේ පවුලට මහත් වෙහෙසක් හා පීඩනයක් දැනෙන බව ඔබට නිතරම පාහේ හැඟෙනවා නම්, ඔබේ දිනචර්යාවේ යම් සකස් කිරීමක් කළ හැකිද? කල් වේලා ඇතුව නිම කළ හැකි දේවල් තිබෙනවාද? පවුලේ එක සාමාජිකයෙකුට සෑහෙන වැඩ තොගයක් තිබෙනවා නම්, අනික් සාමාජිකයන්ට යම් සහයෝගයක් දිය හැකිද? සියලුමදෙනා සාමාන්‍යයට වඩා විනාඩි කිහිපයකට කලින් රැස්වීම්වලට යන්නට සූදානම් වී සිටීමෙන්, දැනෙන වෙහෙස අඩු කරගත හැකිද? දේවල් හොඳින් සැලසුම් කරනවා නම්, පවුල තුළ හා සභාව තුළ සාමකාමී වාතාවරණයක් ජනිත කිරීමට එය දායක වේ.—1 කොරි. 14:33, 40.
12 ක්ෂේත්‍ර සේවය: හොඳ ආත්මික දිනචර්යාවකට අයත් වන තවත් දෙයක් නම් දේවසේවයෙහි හවුල් වීම සඳහා නිශ්චිත වේලාවන් නියම කිරීමය. ජේසන් නමැති තරුණයෙක් මෙසේ සිහිපත් කරයි. “මගේ පවුලේ අය සෙනසුරාදා උදේ වරුව වෙන් කරලා තිබුණේ සේවයේ හවුල් වෙන්නයි. මේ විදිහට නිශ්චිත දවස් වෙන් කරලා තිබුණු එක මට සෑහෙන උපකාරයක් වුණා. මොකද වැඩි වැඩියෙන් හවුල් වෙද්දී එයින් ලැබෙන හොඳ ප්‍රතිඵල දකින්නත් වැඩි ප්‍රීතියක් ලබන්නත් මට හැකි වුණා.” සාක්ෂිකාර පවුල්වල ඇති දැඩි වූ බොහෝදෙනෙකු කියා සිටින්නේ සතිපතා දේවසේවය සඳහා නිශ්චිත වේලාවක් නියම කිරීම ක්‍රිස්තියානි දේවසේවකයන් ලෙස ප්‍රගතියක් ලැබීමට ඔවුන්ට උපකාරවත් වූ බවයි.
13 ක්‍රමවත් දිනචර්යාවක් හේතුවෙන් ඔබේ පවුල ක්ෂේත්‍ර සේවයෙහි ගත කරන වේලාව වඩාත් ප්‍රීතිමත් මෙන්ම ඵලදායී අවස්ථාවක් බවට පත් කළ හැකිය. මෙවන් දෙයක් ඉටු කළ හැක්කේ කෙසේද? වර්ෂ 1999 ජූලි 1 මුරටැඹ සඟරාවෙහි 21වන පිටුවේ මෙම යෝජනාව පළ විය. “සතියේ ක්ෂේත්‍ර සේවයට සූදානම් වීම සඳහා ඔබේ පවුලේ සාමාජිකයන්ට උපකාර කරන්න, ඔබේ පවුලේ පාඩමේදී ඔබ ඉඳ හිට කාලය යොදාගන්නවාද? එසේ කිරීම බෙහෙවින් ප්‍රයෝජනදායක විය හැකියි. (2 තිමෝති 2:15) ඔවුන්ගේ සේවය අර්ථවත් මෙන්ම ඵලදායී එකක් කිරීමට එය දායක විය හැකියි. එලෙස සූදානම් වීම සඳහා පාඩමට නියමිත සම්පූර්ණ කාලයම වුණත් ඉඳ හිට යොදාගන්න පුළුවන්. නිතරම වුණත් කළ හැකි දෙයක් නම්, පවුලේ පාඩම අවසානයේදී හෝ සතියේ වෙනත් අවස්ථාවකදී කෙටි කාලයකට ක්ෂේත්‍ර සේවයේ විවිධ පැති ගැන නිතරම සාකච්ඡා කිරීමයි.” ඔබේ පවුල මෙවන් දෙයක් අත්හදා බලා තිබෙනවාද?
14 දිගටම ප්‍රගතියක් ලබන්න: මේ දක්වා සාකච්ඡා කර ඇති තොරතුරුවලට එකඟව ඔබේ පවුල යම් සාර්ථක ප්‍රතිඵල නෙළාගනිමින් සිටින පැති ඔබ දුටුවාද? ඒ සඳහා ඔවුන්ට ප්‍රශංසා කරන්න. එමෙන්ම එම පැතිවලින් තවත් දියුණු වීමටද වෑයම් දරන්න. දියුණු විය යුතු පැති කිහිපයක් ඔබේ අවධානයට ලක් වී ඇත්නම්, මුලදී එකක් දෙකක් තෝරාගෙන ඒවාට අවධානය දෙන්න. ඒවා ඔබේ ආත්මික දිනචර්යාවේ කොටසක් බවට පත් වන විට, වෙනත් අංගයක් හෝ දෙකක් වෙතට ඔබේ අවධානය යොමු කරන්න. මෙම කාරණා හසුරුවද්දී ඒකාන්ත ආකල්පයක් දැරීමට හා සාධාරණව සිතීමට උත්සාහ කරන්න. (පිලි. 4:4, 5, NW) ඔබේ පවුල වෙනුවෙන් යහපත් ආත්මික දිනචර්යාවක් පිහිටුවීම සඳහා සෑහෙන වෑයමක් දැරිය යුතු වුවත්, එසේ දරන වෑයම බොහෝ සෙයින් වටී. මන්ද කිවහොත් යෙහෝවා මෙසේ සහතික කරන බැවිනි. “ස්වකීය හැසිරීම හරි [ස්ථිර, NW] ලෙස පවත්වාගන්නාට දෙවිගෙන් ලැබෙන ගැලවීම දක්වන්නෙමි.”—ගීතා. 50:23.