දේවසේවයේදී යේසුස්ව අනුකරණය කරන්න
1 දේවසේවයේදී අපි අනුගමනය කළ යුත්තේ යේසුස්වයි. දෙවි හා මිනිසුන් කෙරෙහි ඔහු දැක්වූ ගැඹුරු ප්‍රේමය බොහෝ අවස්ථාවලදී බොහෝ ක්‍රමවලින් විදහා පෑවා. මොළොක් ගුණැති අයට සත්‍යය ඉගැන්වූ ඔහු දුක් පීඩා විඳිමින් සිටියවුන්ටත් පිහිට වෙමින් ප්‍රේමණීය කරුණාව පෙන්නුවා.—මතෙ. 9:35.
2 යේසුස්ගේ ආදර්ශය හා ඉගැන්වීම්: යේසුස් තම ප්‍රධාන සේවයට සම්පූර්ණ අවධානය දුන් අතර දේශපාලන කටයුතුවලට, සමාජ සුබසාධන කටයුතුවලට හෝ වෙන ඕනෑම දේකට පටලැවෙන්නේ නැතුව සිටියා. (ලූක් 8:1) මිනිසාගේ සියලු ගැටලුවලට එකම ස්ථිර විසඳුම දෙවිගේ රාජ්‍යය යන ශුභාරංචිය දේශනා කිරීමට ඔහු මුල් තැන දුන්නා. එය අත්‍යවශ්‍ය වැඩක් වුණත් එය ඉටු කිරීම සඳහා යේසුස්ට තිබුණේ සීමිත කාලයයි. එක් අවස්ථාවකදී කපර්ණවුමේ සිටි ජනයාට යේසුස්ව එහි නවත්වාගන්න වුවමනා වුණත්, ඔහු තම ගෝලයන්ට මෙසේ පැවසුවා. “අපි වෙන තැනකට යමු. . . . දේශනා කරන පිණිස එතැනට යමු. මන්ද මා පිටත්ව ආවේ මේ සඳහාය.”—මාක් 1:38.
3 යේසුස් තම ගෝලයන්ව පුහුණු කළ පසුව ඔවුන්ට පැවරුමක් දෙමින් මෙසේ අණ කළා. “‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇත’ යයි දේශනා කරන්න.” (මතෙ. 10:7) ඔහු තම ගෝලයන්ට නිතර කාවැද්දුවේ රාජ්‍ය කටයුතුවලට මුල් තැන දෙන්න කියායි. (මතෙ. 6:33) ඔහු ස්වර්ගයට යන්න කලින් ගෝලයන්ගෙන් සමුගත් අවස්ථාවේදී පැවසූ වදන්වලිනුත් එය පැහැදිලි වුණා. “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න.”—මතෙ. 28:19.
4 දේවරාජ්‍ය: යේසුස්ගේ සාකච්ඡාවලදී ප්‍රධාන විෂය වුණේ දේවරාජ්‍යයයි. ඔහු තම ගෝලයන්ටත් දිරිගැන්නුවේ එසේ කිරීමටයි. ජනයාගේ ප්‍රශ්න විසඳීම සඳහා මිනිසා දරන ප්රයත්නය සාර්ථක වන්නේ නැහැ. (යෙරෙ. 10:23) දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළල ඉවත් කිරීමටත්, ජනයාට සැබෑ සහනයක් ලබා දීමටත් හැකි වන්නේ දේවරාජ්යයයට පමණයි. (මතෙ. 6:9, 10) “සියලු පිළිකුල් දේ නිසා සුසුම්ලන අඬන” ජනයාට දේවරාජ්‍යයේ සත්‍යතාවන් ඉගැන්වීම මගින් ඔවුන්ට දැන් පවා සතුටුදායක සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන අතර අනාගතය සඳහා ස්ථිර බලාපොරොත්තුවක්ද තබාගත හැකි වෙයි.—එස. 9:4.
5 අපි දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරද්දී යේසුස් ඒ සඳහා අපට දිගටම උපකාර කරමින් සිටින බවට සහතික කර තිබෙනවා. (මතෙ. 28:20) දේවසේවයේ යෙදෙද්දී කොපමණ දුරකට අපි යේසුස්ව අනුකරණය කරනවාද? (1 පේතෘ. 2:21) අප සිටින්නේ මේ සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදයේ නිසා දේවසේවයේදී යේසුස් තැබූ ආදර්ශය කිට්ටුවෙන් අනුකරණය කිරීමට උපරිම වෑයමක් දරමු!