“මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න”
අප්‍රියෙල් මස 2වන දින පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීම
1. වර්ෂ 2007 අප්‍රියෙල් 2වන දිනයේ ඇති විශේෂත්වය කුමක්ද?
1 වර්ෂ 2007 අප්‍රියෙල් 2වන දින ලොව වටා සිටින මිලියන ගණන් මිනිසුන් යේසුස්ගේ ජීවිත පූජාව සිහි කිරීම සඳහා රැස් වෙනවා. මිනිසුන්, දෙවිට සේවය කරන්නේ තමන්ට ප්‍රයෝජන අත්වන තෙක් පමණයි යන චෝදනාව සාතන් දෙවිට විරුද්ධව එල්ල කළා. නමුත් යේසුස් තම ජීවිතය පූජා කිරීමෙන් එම චෝදනාව බොරුවක් බව ඔප්පු කළා. එමගින් මුළු විශ්වයම පාලනය කිරීමට යෙහෝවා දෙවිට තිබෙන අයිතියද තහවුරු කළා. (යෝබ් 2:1-5) පරිපූර්ණ මිනිසෙකු හැටියට තම ජීවිතය පූජා කිරීමෙන් යේසුස් ‘බොහෝදෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දුන්’ බව ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයේදී අපට මතක් කර දෙනවා. (මතෙ. 20:28) එහිදී යේසුස් තම ගෝලයන්ට මෙසේ අණ කළා. “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න.” (ලූක් 22:19) දෙවි දුන් මෙම අනර්ඝ ත්‍යාගය අපි අගය කරනවා. එමනිසා ඔහුගේ එම මහත් ප්‍රේමණීය ක්‍රියාව සිහි කිරීමට අපි සූදානම් වෙනවාද?—යොහ. 3:16.
2. යේසුස්ගේ මරණය සිහි කිරීමේ රැස්වීම සඳහා සූදානම් වීමට අපට හැක්කේ කෙසේද?
2 ඔබගේ සිත යොමු කරන්න: යේසුස් මිනිසෙකු ලෙස ගත කළ ජීවිතයේ අවසන් දවස් කිහිපය තුළ සිදු වූ සිද්ධීන් හොඳින් අධ්‍යයනය කිරීමෙන් ඔහුගේ මරණය සිහි කිරීමට අපේ සිත යොමු කරන්න පුළුවන්. (එස්රා 7:10) ඒ සඳහා 2007 ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම යන පොතේ සහ 2007 දින දර්ශනයේ සඳහන් විශේෂ බයිබල් කියවීම අපට උපකාරවත් වෙයි. බයිබලයේ ඇති වාර්තාවල සඳහන් දින සහ දවස් පදනම් වී ඇත්තේ යුදෙව් දින දර්ශනයට අනුවයි. එම දින ගණන් බැලෙන්නේ එක් හිරු බැස යාමක සිට ඊළඟ හිරු බැස යාම දක්වායි. යේසුස්ගේ මරණයට ආසන්න දවස්වල සිදු වූ සිදුවීම් ඇතුළත් බයිබල් කියවීම, අප භාවිත කරන දින දර්ශනයේ දක්වා ඇත්තේ යුදෙව් දින දර්ශනයට සමගාමී දිනයන්වලයි. එම කොටස් කියවා දෙවි අපට කොතරම් ප්‍රේම කර තිබෙනවාද කියා යාච්ඤාපූර්වකව මෙනෙහි කිරීමෙන් යේසුස්ගේ මරණය සිහි කිරීමේ රැස්වීමෙන් පූර්ණ ප්‍රයෝජන ගන්න අපට හැකියි.
3. සිහි කිරීමේ රැස්වීමෙන් ප්‍රයෝජන ගැනීමට උනන්දුව දක්වන අයට සහ අක්‍රියාශීලී අයට උපකාර කිරීමට අපිට පුළුවන් කොහොමද?
3 අන් අයටත් ආරාධනා කරන්න: මෙම වැදගත් අවස්ථාවට සහභාගි වීම සඳහා අන් අයට ආරාධනා කිරීමට, පෙබරවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ විශේෂ ව්‍යාපෘතියක් ගැන නිවේදනය කළා. මෙම විශේෂ ව්‍යාපෘතිය සඳහා ඔබගේ උපරිම සහයෝගය දීමට ඔබ සැලසුම් කර තිබෙනවාද? ඒ සඳහා ඔබ ආරාධිතයන්ගේ නම් ලැයිස්තුවක් සකසා දැනටමත් ඔවුන්ව හමුවීමට ගොස් තිබෙනවාද? සිහි කිරීම දවසේදී ඔබ ආරාධනා කළ අයවත් පැමිණෙන වෙනත් අයවත් පිළිගැනීම සඳහා කල් වේලා ඇතිව පැමිණෙන්න උත්සාහ කරන්න. සමහරවිට ඔවුන් සමඟ අසුන් ගන්නට ඔබ කැමැත්තෙන් ඇති. බයිබලයක් සහ ගීතිකා පොතක් ඔවුන්ට ඇති බවට වගබලා ගන්න. ඔවුන්ව සභාවේ අනිත් සාමාජිකයන්ටත් හඳුන්වා දෙන්න. එමෙන්ම වැඩසටහන අවසානයේදී ඔවුන් ප්‍රශ්න ඇසුවොත් ඒවාට පිළිතුරු දීමටද කාලය ගන්න. අප්‍රියෙල් මස 15වන දින පැවැත්වෙන විශේෂ කතාව සඳහාද ඔවුන්ට ආරාධනා කරන්න ඔබට හැකියි. සභාවේ සිටින අක්‍රියාශීලී ප්‍රචාරකයන්ට සිහි කිරීමට සහ විශේෂ කතාවට ආරාධනා කිරීමට වැඩිමහල්ලන් වැඩි උනන්දුවක් දක්වයි.
4. සිහි කිරීමෙන් පසුව තව තවත් දෙවිට ළං වීමට අන් අයට උපකාර කරන්න අපිට පුළුවන් කොහොමද?
4 උනන්දුව දක්වන අයට සහ අක්‍රියාශීලී අයට උපකාර කරන්න: නිවාස බයිබල් පාඩම් සැලැස්ම ගැන සිහි කිරීමේ කතාව ඉදිරිපත් කරන කථිකයා පැහැදිලි කරන අතර, උනන්දුව දක්වන අයට දිගටම දෙවි ගැන ඉගෙනගැනීමටත් ඔහු දිරිගන්වයි. කථිකයා පැවසූ දේවල් ගෙනහැර දක්වමින් බයිබලයේ සත්‍යය තවදුරටත් ඉගෙනගැනීමට ඔබේ ආරාධිතයන්ව දිරිගන්වන්න. ඔවුන් දැනටමත් බයිබල් පාඩමක් කරන්නේ නැත්නම් ඉක්මනින්ම ඔවුන්ව බැහැදකින්න ගොස් නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් කරන ආකාරය ඔවුන්ට පෙන්වන්න. යෙහෝවා දෙවි ගැන දැනුම සහ විශ්වාසයක් ඔවුන් තුළ ගොඩනැඟීමට නම් සභා රැස්වීම්වලට සහභාගි වීම අවශ්‍යයි. (හෙබ්‍රෙ. 10:24, 25) ඒ සඳහා නොකඩවා රැස්වීම්වලට පැමිණීමට ඔවුන්ව දිරිගන්වන්න. සිහි කිරීමට සහභාගි වූ අක්‍රියාශීලී ප්‍රචාරකයන්ව නැවත ගොස් බැලීමට වැඩිමහල්ලන් සැලසුම් යෙදිය යුතුයි. එමෙන්ම සිහි කිරීමේ කතාවේ ඉදිරිපත් කළ තොරතුරු හොඳින් සිතා බලන්න කියාද ඔවුන්ව උනන්දු කරන්න. නැවතත් සභාවේ ක්‍රියාශීලීව සේවය කිරීමට එය ඔවුන්ට දිරිගැන්වීමක් වේවි.
5. මරණය සිහි කිරීමෙන් අපිට ලැබිය හැකි ප්‍රයෝජන මොනවාද?
5 යෙහෝවා දෙවි සහ යේසුස් අප වෙනුවෙන් කර ඇති මහත් දේවල් ගැන බැරෑරුම්ව කල්පනා කිරීමට යේසුස්ගේ මරණය සිහි කිරීම කදිම අවස්ථාවක්. එසේ මෙනෙහි කිරීමෙන් ඔවුන් කෙරෙහි ඇති අපගේ ප්‍රේමය තව තවත් වැඩි වෙන අතර අපගේ ජීවිතය දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව පවත්වාගන්නත් හැකි වෙනවා. (2 කොරි. 5:14, 15; 1 යොහ. 4:11) ‘ස්වාමීන්ගේ මරණය ප්‍රකාශ කරන’ අතරතුර, එම වැදගත් අවස්ථාවට අපවත් උනන්දුව දක්වන අයවත් සූදානම් කිරීමට කාලය මෙයයි.—1 කොරි. 11:26.