“මේ දේ නොකඩවා කරන්න”
යේසුස්ගේ මරණය සිහි කරන්නේ අප්‍රියෙල් 5වන දිනයි
1. යේසුස්ගේ මරණය සිහි කිරීම වැදගත් ඇයි?
1 තම මරණය සිහි කිරීම ගැන යේසුස් තම නියෝජිතයන්ට පැවසුවේ, “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න” කියායි. (ලූක් 22:19) යේසුස්ගේ ජීවිත පූජාව මගින් ලැබී තිබෙන ප්‍රයෝජන නිසා එය සිහි කරන දවස තරම් වැදගත් දවසක් අපට තවත් නැහැ. යේසුස්ගේ මරණය සිහි කිරීමේ දිනය ළං වෙද්දී යෙහෝවා දෙවිට හදවතින්ම ස්තුතිවන්ත වන බව අපට පෙන්වන්න පුළුවන් කොහොමද?—කොලො. 3:15.
2. අධ්‍යයනය කිරීම හා ගැඹුරින් කල්පනා කිරීම තුළින් මෙම වැදගත් අවස්ථාවට අගය පෙන්විය හැක්කේ කෙසේද?
2 සූදානම් වෙන්න: අපේ ජීවිතයේ වැදගත් අවස්ථාවන්ට අප කල්තියාම සූදානම් වෙනවා. ඒ හා සමානව යේසුස් මිහිපිට ගත කළ අන්තිම දවස්වල සිදු වූ සිද්ධීන් ගැන අපේ පවුලේ අය සමඟ එකතු වී අධ්‍යයනය කිරීමටත් ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීමටත් අපට පුළුවන්. එසේ කිරීමෙන් මේ විශේෂ දිනය සඳහා අපේ මනස සූදානම් කරගැනීමට අපට හැකි වෙනවා. (එස්රා 7:10) ඒ කාලයේදී කියවිය යුතු බයිබල් කොටස් කිහිපයක් අපගේ දිනදර්ශනයේ හා දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම නමැති පොතේ සඳහන් කර තිබෙනවා. වර්ෂ 2011 පෙබරවාරි 1 මුරටැඹ සඟරාවේ 23-24 දක්වා පිටුවලද ඒ ගැන තවත් තොරතුරු තිබෙනවා. එම තොරතුරු මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොතේ කුමන පරිච්ඡේදවලද සඳහන් වී තිබෙන්නේ කියාත් එම සඟරාවේ දක්වා තිබෙනවා.
3. දේවසේවයේ වැඩිපුර හවුල් වීමෙන් යේසුස්ගේ ජීවිත පූජාව අගය කරන බව පෙන්වන්න පුළුවන් කොහොමද?
3 දේශනා කරන්න: හැකි උපරිමයෙන් දේශනා සේවයේ යෙදීම යේසුස්ගේ ජීවිත පූජාව අගය කරන බව පෙන්විය හැකි තවත් ක්‍රමයක්. (ලූක් 6:45) එම විශේෂ අවස්ථාවට ජනයාට ආරාධනා කිරීම සඳහා ලොව වටාම වැඩ පිළිවෙළක් දියත් කිරීමට නියමිතයි. එය මාර්තු 17වන සෙනසුරාදා සිට ඇරඹෙයි. දේශනා සේවයේ වැඩිපුර කාලයක් යෙදවීමට හෝ උපකාරික පුරෝගාමියෙක් ලෙස සේවය කිරීමට ඔබට පුළුවන් වෙයිද? ඊළඟ පවුලේ නමස්කාරයේදී ඒ ගැන සාකච්ඡා කිරීමට ඔබට හැකියි.
4. යේසුස්ගේ මරණය සිහි කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
4 සෑම වසරකම යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණීමෙන් අප කොතරම් ප්‍රයෝජන ලබනවාද! එම දවසේදී යෙහෝවා දෙවි අප වෙනුවෙන් කළ දේ අප සිහි කරනවා. ඒ තුළින් අපේ සතුට වගේම යෙහෝවා දෙවි කෙරෙහි අපට තිබෙන ආදරයද තව තවත් වැඩි වෙනවා. (යොහ. 3:16; 1 යොහ. 4:9, 10) ඒ නිසා තවදුරටත් අප වෙනුවෙන් ජීවත් නොවෙන්න අප තුළ පෙළඹීමක් ඇති වෙනවා. (2 කොරි. 5:14, 15) යෙහෝවා දෙවි ගැන අන් අයට කියා දීමෙන් ඔහුට ප්‍රශංසා කරන්නත් අප පෙළඹෙනවාට සැකයක් නැහැ. (ගීතා. 102:19-21) යේසුස්ගේ ‘මරණය ගැන ප්‍රකාශ කිරීම’ සඳහා අප්‍රියෙල් 5වන දින පැමිණෙන තුරු යෙහෝවා දෙවිට ප්‍රේම කරන ඔහුගේ සේවකයන් වන අප කොතරම් ආශාවෙන් බලා සිටිනවාද!—1 කොරි. 11:26.