අපගේ අගය ප්‍රකාශ කරමු
සිහි කිරීම පැවැත්වෙන්නේ අප්‍රියෙල් 17වනදායි
1. සිහි කිරීමේ කාලයේදී අප තුළත් තිබිය යුතු ආකල්පය කුමක්ද?
1 යෙහෝවා දෙවිගේ දයාන්විත ක්‍රියා සහ ඔහු ලබා දුන් ගැලවීම ගැන ගීතිකාකරු මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි මා වෙනුවෙන් කළ සියලු යහපත් දේවලට මම කෙසේ ඔහුට ස්තුති කරන්නද?” (ගීතා. 116:12) දෙවිට ස්තුතිවන්ත වීමට අපට ඊටත් වඩා හේතු තිබෙනවා. ගීතිකාකරු ඉහත වදන් රචනා කර සියවස් ගණනාවකට පසුව යෙහෝවා දෙවි මිනිස් වර්ගයාට උතුම්ම ත්‍යාගය ලබා දුන්නා. ඒ, යේසුස්ගේ ජීවිත පූජාවයි. මේ වසරේ අප එය සිහි කරන්නේ අප්‍රියෙල් 17වන දිනයි. ඊට සූදානම් වන කාලය පුරා අපගේ අගය විවිධ ආකාරවලින් පෙන්විය හැකියි.—කොලො. 3:15.
2. යේසුස්ගේ ජීවිත පූජාව අගය කිරීමට අපට තිබෙන හේතු මොනවාද?
2 ජීවිත පූජාවෙන් ලැබෙන ආශීර්වාද: ‘අපේ පව්වලට සමාව ලබාගැනීමට’ හැකි වී තිබෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. (කොලො. 1:13, 14) ඒ තුළින් පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව දෙවිට නමස්කාර කිරීමටත් කිසි බියක් සැකක් නැතුව නිදහසේ දෙවිට යාච්ඤා කිරීමටත් අපට හැකි වී තිබෙනවා. (හෙබ්‍රෙ. 9:13, 14; 4:14-16) එම ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන සැමට සදාකල් ජීවත් වීමේ අනර්ඝ බලාපොරොත්තුවද විවෘතයි.—යොහ. 3:16.
3. ජීවිත පූජාව වෙනුවෙන් දෙවිට අපගේ අගය පෙන්විය හැකි ආකාර මොනවාද?
3 අපේ අගය පෙන්වමු: එය කළ හැකි එක් ආකාරයක් වන්නේ සිහි කිරීමේ සතියට නියමිත බයිබල් කොටස කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීමයි. ඒ සඳහා අපේ මනස් සූදානම් කරගැනීමට 2011 පෙබරවාරි 1 මුරටැඹ කලාපයේ “වසරේ වැදගත්ම දිනයට ඔබ සූදානම්ද?” යන තේමාවෙන් යුත් ලිපියක් පළ වුණා. යේසුස්ගේ ජීවිත පූජාව අපට පෞද්ගලිකව කොතරම් වටිනවාද කියා හද පත්ලෙන්ම දෙවිට පැවසීමෙන්ද අපේ අගය පළ කළ හැකියි. (1 තෙස. 5:17, 18) එමෙන්ම එය සිහි කරන ලෙසට යේසුස් දුන් අණට කීකරු වී ඒ අවස්ථාවට සහභාගි වීමෙන්ද අපේ අගය පෙන්වමු. (1 කොරි. 11:24, 25) හැකි තරම් පිරිසකට ඊට ආරාධනා කිරීමෙන්ද දෙවිගේ ඉමහත් ප්‍රේමය අනුකරණය කරන්න අපට හැකියි.—යෙසා. 55:1-3.
4. අපගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?
4 යේසුස්ගේ ජීවිත පූජාව අගය කරන අප එම අවස්ථාව සලකන්නේ අවුරුද්දේ වැදගත්ම රැස්වීම ලෙසයි! සිහි කිරීමේ දිනය ළඟා වෙනවාත් සමඟ ගීතිකාකරුට තිබූ මෙම අධිෂ්ඨානය අපත් ඇති කරගනිමු. “මාගේ හදවතින්ම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි. ඔහුගේ ක්‍රියාවලින් එකක්වත් අමතක නොකරන්නෙමි.”—ගීතා. 103:2.