දෙවි දුන් උතුම් තෑග්ගට ස්තුතිවන්ත වෙමු
1. අපි යෙහෝවා දෙවිට විශේෂයෙන්ම ස්තුතිවන්ත වන්නේ ඇයි?
1 යෙහෝවා දෙවි දී ඇති බොහෝ ‘තෑගිවලින්’ උතුම්ම තෑග්ග ඔහුගේ දයාබර පුත්‍රයාගේ ජීවිත පූජාවයි. (යාකො. 1:17) එමගින් අපේ පව්වලට සමාව ලැබීම ඇතුළු බොහෝ ආශීර්වාද ලබාගැනීමට හැකි වෙනවා. (එෆී. 1:7) අපි දෙවිට ණයගැතියි. යේසුස්ගේ මරණය සිහි කරන කාලයේදී අපි විශේෂයෙන්ම එම අගනා තෑග්ග ගැන ගැඹුරින් කල්පනා කිරීමට කාලය මිඩංගු කරනවා.
2. ජීවිත පූජාව කෙරෙහි අපේ පවුලේ අයගෙත් අපෙත් අගය වැඩි කරන්නේ කොහොමද?
2 අගය වැඩි කිරීමට උපකාර කරන්න: සිහි කිරීම පවත්වන්නේ මාර්තු 30වෙනිදායි. ඊට සති කීපයකට පෙර සිටම පවුලේ නමස්කාරයට වෙන් කළ රාත්රියේදී යේසුස්ගේ ජීවිත පූජාව පිළිබඳ තොරතුරු සලකා බැලීමෙන් ඔබේ පවුලේ සාමාජිකයන් තුළ ඒ ගැන අගය වැඩි කළ හැකියි. එමෙන්ම සිහි කිරීමේ දිනයට කලින් කිරීමට නියමිත විශේෂ බයිබල් කියවීම පවුලක් ලෙස සෑම දිනකම කියවන්න. යෙහෝවා දෙවි ගැන, ඔබ ගැන, වෙනත් අය සහ අනාගතය ගැන ඔබ දරන ආකල්පයට යේසුස්ගේ ජීවිත පූජාව බලපා ඇති ආකාරයත් ඉන් ලැබෙන ප්‍රයෝජන පිළිබඳවත් කල්පනා කරන්න.—ගීතා. 77:12.
3. ස්තුතිවන්ත වෙන්න අපට හැක්කේ කොහොමද?
3 ස්තුතිවන්ත වන්න: ජීවිත පූජාව අගය කරනවා නම් යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ පුතාව එවීමෙන් පෙන්වූ මහත් ප්‍රේමය ගැනත් අන් අයට පැවසීමට අපි පෙලඹෙනවා. (ගීතා. 145:2-7) සමහර පවුල් තම ස්තුතිය පුදන්නේ මාර්තු, අප්‍රියෙල් සහ මැයි මාසවලදී අඩුම තරමින් පවුලේ එක් සාමාජිකයෙකුට හෝ උපකාරික පුරෝගාමි සේවයේ යෙදීමට සැලැස්වීමෙනුයි. ඔබට එසේ කළ නොහැකි නම් ඔබේ සේවය වැඩි කිරීමට ‘ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න’ පුළුවන්ද? (එෆී. 5:16) අපි ස්තුතිවන්ත වෙනවා නම් වෙනත් අයටත් සිහි කිරීමට පැමිණෙන්න අපි උපකාර කරනවා. (එළි. 22:17) නැවත බැලීම්, බයිබල් ශිෂ්‍යයන්, නෑදෑයන්, සෙසු සේවකයන් සහ අසල්වැසියන් යනාදි සියල්ලන්ටම ආරාධනා කිරීමට ලැයිස්තුවක් සාදාගන්න. එමෙන්ම සිහි කිරීමේ ආරාධනා පත්‍ර බෙදාහැරීමේ විශේෂ සේවයටත් හවුල් වන්න.
4. සිහි කිරීමේ කාලය නැණවත්ව පාවිච්චි කළ හැක්කේ කොහොමද?
4 යෙහෝවා දෙවි මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් දුන් තෑග්ග අපි කොතරම් අගය කරනවාද කියා පෙන්වීමට සිහි කිරීමේ කාලය අපිට නව ප්‍රස්තා විවෘත කරනවා. ජීවිත පූජාව කෙරෙහි මෙන්ම “අසීමිත ධන සම්භාරයක් හා සමාන ක්‍රිස්තුස්ගෙන් ලැබෙන ආශීර්වාද” සියල්ලටත් ස්තුති කරන්ත සිහි කිරීමේ කාලය ප්‍රයෝජනයට ගනිමු.—එෆී. 3:8.