යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න
1. යේසුස් තැබූ ආදර්ශය කුමක්ද?
1 ගෝලයන් කිරීමේ කාර්යයේ අපි නිරත වෙද්දී අපිව නිරීක්ෂණය කරන අයට අපේ ආදර්ශය ප්‍රබල බලපෑමක් වන බව අපි අමතක නොකළ යුතුයි. යේසුස් වචනවලින් පමණක් නොව ආදර්ශයෙන්ද ඉගැන්වූවා. ඔහුව නිරීක්ෂණය කළ අය ඔහුගේ උද්යෝගය, ජනයා කෙරෙහි ඔහු දැක්වූ ප්‍රේමය, සිය පියාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා ඔහුට තිබූ දැවෙන ආශාව හා පියාගේ කැමැත්ත කිරීමට තිබූ අධිෂ්ඨානය දුටුවා.—1 පේතෘ. 2:21.
2. අප සමඟ සේවයේ හවුල් වන අයට අප තබන ආදර්ශය බලපෑ හැකි ආකාර මොනවාද?
2 ගෙයින් ගෙට සේවයේදී: යේසුස්ගේ ආදර්ශය අන් අයට බලපෑවාක් මෙන් අප තබන ආදර්ශයද අප සමඟ සේවයේ හවුල් වන අයට බලපානවා. අපි උද්යෝගයෙන් දේවසේවයේ හවුල් වෙනවා දකින විට තම සේවයේ දියුණු කරගත යුතු පැති ගැන කල්පනා කර බැලීමට අද්දැකීම් අඩු නව ප්‍රචාරකයන් පෙලඹෙනවා. අපේ ප්‍රීතිය හා අපි අන් අයට දක්වන අව්‍යාජ සැලකිල්ල ඔවුන් දකින විට දේවසේවයේදී තමන් තුළද මෙම ගුණාංග තිබීම මොන තරම් වැදගත්ද කියා ඔවුන් තේරුම්ගන්නවා. අපි සේවයේදී උනන්දුවෙන් බයිබල් පද ගෙවැසියන්ට පෙන්වන ආකාරයත් නැවත බැලීම් හා බයිබල් පාඩම් කරන ආකාරයත් ඔවුන් දකින විට ඒ දේවල් කරන්න ඔවුන්ද පෙලඹෙයි.
3. අපේ ආදර්ශයෙන් බයිබල් ශිෂ්‍යයන් ඉගෙනගන්නේ මොනවාද?
3 බයිබල් පාඩම් පවත්වන විට: අපි ක්‍රියා කරන ආකාරය අපේ බයිබල් ශිෂ්‍යයන්ගේ විශේෂ අවධානයට ලක් වෙනවා. උදාහරණයක් හැටියට පාඩමට සූදානම් වීමේ, බයිබල් පද පෙරළා බැලීමේ හා මූලික කරුණුවලට යටින් ඉරි ගැසීමේ වැදගත්කම අපි ඔවුන්ට පැහැදිලි කර දෙනවා. නමුත් අපිත් එසේ කර තිබෙනවාද කියා ඔවුන් හොඳින් නිරීක්ෂණය කරනවා. (රෝම 2:21) අපි නියමිත වේලාවටම ඔවුන් සමඟ පාඩම පවත්වනවා නම් පාඩමේ වැදගත්කම තේරුම්ගන්නා ඔවුන් ඒ වේලාවට වෙනත් වැඩ යොදාගන්න පෙලඹෙන්නේ නැහැ. දේවසේවය සඳහා අපේ කාලය හා ශ්‍රමය වැය කිරීමට අපි දක්වන කැමැත්ත හා අපේ ශක්තිමත් ඇදහිල්ලද ඔවුන්ගේ අවධානයට ලක් වෙනවා. යේසුස්ගේ ආදර්ශය හොඳින් අනුකරණය කරන බයිබලය ගැන උගන්වන ගුරුවරුන් සමඟ බයිබලය පාඩම් කරන අය බොහෝදුරට පලදායක දේවසේවකයන් බවට පත්වීම පුදුමයක් නොවෙයි.
4. රැස්වීම්වලදී අපේ ආදර්ශයෙන් නවකයන් ඉගෙනගන්නේ මොනවාද?
4 රැස්වීම්වලදී: තම ආදර්ශයෙන් අන් අයට ඉගැන්වීමේ කාර්යයට දායක වීමට සභාවේ සියලුදෙනාටම හැකියි. රැස්වීම්වලට පැමිණෙන උනන්දුව දක්වන අය සභාවේ සිටින අයගේ යහපත් ආදර්ශ දැකීමෙන් බොහෝ ප්‍රයෝජන ලබනවා. සභාවේ අය අතර තිබෙන මිත්‍රශීලිකම, එක්සත්කම හා විනීතව ඇඳ පැළඳ සිටීම ඔවුන්ගේ අවධානයට යොමු වෙනවා. (ගීතා. 133:1) නොකඩවා රැස්වීම්වලට පැමිණීමෙන් හා අදහස් දක්වමින් අපේ ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් අප තබන ආදර්ශය ඔවුන් දකිනවා. කුඩා ගැහැනු ළමයෙක් ඇගේ බයිබලය පෙරළා කථිකයා පැවසූ බයිබල් පදයක් ඉක්මනින් සොයාගෙන, එයට හොඳ අවධානයක් දුන් ආකාරය රැස්වීමකට පැමිණි අමුත්තෙක් දුටුවා. ඔහු බයිබල් පාඩමක් කරන්න කැමැත්ත පළ කිරීමට හේතු වුණේ ඇගේ ආදර්ශයයි.
5. අන් අයට හොඳ ආදර්ශයක් වීමේ වැදගත්කම අපි සැමවිටම බැරෑරුම් ලෙස සැලකිය යුත්තේ ඇයි?
5 අන් අයගේ යහපත් ආදර්ශ අනුකරණය කරන්න කියා බයිබලයේ අපව දිරිගන්වා තිබෙනවා. (ෆිලි. 3:17; හෙබ්‍රෙ. 13:7) මේ නිසා අපි යේසුස්ගේ ආදර්ශය හොඳින් අනුකරණය කිරීම මොන තරම් වැදගත්ද! මෙය දකින අය ඉන් ප්‍රයෝජන ලබයි. මෙය හොඳින් තේරුම්ගෙන 1 තිමෝති 4:16හි දී තිබෙන මේ උපදේශය සිතට ගනිමු. “ඔබ ගැනත් ඔබේ ඉගැන්වීම ගැනත් නිතරම අවධානයෙන් ඉන්න.”