ඔවුන් අසන්නේ කෙසේද?
1. දේශනා සේවය දුෂ්කර විය හැක්කේ ඇයි? එහෙත් අපි අත් නෑර දේශනා කළ යුත්තේ ඇයි?
1 දෙවි ගැනත් මිනිසා සඳහා ඔහුගේ අරමුණ ගැනත් නිවැරදි දැනුම ලැබී නැති බොහෝදෙනෙක් තවමත් සිටිනවා. යෙහෝවා දෙවිගේ දවස වේගයෙන් ළඟා වෙමින් තිබෙන නිසා එම දැනුම ලබාගැනීමට ඔවුන්ට අප ඉක්මනින් උපකාර කළ යුතුයි. (යොහ. 17:3; 2 පේතෘ. 3:9, 10) ඇතැම් අවස්ථාවලදී බොහෝදෙනෙක් සවන් නොදීම නිසා හෝ අපව සමච්චලයට ලක් කිරීම නිසා අප කරන සේවය දුෂ්කර විය හැකියි. (2 පේතෘ. 3:3, 4) කෙසේවෙතත් ශුභාරංචියට සවන් දීමට කැමති තව බොහෝදෙනෙක් සිටින බව ස්ථිරයි. යම් කෙනෙක් ඔවුන්ට දේශනා කළේ නැත්නම් ඔවුන් සවන් දෙන්නේ කොහොමද?—රෝම 10:14, 15.
2. පාවුල්ගේ අද්දැකීම දිරිගැන්වීමක් වන්නේ කෙසේද?
2 විරුද්ධවාදිකම්වලට මුහුණ දීම: ශුභාරංචියට සවන් දීමට තව විශාල පිරිසක් සිටින නිසා අප අත් නෑර දේශනා කළ යුතුයි. පාවුල් යුරෝපයේ ශුභාරංචිය දේශනා කළ නගරවලින් පළමු එක වූයේ ෆිලිප්පියයි. සීලස්ට සහ ඔහුට විරුද්ධව බොරු චෝදනා එල්ල වූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනාට තළා සිරගත කළා. (ක්‍රියා 16:16-24) කෙසේවෙතත් එම වේදනාකාරී අද්දැකීම නිසා පාවුල් බියට පත් වී දේශනා කිරීම නතර කළේ නැහැ. ඔහුගේ මිෂනාරි සංචාරයේ ඊළඟ නගරය වූ තෙසලෝනිකයේදී ඔහු දෙවිගේ උපකාරය ඇතිව නිර්භීතකම උපදවාගත්තා. (1 තෙස. 2:2) පාවුල්ගේ එම අද්දැකීමෙන් පෙනී යන්නේ අප ‘අත් නොහැර’ දිගටම දේශනා කළ යුතු බව නොවේද?—ගලා. 6:9.
3. කලින් ශුභාරංචියට සවන් නොදුන් සමහර අය පසු කාලයේදී සවන් දීමට කැමති විය හැක්කේ කුමන හේතු නිසාද?
3 අවුරුදු ගණනාවක් පුරා ශුභාරංචියට සවන් නොදුන් බොහෝදෙනෙක් පසු කාලයේදී හොඳ ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ආර්ථික අර්බුද, අසනීප, පවුලේ කෙනෙකුගේ මරණය හෝ ලෝකයේ විවිධ තැන්වලින් වාර්තා වන කනගාටුදායක සිද්ධීන් යනාදිය නිසා ඇතැම් අයගේ ආකල්ප වෙනස් විය හැකියි. (1 කොරි. 7:31) සමහර අය කුඩා දරුවන්ව සිටියදී ඔවුන්ගේ දෙමාපියන් ශුභාරංචියට විරුද්ධ වී තිබෙනවා. නමුත් ඒ දරුවන් දැන් වැඩිහිටියන් වී සිටින නිසා ශුභාරංචියට සවන් දීමට කැමති විය හැකියි. අපි අත් නෑර දේශනා කරන නිසා අප්‍රමාදව ‘යෙහෝවා දෙවිගේ නාමයට අයැදින්න’ එවැනි අයට අවස්ථාව ලැබෙනවා.—රෝම 10:13.
4. “අත් නෑර” දිගටම දේශනා කිරීමට අප තුළ පෙලඹීමක් ඇති කරන්නේ කුමක්ද?
4 “අත් නෑර” දේශනා කරමු: දෙවි සහ අසැල්වැසියා කෙරෙහි තිබෙන ප්‍රේමයෙන් පෙලඹුණු මුල් සියවසේ සිටි යේසුස්ගේ ගෝලයන් මෙන් අපිත් “අත් නෑර” දේශනා කරමු. (ක්‍රියා 5:42) බොහෝදෙනෙක් අද සිදු වන ‘පිළිකුල්සහගත දේවල් ගැන දුක් වෙමින් සුසුම්ලනවා.’ (එස. 9:4) ශුභාරංචියට සවන් දෙන විට එවැනි අයට දැනෙන්නේ මොනතරම් සහනයක්ද! බොහෝදෙනෙක් ශුභාරංචියට සවන් නොදෙන විට පවා අත් නෑර දේශනා කිරීමට අප වෑයම් කරන ආකාරය යෙහෝවා දෙවි දකින විට ඔහු මහත් සේ සතුටු වෙනවා.—හෙබ්‍රෙ. 13:15, 16.