ඉගැන්වීමට හොඳම ක්‍රමය
1. ඉගැන්වීමට හොඳම ක්‍රමය කුමක්ද?
1 සරලව උගන්වන්න! ඉගැන්වීමට හොඳම ක්‍රමය එයයි. අපේ “ඉගැන්වීමේ කලාව” දියුණු කරගැනීමට අපේ ගුරුතුමා වන යේසුස් ජනයාට ඉගැන්වූ ආකාරය ගැන හොඳින් සිතා බැලීම උපකාරවත් වෙනවා.—2 තිමෝ. 4:2; යොහ. 13:13.
2. සරලව ඉගැන්වීම ගැන යේසුස්ගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද? ඉන් ලැබෙන ප්‍රතිඵල මොනවාද?
2 හුරුපුරුදු වචන පාවිච්චි කරමු: කන්ද උඩ දේශනාවේ සඳහන් කරුණු මොන තරම් බැරෑරුම්ද? එහෙත් එවැනි සරල වචන පාවිච්චි කරමින් දුන් වෙනත් දේශනාවක් නැති තරම්! (මතෙ. 5-7 දක්වා පරි.) එතැන සිටි ජනයා, යේසුස් ‘උගන්වන ආකාරය ගැන මවිත වුණා.’ ඔහුව අත් අඩංගුවට ගන්න ගිය අය නැවත ආවේ ‘කිසි කලක කිසිම මිනිසෙක් මේ වගේ නම් කතා කළේ නැහැ’ කියමිනුයි. (මතෙ. 7:28, 29; යොහ. 7:46) ගම්භීර, අගක් මුලක් සොයාගන්න බැරි, කිසිම කෙනෙකුට නොතේරෙන නිදර්ශන යේසුස් පාවිච්චි කළේ නැහැ. ඔහු පාවිච්චි කළේ එදිනෙදා කතා කරන හැමෝටම හුරු පුරුදු සරල වචනයි. ඒ නිසා ජනයාට ලෙහෙසියෙන්ම සත්‍යය තේරුම්ගන්න පුළුවන් වුණා. අපත් යේසුස්ව ආදර්ශයට ගනිමු.
3. සමහරුන් ඕනෑවට වඩා තොරතුරු කතා කරන්නේ ඇයි? එයින් වැළකෙන්නේ කෙසේද?
3 වැල්වටාරම් එපා: තමන්ට සවන් දෙන අයට එක් වරකට දරාගත හැකි තොරතුරු ප්‍රමාණය ගැන යේසුස් සැලකිලිමත් වුණා. (යොහ. 16:12) අපිත් විශේෂයෙන්ම නෑදෑයන්ට, නවකයන්ට හා දරුවන්ට සාක්ෂි දරන විට එය මතක තබාගනිමු. ඔවුන්ගේ මනසට ගත හැකි ප්‍රමාණය ගැන සිතා, ඔවුන්ට ගැළපෙන ආකාරයට සාක්ෂි දැරීම වැදගත්. වැල්වටාරම් කතා කරන්න එපා. ඔවුන් සවන් දෙන්න කැමති බව පෙනුණත්, ඕනෑවට වඩා තොරතුරුවලින් නැහැවීමෙන් වළකින්න. ඔවුන් සදාකාල ජීවනය ලැබීමට අවංක උනන්දුවක් දක්වන අය නම්, සැබෑ දෙවි ගැන ක්‍රමානුකූලව දැනුම ලබාගැනීමට ඔවුන්ම පෙලඹෙයි.—යොහ. 17:3; 1 කොරි. 3:6.
4. අනවශ්‍ය තොරතුරු කතා නොකිරීමෙහි ඇති ප්‍රයෝජනය කුමක්ද?
4 මූලික කරුණු කාවද්දන්න: යේසුස් අනවශ්‍ය කරුණු කතා කරමින් ජනයාව ව්‍යාකූල කළේ නැහැ. උදාහරණයකට, ‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාම පිටතට එනවා’ කියා ඔහු පැවසුවා. (යොහ. 5:28, 29) නමුත් ඒ අවස්ථාවේදී නැවත නැඟිටුවනු ලබන අය මුහුණ දෙන්නේ කුමන ආකාරයේ විනිශ්චයකටද යන කාරණය ගැන ඔහු කතා කළේ නැහැ. ඊට හේතුව එය ඒ සඳහා නියමිත කාලය නොවූ නිසයි. ඒ හා සමානව අපිත් පොතේ සඳහන්ව නැති අනවශ්‍ය තොරතුරු බයිබල් පාඩමට ඇතුළත් නොකර මූලික කරුණු පමණක් ශිෂ්‍යයන්ට කාවද්දන්න උත්සාහ කරමු.
5. සරලව ඉගැන්වීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?
5 අප දැනගත යුතු සෑම දෙයක්ම දෙවි අපට සරලව උගන්වා තිබෙනවා. අප ඒ ගැන දෙවිට මොන තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෑද! (මතෙ. 11:25) ඒ නිසා අපිත් සරලව උගන්වන්න මතක තබාගනිමු. ඉගැන්වීමට හොඳම ක්‍රමය එයයි. අප එසේ කරන විට දේවසේවයෙන් බොහෝ ප්‍රතිඵල ලබාගැනීමට අපට හැකි වෙනවා නිසැකයි.