අපි සැමවිටම සාක්ෂිකරුවන්
1. යේසුස් ළිඳ ළඟට පැමිණි ස්ත්‍රියකට සාක්ෂි දැරීමෙන් අපිට කුමක් ඉගෙනගත හැකිද?
1 යේසුස් දේවසේවය සඳහා ගලීලයට යන අතරතුරේදී සමාරියේ ටිකක් නැවතුණා. පැය ගණනක් ඇවිද්ද ඔහුට මහන්සියත් පිපාසයත් දැනුණා. ආහාර ගෙන ඒමට ගෝලයන් ගිය අතරතුර සමාරියේ තිබූ ළිඳක් අසල ඔහු හිඳගත්තේ දේශනා කිරීමට නොව ටිකක් විවේක ගැනීමටයි. නමුත් ප්‍රස්තාවෙන් ප්‍රයෝජන ගනිමින් ඔහු ළිඳ ළඟට පැමිණි ස්ත්‍රියකට සාක්ෂි දැරුවා. (යොහ. 4:5-14) ඊට හේතුව ඔහු සැමවිටම යෙහෝවා දෙවිගේ “විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවා” වීමයි. (එළි. 3:14) අපිත් සැමවිටම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව සිටීමෙන් යේසුස්ව අනුකරණය කරනවා.—1 පේතෘ. 2:21.
2. ඕනෑම අවස්ථාවක සාක්ෂි දරන්න සූදානම්ව සිටිය හැක්කේ කෙසේද?
2 සූදානම්ව සිටින්න: අපි පොත් පත් රැගෙන යනවා නම් ඕනෑම අවස්ථාවක සාක්ෂි දරන්න සූදානම්ව සිටිය හැකියි. බොහෝ ප්‍රචාරකයන් කඩ සාප්පුවල සහ ඉන්ධන පිරවුම් හල්වල සේවය කරන්නන්ටත් වෙනත් ස්ථානවලදී මුණගැසෙන්නන්ටත් දීම සඳහා තමන් ළඟ පත්‍රිකා තබාගන්නවා. (දේශ. 11:6) නිතරම ගමන් බිමන් යන සහෝදරියක් ඇගේ අත්බෑගයේ පුංචි බයිබලයක් සහ බයිබලයේ ඉගැන්වීම් පොත දමාගෙන යනවා. එසේ සූදානම්ව සිටින ඇය තමන් ළඟ වාඩි වෙන අය සමඟ සංවාදයක් අරඹන්න වෑයම් කරනවා.
3. සංවාදයක් ඇරඹිය හැක්කේ කෙසේද?
3 සංවාදයක් ඇරඹීමට: සාක්ෂි දැරීමට ලැබෙන සෑම අවස්ථාවකදීම බයිබලයෙන්ම සංවාදයක් අරඹන්න අවශ්‍ය නැහැ. යේසුස් ළිඳ අසල සිටි ස්ත්‍රිය සමඟ සංවාදය ඇරඹුවේ ගැලවුම්කරු තමන් බව හඳුන්වා දෙමින් නොවෙයි. බොන්න වතුර ටිකක් ඉල්ලීමෙනුයි ඇගේ කුතුහලය ඇවිස්සුවේ. (යොහ. 4:7-9) එක් සහෝදරියක් කරන්නෙත් එවැනි දෙයක්. නත්තල වැනි උත්සවයක් පවත්වන්නේ නැත්තේ ඇයි කියා ඇගෙන් විමසන විට “මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නිසා” කියනවා වෙනුවට “මම තීරණය කළා ඒක පවත්වන්නේ නැතුව ඉන්න” කියා ඇය පිළිතුරු දෙනවා. ප්‍රශ්නය අසන තැනැත්තා කුතුහලයෙන් ඒ ඇයි කියා අසද්දී සාක්ෂි දරන්න ප්‍රස්තාවක් ඇයට උදා වෙනවා.
4. මතෙව් 28:18-20 ඔබව උනන්දු කරන්නේ කුමකටද?
4 යේසුස් මිහිපිට සිටියදී ඉතා උද්‍යෝගයෙන් සේවය කළා. ඔහු දැන් ස්වර්ගයේ සිට අපටත් දේශනා සේවය උද්‍යෝගයෙන් කරන්න උපකාර කරනවා. (මතෙ. 28:18-20) එබැවින් අපේ ආදර්ශකයා වන යේසුස් මෙන් අපි අපේ විශ්වාසය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට සැමවිටම සූදානම්ව සිටිමු.—හෙබ්‍රෙ. 10:23.