දේශනා කරන්න මට සුදුසුකම් තිබෙනවාද?
1. දේශනා කිරීමට සුදුසුකම් නැහැයි කියා අපි නොසිතිය යුත්තේ ඇයි?
1 ඔබට ඒ වගේ හැඟිලා තියෙනවා නම් අධෛර්යය වෙන්න එපා. අපට දේවසේවකයන් වීමට සුදුසුකම් ලැබෙන්නේ උගත්කම නිසාවත් කුසලතා නිසාවත් නෙවෙයි. මුල් ගෝලයන්ගෙන් සමහරෙකුව “වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය මිනිසුන්” ලෙසයි විස්තර කර තිබෙන්නේ. කෙසේනමුත් ඔවුන් බලපෑමෙන් යුතුව ශුභාරංචිය දේශනා කළා. එසේ කළේ යේසුස්ගේ ආදර්ශය කිට්ටුවෙන් අනුගමනය කළ නිසයි.—ක්‍රියා 4:13; 1 පේතෘ. 2:21.
2. යේසුස් ඉගැන්නුවේ කොයි ආකාරයෙන්ද?
2 යේසුස් ඉගැන්වූ ආකාරය: ඔහු ඕනෑම කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගත හැකි සරල ක්රමයකටයි ඉගැන්නුවේ. ඔහු ඇසූ ප්‍රශ්න, භාවිත කළ නිදර්ශන සහ යම් විෂයක් පැහැදිලි ලෙස හඳුන්වා දුන් ආකාරය සවන්දෙන්නන්ගේ අවධානය ඇදගත්තා. (මතෙ. 6:26) ඔහු මිනිසුන් කෙරෙහි අවංක උනන්දුවක් දැක්වුවා. (මතෙ. 14:14) තමාට පැවරුම ලබා දුන්නේ දෙවිම බවත් එය ඉටු කරන්න ඔහු බලය දෙන බවත් දැන සිටි යේසුස් දෙවි මත රඳා සිටිමින් නිසැකකමින් යුතුව දේශනා කළා.—ලූක් 4:18.
3. දේශනා කරන්න දෙවි අපට උපකාර කරන්නේ කෙසේද?
3 දෙවි අපට උපකාර කරයි: ශුභාරංචිය සාර්ථක ලෙස දේශනා කිරීමට අවශ්‍ය පුහුණුව අපේ උදාර උපදේශක වන දෙවි අපට ලබා දෙන්නේ ඔහුගේ වචනය හා සංවිධානය මාර්ගයෙන්. (යෙසා. 54:13) යේසුස් ඉගැන්වූ ආකාරය යෙහෝවා දෙවි වාර්තා කර තිබෙන නිසා යේසුස් ඉගැන්වූ ක්‍රම හඳුනාගෙන එය අනුකරණය කිරීමට අපට හැකියි. සභා රැස්වීම් මගින් දෙවි අපව පුහුණු කරන අතර දේශනා කිරීමට ඔහුගේ බලයද ලබා දෙනවා. (යොහ. 14:26) ඊට අමතරව, යෙහෝවා දෙවි අපට උපකාර කිරීම සඳහා පළපුරුදු ප්රචාරකයන්වද ලබා දී තිබෙනවා.
4. දේශනා කිරීමට අපට සුදුසුකම් තිබෙනවා කියා සිතීම වැරදි නැත්තේ ඇයි?
4 “අපට නිසි සුදුසුකම් ලබා දෙන්නේ දෙවි” නිසා දේශනා කිරීමට අපට සුදුසුකම් තිබෙනවා කියා සිතන්න හොඳ හේතු තිබෙනවා. (2 කොරි. 3:5) අපි යෙහෝවා දෙවි මත රඳා සිටිමින් ඔහුගේ ප්‍රේමණීය සැපයුම් හොඳින් යොදාගන්නවා නම් අපි ‘සියලු දේ කිරීමට සමත්ව සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටිනවා.’—2 තිමෝ. 3:17.