පාඩම් ලිපිය 29
අපේ නායකයාට උපරිම සහයෝගය දෙමු
“ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය මට දී තිබෙනවා.”—මතෙ. 28:18.
ගීතිකාව 13 අපේ ආදර්ශකයාණන් වන යේසුස්
මේ ලිපියෙන්a
1. යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත මොකක්ද?
යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත තමයි පොළොවේ අස්සක් මුල්ලක් නෑර ඉන්න හැමෝම ශුභාරංචිය දැනගන්න එක. (මාක් 13:10; 1 තිමෝ. 2:3, 4) ඒක කොච්චර වැදගත්ද කියනවා නම් ඒක අධීක්ෂණය කරන එක ඔහු භාර දීලා තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි ඔහුගේ ආදරණීය පුතා වන යේසුස්ට. ඇත්තටම යේසුස් තමයි ඒක කරන්න සුදුසුම කෙනා. අවසානය එන්න කලින් යෙහෝවා බලාපොරොත්තු වෙන විදිහටම ඔහු ඒ පැවරුම කරයි කියලා අපිට හොඳටම විශ්වාසයි.—මතෙ. 24:14.
2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
2 දෙවියන්ගේ සේවකයන්ව පෝෂණය කරන්න, අති දැවැන්ත ශුභාරංචිය දේශනා කිරීමේ වැඩේ සැලසුම් කරන්න යේසුස් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” පාවිච්චි කරන්නේ කොහොමද? (මතෙ. 24:45) අපේ නායකයා වන යේසුස්ටත් දාසයාටත් සහය වෙන්න අපි එක් එක් කෙනාට කරන්න පුළුවන් මොනවාද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.
දේශනා සේවය අධීක්ෂණය කරන්නේ යේසුස්
3. යේසුස්ට දීලා තියෙන්නේ මොන අධිකාරියද?
3 දේශනා කිරීමේ කාර්යයට මඟ පෙන්නන්නේ යේසුස්. කොහොමද අපි ඒක දන්නේ? ඒක තේරුම්ගන්න ස්වර්ගයට යන්න ටික වෙලාවකට කලින් යේසුස් ගලීලයේ කන්දක රැස් වෙලා හිටපු ඔහුගේ ගෝලයන්ට කියපු දෙයක් බලන්න. ඔහු කිව්වා “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය මට දී තිබෙනවා” කියලා. බලන්න ඊටපස්සේ යේසුස් කියපු දේ. “එමනිසා ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න.” (මතෙ. 28:18, 19) ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? යෙහෝවා දෙවියන් යේසුස්ට දීලා තියෙන බලයට නැත්නම් අධිකාරියට දේශනා කරන වැඩේට මඟ පෙන්නන එකත් ඇතුළත්.
4. යේසුස් අදටත් දේශනා කිරීමේ වැඩේට මඟ පෙන්නනවා කියලා අපි දන්නේ කොහොමද?
4 යේසුස් කිව්වා “සෑම ජාතියකටම” අයිති අයට ශුභාරංචිය දේශනා කරලා ඔහුගේ ගෝලයන් වෙන්න උදව් කරන්න කියලා. ඒ වගේම ඔහු කිව්වා “මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම” ගෝලයන් එක්ක ඉන්නවා කියලා. (මතෙ. 28:20) යේසුස් කියපු ඒ දේවල්වලින් පැහැදිලියි අපේ කාලේ සිද්ධ වෙන මේ දැවැන්ත ශුභාරංචිය දේශනා කිරීමේ වැඩේ පිටිපස්සේ යේසුස් ඉන්නවා කියලා.
5. ගීතාවලිය 110:3 තියෙන අනාවැකිය ඉටු කරන්න අද අපි හවුල් වෙන්නේ කොහොමද?
5 අවසාන කාලේදී මේ වැඩේ කරන්න කට්ටිය මදි වෙයි කියලා යේසුස්ගේ හිතේ පුංචිවත් සැකයක් තිබුණේ නැහැ. මොකද ගීතිකාකරු කියපු මේ වචන අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා ඔහු දැනන් හිටියා. “ඔබ ඔබේ හමුදාව සමඟ යුද්ධයට පැමිණෙන දවසේදී ඔබේ සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වන්නෝය.” (ගීතා. 110:3) ඔයාත් ශුභාරංචිය දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා ඉන්න කෙනෙක්ද? එහෙමනම් ඒ අනාවැකිය ඉටු කරන්න ඔයාත් හවුල් වෙනවා. ඒ විතරක් නෙවෙයි එහෙම කරද්දී ඔයා සහයෝගය දෙන්නේ යේසුස්ට සහ විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට. මේ අන්තිම කාලේ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩේ හරිම වේගයෙන් කෙරීගෙන යනවා. හැබැයි අභියෝග නැතුවමත් නෙවෙයි.
6. අද අපි මුහුණ දෙන එක අභියෝගයක් මොකක්ද?
6 ශුභාරංචිය දේශනා කරද්දී අපිට මුහුණ දෙන්න වෙන එක අභියෝගයක් තමයි විරුද්ධවාදිකම්. සත්‍යයට විරුද්ධව කැරලිගහන අය, ආගමික නායකයන්, දේශපාලනඥයන් අපේ සේවය ගැන අනිත් අයගේ හිතේ වැරදි චිත්‍රයක් අඳින්න උත්සාහ කරනවා. සමහරවිට ඒ බොරු කතා අහලා අපේ නෑදෑයෝ, අපි දන්න කියන අය, අපේ වැඩපොළේ අය යෙහෝවා දෙවියන්ට කරන සේවේ නවත්තන්න කියලා අපිට බලපෑම් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සමහර රටවල්වල විරුද්ධවාදීන් අපේ සහෝදරයන්ව බය ගන්වනවා, එයාලට තර්ජනය කරනවා, එයාලව අත්අඩංගුවට අරන් හිරේ දානවා. හැබැයි ඒ වගේ දේවල් වෙද්දී අපි පුදුම වෙන්නේ නැහැ. මොකද යේසුස් කලින්ම කිව්වා “ඔබ මගේ නාමය දරන නිසා සියලු ජාතීන් ඔබට වෛර කරයි” කියලා. (මතෙ. 24:9) අනිත් අතට අපි ඒ වගේ දේවල්වලට මුහුණ දෙද්දී ඒකෙන් ඔප්පු වෙනවා අපිට යෙහෝවාගේ අනුමැතිය තියෙනවා කියලා. (මතෙ. 5:11, 12) අපි හොඳටම දන්නවා මේ හැම විරුද්ධවාදිකමක්ම පිටිපස්සේ ඉන්නේ සාතන් කියලා. හැබැයි එයා ඒ මොන සෙල්ලම් දැම්මත් අපේ නායකයා වන යේසුස්ට තියෙන බලය එක්ක බලද්දී සාතන්ව ඒ අහලකින්වත් තියන්න බැහැ. ඒ නිසයි සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කරන වැඩේ සාතන්ට නවත්තන්න බැරි වෙලා තියෙන්නේ. මොකද ඒ වැඩේ පිටිපස්සේ යේසුස් ඉන්නවා. එහෙම කියන්න තියෙන සාක්ෂි කීපයක් අපි දැන් බලමු.
7. එළිදරව් 14:6, 7 ඉටු වෙනවා කියන්න තියෙන සාක්ෂි මොනවාද?
7 හැම ජාතියකටම අයිති අයට ශුභාරංචිය දේශනා කරන්න නම් එයාලගෙම භාෂාවෙන් ඒ පණිවිඩේ කියන්න වෙනවා. ඒක තමයි අපිට තියෙන ඊළඟ අභියෝගය. හැබැයි ඒ අභියෝගයත් අපිට ජය ගන්න පුළුවන් කියලා යේසුස් යොහන්ට කියපු දෙයින් පැහැදිලි වෙනවා. (එළිදරව් 14:6, 7 කියවන්න.) ඇත්තටම දෙවියන්ගේ සෙනඟ ඒ අභියෝගය ජය අරන් තියෙන්නේ කොහොමද? මේ වෙද්දී jw.org කියන අපේ වෙබ් අඩවියෙන් බයිබලේ තියෙන තොරතුරු භාෂා 1,000කට වඩා වැඩි ගාණකින් ලබාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බයිබල් පාඩම් කරන්න අපි දැන් පාවිච්චි කරන ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොත භාෂා 700කටත් වඩා වැඩි ගාණකට පරිවර්තනය කරන්න පාලක මණ්ඩලය අනුමැතිය දීලා තියෙනවා. යෙහෝවා දෙවියන්ගේ සෙනඟ බිහිරි සහ අන්ධ අයවත් අමතක කරලා නැහැ. බිහිරි අය වෙනුවෙන් සංඥා භාෂා වීඩියෝත් අන්ධ අය වෙනුවෙන් බ්‍රේල් ප්‍රකාශනත් දැන් තියෙනවා. එහෙම බලද්දී දේවරාජ්‍යය ගැන පණිවිඩය දැනගෙන ඒක පිළිගන්නවාද නැද්ද කියලා තීරණයක් ගන්න හැම කෙනෙක්ටම වගේ අවස්ථාව ලැබෙනවා. ඒ දේවල් නිසා “සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයිති” අයට පුළුවන් වෙලා තියෙනවා බයිබලේ තියෙන සත්‍යය ඒ කියන්නේ “පවිත්‍ර භාෂාව” ඉගෙනගන්න. (සෙක. 8:23; ශෙප. 3:9) මේ හැම දෙයක්ම මෙච්චර සාර්ථකව කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ තිරය පිටිපස්සේ ඉඳන් අපේ නායකයා වන යේසුස් අපිට මඟ පෙන්නන නිසයි.
8. මේ වෙන කල් අපේ සේවයෙන් ලැබිලා තියෙන හොඳ ප්‍රතිඵල මොනවාද?
8 මේ වෙද්දී ලෝකේ පුරා රටවල් 240ක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලක්ෂ 80කට වඩා වැඩිදෙනෙක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි හැම අවුරුද්දකම සිය දහස් ගාණක් බව්තීස්ම වෙලා අලුතින් සංවිධානයට එකතු වෙනවා. හැබැයි වැදගත් වෙන්නේ එකතු වෙන ගාණ නෙවෙයි. ඒ වෙනුවට එයාලා දෙවියන් ආස කරන ගුණාංග වර්ධනය කරගෙන “අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න” එකයි. (කොලො. 3:8-10) කලින් අනාචාර ජීවිත ගත කරපු, දරුණු, අනිත් අයව පහත් කරලා සලකපු, ජාතිවාදී හැඟීම්වලින් මත් වෙලා හිටපු හුඟදෙනෙක් එයාලගේ ජීවිත වෙනස් කරගෙන තියෙනවා. ඒ වගේම දෙවියන්ගේ සෙනඟ අතර ඉන්න කිසිම කෙනෙක් “යුද්ධයට පුහුණු වෙන්නේ නැහැ” කියලා යෙසායා 2:4 කියපු අනාවැකිය ඉටු වෙන විදිහත් අපි අද දකිනවා. ඒ විදිහට අපි අලුත් පෞද්ගලිකත්වය පැළඳගද්දී අපි යන්නේ යේසුස්ගේ අඩි පාරේ. ඒක දකින හුඟදෙනෙක් දෙවියන්ගේ සංවිධානයට ළං වෙලා තියෙනවා. (යොහ. 13:35; 1 පේතෘ. 2:12) ඒ කිසිම දෙයක් අහම්බෙන් සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඒ හැම දේම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ යේසුස්ගේ නායකත්වය නිසයි.
යේසුස් දාසයෙක්ව පත් කරයි
9. මතෙව් 24:45-47 කියන විදිහට අන්තිම කාලේදී සිද්ධ වෙන්නේ මොකක්ද?
9 මතෙව් 24:45-47 කියවන්න. යේසුස් කිව්වා අවසාන කාලේදී “විශ්වාසවන්ත නුවණ ඇති දාසයෙක්ව” පත් කරනවා කියලා. ඒ දාසයා දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අනිත් අයට උදව් කරනවා. කිව්වා වගේම අපේ නායකයා වන යේසුස් අභිෂේක ලත් සහෝදරයන්ගෙන් කීපදෙනෙක්ව තෝරගෙන එයාලව දාසයා විදිහට පත් කරලා තියෙනවා. ඒ දාසයා දෙවියන්ගේ සෙනඟට සහ සත්‍යයට උනන්දු අයට “නියම වෙලාවට” පෝෂණය දෙන්න කොච්චර නම් මහන්සි වෙනවාද! හැබැයි ඒ නිහතමානී සහෝදරයන් කවදාවත් හිතන්නේ නැහැ එයාලා අනිත් අයගේ විශ්වාසයට බලපෑම් කරන පාලකයන් කියලා. (2 කොරි. 1:24) ඒ වෙනුවට හැමෝගෙම “නායකයා සහ අධිපතියා” යේසුස් ක්‍රිස්තුස් කියලා එයාලා තේරුම් අරන් ඉන්නවා.—යෙසා. 55:4.
10. සදාකාල ජීවනයට යන පාරට අඩිය තියන්න ඔයාට උදව් වුණේ පින්තූරවල පෙන්නලා තියෙන කොයි පොතද?
10 සත්‍යය ගැන උනන්දුවක් තියෙන අයට සත්‍යයේ රස බලන්න 1919 ඉඳන් විශ්වාසවන්ත දාසයා හුඟක් පොත් පත් දීලා තියෙනවා. 1921දී ‘දෙවිගේ වීණාව’ කියන පොත මුදාහැරියා. බයිබලේ තියෙන මූලික සත්‍යයන් දැනගන්න ඒ පොත හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා. පහුගිය දශක ගාණ පුරාවටම ඒ ඒ කාලෙට ගැළපෙන විදිහට, මිනිස්සුන්ගේ හිත්වලට කාවදින විදිහට බයිබල් සත්‍යයන් උගන්වන්න සංවිධානයෙන් හුඟක් පොත් ලැබිලා තියෙනවා. ‘දෙවි සැබෑ බව ඔප්පු වේවා!,’ ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය,’ ‘පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක,’ ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම,’ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු,’ ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ සහ අපිට අලුතින්ම ලැබුණ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොත් ඒවාට හොඳ උදාහරණ. යෙහෝවා ගැන ආදරයක් ඇති කරගෙන සදාකාල ජීවනයට යන පාරට අඩිය තියන්න ඔයාට උදව් වුණේ මොන පොතද?
11. අපි හැමෝම යෙහෝවා දෙවියන් ගැන, බයිබලේ ගැන දිගටම ඉගෙනගන්න එක වැදගත් ඇයි?
11 පාවුල් කිව්වා “ගන ආහාර ලබා දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයට” කියලා. ඒකෙන් පැහැදිලියි සත්‍යයට අලුතින් එන අය විතරක් නෙවෙයි කාලයක් තිස්සේ සත්‍යයේ ඉන්න අය වුණත් ගන ආහාර ඒ කියන්නේ බයිබලේ තියෙන ගැඹුරු කාරණා තේරුම්ගන්න දිගටම උත්සාහ කරන්න ඕනෙ කියලා. මොකද ‘හරි වැරැද්ද අතර වෙනස නිවැරදිව හඳුනගන්න’ නම් බයිබලේ තියෙන දේවල් නිකන් මතුපිටින් දැනන් ඉඳලා විතරක් මදි. (හෙබ්‍රෙ. 5:14) ඒකට අපි ඉගෙනගන්න ගැඹුරු කාරණා ජීවිතේට අදාළ කරගන්නත් ඕනේ. අපි ජීවත් වෙන මේ කාලේ සදාචාරය පහත්ම අඩියට වැටිලයි තියෙන්නේ. ඒ නිසා යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන එක අපිට ලේසි නැහැ. ඒ වෙනුවෙන් අපි කොච්චර ලොකු සටනක් කරනවාද කියලා අපේ නායකයා වන යේසුස් දකිනවා. ඒ නිසා දිගටම ස්ථිරව ඉන්න අපිට අවශ්‍ය ශක්තිය, පෝෂණය අවශ්‍යම වෙලාවට ඔහු දාසයා මාර්ගයෙන් දෙනවා. දෙවියන්ගේ වචනය පාවිච්චි කරලා දාසයා මාර්ගයෙන් යේසුස් දෙන ඒ පෝෂණය හරියට උණු උණුවේ පිළිගන්වන රසවත් කෑම වේලක් වගේ!
12. යේසුස් වගේ අපිත් දෙවියන්ගේ නම ගෞරවයට පත් කරලා තියෙන්නේ කොහොමද?
12 1931දී අපිව “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්” කියන නමින් හඳුන්වන්න පටන්ගත්තා. (යෙසා. 43:10-12) ඒකෙන් පේනවා සෙනඟක් විදිහට දෙවියන්ගේ නම දරන්න ලැබුණ එක අපි කොයි තරම් ලොකු ගෞරවයක් විදිහට සලකනවාද කියලා. සමහරවිට ඔයා දැකලා ඇති ‘මුරටැඹ’ සඟරාවේ පිට කවරෙත් “යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි” කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ විදිහට කවරේ යෙහෝවා කියන නම සඳහන් කරන්න පටන්ගත්තේ 1931 ඔක්තෝබර් මාසේ ඉඳන්. අද ඉන්න ක්‍රිස්තියානි කියාගන්න ආගම්වල නායකයන් දෙවියන්ගේ නම හුඟක් බයිබල් පරිවර්තනවලින් අයින් කරලා. හැබැයි අපි ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ ඒ නම තියෙන්න ඕනෙ තැන්වල ඒ විදිහටම සඳහන් කරලා තියෙනවා. ඒ වගේ විදිවලින් දෙවියන්ගේ සෙනඟට පුළුවන් වෙලා තියෙනවා යේසුස් වගේ යෙහෝවා දෙවියන්ගේ නමට ලැබෙන්න ඕනෙ ගෞරවය දෙන්න.—යොහ. 17:6, 26.
යේසුස් තමන්ගේ අනුගාමිකයන්ව සංවිධානය කරයි
13. අද අපිට මඟ පෙන්නන්න යේසුස් පාවිච්චි කරන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි? (යොහන් 6:68)
13 යේසුස් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” පාවිච්චි කරලා මේ පොළොවේ සැබෑ නමස්කාරය නඟා සිටුවන්න හරිම පුදුමාකාර සංවිධානයක් පිහිටුවලා තියෙනවා. ඒ සංවිධානය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? කිසිම සැකයක් නැහැ ඔයාටත් පේතෘස්ට වගේ මෙහෙම හැඟෙනවා ඇති. “අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයට මඟ පාදන වදන් පවසන්නේ ඔබ පමණයි.” (යොහ. 6:68) ටිකකට හිතලා බලන්න, මේ සංවිධානය ගැන දැනගන්න ලැබුණේ නැත්නම් අද අපි කොහේ ඉඳියිද? අපේ ජීවිතවලට මොනවා වෙලා තියෙයිද? අපේ නායකයා වන යේසුස් අපිව පෝෂණය කරන්නේ, දක්ෂ විදිහට සේවේ කරන්න අපිව පුහුණු කරන්නේ මේ සංවිධානය පාවිච්චි කරලා. ඒ විතරක් නෙවෙයි “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගෙන යෙහෝවා දෙවියන්ව සතුටු වෙන විදිහට ජීවත් වෙන්න අපිට පුළුවන් වෙලා තියෙන්නෙත් යේසුස් සංවිධානය මාර්ගයෙන් අපිට මඟ පෙන්නන නිසයි.—එෆී. 4:24.
14. කොරෝනා වසංගත කාලේදී සංවිධානයෙන් ලැබුණ මඟ පෙන්වීම්වලින් ඔයා ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද?
14 ප්‍රශ්න ගැටලු නිසා මුළු ලෝකෙම නොසන්සුන් වෙන කාලවලදී සන්සුන්ව ඉන්න උදව් වෙන මඟ පෙන්වීම් යේසුස් අපිට දෙනවා. කොරෝනා වසංගත කාලය ඒකට හොඳ උදාහරණයක්. කරකියාගන්න දෙයක් නැතුව මිනිස්සු අසරණ වෙද්දී වසංගතයෙන් ආරක්ෂා වෙන්න අපි මොනවාද කරන්න ඕනෙ කියලා යේසුස් සංවිධානය මාර්ගයෙන් අපිට පැහැදිලි මඟ පෙන්වීම් දුන්නා. මාස්ක් දාන්න කියලා, සමාජ දුරස්ථභාවය පවත්වගන්න කියලා සංවිධානයෙන් නිතර නිතර අපිට මතක් කළා. ඒ වගේම සහෝදරයන්ට ඕනෙ කරන දේවල් තියෙනවාද, එයාලා සනීපෙන් ඉන්නවාද, එයාලට සංවිධානයෙන් ලැබෙන පෝෂණය අඩුවක් නැතුව ලැබෙනවාද කියන එක ගැන දිගටම හොයලා බලන්න කියලා වැඩිමහල්ලන්ටත් මඟ පෙන්වීම් ලැබුණා. (යෙසා. 32:1, 2) ඊට අමතරව අපිට ඕනෙම කරන වෙලාවේදී අවශ්‍යම මඟ පෙන්වීම් සහ දිරිගැන්වීම් පාලක මණ්ඩලයේ වාර්තාවලිනුත් අපිට ලැබුණා.
15. වසංගත කාලේ රැස්වීම් සහ සේවය ගැන සංවිධානයෙන් ලැබුණේ මොන වගේ මඟ පෙන්වීම්ද? ඒවා අදාළ කරගද්දී ලැබුණේ මොන වගේ ප්‍රතිඵලද?
15 වසංගත කාලේදී අපි රැස්වීම් පවත්වන්න ඕනෙ විදිහ ගැන, සේවේ කරන්න ඕනෙ විදිහ ගැන සංවිධානයෙන් පැහැදිලි මඟ පෙන්වීම් ලැබුණා. අපි රැස්වීම්, සමුළු පවත්වපු විදිහ එක රැයකින් වෙනස් වුණා. ඊටපස්සේ අපිට ඒවා පවත්වන්න වුණේ වීඩියෝ කොන්ෆරන්ස් ක්‍රම හරහා. ඒ විතරක් නෙවෙයි අපි සේවේ කරන විදිහත් වෙනස් වුණා. කාලයක් තිස්සේ මිනිස්සුන්ව මූණට මූණ හම්බ වෙලා ශුභාරංචිය කියපු අපිට වසංගත කාලේදී මිනිස්සු ළඟට යන්න වුණේ ෆෝන් එකෙන්, ලිපි මාර්ගයෙන්. ඒ වෙනස්කම්වලට හැඩගැහිලා දිගටම සේවේ කරන්න අපි දරපු උත්සාහයට යෙහෝවා කොච්චර ආශීර්වාද කරලා තියෙනවාද! හුඟක් ශාඛා කාර්යාල කියනවා එයාලගේ ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාවේ ලොකු වර්ධනයක් තියෙනවා කියලා. ඒ වගේම මේ අලුත් විදිවලින් සේවේ කරලා අපේ සහෝදර සහෝදරියන්ට ගොඩක් හොඳ අද්දැකීමුත් හම්බ වෙලා තියෙනවා.—“අපේ සේවේට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරයි!” කියන කොටුව බලන්න.
16. අපිට සහතික වෙන්න පුළුවන් මොකක් ගැනද?
16 සමහරුන්ට හිතිලා තියෙනවා සංවිධානය මේ වසංගතේට බොරුවට බය වෙලා ඕනෑවට වඩා සීමා තහංචි දැම්මා කියලා. හැබැයි ඒ මඟ පෙන්වීම් අපිට ලැබිලා තියෙන්නේ නියම වෙලාවට කියලා ලැබුණ ප්‍රතිඵලවලින් පේනවා. (මතෙ. 11:19) යේසුස් හරිම ආදරෙන් තමන්ගේ සෙනඟට මඟ පෙන්නලා තියෙන විදිහ ගැන හොඳට හිතද්දී අපිට සහතික වෙන්න පුළුවන් මොකක් ගැනද? ඉස්සරහට මීට වඩා දරුණු දේවල්වලට මුහුණ දෙන්න වුණත් අපිට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද යෙහෝවා දෙවියන් සහ ඔහුගේ ආදරණීය පුතා වන යේසුස් අපේ ළඟින්ම ඉඳන් අපිට දිගටම මඟ පෙන්නනවා.—හෙබ්‍රෙව් 13:5, 6 කියවන්න.
17. අපේ නායකයා විදිහට යේසුස් අපිට මඟ පෙන්වන එක ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?
17 යේසුස් අපිට මඟ පෙන්වන්න පාවිච්චි කරන මේ සංවිධානය එසේ මෙසේ එකක් නෙවෙයි. ජාතිය, භාෂාව, සංස්කෘතිය කියන රැහැන් බිඳලා අපිව එක්සත් කරලා තියෙන්නේ මේ සංවිධානයයි. යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න ඕනෙ කරන පෝෂණය, දේශනා සේවේට ඕනෙ කරන පුහුණුව සංවිධානයෙන් කිසි අඩුවක් නැතුව අපිට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි යෙහෝවා කැමති ගුණාංග වර්ධනය කරගෙන අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්නත් එකිනෙකාට ආදරේ කරන්නත් සංවිධානයෙන් අපිට උගන්නනවා. ඒ විදිහට බලද්දී මේ සංවිධානය පිටිපස්සේ ඉඳන් අපිට මඟ පෙන්නන අපේ නායකයා වන යේසුස් ගැන ආඩම්බරෙන් කතා කරන්න අපිට කොච්චර නම් හේතු තියෙනවාද!
ගීතිකාව 16 යේසුස්ව අභිෂේක කළාට දෙවිට ප්‍රශංසා කරන්න
a මිලියන ගාණක් පුරුෂයන්, ස්ත්‍රීන්, දරුවන් මේ කාලේ උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරනවා. ඔයාත් ඒ අතරේ ඉන්නවාද? එහෙමනම් ඔයා ඒ සේවය කරන්නේ අපේ නායකයා වන යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ කියලා අමතක කරන්න එපා. ඒත් අද ලෝකේ පුරාම සිද්ධ වෙන ශුභාරංචිය දේශනා කිරීමේ වැඩේට මඟ පෙන්නන්නේ යේසුස් කියලා අපි හරියටම කියන්නේ කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලනවා. යේසුස්ගේ මඟ පෙන්වීමට යටත් වෙලා දිගටම යෙහෝවා දෙවියන්ට සේවේ කරන්න ඔයා අරන් තියෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න ඒ තොරතුරු ඔයාට උදව් වෙයි.