ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 දෙසැම්බර් 14-17 පි.
  • මත්පැන් ගැන ඔයා හිතන්නේ දෙවියන් හිතන විදිහටමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මත්පැන් ගැන ඔයා හිතන්නේ දෙවියන් හිතන විදිහටමද?
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලේ කියන දේ
  • ඔයාවම සෝදිසි කරලා බලන්න
  • මත්පැන් ගැන ක්‍රිස්තියානීන් හිතන්නේ මොකක්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • නිසි තැන දෙන්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මත්පැන් පානය පිළිබඳව සමබර දෘෂ්ටියක් තබාගන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මත්පැන් ගන්න එක පාලනය කරගන්නේ කොහොමද?
    තවත් ලිපි
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 දෙසැම්බර් 14-17 පි.
සහෝදරයන් තුන්දෙනෙක් රෙස්ටූරන්ට් එකක කෑම කනවා. දෙන්නෙක් මත්පැන් බොන අතරේ අනිත් කෙනා නිකං බීම එකක් බොනවා. වේටර්වරිය අහද්දී තව මොනවා හරි ඕනෙද කියලා, බීම එකක් බිබී ඉන්න සහෝදරයා කාරුණිකව එපා කියනවා. මත්පැන් බොන සහෝදරයා කියනවා තව ගේන්න කියලා.

මත්පැන් ගැන ඔයා හිතන්නේ දෙවියන් හිතන විදිහටමද?

යෙහෝවා අපිට ගොඩක් තෑගි දීලා තියෙනවා. ඒ වගේම ඒවා රස විඳින්න අපිට නිදහස් කැමැත්තත් දීලා තියෙනවා. කිසිම සැකයක් නැහැ ඒ ගැන ඔයාගේ හිතේ ලොකු අගයක් ඇති. බයිබලේ කියනවා “වයින් බීමෙන් ජීවිතයට සතුටක් එක් කළ හැකියි” කියලා. (දේශ. 10:19; ගීතා. 104:15) එහෙම බලද්දී වයින් කියන්නෙත් දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්. හැබැයි ඔයා දැකලා ඇති වයින් සහ මත්පැන් වර්ග හරි විදිහට පාවිච්චි කරන්නේ නැති හින්දා ගොඩක් අයගේ ජීවිත නාස්ති වෙලා තියෙනවා. ඊට අමතරව ලෝකේ පුරා විවිධ සංස්කෘතීන්වල ඉන්න අයට මත්පැන් පාවිච්චි කරන එක ගැන විවිධ අදහස් තියෙනවා. ඒත් අපි මත්පැන් ගැන හිතන්න ඕනෙ කොහොමද?

අපි ලෝකේ කොහේ ජීවත් වුණත් මොන සංස්කෘතියට අයිති වුණත් යෙහෝවා දෙවියන් හිතන විදිහට හිතන්න පුරුදු වෙනවා නම් අපිට කවදාවත් නරකක් වෙන්නේ නැහැ.

ලෝකේ හුඟක් පැතිවල ඉන්න සමහර මිනිස්සු හැම වෙලේම වගේ මත්පැන් බොනවා. තවත් අය බොන්න ගත්තාම සීමාවක් නැහැ, බෝතල් ගණන් බොනවා. තවත් සමහරු බොන්නේ ප්‍රශ්නවලින්, පීඩනයෙන් මිදෙන්න. නැත්නම් ටිකක් සැහැල්ලු වෙන්න හිතාගෙන. නියම පිරිමියෙක් නම් හොඳට බොන්න ඕනෙ කියලා හිතන අයත් ඉන්නවා.

හැබැයි අපිට නම් මේ කාරණයේදී ඥානවන්ත තීරණ ගන්න අපේ නිර්මාතෘ උදව් කරලා තියෙනවා. උදාහරණෙකට සීමාවක් නැතුව බොන එකෙන් ඇති වෙන අමිහිරි ප්‍රතිඵල ගැන ඔහු අපිට අනතුරු අඟවලා තියෙනවා. වෙරි වුණ කෙනෙක් කොයි වගේද, ඒ වගේ කෙනෙක් මුහුණ දෙන්නේ මොන වගේ ප්‍රශ්නවලටද කියලා හිතෝපදේශ 23:29-35 විස්තරාත්මකව පැහැදිලි කරනවා.a යුරෝපයේ රටක වැඩිමහල්ලෙක් වන ඩැනියෙල් මෙහෙම කියනවා. “මං සත්‍යයට එන්න කලින් බෝතලේ කටේ තියාගත්තු ගමන්මයි. ඒ නිසා මං ජීවිතේ ගොඩක් තැන්වල වරද්දගත්තා, මට සෑහෙන්න ප්‍රශ්න වුණා. ඒවා මතක් වෙද්දී අදටත් ලොකු වේදනාවක් දැනෙනවා.”

ඥානවන්ත තීරණ අරන් මත්පැන් නිසා ඇති වෙන අනවශ්‍ය ප්‍රශ්න වළක්වගන්න අපිට පුළුවන් කොහොමද? ඒකට රහස තමයි දෙවියන් හිතන විදිහට හිතන්න පුරුදු වෙලා ඒ විදිහට වැඩ කරන එක.

මත්පැන් ගැන බයිබලේ කියන්නේ මොනවාද කියලත් ගොඩක් අය බොන්න පෙලඹෙන තවත් හේතු කීපයක් ගැනත් දැන් අපි බලමු.

බයිබලේ කියන දේ

ඇල්කොහොල් අඩංගු බීම සීමාවක් ඇතුව බොන එක බයිබලේ හෙළා දැකලා නැහැ. ඒ වෙනුවට බයිබලේ කියන්නේ ඒකෙන් සතුටක් ලැබෙනවා කියලා. උදාහරණෙකට බයිබලේ මෙහෙම කියනවා. “ප්‍රීතියෙන් කෑම කන්න. සතුටින් වයින් බොන්න.” (දේශ. 9:7) යේසුස් සහ අතීතයේ හිටපු සමහර විශ්වාසවන්ත සේවකයන් පවා සමහර අවස්ථාවලදී වයින් බීලා තියෙනවා.—මතෙ. 26:27-29; ලූක් 7:34; 1 තිමෝ. 5:23.

හැබැයි ටිකක් බොන එකයි, වෙරි වෙන්නම බොන එකයි අතර පැහැදිලි වෙනසක් තියෙනවා කියලා බයිබලේ කියන දේවල්වලින් පේනවා. උදාහරණෙකට බයිබලේ කියනවා “වයින්වලින් වෙරි නොවන්න” කියලා. (එෆී. 5:18) ඒ වගේම ‘බේබද්දන්ට දෙවිගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ’ කියලත් ඒකේ කියනවා. (1 කොරි. 6:10) සීමාවක් නැතුව බොන එකවත් වෙරි වෙන කල්ම බොන එකවත් යෙහෝවා කොහොමටවත් අනුමත කරන්නේ නැහැ. එහෙමනම් අපි කවදාවත් අපේ සංස්කෘතියට යට වෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට අපි හැම තිස්සේම උත්සාහ කරන්න ඕනෙ දෙවියන් සතුටු වෙන විදිහේ තීරණ ගන්නයි.

සමහර අය හිතනවා ‘මං කොච්චර බිව්වත් මට කෙළින් ඉන්න පුළුවන්’ කියලා. හැබැයි එහෙම හිතන එක හරිම භයානකයි. මොකද පුරුෂයන්ට වගේම ස්ත්‍රීන්ටත් බයිබලේ පැහැදිලිවම කියලා තියෙනවා “බොහෝ වයින් පානයට ඇබ්බැහි” වෙන්න එපා කියලා. (තීත. 2:3; හිතෝ. 20:1) මොකද එහෙම වුණොත් එයා අතින් බරපතළ වරදක් වුණත් වෙලා දෙවියන් එක්ක තියෙන බැඳීමත් පලුදු වෙන්න පුළුවන්. ඒ වගේම යේසුත් කිව්වා ‘අධික බීමට’ ඇබ්බැහි වුණ කෙනෙක්ට දේවරාජ්‍යයට ඇතුල් වෙන්න බැහැ කියලා. (ලූක් 21:34-36) එහෙමනම් මේ උගුලට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?

ඔයාවම සෝදිසි කරලා බලන්න

මත්පැන් ගැන තීරණ ගද්දී අපේ සංස්කෘතියට වහල් වෙන එකේ ලොකු අනතුරක් තියෙනවා. මොකද ක්‍රිස්තියානීන් විදිහට අපිට ඕනෙ “කෑවත් බීවත් වෙන කිසිවක් කළත් සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න.” (1 කොරි. 10:31) අපේ එකම ආසාව හැම දේකදීම යෙහෝවාව සතුටු කරන එක. ඒකට උදව් වෙන ප්‍රතිපත්ති කීපයක් ගැනත් අපෙන්ම අහගන්න පුළුවන් ප්‍රශ්න කීපයක් ගැනත් දැන් අපි බලමු.

මං බොන්නේ අනිත් අය මාව කොන් කරයි කියන බයටද? නික්මයාම 23:2 කියනවා “වැඩිදෙනෙකුගේ කීම අසා වැරදි දේ නොකරන්න” කියලා. එතන යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු ඇඟෙව්වා ඔහු අකමැති දේවල් කරන අයගේ පස්සේ යන්න එපා කියලා. දෙවියන් කියපු ඒ උපදෙස අපිටත් අදාළයි. මත්පැන් සම්බන්ධ කාරණයේදී අපි අනිත් අයගේ අච්චුවටම වැටෙන්න හොඳ නැහැ. (රෝම 12:2) මොකද එහෙම වුණොත් අපිත් යෙහෝවාගෙන්, ඔහුගේ ප්‍රතිපත්තිවලින් ඈතට ඈතට ගහගෙන යයි.

මං බොන්නේ අනිත් අයට මගේ ශක්තිය පෙන්නන්නද? සමහර සංස්කෘතිවල නිතරම බොන එක වගේම සීමාවක් නැතුව බොන එකත් සාමාන්‍ය දෙයක්. (1 පේතෘ. 4:3) හැබැයි බලන්න 1 කොරින්ති 16:13 අපිට දෙන මඟ පෙන්වීම. එතන මෙහෙම කියනවා. “අවදිව සිටින්න. ඔබේ විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න. පුරුෂයන් මෙන් නිර්භීතව කටයුතු කරන්න. තව තවත් නිර්භීත වන්න.” මත්පැන්වලට පුළුවන්ද කෙනෙක්ව නිර්භීත, ශක්තිමත් කෙනෙක් කරන්න? කොහෙත්ම බැහැ! ශක්තිමත් වෙන එක කෙසේ වෙතත් මත්පැන් නිසා එයා දුර්වල කෙනෙක් නම් වෙයි. මොකද බිව්වාට පස්සේ එයාට හරියට හිතන්න බැහැ, හොඳ තීරණ ගන්න බැහැ. එහෙම බලද්දී සීමාව ඉක්මවා බොන කෙනෙක් ඇත්තටම මෝඩයි. ඒක යෙසායා 28:7 කියන දෙයිනුත් පැහැදිලි වෙනවා. එතන කියනවා මත්පැන් නිසා මංමුළා වෙලා ඉන්න කෙනෙක් වියවුල් වෙලා ඒ මේ අත ඇවිදිනවා කියලා. ඒ වගේම හරි තීරණ ගන්න බැරි වෙන තරමටම මත් වෙලා ඉන්නවා කියලා.

ඇත්තටම නියම ශක්තිය අපිට ලැබෙන්නේ යෙහෝවා දෙවියන්ගෙන් විතරයි. හැබැයි ඒක ලබාගන්න නම් අපි අවදිව ඉඳලා අපේ විශ්වාසය නැති කරගන්නේ නැතුව ස්ථිරව ඉන්න ඕනේ. (ගීතා. 18:32) එහෙම කරන්න නම් අපි යෙහෝවා එක්ක අපිට තියෙන බැඳීමට හානි වෙන දේවල්වලින් ඈත් වෙලා ඥානවන්ත තීරණ ගන්න ඕනේ. යේසුස් ඒකට හොඳ ආදර්ශයක්. දෙවියන් එක්ක තියෙන බැඳීම පලුදු කරන්න ඔහු කිසිම දේකට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ඔහු ගොඩක් නිර්භීත, ශක්තිමත් කෙනෙක් විදිහට හැමෝගෙම වගේ ගෞරවය දිනාගත්තා.

මං බොන්නේ ප්‍රශ්න අමතක කරන්නද? ගීතිකාකරු මෙහෙම කිව්වා. “මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.” (ගීතා. 94:19) ඒකෙන් පේනවා ප්‍රශ්න එද්දී අපි කරන්න ඕනෙ බෝතලේ පිහිට පතන එක නෙවෙයි යෙහෝවාගේ පිහිට පතන එක කියලා. ඒකට ඔයාගේ ප්‍රශ්න ගැන කියලා යෙහෝවාට හැම වෙලේම යාච්ඤා කරන්න. ඒක තමයි ඔයාට කරන්න පුළුවන් හොඳම දේ. සභාවේ ඉන්න අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ට කතා කරලා එයාගෙන් උදව් ගන්න එකෙනුත් ගොඩක් අය ප්‍රයෝජන ලබලා තියෙනවා. ඇත්තටම ඔයාගේ ප්‍රශ්න දරාගන්න මත්පැන් උදව්වක් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ තව තවත් ප්‍රශ්නවලට ඔයා පැටලෙන එක විතරයි. මොකද හරි දේ කරන්න ඔයාට තියෙන අධිෂ්ඨානය දුර්වල කරන්න මත්පැන්වලට පුළුවන්. (හොෂෙ. 4:11) කලින් සඳහන් කරපු ඩැනියෙල් මෙහෙම කියනවා. “ඉස්සර මගේ හිත හරියට වධ දුන්නා. මගේ ඔළුවට ලොකු බරක් දැනුණා. ඒ ප්‍රශ්න අමතක කරන්න තමයි මං ගොඩක්ම බිව්වේ. හැබැයි අන්තිමට වුණේ ප්‍රශ්න තව වැඩි වෙන එක විතරයි. මට යාළුවොත් නැති වුණා. මගේ ආත්ම ගෞරවයත් නැති වුණා.” ඒකෙන් ගොඩ එන්න ඩැනියෙල්ට උදව් වුණේ මොකක්ද? එයා මෙහෙම කියනවා. “මං තේරුම්ගත්තා ප්‍රශ්න එද්දී මං හොයාගෙන යන්න ඕනෙ බෝතලේ නෙවෙයි යෙහෝවාව කියලා. අන්තිමේදී මට පුළුවන් වුණා ඔහුගේ උදව්වෙන් ප්‍රශ්නවලින් ගොඩ එන්න.” සමහරවිට විසඳුමක් පේන තෙක් මානෙක නැහැ කියලා අපිට හිතෙයි. හැබැයි විසඳුමක් හොයාගන්න යෙහෝවා ඕනම වෙලාවක අපි ළඟ ඉන්නවා.—ෆිලි. 4:6, 7; 1 පේතෘ. 5:7.

සහෝදරියක් මත්පැන් බෝතලයක් දිහා බලන ගමන් කල්පනා කරනවා.

ඔයාත් මත්පැන් ගන්න කෙනෙක් නම් මේ වගේ ප්‍රශ්න ගැන හිතලා බලන එක ඔයාට උදව්වක්. ‘මං බොනවා වැඩියි කියලා මගේ පවුලේ කෙනෙක් නැත්නම් යාළුවෙක් මට කියලා තියෙනවාද?’ එහෙමනම් ඒකෙන් පේනවා ඔයාටත් නොදැනීම ඔයා ටිකෙන් ටික බීමට ඇබ්බැහි වෙන්න අරන් කියලා. ‘ඉස්සරට වඩා මං දැන් ටිකක් බොනවා වැඩිද?’ එහෙමනම් ඒකෙන් තේරෙනවා ඔයා මේ අඩියෙන් අඩිය ළං වෙන්නේ බේබදුකම කියන වළට කියලා. ‘මට ටික දවසක්වත් කොටින්ම කිව්වොත් දවසක් දෙකක්වත් බොන්නේ නැතුව ඉන්න බැරිද?’ එහෙමනම් ඔයා දැනටමත් මත්පැන්වලට ඇබ්බැහි වෙලයි ඉන්නේ. ඒ වළෙන් ගොඩ එන්න නම් සමහර වෙලාවට ඔයාට වෛද්‍ය උපදෙස් ගන්න වෙයි.

මත්පැන්වලින් වෙන්න පුළුවන් හානිය නිසා සමහර ක්‍රිස්තියානීන් තීරණය කරලා තියෙනවා මත්පැන් කටේවත් තියන්නේ නැතුව ඉන්න. තවත් සමහර අය නොබී ඉන්නේ ඒ රසට ආස නැති නිසා. ඔයා දන්න කියන කෙනෙක් නොබී ඉන්න තීරණය කරලා තියෙනවා නම් ඒ තීරණය ගැන ප්‍රශ්න නොකර ඒකට ගරු කරන්න. ඒක ඇත්තටම එයාට ආදරේ පෙන්නන්න පුළුවන් විදිහක්.

ඔයා කොච්චරක් බොනවාද, කොච්චර කාලෙකට සැරයක් බොනවාද කියලා ඔයාටම සීමාවන් දාගන්න එක හොඳයි කියලා ඔයාට හිතිලා ඇති. සමහර ක්‍රිස්තියානීන් තීරණය කරන්න පුළුවන් සතියට වතාවක් බොනවා කියලා. එහෙම නැත්නම් කෑම ගන්න සමහර අවස්ථාවලදී විතරක් ටිකක් බොන්න තීරණය කරන අයත් ඉන්නවා. තවත් අය සමහර මත්පැන් වර්ග නොබී ඉන්න තීරණය කරනවා. උදාහරණෙකට එයාලා වයින්, බියර් වගේ දේවල් බිව්වත් ඊට වඩා සැර ජාති නොබී ඉන්න තීරණය කරනවා. කොටින්ම කිව්වොත් ඒ වගේ සැර බීම කොක්ටේල් විදිහට හදපු වෙනත් පලතුරු බීම එක්ක මිශ්‍ර කරලා තිබුණත් එයාලා බොන්නේ නැහැ. ඒ විදිහට කෙනෙක් තමන්ටම සීමාවන් දාගද්දී ඒවාට ඇලිලා ඉන්න එයාට ගොඩක් ලේසියි. ඒ වගේම අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් එයා ගන්න තීරණ ගැන ලැජ්ජා වෙන්න ඕනෙ නැහැ.

මේ කාරණයේදී අපි අනිත් අය ගැනත් සැලකිලිමත් වෙන එක වැදගත්. මොකද රෝම 14:21 කියනවා “මස් කෑමෙන් හෝ වයින් බීමෙන් හෝ වෙනත් ඕනෑම දෙයක් කිරීමෙන් හෝ ඔබේ සහෝදරයා තුළ තිබෙන විශ්වාසයට යම් හානියක් සිදු වේ නම් එයින් වැළකී සිටීම වඩාත් හොඳයි” කියලා. මේ ප්‍රතිපත්තිය අදාළ කරගන්න නම් අපිට අනිත් අය ගැන ආදරයක් තියෙන්නම ඕනේ. ඔයා මත්පැන් ගත්තොත් ඔයා ළඟ ඉන්න කෙනෙක් බාධාවට පත් වෙයි කියලා ඔයාට තේරෙනවා නම් ඔයා මොකද කරන්නේ? ඔයා එයාට ඇත්තටම ආදරෙයි නම් එයා වෙනුවෙන් නොබී ඉන්න වුණත් පෙලඹෙන්නේ නැද්ද? ඒ විදිහට අනිත් අයට ගරු කරනවා නම් ඒකෙන් පේන්නේ ඔයා ඔයා ගැන විතරක් නෙවෙයි අනිත් අයගේ හැඟීම් ගැනත් හිතනවා කියලා.—1 කොරි. 10:24.

මත්පැන් ගැන තීරණ ගද්දී ක්‍රිස්තියානියෙක් රජයෙන් දාලා තියෙන නීතිවලටත් යටත් වෙන්න ඕනේ. උදාහරණෙකට සමහර රටවල්වල මත්පැන් ගන්න අවසර තියෙන්නේ නිශ්චිත වයස් මට්ටමක් පහු කරපු අයට විතරයි. ඒ වගේම බීලා වාහන එළවන එක, සමහර මැෂින් පාවිච්චි කරන එක තහනම් කරලා තියෙන රටවලුත් තියෙනවා.—රෝම 13:1-5.

යෙහෝවා අපිට දීලා තියෙන හැම තෑග්ගක්ම රස විඳින්න ඔහු අපිට නිදහස දීලා තියෙනවා. ඒකෙන් ඔහු පෙන්නලා තියෙන්නේ ඔහු අපිට කොච්චර ගෞරව කරනවාද කියලයි. ඔහු දීලා තියෙන ඒ නිදහසට අපි කන්නේ බොන්නේ මොනවාද කියලා තීරණය කරන එකත් ඇතුළත්. ඒ නිසා දෙවියන් දීලා තියෙන නිදහස හරි විදිහට පාවිච්චි කරලා ඒක අපි කොච්චර අගය කරනවාද කියලා පෙන්නමු. එහෙම කරද්දී අපේ ආදරණීය තාත්තා අපි ගැන කොච්චර සතුටු වෙයිද!

a එක්සත් ජනපදයේ රෝග මර්දනය සහ වළක්වාගැනීම සඳහා පිහිටුවලා තියෙන ආයතනවලින් හොයාගෙන තියෙනවා එක සැරයක් හරි, සීමාව ඉක්මවලා මත්පැන් පානය කරන එකෙන් ගොඩක් අනතුරු වෙන්න පුළුවන් කියලා. උදාහරණෙකට ඒකෙන් මිනී මරන්න, සිය දිවි හානි කරගන්න, ලිංගික අතවර කරන්න, සහකරුට නැත්නම් සහකාරියට දරුණු විදිහට හිංසා කරන්න, අනවශ්‍ය ගැබ් ගැනීම් ඇති වෙන්න, ගබ්සා වෙන්න සහ ලිංගිකව බෝ වෙන රෝග වැලඳෙන්න තියෙන ප්‍රවණතාවය වැඩියි.

අනිත් අයගේ තීරණ

ක්‍රිස්තියානීන් හැමෝම එකම තීරණය ගන්නේ නැහැ. සමහර අය සුදුසු අවස්ථාවලදී සීමාවක් ඇතුව බොන්න තීරණය කරනවා. තවත් අය නොබී ඉන්න තීරණය කරනවා. ඒ වගේම අපි කලින් බලපු විදිහට හුඟදෙනෙක් එයාලටම යම් සීමාවන් දාගන්නවා. හැබැයි ඒ කවුරුත් එයාලා එහෙම කරන්නේ ඇයි කියලා අනිත් අයට උත්තර බඳින්න බැඳිලා නැහැ. අනිත් අතට අපි ගන්න තීරණයම අනිත් අයත් ගන්න ඕනෙ කියලා එයාලට බල කරන්න අපිට අයිතියක් නැහැ. බයිබල් ප්‍රතිපත්ති කැඩෙන්නේ නැති තාක් කල් අනිත් අය ගන්න තීරණ විවේචනය කරන්නත් අපිට අයිතියක් නැහැ. (රෝම 14:1-6) ක්‍රිස්තියානීන් විදිහට අපි මතක තියාගන්න ඕනෙ අපි හැම තිස්සේම වැඩ කරන්න ඕනෙ සාමය, එක්සත්කම රැකෙන විදිහට කියලා.—රෝම 14:19.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න