ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 ජූලි 20-25 පි.
  • ඊශ්‍රායෙල් රජවරුන්ගෙන් වටිනා පාඩම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඊශ්‍රායෙල් රජවරුන්ගෙන් වටිනා පාඩම්
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවාට මුළු හදවතින්ම ආදරේ කළා
  • වැරදි ගැන පසුතැවුණා
  • දෙවියන් කැමති විදිහට ඔහුට නමස්කාර කළා
  • විශ්වාසවන්ත පුරුෂයන්ගේ අවසන් වදන්වලින් පාඩම්
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා “ජීවමානයි” කියලා මතක තියාගන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 ජූලි 20-25 පි.

පාඩම් ලිපිය 30

ගීතිකාව 36 අපේ සිත ආරක්ෂා කරගමු

ඊශ්‍රායෙල් රජවරුන්ගෙන් වටිනා පාඩම්

“ධර්මිෂ්ඨයා කවුද කියාත් දුෂ්ටයා කවුද කියාත් දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත් පැහැදිලිව දැකගැනීමට හැකි වනු ඇත.”—මලා. 3:18.

ලිපියේ අරමුණ

ඊශ්‍රායෙල්වල රජවරුන් ගැන ඉගෙනගන්න එකෙන් යෙහෝවාව සතුටු කරන්න පුළුවන් කොහොමද කියලා අපිට තේරුම්ගන්න පුළුවන්.

1-2. ඊශ්‍රායෙල්වල හිටපු සමහර රජවරු ගැන බයිබලේ කියන්නේ මොනවාද?

ඊශ්‍රායෙල්වල රජකම් කරපු රජවරුa 40දෙනෙක්ට වඩා වැඩිදෙනෙක් ගැන බයිබලේ කතා කරලා තියෙනවා. එයාලා කරපු දේවල් ගැන තොරතුරු හංගන්නේ නැතුව ඒකේ වාර්තා කරලා තියෙනවා. උදාහරණෙකට හොඳ රජවරු කරපු නරක දේවල් ගැන ඒකේ තියෙනවා. දාවිත් කියන්නේ හොඳ රජ කෙනෙක්. යෙහෝවා එයා ගැන කිව්වේ ‘මගේ සේවක දාවිත් මා යහපත්යයි සලකන දේ පමණක් කරමින් මුළු හදවතින්ම කීකරු වුණා’ කියලා. (1 රාජා. 14:8) හැබැයි එයාත් විවාහක ස්ත්‍රියක් එක්ක අනාචාරයේ යෙදුණා. ඊටපස්සේ ඒ ස්ත්‍රියගේ මහත්තයාව යුද්දෙකදී මැරෙන විදිහට දේවල් සැලසුම් කළා.—2 සාමු. 11:4, 14, 15.

2 යෙහෝවාට අකීකරු වෙලා වැඩ කරපු රජවරු කරපු හොඳ දේවල් ගැනත් බයිබලේ තියෙනවා. උදාහරණෙකට රෙහබෝවම් ගැන කියන්නේ එයා යෙහෝවා ‘පිළිකුල් කරපු දේවල් කළා’ කියලා. (2 ලේක. 12:14) හැබැයි යෙහෝවා එයාට කිව්වාම ගෝත්‍ර දහයට විරුද්ධව සටනට යන්න එපා, රජ කෙනෙක්ව පත් කරගන්න එයාලට ඉඩහරින්න කියලා රෙහබෝවම් දෙවියන්ට කීකරු වුණා. ඒ වගේම දෙවියන්ගේ සෙනඟ ගැන හිතලා එයා පාලනය කරපු පැතිවල තිබුණ නගරවල ආරක්ෂාව තව වැඩි කළා.—1 රාජා. 12:21-24; 2 ලේක. 11:5-12.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 ඊශ්‍රායෙල්වල රජවරු හොඳ දේවල් වගේම නරක දේවලුත් කළා නම් රජ කෙනෙක් හොඳයිද නැද්ද කියලා යෙහෝවා තීරණේ කළේ කොහොමද? ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න එක අපිට උදව් වෙනවා යෙහෝවාව සතුටු කරන්න නම් අපි මොනවාද කරන්න ඕනෙ කියලා තේරුම්ගන්න. ඒ නිසා මේ ලිපියෙන් අපි බලනවා රජ කෙනෙක් හොඳයිද නැද්ද කියලා තීරණේ කරන්න යෙහෝවා බලපු පැති තුනක් ගැන. (1) එයා මුළු හදවතින්ම යෙහෝවාට ආදරේ කළාද? (2) එයාගේ අතින් වරදක් වුණාම එයා අවංකවම පසුතැවිලි වුණාද? (3) එයා යෙහෝවා බලාපොරොත්තු වෙන විදිහට දිගටම ඔහුට නමස්කාර කළාද?

යෙහෝවාට මුළු හදවතින්ම ආදරේ කළා

4. විශ්වාසවන්ත රජවරුයි, අවිශ්වාසවන්ත රජවරුයි අතරේ තිබුණ වෙනස මොකක්ද?

4 යෙහෝවා සතුටු වෙන විදිහට වැඩ කරපු රජවරු ඔහුට සේවේ කළේ මුළු හදවතින්මයි.b යෙහෝෂපාට් හොඳ රජ කෙනෙක්. එයා ගැන කියන්නේ එයා “මුළු හදවතින්ම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවා” කියලා. (2 ලේක. 22:9) යොෂියා රජ ගැන මෙහෙම කියලා තියෙනවා. එයාට ‘කලින් හා පසුව පාලනය කළ රජවරුන් අතරේ එයාට සමාන රජ කෙනෙක් හිටියේ නැහැ. මොකද යොෂියා රජ යෙහෝවා දෙවි වෙතට හැරී මුළු හදවතින්ම දෙවිට නමස්කාර කළා.’ (2 රාජා. 23:25) එතකොට වයසට ගියාට පස්සේ අකීකරු වුණ සලමොන් රජ? එයා ගැන කියන්නේ එයා “මුළු හදින්ම තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැහැ” කියලයි. (1 රාජා. 11:4) අබියාම් කියන්නෙත් අවිශ්වාසවන්ත තව රජ කෙනෙක්. එයා ගැන කියලා තියෙන්නෙත් එයා “මුළු හදින්ම තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැහැ” කියලා.—1 රාජා. 15:3.

5. මුළු හදවතින්ම යෙහෝවාට සේවේ කරනවා කියන්නේ මොකක්ද?

5 යෙහෝවාට මුළු හදවතින්ම සේවේ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? එහෙම කෙනෙක් යෙහෝවාට නමස්කාර කරන්නේ කරන්න ඕන නිසාම නෙවෙයි. ඒ වෙනුවට එයා ඒක කරන්නේ යෙහෝවා ගැන එයාගේ හිතේ තියෙන ආදරේ, භක්තිය නිසයි. මුළු ජීවිත කාලේ පුරාම ඒ ආදරේ, භක්තිය අඩු වෙන්න එයා ඉඩ දෙන්නෙත් නැහැ.

6. මුළු හදවතින් දිගටම දෙවියන්ට ආදරේ කරන්න පුළුවන් කොහොමද? (හිතෝපදේශ 4:23; මතෙව් 5:29, 30)

6 මුළු හදවතින්ම යෙහෝවාට ආදරේ කරපු රජවරුන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? යෙහෝවාට අපේ හිතේ තියෙන ආදරේ උදුරගන්න පුළුවන් නරක බලපෑම්වලින් අපි සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕනේ. උදාහරණෙකට විනෝදෙට අහන, බලන දේවල් ගැන අපි පරෙස්සම් වෙන්න ඕනේ. තෝරගන්න යාළුවෝ ගැනත් දෙපාරක් හිතන්න ඕනේ. මොකද නරක අයව ආශ්‍රය කළොත් අපේ ජීවිතේ වැදගත්ම දේ සල්ලි හම්බ කරන එක කියලා හිතන්න අපිත් පෙලඹෙයි. මොකක් හරි දෙයක් නිසා යෙහෝවාට තියෙන ආදරේ අඩු වෙනවා කියලා අපිට තේරුණොත් ඒක ඉක්මනින්ම අපේ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න ඕනේ.—හිතෝපදේශ 4:23; මතෙව් 5:29, 30 කියවන්න.

7. නරක බලපෑම්වලින් අයින් වෙන එක වැදගත් ඇයි?

7 කෙනෙක්ට හිතෙන්න පුළුවන් එයා වැඩිපුර නමස්කාරයේ දේවල් කරන නිසා එයාගේ හිතට බලපෑමක් කරන්න මේ ලෝකේ තියෙන නරක දේවල්වලට බැහැ කියලා. හිතන්න, ඔයා ඉන්නේ සීතල පැත්තක කියලා. සීතලෙන් ආරක්ෂා වෙන්න ඔයා ගේ ඇතුළට ඇවිත් උණුසුම් වෙන්න තියෙන ඇඳුම් ඇඳගන්නවා. හැබැයි ගෙදර දොර ඔයා හායි ගාලා ඇරලා දාලා. ටිකකින් එළියේ තිබුණ සීතල ගේ ඇතුළටත් ඇවිල්ලා. දැන් මුළු ගේම සීතලයි. යෙහෝවා ගැන අපේ හිතේ තියෙන ආදරේටත් ඒකම වෙන්න පුළුවන්. යෙහෝවාට ළං වෙන්න අපිට උදව් වෙන දේවල් අපි කොච්චර කළත් නරක බලපෑම්වලට ඇතුල් වෙන්න අපි අපේ හිතේ දොර ඇරලා නම් අපිටත් නොදැනීම අපේ ආදරේ අඩු වෙන්න පුළුවන්. ඒ නිසා සීතල හුළං වගේ එන මේ ලෝකේ බලපෑම්වලට අපේ හිතට රිංගන්න අපි කිසිම ඉඩක් නොදී ඉමු.—එෆී. 2:2.

වැරදි ගැන පසුතැවුණා

8-9. කරපු වැරැද්ද පෙන්නලා දුන්නාම දාවිතුයි, හෙසකියායි වැඩ කළේ කොහොමද? (පින්තූරය බලන්න.)

8 අපි බලපු විදිහට දාවිත් බරපතළ වැරදි කළා. හැබැයි අනාගතවක්තෘ නාතන් එයාගේ වරද ගැන කිව්වාම එයා නිහතමානීව පසුතැවුණා. (2 සාමු. 12:13) ඒක දාවිත් නාතන්ට පේන්නවත් දඬුවමෙන් බේරෙන්නවත් කරපු රඟපෑමක් නෙවෙයි. දාවිත් අවංකවම පසුතැවුණා. 51වෙනි ගීතිකාවේ එයාගේ හැඟීම් එයා විස්තර කරලා තියෙන විදිහෙන් අපිට ඒක හොඳටම තේරෙනවා.—ගීතා. 51:3, 4, 17, පෙර සටහන.

9 හෙසකියා රජත් යෙහෝවාට විරුද්ධව වරදක් කළා. බයිබලේ කියනවා ‘හෙසකියා රජ තුළ උඩඟුකමක් ඇති වුණා. ඒ නිසා ඔහුටත් යූදා දේශයටත් යෙරුසලමටත් විරුද්ධව දෙවියන්ගේ උදහස ඇවුළුණා’ කියලා. (2 ලේක. 32:25) හෙසකියා උඩඟු වුණේ ඇයි? සමහරවිට එයාට තිබුණ ධන සම්පත් නිසා එයා එයා ගැන ඉහළින් හිතන්න ඇති. එහෙම නැත්නම් ඇසිරියානුවන්ව පරද්දන්න යෙහෝවා උදව් කරපු නිසා, ආශ්චර්යවත් විදිහට එයාගේ අසනීපේ සුව වුණ නිසා එයා උඩඟු වෙන්න ඇති. එයාට තිබුණ හැම වස්තුවක්ම බැබිලෝනිවරුන්ට පෙන්නන්න එයා පෙලඹෙන්න ඇත්තේ එයාගේ උඩඟුකම නිසයි. ඒ වෙලාවේ අනාගතවක්තෘ යෙසායා එයාව නිවැරදි කළා. (2 රාජා. 20:12-18) දාවිත් වගේම හෙසකියාත් නිහතමානීව පසුතැවුණා. (2 ලේක. 32:26) ඒකයි “දෙවි යහපත්යයි සලකන දේ දිගටම කරපු” විශ්වාසවන්ත රජ කෙනෙක් විදිහට යෙහෝවා හෙසකියාව දැක්කේ.—2 රාජා. 18:3.

පින්තූරවල අදහස: 1. නාතන් කතා කරද්දී දාවිත් රජ හරිම දුකෙන් ස්වර්ගය දිහා බලනවා. 2. යෙසායා කතා කරද්දී හෙසකියා රජ ඔළුවට අත ගහගෙන දුකෙන් ඉන්නවා.

වැරදි පෙන්නලා දුන්නාම දාවිත් රජයි, හෙසකියා රජයි නිහතමානී වෙලා පසුතැවුණා (8-9 ඡේද බලන්න)


10. නිවැරදි කිරීමක් ලැබුණාම අමෂියා මොකක්ද කළේ?

10 බයිබලේ කියනවා අමෂියා රජ “යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ කළා” කියලා. හැබැයි එයා ඒක කළේ ‘මුළු හදවතින්ම නෙවෙයි.’ (2 ලේක. 25:2) ඇයි එහෙම කියන්නේ? යෙහෝවාගේ උදව්වෙන් එයා ඒදොම්වරුන්ව පැරැද්දුවාට පස්සේ එයා එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා.c ඒ ගැන එයාව නිවැරදි කරන්න යෙහෝවා අනාගතවක්තෘවරයෙක්ව යැව්වාම රජ එයා කියපු දේ කනකටවත් ගත්තේ නැහැ.—2 ලේක. 25:14-16.

11. 2 කොරින්ති 7:9, 11 කියන විදිහට යෙහෝවාගෙන් සමාව ලබාගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ? (පින්තූරත් බලන්න.)

11 ඒ රජවරුන්ගෙන් මොනවාද අපි ඉගෙනගන්නේ? අපි අතින් වැරදි වුණාම අපි පසුතැවිලා ඒවා ආයේ නොකර ඉන්න උත්සාහ කරන්න ඕනේ. ‘ඒක මහ ලොකු දෙයක් නෙවෙයි’ කියලා හිතෙන දෙයක් ගැන වැඩිමහල්ලෝ උපදෙසක් දුන්නොත් ඔයා මොකද කරන්නේ? ‘යෙහෝවා මට ආදරේ නෑ. වැඩිමහල්ලන්ට මාව පේන්න බෑ’ කියලා හිතන්න එපා. මතක තියාගන්න හොඳ රජවරුන්ටත් උපදෙස්, නිවැරදි කිරීම් ලැබුණා. (හෙබ්‍රෙ. 12:6) ඉතින් කවුරු හරි අපිව නිවැරදි කළාම අපිත් (1) නිහතමානීව ඒක පිළිගන්න ඕනේ. (2) වෙනස්කම් කරගන්න ඕනේ. (3) අත්හරින්නේ නැතුව මුළු හදවතින්ම යෙහෝවාට සේවේ කරන්න ඕනේ. අපි අපේ වැරදි ගැන පසුතැවෙනවා නම් යෙහෝවා අනිවාර්යයෙන්ම අපිට සමාව දෙනවා.—2 කොරින්ති 7:9, 11 කියවන්න.

පින්තූරවල අදහස: 1. භාගෙට මත්පැන් පුරවලා තියෙන වීදුරුව සහ බෝතලය දිහා සහෝදරයෙක් බලාගෙන ඉද්දී තරුණ වැඩිමහල්ලෙක් එයාත් එක්ක කතා කරනවා. 2. ඒ සහෝදරයා බයිබලේ සහ “හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” පොතේ 43වෙනි පාඩම පාවිච්චි කරලා අධ්‍යයනය කරනවා. 3. ඒ තරුණ වැඩිමහල්ලා සහ සහෝදරයා ගෙයින් ගෙට සේවේ යනවා.

කවුරු හරි අපිව නිවැරදි කරද්දී (1) අපි ඒක නිහතමානීව පිළිගන්න ඕනෙ, (2) වෙනස්කම් කරගන්න ඕනෙ, (3) මුළු හදවතින්ම දිගටම යෙහෝවාට සේවේ කරන්න ඕනේ (11 ඡේදය බලන්න)f


දෙවියන් කැමති විදිහට ඔහුට නමස්කාර කළා

12. විශ්වාසවන්ත රජවරුන්ව කැපිලා පෙනුණේ මොකක් නිසාද?

12 විශ්වාසවන්තයි කියලා යෙහෝවා සලකපු රජවරු ඔහු බලාපොරොත්තු වුණ විදිහට නමස්කාර කළා. දෙවියන්ට නමස්කාර කරන්න එයාලා සෙනඟටත් උදව් කළා. ඇත්ත, අපි බලපු විදිහට ඒ රජවරු අතිනුත් වැරදි වුණා. ඒත් එයාලා යෙහෝවාට ඇරෙන්න වෙන කාටවත් නමස්කාර කළේ නැහැ. ඒ වගේම බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න හදලා තිබුණ දේවල් දේශයෙන් අයින් කරලා දාන්න එයාලා පුළුවන් හැම දේම කළා.d

13. ආහබ් රජව අවිශ්වාසවන්ත කෙනෙක් විදිහට යෙහෝවා සැලකුවේ ඇයි?

13 යෙහෝවා සමහර රජවරුන්ව අවිශ්වාසවන්ත අය විදිහට සැලකුවේ එයාලා කළේම වැරදි දේවල් නිසාද? නැහැ. ආහබ් කියන්නේ දුෂ්ට රජ කෙනෙක්. ඒත් එයාගෙත් හොඳ පැති තිබුණා. උදාහරණෙකට නාබොත්ගේ මරණයට වග කියන්න ඕනෙ එයා කියලා දැනගත්තාම එයා ටිකක් නිහතමානී වෙලා පසුතැවුණා. (1 රාජා. 21:27-29) එයා නගරත් ගොඩනැඟුවා. ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් සටන් කරලා දින්නා. (1 රාජා. 20:21, 29; 22:39) හැබැයි ආහබ් එයාගේ නෝනාගේ කීමට බොරු නමස්කාරය දේශය පුරාම පැතිරුවා. අන්න ඒ ගැන නම් එයා කවදාවත් පසුතැවුණේ නැහැ.—1 රාජා. 21:25, 26.

14. (අ) රෙහබෝවම් අවිශ්වාසවන්ත කෙනෙක් විදිහට යෙහෝවා සැලකුවේ ඇයි? (ආ) අවිශ්වාසවන්ත හැම රජ කෙනෙක්ම වගේ කරපු වරද මොකක්ද?

14 අවිශ්වාසවන්ත තව කෙනෙක් තමයි රෙහබෝවම්. අපි බැලුවා වගේ එයාගේ පාලන කාලේ එයා ගොඩක් හොඳ දේවල් කළා. හැබැයි රජකම ස්ථිර කරගත්තාට පස්සේ යෙහෝවාගේ නීතියට කීකරු වෙන එක අත්හැරලා එයා බොරු දෙවිවරු පස්සේ ගියා. (2 ලේක. 12:1) ඊටපස්සේ එයාට එක හිතක් තිබුණේ නැහැ. හිටපු ගමන් යෙහෝවාට නමස්කාර කළා. හිටපු ගමන් බොරු දෙවිවරු පස්සේ ගියා. (1 රාජා. 14:21-24) එයාලා දෙන්නා විතරක් නෙවෙයි ඊශ්‍රායෙල්වල හිටපු අවිශ්වාසවන්ත රජවරු හුඟදෙනෙක් බොරු දෙවිවරුන්ට නමස්කාර කළා. ඒ පාරේම යන්න සෙනඟවත් පෙලඹුවා. ඒවාවලින් තේරෙනවා රජ කෙනෙක් හොඳද නැද්ද කියලා තීරණේ කරන්න යෙහෝවා බලපු ප්‍රධානම දෙයක් තමයි එයාලා ඔහු බලාපොරොත්තු වෙන විදිහට නමස්කාර කරනවාද නැද්ද කියන එක.

15. යෙහෝවා බලාපොරොත්තු වෙන විදිහට නමස්කාර කරන එක ඔහු වැදගත් දෙයක් විදිහට සලකන්නේ ඇයි?

15 රජවරුන්ගේ නමස්කාරය යෙහෝවා එච්චර වැදගත් දෙයක් විදිහට සැලකුවේ ඇයි? එක හේතුවක් තමයි යෙහෝවා බලාපොරොත්තු වෙන විදිහට නමස්කාර කරන්න සෙනඟට උදව් කරන එක රජවරුන්ගේ වගකීමක්. ඒ වගේම කෙනෙක් බොරු දෙවිවරුන්ට නමස්කාර කරද්දී එයා අතින් තව තවත් බරපතළ වැරදි වෙන්න පුළුවන්. අනික එහෙම කෙනෙක් අනිත් අයට සලකන්නේ කිසිම හිතක් පපුවක් නැතුව. (හොෂෙ. 4:1, 2) ඒ විතරක් නෙවෙයි ඊශ්‍රායෙල් රජවරු සහ සෙනඟ යෙහෝවාට කැප වුණ අය. ඒකයි බයිබලේ බොරු දෙවිවරුන්ට නමස්කාර කරන එක අනාචාරයේ යෙදෙන එකට සමාන කරලා තියෙන්නේ. (යෙරෙ. 3:8, 9) අනාචාරයේ යෙදෙන කෙනෙක් එයා විවාහ වෙලා ඉන්න කෙනාට ද්‍රෝහි වෙලා එයාගේ හිතට ලොකු දුකක් දෙනවා. දෙවියන්ට කැප වුණ කෙනෙක් බොරු දෙවිවරුන්ට නමස්කාර කරද්දීත් එයා කරන්නේ යෙහෝවාට ද්‍රෝහි වෙන එකයි. ඒක යෙහෝවාට ලොකු වේදනාවක්.e—ද්වි. 4:23, 24.

16. යෙහෝවා දුෂ්ට අයගෙන් ධර්මිෂ්ඨ අයව වෙන් කරන්නේ මොකක් දිහා බලලාද?

16 මොනවාද අපි ඉගෙනගන්නේ? බොරු නමස්කාරයට සම්බන්ධ කිසිම දේකට අපි හවුල් වෙන්න හොඳ නැහැ. අපි යෙහෝවා අපිට කියලා තියෙන විදිහට ඔහුට නමස්කාර කරන්නත් ඕනේ. ඒක අත් නෑර කරන්න ඕනෙ දෙයක්. යෙහෝවා දුෂ්ට අයගෙන් ධර්මිෂ්ඨ අයව වෙන් කරන්නේ කොහොමද කියලා අනාගතවක්තෘ මලාකි පැහැදිලි කළා. එයා මෙහෙම කිව්වා. “ඒ කාලයේදී ධර්මිෂ්ඨයා කවුද කියාත් දුෂ්ටයා කවුද කියාත් දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත් පැහැදිලිව දැකගැනීමට හැකි වනු ඇත.” (මලා. 3:18) අපි කැමති යෙහෝවා අපිව ධර්මිෂ්ඨ අය විදිහට සලකනවා දකින්න. ඉතින් අපි කිසිම දෙයක් නිසා, අඩුම ගාණේ අපේ දුර්වලකම් නිසාවත් අපි අතින් වෙන වැරදි නිසාවත් අපි යෙහෝවාට කරන සේවේ නතර කරන්නේ නැහැ. මොකද යෙහෝවාට කරන සේවේ නතර කරන එකම බරපතළ පාපයක්.

17. බඳින්න කෙනෙක්ව තෝරගද්දී අපි හොඳට හිතන්න ඕනෙ ඇයි?

17 ඔයා විවාහ වෙන්න කැමැත්තෙන් ඉන්න තනිකඩ කෙනෙක්ද? එහෙමනම් මලාකි කියපු දේ ඔයාට උදව් වෙයි බඳින්න හොඳ කෙනෙක්ව හොයාගන්න. සමහරවිට කෙනෙක්ට හොඳ ගතිගුණ තියෙන්න පුළුවන්. ඒත් එයා යෙහෝවාට සේවේ කරන්නේ නැත්නම් යෙහෝවා එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සලකයිද? (2 කොරි. 6:14) ඔයා එයාව බැන්දොත් යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න එයා ඔයාට උදව් කරයිද? සලමොන් රජ බැඳපු සමහර අයටත් හොඳ ගතිගුණ තියෙන්න ඇති. ඒත් එයාලා යෙහෝවාට නමස්කාර කරපු අය නෙවෙයි. ඉතින් එයාලා ටිකෙන් ටික සලමොන්ගේ හිත යෙහෝවාගෙන් ඈත් කරලා අන්තිමේදී බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න එයාව පෙලඹුවා.—1 රාජා. 11:1, 4.

18. දෙමාපියන් එයාලාගේ දරුවන්ට උගන්නන්න ඕනෙ මොනවාද?

18 දෙමාපියෙනි, මේ රජවරුන්ගේ ආදර්ශ පාවිච්චි කරලා දරුවන්ගේ හිතේ යෙහෝවාට සේවේ කරන්න ආසාවක් ඇති කරන්න. අපි බලපු විදිහට රජ කෙනෙක් හොඳයිද නැද්ද කියලා යෙහෝවා තීරණේ කළේ ඒ රජ දෙවියන්ට නමස්කාර කළාද, ඒ දේම කරන්න සෙනඟට උදව් කළාද කියන දේ දිහා බලලා. ඒක තේරුම්ගන්න දරුවන්ට උදව් කරන්න. බයිබලේ අධ්‍යයනය කරන එක, රැස්වීම්වලට හවුල් වෙන එක, සේවේ යන එක හැම දේටම වඩා වැදගත් කියන දේ දරුවන්ට උගන්නන්න. ඒක ඔයාලාගේ ආදර්ශයෙන් පෙන්නන්න. (මතෙ. 6:33) ඔයා එහෙම කළේ නැත්නම් යෙහෝවාට නමස්කාර කරන එක තමයි ජීවිතේ වැදගත්ම දේ කියලා එයාලා තේරුම්ගන්න එකක් නැහැ. එයාලා හිතයි සාක්ෂිකාරයෙක් වෙනවා කියන්නේ අම්මා, තාත්තා අදහන ආගම අදහන එක කියලා. එහෙම වුණොත් එයාලා සත්‍ය මාර්ගය අත්හරින්න වුණත් බැරි නැහැ.

19. යෙහෝවාට සේවේ කරන එක නතර කරපු අයට වුණත් තියෙන බලාපොරොත්තුව මොකක්ද? (“ආයෙත් යෙහෝවා ළඟට එන්න ඔයාටත් පුළුවන්” කියන කොටුවත් බලන්න.)

19 කෙනෙක් යෙහෝවාට සේවේ කරන එක නතර කළා නම් ඒකෙන් අදහස් කරන්නේ එයාට ආයේ කවදාවත් ඔහුගේ යාළුවෙක් වෙන්න බැහැ කියලද? එහෙම කියන්න බැහැ. මොකද පසුතැවිලා ආයෙත් ඔහු ළඟට එන්න එයාට අවස්ථාව තියෙනවා. ඒක කරන්න නම් එයා ආඩම්බරකම පැත්තකින් තියලා වැඩිමහල්ලන් දෙන උදව් පිළිගන්න ඕනේ. (යාකො. 5:14) යෙහෝවා ළඟට ආයෙත් එන්න එයාට කොච්චර ලොකු උත්සාහයක් ගන්න වුණත් ඒක කවදාවත් වතුරේ යන්නේ නැහැ.

ආයෙත් යෙහෝවා ළඟට එන්න ඔයාටත් පුළුවන්

මනස්සේ කියන්නේ “යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් බොහොමයක් කරපු” රජ කෙනෙක්. එයා ‘නිර්දෝෂ මිනිස්සු’ හුඟදෙනෙක්ව මැරුවා. භූතවාදී දේවල් කළා. එයාගෙම පුතාලව පවා බොරු දෙවිවරුන්ට පූජා කළා. (2 රාජා. 21:6, 16) “ජාතීන් කළ දුෂ්ට දේවලටත් වඩා දුෂ්ට දේ කිරීමට මනස්සේ රජ ඊශ්‍රායෙල් සෙනඟව පෙලඹුවා.” (2 රාජා. 21:9; 2 ලේක. 33:1-6) ඒත් මනස්සේව අල්ලගෙන බැබිලෝනියට අරන් ගියාට පස්සේ එයා පසුතැවුණා. එයා බරපතළ වැරදි ගොඩක්, සෑහෙන කාලයක් තිස්සේ කරපු නිසා එක සැරයක් “සමාවෙන්න” කියලා කියනවාට වඩා දෙයක් එයා කරන්න ඕන වුණා. ඇත්තටම එයා තමන් කරපු වැරදි ගැන ගොඩක් දුක් වුණා. එයා ‘යටහත් වෙලා නොකඩවා දෙවිට යාච්ඤා කළා.’ යෙහෝවා මොකද කළේ? ‘කරුණාව පෙන්නන්න කියලා එයා කළ කන්නලව්වලට’ යෙහෝවා සවන් දුන්නා. එයාව ආපහු යෙරුසලමට ගෙනල්ලා රජකම් කරන්න අවස්ථාව දුන්නා.—2 ලේක. 33:12, 13.

යෙහෝවාට නමස්කාර කරන එක නතර කරපු, ඒත් ඒ ගැන මුළු හදවතින්ම, අවංකව පසුතැවෙන කෙනෙක්ටත් යෙහෝවා ඒ විදිහටම සලකයිද? ඔව්. මොකද යෙසායා 55:7 මෙහෙම කියනවා. “දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා! කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා! එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත.” ඉතින් යෙහෝවා ළඟට ආයෙත් එන්න ඔයාට කරන්න පුළුවන් හැම දේම කරන්න.

20. අපි විශ්වාසවන්ත රජවරුන්ව ආදර්ශයට ගන්නවා නම් යෙහෝවා අපිව කොහොම සලකයිද?

20 මුළු හදවතින්ම අපි යෙහෝවාට ආදරේ කරනවා නම්, ඒ ආදරේ දිගටම තියාගන්නවා නම් විශ්වාසවන්ත රජවරු වගේ වෙන්න අපිටත් පුළුවන්. අපි අතින් වෙන වැරදිවලින් පාඩම් ඉගෙනගමු. ඒවා ගැන පසුතැවෙමු. ඒවා හදාගන්න අපිට පුළුවන් හැම දේම කරමු. එකම සැබෑ දෙවියන් කියන විදිහට නමස්කාර කරන එක කොච්චර වැදගත්ද කියලා අපි කවදාවත් අමතක නොකර ඉමු. ඔයා යෙහෝවාට විශ්වාසවන්තව ඉන්නවා නම් ඔහු ඔයාව දකින්නේ හරි දේ කරන කෙනෙක් විදිහටයි.

අපිට කොහොමද පුළුවන් . . .

  • මුළු හදවතින්ම යෙහෝවාට ආදරේ කරන්න?

  • අවංකව පසුතැවිලි වෙන්න?

  • දෙවියන් කැමති විදිහට ඔහුට නමස්කාර කරන්න?

ගීතිකාව 45 මාගේ සිතුවිලි විමසන්න

a මේ ලිපියේ “ඊශ්‍රායෙල් රජවරුන්” කියද්දී ගෝත්‍ර දෙකෙන් හැදිලා තිබුණ යූදා රාජ්‍යයේ රජවරුන්ව, ගෝත්‍ර දහයෙන් හැදිලා තිබුණ ඊශ්‍රායෙල් රාජ්‍යයේ රජවරුන්ව එහෙම නැත්නම් ගෝත්‍ර 12ම පාලනය කරපු රජවරුන්ව අදහස් වෙනවා.

b පැහැදිලි කිරීමක්: ගොඩක් වෙලාවට බයිබලේ “හදවත” කියද්දී ඒකෙන් අදහස් කරන්නේ ඇතුළාන්ත පුද්ගලයායි. ඒකට කෙනෙක්ගේ ආශාවන්, සිතුවිලි, ආකල්ප, දෙයක් කරන්න පෙලඹෙන හේතු සහ ඉලක්ක ඇතුළත් වෙනවා.

c ඒ කාලේ වෙනත් ජාතීන්ට අයිති රජවරු තව ජාතියක් යටත් කරගත්තාම එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන එක සාමාන්‍ය පුරුද්දක්.

d ආසා රජ ගොඩක් බරපතළ වැරදි කළා. (2 ලේක. 16:7, 10) හැබැයි බයිබලේ කියන්නේ එයා යෙහෝවා හරියි කියලා සලකන දේවල් කළා කියලා. ආසා රජව නිවැරදි කරද්දී මුලින් එයා ඒක පිළිගත්තේ නැති වුණත් පස්සේ එයා පසුතැවෙන්න ඇති. යෙහෝවා වැඩි අවධානයක් දුන්නේ එයාගේ හොඳ ගතිවලට. වැදගත්ම දේ එයා නමස්කාර කළේ යෙහෝවාට විතරයි. ඒ වගේම එයා පාලනය කරපු ප්‍රදේශවලින් බොරු නමස්කාරය අයින් කරලා දාන්න එයා පුළුවන් හැම දේම කළා.—1 රාජා. 15:11-13; 2 ලේක. 14:2-5.

e මෝසෙස්ට දීපු නීතියේ මුල් ආඥා දෙකේ යෙහෝවාට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට, කිසිම දේකට නමස්කාර කරන එක තහනම් කරලා තිබුණා. (නික්. 20:1-6) ඒකෙන් තේරෙනවා යෙහෝවා නමස්කාරය කොච්චර වැදගත් දෙයක් විදිහට සැලකුවාද කියලා.

f පින්තූරවල අදහස: තරුණ වැඩිමහල්ලෙක් මත්පැන් ගන්න එක ගැන හිතන්න ඕන පැති තවත් සහෝදරයෙක්ට පෙන්නලා දෙනවා. ඒ සහෝදරයා ඒක නිහතමානීව පිළි අරන් අවශ්‍ය වෙනස්කම් කරගෙන දිගටම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්නවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න