පාඩම් ලිපිය 13
ගීතිකාව 4 “යෙහෝවා දෙවි මාගේ එඬේරාය”
යෙහෝවාගේ අත කොට නැහැ
“යෙහෝවා වන මට ඒ දේ කරන්න බැහැ කියලා ඔයා හිතනවාද?”—ගණන්. 11:23.
ලිපියේ අරමුණ
යෙහෝවා අපිට අත්‍යවශ්‍ය දේවල් දීලා අපිව බලාගන්නවා කියන විශ්වාසේ මේ ලිපියෙන් තව වැඩි කරයි.
1. ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් අරන් එද්දී මෝසෙස් යෙහෝවා ගැන විශ්වාසේ පෙන්නුවේ කොහොමද?
යෙහෝවා දෙවියන් ගැන පුදුමාකාර විශ්වාසයක් පෙන්නපු හුඟදෙනෙක් ගැන හෙබ්‍රෙව් පොතේ කතා කරනවා. ඒ වගේ කෙනෙක් තමයි මෝසෙස්. (හෙබ්‍රෙ. 3:2-5; 11:23-25) ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවෙන් නිදහස් කරගෙන එද්දී එයා විශ්වාසේ තිබ්බේ යෙහෝවා ගැන. පාරාවෝටවත් එයාගේ බලවත් හමුදාවටවත් මෝසෙස් පොඩ්ඩක්වත් බය වුණේ නැහැ. යෙහෝවා ගැන සම්පූර්ණ විශ්වාසේ තියලා එයා සෙනඟව රතු මුහුද හරහා පාළුකරයට අරන් ගියා. (හෙබ්‍රෙ. 11:27-29) යෙහෝවාට එයාලව බලාගන්න පුළුවන්ද කියලා ඊශ්‍රායෙල්වරු හුඟදෙනෙක් සැක කරද්දීත් මෝසෙස් දිගටම දෙවියන් ගැන විශ්වාසේ තිබ්බා. මෝසෙස්ට තිබුණ ඒ විශ්වාසේ වතුරේ ගියේ නැහැ. ඊශ්‍රායෙල්වරු පාළුකරයේ හිටපු කාලේ පුරාම දෙවියන් එයාලට කෑම, වතුර දීලා එයාලව බලාගත්තා.a—නික්. 15:22-25; ගීතා. 78:23-25.
2. “යෙහෝවා වන මට ඒ දේ කරන්න බැහැ කියලා ඔයා හිතනවාද” කියලා දෙවියන් මෝසෙස්ගෙන් ඇහුවේ ඇයි? (ගණන් කතාව 11:21-23)
2 මෝසෙස්ට යෙහෝවා ගැන එච්චර විශ්වාසයක් තිබුණත් සෙනඟව නිදහස් කරගෙන ඇවිත් අවුරුද්දකට විතර පස්සේ සෙනඟට මස් දෙන්න දෙවියන්ට ඇත්තටම පුළුවන්ද කියලා එයා සැක කළා. මෝසෙස් හිතන්න ඇති මිලියන ගාණකට පාළුකරයේ කොහොමද යෙහෝවා මස් දෙන්නේ කියලා. ඒ වෙලාවේ තමයි දෙවියන් මෝසෙස්ගෙන් ඇහුවේ “යෙහෝවා වන මට ඒ දේ කරන්න බැහැ කියලා ඔයා හිතනවාද” කියලා. (ගණන් කතාව 11:21-23 කියවන්න.) ඒක මුල් භාෂාවෙන් තිබුණේ “යෙහෝවා වන මගේ අත කොටයි කියලා ඔයා හිතනවාද” කියලයි. “යෙහෝවාගේ අත” කියන්නේ ඔහුගේ අරමුණ ඉටු කරන්න ඔහු පාවිච්චි කරන ඔහුගේ බලය.
3. මෝසෙසුයි, ඊශ්‍රායෙල්වරුයි වැඩ කරපු විදිහ ගැන හිතන එක වැදගත් ඇයි?
3 ඔයාටයි, ඔයාගේ පවුලේ අයටයි අවශ්‍ය දේවල් දීලා ඔයාලව බලාගන්න යෙහෝවාට පුළුවන්ද කියලා ඔයාත් කවදා හරි වධ වෙලා තියෙනවාද? ඔයා එහෙම වධ වුණත් නැතත් මෝසෙසුයි, ඊශ්‍රායෙල් සෙනඟයි එයාලට ඕන දේවල් දෙන්න යෙහෝවාට පුළුවන්ද කියලා සැක කළේ ඇයි කියලා බලන එක ඔයාට ප්‍රයෝජනවත් වෙයි. අපිට උදව් කරන්න බැරි තරමට යෙහෝවාගේ අත කොට නැහැ කියන විශ්වාසේ වැඩි කරගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්තිත් බලමු.
මෝසෙස් සහ ඊශ්‍රායෙල්වරුන්ගෙන් පාඩම්
4. ඊශ්‍රායෙල්වරුන්ගෙන් හුඟදෙනෙක් එයාලට අවශ්‍ය දේවල් දෙන්න යෙහෝවාට පුළුවන්ද කියලා සැක කරන්න පටන්ගන්න ඇත්තේ ඇයි?
4 ඊශ්‍රායෙල්වරුන්ගෙන් හුඟදෙනෙක් එයාලට අවශ්‍ය දේවල් දෙන්න යෙහෝවාට පුළුවන්ද කියලා සැක කරන්න පටන්ගත්තේ ඇයි? ඒ වෙද්දී එයාලයි, ඊජිප්තුවේ ඉඳන් ආපු “වෙනත් ජාතීන්ට අයිති විශාල සෙනඟයි” පොරොන්දු දේශයට යන කල් පාළුකරයේ ටික කාලයක් ඉඳලා තිබුණා. (නික්. 12:38; ද්වි. 8:15) මන්නා කාලා ඇති වෙලා වෙනත් ජාතීන්ට අයිති අය කොඳුරන්න පටන්ගත්තා. එතකොට ඊශ්‍රායෙල් සෙනඟත් එයාලට එකතු වුණා. (ගණන්. 11:4-6) ඊජිප්තුවේදී කාපු කෑම ජාති ගැන හිතහිත සෙනඟ දුක් වුණා. සෙනඟගේ මේ කෙඳිරිල්ල නිසා මෝසෙස්ට කොච්චර පීඩනයක් දැනුණාද කියනවා නම් එයා හිතුවා සෙනඟට කන්න මස් හොයන්න වෙන්නේ එයාට කියලා.—ගණන්. 11:13, 14.
5-6. වෙනත් ජාතීන් කරපු දේ ඊශ්‍රායෙල්වරුන්ට බලපාපු විදිහෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද?
5 යෙහෝවා වෙනත් ජාතීන්ට අයිති සෙනඟ වෙනුවෙන් කරපු දේවල් එයාලා අගය කළේ නැහැ. ඊශ්‍රායෙල්වරුත් එයාලා වගේ හිතන්න පටන්ගත්තා. ඒකම අපිටත් වෙන්න පුළුවන්. අපි වට වෙලා ඉන්නේ යෙහෝවා දීලා තියෙන දේවල් ගැන කිසිම අගයක් නැති අයගෙන් නම් අපේ හිතේ තියෙන අගය ටිකෙන් ටික නැති වෙයි. කාලෙකට කලින් අපිට තිබුණ දේවල් ගැන අපි ආසාවෙන් හිතන්න ගියොත් නැත්නම් අපිට නැති, අනිත් අයට තියෙන දේවල් ගැන අපි ඉරිසියා කරන්න ගියොත් අපේ අගය නැති වෙන්න පුළුවන්. හැබැයි යෙහෝවා දැන් දීලා තියෙන දේවල් ගැන අපි සෑහීමට පත් වෙන්න ඉගෙනගත්තොත් අපේ සතුට වැඩි කරගන්න පුළුවන්.
6 හරි නම් ඊශ්‍රායෙල්වරු කරන්න තිබුණේ යෙහෝවා එයාලට දුන්න පොරොන්දුව ගැන හිතන එකයි. ඔහු එයාලට කිව්වේ එයාලට ඕන දේවලටත් වඩා වැඩියෙන් දේවල් පොරොන්දු දේශයේදී දෙනවා කියලා. නැතුව පාළුකරයේ යන ගමනේදී ඒවා දෙනවා කියලා නෙවෙයි. අපිත් මේ සමාජයේ අපිට ලබාගන්න බැරි දේවල් ගැන හිතහිත ඉන්නේ නැතුව පාරාදීසේදී යෙහෝවා අපි වෙනුවෙන් කරන්න යන දේවල් ගැන හිතන්න ඕනේ. එතකොට අපේ සතුට අපිට තියාගන්න පුළුවන්. ඒ වගේම යෙහෝවා ගැන අපිට තියෙන විශ්වාසේ තව වැඩි කරගන්න උදව් වෙන බයිබල් පද ගැන අපි හොඳට කල්පනා කරන්නත් ඕනේ.
7. යෙහෝවාගේ අත කොට නැහැ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?
7 සමහරවිට ඔයා තාමත් හිතනවා ඇති ඇයි දෙවියන් ඇහුවේ “යෙහෝවා වන මට ඒ දේ කරන්න බැහැ කියලා ඔයා හිතනවාද” කියලා. යෙහෝවාට ඕන වෙන්න ඇති මෝසෙස්ට මේ කාරණා දෙක පෙන්නලා දෙන්න. (1) ඔහුගේ බලයට සීමාවක් නැහැ. (2) එයාලා කොහේ හිටියත් දුර ඈතක හිටියත් යෙහෝවාට පුළුවන් ඔහුගේ බලය පාවිච්චි කරලා එයාලට උදව් කරන්න. ඉතින් ඊශ්‍රායෙල් සෙනඟ මිනිස් පුළුටක් නැති පාළුකරයක් මැද හිටියත් එයාලා හැමෝටම මස් දෙන්න යෙහෝවාට පුළුවන්. ඇත්තටම යෙහෝවා “ඔහුගේ අත දික් කරලා ඔහුගේ මහත් බලය” එයාලට පෙන්නුවා. (ගීතා. 136:11, 12) ඉතින් අපිත් මොන ප්‍රශ්නේ මැද හිටියත් ලෝකේ කොයි කෙළවරේ හිටියත් යෙහෝවාට පුළුවන් ඔහුගේ අත දික් කරලා අපිට උදව් කරන්න.—ගීතා. 138:6, 7.
8. පාළුකරයේ හිටපු හුඟදෙනෙක් අතින් වුණ වරද නොකර ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)
8 ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුර දිහාවට හිතාගන්නවත් බැරි තරම් වටුවෝ ගහගෙන එන්න යෙහෝවා සැලැස්සුවා. එහෙම කරලා ඔහු කිව්ව විදිහටම එයාලට මස් දුන්නා. යෙහෝවා කරපු මේ ආශ්චර්යයට ස්තුති කරනවා වෙනුවට ඊශ්‍රායෙල්වරු කෑදර විදිහට වැඩ කළා. එයාලා රෑ දවල් බලන්නේ නැතුව දවස් එකහමාරක් තිස්සේම වටුවෝ එකතු කළා. සෙනඟ “හරිම කෑදර විදිහට හැසිරෙනවා” දැක්කාම යෙහෝවාට ගොඩක් කේන්ති ගිහින් එයාලට දඬුවම් කළා. (ගණන්. 11:31-34) ඒ සිද්ධියෙන් අපිටත් දෙයක් ඉගෙනගන්න පුළුවන්. කෑදරකම කියන උගුලට අහු නොවී ඉන්න අපිත් පරෙස්සම් වෙන්න ඕනේ. පොහොසත් වුණත් දුප්පත් වුණත් අපේ ආසාව වෙන්න ඕනෙ යෙහෝවායි, යේසුයි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන “ස්වර්ගයේ වස්තු රැස් කරන” එක. (මතෙ. 6:19, 20; ලූක් 16:9) අපි එහෙම කරනවා නම් අපිට අවශ්‍ය දේවල් දීලා යෙහෝවා අපිව බලාගනියි කියලා අපිට ස්ථිරයි.
යෙහෝවා වටුවෝ දීපු වෙලාවේ හුඟදෙනෙක් කළේ මොකක්ද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (8 ඡේදය බලන්න)
9. අපිට සම්පූර්ණ විශ්වාසේ තියන්න පුළුවන් මොකක් ගැනද?
9 යෙහෝවා අදත් ඔහුගේ අත දිග ඇරලා ඔහුගේ සෙනඟට උදව් කරන්න ලෑස්ති පිට ඉන්නවා. ඒත් ඒකෙන් අදහස් කරන්නේ අපිට කවදාවත් සල්ලි ප්‍රශ්න එන්නේ නැහැ, අපි කවදාවත් බඩගින්නේ ඉන්නේ නැහැ කියලා නෙවෙයි.b හැබැයි අපිට ස්ථිරයි යෙහෝවා අපිව අත්හැරලා දාන්නේ නැහැ කියලා. ඕනම ප්‍රශ්නෙකට මූණ දෙන්න ඕන කරන ශක්තිය යෙහෝවා අනිවාර්යයෙන්ම දෙනවා. ඒත් අපිට අවශ්‍ය දේවල් යෙහෝවා දෙනවා කියලා විශ්වාසයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? පැති දෙකක් බලමු. (1) සල්ලි ප්‍රශ්න එද්දී. (2) වයසට ගියාම අපිට ඕන කරන දේවල් ගන්න සල්ලි තියෙයිද කියලා හිතෙද්දී.
සල්ලි ප්‍රශ්න එද්දී
10. අපිට මොන වගේ ප්‍රශ්නවලට මූණ දෙන්න වෙයිද?
10 මේ සමාජයේ අවසානයට ළං වෙන්න වෙන්න දේශපාලන ගැටුම්, යුද්ධ, ස්වාභාවික විපත්, අලුත් අලුත් වසංගත නිසා අපිට ගොඩක් ප්‍රශ්න එයි. අපි කරකර ඉන්න රස්සාව, අපිට තියෙන දේවල් එකපාරටම නැති වෙයි. අපිට අපේ ගේ දාලා යන්න වෙයි. එහෙම වුණාම පවුලේ අයට ඕන කරන දේවල් දෙන එක තවත් අමාරු වෙයි. සමහරවිට දැන් ඉන්න පැත්තෙම අපිට අලුත් රස්සාවක් හොයාගන්න වෙයි. නැත්නම් පවුලේ අයට අවශ්‍ය දේවල් දෙන්න ඕන නිසා එයාලත් එක්කම වෙන පැත්තක පදිංචියට යන්න වෙයි. මේ වගේ වෙලාවලදී අපි ගන්න තීරණවලින් යෙහෝවාගේ අත කොට නැහැ කියලා අපිට විශ්වාසයි කියලා පෙන්නන්න පුළුවන්. ඒ විදිහේ තීරණ ගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?
11. සල්ලි ප්‍රශ්න එද්දී ඒවාට මූණ දෙන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද? (ලූක් 12:29-31)
11 ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයා වධ වෙන හැම දෙයක් ගැනම යෙහෝවාට කියන එක. (හිතෝ. 16:3) හොඳ තීරණ ගන්න ප්‍රඥාව දෙන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න. “අනවශ්‍ය විදිහට දේවල් ගැන කනස්සලු” වෙන්නේ නැතුව ඉන්න උදව් වෙන සන්සුන් හදවතක් ඔහුගෙන් ඉල්ලන්න. (ලූක් 12:29-31 කියවන්න.) අත්‍යවශ්‍යම දේවලින් සෑහීමට පත් වෙන්න උදව් කරන්න කියලත් දෙවියන්ට කියන්න. (1 තිමෝ. 6:7, 8) සල්ලි ප්‍රශ්න එද්දී ඒවාට හොඳින් මූණ දෙන්න උදව් වෙන යෝජනා අපේ ප්‍රකාශනවලින් හොයන්න. ඒ වගේ ප්‍රශ්නවලට හොඳින් මූණ දෙන්න jw.org එකේ තියෙන වීඩියෝ, ලිපි හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා.
12. පවුලේ අය වෙනුවෙන් හොඳම තීරණේ ගන්න නම් කෙනෙක් හිතලා බලන්න ඕන මොන ප්‍රශ්න ගැනද?
12 සමහරු භාරගන්න රස්සා නිසා එයාලට සිද්ධ වෙනවා පවුලේ අයගෙන් ගොඩක් ඈතට ගිහින් ජීවත් වෙන්න. හැබැයි පස්සේ වැඩිදෙනෙක්ට තේරෙනවා ඒක කොච්චර මෝඩද කියලා. ඉතින් අලුත් රස්සාවක් භාරගද්දී හම්බ වෙන පඩිය ගැන විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් ඔයාට කැප කරන්න වෙන වටින දේවල් ගැනත් හිතන්න. (ලූක් 14:28) ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මගේ බිරිඳගෙන්, සැමියාගෙන් මං ඈත් වෙලා හිටියොත් ඒක එයාට කොහොම බලපායිද? මට හැම රැස්වීමකටම යන්න පුළුවන් වෙයිද? සේවේ යන්න පුළුවන් වෙයිද? සභාවේ අයව ආශ්‍රය කරන්න පුළුවන් වෙයිද?’ ඔයාට දරුවෝ ඉන්නවා නම් මේ ගැනත් හිතන්න. ‘මං දරුවන් ළඟ නැතුව “යෙහෝවා දෙන හික්මවීම් සහ අවවාදවලට එකඟව” එයාලව පුහුණු කරන්නේ කොහොමද?’ (එෆී. 6:4) තීරණයක් ගන්න වෙද්දී යෙහෝවා හිතන විදිහ තේරුම් අරන් ඒක ගන්න. බයිබල් ප්‍රතිපත්ති ගැන කිසිම ගාණක් නැති නෑදෑයෝ, යාළුවෝ කියන දේවලට අහු වෙන්න එපා.c බටහිර ආසියාවේ ඉන්න ටෝනිට රට රස්සා කීපයක්ම හම්බ වුණා. එයා ඒ ගැන යාච්ඤා කරලා, එයාගේ නෝනාත් එක්ක කතා කළාට පස්සේ ඒ එකකටවත් නොයා ඉන්න තීරණේ කළා. ඒ වෙනුවට එයාලා බැලුවා පවුලේ වියදම් තව අඩු කරගන්න පුළුවන් කොහොමද කියලා. ටෝනි මෙහෙම කියනවා. “අපි ගත්ත ඒ තීරණේ නිසා කීපදෙනෙක්ටම යෙහෝවාව අඳුරගන්න උදව් කරන්න මට පුළුවන් වුණා. මගේ දුවයි, පුතායිත් සත්‍යයේ දේවල් කරන්නේ හරිම ආසාවෙන්. පවුලක් විදිහට අපි තේරුම්ගත්තා මතෙව් 6:33 යේසුස් කියපු දේ අපි පිළිපදිද්දී යෙහෝවා අපිව බලාගන්නවාමයි කියලා.”
අනාගතේ ගැන හිතද්දී
13. වයසට ගියාම අතේ සල්ලි ටිකක් තියෙන්න නම් අපිට දැන් ඉඳන්ම කරන්න පුළුවන් මොකක්ද?
13 වයසට ගියාම අපේ වියහියදම් බලාගන්නේ කොහොමද කියලා සැලසුම් කරද්දී අපිට යෙහෝවාව විශ්වාසයි කියලා පෙන්නන්න පුළුවන්. බයිබලේ කියන්නේ අපි මහන්සි වෙලා වැඩ කරනවා නම් අනාගතේ වෙනුවෙන් දෙයක් ඉතුරු කරන්න පුළුවන් කියලා. (හිතෝ. 6:6-11) අපිට පුළුවන්කමක් තියෙනවා නම් අනාගතේ වෙනුවෙන් ඉතුරු කරන එක හොඳ දෙයක්. මොකද සල්ලිවලින් යම් ආරක්ෂාවක් තියෙනවා. (දේශ. 7:12) හැබැයි සල්ලි ඉතුරු කරන එක තමයි ජීවිතේ වැදගත්ම දේ කියලා හිතන්න එපා.
14. දේවල් ගැන ඕනෑවට වඩා වධ නොවී ඉන්න හෙබ්‍රෙව් 13:5 අපිට උදව් වෙන්නේ කොහොමද?
14 “දෙවියන් ඉස්සරහා පොහොසත් වෙන්නේ නැතුව” තමන්ටම වස්තු රැස් කරගන්න එක කොච්චර මෝඩයිද කියලා යේසුස් උදාහරණෙකින් කිව්වා. (ලූක් 12:16-21) මොකද හෙට මොනවා වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. (හිතෝ. 23:4, 5; යාකො. 4:13-15) ඒ වගේම යේසුස් කිව්වා ඔහුගේ අනුගාමිකයන් වෙන්න කැමැත්තෙන් ඉන්න අය “හැම දෙයක්ම අත්හරින්න” වුණත් ලෑස්ති පිට ඉන්න ඕනෙ කියලා. (ලූක් 14:33) මුල් සියවසේ යුදයේ හිටපු ක්‍රිස්තියානීන් හරිම කැමැත්තෙන් ඒක කළා. (හෙබ්‍රෙ. 10:34) අදත් දේශපාලන පක්ෂවලට සහය දෙන්නේ නැති නිසා අපේ හුඟක් සහෝදරයන්ට රස්සාවල් නැති වෙලා තියෙනවා. (එළි. 13:16, 17) ඒ වගේ දේකට මූණ දෙන්න එයාලට උදව් වෙලා තියෙන්නේ මොකක්ද? ඒ, “මං කවදාවත් ඔයාලව අත්හරින්නේ නැහැ. මං ඔයාලට උදව් කරන එක කවදාවත් නතර කරන්නේ නැහැ” කියලා යෙහෝවා දීලා තියෙන පොරොන්දුව ගැන තියෙන විශ්වාසේ. (හෙබ්‍රෙව් 13:5 කියවන්න.) වයසට ගියාම කරදරයක් නැතුව ජීවත් වෙන්න අපිට පුළුවන් විදිහට අපි දේවල් සැලසුම් කරනවා. හැබැයි අපි නොහිතන දේවල් වුණත් අපිට විශ්වාසයි යෙහෝවා අපේ උදව්වට ඉන්නවා කියලා.
15. ක්‍රිස්තියානි දෙමාපියන්ට දරුවන් ගැන තියෙන්න ඕනෙ මොන වගේ හැඟීමක්ද? (පින්තූරයත් බලන්න.)
15 සමහර සංස්කෘතීන්වල විවාහක අය දරුවන් හදන්නෙම දරුවෝ උස් මහත් වෙලා, සල්ලි හම්බ කරලා වයසට ගියාම එයාලව බලාගනියි කියන අදහසින්. හැබැයි බයිබලේ කියන්නේ දරුවන්ට ඕන දේවල් දෙන්න ඕනෙ දෙමාපියන් කියලා. (2 කොරි. 12:14) ඇත්ත, දෙමාපියන් වයසට යද්දී දරුවන්ගේ උදව් එයාලට ඕන වෙයි. ගොඩක් දරුවෝ ඒ උදව් එයාලට දෙන්නේ හරිම කැමැත්තෙන්. (1 තිමෝ. 5:4) හැබැයි යෙහෝවා ගැන විශ්වාසේ තියන දෙමාපියන් දන්නවා එයාලට වැඩි සතුටක් ලැබෙන්නේ එයාලාගේ දරුවන්ට දෙවියන්ගේ සේවකයන් වෙන්න උදව් කරන එකෙන් කියලා. එහෙම නැතුව දරුවන්ගෙන් යැපෙන බලාපොරොත්තුවෙන් එයාලව ඇතිදැඩි කරන එකෙන් නෙවෙයි.—3 යොහ. 4.
යෙහෝවා ගැන විශ්වාසේ තියන යුවළයන් අනාගතේ ගැන තීරණ ගද්දී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා (15 ඡේදය බලන්න)d
16. වැඩිහිටියන් වුණාම තමන්ගේ වියදම් බලාගන්න දරුවන්ව පුහුණු කරන්නේ කොහොමද? (එෆීස 4:28)
16 දරුවන් වැඩිහිටියන් වුණාම තමන්ගේ අවශ්‍යතා බලාගන්න දෙමාපියන් දරුවන්ව පුහුණු කරන්න ඕනේ. දෙමාපියෙනි, එහෙම කරද්දී ඔයාලාගේ ආදර්ශයෙන්ම පෙන්නන්න යෙහෝවා ගැන විශ්වාසේ තියන එක කොච්චර වැදගත්ද කියලා. මහන්සි වෙලා වැඩ කරන එක කොච්චර ප්‍රයෝජනවත්ද කියලා පොඩි කාලේ ඉඳන්ම එයාලට කියලා දෙන්න. (හිතෝ. 29:21; එෆීස 4:28 කියවන්න.) එයාලා ටික ටික වයසින් වැඩෙද්දී ඉස්කෝලේ වැඩ හොඳට කරන්න එයාලට උදව් කරන්න. දෙමාපියන්ට පුළුවන් බයිබල් ප්‍රතිපත්ති හොඳට හොයලා, අධ්‍යාපනය ගැන ඥානවන්ත තීරණ ගන්න එයාලාගේ දරුවන්ට උදව් කරන්න. දෙමාපියන්ගේ ඉලක්කය වෙන්න ඕනෙ දරුවන් වැඩිහිටියන් වුණාම සේවෙට මුල් තැන දෙන ගමන් තමන්ගෙම වියහියදම් තමන්ට බලාගන්න පුළුවන් විදිහට එයාලව පුහුණු කරන එකයි.
17. අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?
17 යෙහෝවා ගැන විශ්වාසේ තියන අයට ස්ථිර වෙන්න පුළුවන් එයාලට අවශ්‍ය දේවල් දෙන්න යෙහෝවාට හැකියාව තියෙනවා වගේම ඒක කරන්න ඔහු කැමැත්තෙන් ඉන්නවා කියලා. මේ දුෂ්ට සමාජයේ අවසානයට ළං වෙන්න වෙන්න යෙහෝවා ගැන තියෙන අපේ විශ්වාසේ තව වැඩියෙන් සෝදිසියට ලක් වෙයි. ඒ මොනවාවුණත් යෙහෝවා ඔහුගේ බලය පාවිච්චි කරලා අපිට අවශ්‍ය දේවල් දෙයි කියලා අපිට විශ්වාසයි. අපි කොහේ හිටියත් අපිට උදව් කරන්න බැරි තරමට යෙහෝවාගේ අත කොට නැහැ.
ගීතිකාව 150 ගැලවීම දෙවිගෙන් වේ
a 2023 ඔක්තෝබර් ‘මුරටැඹ’ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.
b 2014 සැප්තැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.
c 2014 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ සඟරාවේ “ස්වාමිවරු දෙන්නෙක්ට සේවය කරන්න බැහැ” කියන ලිපිය බලන්න.
d පින්තූරේ අදහස: යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න යුවළක් එයාලාගේ දුව එක්ක කතාබහ කරලා එයා ගැන හොයලා බලනවා. දුවයි, බෑනායි නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කරන ව්‍යාපෘතියකට හවුල් වෙලයි ඉන්නේ.