පාඩම් ලිපිය 20
ගීතිකාව 7 යෙහෝවා දෙවි අපේ ශක්තියයි
ඔයාව සනසන්න යෙහෝවාට පුළුවන්
“දෙවියන්ට ප්‍රශංසා වේවා! දයාවෙන් පිරුණු තාත්තා ඔහුයි. ඕනෙම අවස්ථාවකදී අපිව සනසන දෙවියන් ඔහුයි.”—2 කොරි. 1:3.
ලිපියේ අරමුණ
බැබිලෝනියේ වහල්භාවයේ හිටපු යුදෙව්වන්ව යෙහෝවා සනසපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා බලමු.
1. වහලුන් විදිහට බැබිලෝනියේ හිටපු යුදෙව්වන්ගේ තත්වේ මොන වගේද?
අවුරුදු ගාණක් තිස්සේ යුදෙව්වන් එක දිගට යෙහෝවාට අකීකරු වුණා. ඒ නිසා ඔහු බැබිලෝනිවරුන්ට ඉඩහැරියා එයාලාගේ නගරේ විනාශ කරලා එයාලව වහලුන් විදිහට අරන් යන්න. (2 ලේක. 36:15, 16, 20, 21) එයාලා බැබිලෝනියේ ගත කළේ මොන වගේ ජීවිතයක්ද? එයාලට එදිනෙදා දේවල් කරගන්න අවස්ථාව තිබුණත් එහේ ජීවිතේ ලේසි වුණේ නැහැ. (යෙරෙ. 29:4-7) එයාලට කොහොමද දැනුණේ? වහල්භාවයේ හිටපු යුදෙව්වෙක් මෙහෙම කිව්වා. “බැබිලෝනියේ ගංඉවුරුවල වාඩි වෙලා සියොන් ගැන මතක් කරකර අපි ඇඬුවා.” (ගීතා. 137:1) හිතින් වැටිලා හිටපු ඒ යුදෙව්වන්ට ඇත්තටම සහනයක් ඕනෙ වුණා. ඒත් කවුද එයාලව සැනසුවේ?
2-3. (අ) වහල්භාවයේ හිටපු යුදෙව්වන් වෙනුවෙන් යෙහෝවා කළේ මොකක්ද? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
2 යෙහෝවා තමයි “ඕනෙම අවස්ථාවකදී අපිව සනසන දෙවියන්.” (2 කොරි. 1:3) ඔහු ඔහුගේ සේවකයන් හැමෝටම ආදරෙයි. ඔහුට ඕනෙ ඒ හැමෝවම සනසන්න. යෙහෝවා දැනන් හිටියා වහල්භාවයේ හිටපු සමහර යුදෙව්වන් ඔහුට අකීකරු වුණ එක ගැන දුක් වෙලා ඔහු ළඟට ආයෙත් එයි කියලා. (යෙසා. 59:20) ඒ නිසයි යුදෙව්වන් වහල්භාවයට යන්න අවුරුදු සීයකටත් වඩා වැඩි කාලෙකට කලින් යෙසායා පොත ලියන්න අනාගතවක්තෘ යෙසායාට යෙහෝවා මඟ පෙන්නුවේ. ඒක ලියපු හේතුව ගැන යෙසායා මෙහෙම කියනවා. “‘සනසන්න. මගේ සෙනඟව සනසන්න’ කියලා ඔබේ දෙවියන් කියනවා.” (යෙසා. 40:1) ඔව්, යුදෙව්වන්ට අවශ්‍ය කරපු ඒ සැනසීම යෙහෝවා යෙසායා මාර්ගයෙන් ලබා දුන්නා.
3 වහල්භාවයේ හිටපු යුදෙව්වන්ට වගේ කාලෙන් කාලෙට අපිටත් සහනය ඕනේ. යෙහෝවා යුදෙව්වන්ව සනසපු විදි තුනක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. (1) පසුතැවිලි වෙන අයට ඔහු සමාව දෙනවා කියලා පොරොන්දු වුණා. (2) ඔහු එයාලට බලාපොරොත්තුවක් දුන්නා. (3) බයෙන් ගොඩ එන්න ඔහු උදව් කළා. එදා යුදෙව්වන්ව සනසපු විදිහටම යෙහෝවා අද අපිවත් සනසනවා.
යෙහෝවා අපිට සමාව දෙනවා
4. යෙහෝවා සමාව දෙන කෙනෙක් කියලා පෙන්නලා තියෙන්නේ කොහොමද? (යෙසායා 55:7)
4 යෙහෝවා තමයි “දයාවෙන් පිරුණු තාත්තා.” (2 කොරි. 1:3) පසුතැවිලි වෙන යුදෙව්වන්ට සමාව දෙනවා කියලා ඔහු පොරොන්දු වුණා. (යෙසායා 55:7 කියවන්න.) ඔහු කිව්වා “සදා නොමියන මගේ ආදරය නිසා මම ඔබට දයාව පෙන්නනවා” කියලා. (යෙසා. 54:8) යුදෙව්වන් යෙහෝවාට අකීකරු වුණ නිසා එයාලට අවුරුදු ගාණක් බැබිලෝනියේ ඉන්න වුණා. ඒත් ඔහු එයාලට පොරොන්දු වුණා දිගටම බැබිලෝනියේ ඉන්න ඉඩ තියන්නේ නැහැ කියලා. (යෙසා. 40:2) ඒක එයාලට කොච්චර සහනයක් වෙන්න ඇද්ද!
5. යෙහෝවා දෙන සමාව ගැන යුදෙව්වන්ටත් වඩා විශ්වාසේ තියන්න අපිට තියෙන හේතු මොනවාද?
5 අපි මොනවාද ඉගෙනගන්නේ? යෙහෝවා ඔහුගේ සේවකයන්ට මුළු හදවතින්ම සමාව දෙනවා. ඒක විශ්වාස කරන්න යුදෙව්වන්ටත් වඩා හේතු අපිට තියෙනවා. අපි දන්නවා යෙහෝවා අපේ පව්වලට සමාව දෙන්න කළේ මොකක්ද කියලා. යෙසායා අනාවැකිය කියලා අවුරුදු 700කට විතර පස්සේ යෙහෝවා ඔහුගේ එකම පුතාව මේ පොළොවට එව්වා. එහෙම කළේ පසුතැවිලි වෙන හැම පව්කාරයෙක්ම වෙනුවෙන් යේසුස්ගේ ජීවිතේ පූජා කරන්නයි. ඒ පූජාව මාර්ගයෙන් අපේ ‘වැරදි මකලා දාන්න’ දෙවියන්ට පුළුවන් වුණා. (ක්‍රියා 3:19, පාදසටහන; යෙසා. 1:18; එෆී. 1:7) අපි නමස්කාර කරන්නේ සමාව දෙන්න සූදානමින් ඉන්න දෙවි කෙනෙක්ට.
6. යෙහෝවා සමාව දෙන විදිහ ගැන හිතන එකෙන් සහනයක් ලැබෙන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
6 කරපු වරදක් ගැන පසුතැවිලි වුණාට පස්සෙත් තාම ඔයාගේ හිත වධ දෙනවා නම් යෙසායා 55:7 ඔයාට සහනයක් වෙයි. ඇත්ත, කරපු වැරැද්දේ ප්‍රතිඵල ඔයා තාම අද්දකිනවා නම් හිත වධ දෙන එක නතර වෙන එකක් නැහැ. ඒත් ඒ ගැන වැඩිමහල්ලන්ට කියලා ඒ වැරැද්දෙන් අපි සම්පූර්ණයෙන්ම ඈත් වෙලා නම් යෙහෝවා සමාව දීලයි තියෙන්නේ කියලා විශ්වාස කරන්න අපිට පුළුවන්. ඒ වගේම යෙහෝවා වැරැද්දකට සමාව දුන්නාම ඔහු ඒවා කවදාවත් ආයේ මතක් කරන්නේ නැහැ. (යෙරෙ. 31:34) ඉතින් යෙහෝවාම ඒවා මතක් කරන්නේ නැත්නම් මොකටද අපි ඒවා ගැන මතක් කරකර වධ වෙන්නේ? යෙහෝවාට වැදගත් අපි දැන් කරන දේවල් මිසක් අපි ඉස්සර කරපු වැරදි නෙවෙයි. (එස. 33:14-16) දයාවෙන් පිරුණු යෙහෝවා ළඟදීම අපි කරපු වැරදි නිසා අපි මූණ දෙන කටුක දේවල් සදහටම නැති කරලා දානවා.
යෙහෝවාට වැදගත් අපි දැන් කරන දේවල් මිසක් අතීතයේ කරපු වැරදි නෙවෙයි (6 ඡේදය බලන්න)
7. අපි වැරැද්දක් කරලා ඒක හංගගෙන ඉන්නවා නම් වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්න අපිව පොලඹවන්නේ මොකක්ද?
7 අපි කරපු බරපතළ වරදක් හංගගෙන ඉන්න නිසා හිත දිගටම වධ දෙනවා නම් මොකද කරන්නේ? බයිබලේ කියන්නේ වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්න කියලා. (යාකො. 5:14, 15) වරදක් කළාට පස්සේ ඒ ගැන කියන එක ලේසි නැහැ. ඒත් යෙහෝවා වැඩිමහල්ලන්ව පාවිච්චි කරන්නේ අපිට උදව් කරන්න. එයාලත් යෙහෝවා වගේම ආදරෙන්, අනුකම්පාවෙන් අපිට උදව් කරයි කියලා අපි මතක තියාගන්න ඕනේ. කරපු වැරැද්ද ගැන අවංකව පසුතැවිලි වෙන්නත් ඕනේ. එතකොට වැඩිමහල්ලන් ළඟට ගිහිල්ලා අපි කරපු වරද ගැන කියන්න අපි පෙලඹෙයි. සහෝදර ආතර්a යෙහෝවා පෙන්නපු දයාවෙන් සහනයක් ලබපු කෙනෙක්. එයා මෙහෙම කියනවා. “මං අවුරුද්දක් විතර අසභ්‍ය දර්ශන බැලුවා. හැබැයි හෘද සාක්ෂිය ගැන තිබුණ දේශනයක් ඇහුවාට පස්සේ ඒ ගැන මං මගේ නෝනාටයි, වැඩිමහල්ලන්ටයි කිව්වා. ඒකෙන් පස්සේ හිතට සහනයක් දැනුණත් මට මං ගැනම ලොකු කලකිරීමක් දැනුණා. ඒත් වැඩිමහල්ලෝ මට මතක් කළා ‘යෙහෝවා ඔයාව අත්හැරලා නෑ, ඔහු හික්මවීම් දෙන්නේ ආදරේ කරන අයටයි’ කියලා. එයාලා කියපු දේවල් නිසා මං තේරුම්ගත්තා යෙහෝවා මට සමාව දුන්නා කියලා.” දැන් ආතර් ස්ථාවර පුරෝගාමියෙක් සහ සහායක සේවකයෙක්. අවංකවම පසුතැවිලි වෙන අයට යෙහෝවා සමාව දෙනවා කියලා දැනන් ඉන්න එක කොයි තරම් සහනයක්ද!
යෙහෝවා අපිට බලාපොරොත්තුවක් දෙනවා
8. (අ) බැබිලෝනියේ හිටපු යුදෙව්වන්ට යෙහෝවා දුන්න බලාපොරොත්තුව මොකක්ද? (ආ) යෙහෝවා දුන්න බලාපොරොත්තුව නිසා පසුතැවිලි වුණ යුදෙව්වන්ට දැනුණේ කොහොමද? (යෙසායා 40:29-31)
8 මිනිස්සුන්ගේ කෝණෙන් නම් යුදෙව්වන්ට ආයේ මව්බිමට යන එක හීනයක් විතරයි. මොකද බැබිලෝනිවරු කවදාවත් වහල්ලුන්ව නිදහස් කරපු ජාතියක් නම් නෙවෙයි. (යෙසා. 14:17) හැබැයි යෙහෝවා පොරොන්දු වුණා එයාලව අනිවාර්යයෙන්ම නිදහස් කරනවා කියලා. ඒක කරන එකෙන් ඔහුව වළක්වන්න කාටවත් බැහැ. (යෙසා. 44:26; 55:12) යෙහෝවාට බැබිලෝනිවරු කියන්නේ දූවිලි බිඳක් විතරයි. (යෙසා. 40:15) එක සැරයක් පිම්බාම ඒක කොහේ ගියාද කියලා හොයාගන්න නැහැ. යෙහෝවා දුන්න ඒ බලාපොරොත්තුව යුදෙව්වන්ට ලොකු සහනයක් වුණා. ඒ වගේම යෙසායා කිව්වා “යෙහෝවා ගැන බලාපොරොත්තු තියන අය ආයෙත් බලවත් වෙනවා” කියලා. (යෙසායා 40:29-31 කියවන්න.) ඔව්, ඒ බලාපොරොත්තුව එයාලට අලුත් පණක් දුන්නා. ඒ නිසා එයාලට පුළුවන් වෙනවා “රාජාලීන් වගේ ඉහළටම පියාඹගෙන යන්න.”
9. යෙහෝවා යුදෙව්වන්ව අනිවාර්යයෙන්ම බැබිලෝනියෙන් නිදහස් කරනවා කියලා විශ්වාස කරන්න එයාලට තිබුණ හේතු මොනවාද?
9 යුදෙව්වන්ට දීපු පොරොන්දුව යෙහෝවා ඉටු කරනවා කියලා විශ්වාස කරන්න හේතුත් ඔහු දුන්නා. ඒ වෙද්දීත් ඉටු වෙලා තිබුණ පොරොන්දු ගැන හිතන්න. ඇසිරියානු හමුදාව ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යය යටත් කරගෙන එයාලව වහලුන් විදිහට ගෙනිච්චා කියලා යුදෙව්වන් දැනන් හිටියා. (යෙසා. 8:4) බැබිලෝනිවරු යෙරුසලම යටත් කරගෙන එහේ හිටපු අයව වහල්ලු විදිහට ගෙනිච්ච විදිහත් එයාලා දැක්කා. (යෙසා. 39:5-7) ශෙදකියා රජව අන්ධ කරලා එයාව බැබිලෝනියට ගෙනිච්චා කියලත් එයාලා දැනන් හිටියා. (යෙරෙ. 39:7; එස. 12:12, 13) ඒ හැම දේම වුණේ යෙහෝවා කියපු විදිහටමයි. (යෙසා. 42:9; 46:10) යෙහෝවා දීපු පොරොන්දුව ගැන තිබුණ විශ්වාසේ තව වැඩි කරගන්න ඒවා එයාලට උදව් වෙන්න ඇති.
10. මේ අන්තිම කාලේ අපේ බලාපොරොත්තුව ශක්තිමත්ව තියාගන්න උදව් වෙන්නේ මොනවාද?
10 අපි මොනවාද ඉගෙනගන්නේ? හිතට දුකක්, බරක් දැනෙද්දී අපේ බලාපොරොත්තුවට පුළුවන් අපිව ශක්තිමත් කරන්න. අපි ඉන්නේ දරුණු කාලෙක. බලවත් හතුරෝ අපිට විරුද්ධව එනවා. ඒත් අපි අධෛර්යය වෙන්න ඕනෙ නැහැ. මොකද යෙහෝවා පොරොන්දු වෙනවා කිසිම බයක් නැතුව පාරාදීසෙක අපිට හැමදාටම ජීවත් වෙන්න පුළුවන් කියලා. අපි ඒ බලාපොරොත්තුව නිතරම අපේ හදවතේ, මනසේ තියාගන්න ඕනේ. එහෙම නොවුණොත් ඒක හරියට ලස්සන දර්ශනයක් දිහා දූවිලි ගැහුණ ජනේලෙකින් බලනවා වගේ. ඒ දර්ශනය කොච්චර ලස්සන වුණත් අපිට පේන්නේ බොඳ වෙලා. කොහොමද ඒ ජනේලේ පිහදාලා බලාපොරොත්තුව බොඳ නොකර තියාගන්නේ? ඒකට පාරාදීසේ ජීවිතේ කොයි වගේ වෙයිද කියලා හැම තිස්සේම හිතින් මවාගන්න. බලාපොරොත්තුව ගැන තියෙන ලිපි කියවන්න, වීඩියෝ බලන්න, සින්දු අහන්න. යාච්ඤා කරද්දී ඔයා ඉටු වෙන කල් ආසාවෙන් බලාගෙන ඉන්න පොරොන්දු ගැන යෙහෝවාට කියන්නත් අමතක කරන්න එපා.
11. සහෝදරි ජෝයිට ආයෙත් ශක්තිමත් වෙන්න උදව් වුණේ මොනවාද?
11 ජෝයිට බරපතළ අසනීපයක් තිබුණා. බලාපොරොත්තුව එයාට සහනයක්, ශක්තියක් වුණා. එයා මෙහෙම කියනවා. “තවත් නං දරාගන්න බෑ කියලා හිතෙද්දී මට දැනෙන හැම දේම මං යෙහෝවාට කිව්වා. මොකද මං දන්නවා යෙහෝවා මාව තේරුම්ගන්නවා කියලා. ඒ වගේ වෙලාවට යෙහෝවා මට ‘මිනිස්සුන්ගේ ශක්තියෙන් ලබාගන්න බැරි බලයක්’ දෙනවා.” (2 කොරි. 4:7) “කවුරුත් ‘මම අසනීපෙන්’ කියලා කියන්නේ නැති” කාලේ ජීවත් වෙන විදිහත් ජෝයි හිතින් මවාගත්තා. (යෙසා. 33:24) අපිත් අපේ හිතේ තියෙන හැම දේම යෙහෝවාට කියද්දී, දිගටම අපේ බලාපොරොත්තුව මනසේ තියාගද්දී ප්‍රශ්න මැද ශක්තිමත්ව ඉන්න අපිට පුළුවන්.
12. යෙහෝවාගේ පොරොන්දු විශ්වාස කරන්න අපිට තියෙන හේතු මොනවාද? (පින්තූරයත් බලන්න.)
12 යෙහෝවාගේ පොරොන්දු ඉටු වෙනවා කියලා විශ්වාස කරන්න අපිටත් හේතු තියෙනවා. අපේ ඇස් ඉස්සරහම ඉටු වෙන අනාවැකි ගැන හිතන්න. බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ලෝක අධිරාජ්‍යය “එක පැත්තකින් දුර්වලයි” කියලත් “තවත් පැත්තකින් ශක්තිමත්ව තියෙයි” කියලත් අපි දකිනවා. (දානි. 2:42, 43) “එක තැනක භූමිකම්පාවක් වෙලා ඒක ඉවර වෙද්දීම තවත් තැනක භූමිකම්පාවක් ඇති වුණා” කියලා අපිට ආරංචි වෙනවා. පොළොව පුරාම ‘සියලු ජාතීන්ට අපි ශුභාරංචිය දේශනා කරනවා.’ (මතෙ. 24:7, 14) ඒ අනාවැකි සහ තවත් ගොඩක් අනාවැකි ඉටු වෙන විදිහ දකිද්දී යෙහෝවා දීලා තියෙන අනිත් පොරොන්දුත් ඉටු වෙනවා කියන විශ්වාසේ තව වැඩි වෙනවා.
දැන් ඉටු වෙන අනාවැකි යෙහෝවා ඉස්සරහට දීලා තියෙන පොරොන්දු ඉටු වෙනවා කියලා විශ්වාස කරන්න හේතුවක් (12 ඡේදය බලන්න)
යෙහෝවා අපේ බය නැති කරනවා
13. (අ) නිදහස ළං වෙලා තියෙද්දී යුදෙව්වන්ට මූණ දෙන්න වුණේ මොන අභියෝගවලටද? (ආ) යෙසායා 41:10-13 කියන විදිහට යෙහෝවා එයාලව සැනසුවේ කොහොමද?
13 වහල්භාවයෙන් නිදහස් වෙන කාලේ ගැන යෙහෝවා යුදෙව්වන්ට ලස්සන බලාපොරොත්තුවක් දුන්නා. ඒත් ඔහු දැනන් හිටියා නිදහස් වෙන කාලේ ළං වෙද්දී එයාලට ගොඩක් අභියෝග එයි කියලා. මොකද යෙහෝවා කලින්ම කියලා තිබුණා බලවත් රජ කෙනෙක් ඇවිත් බැබිලෝනිය අවට ජාතීන්ව යටත් කරගන්නවා කියලා. අන්තිමට බැබිලෝනියටත් එයා පහර දෙනවා කියලා ඔහු කිව්වා. (යෙසා. 41:2-5) ඒ ගැන යුදෙව්වන් බය වෙන්න ඕනෙ නැහැ. මොකද යෙහෝවා කලින්ම මෙහෙම කියලා එයාලව සැනසුවා. “බය වෙන්න එපා. මම ඔබ එක්කම ඉන්නවා. කලබල වෙන්න එපා. මොකද ඔබේ දෙවියන් මමයි.” (යෙසායා 41:10-13 කියවන්න.) “ඔබේ දෙවියන් මමයි” කියද්දී මොකක්ද ඒකෙන් ඔහු අදහස් කළේ? ඔහු මේ මතක් කරන්නේ යුදෙව්වන් නමස්කාර කරන්න ඕනෙ ඔහුට කියලද? නැහැ. මොකද ඒක යුදෙව්වන් දන්න දෙයක්. ඒ වෙනුවට ඔහු මේ කියන්නේ ඔහු තාමත් එයාලාගේ උදව්වට ඉන්නවා කියලයි.—ගීතා. 118:6.
14. වහල්භාවයේ හිටපු අයගේ බය නැති කරන්න යෙහෝවා තව මොනවාද කළේ?
14 යෙහෝවා ඔහුගේ අසීමිත බලය, දැනුම ගැන මතක් කළා. ඒකෙනුත් ඔහු යුදෙව්වන්ගේ බය නැති කළා. ඔහු එයාලට කිව්වා තරු පිරුණු අහස දිහා බලන්න කියලා. තරු හැදුවා විතරක් නෙවෙයි ඔහු ඒ හැම තරුවක්ම නම්වලින්ම දන්නවා කියලත් ඔහු එයාලට කිව්වා. (යෙසා. 40:25-28) හැම තරුවකම නම ඔහුට මතකයි නම් ඔහුගේ සේවකයන්ගේ නම් අමතක වෙයිද? තරු නිර්මාණය කරන්න ඔහුට බලය තියෙනවා නම් ඔහුගේ සෙනඟට උදව් කරන්න බලය නැද්ද? ඇත්තටම යුදෙව්වන්ට බය වෙන්න, කලබල වෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ.
15. ඉස්සරහට වෙන දේවල්වලට මූණ දෙන්න යෙහෝවා යුදෙව්වන්ව පුහුණු කළේ කොහොමද?
15 ඉස්සරහට වෙන දේවල්වලට මූණ දෙන්න යෙහෝවා යුදෙව්වන්ව පුහුණු කළා. යෙසායා පොතේ මුල් හරියේ යෙහෝවා ඔහුගේ සෙනඟට මෙහෙම කිව්වා. “ඔබේ ඇතුල් කාමරවලට යන්න. ගිහින් දොරවල් වහගන්න. දෙවියන්ගේ කේන්තිය නැති වෙලා යන කල් මොහොතකට සැඟවිලා ඉන්න.” (යෙසා. 26:20) සයිරස් රජ, බැබිලෝනිය වටලපු වෙලාවේ යුදෙව්වන් ඒක අදාළ කරගන්න ඇති. එක ග්‍රීක ඉතිහාසඥයෙක් මෙහෙම කියනවා. “බැබිලෝනියට ආවාම සයිරස් සෙබළුන්ට කිව්වා ගෙවල්වලින් එළියේ ඉන්න හැමෝවම මරලා දාන්න කියලා.” බැබිලෝනියේ ජීවත් වුණ අයට කොච්චර බයක් දැනෙන්න ඇද්ද! හැබැයි යුදෙව්වන් යෙහෝවා කියපු දේට කීකරු වුණ නිසා බේරෙන්න ඇති.
16. මහත් පීඩාව කාලේ මොනවා වෙයිද කියලා හිතහිත අපි බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි? (පින්තූරයත් බලන්න.)
16 අපි මොනවාද ඉගෙනගන්නේ? ළඟදීම එතෙක් මෙතෙක් සිද්ධ වෙලා නැති මහත් පීඩාවකට අපි මූණ දෙනවා. එදාට මිනිස්සු බයෙන් අන්දමන්ද වෙනවා. හැබැයි යෙහෝවාගේ සෙනඟට එහෙම වෙන්නේ නැහැ. අපි දන්නවා යෙහෝවා අපේ දෙවියන් කියලා. ‘අපේ ගැලවීම ළඟයි’ කියලත් අපි දන්නවා. ඒ නිසා අපි සැලෙන්නේ නැහැ. (ලූක් 21:28) ජාතීන්ගේ එකතුව අපිට පහර දෙද්දීත් අපි දිගටම යෙහෝවා ගැන විශ්වාසේ තියනවා. යෙහෝවා අපිට දේවදූතයන්ගේ ආරක්ෂාව වගේම අපේ ජීවිත බේරගන්න ඕනෙ කරන මඟ පෙන්වීමුත් දෙයි. ඒත් ඒ මඟ පෙන්වීම් දෙන්නේ කොහොමද කියලා අපි තාම හරියටම දන්නේ නැහැ. ඒවා අපිට සභාවෙන් ලැබෙන්න පුළුවන්. සමහරවිට අපිට ආරක්ෂාවක් ලැබෙන “ඇතුල් කාමර” අපේ සභාවන් වෙන්න ඇති. ඉස්සරහට වෙන දේවලට දැන් තියාම ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද? දිගටම අපේ සහෝදර සහෝදරියන්ට ළං වෙලා ඉන්න. සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම කීකරු වෙන්න. සංවිධානයට මඟ පෙන්නන්නේ යෙහෝවායි කියන දේ ගැනත් කිසිම සැකයක් තියාගන්න එපා.—හෙබ්‍රෙ. 10:24, 25; 13:17.
අපිව බේරගන්න යෙහෝවාට තියෙන බලය, හැකියාව ගැන හිතන එක අපිට උදව් වෙනවා මහත් පීඩාව කාලේ කලබල වෙන්නේ නැතුව ඉන්න (16 ඡේදය බලන්න)b
17. යෙහෝවාගෙන් සහනය ලබාගන්න පුළුවන් කොහොමද?
17 බැබිලෝනියේ ගත කරපු ජීවිතේ යුදෙව්වන්ට ලේසි වුණේ නැහැ. හැබැයි එයාලට ඕනෙ කරන සහනය යෙහෝවා දුන්නා. ඔහු අපිටත් ඒකම කරනවා. ඒ නිසා අනාගතේදී මොනවාවුණත් සහනය ලබන්න අපි යෙහෝවා ළඟට යමු. යෙහෝවා ඔයාගේ වැරදිවලට සමාව දෙනවා කියලා විශ්වාස කරන්න. ඔයාගේ බලාපොරොත්තුව ශක්තිමත් කරගන්න. මතක තියාගන්න ඔයාගේ දෙවියන් යෙහෝවා. ඒ නිසා ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.
ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව
a සමහර නම් වෙනස් කරලා තියෙනවා.
b පින්තූරේ අදහස: සහෝදර සහෝදරියන් කණ්ඩායමක් එකට එකතු වෙලා ඉන්නවා. අහසේ තරු දිහා බලද්දී එයාලට මතක් වෙනවා කොහේ හිටියත් ඔහුගේ සෙනඟව ගලවාගන්න යෙහෝවාට බලයයි, හැකියාවයි තියෙනවා කියලා.