පාඩම් ලිපිය 31
ගීතිකාව 111 අපේ ප්‍රීතිය නිමා නොවෙයි
සතුටින් ඉන්න රහස ඔයා දන්නවාද?
“මං මොන තත්වයකට මූණ දුන්නත් තියෙන දෙයින් සතුටු වෙන්න ඉගෙනගෙන තියෙනවා.”—ෆිලි. 4:11.
ලිපියේ අරමුණ
ස්තුතිවන්ත වෙන එක, නිහතමානී වෙන එක, අපිට තියෙන බලාපොරොත්තුව ගැන හිතන එක තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න අපිට උදව් වෙන්නේ කොහොමද කියලා බලමු.
1. තියෙන දෙයින් සතුටු වෙන කෙනෙක් කොයි වගේද? හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැත්තේ මොකක්ද?
ඔයා තියෙන දෙයින් සතුටු වෙන කෙනෙක්ද? ඒ වගේ කෙනෙක් යෙහෝවාගෙන් එයාට ලැබිලා තියෙන දේවල් අගය කරනවා. ඒකයි එයාගේ හිතේ සතුට, සමාදානය තියෙන්නේ. එයාට නැති දේවල් ගැන හිතහිත එයා වධ වෙන්නෙවත් කේන්ති ගන්නෙවත් නැහැ. හැබැයි තියෙන දේවල් ගැන සෑහීමට පත් වෙනවා කියන්නේ කෙනෙක් ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙනවා කියන එක නෙවෙයි. උදාහරණෙකට කෙනෙක් යෙහෝවාට වැඩියෙන් සේවේ කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඒකේ වරදක් නැහැ. (රෝම 12:1; 1 තිමෝ. 3:1) හැබැයි එයා බලාපොරොත්තු වෙන ඉක්මනින් ඒ පැවරුම් ලැබුණේ නැහැ කියලා එයා එයාගේ සතුට නැති කරගන්නෙත් නැහැ.
2. තියෙන දෙයින් සතුටු වෙන්නේ නැති එක භයානක ඇයි?
2 තියෙන දෙයින් අපි සතුටු වෙන්නේ නැත්නම් අපි මෝඩ තීරණ වුණත් ගන්න පෙලඹෙයි. උදාහරණෙකට එහෙම කෙනෙක් එයාට ඇත්තටම අවශ්‍ය නැති දේවල් ගන්න පැය ගාණක් අමතරව වැඩ කරයි. කියන්න දුකයි, ක්‍රිස්තියානීන් කීපදෙනෙක්ම එයාලා ආස කරන දේවල්, සල්ලි හොරකම් කරන්න පෙලඹිලා තියෙනවා. සමහරවිට එයාලා හිතන්න ඇති ‘මට ඒ දේ ලැබෙන්න ඕනේ,’ ‘දැං මං බලන් හිටියා ඇති’ එහෙම නැත්නම් ‘දැන් මං මේ සල්ලි ගත්තාට පස්සේ මං මේක ගෙවනවානේ’ කියලා. හැබැයි ඒ කොහොම හිතුවත් ඕනම විදිහේ හොරකමක් යෙහෝවාට පිළිකුල්. ඒකෙන් වෙන්නේ යෙහෝවාට ලොකු අගෞරවයක්. (හිතෝ. 30:9) තවත් අය එයාලා ආසාවෙන් බලාගෙන හිටපු පැවරුමක් එයාලට ලැබුණේ නැති නිසා අධෛර්යය වෙලා යෙහෝවාට සේවේ කරන එකත් නතර කරලා දාලා. (ගලා. 6:9) යෙහෝවාට කැප වුණ කෙනෙක් එහෙම දෙයක් කරන එක ගැන හිතන්නෙවත් කොහොමද? ඇත්තටම කෙනෙක්ට එහෙම වෙන්නේ තමන්ට තියෙන දේ ගැන හිතේ තියෙන අගය එන්න එන්න අඩු වෙද්දියි.
3. ෆිලිප්පි 4:11, 12 අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?
3 පාවුල් කිව්වා “මං මොන තත්වයකට මූණ දුන්නත් තියෙන දෙයින් සතුටු වෙන්න ඉගෙනගෙන තියෙනවා” කියලා. (ෆිලිප්පි 4:11, 12 කියවන්න.) ඒ වචන ලියද්දී පාවුල් හිටියේ හිරේ. හැබැයි එයා එයාගේ සතුට නැති කරගත්තේ නැහැ. මොකද “සතුටින් ඉන්නේ කොහොමද කියන රහස” එයා ඉගෙනගත්තා. පාවුල්ගේ අද්දැකීමෙන් පැහැදිලියි අපිත් මොන තත්වෙට මූණ දුන්නත් අපිටත් සෑහීමට පත් වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒක ඉබේ වෙන දෙයක් කියලා හිතන්න එපා. ඒ වෙනුවට සෑහීමට පත් වෙන්න අපි ඉගෙනගන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? ඒකට උදව් වෙන්නේ මොනවාද කියලා අපි මේ ලිපියෙන් බලමු.
ස්තුතිවන්ත වෙන්න
4. ස්තුතිවන්ත වෙද්දී සෑහීමට පත් වෙන්න ලේසි ඇයි? (1 තෙසලෝනික 5:18)
4 ස්තුතිවන්ත වෙන කෙනෙක්ට සෑහීමට පත් වෙන්න ලේසියි. (1 තෙසලෝනික 5:18 කියවන්න.) උදාහරණෙකට, ජීවත් වෙන්න ඕනම කරන දේවල් තියෙන එක ගැන අපි ස්තුතිවන්ත වෙනවා නම් නැති දේ ගැන ඕනෑවට වඩා හිතහිත අපි වධ වෙන්නේ නැහැ. දැන් තියෙන පැවරුම් ගැන අපි සතුටුයි නම් අපි හිතන්නේ ඒ පැවරුම් තව හොඳට කරන්න පුළුවන් කොහොමද කියලා මිසක් නැති පැවරුම් ලබාගන්න විදිහ ගැන නෙවෙයි. එහෙමනම් යාච්ඤා කරද්දී යෙහෝවාට ස්තුති කරන්න කියලා බයිබලේ කියන්නේ හොඳ හේතුවකට නෙවෙයිද? අපි ස්තුතිවන්ත වෙද්දී ‘කිසිම මනුස්සයෙක්ට තේරුම්ගන්න බැරි දෙවියන් ලබා දෙන සමාදානය’ අද්දකින්න අපිට පුළුවන්.—ෆිලි. 4:6, 7.
5. ඊශ්‍රායෙල්වරුන්ට ස්තුතිවන්ත වෙන්න තිබුණ හේතු මොනවාද? (පින්තූරයත් බලන්න.)
5 ඊශ්‍රායෙල්වරු ගැන හිතන්න. ඊජිප්තුවේදී කාපු දේවල් දැන් නැහැ කියලා එයාලා හුඟක් කන්කෙඳිරි ගෑවා. (ගණන්. 11:4-6) පාළුකරයේ ගත කරපු ජීවිතේ ලේසි නැහැ තමයි. ඒත් එයාලට තිබුණා ඒ වෙද්දීත් යෙහෝවා එයාලා වෙනුවෙන් කරලා තිබුණ දේවල් ගැන හිතලා ඒවාට ඔහුට ස්තුතිවන්ත වෙන්න. එයාලා වහලුන් විදිහට ඉද්දී ඊජිප්තුවරුන් එයාලට සැලකුවේ හරිම දරුණු විදිහට. එතකොට යෙහෝවා පීඩා දහයක් ගෙනල්ලා එයාලව ඊජිප්තුවරුන්ගෙන් බේරගත්තා. නිදහස් වුණාට පස්සේ රිදී, රත්තරන්, ඇඳුම් පැලඳුම් වගේ “ඊජිප්තුවරුන්ගේ වටිනා දේවල්” අරගෙනයි එයාලා ආවේ. (නික්. 12:35, 36) රතු මුහුද ළඟ එයාලා කොටු වෙලා ඉද්දී යෙහෝවා මුහුද දෙබෑ කරලා එයාලව බේරගත්තා. පාළුකරයේදී යෙහෝවා හැම දවසකම එයාලට කන්න මන්නා දුන්නා. එහෙමනම් ඇයි එයාලා කෑම ගැන කන්කෙඳිරි ගෑවේ? ඒ, එයාලට කන්න නැති නිසා නෙවෙයි, යෙහෝවා එයාලා වෙනුවෙන් කරපු දේවල් ගැන හිතේ කිසිම අගයක් නැති නිසයි.
ඊශ්‍රායෙල්වරු කන්කෙඳිරි ගෑවේ ඇයි? (5 ඡේදය බලන්න)
6. ස්තුතිවන්ත වෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද?
6 ස්තුතිවන්ත වෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (1) ඔයාට තියෙන හොඳ දේවල් ගැන හිතන්න හැමදාම කාලේ ගන්න. ස්තුතිවන්ත වෙන්න තියෙන දේවල් දෙක තුනක් ගැන ලියන්න වුණත් ඔයාට පුළුවන්. (විලා. 3:22, 23) (2) අනිත් අය ඔයා වෙනුවෙන් කරන දේවලට “තැන්ක් යූ” කියන්න. වැදගත්ම දේ හැම දවසකම යෙහෝවාට “තැන්ක් යූ” කියලා කියන්න. (ගීතා. 75:1) (3) ලැබිලා තියෙන දේවලට ස්තුතිවන්ත වෙන අයව ඔයාගේ කිට්ටු යාළුවන් කරගන්න. මොකද අපේ කිට්ටු යාළුවෝ හැම තිස්සේම කන්කෙඳිරි ගාන අය නම් ඒක අපිටත් බෝ වෙනවා. (ද්වි. 1:26-28; 2 තිමෝ. 3:1, 2, 5) ස්තුතිවන්ත වෙන්න තියෙන හේතු ගැන අපි හිතන්න හිතන්න නැති දේ ගැන හිතලා දුක් වෙන්න තියෙන අවස්ථා අඩුයි.
7. තියෙන දේ ගැන සතුටු වෙන්න ආචිට උදව් වුණේ මොකක්ද?
7 ඉන්දුනීසියාවේ ඉන්න සහෝදරි ආචි මෙහෙම කියනවා. “කෝවිඩ් කාලේදී මං, මං හිටපු තත්වේ අනිත් සහෝදර සහෝදරියන් එක්ක සන්සන්දනය කරන්න පටන්ගත්තා. එතකොට මගේ සතුට නැති වුණා.” (ගලා. 6:4) හිතපු විදිහ වෙනස් කරගන්න ආචිට උදව් වුණේ මොකක්ද? එයා මෙහෙම කියනවා. “හැම දවසකම යෙහෝවා මං වෙනුවෙන් කරන දේවල් ගැන මං හිතන්න පටන්ගත්තා. යෙහෝවාගේ සංවිධානයේ ඉන්න නිසා මං අද්දකින ආශීර්වාද ගැනත් මං හිතුවා. ඊටපස්සේ ඒ හැම දේකටම මං යෙහෝවාට ‘තැන්ක් යූ’ කිව්වා. ඒක මට උදව් වුණා තියෙන දේවලින් සතුටු වෙන්න.” ඔයා මූණ දෙන දේවල් නිසා ඔයා ඉන්නෙත් සතුටෙන් නෙවෙයි නම් ආචි කරපු දේම කරන එක හොද නැද්ද?
නිහතමානී වෙන්න
8. බාරුක්ට වුණේ මොකක්ද?
8 සැරයක් යෙරෙමියාගේ ලේකම් වුණ බාරුක්ට තිබුණ දේවල් ගැන සෑහීමට පත් වෙන්න බැරි වුණා. ඇත්ත, බාරුක්ගේ පැවරුම ලේසි එකක් නෙවෙයි. කිසිම අගයක් නැති ජාතියකට විරුද්ධව යෙහෝවා කියපු ප්‍රබල පණිවිඩේ දැනුම් දෙන්න යෙරෙමියාට උදව් කරන්න එයාට වුණා. හැබැයි එක අවස්ථාවකදී යෙහෝවා එයාගෙන් බලාපොරොත්තු වෙන දේට වඩා බාරුක් එයාට ඕන කරන දේවල් ගැන වැඩියෙන් හිතන්න ගත්තා. ඒ වෙලාවේ යෙහෝවා යෙරෙමියා මාර්ගයෙන් එයාට මෙහෙම කිව්වා. “ඔයා හිතන්නේ ඔයාගේ දියුණුව ගැන විතරයි. ඔයා ගොඩක් දේවල් පස්සේ යනවා. ඒක නවත්තන්න.” (යෙරෙ. 45:3-5) වෙන විදිහකින් කියනවා නම් යෙහෝවා කිව්වේ “ඔයාට දැන් තියෙන දේවල් ගැන සතුටු වෙන්න” කියලයි. ඒ දේ හිතට ගත්ත නිසා බාරුක්ට පුළුවන් වුණා යෙහෝවා එක්ක තිබුණ යාළුකම රැකගන්න.
9. පැවරුම් ගැන හරි විදිහට හිතන්න 1 කොරින්ති 4:6, 7 අපිට උදව් වෙන්නේ කොහොමද? (පින්තූරත් බලන්න.)
9 සමහරවිට කෙනෙක්ට හිතෙයි අහවල් පැවරුම එයාට ලැබෙන්න ඕනෙ කියලා. එයා ගොඩක් හැකියාවන් තියෙන, මහන්සි වෙලා වැඩ කරන, කාලයක් තිස්සේ යෙහෝවාට සේවේ කරන කෙනෙක් වෙන්න ඇති. ඒත් එයා ආසාවෙන් ඉන්න ඒ පැවරුම වෙන කෙනෙක්ට ලැබෙද්දී එයාට දුකක් දැනෙනවා නම් මොකක්ද කරන්න පුළුවන්? එයාට පුළුවන් 1 කොරින්ති 4:6, 7 පාවුල් කියපු දේ ගැන හිතන්න. (කියවන්න.) අපිට තියෙන හැම හැකියාවක්ම, අපි කරන හැම පැවරුමක්ම ලැබුණේ යෙහෝවාගෙන්. යෙහෝවා ඒවා දුන්නේ අපි අනිත් අයට වඩා උසස්, විශේෂ නිසා නෙවෙයි. ඒ හැම දේම අපිට ලැබුණේ ඔහුගේ මහත් කරුණාව නිසයි.—රෝම 12:3, 6; එෆී. 2:8, 9.
අපිට තියෙන හැම හැකියාවක්ම ලැබුණේ යෙහෝවාගේ මහත් කරුණාව නිසයි (9 ඡේදය බලන්න)b
10. නිහතමානී වෙන්න අපිට ඉගෙනගන්න පුළුවන් කොහොමද?
10 යේසුස්ගේ ආදර්ශය ගැන හිතලා ඔහුව අනුගමනය කරනවා නම් අපිටත් පුළුවන් නිහතමානී වෙන්න. ඔහු දෙවියන්ගේ පුතා කියලත් ඔහුට ලොකු අධිකාරියක් තියෙනවා කියලත් යේසුස් දැනන් හිටියා. ඒත් ඔහු ගෝලයන්ගේ කකුල් හේදුවා. ඒ ගැන යොහන් මෙහෙම කියනවා. “පියාණන් තමන්ගේ අතට හැම දෙයක්ම භාර දීලා තියෙනවා කියලත් තමන් දෙවියන් ළඟ ඉඳන් ආවා කියලත් ආපහු දෙවියන් ළඟට යනවා කියලත් යේසුස් දැනගෙන හිටියා.” ඒත් ‘ඔහු ගෝලයන්ගේ කකුල් හෝදන්න පටන්ගත්තා.’ (යොහ. 13:3-5) ඕනෙ නම් යේසුස්ට තිබුණා හිතන්න ගෝලයෝ තමයි මගේ කකුල් හෝදන්න ඕනෙ කියලා. හැබැයි තමන් දෙවියන්ගේ පුතා නිසා මීට වඩා සැපපහසුකම් ලැබෙන්න ඕනෙ කියලා පොළොවේ ඉද්දී යේසුස් හිතුවේ නැහැ. (ලූක් 9:58) ඒ වෙනුවට ඔහු නිහතමානීව තිබුණ දෙයින් සතුටු වුණා. ඔහුගේ ආදර්ශය කොච්චර වටිනවාද!—යොහ. 13:15.
11. තියෙන දෙයින් සතුටු වෙන්න ඩෙනිස්ට නිහතමානිකම උදව් වුණේ කොහොමද?
11 නෙදර්ලන්තයේ ඉන්න ඩෙනිස් යේසුස් වගේ නිහතමානී වෙන්න මහන්සි වෙන සහෝදරයෙක්. එයා මෙහෙම කියනවා. “මං ආස පැවරුමක් වෙන කෙනෙක්ට ලැබෙද්දී සමහර වෙලාවට මට දුකක් දැනෙනවා. මට හිතෙන්නේ ඒක ලැබෙන්න ඕනෙ මටයි කියලා. එහෙම දැනෙද්දී මං නිහතමානිකම ගැන අධ්‍යයනය කරනවා. ඒ ගැන තියෙන බයිබල් පද මං ‘JW ලයිබ්‍රරි’ එකේ ලකුණු කරලා තියෙනවා. එතකොට මට පුළුවන් ඒවා ඉක්මනින්ම හොයාගෙන ආයේ ආයේ කියවන්න. මං ෆෝන් එකට නිහතමානිකම ගැන තියෙන දේශන ඩවුන්ලෝඩ් කරන් ඉන්නවා. එතකොට නිතරම ඒවා අහන්න මට පුළුවන්.a මට තේරුණා මං යෙහෝවා වෙනුවෙන් කරන හැම දේම කරන්න ඕනෙ ඔහුට ගෞරවයක් ගේන්න, නැතුව මට අවධානය ගන්න නෙමෙයි කියලා. ඕනම වැඩක් සාර්ථක වෙන්නේ යෙහෝවා නිසා. ඒකට පුංචි විදිහකින් හරි සම්බන්ධ වෙන්න ඔහු අපිට අවස්ථාව දීලා තියෙනවා.” ඔයා ආස පැවරුමක් වෙන කෙනෙක්ට ලැබුණ නිසා ඔයාත් ඉන්නේ අප්සෙට් එකෙන් නම් නිහතමානී වෙන්න තව මහන්සි වෙන්න. එතකොට යෙහෝවාත් එක්ක තියෙන යාළුකම වැඩි කරගන්නත් දැන් ඔයාට තියෙන දෙයින් සතුටු වෙන්නත් පුළුවන් වෙයි.—යාකො. 4:6, 8.
බලාපොරොත්තුව ගැන හිතන්න
12. දැන් තියෙන දේවල් ගැන සතුටු වෙන්න අපිට උදව් වෙන්නේ යෙහෝවා දීලා තියෙන මොන පොරොන්දුවද? (යෙසායා 65:21-25)
12 අනාගතේ ගැන යෙහෝවා දීලා තියෙන පොරොන්දු ගැන තව තව හිතන එකත් තියෙන දෙයින් සතුටු වෙන්න අපිට උදව් වෙනවා. යෙසායා මාර්ගයෙන් යෙහෝවා කියපු දේවලින් පැහැදිලියි අද අපිට ගෙවන්න තියෙන්නේ අමාරු ජීවිතයක් කියලා යෙහෝවා තේරුම්ගන්නවා කියලා. ඒත් ඔහු පොරොන්දු වෙනවා අපි අද්දකින හැම ප්‍රශ්නයක්ම විසඳනවා කියලා. (යෙසායා 65:21-25 කියවන්න.) එදාට අපි සුරක්ෂිතව ලස්සන ගෙවල්වල ජීවත් වෙනවා. අපි කරන්නේ අපිට ආස හිතෙන වැඩ. හරිම රස, පෝෂ්‍යදායි කෑම කන්න අපිට පුළුවන්. අපිටවත් අපේ දරුවන්ටවත් අනතුරක් වෙයි කියලා බය වෙන්න ඕනෙ නැහැ. (යෙසා. 32:17, 18; එස. 34:25) අපි ඉස්සරහා තියෙන්නේ හරිම ලස්සන, සුරක්ෂිත අනාගතයක්.
13. දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැන අපි විශේෂයෙන්ම හිතන්න ඕනෙ මොන වගේ අවස්ථාවලදීද?
13 වෙන කවදාටත් වඩා වැඩියෙන් දෙවියන්ගේ පොරොන්දු ගැන දැන් අපි හිතන්න ඕනේ. මොකද අපි ජීවත් වෙන්නේ “අන්තිම දවස්වල.” එක පිට එක ප්‍රශ්න එන නිසා අපි ‘ජීවත් වෙන්නේ අමාරුවෙන්.’ (2 තිමෝ. 3:1) ඒත් යෙහෝවා හැම දවසකම අපිට ඕන මඟ පෙන්වීම් දීලා, අපිව ශක්තිමත් කරලා විඳදරාගන්න අපිට උදව් කරනවා. (ගීතා. 145:14) ඔහු දීලා තියෙන පොරොන්දුවත් අපිට උදව් වෙනවා මේ අමාරු දේවල් දරාගන්න. ඔයා ඔයාගේ පවුලේ අයට කන්න බොන්න දෙන්න ලොකු සටනක් කරනවාද? ඔයාට මේ සටන හැමදාටම කරන්න වෙයිද? කොහොමටවත් නැහැ. යෙහෝවා පොරොන්දු වෙනවා ඔයාට ඕන කරන දේවල් ඔයා හිතනවාටත් වඩා වැඩියෙන් පාරාදීසේදී දෙනවා කියලා. (ගීතා. 9:18; 72:12-14) ඔයා හැම දවසකම ඇඟේපතේ ලොකු වේදනාවක් අද්දකිනවාද? මානසික පීඩනයෙන් පෙළෙනවාද? බරපතළ අසනීපයක් එක්ක පොරබදිනවාද? ඔයාට ඒ වේදනා හැමදාටම උහුලන්න වෙයිද? නැහැ. පාරාදීසේදී අසනීප, මරණය නැහැ. (එළි. 21:3, 4) දැන් අපි මූණ දෙන ප්‍රශ්න නිසා මනසින් වැටෙන්නේ නැතුව, කේන්ති ගන්නේ නැතුව ඉන්න බලාපොරොත්තුව අපිට උදව් වෙනවා. අපි අසාධාරණයක් අද්දැක්කත් වියෝදුක අද්දැක්කත් බරපතළ අසනීපයක් දරාගත්තත් වෙන මොන දේ අද්දැක්කත් දැන් තියෙන දේ ගැන සතුටු වෙන්න අපිට පුළුවන්. මොකද අපි දන්නවා මේ ‘පීඩා තියෙන්නේ කෙටි කාලෙකට විතරයි’ කියලා.—2 කොරි. 4:17, 18.
14. අපේ බලාපොරොත්තුව ශක්තිමත් කරගන්න අපිට පුළුවන් කොහොමද?
14 දැන් තියෙන දේවල් ගැන සතුටින් ඉන්න බලාපොරොත්තුව අපිට උදව් වෙන නිසා ඒ බලාපොරොත්තුව ගැන අපිට තියෙන විශ්වාසේ අපි ශක්තිමත් කරගන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? දුර පේන්නේ නැති කෙනෙක් ඈත තියෙන දේවල් පැහැදිලිව බලන්න කණ්ණාඩි දානවා වගේ පාරාදීසේ අපි ඉන්න විදිහ පැහැදිලිව දකින්න නම් අපි අපේ බලාපොරොත්තුව තව ශක්තිමත් කරගන්න පියවර ගන්න ඕනේ. ජීවිතේ ගැටගහගන්න හම්බ කරන සල්ලි ඇති වෙයිද කියලා ඔයා වධ වෙනවා නම් සල්ලි ප්‍රශ්න, දුප්පත්කම නැති පාරාදීසේ ඔයා ජීවත් වෙන විදිහ හිතින් මවාගන්න. ඔයා ආස පැවරුමක් ලැබුණේ නැති නිසා ඔයා ඉන්නේ දුකෙන් නම් පරිපූර්ණ කෙනෙක් විදිහට ඔයා අවුරුදු දහස් ගාණක් යෙහෝවාට සේවේ කළාම දැන් වධ වෙන මේ පැවරුම කොච්චර පුංචි එකක් වෙයිද කියලා හිතන්න. (1 තිමෝ. 6:19) අද අපි හුඟක් දේවල් ගැන වධ වෙන නිසා ඒ පොරොන්දු ගැන හිතන එක අපිට අමාරු වෙයි. හැබැයි ඒ ගැන හිතන්න හිතන්න ඒ ජීවිතේ හිතින් මවාගන්න අපිට ලේසියි.
15. ක්‍රිස්ටා කියන දේවල්වලින් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?
15 ඩෙනිස්ගේ බිරිඳ ක්‍රිස්ටාට බලාපොරොත්තුව උදව් වුණ විදිහ ගැන එයා මෙහෙම කියනවා. “මාංශ පේශී දවසින් දවස දුර්වල වෙන ලෙඩක් මට තියෙනවා. ඒ නිසා මට ඇවිදින්න බෑ. හුඟක් වෙලාවට මං ඉන්නේ ඇඳේමයි. වේදනාවක් දැනෙන්නේ නැති දවසක් නෑ. මේ ළඟදී දොස්තර මට කිව්වා ‘ඔයාගේ අසනීපේ නං හොඳ වෙන්නේ නෑ’ කියලා. ඒ වෙලාවේ මං ඉක්මනින්ම මටම කියාගත්තා ‘එයා දකින අනාගතේ මං දකින අනාගතේට වඩා වෙනස්’ කියලා. මං හිතින් මවාගන්නේ පාරාදීසේ ජීවිතේ. ඒක මගේ හිතට ලොකු සහනයක්. දැන් මං ගොඩක් ප්‍රශ්න අද්දැක්කත් මගේ ඉස්සරහා තියෙන්නේ සතුටින් පිරුණු ජීවිතයක්.”
‘ඔහු ගැන ගරුබිය තියෙන අයට කිසි දේකින් අඩුවක් නැහැ’
16. යෙහෝවා ගැන ගරුබිය තියෙන අයට “කිසි දේකින් අඩුවක් වෙන්නේ නැහැ” කියලා දාවිත්ට කියන්න පුළුවන් වුණේ ඇයි?
16 දැන් තියෙන දේවල් ගැන සතුටින් ඉන්නවා කියන්නේ අපිට ප්‍රශ්න එන්නේ නැහැ කියන එක නෙවෙයි. දාවිත් ගැන හිතන්න. අඩුම තරමේ තුන් පාරක්වත් දරුවන්ගේ වියෝව දාවිත්ට දරාගන්න වුණා. එයාට බොරු චෝදනා කළා. එයාගේ යාළුවෝ ද්‍රෝහි වුණා. අවුරුදු ගාණක් තිස්සේ එයාට හැංගි හැංගි ජීවත් වෙන්න වුණා. හැබැයි අමාරු දේකට මූණ දීලා හිටපු එක අවස්ථාවක දාවිත් යෙහෝවා ගැන කියන්නේ “ඔහු ගැන ගරුබිය තියෙන අයට කිසි දේකින් අඩුවක් වෙන්නේ නැහැ” කියලා. (ගීතා. 34:9, 10) මොකද දාවිත් දැනන් හිටියා එයාට මූණ දෙන්න වෙන ප්‍රශ්න, අභියෝග යෙහෝවා අයින් කරන්නේ නැති වුණත් එයාට ඕනම කරන දේවල් ඔහු අනිවාර්යයෙන්ම දෙනවා කියලා. (ගීතා. 145:16) දාවිත් වගේ අපිටත් විශ්වාසයි මොන ප්‍රශ්නේ ආවත් ඒවා දරාගන්න යෙහෝවා අපිට උදව් කරයි කියලා. ඒ නිසා තියෙන දෙයින් සතුටු වෙන්න අපිට පුළුවන්.
17. තියෙන දෙයින් සතුටු වෙන්න ඔයාට ඕනෙ ඇයි?
17 යෙහෝවා කැමතියි ඔයා ඔයාට දැන් තියෙන දේවල් ගැන සතුටු වෙනවා දකින්න. (ගීතා. 131:1, 2) ඉතින් තියෙන දෙයින් සතුටු වෙන රහස ඉගෙනගන්න. ස්තුතිවන්ත වෙන්නත් දිගටම නිහතමානීව ඉන්නත් බලාපොරොත්තුව ශක්තිමත් කරගන්නත් ඔයා මහන්සි වෙනවා නම් ඔයාටත් පුළුවන් මෙහෙම කියන්න. “මං තෘප්තිමත්.”—ගීතා. 16:5, 6.
ගීතිකාව 118 “විශ්වාසය තවත් ශක්තිමත් කරන්න”
a jw.org එකේ ‘නිහතමානී අයව යෙහෝවා ආදරෙන් බලාගන්නවා’ සහ ‘විනාශයට මුල උඩඟුකමයි’ කියන උදෑසන නමස්කාර වැඩසටහන් බලන්න.
b පින්තූරවල අදහස: සහෝදරයෙක් සංවිධානයේ ගොඩනැඟිල්ලක නඩත්තු වැඩක් කරනවා. සංඥා භාෂාව ඉගෙනගත්ත සහෝදරියක් එක්ක සමුළුවේදී සම්මුඛ සාකච්ඡාවක් කරනවා. සහෝදරයෙක් බයිබල් දේශනයක් දෙනවා.