ජීවිත කතාව
ලැජ්ජාවෙන් හිටපු මං මිෂනාරි කළා
මං පොඩි කාලේ හරිම ලැජ්ජයි. මිනිස්සු එක්ක කතා කරන්නත් බයයි. හැබැයි කල් යද්දී යෙහෝවා මට උදව් කළා මිනිස්සු ගැන හිතේ ආදරයක් ඇති කරගෙන මිෂනාරි සේවේ කරන්න. මුලින්ම ඔහු මට තාත්තාගේ ආදර්ශෙන් උදව් කළා. පස්සේ යෞවන සහෝදරියකගේ ආදර්ශෙන් උදව් කළා. අන්තිමේදී මගේ මහත්තයාගේ ආදරණීය වචනවලින් ඔහු මට උදව් කළා. මං ආපු ගමන ගැන මං ඔයාලට කියන්නම්කෝ.
මං ඉපදුණේ 1951 ඔස්ට්‍රියාවේ වියානාවල. අපේ පවුලේ අය කතෝලික. මං කලින් කිව්වා වගේ පොඩි කාලේ ඉඳන්ම මං හරි ලැජ්ජයි. හැබැයි මං දෙවියන්ව විශ්වාස කළා. නිතරම යාච්ඤා කළා. මට අවුරුදු නමයක් වෙද්දී අපේ තාත්තා සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. ටික කාලෙකින් අපේ අම්මාත් පාඩමට එකතු වුණා.
මගේ නංගි එලිසබෙත් (වමේ) එක්ක
වැඩි කල් යන්න කලින් අපි වියානාවල තිබ්බ ඩූබ්ලින් සභාවට ගියා. පවුලක් විදිහට අපි ගොඩක් දේවල් කළේ එකට. අපි එකට බයිබලේ කියවලා අධ්‍යයනය කළා. රැස්වීම් ගියා. සමුළුවල ස්වේච්ඡා සේවකයන් විදිහට වැඩ කළා. පොඩි කාලේ ඉඳන්ම තාත්තා මගේ හිතේ යෙහෝවා ගැන ලොකු ආදරයක් ඇති කළා. මායි, නංගියි පුරෝගාමි කරනවා දකින්න ආසයි කියලා තාත්තා නිතරම යාච්ඤා කළා. හැබැයි මට නං එහෙම ඉලක්කයක් තිබ්බේ නෑ.
පූර්ණකාලීන සේවේ පටන්ගත්තා
මං බව්තීස්ම වුණේ 1965දී. එතකොට මට 14යි. සේවේ ගිහින් නන්නාඳුනන අයට කතා කරන එක මට අමාරු වුණා. හැම තිස්සේම හිතුණේ මගේ වයසේ අනිත් අය මට වඩා හොඳට දේවල් කරනවා කියලා. එයාලා මාව යාළුවෙක් කරගන්නවා දකින්නයි මට ඕන වුණේ. ඉතිං බව්තීස්ම වෙලා වැඩි කල් යන්න කලින් මං සභාවෙන් පිට අයත් එක්ක ළඟින් ආශ්‍රය කරන්න ගත්තා. එයාලත් එක්ක ඉන්න ආස වුණත් වැඩි කාලයක් එයාලත් එක්කම හිටපු නිසා මගේ හිත වධ දුන්නා. ඒත් එයාලාගෙන් අයින් වෙන්න මට හයියක් තිබ්බේ නෑ.
ඩොරතිගෙන් (වමේ) මං හුඟක් දේවල් ඉගෙනගත්තා
ඔය කාලේදීම අපේ සභාවට ඩොරති කියලා අවුරුදු 16ක ගෑනු ළමයෙක් ආවා. සේවෙට එයාට තිබුණ උද්‍යෝගය දැකලා මට පුදුම හිතුණා. මං එයාට වඩා ටිකක් වැඩිමල් වෙලත් මං සේවේ ගියේ හරිම අඩුවෙන්. ඉතිං මං මෙහෙම හිතුවා. ‘මගේ අම්මලත් සත්‍යයේ. හැබැයි ඩොරතිගේ පවුලේ කවුරුත් සත්‍යයේ නෑ. අනික එයාගේ අම්මා ඉන්නෙත් අසනීපෙන්. ඒ වුණත් එයා හැමදාම සේවේ යනවා.’ ඩොරතිගේ ආදර්ශේ නිසා මාත් හිතන්න පෙලඹුණා යෙහෝවා වෙනුවෙන් තව වැඩි දෙයක් කරන්න ඕනෙ කියලා. ටික කාලෙකින් ඩොරතියි, මායි එකට පුරෝගාමි කරන්න පටන්ගත්තා. අපි මුලින්ම සහායක පුරෝගාමි කළා. පස්සේ ස්ථාවර පටන්ගත්තා. ඩොරතිගේ උද්‍යෝගය මටත් බෝ වුණා. මගේ මුල්ම බයිබල් පාඩම පටන්ගන්න එයා මට උදව් කළා. ඔහොම කාලයක් යද්දී හම්බ වෙන ඕනම කෙනෙක්ට ඕනම තැනකදී දේශනා කරන එක මට ටිකක් ලේසි වුණා.
මං පුරෝගාමි පටන්ගත්ත අවුරුද්දේ හයින්ස් කියලා සහෝදරයෙක් අපේ සභාවට ආවා. එයා එයාගේ අයියාව බලන්න කැනඩාවට ගියාම තමයි එයාට සත්‍යය ලැබුණේ. එයාගේ අයියා සාක්ෂිකාරයෙක්. හයින්ස්ව අපේ සභාවට විශේෂ පුරෝගාමියෙක් විදිහට දාලා තිබුණා. මුල ඉඳන්ම මගේ හිතේ එයා ගැන කැමැත්තක් තිබුණා. හැබැයි එයාට ඕන වුණේ මිෂනාරි සේවේ කරන්න. මට නං මිෂනාරි සේවෙට කැමැත්තක් තිබ්බේ නෑ. ඉතිං මුලදී මං එයාට කැමතියි කියලා පෙන්නුවේ නෑ. හැබැයි පස්සේ අපි යාළු වුණා. අපි බැඳලා දිගටම පුරෝගාමි කළා.
මිෂනාරි සේවෙට ඉලක්කයක්!
මිෂනාරි සේවේ කරන්න හයින්ස්ට තිබුණ කැමැත්ත ගැන එයා නිතරම කිව්වා. හැබැයි එයා කවදාවත් මට බල කළේ නෑ. ඒ ගැන හිතලා බලන්න උදව් වෙන ප්‍රශ්න එයා මගෙන් ඇහුවා. එයා කිව්වා “ළමයිනුත් නැති එකේ අපිට බැරිද තව වැඩියෙන් යෙහෝවා වෙනුවෙන් දෙයක් කරන්න” කියලා. මං ගොඩක් ලැජ්ජ කෙනෙක් නිසා මිෂනාරි සේවේ කරන්න මගේ හිතේ ලොකු බයක් තිබුණා. මං පුරෝගාමි කරකර හිටියත් මට හිතුණෙම මිෂනාරි සේවේ මට කරන්න බැරි දෙයක් කියලා. ඒත් ඒ ඉලක්කෙට යන්න හයින්ස් මට උදව් කළා. මං ගැන හිතන්නේ නැතුව අනිත් අය ගැන හිතන්න එයා මට උදව් කළා.
1974 යුගොස්ලාවියානු භාෂාව කතා කරන පුංචි සභාවක හයින්ස් ‘මුරටැඹ’ මෙහෙයවනවා
ටික ටික මගේ හිතෙත් මිෂනාරි සේවෙට ආසාවක් ඇති වුණා. ඉතිං අපි ගිලියද් පාසැලට අයදුම් කළා. ශාඛා කාර්යාලයේ සම්බන්ධීකාරක මට කිව්වා තව ටිකක් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙනගන්න කියලා. ඉතිං මං ඒක කළා. අවුරුදු තුනකට පස්සේ අපිට ඔස්ට්‍රියාවේ යුගෝස්ලාවියානු භාෂාව කතා කරපු සභාවකට පැවරුමක් ලැබුණා. පස්සේ අපි අවුරුදු හතක්ම සර්බෝ-ක්‍රොඒෂියානු භාෂාව කතා කරන අයට දේශනා කළා. අවුරුද්දක් චාරිකා සේවෙත් කළා. සර්බෝ-ක්‍රොඒෂියානු භාෂාව ලේසි නැති වුණත් අපිට ගොඩක් බයිබල් පාඩම් තිබ්බා.
1979දී ශාඛා කාර්යාලයෙන් අපිට කිව්වා නිවාඩුවකට බල්ගේරියාවට යන්න කියලා. එහේ දේශනා සේවේ තහනම්. සොෆියාවල හිටපු සහෝදරියන් පස්දෙනෙක්ට දෙන්න පොඩියට හදපු ප්‍රකාශන අපි හොරෙන් එහෙට අරං ගියා. මං බයේ ගැහිගැහී හිටියත් ඒ පැවරුම හොඳට කරන්න යෙහෝවා මට උදව් කළා. අහු වුණොත් හිරේ යන්න වෙනවා කියලා දැනදැනත් ඒ සහෝදරියන් නිර්භීතව, හරිම සතුටින් සේවේ කළා. ඒක දැක්කාම යෙහෝවාගේ සංවිධානෙන් දෙන ඕනම පැවරුමක් කරන්න මගේ හිතටත් හයියක් ආවා.
ටික කාලෙකට පස්සේ අපි ආයෙත් ගිලියද් පාසැලට අයදුම් කළා. මේ පාර නං අපිට පාසැල හම්බ වුණා. අපි හිතුවේ ඇමරිකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණ පාසැලට යන්න වෙයි කියලා. හැබැයි 1981 නොවැම්බර්වල ගිලියද් පන්ති ජර්මනියෙත් තියන්න පටන්ගත්තා. ඒක හොඳයි, මොකද මට ඉංග්‍රීසිවලට වඩා ජර්මන් තේරුම්ගන්න ලේසියි.
යුද ගිනි මැද සේවේ
අපිට පැවරුම ලැබුණේ කෙන්යාවට. හැබැයි එහේ ශාඛා කාර්යාලය අපෙන් ඇහුවා අල්ලපු රට වුණ උගන්ඩාවේ සේවේ කරන්න කැමතිද කියලා. ඊට අවුරුදු 10කට විතර කලින් එහේ හමුදාපතියෙක් වුණ ඉඩි අමීන් ආණ්ඩු බලය අල්ලගෙන තිබුණා. එයා පාලනය කරද්දී දහස් ගාණක්ව මැරුවා. මිලියන ගාණක් මිනිස්සු දුක් වින්දා. 1979දී ඒ ආණ්ඩුව ආයෙත් පෙරළුණා. ඒ වගේ රටකට යන්න මං බය වුණේ ඇයි කියලා ඔයාලට තේරෙනවා ඇතිනේ. හැබැයි ගිලියද් පාසැලෙන් අපිව පුහුණු කළා යෙහෝවා ගැන විශ්වාසේ තියලා වැඩ කරන්න. ඉතිං අපි ඒ පැවරුමට ගියා.
උගන්ඩාවේ ජීවිතේ ලේසි වුණේ නෑ. ආණ්ඩුවට වතුර, විදුලිය වගේ අත්‍යවශ්‍ය දේවල්වත් දෙන්න බැරි වුණා. රෑට වෙඩි සද්ද ඇහෙන එක, හොරකම් වෙන එක සාමාන්‍යයි. ඒ නිසා රෑ බෝ වුණාම කවුරුත් ගෙයින් එළියට අඩියක් තියන්නේ නෑ. එයාලා යාච්ඤා කරකර ඉල්ලනවා නන්නාඳුනන කෙනෙක් නං ගෙදරට එන්න එපා කියලා. ඔය අභියෝග මැදත් සහෝදරයෝ දිගටම යෙහෝවාට සතුටින් සේවේ කළා.
සෑම්ගෙයි, ක්‍රිස්ටිනාගෙයි ගෙදර කෑමක් හදනවා
1982දී අපි කම්පාලාවලට ආවා. ඒක උගන්ඩාවේ අගනුවර. මුල් මාස පහේ අපි හිටියේ සෑම් සහ ක්‍රිස්ටිනා යුවළ එක්ක. එයාලට ළමයි පස්දෙනෙක් හිටියා. තව නෑදෑයෝ හතරදෙනෙකුත් එහේ හිටියා. එයාලා කෑවේ එක වේලයි. එයාලා එයාලට තිබ්බ දේ අපිත් එක්ක සතුටින් බෙදාගත්තා. ඔය කාලේ අපි මිෂනාරි ජීවිතේට උදව් වෙන හුඟක් පාඩම් එයාලාගෙන් ඉගෙනගත්තා. අපි වතුර ලීටර් කීපයක් විතරක් පාවිච්චි කරලා නාන්න පුරුදු වුණා. පස්සේ ඒ වතුර ටිකම ටොයිලට් එකට ගහන්නත් පාවිච්චි කළා. 1983දී කම්පාලාවල ටිකක් ආරක්ෂාව තියෙන පැත්තක අපිට ගෙයක් ලැබුණා.
එහේ සේවේ නියමයි. එකපාරක් අපි මාසෙකට සඟරා 4,000ක් විතර දුන්නා. අපිට වැඩියෙන්ම ආස එහේ මිනිස්සුන්ට. එයාලා දෙවියන්ට ගොඩක් ගෞරව කළා. බයිබලේ ගැන කතා කරන්නත් එයාලා හරි කැමතියි. හයින්සුයි, මායි වෙන වෙනම බයිබල් පාඩම් 10ක් 15ක් විතර කළා. අපි බයිබල් පාඩම්වලිනුත් ගොඩක් දේවල් ඉගෙනගත්තා. එයාලා හැම සතියෙම රැස්වීම්වලට ගොඩක් දුර පයින් ඇවිදන් ආවත් කවදාවත් ඒ ගැන කියලා නාහෙන් ඇඬුවේ නෑ. හැම තිස්සේම හිටියේ හිනා වෙලා.
1985, 1986 කාලේ උගන්ඩාවේ තව යුද්ද දෙකක් ඇති වුණා. අපි දැක්කා පොඩි දරුවෝ එයාලටත් වඩා ලොකු ආයුධ උස්සගෙන ඉන්න විදිහ. එයාලා තමයි ඒ මුරපොළවල් ළඟින් එහා මෙහා යන්න පුළුවන් කාටද කියලා තීරණේ කරන්නේ. ඔය කාලේ පුරාවටම අපි යෙහෝවාට යාච්ඤා කරලා කිව්වා අපිට ඕන කරන ප්‍රඥාව දෙන්න කියලා. බය නැතුව උනන්දුවක් දක්වන අය හොයන්න උදව් දෙන්න කියලත් අපි ඉල්ලුවා. යෙහෝවා අපේ යාච්ඤාවට උත්තර දුන්නා. අපේ පණිවිඩේට කැමති කෙනෙක්ව හම්බ වෙද්දී අපේ බය කොහෙන් ගියාද කියලා නෑ.
මායි, හයින්සුයි ටට්යානා (මැද) එක්ක
වෙන රටවලින් ආපු අයට සාක්ෂි දරලත් අපි ලොකු සතුටක් ලැබුවා. සැරයක් රුසියාවේ ටාටාස්ටාන්වලින් ආපු මුරාට් සහ ඩිල්බා කියලා යුවළක් අපිට හම්බ වුණා. මුරාට් දොස්තර කෙනෙක්. ඒ දෙන්නාම සත්‍යයට ඇවිත් අද වෙන කල්ම හොඳට සේවේ කරනවා. ඊටපස්සේ මට හම්බ වුණා යුක්රේනයෙන් ආපු ටට්යානා විලෙස්කාව. එයාව මට හම්බ වෙද්දී එයා ජීවිතේ නැති කරගන්න එක ගැන හිතහිත ඉඳලා තිබ්බේ. පස්සේ එයා බව්තීස්ම වෙලා ආයෙත් යුක්රේනයට ගියා. පස්සේ එයා අපේ ප්‍රකාශන පරිවර්තනය කරන්නත් හවුල් වුණා.a
අලුත් පැවරුමක්
1991දී අපි ඔස්ට්‍රියාවේ නිවාඩුවකට ගිය වෙලාවක ඔස්ට්‍රියාවේ ශාඛා කාර්යාලයෙන් අපිට කිව්වා ඔයාලට බල්ගේරියාවට අලුත් පැවරුමක් ලැබිලා තියෙනවා කියලා. අවුරුදු ගාණක්ම යුරෝපයේ සමහර රටවල්වල දේශනා සේවේ තහනම් කරලයි තිබ්බේ. පස්සේ ඒ තහනම අයින් කළා. බල්ගේරියාව කියන්නෙත් ඒ වගේ එක රටක්. මං කලින් කිව්වා වගේ අපේ වැඩ තහනම් කරලා තිබුණ කාලේ හයින්සුයි, මායි එහෙට ප්‍රකාශන ගෙනිච්චේ හොරෙන්. හැබැයි මේ සැරේ අපිව එහෙට යැව්වේ දේශනා කරන්න.
අපිට ආයේ උගන්ඩාවට යන්න එපා කිව්වා. ඒ නිසා මිෂනාරි නිවසේ තිබුණ අපේ බඩු ගන්නෙවත් එහේ හිටපු යාළුවන්ට සමු දෙන්නෙවත් නැතුව අපි කෙළින්ම ජර්මනියේ බෙතෙල් එකට ආවා. ඊටපස්සේ අපි බල්ගේරියාවට ගියා. සොෆියාවල ප්‍රචාරකයන් 20ක් විතර හිටපු පොඩි කණ්ඩායමක තමයි අපිට සේවේ කරන්න හම්බ වුණේ.
බල්ගේරියාවේදී අපිට එක එක විදිහේ ප්‍රශ්නවලට මූණ දෙන්න වුණා. අපි එහේ භාෂාව දන්නේ නෑ. අනික, බල්ගේරියානු භාෂාවෙන් තිබ්බේ ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය’ කියන පොතයි, ‘මගේ බයිබල් කතන්දර පොතයි’ විතරයි. මෙහේ බයිබල් පාඩම් පටන්ගන්න එකත් ලේසි වුණේ නෑ. ඔය මොන දේ තිබුණත් අපේ පොඩි කණ්ඩායමේ හිටපු අය හරිම උද්‍යෝගයෙන් දේශනා කළා. ඕක ඕතඩොක්ස් පල්ලියේ අයට තේරුණාම තමයි හරිම ප්‍රශ්න පටන්ගන්න ගත්තේ.
1994දී බල්ගේරියාවේ රජයෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව පිළිගත්ත ආගමක් විදිහට සලකන්නේ නෑ කියලා කිව්වා. එහේ මිනිස්සුත් සාක්ෂිකරුවන්ව දැක්කේ භයානක කල්ලියක් විදිහට. ඒ නිසා සමහර සහෝදරයන්ව හිරේ දැම්මා. මාධ්‍යයෙනුත් අපි ගැන බොරු කටකතා පැතිරුවා. එයාලා කිව්වා අපි ළමයින්ව මරාගන්නවා, අනිත් සාක්ෂිකරුවන්ව සියදිවි හානි කරගන්න පොලඹවනවා කියලා. හයින්ස්ටයි, මටයි සේවේ කරන එක ටිකක් අමාරු වුණා. සේවේ ගියාම මිනිස්සු අපිට කෑගැහුවා, පොලිසියට කෝල් කළා, බඩුවලින් අපිට දමලා ගැහුවා. රට ඇතුළට අපේ ප්‍රකාශන ගේන එකත් ලේසි වුණේ නෑ. රැස්වීම් තියන්න තැන් කුලියට ගන්න එකත් අමාරු වුණා. සැරයක් අපේ සමුළුවක් මැද්දට පොලිසියෙන් පැනලා සමුළුවම කඩාකප්පල් කළා. මිනිස්සු අපිට සලකන විදිහ ගැන අපිට පුදුම හිතුණා. මොකද අපි කලින් හිටපු උගන්ඩාවේ මිනිස්සු හරිම මිත්‍රශීලියි. සත්‍යයටත් කැමතියි. ඒත් මේවාත් එක්ක ඔට්ටු වෙන්න අපිට උදව් වුණ දේ දන්නවාද?
ඒ, සහෝදර සහෝදරියන්ට ළං වෙලා හිටපු එක. සත්‍යය ලැබුණ එක ගැන, අපි එයාලාගේ උදව්වට එයාලත් එක්ක හිටපු එක ගැන එයාලාගේ හිතේ ලොකු අගයක් තිබුණා. අපි හැමෝම හිටියේ එකට. අපි එකිනෙකාට උදව් කරගත්තා. අපිට මොන විදිහේ පැවරුමක් ලැබුණත් අපි මිනිස්සුන්ට ආදරේ කරනවා නං අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා මේ අද්දැකපු දේවල්වලින් අපි ඉගෙනගත්තා.
2007 බල්ගේරියාවේ ශාඛා කාර්යාලයේදී
කාලයත් එක්ක තත්වේ හොඳ අතට හැරුණා. 1998 සාක්ෂිකරුවන්ව ආයෙත් ආගමක් විදිහට පිළිගත්තා. ගොඩක් ප්‍රකාශනත් බල්ගේරියානු භාෂාවට පරිවර්තනය කළා. 2004දී ශාඛා කාර්යාලය කැප කළා. අද වෙද්දී බල්ගේරියාවේ සභා 57ක ප්‍රචාරකයන් 2,953ක් ඉන්නවා. 2024 සේවා වසරේදී සිහි කිරීමට 6,475ක් ආවා. ඔයාලට මතක ඇති අපි සොෆියාවලට එද්දී එහේ හිටියේ සහෝදරියන් පස්දෙනෙක් විතරයි. හැබැයි දැන් එහේ සභා නමයක් තියෙනවා. “කුඩා තැනැත්තා දහසක් වෙයි” කියන දේ අපි දෙන්නා අපේ ඇස් දෙකෙන්ම දැක්කා.—යෙසා. 60:22.
වෙනස්ම විදිහේ අභියෝගයක්!
මට ගොඩක් අසනීප තිබුණා. සැරයක් දොස්තරලා හොයාගත්තා මගේ මොළේ ගෙඩියක් තියෙනවා කියලා. ඒකට මට කිරණ චිකිත්සාවත් කළා. පස්සේ ඉන්දියාවේදී මට පැය 12ක ඔපරේෂන් එකක් කළා. ඒකෙදී ඒ ගෙඩියෙන් වැඩි හරියක් අයින් කරගන්න පුළුවන් වුණා. ඔපරේෂන් එකෙන් පස්සේ මට ටිකක් හොඳ වෙන කල් මං ඉන්දියාවේ ශාඛා කාර්යාලයේ නැවතිලා හිටියා. මට හොඳ වුණාම අපි ආයේ අපේ පැවරුමට බල්ගේරියාවට ආවා.
කාලයක් ගියාම හයින්ස්ටත් හරිම කලාතුරකින් හැදෙන හන්ටිංටන් කියන ලෙඩේ හැදුණා. ඒ නිසා එයාට කතා කරන්න, ඇවිදින්න, අතපය හොල්ලන්න අමාරු වුණා. ඒ ලෙඩේ ටික ටික වැඩි වෙන්න ගත්තාම මට තමයි එයාගේ හැම දේම කරන්න වුණේ. සමහර වෙලාවට මට ලොකු මහන්සියක් දැනුණා. මට හිතුණා තනියම මං කොහොමද හැම දේම කරගන්නේ කියලා. හැබැයි බොබී කියලා තරුණ සහෝදරයෙක් හයින්ස්ව නිතරම වගේ සේවේ එක්කන් ගියා. හයින්ස්ට කතා කරගන්න, අත පය හොලවගන්න අමාරු නිසා මිනිස්සු මොනවා හිතයිද කියලා හිතලා බොබී වධ වුණේ නෑ. මට හයින්ස්ගේ වැඩ කරගන්න අමාරු වුණ හැම වෙලාවකම මගේ උදව්වට බොබී හිටියා. අපි දෙන්නාට ළමයි නැති වුණාට යෙහෝවා අපිට අපේම ළමයෙක් විදිහට බොබීව දුන්නා කියලයි අපිට දැනුණේ.—මාක් 10:29, 30.
පස්සේ හයින්ස්ට පිළිකාවකුත් හැදුණා. හිතපු නැති විදිහට 2015දී මගේ මහත්තයා නැති වුණා. එයා නැතුව මං අසරණ වුණා වගේ දැනුණා. එයා නෑ කියන දේ පිළිගන්න මට සෑහෙන්න අමාරු වුණා. ඒත් අදටත් එයා මගේ මතකයේ ජීවත් වෙනවා. (ලූක් 20:38) එයා මට ආදරෙන් කියපු වචන, මට දුන්න උපදෙස් ගැන මං නිතරම කල්පනා කරනවා. අවුරුදු ගාණක් පුරා එයාත් එක්ක එකතු වෙලා සේවේ කරපු ඒ මතකයන් කවදාවත් මගේ හිතෙන් මැකෙන්නේ නෑ.
යෙහෝවාගේ උදව්වට ස්තුතියි!
ජීවිතේ හැම අභියෝගයක් මැදින්ම යෙහෝවා මාව පරෙස්සමින් ගෙනිච්චා. මං ගොඩක් ලැජ්ජාශීලී කෙනෙක් වුණත් මිනිස්සුන්ට ආදරේ කරන මිෂනාරිවරියක් වෙන්න යෙහෝවා මට උදව් කළා. (2 තිමෝ. 1:7) දැන් මායි, නංගියි දෙන්නාම පූර්ණකාලීන සේවේ කරනවා. නංගියි, නංගිගේ මහත්තයායි යුරෝපයේ සර්බියානු භාෂාව කතා කරන සභාවල චාරිකා සේවේ කරනවා. මීට අවුරුදු ගාණකට කලින් තාත්තා කරපු යාච්ඤාවට අන්තිමේදී උත්තර ලැබුණා.
බයිබලේ අධ්‍යයනය කරන හැම වෙලාවකම මගේ හිතට ලොකු සහනයක් දැනෙනවා. දරාගන්න අමාරු වෙලාවල් එද්දී යේසුස් කළා වගේ මං “තව තවත් ඕනෑකමින් යාච්ඤා කරනවා.” (ලූක් 22:44) සොෆියාවල මගේ සභාවේ ඉන්න සහෝදර සහෝදරියන් මට ආදරෙයි. එයාලා මට කරුණාවෙන් සලකනවා. ඒක යෙහෝවා මගේ යාච්ඤාවලට උත්තර දෙන විදිහක් කියලා මට දැනෙනවා. එයාලා එකතු වෙන වෙලාවලට මටත් අඬගහනවා. එයාලා නිතරම වගේ මට ආදරෙයි කියලා කියනවා. ඇත්තටම එයාලත් එක්ක ඉද්දී මට දැනෙන්නේ පුදුම සතුටක්.
මං නිතරම වගේ නැවත නැඟිටීම ගැන කල්පනා කරනවා. අපේ අම්මායි, තාත්තායි අපේ ගේ ඉස්සරහා හිටං ඉන්න විදිහ මං හිතින් මවාගන්නවා. එයාලා බැන්ද දවසේ හිටියා වගේම ලස්සනයි. නංගි අපි හැමෝටම කෑමක් හදනවා. හයින්ස් එයාගේ අස්සයාත් එක්ක ඉන්නවා. ඒ වගේ දේවල් හිතින් මවාගන්න එක මට උදව් වෙලා තියෙනවා හිතේ තියෙන දුක, කනස්සල්ල අයින් කරලා යෙහෝවා ගැන තියෙන අගයෙන් මගේ හිත පුරෝගන්න.
මගේ ජීවිතේ ගැන, අනාගතේ ගැන කල්පනා කරද්දී ගීතාවලිය 27:13, 14 දාවිත්ට දැනුණ දේමයි මටත් දැනෙන්නේ. එතන මෙහෙම කියනවා. “යෙහෝවාගේ යහපත්කම දකින්න ලැබෙනවා කියන විශ්වාසය මට තිබ්බේ නැත්නම් අද මට මොනවා වෙලා තියෙයිද? යෙහෝවා ගැන බලාපොරොත්තු තියාගන්න. හිත ශක්තිමත් කරගන්න. ධෛර්යවත්ව ඉන්න. යෙහෝවා ගැන තියෙන බලාපොරොත්තුව කවදාවත් අත්හරින්න එපා.”
a ටට්යානා විලෙස්කාගේ ජීවිත කතාව ගැන දැනගන්න 2001 ජනවාරි 8 ‘පිබිදෙව්!’ සඟරාවේ 22-26 පිටු බලන්න.