පාඩම් ලිපිය 42
ගීතිකාව 44 අසරණයෙකුගේ අයැදීම
මුළු හදවතින්ම යාච්ඤා කරන්න ඉගෙනගන්න
“ යෙහෝවා දෙවියනි, මුළු හිතින්ම මම ඔබට කන්නලව් කරනවා. මට උත්තර දෙන්න.”—ගීතා. 119:145.
ලිපියේ අරමුණ
බයිබලේ තියෙන යාච්ඤා ගැන හොඳට හිතද්දී අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.
1-2. (අ) අපිට හැඟෙන හැම දේම යෙහෝවාට කියන්නේ නැතුව ඉන්න අපි පෙලඹෙන්න පුළුවන් ඇයි? (ආ) යෙහෝවා අපේ යාච්ඤා අහන්න කැමතියි කියලා අපි දන්නේ කොහොමද?
සමහර වෙලාවට ඔයාට හිතිලා තියෙනවාද ඔයා යාච්ඤා කරද්දී කියන්නේ එකම දේවල් කියලා? නැත්නම් හිතේ තියෙන හැම දේම ඔයා යෙහෝවාට කියන්නේ නැහැ කියලා? අපි ඕනම කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. දවසක් ඇතුළත අපිට කරන්න වැඩ කන්දරාවක් තියෙන නිසා සමහර වෙලාවට අපි ඉක්මනින් යාච්ඤාවක් කරලා ඉවර කරනවා ඇති. යෙහෝවාගේ යාළුවෙක් වෙන්න තරම් මං වටින්නේ නැහැ කියලා හිතෙන නිසා හිතේ තියෙන හැම දේම යාච්ඤාවෙන් කියන්න අපිට අමාරු ඇති.
2 ලස්සන ලස්සන වචන දාලා, ලස්සනට ගළපලා කරන යාච්ඤාවලට වඩා යෙහෝවාට වටින්නේ මුළු හදවතින්ම කරන යාච්ඤා කියලා බයිබලේ කියනවා. ඔහු අහන්නේ “නිහතමානී අයගේ කන්නලව්.” (ගීතා. 10:17) අපි කියන හැම වචනෙකටම ඔහු ඇහුම්කන් දෙනවා. ඔහු එච්චරටම අපිට ආදරෙයි.—ගීතා. 139:1-3.
3. අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්නවලට උත්තරද?
3 අපේ හිතට මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. කිසිම බයක් නැතුව යෙහෝවාට යාච්ඤා කරන්න පුළුවන් ඇයි? ඔහුට තව ළං වෙන විදිහට යාච්ඤා කරන්නේ කොහොමද? බයිබලේ තියෙන යාච්ඤා ගැන හොඳට හිතන එක අපේ යාච්ඤා තව අර්ථවත් කරගන්න උදව් වෙන්නේ කොහොමද? හිතේ තියෙන දේ වචනවලට පෙරළගන්න බැරි තරම් පීඩනයකින් ඉද්දී මොනවාද කරන්න පුළුවන්? අපි දැන් ඒ ප්‍රශ්නවලට උත්තර බලමු.
බය නැතුව යෙහෝවාට යාච්ඤා කරන්න
4. බය නැතුව යෙහෝවාට යාච්ඤා කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (ගීතාවලිය 119:145)
4 යෙහෝවා අපේ යහපත ගැනම හිතන, විශ්වාසවන්ත යාළුවෙක් කියලා තේරුම්ගද්දී බය නැතුව ඔහුට යාච්ඤා කරන්න අපි පෙලඹෙනවා. 119වෙනි ගීතිකාවේ රචකයාට යෙහෝවා එක්ක තිබුණේ ඒ වගේ බැඳීමක්. එයාටත් ගොඩක් ප්‍රශ්න තිබුණා. සමහරු එයා ගැන නරක දේවල් කිව්වා. (ගීතා. 119:23, 69, 78) එයාගෙම දුර්වලකම් එක්කත් එයා සටනක් කළා. (ගීතා. 119:5) ඒත් හිතේ තියෙන හැම දේම යෙහෝවාට කියන්න එයා බය වුණේ නැහැ.—ගීතාවලිය 119:145 කියවන්න.
5. අපිව වට්ටන සිතුවිලි නිසා අපි යාච්ඤා කරන එක නවත්තන්න හොඳ නැත්තේ ඇයි? උදාහරණෙකින් පැහැදිලි කරන්න.
5 බරපතළ වරදක් කරපු කෙනෙක්ගෙන් වුණත් යෙහෝවා ඉල්ලන්නේ ඔහුට යාච්ඤා කරන්න කියලයි. (යෙසා. 55:6, 7) ඒ නිසා අපිව වට්ටන සිතුවිලිවලට අපි ඉඩ දෙන්න හොඳ නැහැ යෙහෝවාට යාච්ඤා කරන එකෙන් අපිව වළක්වන්න. ගුවන් නියමුවෙක් දන්නවා උදව් ඕන වෙලාවට පාලක මැදිරියට කතා කරලා උදව් ගන්න පුළුවන් කියලා. අතරමං වුණොත් නැත්නම් එයා අතින් වරදක් වුණොත් ලැජ්ජාව නිසා පාලක මැදිරියට කතා නොකර හිටියොත් හරි යයිද? නැහැ නේද? සමහරවිට අපිටත් හිතෙයි අපි මංමුලා වෙලා කියලා. නැත්නම් අපි අතින් වරදක් වෙලා ඇති. එහෙම වෙලාවලදීත් බය නැතුව යෙහෝවාට යාච්ඤා කරන එක තමයි හොඳම දේ.—ගීතා. 119:25, 176.
යෙහෝවාට තව ළං වෙන විදිහට යාච්ඤා කරන්නේ කොහොමද?
6-7. යෙහෝවාගේ ගතිලක්ෂණ ගැන හිතද්දී අපේ යාච්ඤා තව අර්ථවත් වෙන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න. (පාදසටහනත් බලන්න.)
6 අපේ හිතේ තියෙන හැම දේම යෙහෝවාට කියද්දී අපේ යාච්ඤා තව අර්ථවත් වෙනවා. එහෙම යාච්ඤා කරන්න උදව් වෙන්නේ මොනවාද?
7 යෙහෝවාගේ ගතිලක්ෂණ ගැන හොඳට හිතන්න.a යෙහෝවාගේ ලස්සන ගතිලක්ෂණ ගැන හිතද්දී අපේ හිතේ තියෙන හැම දේම නිදහසේ ඔහුට කියන්න අපි පෙලඹෙනවා. (ගීතා. 145:8, 9, 18) ක්‍රිස්ටීන්ගේ අද්දැකීම බලන්න. එයාගේ තාත්තා හුඟක් නපුරු කෙනෙක්. ක්‍රිස්ටීන් මෙහෙම කියනවා. “යෙහෝවාව තාත්තා කෙනෙක් විදිහට දකින එක, ඔහුට නිදහසේ කතා කරන එක මට ලේසි වුණේ නෑ. මගේ දුර්වලකම් නිසා යෙහෝවා මාව අත්හැරලා දායි කියලයි මට හිතුණේ.” ඒ හැඟීම් පරද්දන්න එයාට උදව් වුණේ මොකක්ද? එයා මෙහෙම කියනවා. “යෙහෝවාගේ නොසැලෙන ආදරේ ගැන මං හුඟක් හිතුවා. ඒක මට උදව් වුණා ඔහු මට ගොඩක් ආදරෙයි කියලා තේරුම්ගන්න. මං දන්නවා යෙහෝවා කවදාවත් මගේ අත අත්හරින්නේ නෑ කියලා. මං වැටුණත් ඔහු ආදරෙන් මාව උස්සලා ගන්නවා. ඒ නිසා දැන් මට පුළුවන් සතුටක් දැනෙන දේවල් ගැන වගේම දුකක් දැනෙන දේවල් ගැනත් ඔහුට නිදහසේ කියන්න.”
8-9. යාච්ඤා කරන්න කලින් කියන්න යන දේවල් ගැන හිතන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? පැහැදිලි කරන්න.
8 කියන්න යන දේවල් ගැන කලින්ම හිතන්න. යාච්ඤා කරන්න කලින් මෙහෙම හිතන්න. ‘මට මේ වෙලාවේ තියෙන්නේ මොන වගේ ප්‍රශ්නද? මං සමාව නොදී කාත් එක්ක හරි තරහෙන් ඉන්නවාද? යෙහෝවාගේ උදව් ඕන කරන අලුත් අභියෝගෙකට මං මූණ දෙනවාද?’ (2 රාජා. 19:15-19) යේසුස් උගන්නපු යාච්ඤාව මතක් කරගෙන යෙහෝවාගේ නම, ඔහුගේ රාජ්‍යය, ඔහුගේ කැමැත්ත ගැන යාච්ඤා කරන්න පුළුවන් මොනවාද කියලත් හිතන්න.—මතෙ. 6:9, 10.
9 සහෝදරි ඇලිස්කා දැනගත්තා එයාගේ මහත්තයාට මොළේ පිළිකාවක් තියෙන නිසා එයා තව වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඇලිස්කා මෙහෙම කියනවා. “කොච්චර පීඩනයක් දැනුණාද කියනවා නං යාච්ඤා කරලා කියන්නේ මොනවාද කියලවත් මට හිතාගන්න බැරි වුණා.” එයාට උදව් වුණේ මොනවාද? එයා මෙහෙම කියනවා. “මං යාච්ඤා කරන්න කලින් ටික වෙලාවක් අරං යාච්ඤාවෙන් කියන්න ඕනෙ මොනවාද කියලා හිතුවා. ඒක මට උදව් වුණා මං ගැන, මහත්තයාගේ අසනීපේ ගැන විතරක්ම යාච්ඤා කරන්නේ නැතුව ඉන්න. හිත සන්සුන් කරං වෙන දේවල් ගැනත් යාච්ඤාවේදී කියන්න ඒ නිසා මට පුළුවන් වුණා.”
10. අපි හොඳට වෙලාව අරන් යාච්ඤා කරන්න ඕනෙ ඇයි? (පින්තූරත් බලන්න.)
10 හොඳට වෙලාව ගන්න. කෙටියෙන් වුණත් අර්ථවත් යාච්ඤාවක් කරන්න පුළුවන්. ඒත් හොඳට වෙලාව අරන් යාච්ඤා කරද්දී අපිට හැඟෙන හැම දේම තව වැඩියෙන් යෙහෝවාට කියන්න අපි පෙලඹෙනවා.b ඇලිස්කාගේ මහත්තයා ඉලයිජා මෙහෙම කියනවා. “මං දවස පුරාම හුඟක් සැරයක් යාච්ඤා කරනවා. හැබැයි මං හොඳට වෙලාව අරං වැඩිපුර යෙහෝවා එක්ක කතා කරද්දී තමයි මට දැනෙන්නේ මං තවත් ඔහුට කිට්ටු වෙනවා කියලා. මගේ යාච්ඤාව කොයි වෙලේ ඉවර වෙයිද කියලා යෙහෝවා බලං ඉන්නේ නෑ. ඒ නිසා හොඳට කාලේ අරං ඔහුත් එක්ක කතා කරන්න මට පුළුවන්.” වෙලාව අරන්, නිදහසේ, බාධාවක් නැතුව, ශබ්ද නඟලා වුණත් යාච්ඤා කරන්න පුළුවන් තැනක්, වෙලාවක් හොයාගන්න. වෙලාව අරන් යාච්ඤා කරන එක පුරුද්දක් කරගන්න.
හොඳට වෙලාව අරන් යාච්ඤා කරන්න පුළුවන් තැනක්, වෙලාවක් හොයාගන්න (10 ඡේදය බලන්න)
බයිබලේ තියෙන යාච්ඤා ගැන හිතන්න
11. බයිබලේ තියෙන යාච්ඤා ගැන හිතන එක අපිට උදව් වෙන්නේ කොහොමද? (“ඔයාට හැඟෙන්නෙත් එහෙමද?” කියන කොටුවත් බලන්න.)
11 බයිබලේ තියෙන යාච්ඤා, ගීතිකා ගැන හොඳට හිතන එකත් ඔයාට උදව් වෙයි. දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් එයාලට හැඟුණ, දැනුණ විදිහ යෙහෝවාට නිදහසේ කිව්වා. එයාලා ඒ හැඟීම් වචනවලට පෙරළපු විදිහ ගැන හොඳට හිතන එක ඔයාගේ හැඟීම් නිදහසේ යෙහෝවාට කියන්න ඔයාට උදව් වෙයි. යෙහෝවාට ප්‍රශංසා කරන්න පාවිච්චි කරන්න පුළුවන් අලුත් වචන, යෙදුම් එයාලාගේ යාච්ඤාවලින් හොයාගන්නත් ඔයාට පුළුවන්. සමහර යාච්ඤා කියවද්දී ඔයාට තේරෙයි එයාලට හැඟිලා තියෙන්නෙත් ඔයාට හැඟෙන විදිහටමයි කියලා. එයාලා යෙහෝවාගෙන් ඉල්ලලා තියෙන්නෙත් ඔයාට ඔහුගෙන් ඉල්ලන්න ඕන දේවල්මයි කියලා.
12. බයිබලේ තියෙන යාච්ඤාවක් කියවද්දී අපිට අපෙන්ම අහගන්න පුළුවන් ප්‍රශ්න මොනවාද?
12 බයිබලේ තියෙන යාච්ඤාවක් කියවද්දී මෙහෙම හිතන්න. ‘මේ යාච්ඤාව කළේ කවුද? ඇයි එයා මෙහෙම යාච්ඤා කළේ? එයා මූණ දුන්නේ මොන වගේ ප්‍රශ්නවලටද? මට හැඟෙන්නෙත් එයාට හැඟුණ විදිහටමද? මේ යාච්ඤාවෙන් මට මොනවාද ඉගෙනගන්න පුළුවන්?’ ඒවාට උත්තර දැනගන්න ඔයාට ඒ යාච්ඤාව ගැන තව තොරතුරු හොයලා බලන්නත් වෙයි. හැබැයි ඒ මහන්සිය වටිනවා. දැන් අපි බලමු හතරදෙනෙක් කරපු යාච්ඤා ගැන.
13. හන්නාගේ යාච්ඤාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් එක දෙයක් මොකක්ද? (1 සාමුවෙල් 1:10, 11) (පින්තූරයත් බලන්න.)
13 1 සාමුවෙල් 1:10, 11 කියවන්න. හන්නා මේ යාච්ඤාව කරද්දී එයාට ලොකු ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් එයාට දරුවෙක් හිටියේ නැහැ. අනික එයාගේ මහත්තයාගේ දෙවෙනි බිරිඳ එයාට සැලකුවේ හරිම නපුරු විදිහට. (1 සාමු. 1:4-7) ඔයා ඉන්නෙත් ලොකු ප්‍රශ්නෙක නම් හන්නාගේ යාච්ඤාවෙන් ඔයාට මොනවාද ඉගෙනගන්න පුළුවන්? හන්නා වෙලාව අරන් එයාගේ හිතේ තිබුණ හැම දේම යෙහෝවාට කියපු නිසා එයාට ලොකු සහනයක් දැනුණා. (1 සාමු. 1:12, 18) අපේ ප්‍රශ්න ගැන, ඒවා අපිට බලපාන විදිහ ගැන යෙහෝවාට කියලා ‘අපේ හිතේ තියෙන හැම බරක්ම ඔහුට භාර දුන්නාම’ අපිටත් ලොකු සහනයක් අද්දකින්න පුළුවන්.—ගීතා. 55:22.
හන්නා දුකෙන් හිටපු වෙලාවේ එයාගේ හැම දුකක්ම එයා යෙහෝවාට කිව්වා (13 ඡේදය බලන්න)
14. (අ) හන්නාගෙන් අපිට තව මොනවාද ඉගෙනගන්න පුළුවන්? (ආ) බයිබලේ තියෙන දේවල් ගැන හොඳට හිතන එකෙන් අපේ යාච්ඤා තව අර්ථවත් කරගන්න පුළුවන් කොහොමද? (පාදසටහන බලන්න.)
14 සාමුවෙල්ව ලැබිලා අවුරුදු කීපයකට පස්සේ හන්නා උත්තම පූජක ඒලීට පුතාව භාර දුන්නා. (1 සාමු. 1:24-28) ඒ වෙලාවේ හන්නා යෙහෝවාට යාච්ඤාවක් කරලා එයාගේ හිතේ තියෙන අගය ගැන කිව්වා. මොකද එයා දැක්කා යෙහෝවා ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව බලාගන්න විදිහ.c (1 සාමු. 2:1, 8, 9) ඒ වෙද්දීත් එයාගේ ගෙදර ප්‍රශ්න තියෙන්න ඇති. හැබැයි හන්නා හිතුවේ ඒවා ගැන නෙවෙයි, යෙහෝවාගේ ආශීර්වාද ගැනයි. අපිත් මේ වෙන කල් යෙහෝවා අපිට උදව් කරලා තියෙන විදිහ ගැන හිතනවා නම් අමාරු ප්‍රශ්න දරාගන්න අපිට පුළුවන්.
15. අසාධාරණයකට මූණ දෙද්දී යෙරෙමියාගේ යාච්ඤාවෙන් අපිට මොනවාද ඉගෙනගන්න පුළුවන්? (යෙරෙමියා 12:1)
15 යෙරෙමියා 12:1 කියවන්න. දුෂ්ට මිනිස්සු කරදරයක් නැතුව සතුටින් ඉන්නවා දැක්කාම සැරයක් යෙරෙමියා හොඳටම අධෛර්යය වුණා. ඊශ්‍රායෙල් සෙනඟ එයාට නරක විදිහට සලකපු නිසාත් එයාට ලොකු වේදනාවක් දැනුණා. (යෙරෙ. 20:7, 8) යෙරෙමියාට හැඟුණ විදිහ අපිට තේරුම්ගන්න පුළුවන්. මොකද දුෂ්ට අය කරදරයක් නැතුව සැපපහසුවේ ඉන්නවා දකිද්දී, අනිත් අය අපිට නින්දා කරද්දී අපිත් කලකිරෙනවා. යෙරෙමියා එයාට හැඟුණ විදිහ ගැන යෙහෝවාට කිව්වත් එයා කවදාවත් යෙහෝවා අසාධාරණයි කියලා ඔහුට චෝදනා කළේ නැහැ. යෙහෝවා ඔහුගේ සෙනඟව හික්මවපු විදිහ දැක්කාමත් ඔහු යුක්තිය ඉටු කරන දෙවි කෙනෙක් කියලා යෙරෙමියාට තව ස්ථිර වෙන්න ඇති. (යෙරෙ. 32:19) අපිටත් පුළුවන් අපේ හිතට දැනෙන කලකිරීම, දුක ගැන බය නැතුව යෙහෝවාට කියන්න. ඒත් එක්කම අපි අද්දකින ඕනම අසාධාරණකමක් යෙහෝවා නියම වෙලාවට හරිගස්සයි කියන විශ්වාසෙත් අපි නැති කරගන්න හොඳ නැහැ.
16. ලෙවීවරයාගේ යාච්ඤාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ගීතාවලිය 42:1-4) (පින්තූරත් බලන්න.)
16 ගීතාවලිය 42:1-4 කියවන්න. මේ ගීතිකාව රචනා කළේ වහලෙක් විදිහට අරන් ගිය ලෙවීවරයෙක්. ඒ නිසා දෙවියන්ගේ සෙනඟ එක්ක දේවමාලිගාවට ගිහින් නමස්කාර කරන්න එයාට බැරි වුණා. එයාට දැනුණ ඒ දුක ගැනයි එයා මේ ගීතිකාවේ කියන්නේ. අපි ඉන්නෙත් ගෙදරටම කොටු වෙලා නම්, විශ්වාසේ නිසා අපිව හිරගත කරලා නම් අපිට හැඟෙනවා ඇත්තෙත් ඒ ලෙවීවරයාට හැඟුණ විදිහටමයි. එක වෙලාවක අපි ශක්තිමත් කියලා දැනෙයි. ඊළඟ මොහොතේ ලොකු දුකක්, කලකිරීමක් දැනෙයි. ඒ කොහොම දැනුණත් හැම දේම යෙහෝවාට කියන එකයි හොඳම දේ. ඒක අපිට හැඟෙන විදිහ ගැන තව හොඳට තේරුම්ගන්නත් අපි ඉන්න තත්වේ දිහා වෙනස් විදිහකට බලන්නත් අපිට උදව් වෙයි. උදාහරණෙකට ලෙවීවරයා තේරුම්ගත්තා යෙහෝවාට ප්‍රශංසා කරන්න තවත් හුඟක් විදි තියෙනවා කියලා. (ගීතා. 42:5) යෙහෝවා හැමදාම එයාව බලාගන්න විදිහ ගැනත් එයා හිතුවා. (ගීතා. 42:8) අපි තව වැඩියෙන් යාච්ඤා කරද්දී අපිට හැඟෙන විදිහ තව හොඳට තේරුම්ගන්න, මනස සන්සුන්ව තියාගන්න අපිට පුළුවන් වෙනවා. දේවල් දරාගන්නත් ශක්තිය ලැබෙනවා.
ලෙවීවරයා එයාගේ හිතේ තිබුණ හැම දේම යෙහෝවාට කිව්වා. අපිත් අපේ හිතේ තියෙන හැම දේම යෙහෝවාට කියද්දී අපි ඉන්න තත්වේ දිහා වෙනස් විදිහට බලන්න ඒක අපිට උදව් වෙනවා (16 ඡේදය බලන්න)
17. (අ) යෝනාගේ යාච්ඤාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (යෝනා 2:1, 2) (ආ) අමාරු දේවලට මූණ දෙද්දී ගීතාවලිය පොතේ තියෙන දේවල් මතක් කරගන්න එක උදව් වෙන්නේ කොහොමද? (පාදසටහන බලන්න.)
17 යෝනා 2:1, 2 කියවන්න. යෝනා මේ යාච්ඤාව කළේ මාළුවාගේ බඩේ ඉද්දී. ඒ වෙද්දී යෝනා යෙහෝවාට අකීකරු වෙලා හිටියත් එයාට ලොකු විශ්වාසයක් තිබුණා යෙහෝවා එයාට ඇහුම්කන් දෙනවා කියලා. ගීතාවලිය පොතේ තිබුණ හුඟක් දේවල් එයා එයාගේ යාච්ඤාවට ඇතුළත් කළා.d ඒකෙන් තේරෙනවා ඒ ගීතිකා ගැන යෝනාට හොඳ අවබෝධයක් තිබුණා කියලා. ඒ වචන ගැන හිතපු නිසා එයාට ලොකු විශ්වාසයක් ඇති වුණා යෙහෝවා එයාට උදව් කරයි කියලා. ඒ වගේ අපිත් සමහර බයිබල් පද මතකයේ තියාගන්නවා නම් අමාරු කාලවල අපි යෙහෝවාට යාච්ඤා කරද්දී අපිට ඒවා මතක් වෙයි. ඒවා අපිව සනසයි.
දිගටම යෙහෝවාට ළං වෙන්න
18-19. යාච්ඤා කරද්දී හිතේ තියෙන දේවල් වචනවලට පෙරළගන්න බැරි නම් රෝම 8:26, 27 අපිට සහනයක් වෙන්නේ කොහොමද? අද්දැකීමක් කියන්න.
18 රෝම 8:26, 27 කියවන්න. සමහර වෙලාවට අපිට දැනෙන දුක, කනස්සල්ල කොච්චරද කියනවා නම් හිතේ තියෙන දේවල් වචනවලට පෙරළගන්නවත් බැහැ. එහෙම වෙලාවලදී ‘යෙහෝවාගේ බලය අපි වෙනුවෙන් කන්නලව් කරනවා.’ ඒ කොහොමද? යෙහෝවා ඔහුගේ බලයෙන් බයිබල් ලේඛකයන්ට මඟ පෙන්නුවා හුඟක් යාච්ඤා බයිබලේට ඇතුළත් කරන්න. අපේ හැඟීම් වචනවලට පෙරළන්න බැරි වෙද්දී යෙහෝවා ඒ යාච්ඤාවල වචන අපේ ඉල්ලීම් විදිහට පිළි අරන් අපිට උත්තර දෙනවා.
19 සහෝදරි යෙලේනාගේ අද්දැකීම බලන්න. යාච්ඤා කරපු නිසා, බයිබලේ කියවපු නිසා රුසියාවේ බලධාරීන් එයාව අත්අඩංගුවට ගත්තා. දැනුණ පීඩනය නිසා එයාට යාච්ඤා කරගන්නවත් බැරි වුණා. එයා මෙහෙම කියනවා. “මට මතක් වුණා යාච්ඤා කරගන්නවත් බැරි තරම් මනසින් වැටිලා ඉන්න වෙලාවලදී ඉස්සර කාලේ හිටපු දෙවියන්ගේ සේවකයන්ගේ යාච්ඤා යෙහෝවා මගේ යාච්ඤා විදිහට පිළිගන්නවා කියලා. මේ අමාරු වෙලාවේදී ඒක මතකයේ තියාගත්ත එක මට ලොකු සහනයක් වුණා.”
20. පීඩනයකින් ඉද්දී යාච්ඤා කරන්න අපේ මනස සූදානම් කරගන්න පුළුවන් කොහොමද?
20 පීඩනයකින් ඉද්දී අපි යාච්ඤා කරන්න පටන්ගත්තත් අපේ මනස එහේ මෙහේ යන්න පුළුවන්. යාච්ඤා කරන්න මනස සූදානම් කරගන්න පුළුවන් එක විදිහක් තමයි ගීතාවලිය පොතේ ඕඩියෝ රෙකෝඩිංවලට ඇහුම්කන් දෙන එක. දාවිත් වගේ අපිට හැඟෙන විදිහ ගැන පොතක ලියන එකත් අපිට කරන්න පුළුවන් දෙයක්. (ගීතා. 18, 34, 142; පෙර සටහන්.) ඇත්ත, යාච්ඤා කරන්න කලින් මනස සූදානම් කරගන්න මෙන්න මේ මේ දේවල් තමයි කරන්න ඕන කියලා නීති දාන්න බැහැ. (ගීතා. 141:2) හැබැයි ඔයාගේ මනස සූදානම් කරගන්න ඔයාට කරන්න පුළුවන් හොඳම දේ කරන්න.
21. අපේ හිතේ තියෙන හැම දෙයක්ම යෙහෝවාට කියන්න පුළුවන් ඇයි?
21 අපි දෙයක් කියන්නත් කලින් අපිට හැඟෙන දේ යෙහෝවා තේරුම්ගන්නවා කියලා දැනන් ඉන්න එක අපිට ලොකු සහනයක්. (ගීතා. 139:4) හැබැයි ඔහු ගැන අපිට තියෙන විශ්වාසේ ගැන, අපේ හැඟීම් ගැන අහන්න යෙහෝවා කැමතියි. ඉතින් ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාට අපේ හිතේ තියෙන හැම දේම කියන්න පොඩ්ඩක්වත් අදිමදි කරන්න එපා. බයිබලේ තියෙන යාච්ඤාවලින් ඉගෙනගන්න. ඒවා ඔයාගේ යාච්ඤාවලට එකතු කරගන්න. මුළු හදවතින්ම යෙහෝවාට යාච්ඤා කරන්න. ඔයාගේ දුක, සතුට ඔහුත් එක්ක බෙදාගන්න. එහෙම කරනවා නම් ඔයාගේ හොඳම යාළුවා විදිහට යෙහෝවා හැමදාමත් ඔයාගේ ළඟින්ම ඉඳියි.
ගීතිකාව 45 මාගේ සිතුවිලි විමසන්න
a ‘ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති’ කියන පොතේ “යෙහෝවා” යටතේ “යෙහෝවාට තියෙන විශේෂ ගතිලක්ෂණ කිහිපයක්” කියන කොටස බලන්න.
b සභාව වෙනුවෙන් ප්‍රසිද්ධියේ කරන යාච්ඤා කෙටි ඒවා වෙන්න ඕනේ.
c හන්නා එයාගේ යාච්ඤාවේදී මෝසෙස්ගේ ලියවිලිවල තිබුණ දේවලට සමාන දේවල් කිව්වා. ඒකෙන් තේරෙනවා ශුද්ධ ලියවිලි කියවලා ඒ ගැන කල්පනා කරන්න එයා කාලේ ගත්තා කියලා. (ද්වි. 4:35; 8:18; 32:4, 39; 1 සාමු. 2:2, 6, 7) ඊට සියවස් ගාණකට පස්සේ හිටපු යේසුස්ගේ අම්මා වුණ මරියා යෙහෝවාට ප්‍රශංසා කරද්දී හන්නා කියපු ගොඩක් දේවල් කිව්වා.—ලූක් 1:46-55.
d උදාහරණෙකට යෝනා 2:3-9 තියෙන දේවල් ගීතාවලිය 69:1; 16:10; 30:3; 142:2, 3; 143:4, 5; 18:6; 3:8 එක්ක සන්සන්දනය කරන්න. මේ බයිබල් පද තියෙන්නේ යෝනාගේ යාච්ඤාවේ තිබුණ දේවල්වල අනුපිළිවෙළටයි.