පාඩම් ලිපිය 43
ගීතිකාව 41 අසනු මැන මාගේ යාච්ඤාව
අමතක නොකර අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරමු
‘ එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. ඇත්තටම ධර්මිෂ්ඨ කෙනෙක්ගේ කන්නලව්වට පුළුවන් ලොකු දෙයක් කරන්න.’—යාකො. 5:16.
ලිපියේ අරමුණ
අපි අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරන්න ඕනෙ ඇයි? ඒක කරන්න උදව් වෙන්නේ මොන වගේ දේවල්ද?
1. අපේ යාච්ඤා අහන්න යෙහෝවා කැමතියි කියලා අපි දන්නේ කොහොමද?
යාච්ඤාව කියන්නේ පුදුමාකාර තෑග්ගක්. මේ ගැන ටිකක් හිතන්න. යෙහෝවා සමහර වැඩ එක එක දේවදූතයන්ට භාර දීලා තියෙනවා. (ගීතා. 91:11) ඔහුගේ පුතා වන යේසුස්ට බැරෑරුම් වගකීම් දීලා තියෙනවා. (මතෙ. 28:18) අපේ යාච්ඤා අහන වැඩෙත් යෙහෝවා කාට හරි භාර දීලා තියෙනවාද? නැහැ. ඒක කරන්නේ ඔහු විතරයි. “යාච්ඤා අසන තැනැත්තාණන්” වන යෙහෝවා අපි එක් එක් කෙනා කරන යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා.—ගීතා. 65:2.
2. පාවුල් හොඳ ආදර්ශයක් තිබ්බේ කොහොමද?
2 අපි වධ වෙන ඕනම දෙයක් ගැන නිදහසේ යෙහෝවාට කියන්න පුළුවන්. හැබැයි අපි අනිත් අය ගැනත් යාච්ඤා කරන්න ඕනේ. පාවුල් එහෙම කළා. එෆීස සභාවට ලියද්දී එයා කිව්වා “මම නිතරම මගේ යාච්ඤාවලදී ඔයාලා ගැන මතක් කරනවා” කියලා. (එෆී. 1:16) පාවුල් එක් එක් කෙනා වෙනුවෙනුත් යාච්ඤා කළා. එයා තිමෝතිට කිව්වා ‘මං දෙවියන්ට මොන තරම් ස්තුතිවන්ත වෙනවාද! මම රෑ දවල් ඔයා වෙනුවෙන් දිගටම දෙවියන්ට කන්නලව් කරනවා’ කියලා. (2 තිමෝ. 1:3) පාවුල්ට යාච්ඤාවේදී කියන්න එයා මූණ දීපු හුඟක් ප්‍රශ්න තිබුණා. (2 කොරි. 11:23; 12:7, 8) හැබැයි අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරන්නත් එයා කාලේ ගත්තා.
3. අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරන්න අපිට අමතක වෙන්න පුළුවන් ඇයි?
3 සමහර වෙලාවට අපිට අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරන්න අමතක වෙනවා. ඒකට එක හේතුවක් ගැන සහෝදරි සබ්‍රීනාa මෙහෙම කියනවා. “හුස්ම ගන්නවත් බැරි තරමට අපිට වැඩ. අපි හිතන්නේ අපේ ප්‍රශ්න ගැනමයි. යාච්ඤා කරන්නෙත් ඒ ගැනමයි. අනිත් අයගේ ප්‍රශ්න ඔළුවට එන්නෙවත් නෑ.” ඔයාටත් එහෙමද? එහෙමනම් මේ ලිපිය ඔයාට උදව් වෙයි. අපි මේ ලිපියෙන් (1) අනිත් අය වෙනුවෙන් අපි යාච්ඤා කරන්න ඕනෙ ඇයි, (2) එහෙම කරන්න උදව් වෙන්නේ මොනවාද කියලා බලනවා.
එහෙම කරන්න ඕනෙ ඇයි?
4-5. අනිත් අය වෙනුවෙන් අපි කරන යාච්ඤාවලට “ලොකු දෙයක් කරන්න” පුළුවන් කියන්නේ ඇයි? (යාකොබ් 5:16)
4 අනිත් අය වෙනුවෙන් අපි කරන යාච්ඤාවලට “ලොකු දෙයක් කරන්න” පුළුවන්. (යාකොබ් 5:16 කියවන්න.) අපි අනිත් අය වෙනුවෙන් කරන යාච්ඤාවක් නිසා එයාලා මූණ දෙන තත්වයක් වෙනස් වෙයිද? එහෙම වෙන්න පුළුවන්. පේතෘස් යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කියනවා කියලා යේසුස් දැනන් හිටියා. ඒත් යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඔයාගේ විශ්වාසය දුර්වල වෙන්න ඉඩ දෙන්න එපා කියලා මම ඔයා වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරලා තියෙනවා.” (ලූක් 22:32) යේසුස් කිව්වා වගේ පේතෘස්ට පුළුවන් වුණා විශ්වාසේ ශක්තිමත් කරගන්න. කෙනෙක් මූණ දෙන තත්වයක් වෙනස් කරන්න යාච්ඤාවට පුළුවන් කියලා පාවුලුත් දැනන් හිටියා. බොරු චෝදනා පිට එයා රෝමයේ හිරේ ඉද්දී ෆිලෙමොන්ට මෙහෙම කිව්වා. “ඔයාලා කරන යාච්ඤා නිසා මට ආයෙත් ඔයාලා ළඟට එන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.” (ෆිලෙ. 22) එහෙම කියලා වැඩි දවසක් යන්න කලින් ඇත්තටම ඒක වුණා. එයා හිරෙන් නිදහස් වෙලා ඇවිත් ආයෙත් සේවේ කළා.
5 ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි ඉල්ලන දේ යෙහෝවා කොහොමහරි කරන්න ඕනෙ කියලා. ඒ වෙනුවට අපි අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරද්දී යෙහෝවා දකිනවා අපි එයාලට කොච්චර ආදරෙයිද කියලා. ඒක දැකලා සමහර වෙලාවට අපි ඉල්ලන දේ ඉටු කරන්න ඔහු පෙලඹෙනවා. ඒක දැනන් ඉන්න එක අපිට උදව් වෙනවා අනිත් අය මූණ දෙන ප්‍රශ්න ගැන ලොකු වුවමනාවකින් යාච්ඤා කරන්න. මොකද අපි දන්නවා එයාලා වෙනුවෙන් හොඳම දේ යෙහෝවා ඉටු කරයි කියලා.—ගීතා. 37:5; 2 කොරි. 1:11.
6. ආදරේ වැඩි කරගන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද? (1 පේතෘස් 3:8)
6 අනිත් අය ගැන “ගැඹුරු දයානුකම්පාවක්” ඇති කරගන්න උදව් වෙනවා. (1 පේතෘස් 3:8 කියවන්න.) අනිත් අය ගැන අනුකම්පාවක් දැනෙන කෙනෙක් එයාලාගේ වේදනාව තේරුම්ගන්නවා වගේම ඒ වෙනුවෙන් දෙයක් කරන්නත් පෙලඹෙනවා. (මාක් 1:40, 41) වැඩිමහල්ලෙක් වන මයිකල් මෙහෙම කියනවා. “අනිත් අයගේ ඕනෑ එපාකම් ගැන යාච්ඤා කරද්දී එයාලාගේ ප්‍රශ්න ගැන තව වැඩියෙන් තේරුම්ගන්න මට පුළුවන්. ඒක මට උදව් වෙනවා එයාලට තව වැඩියෙන් ආදරේ කරන්න. සමහරවිට එයාලා දන්නෙත් නැතුව ඇති, ඒත් මට දැනෙන්නේ මං එයාලට තව ළං වෙනවා කියලා.” තවත් ප්‍රයෝජනයක් ගැන වැඩිමහල්ලෙක් වන රිචඩ් මෙහෙම කියනවා. “අපි තව කෙනෙක් වෙනුවෙන් යාච්ඤා කරද්දී එයාට උදව් කරන්න පෙලඹෙන ඉඩකඩත් වැඩියි. අපි එයාට උදව් කරද්දී අපි කරන්නේ එයා වෙනුවෙන් කරපු යාච්ඤාවට උත්තර දෙන්න අපිත් හවුල් වෙන එකයි.”
7. අපේ ප්‍රශ්න ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද? (ෆිලිප්පි 2:3, 4) (පින්තූරත් බලන්න.)
7 අපේ ප්‍රශ්න ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්න උදව් වෙනවා. (ෆිලිප්පි 2:3, 4 කියවන්න.) අපි ඉන්නේ දුෂ්ටයාගේ බලපෑමට අහු වුණ ලෝකෙක නිසා අපි හැමෝම මොකක් හරි ප්‍රශ්නයක් එක්ක පොරබදිනවා. (1 යොහ. 5:19; එළි. 12:12) නිතරම අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරද්දී අපිට මතක් වෙනවා ‘ලෝකේ පුරාම ඉන්න සහෝදරයන් අපි මූණ දෙන දුක් පීඩාවලටම මූණ දෙනවා’ කියලා. (1 පේතෘ. 5:9) කැතරින් මෙහෙම කියනවා. “අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරන එක මට උදව් වෙනවා ප්‍රශ්න තියෙන්නේ මට විතරයි කියලා හිතන්නේ නැතුව ඉන්න.”
අපේ ප්‍රශ්න ගැන විතරක්ම හිතන්නේ නැතුව ඉන්න අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරන එක අපිට උදව් වෙනවා (7 ඡේදය බලන්න)d
එයාලට අපේ යාච්ඤා වටිනවා
8. අපිට යාච්ඤා කරන්න පුළුවන් කවුරු ගැනද?
8 අපි අතරේ එක එක තත්වයන්වලට මූණ දෙන අය ඉන්නවා. උදාහරණෙකට අසනීප එක්ක පොරබදින අය, ඉස්කෝලේ ළමයින්ගේ අපහාසවලට සහ වැරදි දේවල් කරන්න එන පෙලඹීම්වලට මූණ දෙන යෞවනයන් සහ මහලු වයසත් එක්ක එන අභියෝගවලට මූණ දෙන අය. එයාලා ගැන අපිට පොදුවේ යාච්ඤා කරන්න පුළුවන්. අපේ සහෝදරයන්ගෙන් හුඟදෙනෙක් පවුලේ අයගෙන්, ආණ්ඩුවලින් එන විරුද්ධවාදිකම් දරාගන්නවා. (මතෙ. 10:18, 36; ක්‍රියා 12:5) දේශපාලන ගැටුම් නිසා සමහරුන්ට ගෙවල් දොරවල් අත්හැරලා පලා යන්න වෙලා තියෙනවා. තවත් අය ස්වාභාවික විපත්වලට මූණ දෙනවා. ඒ වගේ දේවල් අද්දකින සහෝදරයන්ව අපි පෞද්ගලිකව දන්නේ නැතුව ඇති. ඒත් අපි එයාලා වෙනුවෙන් යාච්ඤා කරද්දී අපි කරන්නේ “එකිනෙකාට ආදරේ කරන්න” කියලා යේසුස් කියපු දේට කීකරු වෙන එකයි.—යොහ. 13:34.
9. සංවිධානයේ පෙරමුණ ගන්න අය ගැනත් එයාලාගේ භාර්යාවන් ගැනත් අපි යාච්ඤා කරන්න ඕනෙ ඇයි?
9 සංවිධානයේ පෙරමුණ අරන් වැඩ කරන අය වෙනුවෙනුත් අපිට යාච්ඤා කරන්න පුළුවන්. පාලක මණ්ඩලය, එයාලට උපකාර කරන අය, ශාඛා කමිටු සාමාජිකයන්, ශාඛා කාර්යාලවල පෙරමුණ අරන් සේවේ කරන අය, චාරිකා සේවකයන්, සභාවල වැඩිමහල්ලන් සහ සහායක සේවකයන් ගැන අපිට යාච්ඤා කරන්න පුළුවන්. එයාලා අපි වෙනුවෙන් වෙහෙසිලා සේවේ කළත් එයාලටත් ගොඩක් ප්‍රශ්න තියෙනවා. (2 කොරි. 12:15) චාරිකා සේවකයෙක් වන මාක් මෙහෙම කියනවා. “මට තියෙන ලොකුම බර තමයි මගේ මහලු දෙමාපියන් ළඟපාත නැති එක. එයාලා දෙන්නාටම එක එක අසනීප තියෙනවා. මගේ අක්කායි, එයාගේ මහත්තයායි අම්මලව හොඳට බලාගන්නවා. ඒත් මට එයාලා වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න තිබ්බා නං කියලා හිතෙද්දී ලොකු වේදනාවක් දැනෙනවා.” ඒ සහෝදරයන්ගේ ප්‍රශ්න, එයාලා වධ වෙන හැම දෙයක් ගැනම අපි නොදන්නවා වුණත් අපි එයාලා වෙනුවෙන් යාච්ඤා කරන්න ඕනේ. (1 තෙස. 5:12, 13) අපි එයාලාගේ භාර්යාවන් ගැනත් යාච්ඤා කරන්න ඕනේ. මොකද ඒ සහෝදරයන්ට අපි වෙනුවෙන් සේවේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ භාර්යාවන් දෙන සහයෝගය නිසයි.
10-11. සහෝදරයන් වෙනුවෙන් අපි පොදුවේ කරන යාච්ඤා ගැන යෙහෝවා සතුටු වෙනවාද? පැහැදිලි කරන්න.
10 අපි බලපු විදිහට එක වගේ තත්වයන්වලට මූණ දෙන හැමෝම වෙනුවෙන් අපි පොදුවේ යාච්ඤා කරනවා. උදාහරණෙකට අපි විශේෂ කෙනෙක්ව ඔළුවේ තියාගන්නේ නැතුව විශ්වාසේ නිසා හිරගත කරලා ඉන්න අයට උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලනවා. වියෝදුකින් ඉන්න අයට සහනයක් වෙන්න කියලා ඔහුට කන්නලව් කරනවා. වැඩිමහල්ලෙක් වන ඩොනල්ඩ් මෙහෙම කියනවා. “අපේ සහෝදරයන් හුඟදෙනෙක් ගොඩක් අමාරු දේවලට මූණ දෙනවා. අපි එයාලා හැමෝම වෙනුවෙන් පොදුවේ යාච්ඤා කරද්දී ඒ එක් කෙනෙක්වවත් මඟ හැරෙන්නේ නෑ.”
11 ඒ වගේ යාච්ඤා ගැන යෙහෝවා සතුටු වෙනවා. ඒ එක් එක් කෙනාට ඕනෙ මොනවාද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඉතින් එයාලා හැමෝම වෙනුවෙන් පොදුවේ යාච්ඤා කරන එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. (යොහ. 17:20; එෆී. 6:18) ඒකෙන් පේනවා “සහෝදර සහෝදරියන් හැමෝටම” අපි ආදරෙයි කියලා.—1 පේතෘ. 2:17.
එක් එක් කෙනා වෙනුවෙන්
12. හොඳ අවධානෙකින් ඉන්න එක නිශ්චිතව දේවල් ගැන යාච්ඤා කරන්න උදව් වෙන්නේ කොහොමද?
12 හොඳ අවධානෙකින් ඉන්න. පොදුවේ කට්ටියක් වෙනුවෙන් යාච්ඤා කරනවාට අමතරව එක් එක් කෙනා ගැන එයාලාගේ නම කියලම යාච්ඤා කරන්න අපිට පුළුවන්. බරපතළ අසනීපයක් තියෙන කෙනෙක් ඔයාගේ සභාවේ ඉන්නවාද? ඉස්කෝලේ ළමයින්ගෙන්, ගුරුවරුන්ගෙන් එන පීඩනය නිසා මානසිකව වැටිලා ඉන්න යෞවනයෙක් ඉන්නවාද? “යෙහෝවා දෙන හික්මවීම් සහ අවවාදවලට එකඟව” තනියම දරුවාව ඇතිදැඩි කරන්න මහන්සි වෙන කෙනෙක්ව ඔයා දන්නවාද? (එෆී. 6:4) අනිත් අය ගැන හොඳ අවධානෙකින් ඉන්නවා නම් එයාලව තව හොඳට තේරුම්ගන්න ඔයාට පුළුවන්. එතකොට එයාලා වෙනුවෙන් යාච්ඤා කරන්න ඔයා පෙලඹෙයි.b—රෝම 12:15.
13. අඳුරන්නේ නැති අය වෙනුවෙන් අපිට යාච්ඤා කරන්න පුළුවන් කොහොමද?
13 නම කියලම යාච්ඤා කරන්න. කවදාවත් හම්බ වෙලා නැති අය ගැනත් අපිට එහෙම යාච්ඤා කරන්න පුළුවන්. ක්‍රිමියාවේ, එරිත්‍රියාවේ, රුසියාවේ සහ සිංගප්පූරුවේ අපේ සහෝදර සහෝදරියන් හුඟදෙනෙක්ව හිරගත කරලා තියෙනවා. jw.org වෙබ් අඩවියෙන් අපිට එයාලාගේ නම් හොයාගන්න පුළුවන්.c චාරිකා සේවකයෙක් වන බ්‍රයන් මෙහෙම කියනවා. “විශ්වාසේ නිසා හිරේ ඉන්න සහෝදරයෙක්ගේ නම ලියලා ඒක ශබ්ද නඟලා කියන එක මට උදව් වෙනවා ඒ නම මතක තියාගන්න. එතකොට නම කියලම එයා වෙනුවෙන් යාච්ඤා කරන්න මට පුළුවන්.”
14-15. නිශ්චිතවම දේවල් ගැන යාච්ඤා කරන්න පුළුවන් කොහොමද?
14 නිශ්චිතවම ඉල්ලන්න. මයිකල් මෙහෙම කියනවා. “හිරගත කරලා ඉන්න අපේ සහෝදරයන් ගැන jw.org එකෙන් කියවද්දී මං කල්පනා කරනවා එයා ඉන්න තැන මං ඉන්නවා නං මට කොහොම දැනෙයිද කියලා. එහෙම වුණොත් මං අනිවාර්යයෙන්ම මගේ නෝනා ගැන ගොඩක් හිතයි, එයාට ඕන කරන දේවල් ලැබෙනවාද කියලා මං හොයලා බලයි. එහෙම හිතන එක මට උදව් වෙලා තියෙනවා හිරේ ඉන්න සහෝදරයන් වෙනුවෙන් මං නිශ්චිතවම යෙහෝවාගෙන් ඉල්ලන්න ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්න.”—හෙබ්‍රෙ. 13:3, පාදසටහන.
15 හිරේ ඉන්න සහෝදරයෙක්ගේ දවස කොහොම ගත වෙනවා ඇද්ද කියලා හිතන එකත් අපිට උදව් වෙනවා නිශ්චිතව යාච්ඤා කරන්න ඕනෙ තව මොන වගේ දේවල් ගැනද කියලා තේරුම්ගන්න. උදාහරණෙකට අපිට පුළුවන් එයාලට කාරුණිකව සලකන්න බන්ධනාගාර නිලධාරීන්ව පොලඹවන්න කියලත් සහෝදරයන්ට නමස්කාරයේ දේවල් නිදහසේ කරන්න බලධාරීන්ගෙන් ඉඩ ලැබෙන්න කියලත් යාච්ඤා කරන්න. (1 තිමෝ. 2:1, 2) හිරේ ඉන්න සහෝදරයාගේ ආදර්ශය දැකලා සභාවේ අය දිරිගැන්වෙන්න කියලත් එයාගේ හොඳ හැසිරීම දැකලා සත්‍යයේ නැති අය අපේ පණිවිඩේ අහන්න පෙලඹෙන්න කියලත් යාච්ඤා කරන්න පුළුවන්. (1 පේතෘ. 2:12) වෙනත් අභියෝගවලට මූණ දෙන අය ගැනත් ඒ විදිහට හිතලා අපිට යාච්ඤා කරන්න පුළුවන්. හොඳ අවධානෙකින් ඉන්න එකෙන්, නම කියලම යාච්ඤා කරන එකෙන්, නිශ්චිතව දේවල් ඉල්ලන එකෙන් අපි පෙන්නන්නේ එයාලා ගැන තියෙන ආදරේ අපේ “හිත්වල පිරිලා ඉතිරිලා යනවා” කියලා.—1 තෙස. 3:12.
යාච්ඤා ගැන හිතන්න ඕනෙ විදිහ
16. යාච්ඤාව ගැන හරි විදිහට හිතන්න අපිට පුළුවන් කොහොමද? (මතෙව් 6:8)
16 අපි බලපු විදිහට අපි කරන යාච්ඤාවකට පුළුවන් තව කෙනෙක් මූණ දෙන තත්වයක් වුණත් වෙනස් කරන්න. ඒත් අපි ඒක හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. යාච්ඤා කරද්දී අපි කරන්නේ යෙහෝවා නොදන්න දෙයක් ගැන ඔහුට කියන එකවත් ප්‍රශ්නයක් විසඳන්න ඕනෙ හොඳම විදිහ මොකක්ද කියලා ඔහුට කියලා දෙන එකවත් නෙවෙයි. ඔහුගේ සේවකයන්ට ඕනෙ මොනවාද කියලා අපිවත් අඩුම තරමේ එයාලවත් දැනගන්න කලින් යෙහෝවා ඒ ගැන දන්නවා. (මතෙව් 6:8 කියවන්න.) එහෙමනම් ඇයි අපි අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරන්නේ? මේ ලිපියේ කතා කරපු හේතුවලට අමතරව අපි එහෙම කරන්නේ අනිත් අය ගැන අපිට තියෙන ආදරේ නිසයි. ආදරේ අපිව පොලඹවනවා අනිත් අය ගැන යාච්ඤා කරන්න. ඔහුගේ සේවකයනුත් ඔහු වගේ අනිත් අයට ආදරේ කරනවා දකිද්දී යෙහෝවාට දැනෙන්නේ ලොකු සතුටක්.
17-18. අපි අනිත් අය වෙනුවෙන් කරන යාච්ඤා මොන වගේද?
17 අපි අනිත් අය වෙනුවෙන් කොච්චර යාච්ඤා කළත් එයාලා මූණ දෙන තත්වේ වෙනස් නොවෙන්න පුළුවන්. ඒත් ඒකෙන් පේනවා අපිට එයාලා ගැන ලොකු ආදරයක් තියෙනවා කියලා. ඒ ආදරේ යෙහෝවා දකිනවා. ඒක තේරුම්ගන්න මේ ගැන හිතන්න. එක පවුලක දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අයියායි, නංගියි. අයියාට හොඳටම සනීප නැහැ. ඉතින් නංගි තාත්තා ළඟට ගිහින් කියනවා “අනේ තාත්තේ අයියාට අමාරුයි, මොනවා හරි කරන්නකෝ” කියලා. තාත්තා දැනටමත් දන්නවා මොනවාද කරන්න ඕනෙ කියලා. මොකද තාත්තා පුතාට ආදරෙයි. එයා පුතාව බලාගන්න පුළුවන් හැම දේම කරනවා. හැබැයි නංගිට අයියා ගැන තියෙන ආදරේ දැක්කාම ඒ තාත්තාගේ හිතට කොච්චර සතුටක් දැනෙයිද!
18 යෙහෝවා අපිට කරන්න කියන්නෙත් ඒකමයි. ඒ, අනිත් අය ගැන තියෙන ආදරේ නිසා එයාලා වෙනුවෙන් යාච්ඤා කරන්න කියලයි. එහෙම කරද්දී අපි පෙන්නනවා අපි අපි ගැන විතරක් හිතන අය නෙවෙයි, අපි අනිත් අයට ගොඩක් ආදරේ කරන අය කියලා. යෙහෝවා ඒක දකිනවා. (2 තෙස. 1:3; හෙබ්‍රෙ. 6:10) අපි බලපු විදිහට සමහර වෙලාවලදී අපි කරන යාච්ඤා නිසා තව කෙනෙක් මූණ දෙන තත්වයක් වෙනස් වෙන්න වුණත් ඉඩ තියෙනවා. ඉතින් අපි අමතක නොකර අනිත් අය වෙනුවෙන් දිගටම යාච්ඤා කරමු.
ගීතිකාව 101 එක්සත්ව සේවය කරමු
a සමහර නම් වෙනස් කරලා තියෙනවා.
b jw.org එකේ තියෙන ‘ටකෙෂි ෂිමිසු: යෙහෝවා දෙවියන් “යාච්ඤා අසන තැනැත්තාණන්”’ කියන වීඩියෝ එක බලන්න.
c හිරේ ඉන්න අපේ සහෝදරයන්ගේ නම් දැනගන්න jw.org එකේ “විශ්වාසය නිසා සිරදඬුවම් විඳින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් - රටවල් අනුව” යටතේ බලන්න.
d පින්තූරවල අදහස: ප්‍රශ්න තිබුණත් අපේ සහෝදර සහෝදරියන් අනිත් අය වෙනුවෙනුත් යාච්ඤා කරන්න කාලේ ගන්නවා.