‘දෙවියන්ගේ බලයෙන් ලැබිලා තියෙන එක්සත්කම රැකගන්න’
පාවුල් එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන්ට මෙහෙම කිව්වා. “එකිනෙකාගේ දුර්වලකම් ආදරෙන් දරාගෙන ඉන්න. දෙවියන්ගේ බලයෙන් ඔයාලව එක්සත් කරලයි තියෙන්නේ. ඒ නිසා ඔයාලා අතරේ තියෙන එක්සත්කම රැකගන්න අරමුණින් එකිනෙකා එක්ක සමාදානයෙන් ඉන්න හුඟක් මහන්සි වෙන්න.”—එෆී. 4:2, 3.
දෙවියන්ගේ සෙනඟ විදිහට අපි අද්දකින “එක්සත්කම” අපිට ලැබිලා තියෙන්නේ “දෙවියන්ගේ බලයෙන්.” ඒත් පාවුල් කියනවා ඒ එක්සත්කම දිගටම රැකගන්න අපි උත්සාහ කරන්න ඕනෙ කියලා. ඒක කරන්න ඕනෙ කවුද? ඒක අපි එක් එක් කෙනාගේ වගකීමක්.
ඒක තේරුම්ගන්න හිතන්න කවුරු හරි ඔයාට අලුත්ම කාර් එකක් තෑගි කරනවා කියලා. ඒක පරෙස්සම් කරගන්න වගකීම තියෙන්නේ කාටද? ඒක කරන්න ඕනෙ වෙන කවුරුත් නෙවෙයි, ඔයා. ඔයා ඒක හොඳට බලාගන්නේ නැතුව ඒක හදිස්සියේ කැඩුණොත් කාර් එක තෑගි කරපු කෙනාට දොස් කියලා වැඩක් නැහැනේ.
අපි අතර තියෙන එක්සත්කමත් දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්. ඒක දිගටම රැකගන්න වගකීම තියෙන්නේ අපි එක් එක් කෙනාට. ඉතින් ඔයාට සහෝදරයෙක් එක්ක හරි සහෝදරියක් එක්ක හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ‘සභාවේ එක්සත්කම දිගටම රැකගන්න මගේ පැත්තෙන් වෙන්න ඕන දේ මං උපරිමෙන් කරනවාද’ කියලා හිතන්න.
එක්සත්කම රැකගන්න “හුඟක් මහන්සි වෙන්න”
පාවුල් කියනවා දෙවියන් අපිට දීලා තියෙන එක්සත්කම රැකගන්න සමහර වෙලාවට අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා කියලා. විශේෂයෙන්ම සභාවේ කෙනෙක් අපේ හිත රිදෙන දෙයක් කළාම. හැබැයි ඒකෙන් අදහස් කරනවාද එක්සත්කම රැකගන්න අපි හැම වෙලේම ඒ කෙනාව හම්බ වෙලා ඇති වුණ ප්‍රශ්නේ ගැන එයා එක්ක කතා කරන්න ඕනෙ කියලා? නැහැ, හැම වෙලේම එහෙම කරන්න ඕනෙ නැහැ. ඔයාට පුළුවන් මෙහෙම හිතන්න. ‘මං මේ ගැන එයා එක්ක කතා කරන්න ගියොත් ප්‍රශ්නේ විසඳෙයිද? නැත්නම් ප්‍රශ්නේ එක දෙක වෙයිද?’ සමහර වෙලාවට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒක අමතක කරලා එයාට සමාව දෙන එක.—හිතෝ. 19:11; මාක් 11:25.
මෙහෙම හිතන්න. ‘මං මේ ප්‍රශ්නේ ගැන එයා එක්ක කතා කළොත් ප්‍රශ්නේ විසඳෙයිද? නැත්නම් ප්‍රශ්නේ එක දෙක වෙයිද?’
පාවුල් කියනවා අපි “එකිනෙකාගේ දුර්වලකම් ආදරෙන් දරාගෙන ඉන්න” ඕනෙ කියලා. (එෆී. 4:2) එක පොතක කියන විදිහට ඒක “එයාලා ඉන්න විදිහටම එයාලව පිළිගන්න” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හැමෝම පව්කාරයන් නිසා අපි අතින් වැරදි වෙනවා වගේම එයාලා අතිනුත් වැරදි වෙනවා කියලා අපි පිළිගන්න ඕනෙ කියලයි. ඇත්ත, අපි හැමෝම “අලුත් පෞද්ගලිකත්වය” පැලඳගන්න උත්සාහ කරනවා. (එෆී. 4:23, 24) එහෙමයි කියලා අපිට හැම දේම හරියටම කරන්න බැහැ. (රෝම 3:23) ඒක අපි තේරුම්ගන්නවා නම් අනිත් අයගේ දුර්වලකම් දරාගන්න, එයාලට සමාව දෙන්න වගේම ‘දෙවියන්ගේ බලයෙන් ලැබිලා තියෙන එක්සත්කම රැකගන්න’ අපිට ලේසි වෙනවා.
අනිත් අය අපේ හිත රිද්දද්දී අපි එයාලට සමාව දීලා ඒක අමතක කරනවා නම් අපිට පුළුවන් “එකිනෙකා එක්ක සමාදානයෙන් ඉන්න.” එෆීස 4:3 “සමාදානයෙන් ඉන්න” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය කොලොස්සි 2:19ත් තියෙනවා. එතන ඒක පරිවර්තනය කරලා තියෙන්නේ “පටක” කියලා. පටකවලින් තමයි අස්ථි දෙකක් එකට බැඳලා තියාගන්නේ. සාමය, ආදරය හරියට ඒ පටක වගේ. ඒවා තමයි අපි අතර මොන ප්‍රශ්නේ ඇති වුණත් අපිව එකට බැඳලා තියාගන්නේ.
ඉතින් සභාවේ කෙනෙක් ඔයාගේ හිත රිද්දුවොත්, ඔයා අප්සෙට් වෙන විදිහේ දෙයක් කළොත් එයාගේ වරද දිහාම බලනවා වෙනුවට එයාව තේරුම් අරන් අනුකම්පාව පෙන්නන්න. (කොලො. 3:12) අපි හැමෝම පාපය උරුම කරගෙන ඉන්න නිසා ඔයා අතිනුත් කවදා හරි වෙන කෙනෙක්ගේ හිත රිදෙන දෙයක් වෙලා ඇති. ඒක මතක තියාගෙන ඉන්න එක ඔයාට උදව් වෙයි ‘දෙවියන්ගේ බලයෙන් ලැබිලා තියෙන එක්සත්කම දිගටම රැකගන්න.’