2026 මාර්තු 30–අප්‍රියෙල් 5
ගීතිකාව 76 ඔබට හැඟෙන්නේ කොහොමද?
කාරුණිකව සත්‍යය කතා කරන්න
“සත්‍යය පවසන යෙහෝවා දෙවියන්.”—ගීතා. 31:5.
ලිපියේ අරමුණ
අනිත් අයට ප්‍රයෝජනවත් වෙන විදිහට සත්‍යය කතා කරන්නේ කොහොමද?
1. යෙහෝවාගේ පවුලේ කෙනෙක් වෙන්න නම් අපි කරන්න ඕනෙ මොකක්ද?
සාමාන්‍යයෙන් අපිට අපේ සහෝදරයෙක්ව, සහෝදරියක්ව හම්බ වුණාම අපි අහන ප්‍රශ්නයක් තමයි “ඔයාට සත්‍යය හම්බ වුණේ කොහොමද” කියලා. සමහරු කියනවා “මං පොඩි කාලේ ඉඳන්ම සත්‍යයේ” කියලා. තවත් අය කියනවා “මට සත්‍යය හම්බ වුණේ ළඟදී” කියලා. අපි ඒ විදිහට උත්තර දෙන්නේ දේවවචනයේ තියෙන සත්‍යය අපි කරන කියන හැම දේටම බලපාලා තියෙන නිසයි. මොකද අපි දන්නවා යෙහෝවාගේ පවුලේ කෙනෙක් වෙන්න නම් අපි සත්‍යයට ආදරේ කරන්නත් ඒකට අනුව ජීවත් වෙන්නත් ඕනෙ කියලා. ඒකට අපි කියන කරන දේවලදී අවංක වෙන එක ඇතුළත්.—ගීතා. 15:1-3.
2. (අ) යේසුස් ප්‍රසිද්ධ මොන වගේ කෙනෙක් විදිහටද? (ආ) යේසුස් උගන්නපු සත්‍යය අනිත් අයට බලපෑවේ කොහොමද?
2 යේසුස් හැම වෙලේම කතා කළේ සත්‍යය. යේසුස්ගේ හතුරන් ඔහු කියපු දේවලට අකමැති වුණත් එයාලා පවා පිළිගත්තා යේසුස් හැම වෙලාවෙම කතා කරන්නේ ඇත්ත කියලා. (මතෙ. 22:16) යේසුස් උගන්නපු සත්‍යය නිසා වෙන දේ ගැන ඔහු මෙහෙම කිව්වා. “මං ආවේ පුතෙක්ව එයාගේ තාත්තා එක්කත් දුවෙක්ව එයාගේ අම්මා එක්කත් ලේළිව එයාගේ නැන්දම්මා එක්කත් භේද කරන්නයි.” (මතෙ. 10:35) යේසුස්වත් ඔහුගේ ගෝලයන්වත් කියන පණිවිඩේ නිසා ඒ වගේ දෙයක් වෙනවාට යේසුස් කැමති වුණේ නැහැ. හැබැයි ඔහු දැනන් හිටියා ඒක තමයි වෙන්නේ කියලා. (මතෙ. 23:37) ඔහු දැනන් හිටියා මේ සත්‍ය පණිවිඩේ නිසා මිනිස්සු කණ්ඩායම් දෙකකට බෙදෙනවා කියලා. එක කණ්ඩායමක් තමයි බයිබලේ තියෙන සත්‍යයට ආදරේ කරන අය. අනිත් කණ්ඩායම තමයි එහෙම නොකරන අය.—2 තෙස. 2:9-11.
3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
3 යේසුස් වගේ අපිත් අනිත් අය අකමැති වුණත් හැම වෙලාවෙම සත්‍යය කතා කරන්න උත්සාහ කරනවා. ඇත්ත, සමහරු අපි කියන දේවල් අහලා අප්සෙට් ගහන්න පුළුවන්. ඒත් අපි බයිබලේ තියෙන සත්‍යය දිගටම දේශනා කරනවා, උගන්නනවා. ඒ කියන්නේ අපි සත්‍යය ගැන කියද්දී ඒක කියන්නේ කොහොමද, කොයි වෙලාවටද කියලා හිතන එක වැදගත් නැහැ කියන එකටද? නැහැ, එහෙම නෙවෙයි. අපි මේ ලිපියෙන් මුලින්ම බලමු සත්‍යය අපට හොයාගන්න පුළුවන් කොහෙන්ද කියලා. ඊටපස්සේ බලමු සත්‍යය කතා කරන්න ඕනෙ ඇයි, ඒක කරන්න පුළුවන් කොහොමද, ඒක කියන්න ඕනෙ කොයි වෙලාවටද කියලා. මේ ප්‍රශ්නවලට උත්තර බලන එක අපිට උදව් වෙනවා කාරුණිකව ඒ කියන්නේ අනිත් අයගේ හිත රිදෙන්නේ නැති විදිහට, හරි වෙලාවේදී සත්‍යය කියන්නේ කොහොමද කියලා තේරුම්ගන්න.
සත්‍යය හොයාගන්න පුළුවන් කොහෙන්ද?
4. යෙහෝවා සත්‍යයේ උල්පත කියලා අපිට කියන්න පුළුවන් ඇයි?
4 යෙහෝවා තමයි සත්‍යයේ උල්පත. ඔහු කියන හැම දේම ඇත්ත. උදාහරණෙකට හරි දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියලා යෙහෝවා කියන හැම දේම ඇත්ත. (ගීතා. 19:9; 119:142, 151) අනාගතය ගැන ඔහු කියන හැම දේමත් ඒ විදිහටම ඉටු වෙනවා. (යෙසා. 55:10, 11) ඔහු කවදාවත් දුන්න පොරොන්දුවක් කඩ කරන්නේ නැහැ. (ගණන්. 23:19) ඒ වගේම ඔහුට කවදාවත් බොරු කියන්න බැහැ. (හෙබ්‍රෙ. 6:18) එහෙම බලද්දී යෙහෝවා ‘සත්‍යය පවසන දෙවියන්’ කියලා හඳුන්වන එක පුදුමයක්ද!—ගීතා. 31:5.
5. ‘සත්‍යය පවසන දෙවියන්ට’ ළං වෙන්න පුළුවන් කියන්නේ ඇයි? පැහැදිලි කරන්න. (ක්‍රියා 17:27)
5 සමහරු කියනවා ‘සත්‍ය දෙවියන්ව’ හොයාගෙන ඔහුට ළං වෙන්න ගොඩක් අමාරුයි කියලා. හැබැයි ඒක ඇත්ත නෙවෙයි. අපි අවට ඕනෙ තරම් සාක්ෂි තියෙනවා දෙවි කෙනෙක් ඉන්නවා කියන්න. (රෝම 1:20) පාවුල් ඇතන්ස්වල හිටපු ග්‍රීක උගතුන්ට කතා කරද්දී කිව්වා දෙවියන් “අපෙන් දුරස් වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි” කියලා. මොකද ඔහු කැමති ‘ඔහුව හොයාගෙන මිනිස්සු ඔහුට ළං වෙනවා’ දකින්න කියලා. (ක්‍රියා 17:27 කියවන්න.) ඇත්තටම දෙවියන් ගැන සත්‍යය හොයන, නිහතමානී අයව දෙවියන් ඔහු ළඟට ළං කරගන්නවා.—යොහ. 6:44.
6. සත්‍ය ඉගැන්වීම් සමහරක් මොනවාද? ඒවා ඉගෙනගන්න ලැබුණ එක ඔයා අගය කරන්නේ ඇයි?
6 යෙහෝවාව හොයාගෙන ඔහුට ළං වෙන්න පුළුවන් එක විදිහක් තමයි බයිබලේ අධ්‍යයනය කරන එක. බයිබල් ලේඛකයන් බයිබලේ තියෙන තොරතුරු ලිව්වේ දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමෙන්. (2 පේතෘ. 1:20, 21) ඒ නිසා බයිබලේ තියෙන දේවල් සත්‍යයයි කියලා අපිට 100%ක් විශ්වාස කරන්න පුළුවන්. උදාහරණෙකට විශ්වයේ සහ පොළොවේ ආරම්භය ගැන බයිබලේ තියෙන වාර්තාව ඇත්තයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. (උත්. 1:1, 26) අපි අතින් වැරදි වෙන්නේ ඇයි, අපි දුක් විඳින්නේ ඇයි, මැරෙන්නේ ඇයි කියලා බයිබලේ කියන දේවල් අපිට විශ්වාස කරන්න පුළුවන්. (රෝම 5:12; 6:23) “බොරුවේ පියා” වුණ සාතන් කරන හැම හානියක්ම යෙහෝවා ඔහුගේ පුතා මාර්ගයෙන් හරිගස්සනවා කියලා බයිබලේ කියන දේත් විශ්වාස කරන්න අපිට පුළුවන්. (යොහ. 8:44; රෝම 16:20) යේසුස් දුෂ්ටයන්ව විනාශ කරනවා කියලත් මැරුණ අයව නැවත නැඟිට්ටනවා කියලත් මේ පොළොව ලස්සන තැනක් කරනවා කියලත් මිනිස්සුන්ට පරිපූර්ණ වෙන්න උදව් කරනවා කියලත් බයිබලේ පොරොන්දු වෙලා තියෙනවා. (යොහ. 11:25, 26; 1 යොහ. 3:8) ඒ පොරොන්දුත් අපිට විශ්වාස කරන්න පුළුවන්. යෙහෝවා මේ වගේ සත්‍යයන් අපිට උගන්නපු එකත් ඒ සත්‍යයන් අනිත් අයට උගන්නන්න අපිට අවස්ථාව දුන්න එකත් මොන තරම් ගෞරවයක්ද!—මතෙ. 28:19, 20.
අපි ඇත්ත කතා කරන්නේ ඇයි?
7-8. අපි සත්‍යය කතා කරන්න පෙලඹෙන හේතුව ගැන හිතන එක වැදගත් ඇයි? උදාහරණයක් කියන්න. (මාක් 3:11, 12) (පින්තූරත් බලන්න.)
7 අපි කලින් බලපු විදිහට අපි දෙවියන්ගේ පවුලට අයිති කෙනෙක් වෙන්න නම් හැම වෙලේම සත්‍යය කතා කරන්න ඕනේ. හැබැයි යෙහෝවාව සතුටු කරන්න නම් නිකම්ම සත්‍යය කතා කරලා විතරක් මදි. මොකද අපි සත්‍යය කතා කරන්න පෙලඹෙන හේතුවත් ඔහුට වැදගත්. ඒක තේරුම්ගන්න යේසුස් මේ පොළොවේ ඉද්දී වෙච්ච සිද්ධියක් ගැන බලමු. (මාක් 3:11, 12 කියවන්න.) යේසුස් ගලීල මුහුද ගාව දේශනා කරකර ඉද්දී ලොකු පිරිසක් ඔහු වටා රොක් වුණා. එයාලා අතරේ භූතයන් ආවේශ වුණ අයත් හිටියා. එයාලා යේසුස් ඉස්සරහා බිම වැටිලා කෑගහලා කිව්වා “ඔබ දෙවියන්ගේ පුතා” කියලා. ඇයි භූතයන් ඒ වෙලාවේ යේසුස් ගැන ඇත්ත කිව්වේ? පේන විදිහට එයාලට ඕනෙ වුණේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගෙන මිනිස්සු යෙහෝවා ගැන විශ්වාසයක් ඇති කරගන්න එක වළක්වන්න. ඒ වෙලාවේ භූතයන් කිව්වේ සත්‍යය. හැබැයි එයාලට තිබුණේ ආත්මාර්ථකාමී චේතනාවක්. කොහොමවුණත් ඒ භූතයන්ට යේසුස්ව මෝඩයාට අන්දන්න බැරි වුණා. යේසුස් එයාලට කිව්වා ඔහු ගැන කියන එක නතර කරන්න කියලා.
8 මේ වාර්තාවෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද? අපි සත්‍යය කියන්න පෙලඹෙන චේතනාව යෙහෝවාට ගොඩක් වැදගත්. අපි අනිත් අයට සත්‍යය උගන්නන්න පෙලඹෙන්න ඕනෙ යෙහෝවාට තියෙන ආදරේ නිසා මිසක් අපිට අවධානය ඇදගන්න නෙවෙයි. කවුරු හරි අපිට ප්‍රශංසා කළොත් අපි ඉක්මනටම ඒ ප්‍රශංසාව යෙහෝවාගේ පැත්තට හරවන්න ඕනේ.—මතෙ. 5:16; ක්‍රියා 14:12-15.
ඔයා සත්‍යය උගන්නන්නේ ඔයාට අවධානය එන විදිහටද, යෙහෝවාට අවධානය යන විදිහටද? (7-8 ඡේද බලන්න)
9. අපි කරන්න හොඳ නැත්තේ මොකක්ද? ඒ ඇයි?
9 අපිටම ගෞරවය ගන්න එකෙන් වැළකෙන්න පුළුවන් තවත් පැත්තක් ගැන අපි දැන් බලමු. හිතන්න, වගකීම් දරන සහෝදරයෙක් ඔයාට රහසිගත කාරණාවක් ගැන කිව්වා කියලා. ඊටපස්සේ ඔයා ඒක තව අයට කියනවා. ඒක අහපු අය පස්සේ දැනගත්තාම ඔයා කියපු දේ ඇත්තයි කියලා සමහරවිට එයාලා හිතයි ‘ෂා, නියමයිනේ. මෙයා මේ වගේ දේවල් ගොඩක් දන්නවා ඇති’ කියලා. සමහරවිට ඊටපස්සේ එයාලා ඔයාව ගොඩක් වැදගත් කෙනෙක් කියලා සලකයි, ඔයාට ගොඩක් ගෞරව කරයි. හැබැයි යෙහෝවා නම් ඔයා කරපු දේ ගැන පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ. (හිතෝ. 11:13) මොකද ඔයා කියපු දේ ඇත්ත වුණත් රහසිගත කාරණයක් ඒ විදිහට කියන්න ඔයාට අයිතියක් නැහැ. අනික ඔයා ඒක අනිත් අයට කියපු චේතනාවත් වැරදියි.
සත්‍යය කතා කරන්න ඕනෙ කොහොමද?
10. “කාරුණිකව” කතා කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (කොලොස්සි 4:6)
10 කොලොස්සි 4:6 කියවන්න. පාවුල් කොලොස්සියේ හිටපු අයට මතක් කළා “හැම වෙලාවෙම කාරුණිකව කතා කරන්න” කියලා. මුල් භාෂාවට අනුව ඒකෙන් අදහස් වෙන්නේ අපි කතා කරන දේවල් අනිත් අයට ප්‍රයෝජනවත් වෙන්න ඕනෙ වගේම අනිත් අයට ඒක භාරගන්න පුළුවන් විදිහට අපි ආදරෙන් කතා කරන්න ඕනෙ කියන එකයි.
11-12. සත්‍යය කියන විදිහ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි? උදාහරණයක් කියන්න. (පින්තූරත් බලන්න.)
11 අනිත් අයට බයිබලේ තියෙන දේවල් උගන්නද්දී පාවුල් කිව්වා වගේ අපි කාරුණික වෙන්න ඕනේ. බයිබලේ තියෙන සත්‍යයන් හරියට මුවහත් කඩුවක් වගේ කියලා බයිබලේම කියනවා. ඒක කොච්චර තියුණුද කියනවා නම් ඒකට පුළුවන් පිටින් පේන පුද්ගලයාවයි, එයා ඇතුළාන්තයෙන් ඇත්තටම කොයි වගේ කෙනෙක්ද කියලයි වෙන් කරලා පෙන්නන්න. (හෙබ්‍රෙ. 4:12) හැබැයි අපි බයිබලේ දක්ෂ විදිහට පාවිච්චි කළේ නැත්නම් ඒකෙන් වෙන්න ඕන වැඩේ හරියට වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙනුවට ඒකෙන් කෙනෙක් අප්සෙට් යන්න, අපිත් එක්ක වාදයට පැටලෙන්න වුණත් ඉඩ තියෙනවා.
12 මේ උදාහරණේ බලන්න. සේවේ යද්දී ඔයාට රූපවලට නමස්කාර කරන, නත්තල පාස්කුව වගේ උත්සව සමරන කෙනෙක්ව හම්බ වෙනවා. ඕනෙ නම් ඔයාට පුළුවන් බයිබලේ පාවිච්චි කරලා රූපවලට වඳින එක කොච්චර මෝඩද කියලත් නත්තල පාස්කුව වගේ උත්සව පටන් අරන් තියෙන්නේ බොරු දේවලින් කියලත් පෙන්නන්න. (යෙසා. 44:14-20; 2 කොරි. 6:14-17) ඒ වෙලාවේ ඔයා එයාට කියලා දෙන්නේ සත්‍යය. හැබැයි එයාව හම්බ වුණ මුල්ම වතාවේදීම බයිබලෙන් ඒ වගේ දේවල් පෙන්නුවොත් ඔයා බයිබලේ දක්ෂ විදිහට පාවිච්චි කළා කියන්න පුළුවන්ද?
දක්ෂ විදිහට බයිබලේ තියෙන සත්‍යයන් උගන්නන්න පුළුවන් කොහොමද? (11-12 ඡේද බලන්න)a
13. අපේ කතාව ලුණුවලින් රසවත් කරන්න පුළුවන් කොහොමද?
13 අපේ කතාබහ ලුණුවලින් රසවත් කරන්න කියලත් පාවුල් කිව්වා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඇත්ත හංගලා වෙනම දෙයක් කියන්න ඕන කියලා. ඒ වෙනුවට පාවුල් මේ කියන්නේ අපි සත්‍යය ගැන අනිත් අයට උගන්නද්දී අහන් ඉන්න අයගේ “රසට” අනුව ඒක කියන්න ඕනෙ කියලයි. (යෝබ් 12:11) ඒක සමහරවිට අපිට අභියෝගයක් වෙන්න පුළුවන්. හිතන්න, අපි මොකක් හරි කෑමක් හැදුවාම ඒක අපිට රසයි නම් අපි සමහරවිට හිතනවා ඒක අනිත් අයටත් රස වෙයි කියලා. ඒ වගේ අපි කතා කරන විදිහ අපිට හරියි කියලා හිතෙනවා නම් සමහරවිට අපිට හිතෙන්න පුළුවන් අනිත් අයටත් එහෙම කතා කළාට කමක් නැහැ කියලා. නැහැ, ඒක එහෙම නෙවෙයි. සමහර සංස්කෘතීන්වල වයසින් වැඩි කෙනෙක්ට වුණත් දේවල් කෙළින්ම කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි තවත් සංස්කෘතිවල අයට එහෙම කතා කරන එක දරාගන්න අමාරුයි. එයාලා හිතන්නේ ඒක හරිම අකාරුණික දෙයක් කියලා. ඒකයි පාවුල් කිව්වේ “එක් එක් කෙනාට උත්තර දෙන්න ඕනෙ විදිහ” අපි තේරුම්ගන්න ඕනෙ කියලා. ඒ කියන්නේ අපි දෙයක් කියන්න ඕනෙ අපිට කැමති විදිහට, අපේ සංස්කෘතියට අනුව, අපේ රසයට අනුව නෙවෙයි අහන් ඉන්න කෙනාට රසයක් දැනෙන විදිහට.
සත්‍යය කියන්න ඕනෙ කොයි වෙලාවේදීද?
14. පොළොවේ ඉද්දී යේසුස් දන්න හැම දෙයක්ම ඔහු ගෝලයන්ට කිව්වාද? පැහැදිලි කරන්න.
14 යේසුස් හැම වෙලාවෙම ගෝලයන්ට කතා කළේ කාරුණිකව. ඔහු හරිම ආදරෙන් එයාලට ගොඩක් දේවල් ඉගැන්නුවා. (මාක් 6:34) හැබැයි එයාලට ඉගෙනගන්න තව දේවල් තිබුණා. යේසුස් ඔහු දන්න හැම දේම එයාලට උගන්නන්න හැදුවේ නැහැ. මොකද එයාලාගේ සීමාව ඔහු තේරුම්ගත්තා. ඔහු තේරුම්ගත්තා සමහර සත්‍යයන් කියන්න ඒක හරි කාලය නෙවෙයි කියලා. ඒකයි ඔහු කිව්වේ සමහර දේවල් ඒ වෙලාවේ එයාලාගේ හිතට ගන්න බැහැ කියලා. (යොහ. 16:12) ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?
15. බයිබල් පාඩමක් පටන්ගත්ත ගමන්ම අපි දන්න හැම දේම එයාට කියන්න ඕනෙද? පැහැදිලි කරන්න. (හිතෝපදේශ 25:11) (පින්තූරයත් බලන්න.)
15 යේසුස් වැඩ කරපු විදිහෙන් පේනවා අපි බයිබලේ තියෙන සත්‍යයන් දැනගත්තා කියලා ඒ හැම දේම එකපාර ශිෂ්‍යයාට කියන්න ඕන නැහැ කියන එක. අපිට කොහොමද පුළුවන් යේසුස්ව ආදර්ශයට ගන්න? ඒකට අපි මුලින්ම මිනිස්සුන්ගේ තත්වය තේරුම්ගන්න ඕනේ. අපි කලින් කතා කරපු නත්තල පාස්කුව සමරන කෙනා ගැන ටිකක් හිතන්න. අපි දන්නවා එයා සමරන ඒ දේවල් පටන් අරන් තියෙන්නේ බොරු ආගම්වලින් කියලා. යෙහෝවා ඒවාට පොඩ්ඩක්වත් කැමති නැහැ. හැබැයි ඔයා බයිබල් පාඩම පටන්ගත්තේ නත්තලට සතියකට, දෙකකට කලින් කියලා හිතන්න. ඔයා ඒ වෙලාවේ ඒක වැරදියි කියලා බයිබලෙන් පෙන්නුවොත් ඔයා කතා කළේ කාරුණිකව කියලා කියන්න පුළුවන්ද? එයා නත්තල සමරන එක එකපාරට නවත්තයි කියලා ඔයා එයාගෙන් බලාපොරොත්තු වෙන එක හරිද? ඇත්ත, සමහර ශිෂ්‍යයන් බයිබලෙන් ඉගෙනගන්න දේවල් ඉක්මනටම අදාළ කරගෙන වෙනස්කම් කරගන්නවා. හැබැයි තවත් අයට එයාලා හිතන විදිහ, වැඩ කරන විදිහ වෙනස් කරගන්න ටික කාලයක් යනවා. ඉතින් බයිබල් ශිෂ්‍යයෙක්ට වෙනස්කම් කරගන්න උදව් කරන්න නම් අපි එයාට කියන්න ඕනෙ මොනවාද, ඒක කියන්න ඕන නියම වෙලාව මොකක්ද කියලා තේරුම්ගන්න ඕනේ. නියම වෙලාව කියන්නේ දේවල් එයාගේ හිතට දරාගන්න පුළුවන් වෙලාව කියලා අපි මතක තියාගන්න ඕනේ.—හිතෝපදේශ 25:11 කියවන්න.
යේසුස් වගේ සත්‍යය කියන්න ඕනෙ කොයි වෙලාවටද, තොරතුරු කොච්චරක් කියනවාද කියලා හිතන්න (15 ඡේදය බලන්න)
16. “දිගටම සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න” බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?
16 යෙහෝවා ගැන අනිත් අයට උගන්නද්දී දැනෙන සතුට වචනවලට පෙරළන්න බැහැ. අපිට පුළුවන් බයිබල් ශිෂ්‍යයන්ට “දිගටම සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න” උදව් කරන්න. (3 යොහ. 3, 4) ඒකට දේවල් කීපයක්ම කරන්න තියෙනවා. එක දෙයක් තමයි එයාලට හොඳ ආදර්ශයක් වෙන එක. ඔයාට බයිබලේ තියෙන දෙවියන්ගේ පොරොන්දු 100%ක් විශ්වාසයි කියලා ඔයා ජීවත් වෙන විදිහෙන් එයාලට පේන්න ඕනේ. ඔයා සත්‍යය උගන්නන්න ඕනෙ හරි චේතනාවෙන්. ඔයා කාරුණිකව, ආදරෙන්, හරි විදිහට, නියම වෙලාවට සත්‍යය කියලා දෙන්න ඕනේ. ඔයාට කවුරු හරි ප්‍රශංසා කරද්දී ඒ ප්‍රශංසාව යෙහෝවාගේ පැත්තට හරවන්න ඕනේ. ඔයා එහෙම කරනවා නම් ඔයා අයිති “සත්‍යය පවසන යෙහෝවා දෙවියන්ට” කියලා පෙන්නන්න ඔයාට පුළුවන්.
ගීතිකාව 160 “ශුභාරංචිය!”
a පින්තූරවල අදහස: පළවෙනි පින්තූරේ, සහෝදරයා දකිනවා ගෙහිමියාගේ ගෙදර නත්තල් ගහක් තියෙනවා. නත්තල පටන්ගත්තේ බොරු ආගමෙන් කියලා තියෙන ලිපියක් එයා ගෙහිමියාට පෙන්නනවා. දෙවෙනි පින්තූරේ, හොඳ තාත්තා කෙනෙක් වෙන්න උදව් වෙන යෝජනා තියෙන ලිපියක් එයා ගෙහිමියාට පෙන්නනවා. ඔයා හිතන විදිහට මේ දෙකෙන් මොන අවස්ථාව වැඩියෙන් සාර්ථක වෙයිද?