ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 ඔක්තෝබර් 12-17 පි.
  • දෙවියන් ඔයාව ශක්තිමත් කරනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් ඔයාව ශක්තිමත් කරනවා
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යාච්ඤාව සහ අධ්‍යයනය මාර්ගයෙන්
  • සහෝදර සහෝදරියන් මාර්ගයෙන්
  • බලාපොරොත්තුව මාර්ගයෙන්
  • වැරදිවලින් පාඩමක් ඉගෙනගත් කෙනෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • වැරදිවලින් පාඩමක් ඉගෙනගත් යෝනා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃවහන්සේගේ දයාව ගැන යෝනා ඉගෙනගනියි
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උත්සාහ කරන්න, යෙහෝවා බලන විදිහටම අන් අය දෙස බලන්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 ඔක්තෝබර් 12-17 පි.

පාඩම් ලිපිය 43

දෙවියන් ඔයාව ශක්තිමත් කරනවා

‘යෙහෝවා දෙවියන් ඔබව ස්ථිර කර ශක්තිමත් කරනු ඇත.’—1 පේතෘ. 5:10.

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

මේ ලිපියෙන්a

1. අතීතයේදී දෙවියන් ඔහුගේ සේවකයන්ව ශක්තිමත් කළේ කොහොමද?

අතීතයේදී දෙවියන්ට විශ්වාසවන්තව හිටපු හුඟක් අය හිටියා. බයිබලේ එයාලව ශක්තිමත් අය විදිහට හඳුන්වලා තියෙනවා. හැබැයි ඒ වගේ ශක්තිමත්ම අයට වුණත් සමහර අවස්ථාවලදී දුර්වලයි කියලා දැනුණා. උදාහරණෙකට දාවිත්ට සමහර වෙලාවට හිතුණා එයා ‘කන්දක් වගේ ශක්තිමත්’ කියලා. ඒත් තවත් වෙලාවට එයා කිව්වා ‘මම කැලඹිලා ඉන්නේ’ කියලා. (ගීතා. 30:7) දෙවියන්ගෙන් ලැබුණ බලය නිසා අසාමාන්‍ය ශක්තියක් තිබුණ සැම්සන් ගැන හිතන්න. එයා කොච්චර ශක්තිමත් වුණත් එයාට දෙවිගේ බලය ලැබුණේ නැත්නම් ඒ ‘ශක්තිය නැති වෙලා එයා සාමාන්‍ය මනුස්සයෙක් වගේ වෙයි’ කියලා එයා හොඳටම දැනන් හිටියා. (විනි. 14:5, 6; 16:17) ඒ දේවල්වලින් පැහැදිලියි ඒ හැමෝම බලවත් වුණේ යෙහෝවාගෙන් ලැබුණ ශක්තිය නිසා කියලා.

2. දුර්වල වුණත් එයා බලවත් කියලා පාවුල් කිව්වේ ඇයි? (2 කොරින්ති 12:9, 10)

2 දෙවිගේ බලය නැතුවම බැහැ කියලා පාවුල් වුණත් පිළිගත්තා. (2 කොරින්ති 12:9, 10 කියවන්න.) මොකද අපෙන් හුඟදෙනෙක්ට වගේ පාවුල්ටත් අසනීප තිබුණා. (ගලා. 4:13, 14) සමහර වෙලාවට හරි දේ කරන්න එයාට ලොකු සටනකුත් කරන්න වුණා. (රෝම 7:18, 19) ඉස්සරහට මොනවා වෙයිද කියලා එයාට ලොකු බයක්, කනස්සල්ලක් දැනුණ වෙලාවලුත් තිබුණා. (2 කොරි. 1:8, 9) ඒත් ඒ වගේ දුර්වල අවස්ථාවලදීම එයා ගොඩක් බලවත් වුණා. මොකද යෙහෝවා ශක්තිය දීලා එයාගේ අඩුව පිරෙව්වා.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 යෙහෝවා අපිවත් ශක්තිමත් කරනවා කියලා පොරොන්දු වෙනවා. (1 පේතෘ. 5:10) හැබැයි අපේ පැත්තෙන් කිසි දෙයක් නොකර ඒ ශක්තිය නිකම්ම ලැබෙයි කියලා අපිට හිතන්න බැහැ. ඒක තේරුම්ගන්න මේ උදාහරණය බලන්න. වාහනයක් පණගැන්වෙන්නේ ඒකේ එන්ජිමෙන්. හැබැයි එන්ජිමක් තිබුණා කියලාම ඒක ඉස්සරහට යන්නේ නැහැ. ඒකට රියදුරාගේ පැත්තෙනුත් දෙයක් කරන්න ඕනේ. එයා ඇක්සලරේටර් එක පාගලා වාහනේ ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒ වගේ තමයි යෙහෝවාත් අපිට ශක්තිය දෙන්න ඕනම වෙලාවක ලෑස්තියි. ඒත් ඒක ලබාගන්න අපි අපේ පැත්තෙනුත් දෙයක් කරන්න ඕනේ. හැබැයි යෙහෝවා අපිව ශක්තිමත් කරන්න දීලා තියෙන සැපයුම් මොනවාද? ශක්තිය ලබාගන්න අපි කරන්න ඕනෙ මොනවාද? යෝනා, යේසුස්ගේ අම්මා වුණ මරියා සහ පාවුල්ගේ ආදර්ශවලින් අපි ඒ ප්‍රශ්නවලට උත්තර බලමු. ඒ වගේම අදත් යෙහෝවා තමන්ගේ සේවකයන්ව ශක්තිමත් කරන විදිත් අපි බලමු.

යාච්ඤාව සහ අධ්‍යයනය මාර්ගයෙන්

4. යෙහෝවාගෙන් ශක්තිය ලබාගන්න අපි කරන්න ඕනෙ මොනවාද?

4 යෙහෝවාගෙන් ශක්තිය ලබාගන්න අපි කරන්න ඕනෙ එක දෙයක් තමයි යාච්ඤා කරන එක. අපි යාච්ඤා කරලා දෙවියන්ගේ උදව් ඉල්ලද්දී ඔහු අපිට “සාමාන්‍යය ඉක්මවූ බලය” දෙනවා. (2 කොරි. 4:7) අපිට ශක්තිය ලබාගන්න පුළුවන් තව විදිහක් තමයි දේවවචනය කියවලා ඒ ගැන හොඳට හිතන එක. (ගීතා. 86:11) මොකද බයිබලේ තියෙන පණිවිඩය ගොඩක් “බලවත්” එකක්. (හෙබ්‍රෙ. 4:12) ඒ විදිහට ඔයා යාච්ඤා කරද්දී, බයිබලේ කියවද්දී ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? දිගටම විඳදරාගන්න, සතුට දිගටම තියාගන්න එහෙම නැත්නම් අමාරු පැවරුමක් සාර්ථකව ඉටු කරන්න අවශ්‍ය ශක්තිය ඔයාට ලැබෙනවා. අපි දැන් යෙහෝවා දෙවියන් යෝනාට උදව් කරපු විදිහ බලමු.

5. යෝනාට ශක්තිය ඕනෙ වුණේ ඇයි?

5 එක අවස්ථාවකදී යෝනාට ගොඩක් ශක්තිය ඕනෙ වුණා. දවසක් යෙහෝවා එයාට දුන්න අමාරු පැවරුමක් කරන්නේ නැතුව එයා ඒකෙන් පැනලා ගියා. ඒ නිසා තව පොඩ්ඩෙන් දරුණු කුණාටුවක් නිසා එයාගේ ජීවිතේ නැති වෙනවා. එයාගේ විතරක් නෙවෙයි නැවේ හිටපු අනිත් අයගේ ජීවිතත් නැති වෙනවා. ඊටපස්සේ නැවේ හිටපු අය එයාව මුහුදට විසි කරද්දී ලොකු මාළුවෙක් එයාව ගිල්ලා. යෝනා මීට කලින් කවදාවත් එච්චර අඳුරු, බය හිතෙන තැනක ඉඳලා නැතුව ඇති. ඒ වෙලාවේ යෝනාට කොහොම හැඟෙන්න ඇද්ද! ඒ මාළුවාගේ බඩ එයාගේ සොහොන වෙයි කියලා යෝනා හිතුවාද? යෙහෝවා එයාව අත්හැරියා කියලා එයාට හිතුණාද? ඒ කොහොමවුණත් එයාට ලොකු කනස්සල්ලක් නම් දැනෙන්න ඇති.

පින්තූරවල අදහස: 1. මාළුවාගේ බඩේ ඉඳන් යෝනා ගොඩක් වුවමනාවෙන් යෙහෝවාට යාච්ඤා කරනවා. 2. සහෝදරයෙක් එයාගේ කාමරයේ ඉඳන් යාච්ඤා කරනවා. එයාගේ එහා පැත්තේ බයිබලයක් සහ ඉයර්ෆෝන් ගහපු ස්මාට්ෆෝන් එකක් තියෙනවා.

පීඩාවකට මුහුණ දෙද්දී යෝනා වගේ ශක්තිය ලබාගන්න කරන්න පුළුවන් මොනවාද? (6-9 ඡේද බලන්න)

6. යෝනා 2:1, 2, 7 කියන විදිහට මාළුවාගේ බඩේ ඉද්දී යෝනාට ශක්තියක් වුණේ මොකක්ද?

6 කට්ට කළුවරේ තනියම ඒ විදිහට මාළුවාගේ බඩේ ඉද්දී යෝනා ශක්තිය ලබාගන්න කළේ මොනවාද? එයා කරපු එක දෙයක් තමයි යාච්ඤා කරන එක. (යෝනා 2:1, 2, 7 කියවන්න.) ඇත්ත, ඒ වෙද්දී යෝනා යෙහෝවා දෙවියන්ට ගොඩක් අකීකරු වෙලයි හිටියේ. ඒත් නිහතමානීව, පසුතැවිලි වෙලා යාච්ඤා කරද්දී යෙහෝවා අහක බලන්නේ නැහැ කියලා යෝනාට ලොකු විශ්වාසයක් තිබුණා. ශක්තිය ලබාගන්න යෝනා කරපු තවත් දෙයක් තමයි ශුද්ධ ලියවිල්ලේ තිබුණ වචන මතක් කරගන්න එක. අපි කොහොමද ඒක දන්නේ? යෝනා 2වෙනි පරිච්ඡේදයේ වාර්තා වෙලා තියෙන යාච්ඤාවේ හුඟක් වචන උපුටලා අරන් තියෙන්නේ ගීතාවලිය පොතෙන්. (උදාහරණෙකට යෝනා 2:2, 5 සහ ගීතාවලිය 69:1; 86:7 බලන්න.) ඒකෙන් තේරෙනවා යෝනාට ශුද්ධ ලියවිලි ගැන හොඳ දැනුමක් තිබුණා කියලා. ඒ අමාරු කාලේ ඒවා මතක් කරගත්ත එකෙන් යෝනාට සහතිකයක් ලැබුණා යෙහෝවා අනිවාර්යයෙන්ම එයාට උදව් කරයි කියලා. ඒ නිසා යෝනා ආපහු ගොඩට ආවාම එයාගේ පැවරුම බාරගන්න ලෑස්ති පිටයි හිටියේ.—යෝනා 2:10–3:4.

7-8. පීඩා දරාගන්න සහෝදර ෂිමිංට ශක්තිය ලැබුණේ කොහොමද?

7 පීඩාවලට මුහුණ දෙන්න යෝනාගේ ආදර්ශය අපිටත් ලොකු උදව්වක්. උදාහරණෙකට තායිවානයේ ඉන්න සහෝදර ෂිමිංගේb අද්දැකීම බලන්න. එයාට බරපතළ අසනීප ගොඩක් තියෙනවා. ඊට අමතරව දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න නිසා එයාගේ පවුලේ අයත් එයාට දරුණු විදිහට පීඩා කරනවා. ඒ හැම එකක්ම දරාගන්න එයාටත් උදව් වෙන්නේ යාච්ඤාව සහ පෞද්ගලික අධ්‍යයනය. ඒ ගැන ෂිමිං මෙහෙම කියනවා. “සමහර වෙලාවට ප්‍රශ්න එද්දී මගේ හිත කොච්චර කලබලයිද කියනවා නං එක තැන ඉඳලා පෞද්ගලික අධ්‍යයනය කරන්නවත් හිත දෙන්නේ නෑ. ඒත් ඒ වෙලාවට මං යෙහෝවාට යාච්ඤා කරනවා. ඊටපස්සේ මං ඉයර්ෆෝන් දෙක කනේ ගහගෙන ගීතිකා අහනවා. සමහර වෙලාවට ඒවා අහන ගමන් මාත් ඒවා හිමීට කියනවා. ඒවා අහලා මගේ හිත සන්සුන් වුණාට පස්සේ තමයි මං අධ්‍යයනය කරන්න පටන්ගන්නේ.”

8 පෞද්ගලික අධ්‍යයනය ෂිමිං හිතපුවත් නැති විදිවලින් එයාට ශක්තියක් වුණා. සැරයක් එයාට ලොකු ඔපරේෂන් එකක් කළා. ඒකෙන් පස්සේ නර්ස් එයාට කිව්වා එයාගේ රතු රුධිරාණු මට්ටම ගොඩක් පල්ලෙහා තියෙන නිසා එයාට ලේ දෙන්න වෙයි කියලා. ඒත් ඔපරේෂන් එකට කලින් දවසේ රෑ ෂිමිං එක සහෝදරියකගේ අද්දැකීමක් කියෙව්වා. ඒ සහෝදරියත් කරලා තියෙන්නේ ෂිමිං කරපු ඔපරේෂන් එකමයි. එයාගේ රතු රුධිරාණු මට්ටම ෂිමිංගේ මට්ටමටත් වඩා බැහැලා තිබුණා. ඒත් ලේ ගන්නේ නැතුව වුණත් ඒ සහෝදරිය සනීප වුණා. ඒ අද්දැකීම ෂිමිංට ලොකු ශක්තියක් වුණා දිගටම විශ්වාසවන්තව ඉන්න.

9. ප්‍රශ්නයක්, පීඩාවක් නිසා ඔයා දුර්වල වෙලා ඉන්නවා නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද? (පින්තූරත් බලන්න.)

9 පීඩාවක් මැදදී හිත කලබල නිසා හරියට යාච්ඤා කරගන්නවත් බැරි නම්? අධ්‍යයනය කරගන්න බැරි තරමටම මහන්සියක් දැනෙනවා නම්? එහෙමනම් ඔයා ඉන්න තත්වය යෙහෝවාට හොඳටම තේරෙනවා කියලා අමතක කරන්න එපා. ඒ වෙලාවේ ඔයා පුංචි යාච්ඤාවක් හරි කරනවා නම් ඔයාට ඕනම කරන ශක්තිය ඔහු දෙනවා කියලා ඔයාට සහතික වෙන්න පුළුවන්. (එෆී. 3:20) ඇඟපතේ වේදනාව නිසා නැත්නම් හිතේ වේදනාව නිසා දෙයක් කියවලා ඒ ගැන හිතන්න ඔයාට අමාරුයි නම් කරන්න පුළුවන් මොකක්ද? ඒ වෙලාවට ඔයාට පුළුවන් බයිබලේ හරි අපේ ප්‍රකාශනවල හරි ඕඩියෝ රෙකෝඩිං අහන්න. ඒ වගේම jw.org වෙබ් අඩවියේ තියෙන අපේ සිංදුවක් නැත්නම් වීඩියෝ එකක් බලන්නත් ඔයාට පුළුවන්. අපි බලපු විදිහට ඔයා යෙහෝවාට යාච්ඤා කරනවා නම්, ඔහු දීලා තියෙන සැපයුම්වලින් ඒ යාච්ඤාවට උත්තර හොයනවා නම් ඔයා කරන්නේ ඔයාව ශක්තිමත් කරන්න යෙහෝවාට දොර ඇරලා දෙන එකයි.

සහෝදර සහෝදරියන් මාර්ගයෙන්

10. අපේ සහෝදර සහෝදරියන් අපිව ශක්තිමත් කරන්නේ කොහොමද?

10 අපිව ශක්තිමත් කරන්න යෙහෝවා දෙවියන් අපේ සහෝදර සහෝදරියන්වත් පාවිච්චි කරනවා. ප්‍රශ්නයක් එක්ක හැප්පෙද්දී, අමාරු පැවරුමක් සාර්ථකව කරන්න ලොකු සටනක් කරද්දී එයාලා අපිට “ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්” වෙනවා. (කොලො. 4:10, 11) විශේෂයෙන්ම “විපතකදී” අපිට එයාලාගේ උදව් ගොඩක් ඕනෙ වෙනවා. (හිතෝ. 17:17) අපි වැටිලා ඉන්න වෙලාවේ එයාලා අපිව සනසනවා, දිරිගන්වනවා. ඒ වගේම අපිට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා හොයලා බලලා දිගටම විශ්වාසවන්තව ඉන්න අපිට ලොකු හයියක් වෙනවා. යේසුස්ගේ අම්මා වුණ මරියාත් අනිත් අයගේ උදව්වලින් ගොඩක් ප්‍රයෝජන ලබපු කෙනෙක්. අපි දැන් එයා ගැන බලමු.

11. මරියාට ශක්තිය ඕනෙ වුණේ ඇයි?

11 මරියාටත් ශක්තිය ඕනෙ වුණ අවස්ථාවක් ආවා. මරියාට දරුවෙක් ලැබෙනවා කියලා ගාබ්‍රියෙල් දේවදූතයා කියද්දී මරියා විවාහ වෙලා හිටියේ නැහැ. ඒ වෙලාවේ එයාට කොච්චර බයක් දැනෙන්න ඇද්ද! මොකද දරුවන් ඇතිදැඩි කරලා එයාට කිසිම අද්දැකීමක් තිබුණේ නැහැ. අනික එයාට ඉපදෙන්න හිටපු දරුවා තමයි අනාගත ගැලවුම්කරු. ඒක කොච්චර බරපතළ පැවරුමක්ද! ඒ විතරක් නෙවෙයි ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැතුව එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා එයා බඳින්න හිටපු යෝසෙප්ට පැහැදිලි කරන්නේ කොහොමද?—ලූක් 1:26-33.

12. ලූක් 1:39-45 කියන විදිහට ශක්තිය ලබාගන්න මරියා කළේ මොකක්ද?

12 මරියාට ලැබුණ මේ විශේෂ පැවරුම කරන්න එයාට ශක්තිය ලැබුණේ කොහොමද? ඒකට එයා අනිත් අයගෙන් උදව් ගත්තා. උදාහරණෙකට එයාගේ පැවරුම ගැන තවත් ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද කියලා එයා ගාබ්‍රියෙල් දේවදූතයාට කිව්වා. (ලූක් 1:34) ඊට ටික කාලෙකට පස්සේ එයාගේ නෑදෑයෙක් වන එලිසබෙත්ව බලන්න එයා සෑහෙන දුරක් ගෙවාගෙන “කඳුකරයේ පිහිටි යූදාහි එක්තරා නුවරකට” ගියා. එහෙට ගිය එකෙන් එයාට ගොඩක් ප්‍රයෝජන ලැබුණා. මොකද එලිසබෙත් මරියාව හුඟක් අගය කළා. යෙහෝවාගේ මඟ පෙන්වීමෙන් මරියාගේ කුසේ ඉන්න දරුවා ගැන අනාවැකියකුත් කියලා එයා මරියාව දිරිගැන්නුවා. (ලූක් 1:39-45 කියවන්න.) ඒ නිසා තමයි යෙහෝවා ‘ඔහුගේ මහත් බලයෙන් පුදුමසහගත ක්‍රියා කරලා තියෙනවා’ කියලා මරියාට කියන්න පුළුවන් වුණේ. (ලූක් 1:46-51) ඒ විදිහට ගාබ්‍රියෙල් සහ එලිසබෙත් මාර්ගයෙන් යෙහෝවා දෙවියන් මරියාව ශක්තිමත් කළා.

13. අනිත් අයගෙන් උදව් ගත්ත නිසා එක සහෝදරියක් ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

13 මරියා වගේ අනිත් අයගෙන් ශක්තිය ලබාගන්න ඔයාටත් පුළුවන්. බොලීවියාවේ සහෝදරි දසුරිගේ අද්දැකීමත් ඒකයි. බරපතළ අසනීපයක් නිසා එයාගේ තාත්තා මරණාසන්නව හිටියේ. දසුරි කැමැත්තෙන්ම තාත්තාගේ හැම වගකීමක්ම කරට ගත්තා. (1 තිමෝ. 5:4) ඒත් ඒක කරන එක ලේසි වුණේ නැහැ. “තවත් නං දරාගන්න බෑ කියලා හිතපු අවස්ථා ඕන තරම් තිබුණා” කියලා අපේ සහෝදරි කියනවා. හැබැයි එයා ඒ වෙලාවේ කාගෙන්වත් උදව් ඉල්ලුවේ නැහැ. ඒ ඇයි? ඒකට හේතුව ගැන දසුරි මෙහෙම කියනවා. “මං කැමති වුණේ නෑ සහෝදරයන්ට කරදරයක් වෙන්න. අනික මං හිතුවා ‘මට උදව් කරන්න යෙහෝවා ඉන්නවානේ’ කියලා. හැබැයි මට පස්සේ තේරුණා සහෝදරයන්ගෙන් උදව් ඉල්ලන්නේ නැතුව හිටපු එකෙන් ඇත්තටම වුණේ මං එයාලාගෙන් ඈත් වෙලා ප්‍රශ්න එක්ක තනි වුණ එක විතරයි කියලා.” (හිතෝ. 18:1) ඉතින් එයා තීරණය කළා එයා ඉන්න තත්වය ගැන පැහැදිලි කරලා යාළුවෝ කීපදෙනෙක්ට ලියුම් ලියන්න. ඊටපස්සේ වුණ දේ ගැන දසුරි මෙහෙම කියනවා. “එයාලා නිසා මං කොච්චර ශක්තිමත් වුණාද කියලා මට වචනවලින් කියාගන්න බෑ. තාත්තා ඉස්පිරිතාලේ ඉද්දී එයාලා කෑම ගෙනාවා. බයිබල් පද පෙන්නලා මාව දිරිගැන්නුවා. මට දැනුණා මං තනි වෙලා නෑ, මාත් එක්ක හුඟක් අය ඉන්නවා කියලා. අපි හැමෝම යෙහෝවාගේ පවුලේ අය. ඒ පවුලේ කෙනෙක් වැටෙද්දී එයාට අත දෙන්න, එකට ඉඳගෙන අඬන්න, එකතු වෙලා එයාගේ ප්‍රශ්න එක්ක හැප්පෙන්න ඕන තරම් අය ඉන්නවා.”

14. අපි වැඩිමහල්ලන්ගේ උදව් පිළිගන්න ඕනෙ ඇයි?

14 යෙහෝවා අපිට ශක්තිය දෙන්න වැඩිමහල්ලන්වත් පාවිච්චි කරනවා. ඇත්තටම එයාලා අපිට දිරියක් වෙන, අපිව ප්‍රාණවත් කරන තෑගි. (යෙසා. 32:1, 2) ඒ නිසා ඔයාට කනස්සල්ලක්, පීඩනයක් දැනෙද්දී ඒ ගැන වැඩිමහල්ලන්ට කියන්න. එයාලා දෙන උදව් සතුටින් බාරගන්න. ඔයා එහෙම කරද්දී යෙහෝවාට පුළුවන් එයාලව පාවිච්චි කරලා ඔයාව ශක්තිමත් කරන්න.

බලාපොරොත්තුව මාර්ගයෙන්

15. අපිට තියෙන වටිනා බලාපොරොත්තුව මොකක්ද?

15 බයිබලේ තියෙන අපේ බලාපොරොත්තුවට පුළුවන් අපේ ජීවිතේට ජවයක් දෙන්න. (රෝම 4:3, 18-20) ක්‍රිස්තියානීන් විදිහට පාරාදීස පොළොවක හරි ස්වර්ගයේ හරි සදාකාලෙටම ජීවත් වෙන්න අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ඇත්තටම මිල කරන්න බැරි තෑග්ගක්. පීඩා විඳදරාගන්න, ශුභාරංචිය දේශනා කරන්න, සභාවේ අපිට ලැබෙන ඕනම පැවරුමක් ඉටු කරන්න ඒක අපිට ලොකු ශක්තියක්. (1 තෙස. 1:3) පාවුල්ටත් හයියක් වුණේ ඒ බලාපොරොත්තුවමයි.

16. පාවුල්ට ශක්තිය ඕනෙ වුණේ ඇයි?

16 කොරින්තිවරුන්ට ලියපු ලිපියේ පාවුල් එයාව දුර්වල මැටි භාජනයකට සමාන කළා. මොකද පාවුල්ව “තළාපෙළා දැමුවා.” එයා “ව්‍යාකූල වෙලා හිටියා.” එයාට “පීඩා කළා.” එයාව “බිමටම ඇද දැමුවා.” ඒ විතරක් නෙවෙයි සමහර අවස්ථාවලදී එයාගේ ජීවිතේ බේරුණෙත් අනූනවයෙන්. (2 කොරි. 4:8-10) ඒ දේවල්වලට මුහුණ දුන්නා කියලා පාවුල් ලිව්වේ එයාගේ තුන්වෙනි මිෂනාරි ගමන අතරතුරේදී. හැබැයි එයා ඒ වෙලාවේ දැනන් ඉන්න නැතුව ඇති එයාට ඊටත් වඩා දේවල්වලට ඉස්සරහට මුහුණ දෙන්න වෙනවා කියලා. මොකද ඊටපස්සෙත් එයා මැර ප්‍රහාරවලට ලක් වුණා. එයාව අත්අඩංගුවට ගත්තා. එයා ගිය නැව් මුහුදුබත් වුණා. ඒ වගේම එයාව හිරේ දැම්මා. ඒ හැම දේටම මුහුණ දෙන්න පාවුල්ට ගොඩක් ශක්තිය ඕනෙ වුණා.

17. 2 කොරින්ති 4:16-18 කියන විදිහට දිගටම පීඩා විඳදරාගන්න පාවුල්ට ශක්තියක් වුණේ මොකක්ද?

17 එච්චර දේවල්වලට මුහුණ දෙන්න පාවුල්ට ශක්තියක් වුණේ එයාගේ බලාපොරොත්තුව. (2 කොරින්ති 4:16-18 කියවන්න.) එයා කොරින්තියේ හිටපු ක්‍රිස්තියානීන්ට කිව්වා එයාගේ ශරීරය “දිරාපත් වෙමින් ගියත්” එයාව අධෛර්යය කරන්න ඒකට කිසිම ඉඩක් දෙන්නේ නැහැ කියලා. මොකද පාවුල් හැම තිස්සේම හිතුවේ එයාගේ අනාගත බලාපොරොත්තුව ගැන. ඒක එයාට කොච්චර වටිනවාද කියනවා නම් ස්වර්ගයේ එයාට ලැබෙන්න තියෙන “අතිමහත් මෙන්ම සදාකාලික තේජස” වෙනුවෙන් එයා ඕනම පීඩාවක් විඳදරාගන්න කැමැත්තෙන් හිටියා. ඒ විදිහට එයාගේ බලාපොරොත්තුව ගැන හැම තිස්සේම හිතපු නිසා පාවුල්ට දැනුණේ එයා ‘දවසින් දවස අලුත් වෙනවා’ වගේ.

18. ටීහෝමීර්ටයි, එයාගේ පවුලේ අයටයි බලාපොරොත්තුව ශක්තියක් වුණේ කොහොමද?

18 අපි දැන් බල්ගේරියාවේ ඉන්න සහෝදර ටීහෝමීර්ගේ අද්දැකීම බලමු. මීට අවුරුදු කීපයකට කලින් එයාගේ මල්ලී ස්ට්‍රාව්කෝ ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. කාලයක් යන කල් එයාට ඒ දුක දරාගන්න ලේසි වුණේ නැහැ. ඒ දුක තුනී කරගන්න එයා මොකද කළේ? එයායි, එයාගේ පවුලේ අයයි එකතු වෙලා නැවත නැඟිටීම සිද්ධ වෙන කාලේ කොයි වගේ වෙයිද කියලා කතා වුණා. එයා මෙහෙම කියනවා. “අපි කතා වෙනවා අපේ මල්ලී නැවත නැඟිටලා එද්දී ‘අපිට එයාව කොහේදී හම්බ වෙයිද, එයාට කන්න හදලා දෙන්නේ මොනවාද, එයා වෙනුවෙන් දාන පළවෙනි පාටියට එන්න කියන්නේ කාටද, අවසාන කාලේ වෙච්ච දේවල් ගැන අපි එයාට කියන්නේ මොනවාද’ වගේ දේවල් ගැන.” ටීහෝමීර් කියනවා ඒ විදිහට බලාපොරොත්තුව ගැන හිතන එකෙන් මුළු පවුලම ශක්තිමත් වෙනවා කියලා. යෙහෝවා එයාගේ මල්ලීව නැවත නැඟිට්ටන කල් ඉවසීමෙන් බලන් ඉන්න ඒක එයාලට ලොකු හයියක්.

බිහිරි සහෝදරියක් සංඥා භාෂාවෙන් තියෙන “සිටිමි ඔබ හා පාරාදීසේ” කියන මියුසික් වීඩියෝ එක බලන අතරේ එයා පාරාදීසේ ඉන්න විදිහ හිතින් මවාගන්නවා. අනිත් අයත් එක්ක එකතු වෙලා චෙලෝ එක වාදනය කරන විදිහ එයා හිතනවා.

පාරාදීසේ ඔයාගේ ජීවිතේ කොයි වගේ එකක් වෙයිද? (19 ඡේදය බලන්න)c

19. බලාපොරොත්තුව ශක්තිමත් කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද? (පින්තූරයත් බලන්න.)

19 ඔයාගේ බලාපොරොත්තුව තව ශක්තිමත් කරගන්න ඔයාට පුළුවන් කොහොමද? ඔයා මේ පොළොවේ සදාකල් ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් පාරාදීසේ ගැන බයිබලේ තියෙන තොරතුරු කියවලා හොඳට හිතන්න. (යෙසා. 25:8; 32:16-18) පාරාදීසේ ජීවිතය කොයි වගේ එකක් වෙයිද කියලා හිතින් මවාගන්න. මනසින් එතන්ට යන්න. ඔයාට කාවද පේන්නේ? මොන වගේ සද්දද ඇහෙන්නේ? කොහොමද ඔයාට දැනෙන්නේ? ඒත් එකපාරටම පාරාදීසේ හිතින් මවාගන්න ඔයාට අමාරුයි නම් අපේ ප්‍රකාශනවල ඒ ගැන තියෙන පින්තූර බලන්න. එහෙම නැත්නම් ‘සිටිමි ඔබ හා පාරාදීසේ,’ ‘හරිම ළඟයි,’ ‘සිතින් මවාගන්න’ වගේ මියුසික් වීඩියෝ බලන්න. ඒ විදිහට අපේ බලාපොරොත්තුව හිතේ ස්ථිරවම තියාගන්නවා නම් අපිට තේරෙයි අපිට තියෙන ‘පීඩා හරිම සුළුයි. ඒවා තියෙන්නේ කෙටි කාලෙකට විතරයි’ කියලා. (2 කොරි. 4:17) ඔව්, අපිට මේ ලස්සන බලාපොරොත්තුව දුන්නේ යෙහෝවා දෙවියන්. ඒ බලාපොරොත්තුවම පාවිච්චි කරලා අපිව ශක්තිමත් කරන්න ඔහුට පුළුවන්.

20. දුර්වලව ඉද්දීත් අපිට ශක්තිමත් වෙන්න පුළුවන් කොහොමද?

20 අපි දුර්වල වෙලා ඉද්දී වුණත් ‘අපිට අවශ්‍ය ශක්තිය දෙවියන්ගෙන් ලබාගන්න පුළුවන්.’ (ගීතා. 108:13) ඒ ශක්තිය ලබාගන්න ඕනෙ කරන හැම දෙයක්ම ඔහු මේ වෙද්දීත් දීලයි තියෙන්නේ. ඒ නිසා අමාරු පැවරුමක් කරන්න, පීඩාවක් දරාගන්න, දිගටම සතුටින් ඉන්න උදව් ඕනෙ වෙද්දී ලොකු ඕනෑකමකින් යෙහෝවාට යාච්ඤා කරන්න. පෞද්ගලික අධ්‍යයනය කරලා ඔහුගේ මඟ පෙන්වීම් පතන්න. සහෝදර සහෝදරියන්ගේ උදව් පිළිගන්න. ඔයාට තියෙන බලාපොරොත්තුව හිතේ දිගටම දල්වාගෙන තියාගන්න. එහෙම කරද්දී ‘දෙවිගේ තේජවත් බලය මාර්ගයෙන් හැම දේම කරන්න අවශ්‍ය ශක්තිය ඔයාට ලැබෙයි. එතකොට ඕනම දෙයක් සාර්ථකව විඳදරාගන්නත් ඔයාගේ සතුට රැකගෙන ගොඩක් ඉවසිලිවන්තව වැඩ කරන්නත් ඔයාට පුළුවන් වෙයි.’—කොලො. 1:11.

මේ දේවල්වලින් ඔයාට ශක්තිය ලබාගන්න පුළුවන් කොහොමද?

  • යාච්ඤාවෙන් සහ පෞද්ගලික අධ්‍යයනයෙන්

  • සහෝදර සහෝදරියන්ගෙන්

  • අපේ බලාපොරොත්තුවෙන්

ගීතිකාව 33 ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න

a ඔයා කාලයක් තිස්සේ පීඩාවක් එක්ක ඔට්ටු වෙලා හොඳටම හති වැටිලා ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයාට ලැබිලා තියෙන පැවරුමක් කරගන්න බැරි තරමට අමාරුයි කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් මේ ලිපිය තියෙන්නේ ඔයා වෙනුවෙන්මයි. මොකද යෙහෝවා අපිට ශක්තිය දෙන්නේ කොහොමද කියලත් ඔහුගේ උදව් ලබාගන්න අපි කරන්න ඕනෙ මොනවාද කියලත් මේ ලිපියෙන් අපි බලනවා.

b සමහර නම් වෙනස් කර ඇත.

c පින්තූරේ අදහස: බිහිරි සහෝදරියක් බයිබලේ තියෙන පොරොන්දු ගැන ගැඹුරින් කල්පනා කරනවා. මියුසික් වීඩියෝ එකක් බලන අතරේ එයා පාරාදීසේ ඉන්න විදිහ හිතින් මවාගන්නවා.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න