ඔබේ දරුවන්ට උගන්වන්න
කොච්චර ප්‍රශ්න ආවත් යෝතම් දෙවිට කීකරුව හිටියා
දෙමාපියන්ගෙන් එක් කෙනෙක් දෙවිගෙන් ඈත් වුණොත් ඒගොල්ලන්ගේ දරුවට ලොකු දුකක් දැනෙයි. ඉස්සර කාලේ ජීවත් වුණු යෝතම් ඒ වගේ දේකට මුහුණ දුන්නා. දැන් අපි ඒ ගැන බලමු.
යෝතම්ගේ තාත්තාගේ නම උසියා. එයා හරිම බලවත් රජ කෙනෙක්. අවුරුදු ගාණක් තිස්සේ, ඒ කියන්නේ යෝතම් ඉපදෙන්නත් කලින් ඉඳලා උසියා රජ හොඳ දේවල් කළා. හැබැයි කාලයක් ගියාට පස්සේ එයා ගොඩාක් ආඩම්බර වුණා. කොච්චර ආඩම්බර වුණාද කියනවා නම් දෙවිගේ නීතිත් කැඩුවා. ඒ නිසා දෙවි එයාට දඬුවම් කළා. එයාට ලාදුරු රෝගය හැදුණා. ඒක භයානක ලෙඩක්. ඒක වෙද්දී යෝතම් තරුණයෙක්. යෝතම්ගේ තාත්තා දෙවිගෙන් ඈත් වුණත් යෝතම් මොකද කළේ කියලා ඔයා දන්නවාද?—a
යෝතම් දිගටම යෙහෝවා දෙවිට කීකරුව හිටියා. සමහරවිට දෙවිට කීකරුව ඉන්න එයාගේ අම්මා එයාට උදව් කරන්න ඇති. එයාගේ අම්මගේ නම යෙරුෂාහ්. ඒත් යෝතම්ගේ තාත්තා යෙහෝවා දෙවිගෙන් ඈත් වුණ නිසා දිගටම දෙවිට කීකරුව ඉන්න යෝතම්ට අමාරු වෙන්න ඇති.
ඔයාගේ අම්මා හරි තාත්තා හරි යෙහෝවා දෙවිට නමස්කාර කරන එක නතර කළොත් ඔයා මොකද කරන්නේ? ඔයාට ගොඩක් දුක හිතෙයි නේද?— සමහරවිට ඒ වගේ දෙයක් ගැන හිතන්නවත් ඔයා කැමති නැතුව ඇති. හැබැයි ඒ වගේ දෙයක් වුණොත් ඔයා මොකද කරන්නේ කියලා හිතන එක වැරදි දෙයක් නෙමෙයි. ඒ ඇයි කියලා තේරුම්ගන්න දාවිත් ලියපු දෙයක් ගැන දැන් අපි බලමු.
දාවිත්ගේ තාත්තගේ නම යෙස්සේ. එයා යෙහෝවා දෙවිට නමස්කාර කරපු හොඳ කෙනෙක්. දාවිත් එයාගේ තාත්තට ගොඩාක් ආදරේ කළා. හැබැයි දාවිත් ඊටත් වඩා වැඩියෙන් ආදරේ කළේ යෙහෝවා දෙවිටයි.
අපි කියවමු ගීතාවලිය 27:10. “මාගේ පියා හෝ මව හෝ මාව අත්හැරියත් යෙහෝවා දෙවි වන ඔබ මාව භාරගනු ඇත.” එතන කියන දේ ඔයාට තේරෙනවාද? දාවිත් කියන්නේ එයාගේ තාත්තා හරි අම්මා හරි යෙහෝවා දෙවිව අත්හැරියත් එයා නම් කවදාවත් දෙවිව අත්හරින්නේ නැහැ කියලයි.
ඔයාගේ අම්මා හරි තාත්තා හරි යෙහෝවා දෙවිව අත්හැරියොත් ඔයා දිගටම දෙවිට කීකරුව ඉන්නවාද?—ඒ ගැන හිතන එක ගොඩාක් හොඳයි. මොකද බයිබලයේ මේ වගේ අණක් දීලා තියෙනවා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.”
ඒ බයිබල් පදයෙන් කියන්නේ කොච්චර අමාරු වුණත් අපි යෙහෝවා දෙවිට හැම වෙලාවෙම කීකරු වෙන්න ඕනේ කියලයි. ඔයා හිතන විදිහට වැරදි දේවල්වලට අපිව ඇදගන්න හදන්නේ කවුද?—එහෙම කරන්න හදන්නේ සාතන්. එයා දෙවිගේ හතුරා. එයා “මේ ලෝකයේ පාලකයා” කියලා යේසුස් කිව්වා. බයිබලයේ තවත් තැනක සාතන්ව “සමාජයේ දෙවියා” විදිහටත් හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ අපි සාතන්ට භය වෙන්න ඕනෙද?—
නැහැ. යෙහෝවා දෙවි සාතන්ට වඩා ගොඩාක් බලවත් කියලා අමතක කරන්න එපා. අපි දෙවිට කීකරුව හිටියොත් දෙවි අපිව බලාගන්නවා. හරියට දෙවි දාවිත්ව බලාගත්තා වගේ. ගොලියත් කියන යෝධයාගෙන් දෙවි දාවිත්ව ආරක්ෂා කළේ කොහොමද කියලා ඔයාගේ බයිබලයෙන්ම කියවලා බලන්න. ඔයාත් දෙවිට කීකරු වුණොත් දාවිත්ව ආරක්ෂා කළා වගේ දෙවි ඔයාවත් ආරක්ෂා කරයි.
බයිබලයෙන් කියවා බලන්න
a ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී එම ප්රශ්නය දරුවාගෙන් අසන්න.