112වෙනි පරිච්ඡේදය
යේසුස්ගේ අන්තිම පාස්කුව අත ළඟය
නීසාන් 11වන අඟහරුවාදා නිම වේගන එද්දී ඔලීව කන්ද මත ප්‍රේරිතයන්ට උගන්වමින් සිටි යේසුස් තම ඉගැන්වීම අවසන් කරනවා. එය මොන තරම් කාර්ය බහුල, වෙහෙසකර දවසක් වෙන්න ඇද්ද! ඉන්පසු, සමහරවිට රාත්‍රිය ගත කරන පිණිස බෙතානියට ආපසු හැරී යන ගමන් ඔහු ගෝලයන්ට මෙසේ පවසනවා. “තව දවස් දෙකකින් පාස්කුව පැමිණෙන බව ඔබ දන්නහුය. මනුෂ්‍ය පුත්‍රයාව කණුවක ඇණ ගසන පිණිස භාර දෙනු ලබන්නේය.”
පෙනෙන ආකාරයට යේසුස් පසුවදා, එනම් නීසාන් 12වන බදාදා, ගත කරන්නේ තම ප්‍රේරිතයන් සමඟ නිස්කලංකවයි. ඊට කලින් දවසේදී ඔහු ආගමික නායකයන්ට ප්‍රසිද්ධියේම තරවටු කළා. එමනිසා, ඔහු දන්නවා ඔහුව මරා දැමීමට ඔවුන් සොයන බව. ඉතිං, බදාදා දවසේදී ඔහු ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් වැළකී සිටිනවා. ප්‍රේරිතයන් සමඟ පසුවදා සවස සැමරීමට නියමිතව තිබෙන පාස්කුවට කිසිම බාධාවක් පැමිණෙනවාට ඔහු කැමති නැහැ.
මේ අතරතුරේදී, නායක පූජකයන් හා යුදෙව්වන්ගේ වැඩිමහල්ලන් උත්තම පූජක කායෆස්ගේ මළුවේ එක්රැස් වී සිටිනවා. ඊට කලින් දවසේදී යේසුස් ඔවුන්ව හෙළා දැක තිබූ නිසා ඔවුන් තවමත් සිටින්නේ කේන්තියෙනුයි. ඒ නිසා, ඔවුන් කපටි උපායෙන් ඔහුව අල්ලා මරා දැමීමට කුමන්ත්‍රණය කරනවා. එහෙත් ඔවුන් පවසන්නේ, “සෙනඟ අතර කෝලාහලයක් හට නොගන්නා පිණිස එය මංගල්‍යයේදී නොකරමු” කියායි. යේසුස් ජනයාගේ හොඳ හිත දිනාගෙන සිටින නිසා ඔවුන් සෙනඟට භයෙන් සිටිනවා.
ආගමික නායකයන් යේසුස්ව මරා දැමීමට දුෂ්ට ලෙස කුමන්ත්‍රණය කරමින් සිටින අතරතුරේදී ඔවුන්ව හමුවීමට අමුත්තෙක් පැමිණෙනවා. ඔවුන් පුදුමයට පත් වන්නේ එම අමුත්තා යේසුස්ගේම ප්‍රේරිතයෙක් වන යූදස් ඉස්කාරියොත් වන නිසයි. ස්වාමියාව පාවා දීම නමැති නීච අදහස සාතන් ඔහුගේ මනසට ඇතුල් කර තිබෙනවා! “ඔහුව ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක්ද” කියා යූදස් අසන විට, ඒ සඳහා ඔහුට රිදී කාසි තිහක් ගෙවීමට ඔවුන් එකඟ වෙන්නේ ඉතා සතුටිනුයි. මෝසෙස්ගේ නීතියට අනුව දාසයෙකුට ගෙවන වේතනය වන්නේ එයයි. එතැන් පටන් යූදස් සෙනඟ නොමැති හොඳ අවස්ථාවක් සොයමින් සිටිනවා යේසුස්ව පාවා දීමට.
නීසාන් 13වනදා ඇරඹෙන්නේ බදාදා ඉරු බැස යෑමත් සමඟයි. යේසුස් යෙරිකෝවේ සිට ආවේ සිකුරාදායි. ඉතිං, ඔහු බෙතානියේ ගත කරන හයවන සහ අන්තිම රාත්‍රිය මෙයයි. බ්‍රහස්පතින්දාවක් වන පසුවදා, ඉරු බැස යෑමෙන් අනතුරුව පවත්වනු ලබන පාස්කුව සඳහා අවසානයට සූදානම් කළ යුතු දේවලට අවධානය දිය යුතුයි. පාස්කු බැටළු පැටවා මරා දැමිය යුත්තෙත්, ඉන්පසු මුළු බැටළුවාම පුලුස්සා දැමිය යුත්තෙත් එදිනමයි. මංගල්‍යය සමරනු ලබන්නේ කොතැනදීද? සූදානම් කිරීමේ කටයුතු කරනු ලබන්නේ කවුරු විසින්ද?
යේසුස් එම තොරතුරු සපයා නැහැ. සමහරවිට එසේ නොකරන්නේ, නායක පූජකයන්ට එම තොරතුරු දැනුම් දීමෙන් යූදස්ව වැළැක්වීමට විය හැකියි. එසේ වූවා නම් පාස්කුව සමරන අතරතුරේදී නායක පූජකයන් ඇවිත් යේසුස්ව අත්අඩංගුවට ගන්න ඉඩ තිබෙනවා. එහෙත් දැන්, සමහරවිට බ්‍රහස්පතින්දා මධ්‍යාහ්නය පසුවීමෙන් අනතුරුව යේසුස්, පේතෘස්ව හා යොහන්ව බෙතානියෙන් පිටත් කර යවමින් මෙසේ පවසනවා. “ගොස්, අපට කන්න පාස්කු භෝජනය සූදානම් කරන්න.”
“එය කොතැන සූදානම් කරනවාට ඔබ කැමතිද” කියා ඔවුන් අසනවා.
එවිට යේසුස් පැහැදිලි කරන්නේ මෙසේයි. “ඔබ නුවරට ඇතුල් වූ කල, වතුර පිරුණු මැටි භාජනයක් උසුලාගෙන යන මිනිසෙකු ඔබ වෙතට පැමිණෙන්නේය. ඔහු සමඟ ගොස්, ඔහු යන නිවසට ඇතුල් වන්න. ඔබ එහි ගෙහිමියා අමතා, ‘“මා මාගේ ගෝලයන් සමඟ පාස්කු භෝජනය කෑම සඳහා වෙන් කර ඇති ආගන්තුක කාමරය කොතැනද?” කියා ගුරුතුමා ඔබෙන් අසන්නේය’ යි කියන්න. එවිට ඒ මිනිසා, බඩු මුට්ටු සහිත විශාල උඩුමහල් කාමරයක් ඔබට පෙන්වනු ඇත. එතැන සූදානම් කරන්න.”
ගෙහිමියා යේසුස්ගේ ගෝලයෙක් වන බව නිසැකයි. මෙම විශේෂ අවස්ථාව සඳහා තම නිවස භාවිත කිරීමට යේසුස් ඉල්ලා සිටීවි කියා ඔහු සමහරවිට අපේක්ෂා කරන්නත් ඇති. කොහොම වුණත්, පේතෘස් හා යොහන් යෙරුසලමට පැමිණෙද්දී සෑම දෙයක්ම සිදු වන්නේ යේසුස් පැවසූ ලෙසමයි. ඔවුන් බැටළු පැටවා සූදානම් කර තැබීමටත් පාස්කුව සැමරීමට පැමිණෙන 13දෙනා වන යේසුස්ගේ හා ප්‍රේරිතයන් 12දෙනාගේ අවශ්‍යතා සපුරාලීමට සියල්ල සූදානම් කිරීමටත් වගබලා ගන්නවා. මතෙව් 26:1-5, 14-19; මාක් 14:1, 2, 10-16; ලූක් 22:1-13; NW; නික්මයාම 21:32.
▪ පෙනෙන ආකාරයට යේසුස් බදාදා කරන්නේ කුමක්ද? ඔහු එසේ කරන්නේ මන්ද?
▪ උත්තම පූජකයාගේ නිවසේ පවත්වන ලද රැස්වීම කුමක්ද? යූදස් ආගමික නායකයන්ව හමුවීමට යන්නේ කුමන අදහස ඇතුවද?
▪ යේසුස් බ්‍රහස්පතින්දා යෙරුසලමට යවන්නේ කාවද? කුමන අරමුණක් සඳහාද?
▪ ආශ්චර්යයන් කිරීමට යේසුස්ට බලය ඇති බව යවනු ලැබූ අය නැවත වරක් අද්දකින්නේ කොහොමද?