ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • od 14 පරි. 141-156 පි.
  • සභාවේ සාමය සහ පවිත්‍රකම පවත්වාගැනීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සභාවේ සාමය සහ පවිත්‍රකම පවත්වාගැනීම
  • යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පුංචි පුංචි ගැටලු විසඳාගැනීම
  • බයිබලය මත පදනම් උපදෙස් දීම
  • නොහික්මුණු අය ගැන සෝදිසියෙන් සිටීම
  • සමහර බරපතළ ප්‍රශ්න විසඳාගැනීම
  • වඩාත් බරපතළ වැරදි හැසිරවීම
  • වරදකරුට අවවාද කළ බවට සභාවට කරන නිවේදනය
  • සභාවෙන් ඉවත් කිරීම
  • සභාවෙන් ඉවත් කිරීම ගැන නිවේදනය
  • සභාවෙන් ඉවත් වීම
  • සභාවට නැවත පිළිගැනීම
  • සභාවට නැවත පිළිගන්නා බවට කරන නිවේදනය
  • බව්තීස්ම වුණු බාල වයසේ දරුවෙක් බරපතළ වරදක් කළොත්
  • බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් බරපතළ වරදක් කළොත්
  • තම සෙනඟ සාමය හා පවිත්‍රකම රැකගද්දී දෙවියන් ආශීර්වාද කරයි
  • දෙවි දෙන හික්මවීම සැමවිටම පිළිගන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැඩිමහල්ලෙනි, වරදක් කරපු කෙනෙක්ට ආදරේ සහ දයාව පෙන්නන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සභාවෙන් අයින් කරපු අයට උදව් කරන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නරක දේවල් වාර්තා කළ යුත්තේ ඇයි?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
od 14 පරි. 141-156 පි.

14වෙනි පරිච්ඡේදය

සභාවේ සාමය සහ පවිත්‍රකම පවත්වාගැනීම

බයිබල් අනාවැකියක සඳහන් වෙන විදිහටම හැම අවුරුද්දකම දහස් ගණන් සෙනඟ යෙහෝවා දෙවියන්ගේ ගෘහයට එකතු වෙනවා. (මීකා 4:1, 2) ඔවුන් දෙවියන්ගේ ‘සභාවට’ එකතු වෙන එක ගැන අපි මොන තරම් සතුටු වෙනවාද! (ක්‍රියා 20:28) අපිත් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ලැබෙන එක ගැන වගේම අපි අතරේ තියෙන සාමය සහ පවිත්‍රකම අද්දකින්න ලැබෙන එක ගැන ඒ අය හුඟක් සතුටු වෙනවා. දෙවියන්ගේ බලය සහ ඔහුගේ වචනයේ සඳහන් වෙන උපදෙස් නිසා සභාවේ සාමය සහ පවිත්‍රකම පවත්වාගන්න අපිට පුළුවන්.—ගීතා. 119:105; සෙක. 4:6.

2 බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගද්දී අපිට “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගන්න පුළුවන්. (කොලො. 3:10) අපි අතර ඇති වෙන එකඟ නොවීම් අපි ලොකු දේවල් කරගන්නේ නැහැ. කාරණා දිහා යෙහෝවා දෙවියන් බලන විදිහට බලන නිසා බෙදීම් ඇති කරන ලෝකයේ බලපෑම්වලට අහු වෙන්නේ නැතුව ඉන්නත් ලෝකෙ පුරාම විසිරිලා ඉන්න සහෝදරයන් අතරේ එකමුතුකම පවත්වාගන්නත් අපිට පුළුවන්.—ක්‍රියා 10:34, 35.

3 හැබැයි කාලෙන් කාලෙට සභාවේ සාමයට බාධා වෙන දේවල් සිද්ධ වෙයි. හුඟක් වෙලාවට එහෙම වෙන්නේ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නේ නැති වුණාමයි. අපි හැමෝටම පව්කාරකම උරුම වෙලා තියෙන නිසාත් වැරදි සිද්ධ වෙනවා. (1 යොහ. 1:10) සභාවේ කෙනෙක් කරන වැරදි දෙයක් නිසා සභාවේ සදාචාරය වගේම දෙවියන්ට කරන නමස්කාරය අපවිත්‍ර වෙන්න පුළුවන්. සමහරවිට අපි කරන කියන දෙයක් නිසා වෙන කෙනෙක්ගේ හිත රිදෙන්න පුළුවන්. වෙන කෙනෙක් කරන කියන දෙයක් නිසා අපේ හිත රිදෙන්නත් පුළුවන්. (රෝම 3:23) ඒ වගේ ගැටලු විසඳගන්න පුළුවන් කොහොමද?

4 යෙහෝවා දෙවියන් ඒ හැම දෙයක් ගැනම සැලකිලිමත් නිසා ප්‍රශ්න ගැටලු එද්දී ඒවා විසඳගන්න පුළුවන් විදිහ ගැන බයිබලයේ සඳහන් කරලා තියෙනවා. ප්‍රේමණීය වැඩිමහල්ලන්වත් සපයලා තියෙනවා. ඔවුන් බයිබලය මත පදනම් උපදෙස් දෙද්දී අපි ඒවා පිළිපදිනවා නම් එකිනෙකා අතරේ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගන්නත් යෙහෝවා දෙවියන් ඉදිරියේ හොඳ නමක් පවත්වාගන්නත් පුළුවන්. අපි අතින් යම් වරදක් වුණාම අපිට හික්මවීමක් හරි අවවාදයක් හරි ලැබෙන්නේ යෙහෝවා දෙවියන් අපිට ආදරේ නිසයි.—හිතෝ. 3:11, 12; හෙබ්‍රෙ. 12:6.

පුංචි පුංචි ගැටලු විසඳාගැනීම

5 සමහර අවස්ථාවලදී සභාවේ අය අතරේ පුංචි පුංචි ගැටලු ඇති වෙයි. පුළුවන් ඉක්මනින් ප්‍රේමණීය විදිහට ඒවා විසඳගන්න ඕනේ. (එෆී. 4:26; ෆිලි. 2:2-4; කොලො. 3:12-14) ඒ වගේ ගැටලු විසඳගන්න පාවුල් කියපු මේ දේ උදව් වෙනවා. “අන් සෑම දෙයකටම වඩා එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න. මන්ද ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය හැක.” (1 පේතෘ. 4:8) බයිබලයේ සඳහන් වෙන්නේ “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි” කියලයි. (යාකො. 3:2) අනිත් අය අපිට සලකනවාට කැමති විදිහටම අපිත් අනිත් අයට සලකනවා නම් පුංචි පුංචි වැරදිවලට සමාව දීලා අපි ඒවා අමතක කරනවා.—මතෙ. 6:14, 15; 7:12.

6 ඔයා කියපු කරපු දෙයක් නිසා කෙනෙක් ඔයා එක්ක අමනාප වෙලා නම් ඒ කෙනාත් එක්ක සමාදාන වෙන්න ඔයා මුල් පියවර ගන්න ඕනේ. ඒ ගැටලුව දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීමටත් බලපානවා. යේසුස් ගෝලයන්ට මෙහෙම කිව්වා. “ඔබ යමක් පරිත්‍යාග කිරීමට පූජාසනය ළඟට යන විට ඔබේ සහෝදරයාට ඔබ සමඟ යම් ගැටලුවක් තිබෙන බව එහිදී ඔබට මතක් වෙයි නම්, පරිත්‍යාග කිරීමට රැගෙන ආ දේ පූජාසනය ඉදිරිපිට තබන්න. මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න. ඉන්පසුව ඇවිත් ඒ දේ පරිත්‍යාග කරන්න.” (මතෙ. 5:23, 24) සමහරවිට වරදවා වටහාගැනීමක් වෙලා ඇති. ඒ ගැන විවෘතව කතාබහ කරන්න. සභාවේ හැමෝම විවෘතව කතාබහ කරනවා නම් වරදවා වටහාගැනීම් සහ වෙනත් ගැටලු මඟහරවා ගන්න පුළුවන්.

බයිබලය මත පදනම් උපදෙස් දීම

7 කෙනෙක් හිතන විදිහ නිවැරදි කරන්න ඕනෙ කියලා වැඩිමහල්ලන්ට තේරුණොත් ඒ කෙනාට උපදෙස් දෙයි. හැබැයි එහෙම කරන එක ලෙහෙසි දෙයක් නෙවෙයි. ගලාතියේ ක්‍රිස්තියානීන්ට පාවුල් මෙහෙම කියලා තියෙනවා. “සහෝදරයෙනි, ඇතැම්විට යම් කෙනෙක් නොදැනුවත්ව යම් වැරදි පියවරක් ගත හැකිය. එවැනි අවස්ථාවලදී ශුද්ධ ලියවිල්ලට අනුව සුදුසුකම් ලබා ඇති ඔබ මෘදුකමින් එවැනි කෙනෙකුව නිවැරදි මාර්ගයට ගෙන ඒමට උත්සාහ කරන්න.”—ගලා. 6:1.

8 වැඩිමහල්ලන් සභාවේ අයව හොඳින් රැකබලා ගන්නවා නම් දෙවියන් එක්ක තියෙන බැඳීමට හානි වෙන දේවලින් ඔවුන්ව ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. බරපතළ ප්‍රශ්න ඇති වෙන එක වළක්වගන්නත් ඒක උදව් වෙයි. වැඩිමහල්ලන් උපරිමයෙන් වෑයම් කරන්නේ යෙහෝවා දෙවියන් කියලා තියෙන මේ දේට එකඟව කටයුතු කරන්නයි. “ඒ සෑම කෙනෙක්ම සුළඟින් මුවා වීමට ස්ථානයක් මෙන්ද කුණාටුවෙන් සැඟවීමට රක්ෂස්ථානයක් මෙන්ද වන්නෝය. ඔවුහු වියළි දේශයක ගලා බසින දිය පහරවල් මෙන්ද කාන්තාර ප්‍රදේශයක මහා පර්වතයකින් ලැබෙන සෙවණක් මෙන්ද වන්නෝය.”—යෙසා. 32:2.

නොහික්මුණු අය ගැන සෝදිසියෙන් සිටීම

9 සභාවට හානිකර බලපෑමක් වෙන්න පුළුවන් අය ගැන පාවුල් මෙහෙම අනතුරු අඟවලා තියෙනවා. ‘අපගෙන් ඉගෙනගත් දේවලට අනුව කටයුතු නොකරන, නොහික්මුණු ආකාරයකින් ක්‍රියා කරන සෑම සහෝදරයෙකුගෙන්ම ඔබ වෙන් වී සිටිය යුතුයි.’ ඔහු තවදුරටත් මෙහෙම කියලා තියෙනවා. “මේ ලිපිය මාර්ගයෙන් අප ලබා දෙන මඟ පෙන්වීම්වලට යමෙක් කීකරු වන්නේ නැත්නම් ඔහු ගැන විශේෂ සෝදිසියකින් සිටින්න. එලෙසම ඔහු සමඟ තවදුරටත් ඇසුරු නොකරන්න. එවිට තමා කරන දේ ගැන ලැජ්ජාවක් ඔහුට දැනෙන්න ඉඩ තිබේ. නමුත් ඔහුව සතුරෙකු මෙන් නොසලකන්න. දිගටම ඔහුව සහෝදරයෙකු ලෙස සලකා ඔහුට උපදෙස් හා අවවාද ලබා දෙන්න.”—2 තෙස. 3:6, 14, 15.

10 කෙනෙක් සභාවෙන් ඉවත් කරන්න තරම් බරපතළ වරදක් දිගටම නොකළත් සමහරවිට බයිබල් ප්‍රතිපත්ති සැහැල්ලුවට ගන්න පෙලඹෙයි. බොහෝ සෙයින් කම්මැළි වීම, අනිත් අයව විවේචනය කිරීම, අපිරිසිදුකම සහ ‘අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි ගැසීම’ ඒ අතරට අයිතියි. (2 තෙස. 3:11) ඊට අමතරව අනිත් අයගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමත් නුසුදුසු විනෝදාංශවල නියැලීමත් ඒ අතරට අයිති වෙනවා. කෙනෙක් ඒ විදිහට හැසිරෙද්දී ඒක මුළු සභාවටම හානියක් වෙනවා. අනිත් අයත් ඒ විදිහට කටයුතු කරන්න පෙලඹෙන්න පුළුවන්.

11 නොහික්මුණු විදිහට කටයුතු කරන කෙනෙක්ට වැඩිමහල්ලන් මුලින්ම බයිබලයෙන් යම් උපදෙස් දෙනවා. කිහිප වතාවක්ම උපදෙස් දුන්නත් කෙනෙක් ඒවා ගණන් ගන්නේ නැතුව දිගින් දිගටම බයිබල් ප්‍රතිපත්ති බාල කරමින් හැසිරෙනවා නම් අනතුරු ඇඟවීමේ දේශනයක් සභාවට දෙන්න වැඩිමහල්ලන් තීරණය කරයි. අනතුරු ඇඟවීමේ දේශනයක් දෙන්න තරම් තත්වය බරපතළද නැද්ද කියලත් නොහික්මුණු හැසිරීම සභාවේ අයට බලපාන්නේ කොහොමද කියලත් ඔවුන් හොඳින් හිතලා බලනවා. ඒ කෙනාගේ නොහික්මුණු හැසිරීම ගැන ඒ දේශනයේදී සඳහන් කළත් ඔහුගේ නම සඳහන් කරන්නේ නැහැ. ඒ විදිහට හැසිරෙන්නේ කවුද කියලා දන්න අයට පුළුවන් වෙනවා “දිගටම ඔහුව සහෝදරයෙකු ලෙස” සැලකුවත් ඔහුත් එක්ක කිට්ටු සම්බන්ධයක් පවත්වන්නේ නැතුව ඉන්න.

12 සභාවේ හැමෝම ඒ විදිහට කටයුතු කරද්දී නොහික්මුණු විදිහට හැසිරුණු එක ගැන දැනෙන ලැජ්ජාව නිසා ජීවිතය වෙනස් කරගන්න ඔහු පෙලඹෙයි. ඔහු තවදුරටත් නොහික්මුණු විදිහට හැසිරෙන්නේ නැහැ කියලා පැහැදිලිව පෙනෙන්න තියෙනවා නම් ඔහු ගැන විශේෂ සෝදිසියකින් ඉන්න අවශ්‍ය නැහැ.

සමහර බරපතළ ප්‍රශ්න විසඳාගැනීම

13 අනිත් අය කරන වැරදිවලට සමාව දීලා අපි ඒවා අමතක කරනවා. හැබැයි අපි හැම වරදක්ම නොසලකාහරිනවා කියලාවත් ඒවා අනුමත කරනවා කියලාවත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. හැම වරදකටම හේතුව උරුම වෙලා තියෙන පව්කාරකම කියලා කියන්න බැහැ. ඒ වගේම සමහර වැරදි නොසලකාහරින එකත් සුදුසු නැහැ. (ලෙවී. 19:17; ගීතා. 141:5) සමහර වැරදි තවත් වැරදිවලට වඩා හුඟක් බරපතළයි කියලා දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියේ සඳහන් වෙනවා. ඒක ක්‍රිස්තියානි සභාවටත් අදාළයි.—1 යොහ. 5:16, 17.

14 ක්‍රිස්තියානියෙක් අතින් බරපතළ වරදක් වුණාම ඒක විසඳගන්න කරන්න ඕන දේවල් ගැන යේසුස් මේ නිශ්චිත මඟ පෙන්වීම් දීලා තියෙනවා. “ඔබේ සහෝදරයා පාපයක් කළොත් [1] ගොස් තනිව ඔහුව හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබ කියන දේ පිළිගත්තොත් ඔබේ සහෝදරයාව ඔබ දිනාගෙන තිබෙනවා. නමුත් ඔහු එය පිළිගන්නේ නැත්නම් [2] තවත් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු සමඟ ඔහුව හමු වීමට යන්න. එසේ කළ යුත්තේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් සෑම කාරණයක්ම ස්ථිර වන නිසයි. ඔහු ඔවුන් කියන දේත් පිළිගන්නේ නැත්නම් [3] සභාවට දැනුම් දෙන්න. ඔහු සභාව කියන දේත් පිළිගන්නේ නැත්නම් වෙනත් ජාතිකයෙකු හා බදු එකතු කරන්නෙකු හා සමානව ඔහුට සැලකිය යුතුයි.”—මතෙ. 18:15-17.

15 ඒ දේ කිව්වාට පස්සේ යේසුස් නිදර්ශනයක් කිව්වා. (මතෙ. 18:23-35) ඒ නිදර්ශනයෙන් තේරුම්ගන්න පුළුවන් මතෙව් 18:15-17 යේසුස් පාපය කියද්දී අදහස් කරපු දේට ඇතුළත් වෙන්නේ මොනවාද කියලා. ණයක් නොගෙවීම, වංචා කිරීම ඇතුළු මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැනනඟින ගැටලු ඒකට ඇතුළත් වෙනවා. ඒ වගේම යම් කෙනෙක්ගේ නමට කැළැලක් වෙන විදිහට අපහාස කරන එකත් ඒකට ඇතුළත්.

16 සභාවේ කෙනෙක් අතින් ඒ වගේ වරදක් ඔයාට වුණොත් ඉක්මනින්ම ගිහින් වැඩිමහල්ලන්ට ඒ ගැන කියන්න එපා. යේසුස් කියපු විදිහට මුලින්ම වරද කරපු කෙනා එක්ක කතා කරන්න. අනිත් අයව ඒකට සම්බන්ධ කරගන්නේ නැතුව ඔය දෙන්නා ඒ ප්‍රශ්නය විසඳගන්න උත්සාහ කරන්න. යේසුස් කිව්වේ ‘ඔහුගේ වරද පෙන්වා දෙන්න එක සැරයක් විතරක් ඒ කෙනා ළඟට යන්න’ කියලා නෙවෙයි. ඒ නිසා මුල් වතාවේදී වරද පිළිගත්තේ නැත්නම් ආයෙත් ඒ කෙනා ළඟට ගිහින් ඒ ගැන කතා කරන එක වඩාත් සුදුසුයි. ඒ විදිහට කාරණය විසඳගන්න පුළුවන් වුණොත් ඔයා ඔයාගේ ‘සහෝදරයාව දිනාගන්නවා.’ ඒ කාරණය අනිත් අයට කියලා නමට කැළැලක් කරපු නැති එක ගැන ඒ කෙනා කොයි තරම් සතුටු වෙයිද!

17 වරද කරපු කෙනා ඒක පිළි අරන්, සමාව ඉල්ලලා, වරද නිවැරදි කරන්න පියවර ගන්නවා නම් ඒ කාරණය තවත් ඇදගෙන යන්න එපා. ඔහු කරලා තියෙන්නේ බරපතළ වරදක් වුණත් ඒ වගේ ගැටලු ඒ විදිහට විසඳගන්න පුළුවන්.

18 “තනිව ඔහුව හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න” ඔයා උත්සාහ කළත් ඒක සාර්ථක වුණේ නැත්නම් යේසුස් කියපු විදිහට “තවත් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු සමඟ ඔහුව හමු වීමට යන්න.” ඔයා එක්ක යන අයත් උත්සාහ කරන්න ඕනෙ වරද කරලා තියෙන සහෝදරයාව දිනාගන්නයි. ඔවුන් වරද සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් වෙන දෙන්නෙක්ව එක්කන් යන්න ඔයාට පුළුවන්. මතු වෙලා තියෙන ප්‍රශ්නයට අදාළව ඒ අයට යම් අවබෝධයක් තියෙනවා නම් ඇත්තටම වරදක් වෙලා තියෙනවාද නැද්ද කියලා තේරුම්ගන්න ඔවුන්ට පුළුවන් වෙයි. සාකච්ඡාවට හවුල් වෙන අය ඒ අතරතුරේදී කතාබහ වෙන දේවල් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් වෙනවා. සාක්ෂිකරුවන් විදිහට වැඩිමහල්ලන්ව එක්කගෙන යනවා නම් වැඩිමහල් මණ්ඩලය ඒ සඳහා ඔවුන්ව පත් කරලා නැති නිසා ඒ කාරණයේදී ඔවුන් සභාව නියෝජනය කරන්නේ නැහැ.

19 ඒ හැම පියවරක්ම ගත්තාට පස්සෙත් කාරණය විසඳුණේ නැත්නම් ඒ වගේම ඒ කාරණය විසඳන්නම ඕනෙ කියලා ඔයාට හැඟෙනවා නම් ඒ ගැන වැඩිමහල්ලන්ට දැනුම් දෙන්න. ඔවුන් උත්සාහ කරන්නේ සභාවේ සාමය සහ පවිත්‍රකම රැකගන්න කියලා මතක තියාගන්න. වැඩිමහල්ලන්ට ඒ ගැන දැනුම් දුන්නාට පස්සේ ඒ කාරණය සම්පූර්ණයෙන්ම ඔවුන්ට භාර දීලා යෙහෝවා දෙවියන් ඒක විසඳයි කියන විශ්වාසය ඇතුව ඉන්න. අනිත් අය කරන දේවල් නිසා අධෛර්යය වෙන්නවත් යෙහෝවා දෙවියන්ට සේවය කරන එකෙන් ලැබෙන සතුට නැති කරගන්නවත් එපා.—ගීතා. 119:165.

20 වැඩිමහල්ලන් ඒ කාරණයට අදාළ හැම තොරතුරක් ගැනම හොඳින් හොයලා බලයි. අදාළ පුද්ගලයා ඔයාට විරුද්ධව බරපතළ පාපයක් කරලා තියෙනවා කියලා ඔප්පු වුණොත් ඒ වගේම ඒ කෙනා තමන් අතින් වුණු වරද පිළි අරන් ඒ ගැන පසුතැවෙන්නේ නැත්නම් ඒ කාරණය හසුරුවන වැඩිමහල්ලන්ගේ කමිටුව ඔහුව සභාවෙන් ඉවත් කරන්න පියවර ගනියි. සභාවේ අයවත් සභාවේ පවිත්‍රකමත් රැකගන්න ඒක උදව් වෙනවා.—මතෙ. 18:17.

වඩාත් බරපතළ වැරදි හැසිරවීම

21 වේශ්‍යාකම, අනාචාරය, සමලිංගික ඇසුර, දෙවියන්ට අපහාස කිරීම, සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගැසීම, රූප නමස්කාරය වගේ බරපතළ පාපවලට සමාව ගන්න එක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. (1 කොරි. 6:9, 10; ගලා. 5:19-21) ඒ දේවල් නිසා සභාවේ නමස්කාර කටයුතු වගේම සදාචාරය අපවිත්‍ර වෙන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම ඒ වගේ වැරදි ගැන වැඩිමහල්ලන්ට කියන්න ඕනේ. (1 කොරි. 5:6; යාකො. 5:14, 15) සමහරවිට ඒ වගේ පාපයක් කරපු කෙනාම ඒ ගැන වැඩිමහල්ලන්ට කියයි. එහෙමත් නැත්නම් වෙන කෙනෙක් ඒ ගැන වැඩිමහල්ලන්ට කියයි. (ලෙවී. 5:1; යාකො. 5:16) සභාවේ බව්තීස්ම වුණු කෙනෙක් අතින් ඒ වගේ වරදක් වෙලා තියෙනවා කියලා දැනගත්ත ගමන්ම වැඩිමහල්ලන් දෙන්නෙක් ඒ ගැන හොයලා බලන්න පියවර ගන්නවා. අදාළ පුද්ගලයා බරපතළ පාපයක් කරලා තියෙනවා කියලා කියන්න ඇති තරම් සාක්ෂි ලැබුණොත් ඒ කාරණය හසුරුවන්න වැඩිමහල් මණ්ඩලය විනිශ්චය කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවට අඩුම තරමින් වැඩිමහල්ලන් තුන්දෙනෙක්වත් ඉන්න ඕනේ.

22 දෙවියන් එක්ක තියෙන බැඳීමට හානි වෙන්න පුළුවන් දේවලින් සභාවේ අයව ආරක්ෂා කරගන්න ඕන නිසා වැඩිමහල්ලන් සභාවේ හැමෝම ගැන හුඟක් සැලකිල්ලෙන් ඉන්නවා. වැරදි දේවල් කරන අයට අවවාද කරලා ඔවුන්ව හරි මාර්ගයට ගන්න පුළුවන් විදිහට ඔවුන් ශුද්ධ ලියවිල්ලෙන් අවශ්‍ය කරන මඟ පෙන්වීම් ලබා දෙනවා. (යූද් 21-23) පාවුල් තිමෝතිට දීපු මේ මඟ පෙන්වීම්වලටත් ඒක එකඟයි. ‘මම ඔබට ඉතා බැරෑරුම් කාරණයක් ගැන උපදෙස් දීමට කැමැත්තෙමි. බොහෝ ඉවසිලිවන්තකමින් හා දක්ෂ ලෙස ඉගැන්වීමෙන් අවවාද, ඍජු උපදෙස් සහ දිරිගැන්වීම් ලබා දෙන්න.’ (2 තිමෝ. 4:1, 2) ඒ දේවල් කරන්න ලොකු කාලයක් වැය කරන්න වෙනවා තමයි. ඒත් ඒක වැඩිමහල්ලන් සතු බැරෑරුම් වගකීම් අතරට අයිති වෙනවා. වැඩිමහල්ලන්ව අගය කරන සභාවේ අය ඔවුන්ව සලකන්නේ “වැඩි ගෞරවයක් ලැබීමට සුදුස්සන්” විදිහටයි.—1 තිමෝ. 5:17.

23 කෙනෙක් බරපතළ වරදක් කරලා තියෙනවා කියලා තහවුරු වුණොත් වැඩිමහල්ලන් උත්සාහ කරන්නේ ඔහුට අවශ්‍ය කරන හික්මවීම් දීලා ආයෙත් ඔහුට දෙවියන් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න උදව් කරන්නයි. වරද කරපු කෙනා අවංකවම පසුතැවිලි වෙනවා නම් ඔහුට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් වෙනවා. විනිශ්චය කමිටුව අදාළ පුද්ගලයාට ලබා දෙන අවවාද ඒ කෙනාට යම් හික්මවීමක් වෙනවා. විනිශ්චය කමිටුවට සාක්ෂි ඉදිරිපත් කරපු අයත් ඒ අවස්ථාවට හවුල් වුණා නම් ඒ අවවාදවලින් ඔවුන්ටත් යම් අනතුරු ඇඟවීමක් ලැබෙනවා. (2 සාමු. 12:13; 1 තිමෝ. 5:20) විනිශ්චය කමිටුවකින් අවවාද කරන හැම අවස්ථාවකදීම යම් තහංචි පනවනවා. වරද කරපු කෙනාට තමන්ගේ “පාදවලට ඍජු මාවත් සාදාගන්න” ඒක උදව් වෙනවා. (හෙබ්‍රෙ. 12:13) ඒ කෙනා තමන්ගේ වරද හදාගෙන දෙවියන් එක්ක ශක්තිමත් මිත්‍රත්වයක් ඇති කරගෙන තියෙනවා කියලා පැහැදිලිව පෙනෙද්දී ඔහුට පනවපු තහංචි ඉවත් කරනවා.

වරදකරුට අවවාද කළ බවට සභාවට කරන නිවේදනය

24 වරදකරු අවංකවම පසුතැවිලි වුණත් කාලයක් යද්දී සභාවේ අයටත් අවට ප්‍රදේශයේ අයටත් ඒ වරද ගැන ආරංචි වෙයි කියලා හරි වරදකරුගෙන් සභාවේ අයට නරක බලපෑමක් වෙන්න පුළුවන් කියලා හරි විනිශ්චය කමිටුවට තේරුණොත් ඔවුන් ඔහු ගැන සභාවේදී නිවේදනය කරන්න ඉඩ තියෙනවා. ජීවිතය සහ දේවසේවය සඳහා රැස්වීමේදී ඔවුන් ඒ සම්බන්ධයෙන් මේ නිවේදනය කරයි. “විනිශ්චය කමිටුවකින් [නම] අවවාද කර තිබෙන බව මෙයින් දන්වා සිටිමු.”

සභාවෙන් ඉවත් කිරීම

25 සමහර අවස්ථාවලදී වරදකරු හිත මුරණ්ඩු කරගෙන දිගටම යම් වරදක නියැලෙන්නත් ලබා දෙන උපකාර ප්‍රතික්ෂේප කරන්නත් ඉඩ තියෙනවා. විනිශ්චය කමිටුව ඒ කාරණය හසුරුවන අවස්ථාවේදී අදාළ පුද්ගලයා “පසුතැවිල්ලට එකඟව” ක්‍රියා කරන බවක් නොපෙනෙන්න පුළුවන්. (ක්‍රියා 26:20) එතකොට ඔහුව සභාවෙන් ඉවත් කරන්න පියවර ගනියි. ඊටපස්සේ සභාවේ අයව ඇසුරු කරන්න ඔහුට පුළුවන් වෙන්නේ නැහැ. ඔහුව සභාවෙන් ඉවත් කරන එක සභාවේ සදාචාරය සහ නමස්කාර කටයුතු පවිත්‍රව තියාගන්න වගේම සභාවේ හොඳ නමට හානියක් වීම වළක්වාගන්න උදව් වෙනවා. (ද්වි. 21:20, 21; 22:23, 24) කොරින්ති සභාවේ හිටිය බරපතළ වරදක් කරපු කෙනෙක් සම්බන්ධයෙන් ගන්න ඕන පියවර ගැන පාවුල් වැඩිමහල්ලන්ට මෙහෙම උපදෙස් දුන්නා. ‘ඒ මිනිසාව සාතන්ට භාර දිය යුතුයි. එසේ කිරීමෙන් සභාවේ යහපත් වාතාවරණයක් තබාගැනීමට හැකි වේ.’ (1 කොරි. 5:5, 11-13) පළමු සියවසේදී සත්‍යයට විරුද්ධව කැරලිගහලා සභාවෙන් ඉවත් කරපු අය ගැනත් පාවුල් සඳහන් කළා.—1 තිමෝ. 1:20.

26 පසුතැවෙන්නේ නැතුව දිගටම වැරදි කරපු කෙනාව සභාවෙන් ඉවත් කරන්න තීරණය කළොත් විනිශ්චය කමිටුව ඒ ගැනත් ඊට අදාළ බයිබල් පදනම ගැනත් පැහැදිලිවම ඔහුට කියන්න ඕනේ. ඒ වගේම විනිශ්චය කමිටුව ඒ වෙලාවේදී ඔහුට කියනවා ඔවුන් ගත්ත තීරණය සාධාරණ නැහැ කියලත් ඇපීල් එකක් කරන්න ඕනෙ කියලත් ඔහුට හැඟෙනවා නම් ඒකට හේතුව පැහැදිලි කරලා ලිපියක් එවන්න කියලා. තීරණය ගැන ඔහුට දැනුම් දීලා දවස් හතක් ඇතුළත ඔහු ඒක ඉදිරිපත් කරන්න ඕනේ. ඔහු ඇපීල් එකක් කළොත් වැඩිමහල් මණ්ඩලය ඒ ගැන චාරිකා සේවකට දැනුම් දෙයි. එතකොට චාරිකා සේවක ඒ කාරණය නැවතත් විභාග කරලා බලන්න සුදුසුකම් තියෙන වැඩිමහල්ලන්ගෙන් සමන්විත ඇපීල් කමිටුවක් පත් කරනවා. ලිපිය ලැබිලා සතියක් ඇතුළත ඒ තොරතුරු විභාග කරන්න ඒ කමිටුව හැම උත්සාහයක්ම දරනවා. ඇපීල් එකක් ලැබුණොත් අදාළ පුද්ගලයා ගැන සභාවේදී කරන නිවේදනය කල් දානවා. ඒ අතරතුර කාලයේදී ඔහුට රැස්වීම්වලදී පිළිතුරු දෙන එක, යාච්ඤා කරන එක ඇතුළු සභාවේ වෙනත් වගකීම් ඉටු කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.

27 ඇපීල් එකක් කරන්න අවස්ථාව දීලා තියෙන්නේ චෝදනා ලබපු කෙනාට කරුණාව පෙන්වීමක් හැටියටයි. ඒත් ඔහු හිතාමතාම ඇපීල් එක ගැන සාකච්ඡා කරන්න එන්නේ නැත්නම් ඔහු එක්ක කතා කරන්න සාධාරණ වෑයමක් දැරුවාට පස්සේ ඔහුව සභාවෙන් ඉවත් කරලා තියෙනවා කියලා සභාවට නිවේදනය කරනවා.

28 වරදකරු ඇපීල් එකක් කරන්නේ නැත්නම් පසුතැවිලි වෙන එකේ වැදගත්කම ගැනත් ඔහුව ආපහු සභාවට පිළිගන්න නම් ඔහු කරන්න ඕන දේවල් ගැනත් විනිශ්චය කමිටුව ඔහුට පැහැදිලි කරයි. ඒක ඔහුට කරුණාව දැක්වීමක් වගේම ඔහුට කරන උදව්වක් වෙනවා. ඒ දේ කරන්න ඕනෙ ඔහු තමන්ගේ වැරදි හදාගෙන ආයෙත් යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට එකතු වෙයි කියන බලාපොරොත්තුව ඇතුවයි.—2 කොරි. 2:6, 7.

සභාවෙන් ඉවත් කිරීම ගැන නිවේදනය

29 පසුතැවෙන්නේ නැතුව දිගටම වැරදි කරන කෙනෙක්ව සභාවෙන් ඉවත් කරද්දී ඒ ගැන නිවේදනය කරන්නේ “[නම] තවදුරටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නොවන බව මෙයින් දන්වා සිටිමු” කියලයි. ඒ නිවේදනයෙන් සභාවේ ඉන්න විශ්වාසවන්ත අය තේරුම්ගනියි ඒ පුද්ගලයාව ඇසුරු කරන එක නතර කරන්න ඕනෙ කියලා.—1 කොරි. 5:11.

සභාවෙන් ඉවත් වීම

30 බව්තීස්ම වුණු කෙනෙක් තවදුරටත් තමන්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට හඳුන්වන්න එපා කියලා දැනුම් දෙනවා නම් ඒක හඳුන්වන්නේ “සභාවෙන් ඉවත් වීම” හැටියටයි. සමහරවිට ඔහු ඒ ගැන දැනුම් දුන්නේ නැතත් ඔහු ක්‍රිස්තියානි සභාවෙන් ඉවත් වෙලා කියලා ඔහු කටයුතු කරන විදිහෙන් පැහැදිලි වෙයි. උදාහරණයකට ඔහු බයිබල් ඉගැන්වීම්වලට පටහැනි දේවල් සිද්ධ වෙන සංවිධානයකට සම්බන්ධ වෙලා ඇති. ඒ වගේ කෙනෙක් අනිවාර්යයෙන්ම යෙහෝවා දෙවියන්ගේ විනිශ්චයට ලක් වෙනවා.—යෙසා. 2:4; එළි. 19:17-21.

31 නියෝජිත යොහන්ගේ කාලයේදී ක්‍රිස්තියානි සභාවෙන් ඉවත් වුණු අය ගැන ඔහු මෙහෙම කිව්වා. “ඔවුහු අප අතරෙහි සිටියත් අපව අත්හැර ගියෝය. මන්ද ඔවුහු අප මෙන් නොවෙති. ඔවුහු අප මෙන් ක්‍රියා කළා නම් අප සමඟ රැඳී සිටිනු ඇත.”—1 යොහ. 2:19.

32 කැමැත්තෙන්ම සභාවෙන් ඉවත් වුණු කෙනෙක් සහ සේවයේ හවුල් නොවී අක්‍රියාශීලී වෙලා ඉන්න කෙනෙක් අතර ලොකු වෙනසක් තියෙනවා. කෙනෙක් අක්‍රියාශීලී වෙන්න හේතුව ඔහු නොකඩවා බයිබලය අධ්‍යයනය නොකිරීම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අද්දකින්න වුණු ප්‍රශ්නයක් හරි පීඩාවක් හරි නිසා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න තිබුණු උනන්දුව අඩු වෙලා ඔහු අක්‍රියාශීලී වුණා වෙන්නත් පුළුවන්. වැඩිමහල්ලන් වගේම සභාවේ අනිත් අයත් ඒ කෙනාට දෙවියන් එක්ක තියෙන මිත්‍රත්වය ශක්තිමත් කරගන්න දිගටම උදව් කරයි.—රෝම 15:1; 1 තෙස. 5:14; හෙබ්‍රෙ. 12:12.

33 කැමැත්තෙන්ම සභාවෙන් ඉවත් වුණු කෙනෙක් ගැන සභාවේ නිවේදනය කරන්නේ “[නම] තවදුරටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නොවන බව මෙයින් දන්වා සිටිමු” කියලයි. ඒ වගේ කෙනෙක්ට සලකන්නේ සභාවෙන් ඉවත් කරපු කෙනෙක්ට සලකනවා හා සමානවයි.

සභාවට නැවත පිළිගැනීම

34 සභාවෙන් ඉවත් කරපු කෙනෙක් හරි කැමැත්තෙන්ම සභාවෙන් ඉවත් වුණු කෙනෙක් හරි තමන් කරපු වරද ගැන පසුතැවෙනවා නම් ඒ වගේම ඒ වැරදි ක්‍රියාව නතර කරලා තියෙනවා කියලා සාධාරණ කාලයක් පුරා ඔප්පු කරලා තියෙනවා නම් ඒ කෙනාව නැවත සභාවට පිළිගනියි. තමන්ට නැවතත් යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න ලොකු උවමනාවක් තියෙනවා කියලා ඔහු කටයුතු කරන විදිහෙන් පැහැදිලි වෙන්න ඕනේ. ඔහු තමන් කළ වරද ගැන පසුතැවෙන්නේ අවංකවමද කියලා ඔප්පු කරන්න වැඩිමහල්ලන් ඔහුට ප්‍රමාණවත් කාලයක් දෙනවා. සමහරවිට ඒ සඳහා මාස ගණනාවක්, අවුරුද්දක් නැත්නම් ඊටත් වඩා වැඩි කාලයක් ගත වෙන්න ඉඩ තියෙනවා. තමන්ව නැවතත් සභාවට පිළිගන්න කියලා ලිපියක් මාර්ගයෙන් ඔහු වැඩිමහල් මණ්ඩලයෙන් ඉල්ලුවාම නැවත පිළිගැනීමේ කමිටුවක් ඔහුත් එක්ක කතා කරනවා. ඔහු ‘පසුතැවිල්ලට එකඟව ක්‍රියා කරලා’ තියෙනවාද කියලා සෝදිසි කළාට පස්සේ ඔහුව නැවත සභාවට පිළිගන්න එක සුදුසුද නැද්ද කියලා ඒ කමිටුවේ අය තීරණය කරයි.—ක්‍රියා 26:20.

35 තමන්ව ආයෙත් සභාවට පිළිගන්න කියලා වැඩිමහල්ලන්ගෙන් ඉල්ලන කෙනාව සභාවෙන් ඉවත් කරලා තියෙන්නේ ඔහු වෙන සභාවක ඉද්දී වෙන්න පුළුවන්. එහෙමනම් ඔහුගේ ඉල්ලීම සලකා බලන්න ඔහු දැන් ඉන්න සභාවේ නැවත පිළිගැනීමේ කමිටුවක් පත් කරනවා. ඔවුන් ඔහුව මුණගැහිලා ඉල්ලීම සලකා බැලුවාට පස්සේ අදාළ පුද්ගලයාව ආයෙත් සභාවට පිළිගන්න ඕනෙ කියලා ඔවුන් විශ්වාස කරනවා නම් ඒ ගැන අදාළ කාරණය හැසිරවූ මුල් සභාවේ වැඩිමහල් මණ්ඩලයට දැනුම් දෙනවා. ඊටපස්සේ ඒ සභා දෙකේම අදාළ කමිටු එකතු වෙලා හරි තීරණයක් ගන්න කලින් අදාළ හැම තොරතුරක් ගැනම හොඳින් හොයලා බලනවා. අන්තිම තීරණය ගන්නේ ඒ කාරණය හැසිරවූ මුල් සභාවේ නැවත පිළිගැනීමේ කමිටුව විසිනුයි.

සභාවට නැවත පිළිගන්නා බවට කරන නිවේදනය

36 සභාවෙන් ඉවත් කරපු හරි සභාවෙන් ඉවත් වුණු හරි කෙනෙක් අවංකවම පසුතැවෙනවා කියලත් ඔහුව නැවතත් සභාවට පිළිගන්න පුළුවන් කියලත් නැවත පිළිගැනීමේ කමිටුව තීරණය කළොත් ඒ ගැන නිවේදනය කරන්න ඕනේ. ඒ කාරණය මුලින්ම හැසිරවූ සභාවේදී ඒ ගැන නිවේදනය කරනවා. ඒ කෙනා දැන් ඉන්නේ වෙන සභාවක නම් ඒ සභාවෙත් ඒ නිවේදනය කරනවා. ඒ නිවේදනයේදී කියන්නේ “[නම] යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු ලෙස නැවත පිළිගෙන තිබෙන බව මෙයින් දන්වා සිටිමු” කියලයි.

බව්තීස්ම වුණු බාල වයසේ දරුවෙක් බරපතළ වරදක් කළොත්

37 බව්තීස්ම වුණු බාල වයසේ පසුවන දරුවන් බරපතළ වරදක් කරලා තියෙනවා නම් ඒ ගැන වැඩිමහල්ලන්ට දැනුම් දෙන්න ඕනේ. දරුවාගේ දෙමාපියන් බව්තීස්ම වෙලා නම් වැඩිමහල්ලන් ඒ වගේ කාරණයක් හසුරුවද්දී ඔවුන් එතැන ඉන්න එක වඩාත් සුදුසුයි. ඔවුන් දරුවාට ලැබෙන්න යන හික්මවීම වළක්වන්න උත්සාහ කරනවා වෙනුවට විනිශ්චය කමිටුවට පූර්ණ සහයෝගය දෙන්න ඕනේ. වැඩිහිටි අයගේ කාරණයක් හසුරුවද්දී කරනවා හා සමානව විනිශ්චය කමිටුව උත්සාහ කරන්නේ දරුවාට අවශ්‍ය හික්මවීම් දීලා ආයෙත් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න දරුවාට උදව් කරන්නයි. කොහොමවුණත් දරුවා කළ වරද ගැන පසුතැවෙන්නේ නැත්නම් ඔහුව සභාවෙන් ඉවත් කරන්න පියවර ගන්නවා.

බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් බරපතළ වරදක් කළොත්

38 බව්තීස්ම නොවූ ප්‍රචාරකයන් බරපතළ වරදක් කළොත් මොකද කරන්නේ? ඔවුන් බව්තීස්ම වෙලා නැති නිසා ඔවුන්ව සභාවෙන් ඉවත් කරන්න බැහැ. සමහරවිට ඒ අය බයිබල් ප්‍රතිපත්ති හරියට අවබෝධ කරගෙන නැතුව ඇති. අවශ්‍ය කරන උපදෙස් ඔවුන්ට කාරුණිකව දෙනවා නම් “පාදවලට සෘජු මාවත් සාදාගන්න” ඔවුන්ට පුළුවන් වෙයි.—හෙබ්‍රෙ. 12:13.

39 වැඩිමහල්ලන් දෙන්නෙක් බරපතළ වරදක් කරලා තියෙන බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක්ව හමු වෙලා ඔහුට උදව් කරන්න උත්සාහ කළාට පස්සෙත් ඔහු පසුතැවෙන්නේ නැත්නම් ඒ ගැන සභාවට දැනුම් දෙන එක සුදුසුයි. ඒ වගේ අවස්ථාවකදී නිවේදනය කරන්නේ “[නම] තවදුරටත් බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් නොවන බව මෙයින් දන්වා සිටිමු” කියලයි. ඊටපස්සේ සභාවේ අය ඔහුව සලකන්නේ ලෝකයේ කෙනෙක් විදිහට. ඔහුව සභාවෙන් ඉවත් කරලා නැති වුණත් ඔහුව ඇසුරු කරද්දී අනිත් ක්‍රිස්තියානීන් හුඟක් පරෙස්සම් වෙන්න වගබලා ගන්නවා. (1 කොරි. 15:33) ඔහුගේ ක්ෂේත්‍ර සේවා වාර්තා භාරගන්නේ නැහැ.

40 බරපතළ වරදක් කරපු ඒ පුද්ගලයා කාලයක් ගියාට පස්සේ සමහරවිට ආයෙත් බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් වෙන්න කැමති වෙයි. ඒ වගේ අවස්ථාවක වැඩිමහල්ලන් දෙන්නෙක් ඔහුත් එක්ක කතා කරලා ඔහුට දෙවියන් එක්ක තියෙන්නේ මොන වගේ බැඳීමක්ද කියලා තේරුම්ගන්න උත්සාහ කරනවා. ඔහු නැවතත් ප්‍රචාරකයෙක් වෙන්න සුදුසු තත්වයක ඉන්නවා නම් ඔහු ගැන සභාවේ නිවේදනය කරනවා. ඒ නිවේදනයේ සඳහන් වෙන්නේ “[නම] නැවතත් බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් ලෙස පිළිගෙන තිබෙන බව මෙයින් දන්වා සිටිමු” කියලයි.

තම සෙනඟ සාමය හා පවිත්‍රකම රැකගද්දී දෙවියන් ආශීර්වාද කරයි

41 යෙහෝවා දෙවියන්ගේ සභාවට ඇතුළත් වෙලා ඉන්න හැමෝම දෙවියන්ගේ ආශීර්වාද අද්දකිනවා. දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අපිට ඕන කරන දේවලින් දෙවියන් අපිට කිසිම හිඟයක් තියලා නැහැ. ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ දෙවියන් ඇති කරලා තියෙන සැලැස්මෙන් අපිට අවශ්‍ය රැකවරණයත් නොඅඩුව ලැබෙනවා. (ගීතා. 23; යෙසා. 32:1, 2) ප්‍රශ්න ගැටලු පිරිලා තියෙන මේ අවසාන කාලයේ ජීවත් වෙන අපිට දෙවියන්ගේ පවිත්‍ර සාමකාමී සෙනඟ අතරට එකතු වෙන්න ලැබිලා තියෙන එකෙන් මොන තරම් ආරක්ෂාවක් දැනෙනවාද!

සභාවේ සාමයත් පවිත්‍රකමත් දිගටම රැකගන්න අපි වෑයම් කරද්දී සත්‍යය නමැති ආලෝකය මිනිසුන් ඉදිරියේ විහිදුවන්න අපිට පුළුවන්

42 සභාවේ සාමයත් පවිත්‍රකමත් දිගටම රැකගන්න අපි වෑයම් කරද්දී සත්‍යය නමැති ආලෝකය මිනිසුන් ඉදිරියේ විහිදුවන්න අපිට පුළුවන් වෙනවා. (මතෙ. 5:16; යාකො. 3:18) යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය දිගින් දිගටම ලැබෙද්දී සෙනඟ තව තවත් වැඩියෙන් දෙවියන්ව හඳුනාගෙන ඔහුට සේවය කරනවා දැකීමේ සතුට අද්දකින්නත් අපිට පුළුවන් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න