පාඩම 29
කටහඬේ ගුණය
පුද්ගලයන්ට අප කියන දේ පමණක් නොව එය කියන ආකාරයත් බෙහෙවින් බලපායි. ඔබට කතා කරන පුද්ගලයාගේ කටහඬ හැඟීම් විරහිත හෝ පරුෂ කටහඬක් ලෙස නොව ප්‍රියමනාප, උණුසුම්, මිත්‍රශීලී සහ කාරුණික එකක් ලෙස දිස් වේ නම්, ඔහුට සතුටින් සවන් දෙන්නට ඔබ වැඩි කැමැත්තක් දක්වන බව සැබෑවක් නොවේද?
යෝග්‍ය කටහඬක් වර්ධනය කරගැනීමෙන් අදහස් කරන්නේ අපගේ මුවින් ශබ්දය හා වචන පිට වන අන්දම ගැන හොඳ තාක්ෂණික දැනුමක් ලබාගැනීම යන්න නොවේ. අපගේ පෞද්ගලිකත්වයද ඊට සම්බන්ධ විය හැක. බයිබල් සත්‍යයන් පිළිබඳව පුද්ගලයෙකුගේ දැනුම සහ අදාළ කරගැනීමේ හැකියාව වර්ධනය වෙත්ම ඔහු කතා කරන ආකාරය තුළත් යම් වෙනස්කම් දැකගත හැකි වේ. ප්‍රේමය, ප්‍රීතිය සහ කරුණාව වැනි දිව්‍යමය ගුණාංග එවන් කෙනෙකුගේ කටහඬෙන් පිළිබිඹු වේ. (ගලා. 5:22, 23) එවිට අන් අය ගැන ඔහුට අව්‍යාජ හැඟීමක් ඇති විට එය ඔහුගේ කටහඬෙන්ද දැනගත හැකිය. නිතරම මැසිවිලි නඟනවා වෙනුවට කෘතඥතාවේ හැඟීම් පළ කරන විට එය භාවිත කරන වචනවලින් හා කටහඬේ ස්වරයෙන් මනාව පැහැදිලි වනු ඇත. (විලා. 3:39-42; 1 තිමෝ. 1:12; යූද් 16) කතා කරනු ලබන භාෂාව නොතේරෙන අවස්ථාවකදී පවා නුරුස්නා, විවේචනාත්මක හා පරුෂ ස්වභාවයක් ඇති පුද්ගලයෙකු හා යටහත්, ඉවසිලිවන්ත, කාරුණික හා ප්‍රේමනීය පුද්ගලයෙකු අතර වෙනස තේරුම්ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවේ.
ඇතැම් අවස්ථාවලදී, යමෙකුගේ කටහඬ එතරම් ප්‍රියමනාප නොවීමට හේතුව ඔහුගේ ස්වරාලයේ හටගත් යම් තුවාලයක් වැනි අසනීප තත්වයක් විය හැක. එසේ නැතහොත් උරුමයෙන් එම අවයවයෙහි යම් දෝෂයක් තිබිය හැක. මෙවැනි තත්වයන් කොතරම් බරපතළ වුවත් දැන් පවතින මෙම ක්රමයෙහි පූර්ණ සුවයක් බලාපොරොත්තු විය නොහැක. කෙසේවෙතත්, කතා කිරීමට භාවිත වන අවයවයන් නිසි ලෙස පාවිච්චි කිරීමට ඉගෙනීමෙන් යම් දියුණුවක් සාමාන්‍යයෙන් අපේක්ෂා කරන්නට පුළුවන.
මුලින්ම, එක්කෙනෙකුගේ කටහඬේ ලක්ෂණ තව කෙනෙකුගේ ලක්ෂණවලට වඩා වෙනස් බව තේරුම්ගැනීම වැදගත්ය. එමනිසා ඔබේ පරමාර්ථය විය යුත්තේ වෙනත් කෙනෙකුගේ කටහඬ අනුකරණය කිරීම නොවේ. ඒ වෙනුවට ඔබේ කටහඬට සහජයෙන්ම තිබෙන සුවිශේෂ ගුණය ඔප් නැංවීමටය. මෙය කිරීමට කුමක් උපකාරවත් විය හැකිද? අත්‍යවශ්‍යම වූ දේවල් දෙකක් මෙහිදී සඳහන් කරමු.
ඔබේ හුස්මගැනීම නිසි ලෙස පාලනය කිරීම. ඔබේ කටහඬ භාවිතයේදී උපරිම ප්‍රතිඵල ලබාගැනීමට නම්, ඔබේ පෙණහලු තුළට ප්‍රමාණවත් වාත ස්කන්ධයක් යැවිය යුතු අතර හුස්මගැනීම නිසි ලෙස පාලනය කිරීමද අවශ්‍යය. එසේ නොකළහොත්, ඔබේ කටහඬෙන් දුර්වල ගතියක් දිස් විය හැකි අතර ගලායන බවක් නොතිබෙන්නට පුළුවන.
පෙණහලුවල හැඩය දෙස බලද්දී ඒවා විශාල වන්නේ පපුවේ උඩු කෙළවරේ නොවේ. ඒ ප්‍රදේශය වඩා පුළුල්ව පෙනෙන්නේ උරහිස්වල අස්ථි නිසාය. ඇත්තෙන්ම පෙණහලු වඩාත්ම විශාල වන්නේ ප්‍රාචීරයට මදක් උඩින්ය. ප්‍රාචීරය පහත පිහිටි ඉල ඇටවලට සම්බන්ධ වී ඇති අතර එය පපුව හා උදර කුහරය අතර පිහිටා තිබේ.
ආශ්වාස කරන විට ඔබේ පෙණහලුවල ඉහළ කොටස පමණක් වාතයෙන් පිරෙව්වොත් ඔබට ඉක්මනින් නැවතත් ආශ්වාස කිරීමට සිදු වේ. මීට අමතරව, ඔබේ කටහඬට නිසි ප්‍රබලත්වයක් නොලැබෙන අතර ඔබ ඉතා පහසුවෙන්ම වෙහෙසට පත් වනු ඇත. නිසි ලෙස හුස්මගැනීමට නම් ඔබ සිටගන්නා විට හෝ අසුන්ගන්නා විට ඍජුව සිට ඔබේ උරහිස් පසුපසට ඇදිය යුතුය. කතා කිරීමට පෙර ආශ්වාස කරන විට ඔබේ පපුවේ ඉහළ කොටස පමණක් ප්‍රසාරණය කිරීමෙන් වැළකීමට හොඳ උත්සාහයක් දරන්න. මුලින්ම, ඔබේ පෙණහලුවල පහළ කොටස පුරවන්න. පහළ කොටස පිරෙන විට, ඔබේ ඉල ඇට කූඩුවේ පහළ කොටස දෙපැත්තට ප්‍රසාරණය වේ. ඒත් සමඟම ප්‍රාචීරය පහතට යමින් ඔබේ උදරය හා බඩවැල් මත තෙරපෙයි. ඔබේ බෙල්ට් පටියේ හෝ වෙනත් ඇඳුම්වල තදවීමක් ඔබේ උදරයට දැනෙන්නේ එමනිසාය. කෙසේවෙතත්, ඔබේ පෙණහලු තිබෙන්නේ උදරයෙහි නොව ඉල ඇට කූඩුව තුළය. දැන් කුඩා පරීක්ෂණයක් කරන්න. ඔබේ ඉල ඇට කූඩුවේ පහළම ඉල ඇට ආසන්නයෙහි, දෙපැත්තේ ඔබේ අත් දෙක තබන්න. දැන් ගැඹුරින් හුස්මගන්න. ඔබ හුස්මගන්නේ නිවැරදි ආකාරයට නම්, ඔබේ බඩ ඇතුළට යන්නේවත්, උරහිස් ඉහළට එසවෙන්නේවත් නැත. ඒ වෙනුවට ඔබේ ඉල ඇට මදක් ඉහළට හා දෙපැත්තට ඇදෙන බවක් ඔබට දැනේවි.
ඊළඟට, හුස්ම පිට කරන අන්දම ගැන සැලකිලිමත් වන්න. එකවර හුස්ම පිට කිරීමෙන් වාත සැපයුම අපතේ යවන්න එපා. එය කෙමෙන් කෙමෙන් පිට කරන්න. ඔබේ උගුර හිර කිරීමෙන් එය පාලනය කිරීමටත් උත්සාහ නොකරන්න. එසේ කළහොත් ඔබේ කටහඬෙහි යම්කිසි හිරවුණු ගතියක් නැතහොත් අස්වාභාවික වූ උච්ච ස්වරයක් දක්නට ලැබේ. වාතය පිට කිරීමට ඉවහල් වන්නේ උදරයේ පේශීන් හා ඉල ඇට අතර පිහිටා ඇති (අන්තර්පර්ශුක) පේශීන් මගින් එල්ල කරන පීඩනයයි. හුස්ම කොතරම් ඉක්මනින් පිට වේද යන්න තීරණය කිරීමට ප්රාචීරයේ ක්‍රියාකාරිත්වය බලපායි.
මලල ක්‍රීඩකයෙකු ධාවන තරඟයකට පුහුණු වන්නාක් මෙන්, හුස්ම නිසි ලෙස පාලනය කිරීමට කථිකයෙකුට ඉගෙනගත හැක්කේ යම් ව්‍යායාම (අභ්‍යාස) කිරීමෙනි. කෙළින් සිටගන්න. උරහිස් පසුපසට ගන්න. ඔබේ පෙණහලුවල පහළ කොටස පිරෙන අයුරින් ගැඹුරින් හුස්මගන්න. ඊළඟට හෙමින් ඔබේ හුස්ම පිට කරන්න. එසේ පිට කරන අතරතුරේදී අංක එක සිට ගණන් කිරීමට පටන්ගන්න. හැකි උපරිම මට්ටමට ගණන් කරන්න. ගණන් කිරීම නතර කළ යුත්තේ ඔබට අපහසුවක් දැනෙන විටදීය. ඊළඟට, එලෙසම හුස්මගනිමින් ශබ්ද නඟා කියවීමක් පෙරහුරු කරන්න.
තද කරගත් පේශීන් සැහැල්ලුවෙන් තබාගන්න. සැහැල්ලුවෙන් සිටීම හොඳ කටහඬකට තවත් අත්‍යවශ්‍ය දෙයක් වේ. කතා කරද්දී සැහැල්ලුවෙන් සිටීමට ඉගෙනීමෙන් ඔබේ කටහඬ කොතරම් දුරට දියුණු කරගත හැකිද යන්න ගැන ඔබත් පුදුමයට පත් වෙයි. මානසික පීඩනයක් අද්දකින විට පේශීන්වල යම් තදවීමක් සිදු වන නිසා, ඔබේ මනස මෙන්ම සිරුර සැහැල්ලුවෙන් තබාගැනීම අවශ්‍යය.
මානසික වශයෙන් දැනෙන පීඩනය අවම කරගත හැක්කේ ඔබේ සවන්දෙන්නන් සම්බන්ධයෙන් නිවැරදි ආකල්පයක් දරන විටය. ඔවුන් ක්ෂේත්‍ර සේවයෙහි හමු වන අයද? ඔබ ඔවුන් සමඟ බයිබලය මාස කිහිපයක් පමණක් පාඩම් කළද, යෙහෝවාගේ අරමුණ ගැන ඔවුන් සමඟ බෙදාගැනීමට ඔබට වටිනා තොරතුරු තිබෙන බව මතක තබාගන්න. ඔවුන්ට ඒ බව පැහැදිලි වුවත් නැතත්, ඔබ ඔවුන්ව බැහැදකින්නේ ඔවුන්ට යම් උපකාරයක් අවශ්‍ය නිසාය. අනික් අතට, ඔබ කතා කරමින් සිටින්නේ රාජ්‍ය ශාලාවකද? එසේ නම්, ඔබේ සබයේ සිටින වැඩිදෙනා යෙහෝවාගේ සේවකයෝය. ඔවුහු ඔබේ මිතුරෝය. ඔබේ උත්සාහය සාර්ථක වෙනවා දැකීම ඔවුන්ගේ හෘදයාංගම ආශාවයි. අපි නිතිපතා ඉතා මිත්‍රශීලී හා ප්‍රේමනීය සබයක් ඉදිරියෙහි කතා ඉදිරිපත් කරමු. මිහිපිට වෙනත් කිසිදු ජන පිරිසකට මෙතරම් භාග්‍යයක් නොමැත.
උදරයේ පේශීන් සැහැල්ලුවෙන් තබාගත හැක්කේ ඔබේ මනසින් එම පේශීන්වලට අවධානයක් දී, ඒවා ලිහිල් කිරීමට උත්සාහයක් දැරීමෙනි. ඔබේ ස්වර තන්ත්ර කම්පනය වන්නේ ඒවා තුළින් වාතය ගමන් කරන විට බව මතක තබාගන්න. උගුරෙහි පේශී තද කරන විට හෝ ලිහිල් කරන විට කටහඬේ ස්වරය වෙනස් වේ. එය හරියටම ගිටාරයක හෝ වයලීනයක තත් තද කරන විට හෝ බුරුල් කරන විට ස්වරය වෙනස් වන්නාක් මෙනි. ඔබේ ස්වර තන්ත්ර සැහැල්ලුවෙන් තබාගන්නා විට ස්වරය පහත් වේ. උගුරු පේශීන් සැහැල්ලුවෙන් තබාගන්නා විට නාස් මාර්ග විවෘතව තබාගත හැකි අතර, ඔබේ කටහඬේ ගුණය ඔප් නැංවීමට එය අනිවාර්යයෙන්ම බලපානු ඇත.
ඔබේ මුළු සිරුර, ඔබේ දණිස්, අත්, උරහිස්, බෙල්ල සැහැල්ලුවෙන් තබාගන්න. ඔබේ කටහඬ හොඳින් පැතිරවීමට අවශ්‍ය වන අනුනාදයක් (ප්‍රතිරාවයක්) ඇති කිරීමට මෙය දායක වේ. අනුනාදයක් ඇති වන්නේ මුළු සිරුර ධ්වනි පුවරුවක් ලෙස ක්‍රියා කරන විටය. එනමුත් යම් මානසික පීඩනයකින් සිටින විට එම අදාළ පේශීන් තදවීම හේතුවෙන් මෙයට යම් බාධාවක් ඇති විය හැකිය. ස්වරාලයෙහි නිපදවන කටහඬේ තානය (ස්වරය) නාස් කුහරවල පමණක් නොව, නමුත් පපුවේ අස්ථි, දත්, උඩු තල්ල සහ කෝටරය ආධාරයෙන් රැව් පිළිරැව් දෙයි. මෙම සෑම අවයවයක්ම අනුනාදයේ ගුණයට දායක විය හැක. නිදසුනකට ගිටාරයේ ධ්වනි පුවරුව මත යම්කිසි බරක් තැබුවහොත්, ශබ්දය අඩපණ වේ. නිසි ලෙස අනුනාද වීමට නම් එම ධ්වනි පුවරුව කම්පනය වීමට හැකි වන පරිද්දෙන් එය අනවශ්‍ය බරවලින් නිදහස්ව තිබිය යුතුය. අපගේ සිරුරේ පේශීන් මගින් එකට බැඳ තබාගන්නා අස්ථි සම්බන්ධයෙන්ද මෙය සැබෑවක් වේ. අනුනාදය සමඟින් ඔබේ කටහඬ නිසි ලෙස පාලනය කිරීමටත් විවිධ හැඟීම් එමගින් පළ කිරීමටත් ඔබට හැකියාව ලැබේ. එමෙන්ම ඔබේ කටහඬට අනවශ්‍ය පීඩනයක් එල්ල නොකරමින් විශාල සබයක් පහසුවෙන් ඇමතීමට ඔබට පුළුවන් වේවි.