ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sg 13 පාඩම 37-40 පි.
  • කට හඬ දියුණු කිරීම සහ මයික්‍රෝෆෝන භාවිතය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කට හඬ දියුණු කිරීම සහ මයික්‍රෝෆෝන භාවිතය
  • දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • සමාන තොරතුරු
  • කටහඬේ ගුණය
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • මයික්‍රෝෆෝනය භාවිතය
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • වචන පැහැදිලිව ශබ්ද කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • “තත්පරයටම සිදු වන ස්වර සංයෝගයක්”
    1997 පිබිදෙව්!
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
sg 13 පාඩම 37-40 පි.

13 පාඩම

කට හඬ දියුණු කිරීම සහ මයික්‍රෝෆෝන භාවිතය

1-3. කට හඬේ ගුණය පිළිබඳ ව ඇති වන සමහරක් දුර්වලතා මොනවා ද, එමෙන් ම කෙනෙකුගේ පුද්ගලික ගැටලුව විග්‍රහ කිරීමට උපකාරී වන්නේ කුමක් ද?

1 “මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද?” යන ප්‍රශ්නය මැවුම්කරුවාණන් වන යෙහෝවඃ වහන්සේ මෝසෙස්ගෙන් ඇසූ සේක. (නික්. 4:10, 11) එමෙන් ම මිනිස් කථාව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සියලු ම ආශ්චර්යවත් අංගෝපාංග සෑදුවේ කවුදැයි අපට අසන්නට හැක. “අදක්ෂ දිවක්” ඇත්තා වූ තැනැත්තෙක් වුවත්, තමාගේ කථා කිරීමේ හැකියාව දියුණු කිරීමට යෙහෝවඃ වහන්සේට හැකි බවත්, උන් වහන්සේ එසේ කළ බවත් මෝසෙස් පසු ව දැනගත්තේ ය. ඊශ්‍රායෙල් ජාතියට දක්ෂ ලෙස කථා කිරීමට එම දිවැස්වරයාට හැකියාව ලබා දෙන ලදි.

2 අද දින දෙවියන් වහන්සේගේ සේවකයන්ගෙන් බහුතරයකට සිය කථා ශෛලියේ දුර්වලතා පිළිබඳ ව මනා අවබෝධයක් ඇත. සමහරුන්ගේ කට හඬ දුර්වල ය, තවත් අයගේ කට හඬ කර්කශ ය, සමහරුන්ගේ කට හඬ ගොරෝසු ය, නොහොත් බැරෑඬි ය. අඳෝනාත්මක කට හඬකට අනුනාසික ස්වරයකට හෝ රළු කට හඬකට හෝ ඇහුම් කන් දීම ප්‍රසන්න නැත. නීරස, අප්‍රාණික ස්වරයක් කිසිවෙකුගේ සිත් නොගනී. ඔබේ කට හඬ මෙම දුර්වලකම්වලින් එකක් හෝ පෙන්නුම් කරයි නම්, සිතට ධෛර්ය ගන්න. මෙම තත්ත්වය නිවැරදි කළ නොහැකි යයි හෝ දියුණු කළ නොහැකි යයි හෝ සිතමින්, මෙම තත්ත්වයට යටත්වීමට අවශ්‍යතාවයක් නැත.

3 දියුණුවක් ලබා ගැනීමට නම් තමා මඟ හැරිය යුතු සුවිශේෂ දුර්වලකම් ගැන අදාළ පුද්ගලයාට අවබෝධයක් තිබිය යුතු බව නොකිව මනා ය. කට හඬේ යම් දුර්වලකමක් විග්‍රහ කිරීමට දිව්‍යාණ්ඩු සේවා පාසල සහ පාසල් අවේක්ෂකගේ උපදෙස් මෙහි දී උපකාර වේ. එමෙන් ම ඔබේ ම කට හඬේ පටිගත කිරීමකට ඇහුම් කන් දීම ද උපකාරයකි. ඔබ දැනටමත් එසේ කර නැත්නම්, ඔබ පුදුම වනු ඇත. මක්නිසා ද ඔබ කථා කරන විට ඔබේ හිසේ ඇති ඇටකටු කම්පනය වන නිසා ඔබේ කට හඬ ඔබට ඇසෙන්නේ පහත් ස්වරයකිනි, නමුත් පටිගත කරන යන්ත්‍රයකින් ඔබට ඇසෙන්නේ එය අන්‍යයන්ට ඇසෙන ආකාරයට ම ය. කට හඬ දියුණු කිරීමට අත්තිවාරමක් හැටියට ඔබේ කට හඬේ යාන්ත්‍රික උපක්‍රමය ගැන අවධානය යොමු කිරීම හොඳ ය. සාමාන්‍යයෙන් කට හඬ භාවිතා කරන විට දී මේ ගැන ඔබ අවධානයක් යොමු නොකරනු ඇත.

4-6. කථාව නිපදවනු ලබන්නේ කෙසේ ද?

4 කට හඬ නිෂ්පාදනය කරන ආකාරය. මයින හම ලෙස ක්‍රියා කරන පෙණහලු මගින් ඉහළට යවනු ලබන වායු ධාරාව කට හඬේ පදනම ය. ශ්වාස නාලය දිගේ ඇවිත් වාතය උර්ධ්ව කණ්ඨය හෙවත් ස්වරාලයට ඇතුල් වේ, මෙය පිහිටා ඇත්තේ ඔබේ උගුර මැද ය. ඔබේ ස්වරාලය තුළ ස්වර තන්තු යනුවෙන් හඳුන්වනු ලබන කුඩා පේශි දෙකක් ඇත. අපේ ප්‍රධාන ශබ්ද නිෂ්පාදකයන් මේවා ය. මෙම තන්තු හෙවත් “ස්වර නැමියන්” ඔබේ ස්වරාලයේ බිත්තිවලට සවි කර ඇති එහා මෙහා කළ හැකි රාක්කවලට සමාන ය. ඒවායේ ප්‍රධාන අරමුණ වන්නේ වාතය ඇතුළට යැවීමට සහ පිට කිරීම සඳහා ඇරීමත්, වැසීමත්, පෙණහලුවලින් අනවශ්‍ය දේවල් ඉවත් කර තැබීමත් ය. ඔබේ පෙණහලුවලින් පිට වන වායුව මෙම තන්තු චලනය කරවයි. ඒවා පසු කොට වායුව තල්ලු කරනු ලැබූ විට ශබ්දය නිපදවෙයි. නිදසුනක් හැටියට: ඔබ බැලූනයක් පුම්බා, කර තද කොට වායුව පිටවීමට සැලැස් වූ විට, රබරය කම්පනය වී ශබ්දය නිපදවයි. එසේ ම ඔබ කථා කරන විට ඔබේ ස්වරාලයේ ඇති නැමි හෙවත් තන්තු තදින් එකට එක් වෙයි. ඒවා අතර ඇති V-අකුරේ හැඩය ගන්නා හිදැස්ස වැසේ. මෙම තන්තු කොපමණ තදින් අදිනු ලබන්නේ ද, ඒවා කම්පනය වන වේගය වැඩි වී නිපදවනු ලබන ශබ්දවල ස්වරය ද ඉහළ යයි. අනෙක් අතට, මේවා බුරුල් කරන තරමට ඒවායින් නිපදවනු ලබන ස්වරය ද පහත් වෙයි.

5 ස්වරාලයෙන් නික්මෙන වායුව ග්‍රසනිකාව නමින් හඳුන්වන ඔබේ උගුරේ ඉහළ කොටසට ගමන් කරයි. ඉන් පසු එය ඔබේ මුඛයටත් නාසා මාර්ගවලටත් ඇතුළු වේ. මෙහි දී, මූලික ස්වරයට උපරිතානයක් එකතු කරනු ලැබේ. මෙම උපරිතානයන් මූලික ස්වරය හෙවත් තානය වෙනස් කරයි, විකාශනය කරයි, ශක්තිමත් කර මුඛයේ පියස්ස, දිව, දත්, විදුරුමස්, හක්ක සහ තොල් එකතු වී කම්පනය වන ශබ්ද තරංග කුඩා මෙන් ම පැහැදිලි කථාවක් ඇති කරවන ස්වර සහ ව්‍යාඤ්ජන සාදයි.

6 ඇත්ත වශයෙන් ම, මිනිස් කට හඬ අරුමයකි. මිනිසා විසින් සාදන ලද කිසි ම උපකරණයක් මෙතරම් විස්මයජනක නැත. මෘදු, සියුමැලි ප්‍රේමයේ පටන් රළු දැඩි සාහසික බද්ධ වෛරය දක්වා හැඟීම් සහ චිත්ත වේගයන් රාශියක් ප්‍රකාශ කිරීමේ හැකියාව එයට ඇත. සුදුසු ලෙස පුහුණු කළ විට, ස්වර ග්‍රාම තුනක් සහ අලංකාර සංගීත ශබ්ද, එමෙන් ම හෘදයාංගම කථා රටා ප්‍රකාශ කිරීමේ හැකියාවක් මිනිස් කට හඬ සතු ව ඇත. අප ඉගෙන ගන්නට යන පරිදි මිනිස් කට හඬ දියුණු කිරීමට ප්‍රධාන අවශ්‍යතාවයන් දෙකක් ඇත.

7-10. කෙනෙකුගේ වායු සැපයුම පාලනය කරන්නේ කෙසේ ද, තව ද ඒ මන්ද?

7 වායු සැපයුම පාලනය කිරීම. උපරිම ප්‍රතිඵලය ලබා ගැනීමට නම්, කථිකයෙකුට හොඳ අඛණ්ඩ වායු සැපයුමක් සහ ආශ්වාස ප්‍රශ්වාස පාලනයක් අවශ්‍ය ය. කථා කරන විට, සුදුසු ලෙස ආශ්වාස ප්‍රශ්වාස කිරීමට බොහෝ පුද්ගලයෝ නොදනිති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් තමන්ගේ පෙණහලුවල ඉහළ කොටස පමණක් පාවිච්චි කරති, ඒ නිසා ඔවුහු කථා කරන විට, හති දමති. පෙණහලුවල විශාල ම කොටස පිහිටා ඇත්තේ පපුවේ ඉහළ කොටසේ නොවේ, එය සාමාන්‍ය මතයට පටහැනි ය; මෙම කොටස විශාල ලෙස පෙනෙන්නේ අපේ උරහිස් ඇට නිසා ය. ඒ වෙනුවට පෙණහලුවල පළල් ම කොටස උදර ප්‍රාචීරයට මදක් ඉහළින් පිහිටා ඇත. මේ වනාහි පිරිසිදු වාතය පෙණහලුවලට ඇද ගැනීමටත්, පාවිච්චි කළ වාතය ඉවතට තල්ලු කිරීමටත් උදව් කරන පොම්පයක් හැටියට ක්‍රියා කරන, ශක්තිමත් වක්‍ර පේශියකි. පහළ ඉල ඇටවලට සම්බන්ධ වී තිබෙන්නා වූ ප්‍රාචීරය, පපුව සහ උදර කුහරය වෙන් කරයි. ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ දී භාවිතා කරනු ලබන්නේ මෙම කොතක හැඩය ඇති පේශියයි. ප්‍රාචීරයේ කොතක් බඳු මුදුන ඉහළට චලනය වන විට, එය පෙණහලුවලින් වාතය ඉවතට තල්ලු කරයි. එය පහතට චලනය වන විට, ඔබේ පෙණහලුවලට වාතය ගලා යයි.

8 කට හඬ දියුණු කිරීම සඳහා කළ යුතු පළමු වැනි දෙය නම්, ඔබේ වායු සැපයුම පාලනය කිරීමට ඉගෙන ගැනීමයි. ඔබ කථා කිරීම සඳහා ආශ්වාස කිරීමට ඔබේ පපුවේ නොගැඹුරු ඉහළ කොටස විකාශනය කිරීමෙන් වළකින්නට කල්පනාකාරී ප්‍රයත්නයක් දරන්න. ඔබේ පෙණහලුවල පහළ කොටස විකාශනය කරන්න. උදරයේ පේශිවල ආධාරය ඇති ව මොළොක් ප්‍රාචීර පීඩනය මගින් ක්‍රමක්‍රමයෙන් වාතය ගලා යෑම පාලනය කරන්න. මෙය වාතයේ සීඝ්‍ර පිටවීම වළක්වනු ඇත. එය පාලනය නොකර හැරියොත්, කථිකයා ඉක්මනින් හති දමන අතර, ඔහුගේ හඬ අඩු වනු ඇත.

9 උගුර තද කිරීමෙන් වායු සැපයුම පාලනය කිරීමට බොහෝ දෙනෙක් තැත් කරන අතර, එයින් සිදු වන්නේ කට හඬ විඩාවට පත් වීමත්, ගොරෝසු වීමත් පමණ ය. මෙය මඟ හැරීමට උගුරේ පේශීන් බුරුල් කොට තබා ගැනීමට වෑයම් කරන්න.

10 දුවන්නෙක් තරඟයකට පුහුණු වන්නා සේ ම කථිකයෙක් ද ව්‍යායාම මගින් ප්‍රාචීර පාලනය දියුණු කළ යුතු ය. ඔහුට කෙළින් සිට ගෙන ගැඹුරු හුස්මක් ගෙන, හෝඩියේ අකුරු හැකි තරම් ප්‍රමාණයක් උච්චාරණය කිරීමෙන් හෝ එක් හුස්මෙන් ම හැකි තරම් ඉහළට ගණන් කරමින් මට සිලුටු ලෙස, සෙමින් සහ ක්‍රමක්‍රමයෙන් ප්‍රශ්වාස කළ හැක. එමෙන් ම ශබ්ද නගා කියවීමෙන් ද ඔහුට පුහුණු විය හැක.

11-15. පේශිමය ආතතිය, කර්කශ බව, නාසයෙන් නැගෙන හඬ සහ කථා ගුණය ගොළු වීමට සම්බන්ධ වන්නේ කෙසේ ද?

11 තදට ඇදුණු පේශි බුරුල් කිරීම. කට හඬ පිළිබඳ බොහෝ ගැටලු විසඳීමට වැදගත් එහෙත් සරල උපදේශයක් ඇත—සන්සුන් වන්න! කථිකයා සන්සුන් වන්නට ඉගෙන ගන්නා තුරු, ඔහුගේ කට හඬ දියුණු කිරීම සඳහා උපකාර කිරීමට වැඩි දෙයක් කළ නොහැක. එහෙත් කථා කරන විට, සන්සුන් වීමට ඉගෙන ගැනීමෙන් ඔබට ලබා ගත හැකි දියුණුව ගැන ඔබ විස්මයට පත් වනු ඇත. මනස පමණක් නොව, ශරීරය ද සන්සුන් ව තබා ගත යුතු ය, මානසික පීඩනය පේශිවල ආතතිය ඇති කරයි. ඔබේ සබය ගැන හරි ආකල්පයක් ඇති කර ගැනීමෙන් මානසික පීඩනය ලිහිල් කරන්න. බොහෝ විට ඔබගේ සබය වන්නේ යෙහෝවඃ වහන්සේගේ සෙනඟ ය. පේළිවල වාඩි වූ පමණකින් ඔබේ මිතුරන් ඔබගේ සතුරන් බවට පත් වනවා ද? කිසිසේත් නැත. ඔබ නිති පතා මුහුණ දෙන අන්දමේ මිත්‍රශීලී සහ ප්‍රේමනීය සබයක් ලෝකයේ වෙන කිසි ම ජන කොට්ඨාශයකට මුණ නොගැසෙති.

12 ආරම්භයේ දී සිතාමතා ම සන්සුන් වීමට ඔබට අවශ්‍ය විය හැක. කෝලය නිසා ඔබගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීම නොගැඹුරු රිද්මයකින් තොර එකක් බව ඔබට පෙනී යනු ඇත. සිතාමතා සෙමින් රිද්මයානුකූල ව ආශ්වාස ප්‍රශ්වාස කරමින් උගුරේ පේශි බුරුල් කිරීමට වෑයම් කිරීමෙන් මෙය නිවැරදි කළ හැක.

13 ස්වර තන්තුවල ආතතිය වැඩි වන තරමට තාරතාවය ඉහළ යන බව අපි දැනටමත් ඉගෙන ගෙන ඇත්තෙමු. ඒ නිසා ඒවා තදින් අදින තරමට ඔබ නිෂ්පාදනය කරන ශබ්ද ද ඉහළ යයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ඔබත් ඔබට සවන් දෙන්නනුත් නොසන්සුන් කරවන කර්කශ කට හඬකි. මෙය නිරාකරණය කිරීමට කුමක් කළ හැකි ද? ඔබේ ස්වර තන්තු පසුකර යන වාතය ඒවා කම්පනය වීමට සලස්වන බව මතක තබා ගන්න. වයලීනයක තත තද කරන විට හෝ බුරුල් කරන විට එහි තානය වෙනස් කරන ආකාරයට, ස්වර තන්තු ඇදෙන විට සහ බුරුල් වන විට කට හඬේ ස්වරය ද වෙනස් වෙයි. ඔබ ස්වර තන්තු බුරුල් කරන විට, තානය හෙවත් ස්වරය පහළ යයි. ඒ නිසා කළ යුතු දෙය වන්නේ උගුරේ පේශීන් බුරුල් කොට තබා ගැනීම ය. ආතතිය නිසා ගිලින පේශි ස්වර තන්තු පාලනය කරන පේශිවලට එරෙහි ව ක්‍රියා කරමින් රළු කට හඬක් නිපදවයි. ඔබ සිතාමතා ම සන්සුන් වන විට දියුණුව සැලසෙයි.

14 සමහර විට උගුරේ සහ මුඛයේ පේශිවල ආතතියක් ඇති කිරීම නිසා වාතය නිදහසේ ගලා යාම වළක්වමින් පුද්ගලයෙක් තමාගේ නාසා මාර්ගය වසා දමයි. මෙහි ප්‍රතිඵලය නාසයෙන් කථා කරන හඬකි. මෙය මඟ හැරීමට ද අවශ්‍ය වන්නේ පේශි බුරුල් කිරීම ය. සමහර අවස්ථාවල දී නාසයේ බාධකයක් ගැටලුවට හේතු විය හැක.

15 හක්ක ද බුරුල් ව තබා ගැනීම අවශ්‍ය ය. එය බුරුල් නැති විට මුඛය හරියාකාර ව නොඇරෙන නිසා ශබ්දය දත් තුළින් පිට වෙයි. මෙහි ප්‍රතිඵලය නම් රළු හඬක් සහ අපැහැදිලි කථාවකි. එහෙත් හක්ක බුරුල් ව තබා ගැනීමෙන් අදහස් කරන්නේ කම්මැලි ලෙස කථා කිරීම නොවේ. හොඳ පැහැදිලි ශබ්ද නිපදවීමත් සමඟ ම එය තුලනය කිරීම ය.

16, 17. කෙනෙකුගේ ප්‍රතිධ්වනිය දියුණු කිරීමට උපකාර වන්නේ කුමක් ද, තව ද එය වැදගත් වන්නේ මන්ද?

16 සාමාන්‍ය පේශි ආතතිය බුරුල් කිරීම කෙනෙකුගේ ප්‍රතිධ්වනිය හෙවත් අනුනාදය දියුණු කිරීමට බොහෝ සේ උපකාරී වේ. බුරුල් කරන ලද උගුරකින් පැහැදිලි ශබ්ද නිපදවන විට කට හඬේ විහිදීම සඳහා ඒවා උපනාද මගින් ශක්තිමත් කළ යුතු ය. ප්‍රතිධ්වනිය නිෂ්පාදනය කරනු ලබන්නේ ශබ්ද පුවරුවක් මෙන් ක්‍රියා කරන මුළු ශරීරය ම පාවිච්චියට ගැනීමෙන් වූ නමුදු, ආතතිය හෙවත් ඇදීම කරණ කොට ගෙන එයට බාධා පමුණුවනු ලබයි. තානය හෙවත් හඬ ස්වරාලය තුළ නිෂ්පාදනය කරනු ලැබ නාසා කුහරවල පමණක් නොව, ශරීරයේ පපුව, දත්, උඩුතල්ල සහ කුහරක ආදි සෑම කොටසක ම ප්‍රතිනාද වෙයි. ප්‍රතිධ්වනියේ ගුණාත්මක භාවයට මේ සෑම කොටසක් ම දායක විය හැක. කෙනෙක් වයලීනයක ශබ්ද පුවරුව මත බරක් තැබුවොත් එහි නාදය ගොළු වෙයි; එමනිසා එය නිදහසේ කම්පනය විය යුතු ය. පේශි මගින් ශක්තිමත් ලෙස වෙලා ඇති ශරීරයේ ඇට සැකිලි ව්‍යූහය ද මීට සමාන ය. ප්‍රතිධ්වනිය මගින් පහසුවෙන් පරිශ්‍රමයක් නැති ව ඔබේ කට හඬ විඩා නොකොට විශාල සබයකට කථා කිරීමට ඔබට හැකි වනු ඇත. ප්‍රතිධ්වනිය නැති ව ඔබේ කට හඬ විහිදුවීමට සුදුසු ලෙස හඬ පාලනය කිරීම සහ විවිධ විධියේ හැඟීම් ප්‍රකාශ කිරීම අපහසු වනු ඇත.

17 තනු ගුම් ගුම් ගෑමෙන් සහ සිතාමතා ශරීරය බුරුල් ව තබා ගැනීමෙන් ප්‍රතිධ්වනිය දියුණු කළ හැක. තොල් ඉතා සැහැල්ලු ලෙස එකිනෙකට ස්පර්ශ විය යුතු අතර, තද නොකළ යුතු ය. එසේ තොල් තද නොකිරීමෙන් තද පේශි මගින් හඬට බාධා නොවන අතර එය නාසයෙන් පිට නොවේ. ඇතැම් ශබ්ද නැවත නැවත කීමෙන් සහ අං, ම්ම්, න්න් සහ ල්ල් වැනි ශබ්ද දිගු ලෙස පවත්වා ගැනීම ප්‍රතිධ්වනියට ආධාරයක් වන බව පෙනෙනු ඇත. කට හඬේ ගුණය දියුණු කිරීමට තවත් හොඳ ව්‍යායාමයක් නම් උගුර විවෘත කොට තබා ගෙන, හක්ක බුරුල් කොට තබා ගෙන අඩු ශබ්දයකින් දීර්ඝ ලෙස ස්වර උච්චාරණය කිරීම ය.

18-22. කාර්ය සාධක අන්දමින් මයික්‍රෝෆෝනය භාවිතා කිරීම ගැන අප මතක තබා ගත යුත්තේ කුමන උපදෙස් ද?

18 නිසියාකාරයෙන් මයික්‍රෝෆෝන භාවිතා කිරීම. කථිකයා විඩාවට පත් නොවීම සඳහාත්, සබයට ශබ්දය ප්‍රසන්න කිරීම සඳහාත් විශාල රැස්වීම් ස්ථානවල දී මිනිස් කට හඬ විදුලි බලය ආධාරයෙන් විකාශනය කිරීමට අවශ්‍ය වනු ඇත. මේ අනුව ශබ්ද නගා කථා කිරීමට කථිකයාට වැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු නොවන අතර, කියන දෙයට ඇහුම් කන් දීම සඳහා ශ්‍රාවකයන්ට තමන්ගේ කන්වලට වෙහෙසක් ගෙන දීමට අවශ්‍ය නොවේ. බොහෝ සභාවල වේදිකාවේ පමණක් නොව ශ්‍රාවකයන්ගේ පිළිතුරු ද සියල්ලන්ට ම ඇසීමට සැලැස්වීම සඳහා මයික්‍රෝෆෝන භාවිතා කරනු ලැබේ. ස්ථානීය රාජ්‍යය ශාලාවක මයික්‍රෝෆෝන භාවිතා නොකළත් විශාල සමුළුවල දී ඒවා යොදා ගනු ලැබේ. එබැවින් මයික්‍රෝෆෝන නිසි ලෙස භාවිතා කිරීම ගැන අපි දැන සිටිය යුත්තෙමු.

19 ඔබගේ කට මයික්‍රෝෆෝනයට කොපමණ ළං විය යුතු ද? සාමාන්‍යයෙන් අඟල් හතර සිට හය දක්වා විය යුතු ය. මයික්‍රෝෆෝන භාවිතය පිළිබඳ ව නිතර ම පැන නගින ගැටලුව නම් කථිකයා එයින් වුවමනාවට වඩා ඈත් වීමයි. එබැවින් මේ ගැන සුපරීක්ෂාකාරී වන්න. එමෙන් ම මයික්‍රෝෆෝනය වෙතටත් එහි ග්‍රහණ සීමාව දෙසටත් ඔබේ කට හඬ යොමු කරන්න. එසේ නොකළොත් සබයට හොඳින් සහ පැහැදිලි ලෙස කථාව ඇසීමට සැලැස්වීම ශබ්ද පරිපාලකයාට අසීරු කාර්යයක් වනු ඇත. මයික්‍රෝෆෝනය තුළට කැහීම, කිවිසුම් ඇරීම, උගුර පෑදීම වැනි දේ නොකළ යුතු බව නොකිව මනා ය.

20 මයික්‍රෝෆෝනය භාවිතා කරන විට ඔබේ කට හඬ ශබ්ද විකාශන යන්ත්‍රය තුළින් ශබ්ද වන ආකාරයට ඇහුම් කන් දෙන්න. ඉන් පසු අවශ්‍ය නම් ශබ්දය සහ ඔබේ පිහිටීම සකස් කර ගන්න. මයික්‍රෝෆෝනයට මඳක් ළං වීමෙන් හෝ එයින් අඟලක් දෙකක් ඈත් වීමෙන් අඩු පාඩු මකා ගත හැක. තමන්ගේ කට හඬ විකෘති වීම සහ සබයට නුරුස්සන අප්‍රසන්න එකක් වීම වැළැක්වීම සඳහා ඇතැම් කථිකයෝ අධි-ශබ්දයකින් කථා කිරීමෙන් වැළකිය යුතු ය. අදහස් දැන්වීම සඳහා ඔබට විටින් විට ශබ්දය අඩු කිරීමට අවශ්‍ය වුවහොත්, නවීන ශබ්ද විකාශනවල මහිමයට ස්තුති වන්නට ඔබ රහසින් කියන දේ පවා සබයට ඇසෙන බව මතක තබා ගන්න.

21 මයික්‍රෝෆෝනය භාවිතා කිරීමේ දී සැලකිලිමත් විය යුතු වෙනත් කරුණු ද ඇත. සමහර විට ඔබේ “ප” තීව්‍ර වන බව ඔබට පෙනී ගොස් තිබේ ද? පුද්ගලයෙක් මයික්‍රෝෆෝනය තුළට කෙළින් ම, එහෙත් ඕනෑවට වඩා ළං වී කථා කිරීමෙන් මෙය සිදු වෙයි. තීව්‍ර “ස” ශබ්දය ද ගැටලුවක් විය හැක. ඒවා අඩු ශබ්දයෙන් උච්චාරණය කළ යුතු ය. එසේ නොකළොත්, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඒවා අතිශයෝක්තියක් වේ. මෙවැනි ගැටලු ඔබ අවබෝධ කර ගත් විට, ඒවාට මුහුණ දීම දුෂ්කර නොවේ.

22 අපගේ කට හඬ අපේ මැවුම්කරුවාණන්ගෙන් අප ලබා ඇති ආශ්චර්යවත් දීමනාවකි. විදුලි බලය සහ මනසේ නිර්මාණ ශක්තිය ද උන් වහන්සේගේ දීමනාවන් වන අතර, ඒවා මයික්‍රෝෆෝන මගින් කථා කිරීමේ හැකියාව අපට ලබා දී ඇත. ශබ්ද විකාශන යන්ත්‍ර ඇති ව හෝ නැති ව අප කථා කරන සෑම විටක ම කථාවේ නිර්මාතෘවරයාණන්ට ගෞරවය ගෙන දෙන ආකාරයෙන් අපි එසේ කරමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න