ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 17 පාඩම 139 පි.-142 පි. 1 ¶
  • මයික්‍රෝෆෝනය භාවිතය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මයික්‍රෝෆෝනය භාවිතය
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • කට හඬ දියුණු කිරීම සහ මයික්‍රෝෆෝන භාවිතය
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • සුදුසු ශබ්දය
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • 2020 “නිරතුරුවම ප්‍රීති වෙන්න” තුන්දින සමුළුවේ පරිවර්තන කටයුතු
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • ශබ්දය සහ විරාමය
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 17 පාඩම 139 පි.-142 පි. 1 ¶

පාඩම 17

මයික්‍රෝෆෝනය භාවිතය

කළ යුතු වන්නේ කුමක්ද?

ඔබේ රැස්වීම්වලදී ශබ්ද විකාශනය සඳහා මයික්‍රෝෆෝන යොදාගැනේ නම්, ඒවා නිවැරදිව භාවිත කරන්න.

එය වැදගත් වන්නේ මන්ද?

පවසන දේ අන් අයට ප්‍රයෝජනයක් ගෙන දෙන්නේ එය පැහැදිලිව ඇසිය හැකි වන විට පමණි.

ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීම සඳහා අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියෝ සෑහෙන කාලයක් වැය කරමින් වෙහෙස වෙති. පවසනු ලබන දෙයින් ප්‍රයෝජන ලබාගැනීමට නම්, එය පහසුවෙන් ඇසීමට හැකි විය යුතුය.

පුරාණ ඉශ්‍රායෙල් ජාතිය පැවති කාලයේදී, විදුලිය මාර්ගයෙන් ශබ්දය විකාශනය කිරීමට කිසිම උපකරණයක් තිබුණේ නැත. ඉශ්‍රායෙල් ජාතිය පොරොන්දු දේශය තුළට පිවිසෙන්නට කලින් මෝවබ් මිටියාවතේදී මෝසෙස් ඔවුන්ට කතා කළ විට, මිලියන ගණනකින් යුත් ඔහුගේ සබයට ඇසුණේ කෙසේද? සමහරවිට මෝසෙස් වෙනත් අයගේ සහාය ලබන්නට ඇති. ඇතැම්විට කඳවුරේ සියල්ලට ඔහුගේ වචන පුද්ගලයාගෙන් පුද්ගලයාට දැනුම් දීම සඳහා යම් ක්‍රමයක් උපයෝගි කළා විය හැක. ඒ සඳහා කඳවුරේ විවිධ ස්ථානවල පුරුෂයන් සිටුවන්නට ඇත. (ද්වි. 1:1; 31:1) ඉශ්‍රායෙලිතයන් යොර්දාන් ගඟට බටහිරින් පිහිටි දේශය යටත් කරගැනීමේ කටයුත්ත අරඹා වැඩි කලක් යන්නට මත්තෙන්, යෝෂුවා ගෙරිසීම් කන්ද සහ ඒබාල් කන්ද ඉදිරිපිට ඉශ්‍රායෙල් ජාතිය එක්රැස් කරවා, ඒ කඳු දෙක අතර පිහිටි නිම්නයේ ලෙවීවරුන්ව එක්රැස් කෙරෙවූ බව පෙනී යයි. එහිදී සියලු ජනයා තමන්ට ඉදිරිපත් කළ දිව්‍ය ආශීර්වාද සහ ශාපවලට සවන් දී ප්‍රතිචාරය දැක්වූවෝය. (යෝෂු. 8:33-35) මෙම අවස්ථාවේදීත් පැවසූ දේ පුද්ගලයාගෙන් පුද්ගලයාට දැනුම් දීම සඳහා විවිධ පුරුෂයන් ස්ථානවල සිටුවා යම් ක්‍රමයක් උපයෝගි කරගත්තා විය හැක. කෙසේවෙතත්, එම ප්‍රදේශය සිසාරා ශබ්දය ඉතා හොඳින් ගමන් කිරීමත් එම කාර්යය තවත් පහසු කරවන්නට ඇති.

වසර 1,500කට පමණ පසුව, යේසුස්ට සවන් දීම සඳහා “ඉතා මහත් සමූහයක්” ගලීල මුහුද අද්දර “රැස් වූ” විට ඔහු ඔරුවකට නැඟ, වෙරළින් මදක් ඈතට යාත්‍රා කළේය. එවිට ඔරුවෙහි ඉඳගෙන සමූහයාට කතා කරන්නට පටන්ගත්තේය. (මාක් 4:1, 2) යේසුස් ඔරුවක සිට කතා කළේ මන්ද? මීට හේතුව තිබෙන සාක්ෂිවලට අනුව මිනිස් කටහඬ නැත්නම් ශබ්දය නිසල ජල කන්දරාවක් මතින් ඉක්මනින් හා ඉතා පැහැදිලිව ගමන් කිරීමට තිබෙන හැකියාව නිසාය.

විසිවන සියවසේ මුල තෙක්, කථිකයෙකුගේ කටහඬේ ශබ්දය සහ පැහැදිලිකම බොහෝ දුරට තීරණය කරනු ලැබුවේ පවසනු ලැබූ දේ සබයේ කීදෙනෙකුට අසන්නට හැකි වූවාද යන්න මතය. කෙසේවෙතත්, 1920ගණන් පටන් සමුළුවලදී මිනිස් කටහඬ විකාශනය කිරීම සඳහා යෙහෝවාගේ සේවකයෝ විදුලි ශබ්ද විකාශන උපකරණ භාවිත කිරීමට පටන්ගත්හ.

ශබ්ද විකාශනය සඳහා උපකරණ. කථිකයෙකුගේ කටහඬේ ශබ්දය කිහිප ගුණයක් විකාශනය කිරීමට මෙවැනි උපකරණවලට පුළුවන. එසේ කරන අතරතුරේදී, කටහඬේ ගුණාත්මකභාවය සහ තානය (ස්වරය) පැහැදිලි මට්ටමක පවත්වාගත හැකිය. එවිට කථිකයාට තම ස්වර තන්ත්‍ර වෙහෙස වීමට අවශ්‍යතාවක් නොමැත. අනික් අතට, පවසනු ලබන දේ ඇසීමට සවන්දෙන්නන්ට අමතර ආයාසයක් දැරීමටද සිදු වන්නේ නැත. ප්‍රතිඵලයක් ලෙස, පණිවිඩයට හොඳ අවධානයක් දීමට ඔවුන්ට පුළුවන.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළු හා එක්රැස්වීම්වලදී සුදුසු ශබ්ද විකාශන සපයා දීම සඳහා සෑහෙන වෙහෙසක් දරා ඇත. මීට අමතරව, කතා ඉදිරිපත් කරන අයගේ, රැස්වීම් පවත්වන අයගේ හෝ වේදිකාවේ සිට කියවන අයගේ කටහඬවල් විකාශනය කිරීමට බොහෝ රාජ්‍ය ශාලාවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කෙරේ. තවද ඇතැම් සභාවල රැස්වීම අතරතුරේදී සබයේ සාමාජිකයන් අත් ඔසවා අදහස් දක්වන විට, ඒවා පහසුවෙන් ඇසීම සඳහා මයික්‍රෝෆෝන භාවිත කරනු ලැබේ. ඔබේ සභාවේ එවන් ශබ්ද විකාශන යන්ත්‍ර ඇත්නම්, ඒවා හොඳින් භාවිත කිරීමට ඉගෙනගන්න.

සරල මඟ පෙන්වීම් කිහිපයක්. මෙවැනි යන්ත්‍ර නිසි ලෙස භාවිත කිරීමට මතු දැක්වෙන කරුණු සිහියේ තබාගන්න. (1) මයික්‍රෝෆෝනය සාමාන්‍යයෙන් ඔබේ මුවින් සෙන්ටිමීටර් දහයක සිට 15ක (අඟල් හතරක සිට හයක) දුරකින් තබාගත යුතුය. මයික්‍රෝෆෝනය ළඟ වැඩි නම්, ඔබේ වචන විකෘති වී පැහැදිලිව ඇසීමට නොහැකි වනු ඇත. දුර වැඩි නම්, ඔබේ කටහඬ අපැහැදිලි වේවි. (2) මයික්‍රෝෆෝනය පැත්තකින් නොව ඔබ ඉදිරියෙහි තිබිය යුතුය. ඔබේ හිස වමට සහ දකුණට සොලවනවා නම්, ඔබ කතා කළ යුත්තේ ඔබේ මුහුණ මයික්‍රෝෆෝනය දෙසට යොමු වී ඇති අවස්ථාවේදී පමණය. (3) සාමාන්‍ය සංවාදයකදී භාවිත කරනවාට වඩා මද වශයෙන් වැඩි කටහඬක් සහ තීව්‍රතාවක් භාවිත කරන්න. එනමුත් කෑගැසීම සඳහා කිසිදු අවශ්‍යතාවක් නැත. සබයේ ඈතින්ම සිටින තැනැත්තා දක්වා ඔබේ වචන විකාශනය කිරීම ශබ්ද විකාශන යන්ත්‍රවලින් පහසුවෙන්ම සිදු වේ. (4) උගුරේ රැල් බුරුල් ඇරීමට සිදු වේ නම් හෝ කිවිසුමක් හෝ කැස්සක් ඇති වේ නම්, ඔබේ හිස මයික්‍රෝෆෝනය දෙසින් ඉවතට හරවා එසේ කිරීමට වගබලා ගන්න.

කතාවක් දෙන විටදී. සාමාන්‍යයෙන් ඔබ කථික පුවරුවට ළඟා වන විට, සහෝදරයෙක් පැමිණ මයික්‍රෝෆෝනයේ පිහිටීම සකස් කරයි. ඔහු එසේ කරන අතරතුරේදී සබය දෙස බලා සැහැල්ලු ඉරියව්වකින් සිටගෙන සිටින්න. ඔබේ සටහන් කථික පුවරුවේ තබන්න. එසේ කරන විට මයික්‍රෝෆෝනයෙන් ඔබේ සටහන්වලට බාධාවක් නොවන බවට සහතික වන්න.

කතාව අරඹන විට, ශබ්ද විකාශන යන්ත්‍රවලින් ඔබේ කටහඬ ඇසෙන්නේ කෙසේදැයි බලන්න. ශබ්දය වැඩිද? ඇතැම් වචන ශබ්ද කරන විට ‘පොප්’ ශබ්දයක් ඇසෙනවාද? ඊට පිළියමක් ලෙස අඟලක් දෙකක් ආපස්සට පියවරක් ගැනීමට සිදු විය හැක. කෙටි සටහන් දෙස බලන විට ඔබ කතා කළ යුත්තෙත්, කියවිය යුත්තෙත් ඔබේ මුහුණ මයික්‍රෝෆෝනය දෙසට හෝ ඊට මදක් ඉහළින් යොමු වී ඇති විටෙක පමණි. මුහුණ මයික්‍රෝෆෝනයෙන් පහළට වෙන්න තබාගෙන සිටින විට කතා නොකරන්න.

වේදිකාවේ සිට කියවන විටදී. ඔබේ බයිබලය හෝ වෙනයම් ප්‍රකාශනයක් කියවීමට සිදු වන විට, එය හැකි තරම් ඉහළට ඔසවා කියවීම උචිතය. එවිට ඔබේ මුහුණ සබය දෙසට යොමු කර කියවිය හැක. මයික්‍රෝෆෝනය බොහෝ දුරට ඔබ ඉදිරියෙහි තිබෙන නිසා, කියවන ග්‍රන්ථය පැත්තකට අල්ලාගෙන කියවීමට සිදු විය හැක. මින් අදහස් වන්නේ ඔබේ හිස මයික්‍රෝෆෝනය දෙසින් මදක් ඉවතට හැරවිය යුතු බවය. එසේ හිස මදක් හරවා කියවන විට, ඔබේ කටහඬ මයික්‍රෝෆෝනය තුළින් හොඳින් ඇසීමට සැලැස්විය හැක.

මුරටැඹ පාඩම කියවන සහෝදරයන් වැඩිදෙනා කෙළින් පිහිටා ඇති මයික්‍රෝෆෝනයක් ඉදිරියෙහි සිටගෙන කියවති. මෙලෙස සිටගෙන සිටීමෙන් ඔවුන්ට වඩාත් පහසුවෙන් හුස්ම ගත හැකි අතර, වඩා අවධාරණයකින් යුතුව කියවීමටද පුළුවන. එම රැස්වීමෙන් සෑහෙන කාලයක් වැය වන්නේ ඡේද කියවීමට බව මතක තබාගන්න. එසේ නම්, සබයට ඉන් ලැබෙන ප්‍රයෝජනය බොහෝදුරට රඳා පවතින්නේ කියවනු ලබන තොරතුරුවලට හොඳින් සවන් දීමට හැකිවීම මතය.

රැස්වීමේදී අදහස් දක්වන විටදී. සබයේ සහභාගිත්වයක් ඇති විට ඔබේ සභාවේ මයික්‍රෝෆෝන භාවිත කෙරේ නම්, පැහැදිලි සහ ප්‍රමාණවත් ශබ්දයක් භාවිත කිරීමට අවශ්‍යතාවක් තවමත් පවතින බව මතක තබාගන්න. අදහස් දක්වන විට, ඔබේ පාඩම් පොත හෝ සඟරාව නැතහොත් බයිබලය ඔබේ අතෙහි තබාගෙන සිටීමට උත්සාහ කරන්න. මෙසේ කරන විට මයික්‍රෝෆෝනයෙන් කතා කරමින් සිටින අතරතුරේදී, ඔබ අදහස් දැක්වීමට භාවිත කරන පොත හෝ සඟරාව පහසුවෙන් දැකගැනීමට හැකියාව ලැබේ.

ඇතැම් සභාවල අදහස් දැක්වීමට ඉදිරිපත් වන අය වෙත මයික්‍රෝෆෝන රැගෙන යෑමට ඇතැම් සහෝදරයන්ට පවරා ඇත. ඔබේ සභාවේ මෙවැනි වැඩපිළිවෙළක් ඇත්නම් ඔබෙන් අදහස් ඉදිරිපත් කිරීමට ඉල්ලා සිටින විට මයික්‍රෝෆෝනය ඔබ වෙත ගෙන එන තෙක් ඔබේ අත ඔසවා සිටින්න. එවිට මයික්‍රෝෆෝනය හසුරුවන සහෝදරයාට ඉක්මනින් ඔබ සිටින ස්ථානය වෙතට පිවිසිය හැකි වේ. ඔබට ලබා දෙන්නේ අතින් ඇල්ලිය යුතු මයික්‍රෝෆෝනයක් නම්, එය අතට ගැනීම සඳහා උත්සාහ දරන්න. මයික්‍රෝෆෝනය ඔබේ මුව අසලටම ගෙනෙන තෙක් ඔබේ අදහස් පළ නොකරන්න. අදහස් පළ කර හමාර වූ විට, මයික්‍රෝෆෝනය අප්‍රමාදව ආපසු භාර දෙන්න.

නිරූපණයකට සහභාගි වන විටදී. නිරූපණයකදී මයික්‍රෝෆෝනයක් භාවිත කිරීමට සිදු වන විට ඉතා කල්පනාකාරි විය යුතුය. මයික්‍රෝෆෝනය යම් ආධාරකයක් මත සවි කර ඇත්නම්, ඔබේ බයිබලය සහ කෙටි සටහන් භාවිත කිරීමට ඔබේ අත් දෙකම නිදහස්ව තිබේ. මයික්‍රෝෆෝනය අතින් අල්ලාගන්නා විට අභිනය කිරීමට හා චලනය වීමට වැඩි අවකාශයක් තිබිය හැකි වුවත්, සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට නම් ඔබේ සහායකයාට ඔබ වෙනුවෙන් එය ඇල්ලීමට සිදු විය හැක. එසේ කළහොත් ඔබේ බයිබලය භාවිත කිරීමට අත් දෙක නිදහස්ව තිබේ. ඔබත් ඔබේ නිවැසියාත් මෙය හොඳින් පෙරහුරු කළ යුතුය. සහායකයා මයික්‍රෝෆෝනය නිසි ලෙස ඇල්ලිය යුත්තේ කෙසේදැයි දැනගන්නේ එවිට පමණි. මතක තබාගත යුතු තවත් දෙයක් නම්, වේදිකාවේ සිටින විට ඔබේ සබයට පිටු පා නොසිටීමයි. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ ඔබ කතා කරන විටදීය.

සේවා රැස්වීමේ නිරූපණවලදී කිහිපදෙනෙකු සහභාගි විය හැකි අතර, වේදිකාවේ තැනින් තැන ගමන් කරන්නට ඔවුන්ට සිදු වීමට පුළුවන. එමනිසා, මයික්‍රෝෆෝන කිහිපයක් අවශ්‍ය විය හැක. ඒවා කල්තියාම වේදිකාවෙහි තැබිය යුතුය. එසේ නැතහොත් සහභාගි වන අය වේදිකාවට නඟින විට ඔවුන්ට ලබා දිය යුතු වේ. මයික්‍රෝෆෝන නිවැරදි ස්ථානවල තැබීමට හා නිවැරදි අවස්ථාවේදී ලබා දීමට නම්, කල්තියාම හොඳින් සැලසුම් කිරීම අවශ්‍යය. නිරූපණයක් ඉදිරිපත් කිරීමට පෙර එය පෙරහුරු කරන විට සහභාගි වන්නන්ට මයික්‍රෝෆෝන දක්ෂ ලෙස භාවිත කිරීමට අවශ්‍ය උපදෙස් දීමට ඉඩ කඩ ලැබේ. පෙරහුරුවක් වේදිකාව මත සිදු කළ නොහැකි අවස්ථාවලදී, මයික්‍රෝෆෝනයේ ප්‍රමාණයට සමාන කුඩා දෙයක් අතට ගෙන පෙරහුරු වීම නුවණට හුරුය. එවිට, මයික්‍රෝෆෝනය නිවැරදි ලෙස ස්ථානගත කිරීම පෙරහුරු කරගත හැකි වේ. නිරූපණයෙන් පසු අතේ තිබෙන මයික්‍රෝෆෝන තැබිය යුත්තේ පරෙස්සමිනි. වේදිකාවෙන් ඉවත් වෙද්දී මයික්‍රෝෆෝනයේ වයරවලට පැටලී නොවැටෙන්නටද බලාගත යුතුය.

මයික්‍රෝෆෝන භාවිතයට නිසි අවධානය දීම අපගේ රැස්වීම්වල එක් වැදගත් පරමාර්ථයකට කෙළින්ම සම්බන්ධ වේ. එනම්, දේවවචනය සාකච්ඡා කිරීමෙන් එකිනෙකාට ප්‍රයෝජන ගෙන දීම නමැති පරමාර්ථයයි. (හෙබ්‍රෙ. 10:24, 25) මයික්‍රෝෆෝන දක්ෂ ලෙස භාවිත කිරීමට ඉගෙනීමෙන්, මෙම වැදගත් පරමාර්ථය ඉටු කිරීමට අපටද පෞද්ගලිකව දායක විය හැක.

එය කරන්නේ කෙසේද?

  • මයික්‍රෝෆෝනය ඔබේ මුවින් සෙන්ටිමීටර් දහයක සිට 15ක දුරින් තබාගන්න.

  • කතා කළ යුත්තේ ඔබේ මුඛය මයික්‍රෝෆෝනය දෙසට යොමු කර ඇති විට පමණි.

  • සංවාදයකදී කතා කරනවාට වඩා මද වශයෙන් වැඩි ශබ්දයකින් හා තීව්‍රතාවකින් කතා කරන්න.

  • උගුරේ රැල් බුරුල් ඇරීමට සිදු වේ නම්, මයික්‍රෝෆෝනයෙන් ඉවතට ඔබේ හිස හරවන්න.

අභ්‍යාසය: ඔබේ රාජ්‍ය ශාලාවේ මයික්‍රෝෆෝන භාවිත කෙරේ නම්, අද්දැකීම් ඇති කථිකයන් සවි කර ඇති සහ අතේ තබාගන්නා මයික්‍රෝෆෝන භාවිත කරන අන්දම හොඳින් නිරීක්ෂණය කරන්න. භාවිත කළ යුතු ක්‍රම හා භාවිත නොකළ යුතු ක්‍රම හඳුනාගෙන, එසේ නිගමනය කිරීමට හේතු මොනවාදැයි සිතා බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න