ජීවිත කතාව
‘ඉතා වටිනා මුතු ඇටය’ අපිට හම්බ වුණා
වින්ස්ටන් සහ පැම්ලා (පෑම්) පේන් සේවය කරන්නේ ඔස්ට්‍රලේසියා ශාඛා කාර්යාලයේ. එයාලා ජීවිතේ සතුටින් ගත කරපු යුවළක්. ඒත් එයාලගේ ජීවිතෙත් අභියෝග තිබුණා. උදාහරණෙකට අලුත් වටපිටාවලට හුරු වෙන්න, වෙනස් පසුබිම්වල අය එක්ක එකට වැඩ කරන්න ඉගෙනගන්න එයාලට වුණා. ලැබෙන්න හිටපු දරුවා අහිමි වුණාම ඒ දුක දරාගන්නත් එයාලට සිද්ධ වුණා. ඒ මොන දේ වුණත් යෙහෝවා දෙවියන් ගැන, ඔහුගේ සෙනඟ ගැන එයාලට තිබුණ ආදරේ අඩු වුණේ නැහැ. සේවයෙන් ලබපු සතුට නැති කරගත්තෙත් නැහැ. එයාලගේ අද්දැකීම් අපිත් එක්ක බෙදාගන්න කියලා අපි එයාලට කියමු.
වින්ස්ටන්, දෙවියන් ගැන දැනගන්න ඔයාට තිබුණ ආසාව ගැන අපිට ටිකක් කියන්න.
මං හැදී වැඩුණේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ පිටිසර පැත්තක තිබුණ ගොවිපොළක. මගේ පවුලේ අය ආගමට ළැදි අය නෙමෙයි. පවුලේ අය ඇරෙන්න අපිට ආශ්‍රය කරන්න වෙන කවුරුත් හිටියේ නැති තරම්. දෙවියන් ගැන දැනගන්න ආසාවක් ඇති වෙද්දී මට වයස 12ක් විතර ඇති. මං දෙවියන්ට යාච්ඤා කරලා කිව්වා ඔහු ගැන දැනගන්න මට උදව් කරන්න කියලා. කාලයක් ගියාට පස්සේ මං ඇඩිලේඩ්වලට ආවා රස්සාවක් කරන්න. නිවාඩුවකට මං සිඩ්නිවලට ගිය වෙලාවේ තමයි මට පෑම්ව හම්බ වුණේ. එතකොට මට වයස 21යි. පෑම් මට එයාගේ පවුලේ අය හිටපු ආගමික කණ්ඩායම ගැන විස්තර ටිකක් කිව්වා. ඒ ආගමේ කට්ටිය විශ්වාස කළා බ්‍රිතාන්‍ය ජාතිකයන් පැවතෙන්නේ ඊශ්‍රායෙල්වරුන්ගේ උතුරු රාජ්‍යයෙන් කියලා. ආපහු ඇඩිලේඩ්වලට ගියාම මාත් එක්ක වැඩ කරපු කෙනෙක් එක්ක මං ඒ ගැන ටිකක් කතා කළා. එයා ඒ වෙද්දී සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරකරයි හිටියේ. සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් ගැන එයා එක්ක පැය කීපයක් කතා කළාට පස්සේ මට තේරුණා පුංචි කාලේ මං කරපු යාච්ඤාවට උත්තර හම්බ වුණා කියලා. මගේ නිර්මාතෘ ගැන, දේවරාජ්‍යය ගැන මං දැනගත්තා. ‘ඉතා වටිනා මුතු ඇටය’ මට හම්බ වුණා.—මතෙ. 13:45, 46.
පෑම්, ඔයාත් ඒ වටිනා මුතු ඇටය හොයන්න පටන්ගත්තේ පොඩි කාලේදීම වගේ නේද? ඒක ඔයා හොයාගත්තේ කොහොමද?
මං ඇතිදැඩි වුණේ නිව් සවුත් වේල්ස්වල කොෆ්ස් හාබර් කියන ටවුමේ. මගේ පවුලේ අය ආගමට ළැදියි. අම්මායි, තාත්තායි වගේම ආච්චියි, සීයාත් පුංචි කාලේ ඉඳන්ම අපිට කියලා දුන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් පැවතෙන අයට දෙවියන්ගේ විශේෂ අනුමැතිය තියෙනවා කියලයි. ඒත් මං නම් ඒක පිළිගත්තේ නැහැ. මං දෙවියන්ට ළං වෙලා කියලා මට දැනුණෙත් නැහැ. වයස 14දී මං එක එක පල්ලිවලට ගියා. එංගලන්ත සභාව, බැප්ටිස්ට් පල්ලිය, සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට් පල්ලිය වගේ හැම පල්ලියකටම මං ගියා. ඒත් දෙවියන් ගැන දැනගන්න ඒ එකකින්වත් මට පුළුවන් වුණේ නැහැ.
පස්සේ මගේ පවුලේ අය පදිංචියට සිඩ්නිවලට ගියා. එහෙදී තමයි නිවාඩුවකට ඇවිත් හිටපු වින්ස්ටන්ව මට හම්බ වුණේ. කලින් කිව්වා වගේ අපි දෙන්නා ආගම් ගැන කතාබහ කළා. වින්ස්ටන්ට සාක්ෂිකරුවන් එක්ක පාඩමක් පටන්ගන්න මඟ පෑදුවේ ඒ කතාබහ තමයි. එයා මට එවපු ලියුම් පිරිලා තිබුණේ බයිබල් පදවලින්. මුලදී මට එයා ගැන පොඩි බයකුත් දැනුණා. කේන්තිත් ගියා. ඒත් පස්සේ මට තේරුණා එයා ලියපු දේවල සත්‍යයක් තියෙනවා කියලා.
1962දී මාත් ඇඩිලේඩ්වලට ගියා. එතකොට මට වයස 18යි. වින්ස්ටන් මට නවතින්න ලෑස්ති කරලා තිබුණේ තෝමස් සහ ජැනිස් කියන යුවළගේ ගෙදර. එයාලා සාක්ෂිකරුවන්. ඒ දෙන්නා පැපුවා නිව් ගිනියාවේ මිෂනාරි සේවේ කරලා තියෙනවා. එයාලා හරිම ආදරෙන් මාව බලාගත්තා. යෙහෝවා දෙවියන් ගැන තව තවත් දැනගන්න ඒ දෙන්නා මට උදව් කළා. බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තාම මට තේරුණා මං හොයපු දේ මට හම්බ වුණා කියලා. වින්ස්ටනුයි, මායි බැඳලා වැඩි දවසක් යන්න කලින් යෙහෝවා දෙවියන්ට පූර්ණකාලීනව සේවය කරන්න පටන්ගත්තා. අපේ ජීවිත ගමනේ අභියෝග තිබුණත් අපිට හම්බ වුණ වටිනා මුතු ඇටය තව තවත් අගය කරන්න අපි තෝරගත්ත ජීවිතේ අපිට උදව් වුණා.
වින්ස්ටන්, දෙවියන්ට සේවය කරමින් ගෙවුණු මුල් අවුරුදු කීපය කොයි වගේද?
1. අපේ චාරිකාවට ඇතුළත් වුණ දූපත්
2. සමහර දූපත්වල මුද්දර. කිරිබාති සහ ටුවාලූ දූපත් කලින් හැඳින්නුවේ ගිල්බට් සහ ඇලිස් දූපත් කියලා
3. ටුවාලූ දූපත්වලට අයිති ෆූනාෆූටි දූපත. ඒක කොරල් පිරුණු ලස්සන දූපතක්. මිෂනාරිවරුන්ව යවන්න කලින් අපි චාරිකා සේවේ කරන්න එහෙට ගියා
අපි දෙන්නා බැඳලා වැඩි දවසක් යන්න කලින් වැඩි සේවයක් කරන්න අපිට අවස්ථාව ලැබුණා. (1 කොරි. 16:9) එතකොට අපේ චාරිකා සේවක වුණේ සහෝදර ජැක් පෝර්ට. (දැන් එයා ඔස්ට්‍රලේසියා ශාඛා කමිටු සාමාජිකයෙක් විදිහට මාත් එක්ක සේවේ කරනවා.) එයායි, එයාගේ බිරිඳ රොස්ලිනුයි ස්ථාවර පුරෝගාමි සේවේ කරන්න අපි දෙන්නාව දිරිගැන්නුවා. අපි අවුරුදු 5ක්ම ඒ සේවේ රස බැලුවා. මට වයස 29දී ෆීජි ශාඛා කාර්යාලය යටතේ තිබුණ දකුණු පැසිෆික් දූපත්වල චාරිකා සේවේ කරන්න අපිට පැවරුමක් ලැබුණා. අපිට සේවය කරන්න තිබුණේ ඇමරිකානු සමොවා, සමොවා, කිරිබාති, නාඋරු, නියූ, ටොකිලාව්, ටොංගා, ටුවාලූ සහ වානුවාටු කියන දූපත්වල.
දූපත්වල හිටපු අය ඒ කාලේ සාක්ෂිකරුවන් දිහා බැලුවේ වපර ඇහෙන්. ඒ නිසා ප්‍රශ්නයක් ඇති නොවෙන විදිහට වැඩ කරන්න අපි නිතරම වගබලා ගත්තා. (මතෙ. 10:16) එහේ සභාවල හිටියේ හරිම ටිකදෙනයි. අපිට නවාතැන් දෙන්නවත් එයාලට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ පැතිවල හිටපු වෙන අයගේ ගෙවල්වල තමයි අපි නතර වුණේ. එයාලා හරිම කරුණාවන්ත මිනිස්සු.
ඔයා පරිවර්තන වැඩ ගැන උනන්දුයි. ඒ ආසාව ඔයාට ඇති වුණේ කොහොමද වින්ස්ටන්?
සමොවාවලදී වැඩිමහල්ලන්ගේ පාසැලක් පවත්වමින්
ටොංගා දූපත්වල හිටපු සහෝදරයන්ට එයාලගේ භාෂාවෙන් තිබුණේ පත්‍රිකා සහ පොඩි පොත් කීපයක් විතරයි. එයාලා බයිබල් පාඩම් කළේ ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය’ පොතේ ඉංග්‍රීසි පිටපතෙන්. සති 4ක් පුරා පවත්වපු වැඩිමහල්ලන්ගේ පාසැලකට සහභාගි වෙන්න වැඩිමහල්ලන් තුන්දෙනෙක් ආවා. එයාලා ඉංග්‍රීසි භාෂාව ගොඩක් හොඳට දැනන් හිටියේ නැතත් ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය’ කියන පොත ටොංගන් භාෂාවට පරිවර්තනය කරන්න එයාලා කැමති වුණා. පෑම් තමයි එයාලා පරිවර්තනය කරපු දේවල් ටයිප් කළේ. ඊටපස්සේ අපි ඒක එක්සත් ජනපදයට යැව්වා මුද්‍රණය කරන්න. සති 8ක් වගේ කාලෙකින් අපි ඒ වැඩේ ඉවර කළා. ඒක හොඳම පරිවර්තනයක් නොවුණත් ටොංගන් භාෂාව කතා කරපු හුඟදෙනෙක්ට සත්‍යයට එන්න ඒ පොත උදව් වුණා. අපි දෙන්නා පරිවර්තකයන් නෙමෙයි. ඒත් ඒ අද්දැකීම නිසා පරිවර්තන වැඩ ගැන අපිට ආසාවක් ඇති වුණා.
පෑම්, දූපත්වල ගත කරපු ජීවිතේ ඕස්ට්‍රේලියාවේ ගත කරපු ජීවිතේට වඩා ගොඩක් වෙනස්ද?
චාරිකා සේවේ ගිය කාලේ අපි නවාතැන් ගත්ත එක තැනක්
ඔව්, ගොඩක් වෙනස්. සමහර පැතිවල හරියට මදුරුවෝ හිටියා. මීයොත් හිටියා. තවත් පැති හරිම රස්නෙයි. සමහර දවස්වල අපිට කන්න එච්චර කෑම තිබුණෙත් නැහැ. ලෙඩ රෝගත් ඉක්මනින් පැතිරුණා. ඒවා අභියෝග තමයි. ඒත් හැම දවසක්ම අපි අවසන් කළේ සැහැල්ලු මනසකින්. මුහුද අයිනේ තිබුණ අපේ පැලේ ඉඳන් මුහුද දිහා බලන් ඉද්දී අපිට තිබුණ හැම අභියෝගයක්ම අමතක වෙලා ගියා. හොඳට හඳ පායලා තියෙන දවස්වලදී පොල් ගස්වල ඡායාව ඈතට පේනවා. හඳ එළියෙන් මුළු මුහුදම දිලිසෙද්දී ඒක හරිම ලස්සනයි. වටපිටාවේ ඒ ලස්සන දකිද්දී දෙවියන්ගේ නිර්මාණ ගැන අපි තව තවත් හිතුවා. ඒ ගැන ඔහුට ස්තුති කළා. ඒක අපිට උදව් වුණා අභියෝග මනසින් අයින් කරලා අපි අද්දකින ආශීර්වාද ගැන හිතන්න.
දූපත්වල හිටපු ළමයින්ට අපි ගොඩක් ආදරේ කළා. සුදු අයව එයාලා වැඩිය දැකලා නැති නිසා අපිව දැක්කාම එයාලා කුතුහලෙන් අපි දිහා බලනවා. සැරයක් අපි නියූ දූපතට ගිය වෙලාවේ පොඩි පිරිමි ළමයෙක් වින්ස්ටන්ගේ අත අතගාලා කිව්වා “මං ඔයාගේ පිහාටුවලට ආසයි” කියලා. එයා ඊට කලින් ඒ තරම් මයිල් තිබුණ අතක් දැකලා තිබුණේ නැහැ. ඒ නිසයි ඒවාට හරියටම කියන වචනේ එයා දැනන් හිටියේ නැත්තේ.
අපි ගිය දූපත් ගොඩක් ලස්සන වුණත් එහේ හිටපු මිනිස්සු හරිම දුප්පත්. එයාලා ජීවත් වුණ විදිහ දැක්කාම අපිට දැනුණේ ලොකු දුකක්. සෞඛ්‍ය තත්වය හොඳ මට්ටමේ තියාගන්න අවශ්‍ය දේවල් එයාලට තිබුණේ නැහැ. බොන්න හොඳ වතුර තිබුණෙත් අඩුවෙන්. ඒත් අපේ සහෝදරයන් හිටියේ දුකෙන් නෙමෙයි. මොකද ඒක තමයි එයාලගේ සාමාන්‍ය ජීවිතේ. පවුලේ හැමෝම ළඟපාත හිටපු එක ගැන, නමස්කාර කරන්න තැනක් තිබුණ එක ගැන, දෙවියන්ට ප්‍රශංසා කරන්න ලැබුණ අවස්ථාව ගැන එයාලා සතුටු වුණා. එයාලගේ ආදර්ශය අපිට උදව් වුණා වැදගත්ම දේ නිතරම මනසේ තියාගෙන සරල ජීවිතයක් ගත කරන්න.
පෑම්, අලුත්ම ප්‍රදේශවලට ගියාම වතුර ගන්න, කෑම උයාගන්න ඔයාලට තිබුණ අභියෝග ඔයාලා ජය ගත්තේ කොහොමද?
ටොංගාවලදී පෑම් අපේ ඇඳුම් හෝදනවා
ගෙදර හිටපු කාලේ තාත්තා මට කියලා දීලා තිබුණා එළිමහනේ ගින්නක් ගහලා ඒකේ උයන විදිහ. තිබුණ දේවලින් කොහොම හරි පිරිමහගන්න විදිහත් තාත්තා මට ඉගැන්නුවා. ඒ පුහුණුව මට ගොඩක් උදව් වුණා. එක සැරයක් අපි කිරිබාතිවලට ගිය වෙලාවේ අපි හිටියේ උණබටවලින් හදපු පොඩි ගෙදරක. එහෙදී මං කෑම ඉව්වේ බිම වළක් හාරලා පොල්ලෙලි ඒකට දාලා ගින්නක් ගහලයි. වතුර ගන්න මං එහේ තිබුණ ළිඳට ගිහින් අනිත් කට්ටිය වගේ පෝළිමේ හිටියා. එයාලා වතුර ඇදලා ගන්න පාවිච්චි කළේ බිලි පිත්තක් වගේ එකක්. ඒක හදලා තිබුණේ අඩි හයක් විතර දිග ලීයකින්. ඒ ලීයේ අගිස්සේ ලණුවක් ගැටගහලා ඒ ලණුවේ අනිත් කොනට කෑන් එකක් ගැටගහලා තිබුණා. පෝළිමේ ඉඳලා තමන්ගේ වාරේ ආවාම ලණුවට ගැටගහලා තියෙන ඒ කෑන් එක වතුරට වීසි කරනවා. ඒක වතුරට වැටුණ ගමන්ම එයාලා ඉක්මනින්ම ඒක හොල්ලනවා. එතකොට කෑන් එක පැත්තට හැරිලා වතුර පිරෙන්න පටන්ගන්නවා. ඊටපස්සේ ඇදලා ඒක උඩට ගන්නවා. මං හිතුවේ ‘ඒක නම් හරිම ලේසි වැඩක්’ කියලා. ඒත් මගේ වාරේ ආවාම තමයි තේරුණේ ඒක හිතපු තරම් ලේසි නැහැ කියලා. මං කීප සැරයක්ම කෑන් එක වතුරට දැම්මාට වතුර පිරුණේ නැහැ. ඒක නිකං වතුරේ පා වුණා විතරයි. ඒක දැකලා එතන හිටපු කට්ටිය හොඳටම හිනා වුණා. ඒත් ඊටපස්සේ එක් කෙනෙක් මට උදව් කළා. එහේ මිනිස්සු හරිම කරුණාවන්ත, උදව් කරන්න ඕනෙ වෙලාවක ලෑස්ති අය.
ඔයාලා දෙන්නාම චාරිකා සේවේ කළේ හරිම සතුටින්. ඔයාලගේ මතකයේ රැඳුණු සමහර අද්දැකීම් අපිට කියන්න කැමතිද?
වින්ස්ටන්: එහේ හිටපු අයගේ සමහර සිරිත් තේරුම්ගන්න අපිට ටික කාලයක් ගියා. උදාහරණෙකට සහෝදරයන් අපිට කෑමක් දෙද්දී සාමාන්‍යයෙන් එයාලා උයපු ඔක්කොම කෑම ටික අපිට දෙනවා. මුලින් අපි ඒක දැනන් හිටියේ නැහැ. ඒ නිසා අපිට දීපු ඔක්කොම කෑම අපි කෑවා. පස්සේ තමයි අපි දැනගත්තේ අපිට දීපු එකෙන් අපි එයාලටත් ඉතුරු කරන්න ඕනේ කියලා. අපි අතින් ඒ වගේ අතපසු වීම් වෙද්දී සහෝදරයන් අපිව තේරුම්ගත්තා. මාස 6කට සැරයක් අපිව දකින්න එයාලා හිටියේ ගොඩක් ආසාවෙන්. මොකද ඒ කාලේ ඒ දූපත්වල හිටපු සහෝදරයන්ට අපි ඇරෙන්න වෙන සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරන්න අවස්ථාව හම්බ වුණේ නැහැ.
නියූ දූපතේ කට්ටියක් එක්ක සේවේ යන්න සූදානමින්
අපි සහෝදරයන්ව බලන්න ගිය එක ඒ පැතිවල හිටපු අනිත් අයට හොඳ සාක්ෂියක් වුණා. හුඟදෙනෙක් හිතුවේ සාක්ෂිකරුවන් කියන්නේ එහේ හිටපු සහෝදරයන් හදාගත්ත ආගමක් කියලා. ඒත් අපි වෙන රටකින් ඇවිත් සහෝදරයන්ව බලන්න එද්දී ගම්වල මිනිස්සු තේරුම්ගත්තා සාක්ෂිකරුවන් කියන්නේ ඒ දූපතේ විතරක් තිබුණ ආගමක් නෙමෙයි කියලා.
පෑම්: කිරිබාතිවල වෙච්ච එක සිද්ධියක් මගේ හිතට තදින්ම වැදුණා. එතකොට එහේ තිබුණේ පොඩි සභාවක්. සභාවේ හිටපු එකම වැඩිමහල්ලා අපි දෙන්නාව බලාගන්න එයාට කරන්න පුළුවන් හැම දේම කළා. දවසක් එයා බිත්තරයක් කූඩයක දාගෙන ඇවිත් මට දීලා කිව්වා “මේක ඔයාට” කියලා. ඒ කාලේ බිත්තර නිතර කන්න හම්බ වෙන්නේ නැහැ. එයා දීපු දේ පොඩි දෙයක් වුණත් ඒකෙන් එයාගේ ආදරේ අපිට දැනුණා.
ඔයාලා ගොඩක් අමාරු අවස්ථාවකට මුහුණ දුන්නා කියලා අපි දන්නවා. පෑම්, ඒකට මුහුණ දෙන්න ඔයාට උදව් වුණේ මොනවාද?
1973 අපි දෙන්නා දකුණු පැසිෆික් දූපත්වල සේවය කරකර ඉද්දී මට දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා දැනගත්තා. ඒ නිසා අපි ආයෙත් ඕස්ට්‍රේලියාවට ආවා. මෙහෙට ඇවිත් මාස 4කට පස්සේ හම්බ වෙන්න හිටපු දරුවා නැති වුණා. වින්ස්ටන්ටත් ඒ දුක දරාගන්න ගොඩක් අමාරු වුණා. කාලෙත් එක්ක හිතට දැනුණ වේදනාව අඩු වෙලා ගියත් ඒක සම්පූර්ණයෙන්ම නැති වුණේ නැහැ. 2009 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” ලිපිය අපිට ගොඩක් උදව් වුණා. ඒකේ කතා කළේ “මව් කුසේදීම මිය යන ළදරුවන්ට නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද” කියන ප්‍රශ්නය ගැනයි. ඒක තීරණය කරන්නේ යෙහෝවා දෙවියන් කියලත් ඔහු කවදාවත් අසාධාරණ තීරණයක් ගන්නේ නැහැ කියලත් ඒ ලිපියෙන් අපිට තවත් ස්ථිර වුණා. මේ දුෂ්ට සමාජයේ අපි අද්දකින හැම වේදනාකාරී දෙයක්ම දෙවියන් ළඟදීම අයින් කරනවා. ඔහු යේසුස් මාර්ගයෙන් ‘යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කරලා දානවා.’ (1 යොහ. 3:8) යෙහෝවා දෙවියන්ගේ සෙනඟ වන අපි ළඟ තියෙන වටිනා මුතු ඇටය තවත් අගය කරන්න ඒ ලිපිය අපිට උදව් වුණා. අනාගතය ගැන බලාපොරොත්තුවක් අපිට තිබුණේ නැත්නම් අපි කොච්චර අසරණයිද!
අපේ බබා නැති වෙලා ටික කාලෙකට පස්සේ අපි ආපහු පූර්ණකාලීන සේවේ පටන්ගත්තා. මාස කීපයක් අපි ඕස්ට්‍රේලියාවේ බෙතෙල් එකේ සේවේ කරලා ඊටපස්සේ ආයෙත් චාරිකා සේවේ පටන්ගත්තා. නිව් සවුත් වේල්ස්වල සහ සිඩ්නිවල පිටිසර පැතිවල අවුරුදු 4ක් චාරිකා සේවේ කළාට පස්සේ 1981දී අපිට ආයෙත් ඕස්ට්‍රේලියාවේ බෙතෙල් එකේ සේවේ කරන්න පැවරුමක් හම්බ වුණා. එදා ඉඳන් අද වෙන කල් අපි සේවේ කරන්නේ එහේ.
වින්ස්ටන්, ඔයා දැන් ඔස්ට්‍රලේසියා ශාඛා කමිටු සාමාජිකයෙක් විදිහට සේවේ කරනවා. ඒ කාලේ ඔයා ලබපු අද්දැකීම් මේ පැවරුමට ඔයාට උදව් වෙනවාද?
ඔව්, හුඟක් පැතිවලින් ඒ අද්දැකීම් උදව් වෙනවා. මුලින් ඇමරිකානු සමොවා සහ සමොවා දූපත්වල අපේ වැඩකටයුතු බලාගන්න ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාලයට පැවරුණා. ඊටපස්සේ නවසීලන්ත ශාඛා කාර්යාලයත් ඕස්ට්‍රේලියාව යටතට ගෙනාවා. දැන් ඒක හඳුන්වන්නේ ඔස්ට්‍රලේසියා ශාඛා කාර්යාලය කියලයි. ඒ කාර්යාලයෙන් තමයි ඇමරිකානු සමොවා, සමොවා, කුක් දූපත්, නියූ, නැඟෙනහිර ටිමෝරය, ටොකිලාව්, ටොංගා දූපත්වල වැඩකටයුතු අධීක්ෂණය කරන්නේ. ශාඛා කාර්යාල නියෝජිත හැටියට ඒ හුඟක් දූපත්වලට යන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ කාලේ එයාලත් එක්ක සේවේ කරලා ලබපු අද්දැකීම් දැන් මට උදව් වෙනවා එයාලට තවත් හොඳින් සේවේ කරන්න.
වින්ස්ටන් සහ පෑම් ඔස්ට්‍රලේසියා ශාඛා කාර්යාලයේදී
අවුරුදු ගාණක් පුරා අපි දැකපු දෙයක් තමයි දෙවියන් ගැන දැනගන්න ආසාවෙන් ඉන්නේ වැඩිහිටියන් විතරක් නෙමෙයි කියන දේ. ඒ ආසාව යෞවනයන්ටත් තියෙනවා. පවුලේ අනිත් අය ඒ තරම් උනන්දු වුණේ නැතත් සමහර යෞවනයන් ‘ඉතා වටිනා මුතු ඇටය’ හොයමින් ඉන්නවා. (2 රාජා. 5:2, 3; 2 ලේක. 34:1-3) යෙහෝවා දෙවියන් හරිම ප්‍රේමණීය දෙවි කෙනෙක්. ඔහුට ඕනෙ වයස් භේදයක් නැතුව හැම කෙනෙක්ම සදාකාල ජීවනය ලබාගන්නවා දකින්නයි.
දෙවියන් ගැන සත්‍යය දැනගන්න අපේ හිත්වල ආසාවක් ඇති වුණේ මීට අවුරුදු 50කට විතර කලින්. ඒ ආසාව නිසා මේ වෙද්දී අපි කොයි තරම් දුරක් ඇවිත්ද! දේවරාජ්‍යය ගැන අපි දැනගත්ත තොරතුරු ඇත්තටම මිල කරන්න බැරි වටිනා මුතු ඇටයක්. ඒ මුතු ඇටය හැමදාටම රැකගන්නයි අපේ අදිටන.