දෙවි “ඇද” ආකාරයකට කටයුතු කරයිද?
“දියුස් එස්ක්රෙවී සෙර්ටු පොර් ලීන්යාස් තොර්තස්’ ” (“දෙවි ඇද වූ පේළි යොදාගෙන නිවැරදිව ලියයි”) යන්න බ්‍රසීලියානු කියමනකි. එයින් අඟවන්නේ, දෙවි සෑම අවස්ථාවකදීම හරි දෙය කළත්, එය සමහරක් අවස්ථාවලදී කරන්නේ මිනිසාගේ දෘෂ්ටිකෝණයෙන් ඇද වූ ආකාරයකටයි. උදාහරණයක් හැටියට, කෙනෙකු තම ජීවිතයේ නව යොවුන් වියේදී මරණයට පත් වන විට, බොහෝදෙනෙක් පවසන්නේ ‘දෙවි ඔහුව ස්වර්ගයට කැඳවූ බවයි.’ යමෙක් ශාරීරික ආබාධයකින් පෙළෙයි නම් හෝ යම් ගැටලුවකට මුහුණ දෙයි නම්, සමහරුන් කියන්නේ ‘එය දෙවියන්ගේ කැමැත්ත බවයි.’ එහෙයින්, මරණය, ශාරීරික ආබාධ හා දුකට හේතු වන වෙනත් කාරණා දෙවිගේ පිටින් අරින අතර එයින් ඇඟවීමට උත්සාහ කරන්නේ දෙවි ‘ඇද ආකාරයට’ ලියන බවයි, එනම් මිනිසාට තේරුම්ගත නොහැකි ආකාරයකට කටයුතු කරන බවයි.
මරණයට හා අසීරුතාවන්ට හේතුව දෙවියි කියා ආගම් බොහොමයක මිනිසුන් විශ්වාස කරන්නේ ඇයි? මෙම විශ්වාසයන් බොහෝවිට පදනම් වන්නේ, සමහරක් බයිබල් පාඨ වරදවා තේරුම්ගැනීම හේතුවෙනි. අපි ඉන් කිහිපයක් සලකා බලමු.
● “ගොළුවෙක් හෝ බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නෙත් පෙනීමට සලස්වන්නේත් යමෙකුව අන්ධ බවට පත් කරන්නේත් කවුද? යෙහෝවා වන මම නොවේද?”—නික්මයාම 4:11, NW.
විවිධ අංග විකලතාවන්ගෙන් පීඩා විඳින අය සිටින්නේ දෙවිගේ වරදින්ය කියාද එයින් අඟවන්නේ? නැහැ. මෙය දෙවිගේ පෞද්ගලිකත්වයට එකඟ නොවන දෙයක්. බයිබලය මෙසේ පවසයි: “[දෙවි] මැවූ සියල්ල යහපත්ය.” (1 තිමෝති 4:4) යමෙකු අන්ධව, ගොළුව හෝ බිහිරිව ඉපදුණාය කියා දෙවිට වරද තබන්න බැහැ. “සෑම යහපත් දීමනාවකම උල්පත” දෙවි නිසා, ඔහු ආශා වන්නේ ඔහුගේ මැවිල්ලට හොඳම දේ දීමටයි.—යාකොබ් 1:17, NW.
ආදම් සහ ඒව, දෙවිට විරුද්ධව කැරලි ගසා ඔවුන්ගේ සම්පූර්ණත්වය නැති කරගත් අතර, ඒ හේතුවෙන් සම්පූර්ණ දරුවන් බිහි කිරීමට නොහැකි වුණා. (උත්පත්ති 3:1-6, 16, 19; යෝබ් 14:4) ඔවුන්ගේ ජනිතයන් විවාහ වී දරුවන් ඇති කිරීමත් සමඟ, අසම්පූර්ණකම් වැඩි වූ අතර, මීට ශාරීරික ආබාධයන්ද ඇතුළත් වුණා. මේවා මිනිසුන් අතරේ පෙනෙන්නද පටන්ගත්තා. යෙහෝවා දෙවි මේවාට හේතුව නොවුණත්, ඒවා සිදුවීමට ඔහු ඉඩහැරියා. එහෙයින්, ගොළු, අන්ධ හා බිහිරි අයව ‘පත් කළ’ තැනැත්තා හැටියට තමා ගැනම කතා කිරීමට ඔහුට හැකි වුණා.
● “ඇද දේ කෙළින්කරන්ට බැරිය.”—දේශනාකාරයා 1:15.
දේවල් ඇද කළේ දෙවිද? කොහෙත්ම නැහැ. දේශනාකාරයා 7:29හි මෙසේ පවසයි: “[දෙවි] මනුෂ්‍යයා ඇද නැතුව [මැව්වේය]; නුමුත් ඔවුන් බොහෝ අමුතු උපා යොදාගත් බවය.” සමකාලීන ඉංග්‍රීසි අනුවාදය (ඉංග්‍රීසියෙන්) පෙන්නුම් කරන ආකාරයට: “දෙවි අප මැවූ අවස්ථාවේ අප සම්පූර්ණයෙන්ම අවංකව සිටියත්, දැන් අපි විකෘති වූ මනස් ඇතුව සිටින්නෙමු.” දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතීන්ට එකඟව ජීවත් වනවා වෙනුවට, පුරුෂයන් හා ස්ත්‍රීන්ගෙන් වැඩිදෙනෙක් තමන්ගේම සැලසුම්, කූටෝපායන්, ප්රයෝගයන් හෝ මාර්ග අනුව යෑමට තීරණය කොට ඇති අතර, මෙය විපතින් අවසන් වී ඇත.—1 තිමෝති 2:14.
තවදුරටත් ප්‍රේරිත පාවුල් පෙන්නුම් කළ ආකාරයට, මනුෂ්‍යවර්ගයාගේ පාපය නිසා, ‘මුළු මැවිල්ලම ජරාවට වහල් වී’ ඇත. (රෝම 8:20) තවද මේ තත්වය මනුෂ්‍ය ප්රයත්නයන්ගෙන් “කෙළින්කරන්ට” නොහැකියි. දිව්‍ය මැදිහත් වීමෙන් පමණයි, පොළොවේ කටයුතුවල ඇති සෑම ඇදයක් මෙන්ම නිෂ්ඵලත්වයක්ම නැති කළ හැක්කේ.
● “[දෙවිගේ] වැඩය මෙනෙහිකරන්න; මක්නිසාද [ඔහු] ඇද කළ දේ ඇද අරින්ට පුළුවන් කාටද?”—දේශනාකාරයා 7:13.
වෙනත් විදිහකින් කියනවා නම්, සාලමොන් රජ අසන්නේ මෙයයි: ‘දෙවි විසින් ඉඩහැර ඇති දෝෂයන් හා අසම්පූර්ණකම්වල ඇද ඇරීමට හැක්කේ මනුෂ්‍යයන් අතරෙන් කාටද?’ කාටවත් නොහැකියි. මන්දයත් මේ දේවල් සිදුවීමට ඉඩහැරීමට යෙහෝවා දෙවිට හේතුවක් තිබෙන නිසයි.
එහෙයින්, සාලමොන් මෙසේ නිර්දේශ කරයි: “සම්පත්ති කාලයේදී ප්‍රීතිවෙන්න; නුමුත් විපත්ති කාලයේදී කල්පනාකරන්න. [දෙවි] ඒකත් මේකත් ළංකොට තැබුවේ මනුෂ්‍යයා විසින් තමාට පසුව සිදුවෙන්නාවූ කිසිවක් දැන නොගන්න [නොදකින, NW] පිණිසය.” (දේශනාකාරයා 7:14) යම් දවසක් හොඳින් ගත වන විට ඒ සඳහා අගය කිරීමක් පුද්ගලයෙකු පෙන්නුම් කළ යුතු අතර, අගය පෙන්නුම් කළ යුත්තේ යහපත පිළිබිඹු කිරීමෙනි. හොඳ දවසක් දෙවිගෙන් ලද ත්‍යාගයක් හැටියට ඔහු සැලකිය යුතුයි. නමුත් එම දවසින් කරදර ඇති වේ නම් කුමක් කිව හැකිද? කරදර සිදුවීමට දෙවි ඉඩහැර ඇති බව කෙනෙකු ‘දැකීම’ එනම්, වටහාගැනීම යහපත් දෙයකි. ඔහු එසේ කර ඇත්තේ මන්ද? සාලමොන් පවසන ආකාරයට “මනුෂ්‍යයා විසින් තමාට පසුව සිදුවෙන්නාවූ කිසිවක් දැන නොගන්න පිණිසය.” මෙයින් අදහස් කරන්නේ කුමක්ද?
ප්‍රීතිමත් අවස්ථාවලට හා කරදරවලට මුහුණ දීමට දෙවි ඉඩහැර තිබීමෙන් අඟවන්නේ, අනාගතය ගැන කීමට මිනිසාට ඇති නොහැකියාවයි. කරදර ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා යන දෙදෙනාටම එක සේ බලපෑ හැකියි. මේවායින් බේරෙන විශේෂ පිරිසක් නැහැ. අප මත නොව දෙවි මත රඳා පැවතීමේ ඇති වැදගත්කම වටහාගැනීමට මෙය උපකාරවත් විය යුතු අතර, ‘දෙවි ප්‍රේමය’ කියා මතකයේ තබාගනිමින් මෙය කළ යුතුයි. (1 යොහන් 4:8) අපට දැන් සමහර දේවල් තේරුම් නොයෑමට ඉඩ ඇතත්, සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම ඉටු වූ පසු, සිදුවීමට දෙවි අවසර දුන් සෑම දෙයක්ම ඊට සම්බන්ධ වූ සෑම කෙනෙකුගේම යහපතට සිදු වූ ඒවා බවට අපට සහතික විය හැකියි.
ඔහු ඉඩ දෙන ඕනෑම දෙයක් ධර්මිෂ්ඨ හදවත් ඇති අයගේ සදාකාල හානියට කොහෙත්ම දායක වන්නේ නැහැ. තමාගේ කාලයේ සිටි සෙසු ඇදහිලිවන්තයන් මත පැමිණි දුක් කන්දරා ගැන පැවසීමේදී ප්‍රේරිත පේතෘස් මෙම කරුණු පැහැදිලි කළා: ‘එවිට ක්‍රිස්තුස් තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවි, නුඹලා ස්වල්ප කලක් දුක් වින්ද පසු, නුඹලා සම්පූර්ණ කර, ස්ථිර කර, ශක්තිමත් කර පිහිටුවන්නේය.’ 1 පේතෘස් 5:10.
දේවල් හරිගැස්වීමට කාලයක්
අපගේ වර්තමාන පරීක්ෂාවන් විඳදරාගැනීමට යෙහෝවා අපට ශක්තිය දෙයි. ඔහු ‘සියලු දේ අලුත් කිරීමටත්’ පොරොන්දු වී තිබෙනවා. (එළිදරව් 21:5) තමාගේ ස්වර්ගික රාජ්‍යය මගින්, අංග විකලතාවන්ගෙන් පීඩා විඳින අයව යථා සෞඛ්‍යය තත්වයට ගෙන ඒමත්, මළවුන්ගේ නැවත නැඟිටීම අධීක්ෂණය කිරීමත් ඔහුගේ අරමුණයි. ඇත්තෙන්ම ඇද වූ ක්‍රියාවන් ඇති තැනැත්තා වන සාතන් නමැති යක්ෂයාවත් එම ආණ්ඩුව මගින් නැති කර දමයි. (යොහන් 5:28, 29; රෝම 16:20; 1 කොරින්ති 15:26; 2 පේතෘස් 3:13) දේවල් හරිගැස්වීමට දෙවිගේ නියමිත කාලය පැමිණි විට, ලොව පුරා විහිදී සිටින දේවභයැති මිනිසුන්ට එය මොනතරම් ආශීර්වාදයක් වේවිද!
[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
යෝබ්ට තම විපත්ති ආරංචි වූ විට/The Doré Bible Illustrations/Dover Publications