ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 32 පාඩම 194 පි.-196 පි. 4 ¶
  • ස්ථිර විශ්වාසයෙන් යමක් පැවසීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්ථිර විශ්වාසයෙන් යමක් පැවසීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • පූර්ණ නිසැකකමකින් යුතුව ශුභාරංචිය දේශනා කිරීම
    2000 අපගේ රාජ්‍ය සේවාව
  • ස්ථිර විශ්වාසයකින් කතා කරන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සම්පූර්ණවද ස්ථිර විශ්වාසයෙන්ද සිටින්න
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙමාපියෙනි, ‘ගැලවීමට මඟ පාදන අවබෝධය’ දරුවන්ට ලබා දෙන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 32 පාඩම 194 පි.-196 පි. 4 ¶

පාඩම 32

ස්ථිර විශ්වාසයෙන් යමක් පැවසීම

කළ යුතු වන්නේ කුමක්ද?

ඔබ පවසන දෙය සැබෑ බවත්, වැදගත් බවත් ඔබට පූර්ණ ලෙස ඒත්තුගොස් ඇති අන්දමකින් කතා කරන්න.

එය වැදගත් වන්නේ මන්ද?

ඔබ පවසන දේ බැරෑරුම්ව සලකා, එමත ක්‍රියා කිරීම සඳහා අන් අයව දිරිගැන්වීමට ඔබ තුළ තිබෙන ස්ථිර විශ්වාසය උපකාරවත් වේ.

යමෙකු ස්ථිර විශ්වාසයෙන් යුතුව කතා කරන විට, ඔහු පවසන දේ ගැන ඔහුට පෞද්ගලික නිසැකකමක් ඇති බව අන් අය දකිති. ප්‍රේරිත පාවුල්ගේ දේවසේවය තුළ එවන් ස්ථිර විශ්වාසයක් දක්නට ලැබිණ. තෙසලෝනිකයෙහි ඇදහිලිවන්තයන් බවට පත් වූ අයහට ඔහු ලීවේ මෙසේය. “අප සුබ අස්න ඔබ වෙත ගෙනාවේ වචන මාත්‍රයෙන් පමණක් නොව, . . . සහතික විශ්වාසය ඇතිවය.” (1 තෙස. 1:5, න. අ.) මෙම සහතික විශ්වාසය ඔහු කතා කළ අන්දමින් හා දිවි ගෙවූ අන්දමින් දැකගත හැකි විය. අප බයිබල් සත්‍යයන් ඉදිරිපත් කරන ආකාරයෙන්ද ස්ථිර විශ්වාසය පිළිබිඹු විය යුතුය.

ස්ථිර විශ්වාසයෙන් යුතුව කතා කරනවා යන්නෙන් අදහස් කරන්නේ තම මතයේ එල්බගෙන අදහස් ඉදිරිපත් කිරීමවත්, අත්තනෝමතික වීමවත්, උද්ධච්ච වීමමවත් නොවේ. එය ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඇත්තෙන්ම දේවවචනයෙහි අඩංගු දේවල් ගැන ස්ථිර විශ්වාසයකින් යුතුව කතා කරද්දී පුද්ගලයෙකු එසේ කරන්නේ ශක්තිමත් ඇදහිල්ලක් පිළිබිඹු වන අන්දමකිනි.—හෙබ්‍රෙ. 11:1.

විශ්වාසය පළ කළ හැකි අවස්ථාවන්. ඔබ ක්ෂේත්‍ර සේවයෙහි නිරත වී සිටින විට විශ්වාසයෙන් යුතුව කතා කිරීම ඉතා වැදගත් දෙයකි. බොහෝදුරට ඔබේ පණිවිඩය පමණක් නොව, එය ඉදිරිපත් කරන අන්දමද මිනිසුන්ගේ අවධානයට ලක් වේ. එනම්, ඔබ පවසන දේ ගැන ඔබට ඇත්තටම හැඟෙන ආකාරය ඔවුන්ට දැනේ. එසේ නම්, ඔබ ඉදිරිපත් කරන දේ ඉමහත් වටිනාකමකින් යුත් දෙයක් බව ඔබේ වචනවලින් පමණක් නොව, ඔබ තුළ ඇති විශ්වාසය මාර්ගයෙන්ද පිළිබිඹු කළ හැකිය.

සෙසු ඇදහිලිවන්තයන්ගෙන් සමන්විත සබයක් අමතන විටදීද විශ්වාසය පළ කිරීම සඳහා අවශ්‍යතාවක් ඇත. ප්‍රේරිත පේතෘස් දේවානුභාවයෙන් ලියූ තම මුල් ලිපිය ලිව්වේ සහෝදරයන්ව “දිරිගැන්වීමටත්, මෙය දෙවිගේ සැබෑ වූ මහත් කරුණාව බවට අවංක සාක්ෂියක්” දීමටත්ය. මේ අනුව ඔහු තම සහෝදරයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ “ස්ථිරව පිහිටා සිටින්න” කියාය. (1 පේතෘ. 5:12, NW) රෝමයේ සිටි සභාවට ලියූ ප්‍රේරිත පාවුල් ඔවුන්ගේ ප්‍රයෝජනය තකා තම විශ්වාසය පළ කළේය. ඔහු ලීවේ මෙසේය. “මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් තුළ ඇත්තාවූ දෙවිගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්ට නොහැකි වන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.” (රෝම 8:38, 39) අන් අයට දේශනා කිරීමේ අවශ්‍යතාව ගැන පාවුල් ඒත්තුගන්වනසුලු ආකාරයකින්ද ලීවේය. තවද එහි වැදගත්කම තමාට පෞද්ගලිකව ඒත්තුගොස් තිබූ බව, දේශනා සේවයෙහි ඔහු දැක්වූ ජ්වලිතකමින් පැහැදිලිව නිරූපණය විය. (ක්‍රියා 20:18-21; රෝම 10:9, 13-15) එසේ නම්, අදදින ක්‍රිස්තියානි වැඩිමහල්ලන් දේවවචනය පදනම් කරගෙන උගන්වද්දී, ඒ හා සමාන විශ්වාසයක් ඔවුන් තුළින් පිළිබිඹු විය යුතුය.

දෙමාපියන් තම දරුවන් සමඟ බයිබලය පාඩම් කරද්දී හෝ වෙනත් අවස්ථාවලදී ආත්මික දේවල් ගැන සාකච්ඡා කරන විට, ඔවුන් තම අදහස් පළ කළ යුත්තේ ස්ථිර විශ්වාසයකින් යුතුවය. ඒ සඳහා දෙමාපියන් තමන්ගේම හදවත් තුළ දෙවි කෙරෙහි සහ ඔහුගේ මාර්ගයන් පිළිබඳ ප්‍රේමයක්, ආදරයක් හා ඇල්මක් වගා කරගැනීම අවශ්‍යය. හද පත්ලෙන්ම නැඟෙන විශ්වාසයකින් යුතුව දරුවන්ට කතා කළ හැක්කේ එවිටය. “මන්ද, මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙයයි.” (ලූක් 6:45, NW; ද්වි. 6:5-7) දෙමාපියන්ට මෙවැනි විශ්වාසයක් ඇති විට, ‘කුහකකමින් තොර ඇදහිල්ලක්’ තම ආදර්ශයෙන් විදහාපෙන්වීමට පෙලඹීමක් ඇති වේ.—2 තිමෝ. 1:5, NW; 2 තිමෝ. 1:4, පැ. අ.

ඔබේ ඇදහිල්ල අභියෝගයට ලක් වන අවස්ථාවන්හිදී විශ්වාසයෙන් යුතුව කතා කිරීම ඉතා වැදගත්ය. ඔබ එක්තරා උත්සවයකට සහභාගි නොවන නිසා පාසැලේ ශිෂ්‍යයෙකු, ගුරුවරයෙකු හෝ රැකියා ස්ථානයෙහි සගයෙකු තම විමතිය පළ කරන්නට පුළුවන. බයිබලය පදනම් කරගෙන ඔබ ගන්නා ස්ථාවරයට ගෞරවය දැක්වීම සඳහා, ස්ථිර විශ්වාසයෙන්, තර්කානුකූලව ගොඩනැඟූ පිළිතුරක් දීම ඔහුට උපකාරයක් විය හැකියි. සොරකමක් හෝ වංචාවක් කිරීමට, මත්ද්‍රව්‍ය ගැනීමට හෝ ලිංගික දුරාචාරයේ නියැලීමට ඔබව පොලඹවාගැනීමට කෙනෙකු උත්සාහ කළහොත් තත්වය කුමක්ද? මෙවැනි ආකාරයේ වැරදි හැසිරීමක ඔබ කොහෙත්ම නියැලෙන්නේ නැතැයි යන්නත්, එසේ කිරීමට කොතරම් බල කළත් ඔබේ ස්ථාවරය වෙනස් නොකරනවා යන්නත් පැහැදිලිව පෙන්වා දීම වැදගත්ය. එසේ නම්, මෙම අනිසි යෝජනා ප්‍රතික්ෂේප කරන විට ස්ථිර විශ්වාසයකින් කතා කළ යුතුය. පෝතිඵර්ගේ බිරිඳගේ කාමුක පෙලඹීම්වලට විරුද්ධව සිටි යෝසෙප් තිර අදිටනකින් පැවසුවේ මෙසේය. “මම මේ මහත් දුෂ්ටකම කර දෙවිට විරුද්ධව කෙසේ පව්කරන්නෙම්ද”? ඇය සිය වියරු උත්සාහය අත් නොහළ විට ඔහු නිවසින් පලා ගියේය.—උත්. 39:9, 12.

විශ්වාසය පළ කරන අන්දම. ඔබ තුළ තිබෙන විශ්වාසය පළ කිරීමට බෙහෙවින් උපකාරවත් විය හැක්කේ ඔබ භාවිත කරන වචනයි. යේසුස් ඉතා වැදගත් යමක් කීමට පෙර “සැබවින්ම මම ඔබට කියමි” යන්න අවස්ථා කිහිපයකදීම පැවසීය. (යොහ. 3:3, 5, 11; 5:19, 24, 25; NW) “ඒකාන්තයෙන්ම දනිමි,” “ස්වාමී වූ යේසුස් කරණකොටගෙන ඒකාන්තයෙන්ම දනිමි” සහ “මම බොරුවක් නොකියා සැබෑව කියමි” වැනි යෙදුම්වලින් පාවුල් සතු විශ්වාසයද පිළිබිඹු විය. (රෝම 8:39; 14:14; 1 තිමෝ. 2:7) තම වචනවල ඉටුවීම සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවලදී යෙහෝවා තම අනාගතවක්තෲන් ලවා ඉතා ඒත්තුගන්වනසුලු අදහස් පළ කළේය. “එය නොවරදවාම සැබෑවක් වනු ඇත” යන වදන් මීට එක නිදසුනකි. (හබ. 2:3, NW) මෙම අනාවැකිවලට යොමු දක්වන විට, ඔබටත් ඒ හා සමාන භාෂා ශෛලියක් භාවිත කළ හැකි වේ. ඔබේ විශ්වාසය ඔබ මත නොව නමුත් යෙහෝවා මත නිසැකව තබන්න. අන් අයට ගෞරවාන්විත ස්වභාවයකින් කතා කරන්න. එවිට ඉහත කී උදාහරණවලට සමාන ස්ථිර විශ්වාසයක් පිළිබිඹු කරන අදහස් ඉදිරිපත් කරමින් ඔබට කොතරම් ශක්තිමත් ඇදහිල්ලක් තිබෙනවාද යන්න පැහැදිලිව පෙන්නුම් කළ හැකි වේ.

ඔබ අදහස් පළ කරන විට ඒවා අවංකව, උනන්දුවෙන් සහ හැඟීමෙන් යුතුව පළ කරනවා නම්, ඒ මගින්ද ඔබේ විශ්වාසය පෙන්නුම් කළ හැකිය. ඔබේ මුහුණේ ඉරියව්ව, ඔබේ අභිනය, ඔබේ අංග චලනය යන මේ සියල්ල මෙයට දායක වනු ඇත. කෙසේවෙතත්, මෙයද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව මතක තබාගන්න. ඔබ ස්වභාවයෙන් ලජ්ජාශීලී, හෙමින් කතා කරන පුද්ගලයෙකු වුවත්, ඔබ පවසන දේ සත්‍යය බවත්, එය අන් අය විසින් ඇහුම්කන් දෙනු ලැබිය යුතු දෙයක් බවත් ඔබට සම්පූර්ණයෙන්ම ඒත්තුගොස් තිබෙන විටදී, ඔබේ ස්ථිර විශ්වාසය පැහැදිලිව දැකගත හැකි වේ.

කෙසේ නමුත්, අපගේ ස්ථිර විශ්වාසය මවාගත් එකක් නොව, සැබෑ, අව්‍යාජ එකක් විය යුතුය. අප හදවතින් කතා නොකර, මවාපෑමක් කරන බව ජනයාට දැනේ නම්, අපගේ පණිවිඩයට එතරම් හරයක් නැතැයි යන්න ඔවුන් විසින් නිගමනය කළ හැකිය. එමනිසා, කිසිදු මවාපෑමක් නොකර, සාමාන්‍ය ලෙස හැසිරෙන්න. ඔබේ සබයේ සිටින සංඛ්‍යාව අනුව, සාමාන්‍යයට වඩා වැඩි ශබ්දයකින් සහ තීව්‍ර හඬකින් කතා කිරීමට සිදු විය හැක. එනමුත් ඔබේ ඉලක්කය විය යුත්තේ අවංකව හා ස්වාභාවිකව ඔබේ අදහස් පළ කිරීමයි.

විශ්වාසය පළ කිරීමට උපකාරවත් වන යෝජනා. ඔබේ ස්ථිර විශ්වාසයට හේතුපාදක වන්නේ තොරතුරු සලකා බැලීමෙන් ඔබ තුළ ජනිත වන හැඟීම්ය. එමනිසා, හොඳ සූදානමක් අත්‍යවශ්‍යය. නිකම්ම යම් ප්‍රකාශනයකින් තොරතුරු පිටපත් කරගෙන, ඒවා කටපාඩමින් කියවීම සෑහෙන්නේ නැත. එම තොරතුරු පැහැදිලිව තේරුම්ගැනීමත්, ඒවා ඔබේම වචනවලින් පළ කිරීමට හැකියාවත් ඔබට තිබීම අවශ්‍යය. එම තොරතුරු සැබෑ බවත්, ඔබ පවසන දේ ඔබේ සබයට වටිනා බවත් ඔබට සම්පූර්ණයෙන්ම ඒත්තුගොස් තිබිය යුතුය. එසේ නම්, ඔබේ කතාවේ ඉදිරිපත් කිරීම සූදානම් වෙද්දී, සබයේ තත්වය සහ ඔවුන් විෂය ගැන දැනටමත් දන්නා දේ නැතහොත් ඔවුන්ට එම විෂය ගැන හැඟෙන ආකාරය සැලකිල්ලට ගැනීම වැදගත්ය.

කතාව චතුර ලෙස ඉදිරිපත් කරන විට, අප තුළ තිබෙන ස්ථිර විශ්වාසය දැකගැනීමට අන් අයට පහසුය. එමනිසා, හොඳ තොරතුරු සූදානම් කරගැනීමට අමතරව, කතාව ඉදිරිපත් කරන ආකාරය පෙරහුරු කිරීම සම්බන්ධයෙන්ද දැඩි උත්සාහයක් දරන්න. වැඩිමනත් උනන්දුවක්, විශ්වාසයක් හා නිසැකකමක් පිළිබිඹු කළ යුතු කොටස්වලට විශේෂ අවධානයක් දෙන්න. එවිට ඔබේ කෙටි සටහන්වලට වහල් නොවී එම අදහස් පළ කිරීමට ඔබට හැකි වේ. අනික, ඔබේ වෑයම්වලට යෙහෝවාගේ ආශීර්වාද ඉල්ලා යාච්ඤා කිරීමටද අමතක නොකරන්න. මෙලෙස ‘අපගේ දෙවි තුළ නිර්භීතකම’ උපදවාගෙන කතා කිරීමට ඔබට හැකි වනු ඇත. ඔබේ පණිවිඩයේ සත්‍යවාදීකම සහ වැදගත්කම සම්බන්ධයෙන් ඔබ තුළ ඇති ස්ථිර විශ්වාසය එතුළින් මනාව පිළිබිඹු වේ.—1 තෙස. 2:2.

එය කරන්නේ කෙසේද?

  • ඔබේ විෂයට ඔබින හැඟීමකින් යුතුව කතා කරන්න.

  • ඔබේ ස්ථිර විශ්වාසය පිළිබිඹු කරන භාෂා ශෛලියක් භාවිත කරන්න.

  • තොරතුරු සම්භාරය හොඳින් තේරුම්ගන්නා තෙක් එය අධ්‍යයනය කරන්න. ඉන් අනතුරුව ඔබේම වචනවලින් එහි අදහස් පළ කරන්න. එය සැබෑ බවත්, ඔබේ සබයට එය වටිනා දෙයක් බවත් ඔබට සම්පූර්ණයෙන් ඒත්තුගොස් තිබිය යුතුය.

අභ්‍යාසය: මතු දැක්වෙන බයිබල් වාර්තා අධ්‍යයනය කරන්න. නික්මයාම 14:10-14; 2 රාජාවලිය 5:1-3; දානියෙල් 3:13-18; ක්‍රියා 2:22-36. මෙහි විස්තර කර ඇති අවස්ථාවල දෙවිගේ සේවකයන් තම විශ්වාසය පළ කළේ කෙලෙසද? ඔවුන්ගේ එම විශ්වාසයට පදනම වූයේ කුමක්ද? අදදින ඔබට ඒ හා සමාන විශ්වාසයක් විදහාපෙන්විය හැක්කේ කෙසේද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න