ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • cl 25 පරි. 250-259 පි.
  • “අපගේ දෙවිගේ මුදු මොළොක් දයානුකම්පාව”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “අපගේ දෙවිගේ මුදු මොළොක් දයානුකම්පාව”
  • යෙහෝවාට ළං වන්න
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දයානුකම්පාව යනු කුමක්ද?
  • යෙහෝවා ජාතියකට දයානුකම්පාව පෙන්වූ අවස්ථා
  • පුද්ගලයන් සඳහා යෙහෝවා දක්වන දයානුකම්පාව
  • යෙහෝවා දයානුකම්පාව දැක්වීම වළක්වාගන්නා අවස්ථා
  • අනුකම්පාවෙන් පිරුණු යෙහෝවා දෙවි වගේ වෙමු
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මුදු මොළොක් ලෙස දයානුකම්පිත වන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන් අයට “දයානුකම්පාව” පෙන්වමු
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දයානුකම්පාවෙන් පාලනය කරයි
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවාට ළං වන්න
cl 25 පරි. 250-259 පි.

25වන පරිච්ඡේදය

“අපගේ දෙවිගේ මුදු මොළොක් දයානුකම්පාව”

1, 2. (අ) මවක් සහජයෙන්ම තමන්ගේ දරුවාගේ හැඬීමට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? (ආ) මවකගේ දයානුකම්පාවට වඩා ප්‍රබල කිනම් හැඟීමද?

මැදියම් රැයේ දරුවෙක් හඬනවා. ඒ එක්කම මවට ඇහැරෙනවා. දරුවා ඉපදුණ දා සිට ඇයට වෙනදා වගේ නින්ද යන්නේ නැහැ. තම දරුවා හඬන විදිහෙන් ඔහු ඇයි හඬන්නේ කියලා ඇය දන්නවා. මේ නිසා, දරුවා හඬන්නේ කිරිවලටද, මවගේ තුරුල්ලේ පහස ලැබීමටද, නැත්නම් වෙනත් දේකටද කියලා මවට සිතාගන්නට පුළුවන්. කුමන හේතුවකට දරුවා හැඬුවද, මව දරුවාගේ හැඬිල්ලට සැණෙකින් ප්‍රතිචාරය දක්වනවා. ආදරයෙන් පිරි හදවතක් ඇති මවකට දරුවාගේ අවශ්‍යතා දැක දැකත් අහක බලාගෙන ඉන්නට නම් බැහැ.

2 මවකට තමාගේම කුසින් උපන් දරුවෙකු කෙරෙහි ඇති වන දයානුකම්පාව යනු මිනිසුන් ඉතා හොඳින් දන්නාවූ මුදු මොළොක් හැඟීමක්. කොහොම වුණත්, ඊටත් වඩා බොහෝ සෙයින් ප්‍රබල වූ හැඟීමක් තියෙනවා. ඒ තමයි, අපගේ දෙවි වූ යෙහෝවාගේ මුදු මොළොක් දයානුකම්පාව. මෙම ළයාන්විත ගුණාංගය ගැන සලකා බැලීම අපට තවත් යෙහෝවාට ළංවීමට උදව් වෙයි. එමනිසා, දයානුකම්පාව යනු කුමක්ද කියාත් අපගේ දෙවි එය විදහාපාන්නේ කෙසේද කියාත් දැන් අපි සාකච්ඡා කරමු.

දයානුකම්පාව යනු කුමක්ද?

3. “දයාව පෙන්වන්න” නැතහොත් “අනුකම්පාව ඇතිව සිටින්න” යනුවෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් ක්‍රියා පදයේ අර්ථය කුමක්ද?

3 බයිබලයේ සඳහන් දයානුකම්පාව සහ දයාව අතර තිබෙන්නේ කිට්ටු සම්බන්ධතාවක්. හෙබ්‍රෙව් සහ ග්‍රීක් වචන ගණනාවකින්ම මුදු මොළොක් දයානුකම්පිත ගතිය ගෙනහැර දැක්වෙනවා. නිදසුනක් වශයෙන් රාචාම් යන හෙබ්‍රෙව් ක්‍රියා පදය සලකා බලන්න. මෙය බොහෝ විට පරිවර්තනය කර තිබෙන්නේ “දයාව පෙන්වන්න” නැතහොත් “අනුකම්පාව ඇතිව සිටින්න” යනුවෙනුයි. රාචාම් යන මෙම වචනයෙන් “අප ආදරය කරන කෙනෙකු දුර්වලව සිටිනවා හෝ දුක් විඳිනවා දැකීමෙන් හෝ අපගේ උපකාරය අවශ්‍ය බව දැකීමෙන් ඇති වන ගැඹුරු මුදු මොළොක් දයානුකම්පිත සැලකිල්ලක් ප්‍රකාශ වන” බව එක් ආශ්‍රේය ග්‍රන්ථයක පැහැදිලි කර තිබෙනවා. යෙහෝවා විසින් තමන්ටම අදාළ කරගන්නාවූ මෙම හෙබ්‍රෙව් යෙදුම, “ගර්භාශය” යන වචනයට නෑකම් කියන අතර, “මවකගේ දයානුකම්පාව” යනුවෙන්ද විස්තර කළ හැකියි.a—නික්මයාම 33:19; යෙරෙමියා 33:26.

4, 5. යෙහෝවාගේ දයානුකම්පාව ගැන අපට ඉගැන්වීම සඳහා බයිබලය, මවකට තම දරුවා කෙරෙහි ඇති වන හැඟීම් යොදාගෙන ඇත්තේ කොහොමද?

4 යෙහෝවාගේ දයානුකම්පාව කෙබඳුදැයි අපට ඉගැන්වීම පිණිස, බයිබලය, මවකට තම දරුවා කෙරෙහි ඇති වන හැඟීම් යොදාගනී. යෙසායා 49:15 අපට කියවීමට තිබෙන්නේ මෙයයි. “මවකට හැකිද, කුසේ දැරූ බිළිඳා අමතක කරන්න? හැකිද ඈට ඇගේම කිරි දරුවාට පෙම් [දයානුකම්පා, රාචාම්] නොකරන්න? මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම් කිසිදා නුඹ අමතක නොකරමි.” (නව අනුවාදය) අපේ හදවත් දවාලන ඒ විස්තරයෙන් යෙහෝවාට සිය සෙනඟ උදෙසා ඇති දයානුකම්පාවේ ගැඹුර මොනවට කියා පානවා. ඒ කොහොමද?

5 මවක් ඇගේ දරුවාව අමතක කොට රැකබලා නොගනීවිය කියා අපට නම් සිතීම දුෂ්කර දෙයක්. කුඩා බිළිඳෙක් අසරණයි. දිවා රෑ දෙකේම දරුවාට අවශ්‍යයි, මවගේ අවධානය සහ ස්නේහය. ඒ වුණත්, මව්වරුන් විසින් තම දරුවන් කෙරෙහි දක්වන නොසැලකිල්ල ගැන අද අප නොඅසනවාම නොවේ. විශේෂයෙන් “ජන්ම ස්නේහය” නැති මේ ‘අන්තරා සහිත කාලවල’ අපි ඒ ගැන අසනවා. (2 තිමෝති 3:1, 3) එහෙත් යෙහෝවා ප්‍රකාශ කරන්නේ “මම නම් කිසිදා නුඹ අමතක නොකරමි” කියායි. ඔහු සිය සේවකයන්ට දක්වන මුදු මොළොක් දයානුකම්පාව නොනවතී, එය සදාකාලිකයි. අපට ඉටාගත හැකි වඩාත්ම මුදු මොළොක් ජන්මික හැඟීම වන මවක තුළ ඇගේම බිළිඳු දරුවාට ඇති ඒ දයානුකම්පිත ආදරයට වඩා එය හුඟක් ප්‍රබලයි. එය කිසිවකින් මනින්නට බැහැ. එක් විචාරකයෙක් යෙසායා 49:15 ගැන මෙසේ පැවසීම පුදුමයට හේතුවක් නොවෙයි. “මෙය, පැරණි ගිවිසුමේ දෙවිගේ ප්‍රේමය ගැන කියා තිබෙන ප්‍රබල ප්‍රකාශ අතුරින් එකක් නැතහොත් ප්‍රබලතම ප්‍රකාශයයි.”

6. අසම්පූර්ණ මිනිසුන් බොහෝදෙනෙක් මුදු මොළොක් දයානුකම්පාව දෙස බලා ඇත්තේ කොයි ආකාරයෙන්ද? නමුත් යෙහෝවා අපට ඒ ගැන සහතික කරන්නේ කුමක්ද?

6 මුදු මොළොක් දයානුකම්පාව දුර්වලකමේ ලකුණක්ද? අසම්පූර්ණ මිනිසුන් බොහෝදෙනෙකුට මේ මතය තියෙනවා. නිදසුනක් වශයෙන්, යේසුස් විසූ සමයේ ජීවත් වූ රෝමයේ පණ්ඩිතයෙක් වූ සෙනෙකා ඉගැන්වූයේ “අනුකම්පාව මනස තුළ තිබෙන දුර්වලකමක්” බවයි. සෙනෙකා ස්තෝයිකවාදයට උඩ ගෙඩි දුන් කෙනෙක්. ස්තෝයිකවාදය යනු හැඟීම්වලින් තොර සන්සුන්කමක් අත් කරගැනීම අවධාරණය කරන දර්ශනයක්. ඥානවන්ත පුද්ගලයෙක් දුකට පත් අයට උපකාර කරන්නට පුළුවන්. නමුත් ඔහු තුළ කිසිදු හැඟීමක් ඇති නොවීමට ඔහු වගබලා ගත යුතුයි. මන්දයත් එවන් හැඟීමකින් ඔහුගේ ශාන්තභාවය ඔහුට අහිමි විය හැකියි කියා සෙනෙකා පැවසුවා. ජීවිතය පිළිබඳ එම ආත්මාර්ථකාමී දෘෂ්ටිය කිසිවිටෙකත් මිනිසුන් තුළ හද පිරි දයානුකම්පාවක් ඇතිවීමට ඉඩක් තැබුවේ නැහැ. නමුත් යෙහෝවා නම් කොහොමටවත් එහෙම කෙනෙක් නොවෙයි! සිය වචනය තුළ යෙහෝවාම අපට සහතික කර කියා සිටින්නේ ඔහු, “ස්නේහයෙන් ඉතා මුදු මොළොක් වූ, දයාවන්ත” කෙනෙක් බවයි. (යාකොබ් 5:11, NW පාද සටහන) අප දකින්නට යන පරිදි, දයානුකම්පාව යනු දුර්වලකමක් නොව ඉතා ශක්තිමත් හා අතිවැදගත් වූ ගුණාංගයක්. ප්‍රේමවන්ත දෙමාපියෙකු මෙන් යෙහෝවා එය විදහාපාන අන්දම ගැන අපි සෝදිසි කර බලමු.

යෙහෝවා ජාතියකට දයානුකම්පාව පෙන්වූ අවස්ථා

7, 8. ඉශ්‍රායෙලිතයන් ඉපැරණි මිසරයේ දුක් වින්දේ කිනම් ආකාරයෙන්ද? තවද යෙහෝවා ඔවුන්ගේ දුක් විඳීමට ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?

7 යෙහෝවාගේ දයානුකම්පාව, ඔහු ඉශ්‍රායෙල් ජාතිය සමඟ කටයුතු කළ ආකාරය තුළ පැහැදිලිව දකින්නට තිබෙනවා. පොදු යුගයට පෙර 16වන සියවසේ අගභාගය පමණ වන විට, ඉශ්‍රායෙලිතයන් මිලියන ගණනක් ඉපැරණි මිසරයේ වහල්භාවයේ සිටි අතර, එහි ඔවුන් වහල්බවින් මිරිකී සිටියා. මිසර වැසියෝ “තද වැඩ වූ බදාම සහ ගඩොල් වැඩද . . . සියලු තදබල වැඩද කරණකොටගෙන . . . ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළෝය.” (නික්මයාම 1:11, 14) ඔවුන්ගේ මේ දුක් පීඩාවලදී, ඉශ්‍රායෙලිතයන් පිහිට පතා යෙහෝවාට කන්නලව් කළා. මුදු මොළොක් දයානුකම්පාවේ දෙවි මෙයට ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?

8 යෙහෝවාගේ හදවත උණු වුණා. ඔහු පැවසුවේ මෙසේයි. “මිසරයේ වසන මාගේ සෙනඟගේ පීඩාව සැබවින්ම දුටිමි. ඔවුන්ගේ විධානවරුන් නිසා ඇති ඔවුන්ගේ මොරගැසීම ඇසීමි. මක්නිසාද ඔවුන්ගේ දුක දනිමි.” (නික්මයාම 3:7) යෙහෝවා සිය ජනයා විඳින දුක් වේදනා දකින විට හා ඔහුට ඔවුන්ගේ මොරගැසීම ඇසෙන විට, ඔහුගේ හදවත උණු වී නොයයි කියා අපට සිතාගන්නටවත් බැහැ. අප මෙම පොතේ 24වන පරිච්ඡේදය තුළ දුටුවාක් මෙන් යෙහෝවා සංවේදනයේ දෙවි කෙනෙක්. ඇරත් සංවේදනය, එනම් අනුන්ගේ වේදනාව තමාගේම වේදනාවක් සේ දැනීමට ඇති හැකියාව, දයානුකම්පාව හා කිට්ටුවෙන් බැඳි තිබෙනවා. නමුත් යෙහෝවාට සිය ජනයා උදෙසා නිකම්ම හැඟීමක් ඇති වුණා විතරක් නොවෙයි, ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන්නටත් ඔහු පෙලඹුණා. ‘ඔහු තමන්ගේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදාගත්’ බව යෙසායා 63:9 පවසනවා. යෙහෝවා ඉශ්‍රායෙලිතයන්ව “බලවත් හස්තයකින්” මිසරයෙන් ගළවාගත්තා. (ද්විතීය කථාව 4:34) ඉන් පසුව, ආශ්චර්යවත් අන්දමින් ඔවුන්ට ආහාර සපයමින් ඔවුන්ගේම සශ්‍රීක දේශයකට ඔවුන්ව ගෙන ආවා.

9, 10. (අ) ඉශ්‍රායෙලිතයන් පොරොන්දු දේශයේ පදිංචි වීමෙන් පසුව යෙහෝවා ඔවුන්ව යළි යළිත් ගළවාගත්තේ ඇයි? (ආ) යෙප්තාගේ දවස්වලදී, යෙහෝවා ඉශ්‍රායෙලිතයන්ව මුදාගත්තේ කිනම් දුකින්ද? එසේ කිරීමට ඔහුව පෙලඹවූයේ කුමක්ද?

9 යෙහෝවාගේ දයානුකම්පාව ඉන් නිම වූයේ නැහැ. පොරොන්දු දේශයේ පදිංචි වී සිටින විට, ඉශ්‍රායෙලිතයන් නිතර නිතර යෙහෝවා කෙරෙහි තිබූ ඔවුන්ගේ විශ්වාසය අත්හළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දුක් වින්දා. නමුත් ප්‍රකෘති සිහියට පැමිණි විට ඔවුන් යෙහෝවාට මොරගැසුවා. ඔහු කළේ යළි යළිත් ඔවුන්ව ගළවාගැනීමයි. ඒ ඇයි? ‘යෙහෝවාට සිය සෙනඟ උදෙසා දයානුකම්පාවක් දැනුණු නිසයි.’—2 ලේකම් 36:15, NW; විනිශ්චයකාරයන් 2:11-16.

10 යෙප්තාගේ දවස්වල සිදු වූ දේ සැලකිල්ලට ගන්න. ඉශ්‍රායෙලිතයන් ජාතීන්ගේ දෙවිවරුන්ට නමස්කාර කිරීමට හැරී ගිය හෙයින්, වසර 18ක් මුළුල්ලේ අම්මොන්වරුන් විසින් ඔවුන්ට පීඩා කරනු ලැබීමට යෙහෝවා ඉඩහැරියා. අන්තිමේදී ඉශ්‍රායෙලිතයන් පසුතැවිලි වුණා. බයිබලය අපට කියන්නේ මෙලෙසයි. “එවිට ඔවුහු තමුන් අතරෙන් අන් දෙවිවරුන් පහ කර දමා, යෙහෝවාට සේවය කළෝය. ඔහුගේ ආත්මය ඉශ්‍රායෙල්ගේ කාලකණ්ණිකම ගැන ශෝක වූයේය.”b (විනිශ්චයකාරයන් 10:6-16) මේ ජනයා අව්‍යාජ පසුතැවිල්ලක් විදහා දැක්වූ සැණෙකින්, ඔවුන් තවදුරටත් දුක් විඳිනවා බලාගෙන සිටීමට යෙහෝවාට පුළුවන් වුණේ නැහැ. එබැවින් මුදු මොළොක් දයානුකම්පාවේ දෙවි යෙප්තාව බලවත් කළා. එසේ කළේ ඉශ්‍රායෙලිතයන්ව ඔවුන්ගේ සතුරන්ගේ අත්වලින් මුදවාගැනීමටයි.—විනිශ්චයකාරයන් 11:30-33.

11. යෙහෝවා ඉශ්‍රායෙලිතයන් සමඟ කටයුතු කළ ආකාරයෙන්, අපට දයානුකම්පාව ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද?

11 යෙහෝවා ඉශ්‍රායෙල් ජාතිය සමඟ කටයුතු කළ ආකාරයෙන් ඔහුගේ මුදු මොළොක් දයානුකම්පාව ගැන අපට උගන්වන්නේ කුමක්ද? එක් දෙයක් නම්, එය ජනයා අද්දකිමින් සිටින දුක් පීඩා ගැන නිකම්ම අනුකම්පාසහගත හැඟීමක් ඇතුව සිටීම පමණක් නොවේය යන්නයි. හඬන තම දරුවා කෙරෙහි දයානුකම්පාවෙන් පිරි හදකින් පෙලඹී ප්‍රතිචාර දැක්වූ අර මවගේ උදාහරණය ඔබට මතකද? ඒ හා සමානව, තම සෙනඟගේ මොරගැසීම්වලට යෙහෝවා බිහිරි කන් ඇතිව සිටින්නේ නැහැ. ඔවුන්ගේ දුක් වේදනා සංසිඳුවාලීමට ඔහුව පොලඹවන්නේ ඔහුගේ මුදු මොළොක් දයානුකම්පාවයි. ඊට අමතරව, යෙහෝවා ඉශ්‍රායෙලිතයන් සමඟ කටයුතු කළ ආකාරයෙන් අපට යමක් උගන්වනවා. ඒ තමයි, දයානුකම්පාව කියන්නේ කොහෙත්ම දුර්වලකමක් නොවන බව. මන්ද, තම ජනතාව වෙනුවෙන් ප්‍රබල, තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහුව පොලඹවන්නේ මෙම මුදු මොළොක් ගුණාංගයයි. නමුත් යෙහෝවා සිය දයානුකම්පාව තම ජනයාට පෙන්වන්නේ කණ්ඩායමක් ලෙසට පමණක්ද?

පුද්ගලයන් සඳහා යෙහෝවා දක්වන දයානුකම්පාව

12. ව්‍යවස්ථාව යම් යම් පුද්ගලයන් සඳහා යෙහෝවා දැක්වූ දයානුකම්පාව පිළිබිඹු කළේ කොහොමද?

12 දෙවි විසින් ඉශ්‍රායෙල් ජාතියට දුන් ව්‍යවස්ථාවෙන් පුද්ගලයන් කෙරෙහි පෞද්ගලික වශයෙන් ඔහුගේ දයානුකම්පාව පෙන්වූවා. නිදසුනක් වශයෙන්, දුප්පත් අය කෙරෙහි ඔහු දැක්වූ සැලකිල්ල බලන්න. යම් ඉශ්‍රායෙලිතයෙකුව අනපේක්ෂිත, නොවැළැක්විය හැකි තත්වයන් හේතුවෙන් දිළිඳුකමට වැටෙන්නට හැකි බව යෙහෝවා දැන සිටියා. දුප්පත් අයව සැලකිය යුතුව තිබුණේ කොහොමද? යෙහෝවා ඉතා තදින්ම ඉශ්‍රායෙල්වරුන්ට අණ කොට තිබුණේ මෙලෙසයි. “නුඹේ දෙවි වූ යෙහෝවා නුඹට දෙන දේශයෙහි නුඹේ යම් නුවරක් තුළ නුඹේ සහෝදරයන්ගෙන් යම් දිළින්දෙක් නුඹ වෙත සිටින්නේ නම්, නුඹ නුඹේ හෘදය දැඩි කරගන්නේවත්, නුඹේ දිළිඳු සහෝදරයා වෙතින් නුඹේ අත පියාගන්නේවත් නැතුව, නුඹ ඔහුට දෙන්ටම ඕනෑය. නුඹ ඔහුට දෙන විට, නුඹේ සිතේ කනගාටුවක් නොවේවා. මක්නිසාද මේ කාරණය නිසා නුඹේ දෙවි වූ යෙහෝවා නුඹේ සියලු වැඩවලදීත් නුඹ අත තබන සියල්ලේදීත් නුඹට ආශීර්වාද කරනවා ඇත.” (ද්විතීය කථාව 15:7, 10) තමන්ගේ කෙත්වල නියර අසල ඇති අස්වැන්න සම්පූර්ණයෙන් නෙළීමෙන්ද, වැටී ඇති කරල් ඇහිඳීමෙන්ද වළකින ලෙසට යෙහෝවා ඉශ්‍රායෙලිතයන්ට තවදුරටත් අණ කළා. එවන් දේ දිළිඳු අය විසින් අහුලාගත යුතුව තිබුණා. (ලෙවී කථාව 23:22; රූත් 2:2-7) එම ජාතිය තමන් අතර සිටින දිළින්දන් වෙනුවෙන් මෙම සැලකිය යුතු ව්‍යවස්ථාපිතය පිළිපැද්ද විට, ඉශ්‍රායෙලයේ සිටි දිළින්දන්ට ආහාර ඉල්ලා හිඟමනේ යෑමට අවශ්‍ය වූයේ නැහැ. එය යෙහෝවාගේ මුදු මොළොක් දයානුකම්පාවේ පිළිබිඹුවක් නොවන්නේද?

13, 14. (අ) යෙහෝවා අප ගැන පුද්ගලයන් වශයෙන් ඉතා ගැඹුරින් උනන්දු වන බව දාවිත්ගේ වචනවලින් අපට සහතික කරන්නේ කොහොමද? (ආ) යෙහෝවා “බිඳුණු සිත් ඇත්තන්” හා “තැළුණු ආත්ම ඇත්තන්” ළඟින්ම සිටින බව උපහැරණය කර තිබෙන්නේ කොහොමද?

13 අදදිනත් අපගේ ප්‍රේමනීය දෙවි පුද්ගලයන් වශයෙන් අප කෙරෙහි ගැඹුරින් උනන්දු වෙනවා. අප විඳිමින් සිටින ඕනෑම ආකාරයක වේදනාවක් ගැන ඔහු ඉතා තියුණු උනන්දුවක් හා සැලකිල්ලක් දක්වන බව අපට ස්ථිරයි. ගීතිකාකාර දාවිත් මෙසේ ලීවා. “යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ. යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටියි. තැළුණු ආත්ම ඇත්තන් ගළවයි.” (ගීතාවලිය 34:15, 18) එම වදන්වලින් විස්තර කරනු ලැබූ අය සම්බන්ධයෙන් එක් බයිබල් විචාරකයෙක් ලීවේ මෙසේයි. “ඔවුන් බිඳුණු සිත් ඇති තැළුණු ආත්මයන්ය. පාපය නිසා පහත් කරනු ලැබූ, ආත්ම ගරුත්වයෙන් තොර වූ අයය. ඔවුන් තමුන්වම දකින්නේ පහත් අය ලෙසය. තමන්ගේම වටිනාකම කෙරෙහි ඔවුන්ට කිසිදු විශ්වාසයක් නැත.” යෙහෝවා තමන්ට ඉතා දුරින් සිටින බවත්, ඔහුගේ පහස ලැබීමට තමන් ඉතා නොවටිනා පහත් අය කියාත් ඔවුන්ට හැඟෙනවා විය හැකියි. නමුත් යථාර්ථය එය නොවේ. “තමන්වම පහත් අය ලෙස දකින පුද්ගලයන්ව” යෙහෝවා අත්නොහරිනු ලබන බව දාවිත්ගේ වචන අපට සහතික කරනවා. ඇතැම් අවස්ථාවලදී, වෙන කවරදාටත් වඩා ඔහුව අපට අවශ්‍ය බව අපගේ දයානුකම්පිත දෙවි දන්නවා. ඇරත් ඔහු අපි ළඟින්මයි සිටින්නේ.

14 අද්දැකීමක් සලකා බලන්න. එක්සත් ජනපදයේ වෙසෙන එක් මවක් තමාගේ දෑවුරුදු වියැති පුතාව හදිසියෙන්ම රෝහලට රැගෙන ගියේ පපුවේ මහන්සි ගතියක් වැනි හුස්ම ගැනීමේ අපහසුතාවකින් ඔහු පෙළෙමින් සිටි නිසයි. වෛද්‍යවරු දරුවාව පරීක්ෂා කළා. ඉන් පසු ඔවුන් මවට කියා සිටියා, එම රාත්‍රියේ දරුවාව රෝහලේ නතර කිරීමට සිදු වන බව. මව එම රාත්‍රියේ නතර වූයේ කොහේද? ඇය මුළු රාත්‍රියම ගත කළේ රෝහලේ වාට්ටුවේ දරුවාගේ ඇඳ අසලම පුටුවක ඉඳගෙනයි! ඇගේ සිඟිති පිරිමි දරුවා අසනීප වෙලා. ඔව්, ඒ නිසා ඔහු අසලම සිටීමට ඇයට අවශ්‍ය වුණා. එහෙමනම්, අපගේ ප්‍රේමාන්විත ස්වර්ගික පියාණන්ගෙන් අපට ඊටත් වඩා යමක් අපේක්ෂා කරන්නට පුළුවන්! ඇරත්, අපව සාදා තිබෙන්නේ ඔහුගේම ස්වරූපයෙන්. (උත්පත්ති 1:26) අපගේ සිත් “බිඳුණු” විට, අපගේ ආත්ම “තැළුණු” විට, ආදරණීය තාත්තා කෙනෙකු මෙන්, ඔහු අප ‘ළඟින්ම’ සිටින බව ගීතාවලිය 34:18හි හද කලතන වචනවලින් අපට කියාපානවා. ඔව්, ඒ ආදරණීය තාත්තා, සැමදා දයානුකම්පිතයි, පිහිට වීමට සූදානම්.

15. යෙහෝවා පුද්ගලයන් වශයෙන් අපට පිහිට වන්නේ කොහොමද?

15 එසේ නම්, යෙහෝවා අපට පුද්ගලයන් වශයෙන් පිහිට වන්නේ කොහොමද? අපගේ දුක් විඳීමට හේතුව ඔහු අනිවාර්යයෙන්ම ඉවත් කරන්නේ නැහැ. එහෙත් පිහිට ඉල්ලා තමන්ට මොරගසන අය සඳහා යෙහෝවා ඇති තරම් සැපයුම් දී තිබෙනවා. ඔහුගේ වචනය වන බයිබලය, තත්වයන්හි ලොකු වෙනසක් කළ හැකි ප්‍රායෝගික උපදෙස් ඉදිරිපත් කර තිබෙනවා. සභාව තුළ යෙහෝවා ආත්මික සුදුසුකම් ඇති අවේක්ෂකයන්ව සපයා ඇති අතර, ඔවුන් දැඩි සේ උත්සාහ කරන්නේ සෙසු නමස්කාරකයන්ට දයානුකම්පාවෙන් උදව් උපකාර කිරීමටයි. (යාකොබ් 5:14, 15) “යාච්ඤා අසන තැනැත්තා” වශයෙන්, ඔහු “තමන්ගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය” දෙයි. (ගීතාවලිය 65:2; ලූක් 11:13) එම ආත්මයට පුළුවන් අපට “සාමාන්‍ය ඉක්මවූ බලය” දීමට. එවිට අපට පුළුවන් දෙවිගේ රාජ්‍යය මගින් සියලු දුක් පීඩා ගැටලු හිරිහැර ඉවත් කරන තෙක් විඳදරාගන්න. (2 කොරින්ති 4:7, NW) අපි මෙම සියලු සැපයුම් සඳහා කෘතඥ වෙමුද? ඒවා යෙහෝවා විසින් මුදු මොළොක් දයානුකම්පාව පළ කරන ක්‍රම බව අමතක නොකරමු.

16. යෙහෝවාගේ දයානුකම්පාවේ ශ්‍රේෂ්ඨතම උදාහරණය කුමක්ද? එය අපට පෞද්ගලිකව බලපාන්නේ කොහොමද?

16 ඇත්ත වශයෙන්ම, යෙහෝවාගේ දයානුකම්පාවේ ශ්‍රේෂ්ඨතම උදාහරණය නම්, ඔහුගේ ආදරණීය පුත්‍රයාව අප වෙනුවෙන් මිදීමේ මිලයක් වශයෙන් දීමයි. එය යෙහෝවාගේ පැත්තෙන් කළ ප්‍රේමනීය පරිත්‍යාගයක්. තවද එය අපගේ ගැළවීමට මං උදා කළා. එම මිදීමේ මිල සැපයුම අපට පෞද්ගලිකව අදාළ වන බව මතක තබාගන්න. යොහන් බව්තීස්තගේ පියා වූ සෙකරියස්, මෙම සැපයුමින් “අපගේ දෙවිගේ මුදු මොළොක් දයානුකම්පාව” ඉස්මතු වූ බව පුරෝකථනය කළේ හොඳ හේතු ඇතුවයි.—ලූක් 1:78, NW.

යෙහෝවා දයානුකම්පාව දැක්වීම වළක්වාගන්නා අවස්ථා

17-19. (අ) යෙහෝවාගේ දයානුකම්පාවට සීමාවන් තිබෙන බව බයිබලය පෙන්වන්නේ කොහොමද? (ආ) සිය ජනයා උදෙසා යෙහෝවා දැක්වූ දයානුකම්පාව එහි සීමාව දක්වා පැමිණීමට හේතු වූයේ කුමක්ද?

17 යෙහෝවාගේ මුදු මොළොක් දයානුකම්පාවට කිසි සීමාවක් නැති බව අප මින් සිතාගත යුතුද? ඊට පටහැනි ලෙස බයිබලයේ පැහැදිලිව පෙන්වන්නේ යෙහෝවාගේ ධර්මිෂ්ඨ මාර්ගවලට එරෙහිව කටයුතු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ඔහු යුක්තිසහගත ලෙස දයානුකම්පාව දැක්වීම වළක්වාගත් බවයි. (හෙබ්‍රෙව් 10:28) ඔහු එසේ කරන්නේ ඇයිදැයි බැලීමට, ඉශ්‍රායෙල් ජාතිය පිළිබඳ ආදර්ශය සැලකිල්ලට ගන්න.

18 යෙහෝවා ඉශ්‍රායෙල් ජාතියව ඔවුන්ගේ සතුරන්ගෙන් නැවත නැවත ගළවාගත්තද, ඔහුගේ දයානුකම්පාව දැක්වීම අන්තිමේදී වළක්වන සීමාවටම ආවා. මෙම උද්ධච්ච ජාතිය රූප වන්දනාවේ යෙදුණේ, පිළිකුල්සහගත පිළිම යෙහෝවාගේ මාළිගාව තුළටම ගෙන ඒමෙන්! (එසකියෙල් 5:11; 8:17, 18) එපමණක්ද නොව, අපට මෙසේ කියවීමටද තිබෙනවා. “එහෙත් සුවයක් නැති තරමට යෙහෝවාගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔවුහු දෙවිගේ පණිවිඩකාරයන්ට සරදම් කර, ඔහුගේ වචන සුළු කර, ඔහුගේ ප්‍රොපේතවරුන්ට නින්දා කළෝය.” (2 ලේකම් 36:16) මෙලෙස ඉශ්‍රායෙලිතයන්ට දයානුකම්පාව දක්වනු ලැබීමට තවදුරටත් කිසිදු පදනමක් නැති තත්වයකට පැමිණි අතර, ඔවුන් යෙහෝවාගේ ධර්මිෂ්ඨ කෝපය ඇවිස්සුවා. එහි ප්‍රතිඵලය කුමක්ද?

19 දැන් යෙහෝවාට තම ජනයා කෙරෙහි තවදුරටත් දයානුකම්පාවක් දක්වන්නට පුළුවන්කමක් නැහැ. ඔහු ප්‍රකාශ කෙළේ මෙසේයි. “ඔවුන් විනාශ නොකරන හැටියට මා දයා වන්නේවත් අනුකම්පා කරන්නේවත් නැත.” (යෙරෙමියා 13:14) මෙසේ, යෙරුසලම හා එහි දේවමාළිගාව විනාශ කරනු ලැබූ අතර, ඉශ්‍රායෙලිතයන්ව බබිලෝනියේ වහල්භාවයට රැගෙන ගියා. දිව්‍ය දයාවේ සීමාවන් කඩා බිඳගෙන යන තරමටම පව්කාර මිනිසුන් මෙතරම්ම කැරලි ගැසීම මොනතරම් කනගාටුදායකද!—විලාප ගී 2:21.

20, 21. (අ) අපගේ කාලයේදී දිව්‍ය දයානුකම්පාව එහි උපරිම සීමාවට ආ විට කුමක් සිදු වනු ඇද්ද? (ආ) ඊළඟ පරිච්ඡේදයේදී අප සාකච්ඡා කරනු ඇත්තේ යෙහෝවාගේ දයානුකම්පාවේ කිනම් සැපයුම පිළිබඳවද?

20 වර්තමානය ගැන කුමක් කිව හැකිද? යෙහෝවා වෙනස් වී නැහැ. සිය දයානුකම්පාව නිසා, ඔහු ‘රාජ්‍යයේ ශුභාරංචිය’ මුළු ජනාවාස පොළොව පුරා දේශනා කිරීමට පවරා තිබෙනවා. (මතෙව් 24:14) හරි හෘදයක් ඇති ජනයා මීට ප්‍රතිචාර දක්වන විට, යෙහෝවා ඔවුන්ට රාජ්‍ය පණිවුඩය වටහාගැනීමට උපකාර කරනවා. (ක්‍රියා 16:14) නමුත් මෙම වැඩය සදාකාලයටම සිදු වන වැඩක් නොවෙයි. මෙම දුෂ්ට ලෝකයේ පවතින ඉතා දුක්ඛිත තත්වයන් හා දුක් වේදනා සදහටම නොකඩවා පවතියි කියා සිතීම කොහෙත්ම කළ නොහැකි දෙයක්. මන්ද දයානුකම්පිත යෙහෝවා එසේ වීමට කිසිදා ඉඩ තබන්නේ නැති නිසයි. දිව්‍ය දයානුකම්පාව එහි උපරිම සීමාවට ආ විට, දැන් පවතින මේ ක්‍රමය මත ඔහු විනිශ්චය ගෙන ඒවි. ඒ අවස්ථාවේදී පවා ඔහු ක්‍රියා කරනු ඇත්තේ දයානුකම්පාවෙන්. ඔව්, තමන්ගේ “ශුද්ධ නාමය” හා තමන්ගේ කැප වූ සේවකයන් සඳහා දයානුකම්පාවෙන්. (එසකියෙල් 36:20-23) දුෂ්ටකම පහ කර යෙහෝවා ධර්මිෂ්ඨ නව ලෝකයකට මං පෙත් උදා කරනු ඇති. දුෂ්ටයන් සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙයයි. “මාගේ ඇස දයා කරන්නේවත් මා විසින් කරුණා කරන්නේවත් නැතුව, ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පමුණුවන්නෙමි.”—එසකියෙල් 9:10අ.

21 ඒ වන තෙක්, විනාශයට මුහුණ දීමට සිටින අය ඇතුළු ජනයා දෙස යෙහෝවා දයානුකම්පාවෙන් බලනවා. අවංකව පසුතැවිලි වෙන පව්කාර ජනයාට යෙහෝවාගේ වඩාත් දයානුකම්පිත වූ සැපයුමකින් ප්‍රයෝජන ගැනීමට පුළුවන්. ඒ තමයි, යෙහෝවාගෙන් ලැබෙන සමාව. ඊළඟ පරිච්ඡේදයේදී අප සාකච්ඡා කරනු ඇත්තේ යෙහෝවාගේ සමාව දීමේ සම්පූර්ණත්වය අපට කියා දෙන බයිබලයේ සඳහන් අලංකාර උපමා කිහිපයක් පිළිබඳවයි.

[පාදසටහන්වල]

a එහෙත්, ගීතාවලිය 103:13හි, රාචාම් යන හෙබ්‍රෙව් ක්‍රියා පදයෙන්, පියෙක් තම දරුවන්ට දක්වන දයාව හෙවත් දයානුකම්පාව ගැන කියාපායි.

b “ඔහුගේ ආත්මය  . . . ශෝක වූයේය” යන ප්‍රකාශයේ පදගතාර්ථය නම්, “ඔහුගේ ආත්මය දිය විය; ඔහුගේ ඉවසීම ඉකුත් විය” යන්නයි. ද නිව් ඉංග්ලිෂ් බයිබල්හි කියවීමට තිබෙන්නේ, “ඉශ්‍රායෙලිතයන්ගේ දුක්ඛිත තත්වය දෙස බලා සිටීමට ඔහුට තවදුරටත් හැකි වූයේ නැත” යනුවෙනුයි. ටනාඛ්—ඒ නිව් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්හි පරිවර්තනය වී ඇත්තේ මෙලෙසයි. “ඉශ්‍රායෙලිතයන්ගේ දුක්ඛිත තත්වය තවදුරටත් දරාගෙන සිටීමට ඔහුට හැකි වූයේ නැත.”

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

යෙරෙමියා 31:20, න. අ. යෙහෝවාට සිය ජනයා උදෙසා ඇත්තේ කෙබඳු ආකාරයේ මුදු මොළොක් හැඟීම්ද? මෙය ඔහු කෙරෙහි කෙබඳු හැඟීමක් ඔබ තුළ ඇති කරවයිද?

යෝවෙල් 2:12-14, 17-19 තමන්ට දයානුකම්පාව ලබාගත හැකි වන පිණිස, යෙහෝවාගේ ජනයා කළ යුතුව තිබුණේ කුමක්ද? තවද අපට මින් ඉගෙනගත හැක්කේ කුමක්ද?

යෝනා 4:1-11 යෙහෝවා යෝනාට දයානුකම්පාවේ වැදගත්කම පිළිබඳ පාඩමක් ඉගැන්වූයේ කොහොමද?

හෙබ්‍රෙව් 10:26-31 අප යෙහෝවාගේ දයාවෙන් හෙවත් දයානුකම්පාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු නොවිය යුත්තේ ඇයි?

[252වන පිටුවේ පින්තූරය]

“මවකට හැකිද, කුසේ දැරූ බිළිඳා අමතක කරන්න?”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න