ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 282 පි.-285 පි.
  • පාසැල් අවේක්ෂකයන් සඳහා මාර්ගෝපදේශ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාසැල් අවේක්ෂකයන් සඳහා මාර්ගෝපදේශ
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • දිව්‍යාණ්ඩු සේවා පාසල ප්‍රයෝජන ගෙන දෙයි
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • උගන්වන විදිහ දියුණු කරගන්න 2015 සේවා පාසැල අපිට උපකාරයක්
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • ජීවිතයේ වැදගත්ම දෙයට අපව සන්නද්ධ කරන පාසැලක්
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය රැස්වීම සඳහා මඟ පෙන්වීම්
    ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය රැස්වීම සඳහා මඟ පෙන්වීම්
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 282 පි.-285 පි.

පාසැල් අවේක්ෂකයන් සඳහා මාර්ගෝපදේශ

සෑම සභාවකම දිව්‍යාණ්ඩු සේවා පාසැල් අවේක්ෂක ලෙස වැඩිමහල්ලෙකුව පත් කරනු ලැබේ. ඔබට මෙම වගකීම පවරා ඇත්නම්, පාසැල සඳහා ඔබ දක්වන උද්‍යෝගය, එක් එක් ශිෂ්‍යයා කෙරෙහි ඔබ පෞද්ගලිකව දක්වන උනන්දුව, සභා මට්ටමින් පාසැලෙන් ඉටු විය හැකි දේට බෙහෙවින් බලපෑ හැකිය.

ඔබේ සභාවේ සතිපතා පවත්වන දිව්‍යාණ්ඩු සේවා පාසැල මෙහෙයවීමේ කාර්යය, ඔබේ පැවරුමෙහි වැදගත් අංගයක් වේ. පාසැල පවත්වන දිනයෙහි ශිෂ්‍ය පැවරුම් ලබා ඇති අයට අමතරව, වෙනත් අය පැමිණ සිටින බවද මතක තබාගන්න. එමනිසා, පාසැල මෙහෙයවිය යුත්තේ මෙම පාඩම් පොතෙහි 5 සිට 8 දක්වා පිටුවල සඳහන් පාසැලේ පරමාර්ථයන් අතුරින් අඩුම තරමින් එකකටවත් සම්බන්ධ පොලඹවනසුලු, ප්‍රායෝගික සිහිගැන්වීම් මුළු සභාවටම ලැබෙන අයුරිනි.

ශිෂ්‍යයන්ට විවිධාකාර පැවරුම් තිබේ. සමහරුන්ට කියවීමේ පැවරුම්, තවත් සමහරුන්ට නිරූපණයක් ආකාරයේ පැවරුම් සහ තවත් සමහරුන්ට කතා පැවරුම් යනාදි වශයෙන් පැවරුම් ලැබිය හැක. ඒ සියල්ලන් කෙරෙහි උනන්දුවක් දක්වන්න. තමන් නිකම්ම ඉටු කළ යුතු යම් පැවරුමක් ලබා ඇතැයි සිතනවා වෙනුවට, එම පැවරුම යෙහෝවාට ඔවුන් පිරිනමන සේවයෙහි ප්‍රගතියක් ලැබීමට ප්‍රස්තාවක් ලෙස සැලකීමට උපකාර කරන්න. ඔවුන්ගේ ප්‍රගතියට බෙහෙවින් බලපාන්නේ ඔවුන් පෞද්ගලිකව දරන වෑයම බව අමුතුවෙන් කිව යුතු නොවේ. එනමුත්, ඔබ විසින් කාරුණික උනන්දුවක් පෙන්වීමත්, උපදෙස් ලබන සෑම කරුණකම වටිනාකම තේරුම්ගැනීමට උදව් කිරීමත්, එවන් උපදෙස් අදාළ කරගත යුතු ආකාරය පැහැදිලි කිරීමත් වැදගත්ය. ඒ සඳහා, සෑම කතාවකටම හොඳින් සවන් දී සිටින්න. ප්‍රයෝජනවත් උපදෙස් සැපයිය හැකි වන්නේ එවිට පමණි.

පාසැල නියමිත වේලාවට ආරම්භ කිරීමටත්, අවසන් කිරීමටත් වගබලා ගත යුතුය. ඔබ ඉදිරිපත් කරන අදහස් ඒවා සඳහා නියම කර ඇති වේලාව තුළ ඉදිරිපත් කිරීමෙන් හොඳ ආදර්ශයක් තබන්න. ශිෂ්‍ය කතාවක් නියමිත වේලාව ඉක්මවා යනවා නම්, ඔබ හෝ ඔබේ සහායකයා සංඥාවක් දිය යුතුය. එවිට ශිෂ්‍යයා පවසමින් සිටින වාක්‍යය නිම කොට වේදිකාවෙන් බැස යා යුතුය. වැඩසටහනේ වෙනත් කොටසක් නියමිත වේලාව ඉක්මවා යනවා නම්, ඔබේ අදහස් කෙටි කර, රැස්වීමෙන් පසු නියමිත වේලාව ඉක්මවා ගිය සහෝදරයා සමඟ එය ගැන සාකච්ඡා කරන්න.

ඔබ සිටින විට, පාසැල මෙහෙයවිය යුත්තේ ඔබ විසින්ය. යම් හේතුවක් නිසා ඔබට පැමිණිය නොහැකි නම්, කල්තියාම වැඩිමහල් මණ්ඩලය විසින් පත් කරන ලද වෙනත් වැඩිමහල්ලෙකු පාසැල මෙහෙයවිය යුතුය. පාසැල් වැඩසටහන් පිළියෙළ කිරීමට, පැවරුම් පත්‍ර ලිවීමට හා බෙදාහැරීමට නැතහොත් වැඩසටහනේ ආදේශක ශිෂ්‍යයන් සඳහා සැලසුම් යෙදීම යනාදිය සඳහා යම් උපකාරයක් ඔබට අවශ්‍ය නම්, වැඩිමහල් මණ්ඩලය විසින් පත් කරන ලද සභා සේවකයෙකුට එම අවශ්‍ය උපකාර පිරිනැමිය හැකිය.

ශිෂ්‍යයන් බඳවාගැනීම. පාසැලට බැඳෙන්නට සියලුම ප්‍රචාරකයන්ට දිරිගන්වන්න. සභාව සමඟ ක්‍රියාශීලීව ඇසුරු කරන වෙනත් අය බයිබලයේ ඉගැන්වීම්වලට එකඟතාවක් දක්වමින්, ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙනවා නම්, පාසැලට බැඳෙන්නට ඔවුන්ටද පුළුවන. යමෙකු පාසැලට බැඳෙන්නට තම ආශාව පළ කරන විට ඔහුට උණුසුම් ලෙස ප්‍රශංසා කරන්න. එම පුද්ගලයා තවමත් ප්‍රචාරකයෙකු නොවේ නම්, පාසැල් අවේක්ෂක වන ඔබ පාසැලට බැඳෙන්නට අවශ්‍ය සුදුසුකම් මොනවාදැයි ඔහු සමඟ සාකච්ඡා කළ යුතුය. ඔහු සමඟ බයිබල් පාඩම කරන පුද්ගලයාගේ (හෝ ඇදහිල්ලෙහි සිටින දෙමාපියෙකුගේ) සහභාගිත්වය ඇතුව එම සාකච්ඡාව පවත්වන්නේ නම් එය වඩාත් හොඳය. මෙම සුදුසුකම්, බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු වීම සඳහා අවශ්‍ය වන සුදුසුකම්වලට සමානය. ඒවා අපගේ දේවසේවය සම්පූර්ණ කිරීමට සංවිධානය වීම නමැති පොතෙහි 97 සිට 99 දක්වා පිටුවල සඳහන් වේ. පාසැලට බඳවාගෙන ඇති සියලුදෙනා ඇතුළත් තත්කාලීන ලැයිස්තුවක් පවත්වාගන්න.

උපදෙස් පත්‍රය භාවිත කිරීම. පාඩම් පොතෙහි 79 සිට 81 දක්වා පිටුවල සෑම ශිෂ්‍යයෙකු සඳහාම උපදෙස් පත්‍රයේ පෞද්ගලික පිටපතක් තිබේ. තීරුවල දක්වා ඇති වර්ණයෙන් පැහැදිලි වන්නාක් මෙන්, 1 සිට 17 දක්වා ඕනෑම උපදෙස් කරුණක් භාවිත කළ හැක්කේ ශිෂ්‍යයෙකුට කියවීමේ පැවරුම් දෙනු ලබන විටය. නිරූපණයක් ආකාරයෙන් ඉදිරිපත් කරන පැවරුම්වලට 7, 52 සහ 53 හැර ඕනෑම උපදෙස් කරුණක් භාවිත කළ හැකිය. කතා සඳහා 7, 18 සහ 30 හැර අන් සියලුම කරුණු ඇතුළත් වේ.

උපදෙස් සඳහා කරුණක් පවරනු ලබන විට, එසේ පවරන දිනය, “පවරන ලද දිනය” නමැති ශීර්ෂය යටතේ පාසැල් අවේක්ෂක විසින් පැන්සලෙන් ලිවිය යුතුය. ශිෂ්‍යයාගේ පොතෙහි උපදෙස් පත්‍රයේ අදාළ කරුණ අසල ඒ සඳහා හිස් තැනක් සපයා ඇත. ශිෂ්‍යයා තම පැවරුම ඉදිරිපත් කළායින් පසු, උපදෙස් කරුණ සාකච්ඡා කරන පරිච්ඡේදය අවසානයේදී තිබෙන අභ්‍යාස(ය) ඔහු කළාද යන්න පෞද්ගලිකව ඔහුගෙන් විමසන්න. එසේ කර ඇත්නම්, උපදෙස් පත්‍රයේ අභ්‍යාස සඳහා තිබෙන කුඩා කොටුවේ හරි ලකුණක් දැමිය යුතුය. අදාළ කරුණ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් වැඩ කළ යුතු බව ඔබ නිර්දේශ කරනවා නම්, උපදෙස් පත්‍රයෙහි අමතර දෙයක් සටහන් කළ යුතු නැත. තවද “නිම කළ දිනය” සඳහා හිස්තැන නොපිරවිය යුතුය. එය සලකුණු කළ යුත්තේ අදාළ කරුණ සම්පූර්ණ කර ඔහු තවත් කරුණක් වැඩි කිරීමට සූදානම් වන විට පමණි. මීට අමතරව, ශිෂ්‍යයාගේ පොතෙහි 82වන පිටුවෙහි භාවිත කළ පසුබිමට වම් පසින්, සෑම ශිෂ්‍ය කතාවකට පසුව පසුබිම භාවිත කළ දිනය සලකුණු කළ යුතුය. උපදෙස් පත්‍රයෙහි සහ පසුබිම් ලැයිස්තුවෙහි අවස්ථා දෙකක් සලකුණු කිරීම සඳහා හිස්තැන් තිබේ. වැඩසටහන අතරතුරේදී ශිෂ්‍යයන් තම පාඩම් පොත් අතැතිව සිටිය යුතුය.

කථිකත්වය සම්බන්ධයෙන් උපදෙස් දෙද්දී එක් අවස්ථාවක් සඳහා පැවරිය යුත්තේ එක කරුණක් පමණි. සාමාන්‍යයෙන් හොඳම දේ වන්නේ උපදෙස් කරුණු ඒවා සඳහන්ව ඇති අනුපිළිවෙළට අනුව පැවරීමයි. කෙසේවෙතත්, ඇතැම් ශිෂ්‍යයන් තුළ කැපීපෙනෙන දක්ෂතාවන් ඇත්නම්, සමහර පාඩම් පෞද්ගලිකව අධ්‍යයනය කර අදාළ කරගැනීමට ඔවුන්ටම දිරිගැන්විය හැක. අනතුරුව, ඔබ දකින ආකාරයට බලපෑමෙන් යුත් කථිකයන් සහ ගුරුවරුන් ලෙස වර්ධනය වීමට ඔවුන්ට බෙහෙවින් දායක වන කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය උපකාරය ලබා දීමට ඔබට පුළුවන.

ශිෂ්‍යයෙකු වසර ගණනාවක සිට පාසැලේ සිටියත්, සෑම පාඩමක්ම අධ්‍යයනය කර අදාළ කරගැනීමෙන් ඔහුට ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක. යම් විශේෂිත අවශ්‍යතා ඇති ශිෂ්‍යයන්ට උපකාර කිරීම සඳහා, උපදෙස් පත්‍රයේ අනුපිළිවෙළ අනුගමනය කරනවා වෙනුවට ඔබට ඇතැම් කථික ගුණාංග තෝරාගත හැකි වේ.

උපදෙස් දීම. උපදෙස් දෙන විට, බයිබලයේ උදාහරණ සහ ප්‍රතිපත්ති හොඳින් භාවිතයට ගන්න. දෙනු ලබන උපදෙස් සහ එය දෙන ආකාරයෙන් එම උපදෙස්වල පදනම දේවවචනයෙහි උසස් ප්‍රතිපත්ති බව ශිෂ්‍යයන්ට දැනිය යුතුය.

ඔබ, ඔබේ සහෝදර සහෝදරියන් සමඟ වැඩ කරන ‘හවුල් වැඩකරුවෙකු’ බව මතක තබාගන්න. (2 කොරි. 1:24, NW) කථිකයෙකු සහ ගුරුවරයෙකු ලෙස අඛණ්ඩ දියුණුවක් ලැබීම සඳහා ඔවුන් හා සමානව දැඩි වෑයමක් අඛණ්ඩව දැරිය යුත්තේ ඔබමයි. එමනිසා දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු යන පොත පෞද්ගලිකව අධ්‍යයනය කර, එහි උපදෙස් අදාළ කරගෙන, අන් අය සඳහා හොඳ ආදර්ශයක් තබන්න.

මෙසේ කිරීමට වෑයම් දරන අතරතුරේදී, ශිෂ්‍යයන්ට හොඳ කියවන්නන්, දක්ෂ කථිකයන් සහ බලපෑමෙන් යුත් ගුරුවරුන් වීමට උපකාර කිරීම ඔබගේ ඉලක්කය කරගන්න. මෙම ඉලක්ක අත් කරගැනීමට දායක වන විවිධ කථික ගුණාංගයන් මොනවාද යන්නත්, ඒවා වැදගත් වන්නේ මන්ද යන්නත්, ඒවා වර්ධනය කරගත හැක්කේ කෙසේද යන්නත් තේරුම්ගැනීමට ශිෂ්‍යයන්ට යම් උපකාරයක් අවශ්‍ය වේ නම්, එය ලබා දීමට උපරිම උත්සාහයක් දරන්න. මෙම පාඩම් පොත සැලසුම් කර තිබෙන්නේ එවන් දෙයක් කිරීමට ඔබට පහසු වන අයුරිනි. කෙසේවෙතත්, මින් අදහස් වන්නේ පොතෙහි තිබෙන වචන නිකම්ම කියවා බැලීම පමණක් නොවේ. එම වචනවල ගැබ්ව ඇති අදහස් සහ ඒවා අදාළ වන අන්දම සාකච්ඡා කරන්න.

ශිෂ්‍යයෙක් එක්තරා කරුණක් හොඳින් පියෙව්වා නම්, ඔහුට ප්‍රශංසා කරන්න. එම කාරණය බලපෑමෙන් යුක්ත වීමට හේතුව, නැතහොත් ඔහු කළ දේ වැදගත් වූයේ මන්ද යන්න කෙටියෙන් සඳහන් කරන්න. සමහරවිට යම් පැත්තකින් ඔහුට තවත් දියුණු විය හැකි බව ඔබට පෙනේ නම්, ඔබ එසේ පවසන්නේ මන්දැයි ඔහුට අවබෝධ වී ඇති බවට වගබලාගන්න. එම පැත්තෙන් දියුණු විය හැකි ආකාරය ගැන සාකච්ඡා කරන්න. සුවිශේෂීව ඔහුටම අදාළ වන උපදෙස් දෙන්න. එනමුත් කාරුණික වීමට වගබලා ගන්න.

බොහෝදෙනෙකුට කණ්ඩායමක් ඉදිරියෙහි යම් කතාවක් දීම සෑහෙන අසීරු කාර්යයක් බව තේරුම්ගත යුත්තකි. තම උත්සාහය සාර්ථක නැතැයි කෙනෙකුට හැඟෙනවා නම්, දිගටම වෑයමක් දැරීමෙන් ඇති ඵලේ කුමක්දැයි කල්පනා කිරීමට පෙලඹෙන්නට පුළුවන. මෙවැනි අවස්ථාවක “තැළුණු බටලීයක්” පොඩි නොකළ, “දුම් නඟින පහන් තිරයක්” නිවා නොදැමූ යේසුස්ව අනුකරණය කරන්න. (මතෙ. 12:20) ශිෂ්‍යයාගේ චිත්තවේගීය තත්වය සැලකිල්ලට ගන්න. උපදෙස් ඉදිරිපත් කරන විට, ශිෂ්‍යයා නවකයෙකුද නැත්නම් පළපුරුදු ප්‍රචාරකයෙකුද යන්න සලකා බලන්න. උණුසුම් සහ අවංක ප්‍රශංසාව තුළින් දිගටම තම උපරිමය කිරීමට පුද්ගලයන්ට අවශ්‍ය ධෛර්යය ලබා දිය හැක.

සෑම ශිෂ්‍යයෙකු සමඟම ගෞරවාන්විත ආකාරයකින් කටයුතු කරන්න. රෝම 12:10හි [NW] අපට පවසන්නේ, “එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ” ගත යුතු බවයි. දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී උපදෙස් දෙන කෙනෙකුට මෙය මොනතරම් උචිත අවවාදයක්ද! ශිෂ්‍යයා ඔබට වඩා වයසින් වැඩි කෙනෙකු නම්, 1 තිමෝති 5:1, 2හි සඳහන් මඟ පෙන්වීම් හොඳින් අදාළ කරගැනීමට වගබලා ගන්න. කෙසේවෙතත්, පුද්ගලයෙකුගේ වයස කුමක් වුවත්, උපදෙස් ලබන තැනැත්තාට තමා කරමින් සිටින දේ සම්බන්ධයෙන් යම් සකස් කිරීමක් කළ යුතු අවස්ථාවන්හිදී, එම උපදෙස කාරුණික අන්දමකින් දෙන විට, එය සතුටින් භාරගැනීම වඩාත් පහසුය.—හිතෝ. 25:11.

උපදෙස් දෙන විට, ශිෂ්‍යයා ලබන පුහුණුවේ පරමාර්ථය ඔහුට පැහැදිලි කර දෙන්න. මෙහිදී පරමාර්ථය වන්නේ යම් කරුණක් හොඳින් නිම කර යම් ප්‍රශංසාවක් ලැබීමවත්, උපදෙස් සඳහා ඊළඟ කරුණ වෙත යෑමවත් නොවේ. අනික් අතට, එම ඉලක්කය විය යුත්තේ අන් අයගේ ප්‍රශංසාවට ලක් වන කථිකයෙකු සහ ගුරුවරයෙකු වීමත් නොවේ. (හිතෝ. 25:27) අපගේ ආශාව වන්නේ කතා කිරීමට වූ අප සතු දීමනාව තුළින් යෙහෝවාව ප්‍රශංසාවට ලක් කිරීමත්, ඔහුව දැනහඳුනා ගෙන ඔහුට ප්‍රේම කිරීමට අන් අයට උපකාර කිරීමත්ය. අප ලබන පුහුණුව අපව සන්නද්ධ කරන්නේ මතෙව් 24:14හි සහ 28:19, 20හි විස්තර කර ඇති කාර්යය බලපෑමෙන් යුතුව ඉටු කිරීම සඳහාය. කල් යත්ම, සුදුසුකම් ලබන බව්තීස්ම ලත් සහෝදරයන්ට ප්‍රසිද්ධ කථිකයන් සහ ගුරුවරුන් ලෙස “දෙවිගේ රැළ” රැකබලා ගැනීමේ කාර්යයට හවුල් වන්නට ඇරයුම් ලැබිය හැක.—1 පේතෘ. 5:2, 3.

පැවරුමක් ලැබී දින කිහිපයක් ඇතුළත උපදෙස් ලබනු ඇති කරුණ සාකච්ඡා කරන පාඩම, පාඩම් පොතෙන් කියවන්නට කියා ශිෂ්‍යයන්ට යෝජනා කරන්න. ඔවුන් ඉගෙනගනිමින් සිටින දේ පාසැලේ කොටස් සූදානම් කරද්දී, දෛනික කතා බහේදී, රැස්වීම්වල අදහස් දක්වද්දී සහ ක්ෂේත්‍ර සේවයේදී අදාළ කරගැනීමටද ඔවුන්ට දිරිගන්වන්න.

පැවරුම් ලබා දීම. සාමාන්‍යයෙන් පැවරුමක් අඩුම තරමින් සති තුනකට කලින් ලබා දිය යුතුය. හැකි නම්, මෙවැනි පැවරුමක් භාර දිය යුත්තේ ලිඛිතවය.

සභාවට යම් ඉගැන්වීමක් කළ යුතු කොටස් වැඩිමහල්ලන්ට පැවරිය යුතුය. මෙවැනි කොටස් බලපෑමෙන් යුතුව හසුරුවන වැඩිමහල්ලන්ට ඒවා භාර දීම වඩාත් සුදුසුය. බලපෑමෙන් යුතු ගුරුවරුන් ලෙසට නම් දරා සිටින සභා සේවකයන්ටද එවැනි කොටස් භාර දිය හැක.

සහෝදරයන්ට පැවරිය යුතු කොටස් සහ සහෝදරියන්ට පැවරිය යුතු කොටස් මොනවාද යන්න තීරණය කිරීමේදී පාසැල් වැඩසටහනෙහි සපයන ලද උපදෙස් අනුගමනය කරන්න. ශිෂ්‍ය කතා ඉදිරිපත් කරන සහෝදරයන්ට වඩා සහෝදරියන්ගේ සංඛ්‍යාව බෙහෙවින් වැඩි නම්, කියවීමකට වඩා වැඩි යමක් ඇතුළත් වන කතා දීමට සහෝදරයන්ට ප්‍රමාණවත් ප්‍රස්තා ලබා දීමට වගබලා ගත යුතුය.

පැවරුම් ලබා දෙන විට, එක් එක් පුද්ගලයාගේ තත්වයද සලකා බලන්න. වැඩිමහල්ලෙකුට හෝ සභා සේවකයෙකුට පාසැලේදී පැවරුමක් දීමට නියමිත දවසේම සේවා රැස්වීමේ කතාවක් දීමටද සැලසුම් යොදා තිබෙනවාද? එසේ නැතහොත් එම සතියේදීම සභාවෙහි ප්‍රසිද්ධ කථාවක් දීමට සැලසුම් යෙදී ඇද්ද? එසේ නම්, යම් වෙනසක් කළ නොහැකිද? එක්තරා සහෝදරියකට පැවරුමක් දෙන දවසේදීම ඇගේ උපකාරය අවශ්‍ය විය හැකි ඇගේම ළාබාල දරුවෙකුට හෝ දැරියකට පැවරුමක් දීම මඟහරවාගත හැකිද? ළාබාල කෙනෙකුට හෝ තවමත් බව්තීස්ම වී නැති ශිෂ්‍යයෙකුට පැවරුමක් දෙන විට, සාකච්ඡා කරන විෂය ඔහුට ගැලපෙනවාද? අනික් අතට, ශිෂ්‍යයා වැඩ කරන උපදෙස් කරුණට, ඔහු ලබන පැවරුම උචිතද යන්නත් සලකා බලන්න.

සහෝදරියන්ට දෙන ලද පැවරුම් ගත් කල, 78 සහ 82 වන පිටුවල සඳහන් මඟ පෙන්වීම්වලට එකඟව සහෝදරියක් සාමාන්‍යයෙන් තමාගේ පසුබිම තෝරාගනියි. ඇය සඳහා එක සහයකයෙකු අවේක්ෂක විසින් පවරනු ලැබිය යුතුය. එනමුත් ඇයට කැමති නම්, අමතර සහයකයෙකු භාවිත කරන්නට පුළුවන. එක්තරා පසුබිමකින් අවශ්‍ය කරන දේ නිසි ලෙස නිරූපණය කර දැක්වීමට විශේෂයෙන්ම උචිත වන සහයකයෙකු සඳහා ඉල්ලීමක් ශිෂ්‍යාවක් විසින් කරනු ලැබේ නම්, එම ඉල්ලීම සැලකිල්ලට ගෙන, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම යහපති.

අමතර පංති. පාසැලට බඳවාගෙන ඇති ශිෂ්‍ය සංඛ්‍යාව 50 ඉක්මවා ගොස් ඇත්නම්, ශිෂ්‍යයන් කරන කොටස් ඉදිරිපත් කිරීම සඳහා අමතර පංති පැවැත්වීම සම්බන්ධයෙන් ඔබට සලකා බැලිය හැක. සභාවේ අවශ්‍යතාවට අනුව, මෙම විධිවිධානය සියලුම ශිෂ්‍ය කතා සඳහා හෝ අවසාන කතා දෙක සඳහා ක්‍රියාත්මක කරන්නට පුළුවන.

පවත්වන සෑම අමතර පංතියක් සඳහාම සුදුසුකම් ලත් උපදේශකයෙකු සිටිය යුතුය. ඔහු වැඩිමහල්ලෙකු නම් වඩාත් හොඳය. අවශ්‍යතාවක් ඇති විටෙක, මනා සුදුසුකම් ඇති සභා සේවකයෙකුට ආදේශක උපදේශකයෙකු ලෙස කටයුතු කරන්නට පුළුවන. මෙම උපදේශකයන් සඳහා අනුමැතිය ලැබෙන්නේ වැඩිමහල් මණ්ඩලයෙනි. පාසැල් අවේක්ෂක මෙම අමතර උපදේශකයන් සමඟ මනා සහයෝගයකින් වැඩ කළ යුතුය. එවිට ශිෂ්‍යයන්ගේ ඊළඟ පැවරුම කවර පාසැලක ඉදිරිපත් කිරීමට සිදු වුවද, ඔවුන්ට ලැබිය යුතු උපදෙස් අඛණ්ඩව සහ බලපෑමෙන් යුක්තව පිරිනැමිය හැකි වේ.

කියවීම සඳහා විශේෂ පංති. පුද්ගලයන් කිහිපදෙනෙකුට සභාවෙහි භාවිත කරන භාෂාව කියවීම සම්බන්ධයෙන් යම් මූලික මඟ පෙන්වීම් අවශ්‍ය බව වැඩිමහල් මණ්ඩලය තීරණය කරයි නම්, දිව්‍යාණ්ඩු සේවා පාසැලෙහි අංගයක් ලෙස මේ සඳහා විධිවිධාන යෙදවීමට ඔබට පුළුවන. මෙහිදී ලබා දෙන උපදෙස්වලට කියවීමේ හා ලිවීමේ දක්ෂතාව ප්‍රගුණ කරගැනීමට යම් මූලික මඟ පෙන්වීම් කිහිපයක් ඇතුළත් විය හැකිය. එසේ නැතහොත් එහි පරමාර්ථය කියවීම දියුණු කරගැනීමට උපදෙස් කිහිපයක් ලබා දීම විය හැකිය.

මෙවැනි පංති දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී ශිෂ්‍ය කතා ඉදිරිපත් කරනු ලබන වේලාවේදීම අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු නැත. ඇත්තෙන්ම අවශ්‍ය උපකාර පිරිනැමීම සඳහා, පාසැල පවත්වන අතරතුරේදී දිය හැකි උපකාරය ප්‍රමාණවත් නොවන්නට පුළුවන. ඒ සඳහා අමතර වේලාවක් ගත කිරීමට සිදු විය හැක. මෙහිදී අවශ්‍යතා මොනවාද යන්න තීරණය කිරීමටත්, එවැනි උපදෙස් දිය යුතු අවස්ථාව කුමක්ද යන්න තීරණය කිරීමටත්, සභාවේ වැඩිමහල්ලන්ට පුළුවන. එමනිසා, අවශ්‍යතාව අනුව, මෙවැනි උපදෙස් කණ්ඩායමකට හෝ පෞද්ගලික මට්ටමින් දීමට විධිවිධාන යෙදිය හැක.

මේ සඳහා සුදුසුකම් ලත් ගුරුවරයෙකු අවශ්‍යය. මෙම පැවරුම, හොඳින් කියවන, භාෂාව ගැන මනා දැනුමක් ඇති සහෝදරයෙකුට දීම වඩාත් සුදුසුය. සහෝදරයෙකු නැත්නම්, සුදුසුකම් ලත්, ආදර්ශවත් සහෝදරියකගේ උපකාරය ලබාගැනීමට වැඩිමහල්ලන්ට පුළුවන. පංතියට උගන්වන විට මෙම සහෝදරිය ඇගේ හිස වසාගත යුතුය.—1 කොරි. 11:3-10; 1 තිමෝ. 2:11, 12.

කියවීමට සහ ලිවීමට උපකාරවත් වන පොත් පිංචයක් (Apply Yourself to Reading and Writing) භාෂා කිහිපයකින් ලබාගත හැකිය. එය පිළියෙළ කර ඇත්තේ, කියවීමේ හා ලිවීමේ දක්ෂතාව දියුණු කරගැනීමට අත්වැලක් ලෙසය. මෙම පංතියට බඳවාගෙන ඇති අයගේ කියවීමේ හැකියාවට අනුව, ඉගැන්වීම සඳහා වෙනත් තොරතුරු මූලාශ්‍රද භාවිත කළ හැකි වේ. ශිෂ්‍යයන් ප්‍රමාණවත් ප්‍රගතියක් ලැබුවායින් පසුව, විධිමත් දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහනට සහභාගි වන්නට කියා ඔවුන්ට දිරිගැන්විය යුතුය.

දිව්‍යාණ්ඩු සේවා පාසැල් අවේක්ෂක ලෙස, සභාවේ උන්නතිය තකා ඔබට කළ හැකි දේ බොහෝය. හොඳින් සූදානම් වන්න. එමෙන්ම රෝම 12:6-8හි දක්වා ඇති උපදෙස්වලට එකඟව, ඔබේ පැවරුම දෙවිගෙන් ලැබී ඇති අනර්ඝ, විශ්වාසවන්තව රැකිය යුතු වරප්‍රසාදයක් ලෙස ඉටු කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න