ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 50 පාඩම 258 පි.-262 පි. 5 ¶
  • හදවතට ළඟාවීමට වෑයම් කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හදවතට ළඟාවීමට වෑයම් කිරීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • හදවතට කතා කරන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • ඔබට සවන් දෙන්නන්ගේ හදවතට ළඟා වීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • හදවතට කතා කරන්නේ කොහොමද?
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • ගුරුවරයෙකු ලෙස දියුණු වන්න
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 50 පාඩම 258 පි.-262 පි. 5 ¶

පාඩම 50

හදවතට ළඟාවීමට වෑයම් කිරීම

කළ යුතු වන්නේ කුමක්ද?

සාකච්ඡා කරනු ලබන කාරණා ගැන සවන් දෙන අයට හැඟෙන ආකාරය සැලකිල්ලට ගන්න. ප්‍රතිඵලයක් ලෙස දෙවිට ළංවීමට සහ ඔහුගේ මිතුරන් බවට පත්වීමට උපකාරවත් වන හැඟීම් සහ පෙලඹීම් වර්ධනය කරගැනීමට ඔවුන්ට උපකාර කරන්න.

එය වැදගත් වන්නේ මන්ද?

යෙහෝවාව සතුටු කිරීමට නම්, දේවවචනය පුද්ගලයන්ගේ හදවත්වල ගැඹුරින් පැළපදියම් වී තිබිය යුතුය.

ජනයාට යම් සාක්ෂි දැරීමක් කරනවාට අමතරව, අප ඔවුන්ගේ හදවතට ළඟාවීමටද වෑයමක් දැරිය යුතුය. බයිබලයෙහි හදවත, සිත, නැතහොත් හෘදය භාවිත කරන විට ඉන් විස්තර කරන්නේ අප පිටතින් දකින පුද්ගලයාව නොවේ. ඇත්තෙන්ම සංකේතමය හදවත නැතහොත් සිත, පුද්ගලයෙකුගේ ඇතුළාන්තය විස්තර කිරීමට යොදාගැනේ. එනම්, ඔහුගේ හැඟීම්, ඔහුගේ සිතුවිලි සමුදාය, එසේ සිතීමට හේතු සහ එම සිතුවිලි ඔහුගේ ක්‍රියාවලට බලපාන අන්දම ඉන් දැක්වේ. සත්‍යය නමැති බීජය වපුරනු ලබන්නේ මෙම සංකේතමය සිතෙහි නැත්නම් හදවතෙහිය. (මතෙ. 13:19, NW) තවද දෙවිට කීකරු වීම සඳහා පෙලඹවීමක් ඇති විය යුත්තේ හද පත්ලෙනි, එනම් සිත තුළෙනි.—හිතෝ. 3:1; රෝම 6:17.

එසේ නම්, ඔබේ ඉගැන්වීම මෙතරම් ගැඹුරකට කාවැද්දීම සඳහා, මතු දැක්වෙන පරමාර්ථයන් කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍යය. (1) ඔබේ සවන්දෙන්නාගේ සිතට මේ වන විටත් බලපා ඇති දේවල් විචාර බුද්ධියෙන් තේරුම්ගැනීමට උත්සාහ කරන්න. (2) ප්‍රේමය සහ දේවභය වැනි ප්‍රයෝජනදායක ගුණාංග ඔවුන් තුළ පෝෂණය කරන්න. (3) යෙහෝවාව පූර්ණ ලෙස ප්‍රීතියට පත් කළ හැකි වන පරිදි, තම අභ්‍යන්තර චේතනා විග්‍රහ කර බැලීමට ඔබේ සවන්දෙන්නන්ව දිරිගන්වන්න.

විචාර බුද්ධිය භාවිත කිරීම. ඇතමුන් තවමත් සත්‍යය පිළි නොගෙන සිටීමට බලපා ඇති හේතු විවිධාකාරය. නිවාස බයිබල් පාඩමක් පවත්වන විට, යම් අගතිසහගත හැඟීමක් බිඳ දැමීමට සහ ශිෂ්‍යයා වරදවා වටහාගෙන තිබෙන යමක් නිවැරදි කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදු විය හැක. එසේ නැතහොත් එය ඔප්පු කිරීමට අමතර සාක්ෂි සැපයීමට සිදු වේ. ඔබෙන් මෙසේ අසන්න. ‘මනුෂ්‍යයෙකු ලෙස තමාට ආත්මික අවශ්‍යතා ඇති බවට ඔහු වටහාගෙන සිටිනවාද? ඔහුට දැනටමත් කොතරම් දුරකට විශ්වාසයක් ඇද්ද? ඔහු විශ්වාස නොකරන්නේ කුමක්ද? ඔහු එවැනි නිගමනවලට එළඹී ඇත්තේ මන්ද? සත්‍යය දැනගන්නා විට, ඒ සමඟ භාරගත යුතු වගකීම් පිළිගැනීමට බාධාවක් විය හැකි ආශාවන් ජයගැනීමට යම් උපකාරයක් ඔහුට අවශ්‍යද?

ඇතැමෙකු යමක් විශ්වාස කිරීමට හේතු සොයා දැනගැනීම ඇත්තෙන්ම පහසු දෙයක් නොවේ. “මනුෂ්‍යයෙකුගේ සිතේ තිබෙන අදහස ගැඹුරු ජලය මෙන්ය. එහෙත් ඥානය [විචාර බුද්ධිය, NW] ඇති මනුෂ්‍යයා එය ඇදගන්නේය” කියා හිතෝපදේශ 20:5හි සඳහන් වේ. විචාර බුද්ධිය යනු බැලූ බැල්මට නොවැටහෙන යමක් ග්‍රහණය කරගැනීමට තිබෙන හැකියාවයි. මේ සඳහා හොඳ නිරීක්ෂකයෙකු වීමත්, සානුකම්පිත හා සැලකිලිමත් කෙනෙකු වීමත් අවශ්‍යය.

අදහස් හුවමාරුව වචනවලින් පමණක් සිදු වන්නක් නොවේ. ඇතැම් විෂයන් සාකච්ඡා කරද්දී ශිෂ්‍යයෙකුගේ මුහුණේ ඉරියව්ව හෝ කටහඬේ ස්වරය වෙනස් විය හැක. ඔබ දෙමාපියෙකු නම්, ඔබේ දරුවාගේ හැසිරීමේ යම් වෙනසක් දකින විට, ඔහුගේ ජීවිතයේ යම් අලුත් බලපෑමකට ඔහු ප්‍රතිචාරය දක්වනවායයි ඔබ වටහාගන්නවාට සැකයක් නැත. වෙනසක් සිදු වී ඇති බවට අඟවන මෙවැනි ලකුණු නොසලකා හරින්න එපා. ඒවා ඇතුළාන්ත පුද්ගලයා පිළිබඳව දෙන යම් ඉඟි වේ.

පුද්ගලයෙකුගේ සිතේ තිබෙන අදහස් ඉවතට ගැනීම සඳහා හොඳින් සකස් කරන ලද ප්‍රශ්න උපකාරවත් විය හැක. ඔබට මෙසේ අසන්නට පුළුවන. “ඔබට . . . ගැන හැඟෙන්නේ කෙසේද?” “ . . . යන්න ඔබේ සිතට කාවැදුණේ කුමක් නිසාද?” “ . . . සිදු වී නම් ඔබ ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද?” එනමුත් ප්‍රශ්න කන්දරාවකින් පුද්ගලයන්ට පහර නොගැසීමට වගබලා ගන්න. සමහරවිට ප්‍රශ්නයක් අසන විට, “මම මෙහෙම ඇහුවට කමක් නැද්ද?” වැනි යෙදුමක් උපායශීලීව භාවිත කරන්නට පුළුවන. සිතේ තිබෙන දේ අනාවරණය කරගැනීම ක්ෂණිකව කළ නොහැක. එය භාර දූර කාර්යයකි. බොහෝ අවස්ථාවලදී තම අභ්‍යන්තර හැඟීම් හෙළි කිරීමට කෙනෙකු කැමැත්තක් දක්වන්නේ අනික් පුද්ගලයා සමඟ කාලයක් තිස්සේ ගොඩනඟාගත් විශ්වාසය මතය. කෙසේවෙතත්, මෙහිදී පරෙස්සම් වීම වැදගත්ය. ඔබට දැනගැනීමට අවශ්‍යතාවක් නොමැති දේවල් ඔබ විසින් හාරා අවුස්සනවා යන හැඟීම ඒ පුද්ගලයා තුළ ඇති කිරීමෙන් වැළකී සිටිය යුතුය.—1 පේතෘ. 4:15.

කෙනෙකුට ඇහුම්කන් දෙන විට, ඔහු පවසන දේට ඔබ දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන්ද විචාර බුද්ධිය අවශ්‍යය. ඔබේ පරමාර්ථය පුද්ගලයන්ව තේරුම්ගැනීම බව මතක තබාගන්න. එසේ තේරුම්ගතහොත්, ඔවුන්ට පෙලඹීමක් විය හැකි බයිබලය මත පදනම් තොරතුරු මොනවාදැයි තීරණය කිරීමට අවස්ථාව උදා කරගත හැක. එමනිසා ඔවුන් දරන මතවල දෝෂ හෙළි කිරීමේ යම් ආශාවක් ඔබ තුළ ඇති වේ නම්, එය විගස යටපත් කර දැමීමට උත්සාහ දරන්න. ඒ වෙනුවට, ඔවුන් පැවසූ වදන්වල මුසු වී තිබූ හැඟීම් තේරුම්ගැනීමට උත්සුක වන්න. එවිට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේදැයි ඔබටම වැටහේවි. ප්‍රතිඵලයක් ලෙස, තමාව තේරුම්ගන්නා කෙනෙක් සිටින බව ශිෂ්‍යයාට හැඟී යා හැකි අතර, ඔබ පවසන දේ බැරෑරුම්ව සලකා බැලීමට පෙලඹෙන්නට පුළුවන.—හිතෝ. 16:23.

විශාල පිරිසක් අමතමින් සිටින විටදී පවා ඔබට යම් දුරකට පුද්ගලයන් තුළ පෙලඹීමක් ඇති කළ හැක. ඒ සඳහා සබය සමඟ හොඳ සම්බන්ධයක් තබාගැනීම, ඔවුන්ගේ මුහුණේ ඉරියව් ගැන සාවධානව සිටීම සහ සිතුවිලි කලතන ප්‍රශ්න ඇසීම යෝග්‍යය. එසේ කරනවා නම්, ඔබ පවසන දේ ගැන ඔබේ සවන්දෙන්නන් තුළ ඇති වී තිබෙන හැඟීම් ගැන අදහසක් ලබාගැනීමට පුළුවන. ඔබේ සබයේ සිටින අය ඔබ හොඳින් දන්නා අය නම්, ඔවුන්ගේ තත්වයන් ගැන ඔබට සැලකිල්ලක් තිබෙන බව පෙන්නුම් කරන්න. දේවවචනය ඇසුරෙන් කරුණු තර්කානුකූලව දක්වන විට, සභාව තුළ පොදුවේ දක්නට ලැබෙන ආකල්පය සැලකිල්ලට ගන්න.—ගලා. 6:18.

ප්‍රයෝජනදායක හැඟීම් කැලතීම. පුද්ගලයෙකු විශ්වාස කරන දේ, විශ්වාස නොකරන දේ සහ ඊට හේතු පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීමෙන් පසු, එම අවබෝධය මත ඔබ පවසන දේ ගොඩනැඟීමට හැකි වේ. තම නැවත-නැඟිටීමෙන් අනතුරුව, යේසුස් තම ගෝලයන්ගේ හදවත්වලට ළඟා වූයේ ඒ අවට කාලයේදී සිදු වූ දේවල අරුත සම්බන්ධයෙන් ‘ශුද්ධ ලියවිලි හොඳාකාරව පහදා දීමෙනි.’ (ලූක් 24:32, NW) මේ අනුව, පුද්ගලයෙකු අද්දැක ඇති දෙය, ඔහු මහත් ආශාවෙන් බලාපොරොත්තු වන දේ සහ දේවවචනය තුළින් ඔහු දකින දේ අතර සම්බන්ධයක් ඇති කිරීමට ඔබත් උත්සාහ දැරිය යුතුය. “මේක තමයි සත්‍යය” කියා පුද්ගලයෙකුට පැහැදිලිව වැටහෙන විට, ඔහුගේ හදවත තුළ පෙලඹීමක් ඇති වේ. මෙම පෙලඹීම ඔහුගේ සිතුවිලිවලට, චින්තනයට සහ හැසිරීමට ප්‍රයෝජනදායක ලෙස බලපායි.

යෙහෝවාගේ යහපත්කම, ඔහුගේ ප්‍රේමය, ඔහුගේ මහත් කරුණාව සහ ඔහුගේ මාර්ගයන් කොතරම් ධර්මිෂ්ඨද යන්න අවධාරණය කිරීමෙන්, ඔබ උගන්වන පුද්ගලයාට දෙවි කෙරෙහි ප්‍රේමයක් ගොඩනඟා ගැනීමට ඔබ උපකාර කරනු ඇත. පුද්ගලයන් ලෙස දෙවි ඔවුන් තුළ දකින කදිම ගුණාංග මොනවාදැයි ඔබේ සවන්දෙන්නන්ට පෙන්නුම් කිරීමට කාලය ගන්නා විට, ඔහු සමඟ පෞද්ගලික සබඳතාවක් ගොඩනඟා ගත හැකි බව විශ්වාස කිරීමට හොඳ හේතු ඔබ ඔවුන්ට ලබා දෙනු ඇත. මෙවැනි දෙයක් ඉටු කිරීමට, ගීතාවලිය 139:1-3, ලූක් 21:1-4 සහ යොහන් 6:44 වැනි බයිබල් පද ගෙනහැර දක්වමින් ඒවා ගැන මෙනෙහි කරන්නට පුළුවන. මීට අමතරව, යෙහෝවා තම විශ්වාසවන්ත සේවකයන්ට කොතරම් ගැඹුරු ප්‍රේමයකින් ඇලුම් වී සිටිනවාද යන්න අගය කිරීමට ඔබේ සවන්දෙන්නන්ට උපකාර කළ යුතුය. (රෝම 8:38, 39) යෙහෝවා අපගේ දුර්වලකම්වලට ඔබ්බෙන් බලන බවත්, අපගේ මුළු ජීවිත ගමන සලකා බලන බවත්, නිර්මල නමස්කාරය සඳහා අපගේ ජ්වලිතය හා ඔහුගේ නාමය කෙරෙහි අපට තිබෙන ප්‍රේමය ඔහු දකින බවත් පැහැදිලි කර දෙන්න. (2 ලේක. 19:2, 3; හෙබ්‍රෙ. 6:10) පුද්ගලයන් වශයෙන් අප සම්බන්ධයෙන් ඉතා කුඩාම තොරතුරක් පවා යෙහෝවා සිහියේ තබාගන්නා අතර, ඉතා පුදුම දනවන අන්දමකින් “සිහිවීමේ සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට” යළි ජීවනය ලබා දෙනු ඇත. (යොහ. 5:28, 29, NW; ලූක් 12:6, 7) මනුෂ්‍යයන් දෙවිගේ ස්වරූපය හා සමානත්වය ලෙස මවා තිබෙන බැවින්, ඔහුගේ ගුණාංග ගැන කරන සාකච්ඡාවක් බොහෝ දුරට පුද්ගලයෙකුගේ ඇතුළාන්තයටම බලපා, හදවතේ හැඟීම් කලතාලයි.—උත්. 1:27.

යෙහෝවා බලන කෝණයෙන් අන් අය දෙස බැලීමට පුද්ගලයෙකු ඉගෙනගන්නා විටද, එය හදවතටම බලපායි. අපගේ දෙවි පුද්ගලයන් වශයෙන් අපට මුදු මොළොක් සැලකිල්ලක් දක්වනවා නම්, අන් අය කවර පසුබිමකින්, ජාතියකින් හෝ වර්ගයකින් පැමිණියත් ඔවුන්ට ඒ සැලකිල්ලම ඔහු දක්වනවා යන්න සිතීම ඉතා තර්කානුකූලය. (ක්‍රියා 10:34, 35) පුද්ගලයෙකු එවැනි නිගමනයකට එළඹෙන විට, තම හදවතින් වෛරය සහ අගතිය මුලිනුපුටා දැමීමට ඔහුට හොඳ ශුද්ධ ලියවිලිමය පදනමක් තිබෙනු ඇත. මෙසේ, දිව්‍ය කැමැත්තට එකඟව ජීවත් වීමට උත්සාහ දරන අතරතුරේදී, අන් අය සමඟ සාමයෙන් කල් ගෙවීමට අවශ්‍ය උත්සාහය දැරීමට ඔහු වෑයම් කරනු ඇත.

අන් අයට තමන් තුළ වගා කරගැනීමට ඔබ උපකාර කළ යුතු තවත් හැඟීමකි, දේවභය. (ගීතා. 111:10; එළි. 14:6, 7) දෙවි කෙරෙහි මෙවැනි ගැඹුරු ගෞරවයක් නැතහොත් භයක් වගා කරන විට, ස්වෝත්සාහයෙන් ඉටු කරගත නොහැකි දේවල් ඉටු කරගැනීමට පුද්ගලයෙකු පෙලඹෙන්නට පුළුවන. එසේ නම්, යෙහෝවාගේ පුදුම ක්‍රියා සහ ඔහු ප්‍රේමනීය කරුණාව දක්වා ඇති සුවිශේෂ වූ ක්‍රම ගැන සාකච්ඡා කිරීමෙන්, දෙවිව අසතුටු කිරීම සඳහා දැඩි අකමැත්තක් මෙන්ම සුවදායී හැඟීමක් වර්ධනය කරගැනීමට අන් අයට උපකාර කළ හැකිය.—ගීතා. 66:5; යෙරෙ. 32:40.

අප එක් එක්කෙනාගේ හැසිරීම යෙහෝවාට වැදගත් බව තේරුම්ගැනීමට ඔබේ සබයට උපකාර කළ යුතුය. යෙහෝවාට හැඟීම් තිබේ. එමනිසා ඔහුගේ මඟ පෙන්වීමට අප දක්වන ප්‍රතිචාරයට අනුව, ඔහු තුළ ශෝකයක් හෝ ප්‍රීතියක් ඇති කිරීමට අපට පුළුවන. (ගීතා. 78:40-43) සාතන් දෙවිට කළ අභියෝගයට පිළිතුරක් දීමේදී ඔවුන්ගේ පෞද්ගලික හැසිරීම වැදගත් වන බව පුද්ගලයන්ට පෙන්නුම් කරන්න.—හිතෝ. 27:11.

දෙවිගේ අවශ්‍යතාවලට එකඟව ජීවත් වීම ඔවුන්ට ප්‍රයෝජනදායක වන බව දැකගැනීමට ඔබේ සබයට උපකාර කරන්න. (යෙසා. 48:17) දෙවිගේ ප්‍රඥාව මොහොතකට හෝ ප්‍රතික්ෂේප කිරීමේ විපාක ලෙස ශාරීරිකව සහ චිත්තවේගීයව විඳීමට සිදු විය හැකි ප්‍රතිඵලවලට යොමු දැක්වීම එවැන්නක් කළ හැකි එක් ක්‍රමයක් වේ. පාපය නිසා අප දෙවිගෙන් ඈත් වන ආකාරයත්, අපගෙන් සත්‍යය ඉගෙනගැනීමට තිබෙන ප්‍රස්තාව අන් අයට අහිමි වන ආකාරයත් වෙනත් ආකාරවලින් ඔවුන්ගේ අයිතිවාසිකම් පැහැරගන්නා අන්දමත් පැහැදිලි කරන්න. (1 තෙස. 4:6, NW) දෙවිගේ නීති රැකගැනීමේ ප්‍රතිඵලයක් ලෙස දැනටමත් භුක්ති විඳින ආශීර්වාද අනර්ඝ යමක් සේ සැලකීමට ඔබේ සබයට උපකාර කරන්න. යෙහෝවාගේ ධර්මිෂ්ඨ මාර්ගවල ගමන් කිරීමෙන්, දුක් පීඩා බොහොමයක් මඟහරවා ගත හැකි ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට තිබෙන අගය ශක්තිමත් කරන්න. දෙවිගේ මාර්ගයන්වල ප්‍රඥාවන්තභාවය සම්බන්ධයෙන් ඇදහිල්ලක් පුද්ගලයෙකු තුළ ජනිත වන විට, ඊට එරෙහිව යන ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැන ඔහුට දැනෙනු ඇත්තේ ඉමහත් පිළිකුලකි. (ගීතා. 119:104) ඔහු කීකරුකම දකින්නේ පීඩාකාරි බරක් ලෙස නොව, නමුත් පුද්ගලයෙකු ලෙස යෙහෝවාට තම ප්‍රේමනීය භක්තිය දැක්විය හැකි මාර්ගයක් ලෙසය.

සෝදිසියක් කිරීමට අන් අයට උපකාර කිරීම. දිගටම ආත්මික වර්ධනයක් ලබාගැනීම සඳහා පුද්ගලයන් තම හදවත්වල තිබෙන දේට සංවේදි විය යුතුය. එසේ කිරීමට බයිබලය ඔවුන්ට උපකාරවත් වන අන්දම පැහැදිලි කර දෙන්න.

බයිබලය නිකම්ම, ආඥා, උපදෙස්, ඓතිහාසික සිදුවීම් සහ අනාවැකි අඩංගු වාර්තාවකට වඩා වැඩි යමක් බව තේරුම්ගැනීමට ඔබේ සවන්දෙන්නන්ට උපකාර කරන්න. එහි පිටු තුළින් දෙවිගේ සිතුවිලි අනාවරණය වේ. යාකොබ් 1:22-25හි දේවවචනය කැඩපතකට සමාන කර ඇත. බයිබලය පවසන පණිවිඩයට සහ යෙහෝවා සිය අරමුණ ඉෂ්ට කරන ආකාරය කෙරෙහි අප දක්වන ප්‍රතිචාරය මගින් අපගේ හදවත්වල ඇති නියම ස්වභාවය හෙළි වෙයි. මේ අනුව, ‘සිත් සෝදිසි කරන’ දෙවි අප දෙස බලන අන්දම එළිදරව් කිරීමට ඊට පුළුවන. (හිතෝ. 17:3) මෙම කාරණය සිතෙහි තබාගැනීමට ඔබේ සවන්දෙන්නන්ව දිරිගන්වන්න. බයිබල් වාර්තාව තුළ අඩංගු අප වෙනුවෙන් ආරක්ෂා කර ඇති තොරතුරු ගැනත්, දෙවිව තව තවත් සතුටු කිරීමට තම ජීවිතයේ සිදු කළ යුතු වෙනස්කම් ගැනත් ගැඹුරින් සිතා බැලීමට ඔවුන්ව උනන්දු කරන්න. “සිතේ සිතුවිලිද අදහස්ද” යෙහෝවා තක්සේරු කරන ආකාරය දැනගැනීමට මඟක් ලෙස බයිබල් කියවීම සලකා බැලීමටත් ඔවුන්ට උපකාර කරන්න. එවිට අවශ්‍ය වෙනස්කම් කිරීමෙන් දෙවි සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට අවස්ථාව ඔවුන්ට උදා කරගත හැකි වේ.—හෙබ්‍රෙ. 4:12; රෝම 15:4.

ඇතැම් බයිබල් ශිෂ්‍යයන් තමන් ඉගෙනගෙන ඇති දේ ක්‍රියාවට නැංවීම සඳහා කැමැත්තක් දැක්වුවත්, අනිත් අය මොනවා හිතයිද යන්න ඔවුන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ. යම් ප්‍රබල මානසික නැඹුරුවාවක් සමඟ ඔවුන් පොරබදමින් සිටිනවා වන්නට පුළුවන. එසේ නැතහොත්, මේ ලෝකයේ පුරුදුවලට ඇලී සිටිමින් දෙවිට සේවය කිරීම කෙසේ හෝ සාධාරණීකරණය කරනවා විය හැක. මෙවැනි දෙගෙඩියාවකින් සිටීම කොතරම් අනතුරුදායකද කියා පෙන්නුම් කර දෙන්න. (1 රාජා. 18:21) තම හදවත් සෝදිසි කර, පිරිසිදු කරන මෙන් ඉල්ලා දෙවිට යාච්ඤා කිරීමට ඔවුන්ට උනන්දු කරන්න.—ගීතා. 26:2; 139:23, 24.

ඔවුන්ට කරන්නට සිදු වන පොරබැදීම යෙහෝවා අවබෝධ කරගෙන සිටින බවත්, එම අරගලය ගැන බයිබලයෙහි පහදා දී ඇති බවත් පෙන්නුම් කරන්න. (රෝම 7:22, 23) අසම්පූර්ණ හදවතක නැඹුරුවාවන් බලපැවැත්වීමට ඉඩක් නොලැබෙන පරිද්දෙන්, විමසිලිමත්ව කටයුතු කිරීමට ඔවුන්ට උපකාර කරන්න.—හිතෝ. 3:5, 6; 28:26; යෙරෙ. 17:9, 10.

යමක් කරද්දී තම චේතනා විග්‍රහ කර බැලීමට එක් එක්කෙනාට දිරිගන්වන්න. තමාගෙන් මෙසේ ඇසීමට ඔවුන්ව පුහුණු කරන්න. ‘මේ දේ කරන්නට මට ආශාවක් තිබෙන්නේ මන්ද? යෙහෝවා මා වෙනුවෙන් කර ඇති සෑම දෙයක්ම මා අගය කරන බව යෙහෝවාට එයින් පැහැදිලිව දැකගැනීමට හැකි වේද?’ තමාට තිබිය හැකි වටිනාම සම්පත යෙහෝවා සමඟ අනුමැතිය ලත් සබඳතාවක් පැවැත්වීම බවට වූ විශ්වාසය තව තවත් ස්ථිර කිරීමට වෑයමක් දරන්න.

යෙහෝවාට තම “මුළු හදවතින්” සේවය කිරීමේ වැදගත්කම ග්‍රහණය කරගැනීමට ඔබේ සබයට උපකාර කරන්න. (ලූක් 10:27, NW) මින් අදහස් වන්නේ, ඔවුන්ගේ හැඟීම්, ආශාවන් සහ චේතනා සියල්ල යෙහෝවාගේ මාර්ගවලට එකඟ කරගත යුතු බවයි. එමනිසා තමන් කරන දේ ගැන පමණක් නොව, දෙවි බලාපොරොත්තු වන දේ සම්බන්ධයෙන් ඔවුන්ට දැනෙන ආකාරය ගැනත්, ඔහුට සේවය කිරීමේදී ඔවුන්ගේ චේතනා මොනවාදැයි විග්‍රහ කර බැලීමටත් ඔබේ සවන්දෙන්නන්ට උගන්වන්න. (ගීතා. 37:4) දියුණු විය යුතු තැන් මොනවාදැයි ඔබේ ශිෂ්‍යයන් තේරුම්ගන්නා විට, “ඔබගේ නාමයට භය වෙන පිණිස මාගේ සිත එකඟ” කරන මෙන් යෙහෝවාට යාච්ඤා කරන්නට ඔවුන්ට දිරිගන්වන්න.—ගීතා. 86:11.

ශිෂ්‍යයෙකු යෙහෝවා සමඟ පෞද්ගලික සබඳතාවක් ගොඩනඟා ගන්නා විට ඔහු දෙවිට කීකරු වනු ඇත්තේ, ඔබ ඔහුට බල කරමින් සිටින නිසා නොව, නමුත් ඔහු තුළ හටගෙන ඇති ඇදහිල්ල හේතුවෙනි. එවිට ඔහු තනිවම, ‘ස්වාමීන්ට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාග කරමින්’ සිටිනු ඇත. (එපී. 5:10; පිලි. 2:12) හද පත්ලෙන්ම පෙලඹෙන මෙවැනි කීකරුකමක් යෙහෝවාට ඉමහත් ප්‍රීතියක් ගෙන දෙයි.—හිතෝ. 23:15.

සිත් කිරා බලන්නේ යෙහෝවා බවත්, ඔහු සමඟ සබඳතාවක් භුක්ති විඳීමට ජනයාව තමන් වෙතට ඇදගන්නේ ඔහු බවත් සිහියේ තබාගන්න. (හිතෝ. 21:2; යොහ. 6:44) එසේ නම්, අපට තිබෙන කාර්යය දෙවිට සහයෝගය දැක්වීම හා බැඳී ඇත්තකි. (1 කොරි. 3:9) වෙනත් වචනවලින් කිවහොත්, ‘දෙවි අප ලවා [බලවත් NW] ඉල්ලීමක් කරන්නාක්’ මෙනි. (2 කොරි. 5:20, අකුරු ඇල කළේ අපය; ක්‍රියා 16:14) සත්‍යය පිළිගැනීමට යෙහෝවා කිසිවෙකුට බල කරන්නේ නැත. එනමුත්, අප ශුද්ධ ලියවිලි පද භාවිත කරද්දී අපට සවන් දෙන අය තමන් ඇහුම්කන් දෙමින් සිටින්නේ තම ප්‍රශ්නවලට හෝ තම යාච්ඤාවලට පිළිතුරු බව තේරුම්ගැනීමට යෙහෝවා සැලැස්විය හැක. එමනිසා, ඉගැන්වීමට ලැබෙන සෑම ප්‍රස්තාවකදීම එය මතකයේ තබාගන්න. තවද, යෙහෝවාගේ මඟ පෙන්වීම සහ උපකාර මහත් ඕනෑකමකින් ඔහුගෙන් අයැද සිටින්න.—1 ලේක. 29:18, 19; එපී. 1:16-18.

දියුණු විය හැකි අන්දම

  • අව්‍යාජ ප්‍රේමයක් පෙන්වන්න.

  • බට සවන් දෙන තැනැත්තාගේ හදවතට බලපෑ ඇති දේවල් තේරුම්ගන්න.

  • යෙහෝවාගේ පුදුමාකාර ගුණාංග අවධාරණය කරන්න.

  • තමාගේ චේතනා සෝදිසි කර බැලීමේ සහ චේතනා පිරිසිදු කිරීමේ ක්‍රමය තේරුම්ගැනීමට සවන් දෙන අයට උපකාර කරන්න.

අභ්‍යාස: (1) මතෙව් 6:21 කියවා, මෙම බයිබල් පදය ඔබේ ජීවිතයට බලපාන අන්දම විග්‍රහ කර බලන්න. එමෙන්ම මතෙව් 6 19වන සහ 20වන පද කියවා, ඔබේ හදවත ඔබ තුළ කවර වෙනස්කම් කිරීමට පෙලඹීමක් ඇති කරනවාදැයි සලකා බලන්න. (2) යෙහෝවාට සේවය කිරීම ආරම්භ කරන්නට ඔබව පෙලඹුවේ කුමක්දැයි විග්‍රහ කර බලන්න. දැනට එසේ සේවය කිරීමට ඔබව පොලඹවන්නේ කුමක්ද? ඔබ කැමති වන්නේ යෙහෝවාව සතුටු කරවන කවර චේතනා ප්‍රවර්ධනය කිරීමටද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න