ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lv 4 පරි. 41-55 පි.
  • අධිකාරියක් ඇති අයට ගෞරව කරමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අධිකාරියක් ඇති අයට ගෞරව කරමු
  • “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අභියෝගයක් වීමට හේතු
  • ගෞරවය දැක්වීමට අපව පොලඹවන්නේ කුමක්ද?
  • පවුල තුළ ගෞරවය පෙන්වමු
  • සභාව තුළ ගෞරවය පෙන්වමු
  • රටේ බලධාරීන්ට ගෞරවය පෙන්වමු
  • අධිකාරියක් තියෙන අයට ගරු කරන්න ඕනෙ ඇයි?
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • ඔබ කෙරෙහි අධිකාරයක් ඇත්තන්ට ගෞරව කරන්න
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අධිකාරය පිළිබඳ ක්‍රිස්තියානි දෘෂ්ටිය
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ පිළිගන්නේ කාගේ අධිකාරියද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
“දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
lv 4 පරි. 41-55 පි.
තාත්තා කෙනෙක් පවුලේ අයට උගන්වමින්

4වෙනි පරිච්ඡේදය

අධිකාරියක් ඇති අයට ගෞරව කරමු

“සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න.”—1 පේතෘස් 2:17.

1, 2. (අ) අප සියලුදෙනාම මුහුණ දෙන අභියෝගය කුමක්ද? (ආ) අප මේ පරිච්ඡේදයේ සලකා බලන ප්‍රශ්න මොනවාද?

කුඩා කාලයේ සිට දරුවන්ට තම දෙමාපියන්ට හා වැඩිහිටියන්ට ගෞරව කිරීම, කීකරු වීම එතරම් ලෙහෙසි දෙයක් නොවෙයි. ඔවුන්ට කරන්න අකමැති දෙයක් කරන්න කියා පැවසූ විට ඒ බව හොඳින් පැහැදිලි වෙනවා. කීකරු වෙනවාද නැද්ද යන අරගලය ඔවුන්ගේ මුහුණෙන් පවා පැහැදිලිව දකින්න තිබෙනවා. අන්තිමේදී ඔවුන් අකමැත්තෙන් හෝ කීකරු වෙනවා. ඔවුන් දිනෙන් දින ලොකු මහත් වන විට වැඩිහිටියන්ට ගෞරව කිරීම හා කීකරු වීම ඔවුන් ඉගෙනගත යුතු වටිනා පාඩම් අතරින් එකක්. ඒ හා සමාන අභියෝගයකට වැඩිහිටියන් වන අප හැමෝමද මුහුණ දෙනවා.

2 අධිකාරියක් ඇති අයට ගෞරව කිරීම අප සියලුදෙනාම මුහුණ දෙන අභියෝගයයි. මේ කාලයේ ජීවත් වන බොහෝදෙනෙක් අනික් අයට ගෞරවයෙන් සලකන්න කැමති නැහැ. නමුත් බයිබලයේ පවසන්නේ අධිකාරියක් ඇති අයට අප ගෞරව කළ යුතු බවයි. (හිතෝපදේශ 24:21) ඇත්තටම දෙවිගේ ප්‍රේමය අප සැමදා ලබන්න නම් එසේ කිරීම ඉතා වැදගත්. ඒ නිසා අපි මෙම ප්‍රශ්නවලට පිළිතුරු මේ පරිච්ඡේදයෙන් සොයාගනිමු. අධිකාරියක් ඇති අයට ගෞරව කිරීම අපට මෙතරම් අමාරු ඇයි? අධිකාරියක් ඇති අයට ගෞරව කිරීම යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වන්නේ ඇයි? එසේ කිරීමට අපව පොලඹවන්නේ කුමක්ද? අධිකාරියක් ඇති අයට අප ගෞරව කරන බව පෙන්විය හැකි ආකාර මොනවාද?

අභියෝගයක් වීමට හේතු

3, 4. මිනිස් වර්ගයාට පව්කාර ස්වභාවය උරුම වීමට මුල් වුණේ කුමක්ද? අධිකාරියක් ඇති අයට ගෞරව කිරීමට පව්කාර ස්වභාවය අපට බාධාවක් වන්නේ කෙසේද?

3 අප උරුම කරගෙන තිබෙන පව්කාර ස්වභාවය නිසා අධිකාරියක් ඇති අයට ගෞරව කිරීම අප සියලුදෙනාටම අභියෝගයක්. එමෙන්ම අධිකාරියක් ඇති අය අතිනුත් වැරදි සිදු වන නිසා ඔවුන්ට ගෞරව කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි. ආදම් හා ඒව දෙවිගේ අධිකාරියට විරුද්ධව කැරලිගැසීමේ ප්‍රතිඵලයක් ලෙස පව්කාර ස්වභාවය ඔවුන්ටත් ඔවුන්ගෙන් පැවතෙන්නන්ටත් උරුම වුණා. අධිකාරියක් තිබෙන අයට ගෞරව කරනවා වෙනුවට ඔවුන්ට විරුද්ධව කැරලිගැසීමට අප සියලුදෙනා තුළම නැඹුරුවාවක් තිබෙන්නේ ඒ නිසයි.—උත්පත්ති 2:15-17; 3:1-7; ගීතාවලිය 51:5; රෝම 5:12.

4 යෙහෝවා දෙවිට බොහෝ කාලයක් පුරා සේවය කරන අයට වුණත් අධිකාරියක් තිබෙන අයට ගෞරව කිරීම සැමවිටම ලෙහෙසි දෙයක් නොවෙයි. කෝරා හා සම්බන්ධ සිද්ධියෙන් එය හොඳින් පැහැදිලි වෙනවා. කෝරා බොහෝ දුෂ්කරතා අද්දැක්කත් දිගු කාලයක් පුරා දෙවිට විශ්වාසවන්තව සේවය කළා. නමුත් ඔහු එක් අවස්ථාවකදී දෙවි නායකයා ලෙස පත් කර තිබූ ඉතා නිහතමානී පුද්ගලයෙකු වූ මෝසෙස්ට විරුද්ධව කැරලිගැසුවා. ඔහු එසේ කළේ වැඩි බලතල ලබාගැනීමට ඔහු තුළ තිබූ ආශාව නිසයි. (ගණන් කතාව 12:3; 16:1-3) ඒ අනුව මෝසෙස්ගේ අධිකාරියට යටත් වීමට ඔහුට බාධාවක් වුණේ ඔහු තුළ තිබූ උඩඟුකමයි. උසියා රජු හා සම්බන්ධ සිද්ධියෙනුත් එය තවත් හොඳින් පැහැදිලි වෙනවා. උසියා තුළ තිබූ උඩඟුකම නිසා පූජකයන්ට පමණක් පවරා තිබූ පරිශුද්ධ කාර්යයක් ඉටු කිරීමට දෙවිගේ ගෘහට ඇතුල් වීමට තරම් ඔහු එඩිතර වුණා. (2 ලේකම් 26:16-21) ඔහුටත් පූජකයන්ගේ අධිකාරියට යටත් වීමට බාධාවක් වුණේ ඔහු තුළ තිබූ උඩඟුකමයි. යම් අධිකාරියක් ඇති අයට ගෞරව කිරීමට අපොහොසත් වූ ඔවුන් දෙදෙනාටම යෙහෝවා දෙවිගෙන් දඬුවම් ලැබුණා. ඔවුන්ගේ අවාදර්ශ අපට අනතුරු ඇඟවීමක්. මන්ද පව්කාර ස්වභාවය උරුම කරගෙන සිටින අප සියලුදෙනා තුළත් උඩඟු ස්වභාවය තිබෙනවා. ඒ නිසා අධිකාරියක් ඇති අයට ගෞරව කිරීමට අපට බාධාවක් වන උඩඟු ස්වභාවයට විරුද්ධව අපට නිතරම සටන් කිරීමට සිදු වෙනවා.

5. අධිකාරියක් ඇති අය ඔවුන්ට හිමි බලතල බොහෝවිට අනිසි ලෙස භාවිත කරන බව පැවසිය හැක්කේ ඇයි?

5 එමෙන්ම අධිකාරියක් ඇති අය අතිනුත් වැරදි සිදු වන නිසා ඔවුන්ට ගෞරව කිරීම අපට අභියෝගයක් වෙනවා. බලතල තිබෙන අය බොහෝවිට ඔවුන්ගේ බලය වැරදි ලෙස භාවිත කරන අතර ඔවුන් යටතේ සිටින අයට කෲර අයුරින් සලකනවා. ඒ බව ඉතිහාස වාර්තාවලින්ද පැහැදිලියි. (දේශනාකාරයා 8:9 කියවන්න.) උදාහරණයකට සාවුල්ව යෙහෝවා දෙවි රජු ලෙස තෝරාගත් කාලයේදී ඔහු ඉතා යහපත්, නිහතමානී කෙනෙක්. නමුත් ඔහු බලයට පත් වූ පසු අන් අයට ඊර්ෂ්‍යා කරමින් ඉතා උඩඟු ලෙස ක්‍රියා කළා. ඔහු දාවිත් සමඟ කටයුතු කළ ආකාරයෙන් ඒ බව පැහැදිලි වෙනවා. (1 සාමුවෙල් 9:20, 21; 10:20-22; 18:7-11) දාවිත් ගැනත් සලකා බලන්න. ඔහු ඊශ්‍රායෙල්හි සිටි හොඳම රජවරුන්ගෙන් කෙනෙකු වුණත් එක් අවස්ථාවකදී තම බලය අනිසි ලෙස භාවිත කළා. ඔහු හිත්තී ජාතික උරියාගේ භාර්යාවට කැමති වී ඇයව ලබාගැනීමට තිබූ ආශාව නිසා උරියාව දරුණු සටන් පැවති තැනකට යැවීමට සැලසුම් යෙදුවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ අහිංසක මිනිසා මිය ගියා. (2 සාමුවෙල් 11:1-17) ඒ උදාහරණ දෙකෙන්ම පැහැදිලි වන්නේ පව්කාර ස්වභාවය උරුම කරගෙන සිටින මිනිසුන්ට යම් බලතල ලැබුණු විට එය නිසි අයුරින් භාවිත කිරීම ඇත්තෙන්ම අභියෝගයක් බවයි. බලතල තිබෙන අය යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් නැති අය නම් තත්වය ඊටත් වඩා දරුණුයි. ඒ බව බ්‍රිතාන්‍ය දේශපාලන නායකයෙකු පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “ඉතිහාසය පුරාම කතෝලික සභාවේ සිටින පාප්වරුන් පොදු ජනයාව තම අණසක යටතේ තබාගනිමින් ඔවුන්ට දරුණු ලෙස හිංසා පීඩා කර තිබෙනවා.” මෙවැනි තත්වයන් නිසා අධිකාරියක් ඇති අයට ගෞරව කිරීම ඇත්තෙන්ම අපට අභියෝගයක්. ඒ නිසා අධිකාරියක් ඇති අයට ගෞරව කිරීමට උපකාරවත් වන යම් ගුණාංගයක් අප වර්ධනය කරගත යුතුයි. දැන් අපි ඒ ගැන සලකා බලමු.

ගෞරවය දැක්වීමට අපව පොලඹවන්නේ කුමක්ද?

6, 7. (අ) දෙවි කෙරෙහි අපට තිබෙන ප්‍රේමය අපව පොලඹවන්නේ කුමක් කිරීමටද? ඒ ඇයි? (ආ) දෙවිගේ පාලනයට පක්ෂව සිටීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

6 අධිකාරියක් ඇති අයට ගෞරව කිරීමට අපට උපකාරවත් වන ගුණාංගය නම් ප්‍රේමයයි. මූලිකවම යෙහෝවා දෙවි කෙරෙහි අපට තිබෙන ප්‍රේමය එසේ කිරීමට අපව පොලඹවනවා. අන් සෑම දෙයකටම වඩා අප දෙවිට ප්‍රේම කරන නිසා අපේ ජීවිතයේ ප්‍රධාන දේ වන්නේ දෙවිව සතුටට පත් කරන අයුරින් ජීවත් වීමයි. (හිතෝපදේශ 27:11; මාක් 12:29, 30 කියවන්න.) ඒදන් උයනේදී ඇති වූ කැරැල්ලේ සිට මිනිසුන්ගෙන් බහුතරයක් දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කර සාතන්ගේ පැත්ත ගෙන සිටිනවා. නමුත් අප දෙවිගේ පාලනය පිළිගන්නා බව සැමවිටම පෙන්වීමට උත්සාහ කරන්නේ අප දෙවිට ප්‍රේම කරන නිසයි. ඇත්තෙන්ම එළිදරව් 4:11හි සඳහන් වදන් අපෙත් හෘදයාංගම හැඟීමයි. සෑම දිනකම අපේ ආශාව වන්නේ දෙවිගේ පාලනයට පක්ෂව සිටීමයි. මන්ද මුළු විශ්වයේම පාලකයා යෙහෝවා දෙවි බව මුළු හදවතින්ම අප පිළිගන්නවා.

7 දෙවිගේ පාලනයට පක්ෂව සිටීම යන්නෙන් අදහස් වන්නේ දෙවිට සැමවිටම කීකරු වීමයි. නමුත් යම් අවස්ථාවලදී දෙවිට කීකරු වීම ඉතා අසීරු විය හැකියි. මුල් ඡේදයේ සඳහන් කළ ලෙස දරුවන්ට තම දෙමාපියන්ට හා වැඩිහිටියන්ට ගෞරව කිරීම මෙන්ම කීකරු වීම එතරම් ලෙහෙසි දෙයක් නොවෙයි. දෙමාපියන් පවසන දේ ඉටු කිරීමට නම් ඔවුන්ට කීකරු වීමේ පුරුද්ද වර්ධනය කරගැනීමට සිදු වෙනවා. ඒ හා සමානව අපත් දෙවිට කීකරු වීමට අසීරු අවස්ථාවලදී පවා එසේ කිරීමට නම් එම පුරුද්ද වර්ධනය කරගත යුතුයි. යේසුස් පවා ඉතා අසීරු අවස්ථාවකදී, “සිදු විය යුත්තේ මා කැමති දේ නොව ඔබේ කැමැත්තයි” කියා පවසමින් තම පියාගේ කැමැත්තට හදවතින්ම කීකරු වුණා.—ලූක් 22:42.

8. (අ) දෙවිගේ අධිකාරියට අප ගෞරව කරන බව පෙන්විය හැක්කේ කෙසේද? අප එසේ කරන විට දෙවිට හැඟෙන්නේ කෙසේද? (ආ) උපදෙස් හා හික්මවීම් පිළිගැනීමට අපට උපකාරවත් වන්නේ මොනවාද? (“උපදෙස්වලට සවන් දී හික්මවීම පිළිගන්න” යන කොටුව බලන්න.)

8 අද දින ඇතැම් අයට යම් අධිකාරියක් හෝ යම් බලතල දී තිබෙන්නේ යෙහෝවා දෙවියි. දෙවි ඔවුන්ට ඒ අධිකාරිය දී තිබෙන තාක් කල් අප ඔවුන්ට ගෞරව කරමින් ඔවුන්ට යටත්ව සිටීමෙන් අප පෙන්වන්නේ යෙහෝවා දෙවිගේ අධිකාරියට අප ගෞරව කරන බවයි. දෙවි බයිබලය මාර්ගයෙන්ද අද දින අපට මඟ පෙන්වීම් ලබා දෙනවා. සභාවේ යම් අධිකාරියක් තිබෙන සහෝදරයෙකු බයිබලය පදනම් කරගෙන අපට යම් උපදෙසක් ලබා දෙන විට හෝ අපව නිවැරදි කරන විට එය ප්‍රතික්ෂේප කළොත් අප ඇත්තටම කරන්නේ දෙවිට විරුද්ධව කැරලිගැසීමක්. එයින් දෙවිගේ සිතට මහත් දුකක් ඇති වෙනවා. උදාහරණයකට ඊශ්‍රායෙල් සෙනඟ මැසිවිලි නඟමින් මෝසෙස්ට විරුද්ධව කැරලිගැසූ විට දෙවි එය සැලකුවේ මෝසෙස්ට නොව තමාට විරුද්ධව කැරලිගැසීමක් ලෙසයි.—ගණන් කතාව 14:26, 27.

9. අන් අය කෙරෙහි තිබෙන ප්‍රේමය අධිකාරියක් ඇති අයට ගෞරව කිරීමට අපව පොලඹවන්නේ කෙසේද? පැහැදිලි කරන්න.

9 අන් අය කෙරෙහි අපට තිබෙන ප්‍රේමයත් අධිකාරියක් ඇති අයට ගෞරව කිරීමට අපව පොලඹවනවා. එය පැහැදිලි කරගැනීමට අපි මේ උදාහරණය සලකා බලමු. හමුදාවේ සිටින අයට සටන්බිමකදී යම් අණක් නිකුත් කළ විට සෑම සෙබළෙක්ම ඊට කීකරු වීම ඉතා වැදගත්. එක් සෙබළෙක් හෝ ඉහළින් ලැබුණු ඒ අණ පිළිපදිනවා වෙනුවට වෙනත් දෙයක් කළොත් එය මුළු හමුදාවටම බලපානවා. සමහරවිට එයින් අනික් සෙබළුන්ගේ ජීවිතවලට පවා හානියක් සිදු විය හැකියි. බයිබලයෙත් හමුදාවන් ගැන සඳහන් වෙනවා. එහි වාර සිය ගණනක් යෙහෝවා දෙවිව, “ස්වර්ගයේ සේනාවල අධිපති” ලෙස හඳුන්වා තිබෙනවා. (1 සාමුවෙල් 1:3) ඉන් පැහැදිලි වන්නේ බලවත් දේවදූත සේනාවක් දෙවි යටතේ සේවය කරන බවයි. එමෙන්ම පොළොව මත යෙහෝවා දෙවිට සේවය කරන විශ්වාසවන්ත සේවකයන්වත් සමහර අවස්ථාවලදී දෙවි හමුදාවකට සමාන කර තිබෙනවා. (ගීතාවලිය 68:11; එසකියෙල් 37:1-10) රට ජාතිය වෙනුවෙන් සටන් කරන හමුදාවන්ට වෙනස්ව දෙවි යටතේ ක්‍රියාත්මක වන හමුදාවන් අතින් සිදු වන්නේ යහපත් දේවල් පමණයි. දෙවිගේ හමුදාවේ සෙබළුන් වන අප, ඔහු පත් කර තිබෙන වැඩිමහල්ලන්ට විරුද්ධව කැරලිගැසුවොත් එය අපේ සෙසු සෙබළුන්ට එනම්, අපේ සෙසු සහෝදරයන්ට බලපානවා. ඇත්තෙන්ම එය මුළු සභාවටම හානියක් විය හැකියි. (1 කොරින්ති 12:14, 25, 26) ඒ නිසා යෙහෝවා දෙවි පත් කර තිබෙන අයට අප සහයෝගය දක්වමින් ඔවුන්ට කීකරු වන විට අප ඇත්තටම පෙන්වන්නේ අපට අන් අය කෙරෙහි ප්‍රේමයක් තිබෙන බවයි.

10, 11. අධිකාරියක් ඇති අයට කැමැත්තෙන්ම කීකරු වීමෙන් අපට අත් වන ප්‍රයෝජන මොනවාද?

10 අධිකාරියක් ඇති අයට ගෞරව කිරීමට අප පෙලඹෙන තවත් හේතුවක් තිබෙනවා. එනම් එසේ කිරීමෙන් අපට ප්‍රයෝජන අත් වන නිසයි. උදාහරණයකට දෙමාපියන්ට කීකරු වන්න කියා යෙහෝවා දෙවි දරුවන්ට උනන්දු කරන විට ඉන් අත් වන ප්‍රයෝජනත් එනම්, ඔවුන්ට බොහෝ කාලයක් සතුටින් ජීවත් වීමට හැකි වන බවත් පැවසුවා. (ද්විතීය කතාව 5:16; එෆීස 6:2, 3) එමෙන්ම සභාවේ වැඩිමහල්ලන්ට කීකරු වන්න කියා අපට උනන්දු කර තිබෙන්නේ අප එසේ නොකළොත් යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන කිට්ටු මිත්‍රත්වයට එයින් යම් හානියක් සිදු විය හැකි නිසයි. (හෙබ්‍රෙව් 13:7, 17) රටේ බලධාරීන්ට කීකරු වන්න කියා අපට පවසා තිබෙන්නෙත් එයින් අපට ආරක්ෂාවක් ලැබෙන නිසයි.—රෝම 13:4.

11 ඒ අනුව යෙහෝවා දෙවි කෙරෙහි තිබෙන ප්‍රේමය, අන් අය කෙරෙහි තිබෙන ප්‍රේමය හා අපට ලැබෙන ප්‍රයෝජන නිසා අධිකාරියක් ඇති අයට ගෞරව කිරීමට අප පෙලඹෙනවා. දැන් අපි අපේ ජීවිතයේ පැති තුනකදී අධිකාරියක් ඇති අයට ගෞරව කරන බව පෙන්විය හැකි ආකාර ගැන සලකා බලමු.

පවුල තුළ ගෞරවය පෙන්වමු

12. දෙවි පුරුෂයෙකුට පවුල තුළ ලබා දී තිබෙන වගකීම කුමක්ද? එය ඔහු ඉටු කළ යුත්තේ කෙසේද?

12 පවුලක් ලෙස ජීවත් වීමේ සැලැස්ම ඇති කළේ යෙහෝවා දෙවියි. දෙවි සෑම දෙයක්ම පිළිවෙළකට කරන නිසා පවුල් ජීවිතය සාර්ථකව ගත කිරීම සඳහා එක් එක් සාමාජිකයාට හිමි වගකීම් මොනවාද කියා ඔහු පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. (1 කොරින්ති 14:33) පවුලේ මූලිකයා ලෙස දෙවි පත් කර තිබෙන්නේ පුරුෂයාවයි. නමුත් ඔහුටත් මූලිකයෙකු සිටිනවා. එනම් යේසුස්. පුරුෂයෙක් පවුලේ මූලිකයා ලෙස කටයුතු කරන්නේ යේසුස් සභාව සමඟ කටයුතු කළ ආකාරය ආදර්ශයට ගනිමිනුයි. එසේ කරන විට ඔහු ඔහුගේ මූලිකයා වන යේසුස්ට ගෞරවය පෙන්වනවා. (එෆීස 5:23) යේසුස්ව ආදර්ශයට ගන්නා එවන් පුරුෂයෙක් තම වගකීම් පැහැර නොහරින අතර පවුලේ සාමාජිකයන් සමඟ දරදඬු හා කුරිරු ලෙස කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කටයුතු කරන්නේ ප්‍රේමණීයව, කාරුණිකව හා සාධාරණවයි. එමෙන්ම මූලිකයා ලෙස තමන්ගේ අධිකාරිය කිසිම විටක යෙහෝවා දෙවිගේ අධිකාරියට ඉහළින් ක්‍රියාත්මක නොකළ යුතු බව ඔහු මතක තබාගන්නවා.

පුරුෂයා පවුලේ මූලිකයා ලෙස කටයුතු කරන්නේ යේසුස්ව ආදර්ශයට ගනිමිනුයි

13. දෙවිව සතුටට පත් කිරීමට නම් භාර්යාවක් කටයුතු කළ යුත්තේ කෙසේද?

13 ස්වාමිපුරුෂයාගේ සහකාරිය භාර්යාවයි. ඔහුට සහයෝගය දැක්වීම ඇගේ වගකීමයි. භාර්යාවටත් යම් අධිකාරියක් පවුල තුළ තිබෙනවා. “මවගේ උපදෙස්” පිළිපදින්න කියා බයිබලයේ පවසා තිබීමෙන් ඒ බව පැහැදිලියි. (හිතෝපදේශ 1:8) නමුත් ඇය සැමවිටම කටයුතු කරන්නේ ඇගේ පුරුෂයාගේ අධිකාරිය යටතෙයි. පවුල තුළ පුරුෂයාගේ වගකීම් ඉටු කිරීමට සහය දීමෙන් ඇය ඔහුගේ අධිකාරියට ගෞරව කරන බව පෙන්වනවා. කිසිම විටක පුරුෂයාගේ වගකීම් තමන්ගේ අතට ගැනීමට ඇය උත්සාහ නොකරන අතර ඔහුව පහත් කර සලකන්නේද නැහැ. එමෙන්ම කපටි ලෙස පුරුෂයාට බලපෑම් කිරීමටද ඇය උත්සාහ කරන්නේ නැහැ. තමන්ට එකඟ විය නොහැකි තීරණයක් පුරුෂයා ගත් අවස්ථාවකදී ඒ ගැන තමන්ට හැඟෙන ආකාරය ගෞරවාන්විතව පුරුෂයාට දැන්විය හැකියි. නමුත් ඔහු ගන්නා තීරණයට ඇය පූර්ණ සහයෝගය ලබා දෙනවා. පුරුෂයා දෙවිට නමස්කාර නොකරන කෙනෙකු නම් ඔහුගේ අධිකාරියට ගෞරව කිරීම භාර්යාවට අභියෝගයක් විය හැකියි. නමුත් ඇය ඔහුට යටත්ව ගෞරවයෙන් යුතුව කටයුතු කිරීමෙන් සමහරවිට පුරුෂයාත් යම් දවසක යෙහෝවා දෙවිට සේවය කරන්න පෙලඹෙන්න පුළුවන්.—1 පේතෘස් 3:1 කියවන්න.

මඩ පාගලා  ආවිත් ගේ කිලුටු කරපු පුතාට ආදරෙන් උපදෙස් දෙන තාත්තා කෙනෙක්

14. දෙවිටත් තම දෙමාපියන්ටත් සතුටක් ගෙන දීමට දරුවන්ට හැක්කේ කෙසේද?

14 දරුවන් තම දෙමාපියන්ට කීකරු වෙනවා දකින විට යෙහෝවා දෙවිට දැනෙන්නේ මහත් සතුටක්. ඇත්තෙන්ම එවැනි දරුවන් දෙමාපියන්ගේද සිත් සතුටු කරන අතර ඔවුන්ට මහත් ගෞරවයක්ද ගෙනෙනවා. (හිතෝපදේශ 10:1) පියා හෝ මව පමණක් සිටින පවුල්වල දරුවන් තමන් ලබා දෙන සහයෝගය තම පියාගේ හෝ මවගේ වගකීම් හොඳින් ඉටු කිරීමට දායක වන බව තේරුම්ගන්නවා. ඒ නිසා එවැනි පවුල්වල දරුවන් කීකරුව කටයුතු කිරීමට විශේෂ වෑයමක් දරනවා. යෙහෝවා දෙවි තමන්ට දී තිබෙන වගකීම් පවුලේ එක් එක් සාමාජිකයා ඉටු කිරීමෙන් පවුල තුළ සන්තෝෂය හා සමාදානය අද්දැකිය හැකියි. පවුලක් ලෙස ජීවත් වීමේ සැලැස්ම ඇති කළ යෙහෝවා දෙවිට එලෙස කටයුතු කරන පවුල් ගෙන දෙන්නේ මොන තරම් ගෞරවයක්ද!—එෆීස 3:14, 15.

සභාව තුළ ගෞරවය පෙන්වමු

15. (අ) දෙවිගේ අධිකාරියට කීකරු වන බව අපට සභාවේදී පෙන්විය හැක්කේ කෙසේද? (ආ) සභාවේ වැඩිමහල්ලන්ට කීකරු වීමට අපට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති මොනවාද? (“උපදෙස්වලට සවන් දී හික්මවීම පිළිගන්න” යන කොටුව බලන්න.)

15 සභාවේ නායකයා නැත්නම් පාලකයා ලෙස යෙහෝවා දෙවි පත් කර තිබෙන්නේ යේසුස්වයි. (කොලොස්සි 1:13) පොළොව මත තිබෙන දෙවිගේ සංවිධානයේ කටයුතු බලා කියා ගැනීමට යේසුස් තම විශ්වාසවන්ත දාසයාව පත් කර තිබෙනවා. (මතෙව් 24:45-47) එම දාසයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයයි. ඔවුන් විවිධ වගකීම් දරනවා. පළමුවෙනි සියවසේ තිබූ සැලැස්මට සමානව අද දිනත් සභාවල සිටින වැඩිමහල්ලන්ට ලිපි මාර්ගයෙන් හෝ සංචාරක සේවකයන් වැනි පාලක මණ්ඩලයේ නියෝජිතයන් මාර්ගයෙන් විවිධ උපදෙස් හා මඟ පෙන්වීම් ලැබෙනවා. ඒ අනුව සභාවේ සාමාජිකයන් වන අප, වැඩිමහල්ලන්ගේ අධිකාරියට ගෞරව කිරීමෙන් යෙහෝවා දෙවිට කීකරු වන බව පෙන්වනවා.—1 තෙසලෝනික 5:12; හෙබ්‍රෙව් 13:17 කියවන්න.

16. වැඩිමහල්ලන්ව පත් කරන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් කියා අප පවසන්නේ ඇයි?

16 වැඩිමහල්ලන් අතින් සිදු වන වැරදි දකින විට ඔවුන්ට ගෞරව කිරීම අභියෝගයක් විය හැකියි. නමුත් අප හා සමානව ඔවුන් අතිනුත් වැරදි සිදු වෙනවා. ඇත්තෙන්ම ඔවුන්ව ලබා දුන්නේ, “තෑගි වශයෙන්” කියා බයිබලයේ පවසනවා. මන්ද ඔවුන්ගේ ප්‍රධාන වගකීම වන්නේ සභාවේ සිටින අයට යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට උපකාර කිරීමයි. (එෆීස 4:8) කෙනෙකුව වැඩිමහල්ලෙකු ලෙස පත් කරන්නේ ඔහුට බයිබලයේ තිබෙන සුදුසුකම් තිබෙනවාද නැද්ද කියා සලකා බැලීමෙන් අනතුරුවයි. (1 තිමෝති 3:1-7; තීතස් 1:5-9) සභාවේ සිටින අනිකුත් වැඩිමහල්ලන් ඒ ගැන සලකා බලන විට යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලා මහත් ඕනෑකමින් යාච්ඤා කරනවා. ඒ අනුව වැඩිමහල්ලන්ව පත් කරන්නේ දෙවිගේ මඟ පෙන්වීම යටතේ බව පැහැදිලියි. (ක්‍රියා 20:28) සහායක සේවකයන්ව පත් කිරීම සඳහාද අනුගමනය කරන්නේ එම සැලැස්මයි.—1 තිමෝති 3:12.

17. යම් අවස්ථාවලදී ක්‍රිස්තියානි ස්ත්‍රීන් තම හිස වසාගත යුත්තේ ඇයි?

17 සමහරවිට සභාවේ වගකීමක් ඉටු කිරීමට වැඩිමහල්ලෙකු හෝ සහයක සේවකයෙකු නොසිටින අවස්ථා තිබිය හැකියි. උදාහරණයකට සේවයේ යෑම සඳහා රැස් වන අවස්ථාවක් ගැන සිතන්න. එවැනි අවස්ථාවකදී බව්තීස්ම වූ වෙනත් සහෝදරයෙකුට ඒ රැස්වීම මෙහෙයවිය හැකියි. බව්තීස්ම වූ සහෝදරයෙකුත් නොසිටිනවා නම් බව්තීස්ම වූ ආදර්ශවත් සහෝදරියකට එම රැස්වීම මෙහෙවිය හැකියි. නමුත් බව්තීස්ම වූ සහෝදරයෙකු විසින් ඉටු කළ යුතු වගකීමක් ස්ත්‍රියක් ඉටු කරන විට ඇය තම හිස වසාගත යුතුයි කියා බයිබලයේ පවසා තිබෙනවා.a (1 කොරින්ති 11:3-10) ඉන් ස්ත්‍රීන්ව පහත් කර සලකන බවක් අදහස් වන්නේ නැහැ. නමුත් එසේ කිරීමෙන් පවුල හා සභාව තුළ යෙහෝවා දෙවි පිහිටුවා තිබෙන අධිකාරියට තමන් ගෞරව කරන බව ඇයට පෙන්විය හැකියි.

රටේ බලධාරීන්ට ගෞරවය පෙන්වමු

18, 19. (අ) සැබෑ ක්‍රිස්තියානීන් රෝම 13:1-7හි සඳහන් ප්‍රතිපත්තියට එකඟව කටයුතු කරන්නේ කෙසේද? (ආ) රටේ බලධාරීන්ට අප ගෞරව කරන බව පෙන්විය හැකි තවත් ආකාරයක් කුමක්ද?

18 සැබෑ ක්‍රිස්තියානීන් රෝම 13:1-7හි (කියවන්න.) සඳහන් ප්‍රතිපත්තිවලට කීකරු වීමට මහත් උත්සාහයක් දරනවා. “උසස් බලධාරීන්” ලෙස එහි හඳුන්වා තිබෙන්නේ රටේ ආණ්ඩු බලධාරීන්වයි. ඔවුන්ට යම් කාලයකට යෙහෝවා දෙවි යම් අධිකාරියක් දී තිබෙනවා. එම අධිකාරිය ඔවුන්ට දී තිබෙන්නේ නීතිය හා සාමය රකිමින් ජනතාවගේ යහපත වෙනුවෙන් විවිධ සේවාවන් ඉටු කිරීමටයි. අප එම බලධාරීන්ට ගෞරව කළ යුතුයි. නීතිගරුක පුරවැසියන් ලෙස කටයුතු කිරීමෙන් අප ඔවුන්ට ගෞරව කරන බව පෙන්වනවා. ඊට අමතරව ගෙවිය යුතු සෑම බද්දක්ම අප නිසි ලෙස ගෙවන අතර ආණ්ඩුව මගින් ඉල්ලා සිටින විවිධ ලියකියවිලි නිවැරදි තොරතුරු ඇතුව අදාළ බලධාරීන්ට භාර දෙනවා. එමෙන්ම අප අපේ පවුල, ව්‍යාපාරය හෝ දේපළ හා සම්බන්ධ නීතිරීතිද පිළිපදිනවා. නමුත් ආණ්ඩු බලධාරීන් දෙවිගේ නීතියට පටහැනි දෙයක් කිරීමට පවසන විට අප ඊට කීකරු වන්නේ නැහැ. අප යේසුස්ගේ ගෝලයන් මෙන් මෙසේ පවසනවා. “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.”—ක්‍රියා 5:28, 29; “අප කීකරු විය යුත්තේ කාගේ අධිකාරියටද?” යන කොටුව බලන්න.

අප කීකරු විය යුත්තේ කාගේ අධිකාරියටද?

ප්‍රතිපත්තිය: “යෙහෝවා දෙවි අපගේ විනිශ්චයකරුය. යෙහෝවා දෙවි අපේ නීතිදායකයාය. අපේ රජුද යෙහෝවා දෙවිය.”—යෙසායා 33:22.

මේ ගැන සිතා බලන්න

  • දෙවිගේ ප්‍රමිතිවලට පටහැනි දෙයක් කරන්න කියා පැවසුවොත් මා කරන්නේ කුමක්ද?—මතෙව් 22:37-39; 26:52; යොහන් 18:36.

  • දෙවි කරන්න කියා පවසා තිබෙන දෙයක් තවදුරටත් නොකරන්න කියා තහංචි පැනෙව්වොත් මා කරන්නේ කුමක්ද?—ක්‍රියා 5:27-29; හෙබ්‍රෙව් 10:24, 25.

  • අධිකාරියක් ඇති අයට කැමැත්තෙන්ම කීකරු වීම සඳහා මට උපකාරවත් වන්නේ කුමක් දැන සිටීමද?—රෝම 13:1-4; 1 කොරින්ති 11:3; එෆීස 6:1-3.

19 රටේ බලධාරීන් සමඟ කටයුතු කරන ආකාරයෙනුත් අප ඔවුන්ට ගෞරව කරන බව පෙන්විය හැකියි. සමහර අවස්ථාවලදී යම් දේවල් සඳහා ආණ්ඩුවේ නිලධාරීන්ව හමු වීමට අපට සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී අප කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පාවුල් හොඳ ආදර්ශයක් තැබුවා. හෙරොද් අග්‍රිපා රජු හා ආණ්ඩුකාර ෆෙස්ටස් සමඟ පාවුල් කතා කළ අවස්ථාවලදී ඔහු ඔවුන්ව ඇමතුවේ ඉතා ගෞරවනීය ආකාරයෙනුයි. ඔවුන් වංක පාලකයන් බව පාවුල් දැන සිටියා. නමුත් ඔවුන්ට ගෞරව කිරීමට එය පාවුල්ට බාධාවක් වුණේ නැහැ. (ක්‍රියා 26:2, 25) පාවුල්ගේ ආදර්ශය අනුගමනය කරන අය හැටියට අප, රටේ පාලකයෙකුව ඇමතුවත් සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුව ඇමතුවත් ගෞරවනීය ආකාරයෙන් එසේ කරනවා. අපේ දරුවන්ද පාසැලේ විදුහල්පතිට, ගුරුවරුන්ට හා වෙනත් නිලධාරීන්ට ගෞරවයෙන් සලකනවා. අප ගෞරවයෙන් සලකන්නේ අපේ විශ්වාසයන්ට ගරු කරන අයට පමණක් නොවෙයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව කටයුතු කරන අයට පවා ගෞරවයෙන් සලකන්න අප අමතක කරන්නේ නැහැ. අප එසේ කටයුතු කරන විට අන් අය ඉදිරියේ හොඳ නාමයක් දිනාගැනීමට අපට හැකි වෙනවා.—රෝම 12:17, 18 කියවන්න; 1 පේතෘස් 3:15.

20, 21. අධිකාරියක් ඇති අයට නිසි ගෞරවය දීමෙන් අත් වන ප්‍රතිඵල මොනවාද?

20 පේතෘස් අපට පැවසුවේ, “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න” කියායි. (1 පේතෘස් 2:17) ඒ නිසා අන් අයට ගෞරව කරන්න අපි අවංක උත්සාහයක් දරමු. අන් අයට ගෞරව කිරීම අද කලාතුරකින් දකින්න තිබෙන දෙයක් නිසා අවංකව අප එසේ කරන විට ගෞරවය ලබන අයට අප ගැන හොඳ හැඟීමක් ඇති වෙනවා. එමෙන්ම යේසුස් පැවසූ මේ වදන් ඉටු කිරීමටද අපට හැකි වෙනවා. “ඔබත් ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්‍රශංසා කරයි.”—මතෙව් 5:16.

21 පවුලේ අධිකාරියක් තිබෙන අයට, සභාවේ අධිකාරියක් තිබෙන අයට හා රටේ බලධාරීන්ට අප ගෞරව කරන බව අපේ ක්‍රියාවෙන් පෙන්වන විට මේ අන්ධකාර ලෝකයේ සිටින අවංක හදවත් ඇති අය සත්‍ය මාර්ගය වෙතට ආකර්ෂණය වෙනවා. සමහරවිට ඔවුන් අප සමඟ දිගටම සත්‍ය මාර්ගයේ ගමන් කිරීමට පෙලඹිය හැකියි. එය මොන තරම් ප්‍රීතියට හේතුවක්ද! එසේ සිදු නොවුණත් අපට එක දෙයක් ගැන නිසැක විය හැකියි. එනම් අප අධිකාරියක් ඇති අයට ගෞරව කරන විට යෙහෝවා දෙවි ඒ ගැන සතුටු වන බවයි. එමෙන්ම එසේ කිරීමෙන් දෙවිගේ ප්‍රේමය සැමදා ලබන්න අපට හැකි වෙනවා. අපට ලැබිය හැකි උතුම්ම ආශීර්වාදය එය නොවේද!

a මෙම ප්‍රතිපත්තිය අදාළ කරගත හැකි ආකාර ගැන වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ “ස්ත්‍රියක් හිස වසාගත යුතු අවස්ථා හා හේතු” කියන ලිපිය බලන්න.

“උපදෙස්වලට සවන් දී හික්මවීම පිළිගන්න”

අප ජීවත් වන සමාජය පුරාම සාතන්ගේ කැරලිකාර, කලහකාරී ස්වභාවය දකින්න තිබෙනවා. බයිබලයේ පැහැදිලිවම පවසන්නේ ‘මේ සමාජයේ සිටින මිනිසුන් ඔහුගේ බලපෑමට හසු වී සිටින’ බවයි. ඒ ‘බලපෑම අප හුස්ම ගන්නා වාතය මෙන් හාත්පස පැතිර පවතිනවා.’ (එෆීස 2:2) අද බොහෝදෙනෙක් අධිකාරියක් ඇති අයට යටත් නොවී ස්වාධීනව කටයුතු කිරීමට කැමැත්තක් දක්වන්නේ ඒ නිසයි. කනගාටුදායක ලෙස සභාවේ සිටින සමහරදෙනෙකුත් සාතන්ගේ බලපෑමට හසු වී තිබෙනවා. උදාහරණයකට කාමුක හෝ ප්‍රචණ්ඩකාරී දේවල් නැරඹීම ගැන වැඩිමහල්ලෙකු යම් උපදෙස් දෙන විට ඊට සභාවේ සමහර අය දක්වන ප්‍රතිචාරයෙන් ඒ බව පැහැදිලි වෙනවා. දුන් උපදෙස නිසා සමහර අය ඔහු සමඟ කෝප වී එය එකහෙළාම ප්‍රතික්ෂේප කරනවා. අපත් සමහරවිට එලෙස ක්‍රියා කිරීමට පෙලඹෙන්න පුළුවන්. ඒ නිසා හිතෝපදේශ 19:20හි සඳහන් වදන් අදාළ කරගැනීමට අපි සියලුදෙනාම උත්සාහ දරමු. එහි පවසන්නේ, “උපදෙස්වලට සවන් දී හික්මවීම පිළිගන්න. එවිට ඔබ අනාගතයේදී ප්‍රඥාවන්ත කෙනෙකු වන්නෙහිය” කියායි.

උපදෙස් හෝ හික්මවීම් පිළි නොගැනීමට බොහෝදෙනෙකු ඉදිරිපත් කරන හේතු තුනක් ගැන අපි සලකා බලමු. එමෙන්ම ඒ වැරදි ආකල්ප නිවැරදි කරගැනීමට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්තිද ඒ සමඟ සලකා බලමු. එසේ කිරීමෙන් හිතෝපදේශ 19:20හි සඳහන් වදන් අදාළ කරගැනීමට අපට පහසු වෙයි.

  • “ඒ උපදෙස මට අදාළ නැහැ.” සමහර අවස්ථාවලදී උපදෙස් දෙන තැනැත්තා අප සිටින තත්වය හොඳින් තේරුම් නොගෙනයි උපදෙස් දුන්නේ කියා අපට හැඟෙනවා. (හිතෝපදේශ 19:3) ඒ නිසා අප මුලින්ම කරන්නේ ඒ උපදෙස ප්‍රතික්ෂේප කිරීමයි. (හෙබ්‍රෙව් 12:5) නමුත් බයිබලයේ අපට දිරිගන්වන්නේ, “ඔබට ලැබෙන උපදෙස් හා හික්මවීම් හදවතින්ම පිළිගෙන කිසිදා ඒවා අත් නොහරින්න. ඒවා ඉතා උසස් කොට සලකන්න. මන්ද එමගින් ඔබට ජීවනය අත් වෙයි” කියායි. (හිතෝපදේශ 4:13) ඒ නිසා එවැනි අවස්ථාවකදී මෙසේ සිතන්න උත්සාහ කරමු. ‘අපි හැමෝම පව්කාර ස්වභාවය උරුම කරගෙන සිටින අය. ඒ නිසා මේ උපදෙස යම් ප්‍රමාණයකට හෝ මට අදාළ විය හැකියි. නැත්නම් මේ උපදෙස මට දීමට මොනයම් හෝ සාධාරණ හේතුවක් ඇති.’

  • “උපදෙස දුන් විදිහ ගැන මම එච්චර සතුටු නැහැ.” උපදෙස් දිය යුතු ආකාරය ගැන බයිබලයේ පැහැදිලිවම පවසා තිබෙනවා. (ගලාති 6:1) එමෙන්ම, “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති” කියාත් එහි සඳහන් වෙනවා. (රෝම 3:23) ඒ නිසා අපට නිවැරදිම අයුරින් උපදෙස් ලබාගත හැක්කේ පව්කාර ස්වභාවයක් උරුම කර නොගත් කෙනෙකුගෙන් පමණයි. එසේනම් අපි කාටවත් නිවැරදිම අයුරින් උපදෙස් ලබා දීමට හැකියාව නැහැ. (යාකොබ් 3:2) නමුත් පව්කාර ස්වභාවය උරුම කරගෙන සිටින අප වගේ අයව අවශ්‍ය අයට උපදෙස් ලබා දීමට යෙහෝවා දෙවි යොදාගන්නවා. ඒ නිසා උපදෙස් දුන් ආකාරය වෙතට අවධානය දෙනවා වෙනුවට දුන් උපදෙසේ තිබෙන කාරණා වෙතට අවධානය දීම ඥානවන්තයි. එමෙන්ම යාච්ඤා කර ඒ උපදෙස අදාළ කරගත හැකි ආකාරය ගැන කල්පනා කර බැලීමද වැදගත්.

  • “මට උපදෙස් දෙන්න තරම් ඔහු සුදුසු පුද්ගලයෙක් නෙමෙයි.” උපදෙස දුන් පුද්ගලයාගේ යම් අඩුපාඩුකම් නිසා ඒ උපදෙසේ කිසි වටිනාකමක් නැහැයි කියා අප සිතනවා නම් කලින් සලකා බැලූ කාරණා දෙකෙහි තොරතුරු ගැන හොඳින් සිතා බැලීම වැදගත්. එසේත් නැත්නම් අපේ වයස, ලබා තිබෙන අද්දැකීම් හෝ සභාවේ තිබෙන වගකීම් නිසා අපට උපදෙස් අවශ්‍ය නැහැයි කියා සිතනවා නම් අපි අපේ ආකල්ප ඉක්මනින්ම නිවැරදි කරගත යුතුයි. ඊශ්‍රායෙල්හි සිටි රජවරුන්ටත් බොහෝ වගකීම් තිබුණා. නමුත් අනාගතවක්තෘවරුන්, පූජකයන් හා යටත්වැසියන් සමහරදෙනෙකුගෙන් ලැබුණු උපදෙස් ඒ රජවරුන්ට පිළිගන්න සිදු වුණා. (2 සාමුවෙල් 12:1-13; 2 ලේකම් 26:16-20) ඒ හා සමානව අද දිනත් යෙහෝවා දෙවිගේ සංවිධානය උපදෙස් ලබා දීමට විවිධ පුරුෂයන්ව පත් කර තිබෙනවා. ඔවුන් පරිපූර්ණ අය නොවෙයි. නමුත් යෙහෝවා දෙවිට ළැදි අය ඔවුන්ගෙන් ලැබෙන උපදෙස් ඉතා සතුටින් පිළිගෙන ඒවා තම ජීවිතවලට අදාළ කරගැනීමට උත්සාහ කරනවා. ඇත්තෙන්ම අන් අයට වඩා වැඩි අද්දැකීම් හා වගකීම් තිබෙන අය, උපදෙස් පිළිගෙන ඒවා අදාළ කරගැනීම සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් තැබීම මොන තරම් වැදගත්ද! සමබරව සිතීමෙන් හා නිහතමානීව ක්‍රියා කිරීමෙන් එසේ කළ හැකියි.—1 තිමෝති 3:2, 3; තීතස් 3:2.

අප සියලුදෙනාටම උපදෙස් හා හික්මවීම් අවශ්‍යයි. ඒ නිසා ලැබෙන උපදෙස් හා හික්මවීම් කැමැත්තෙන්ම පිළිගෙන ඒවා ජීවිතයට අදාළ කරගැනීමට අදිටන් කරගනිමු. එමෙන්ම අපේ ජීවිත ගලවාගැනීමට දෙවි ලබා දී තිබෙන එම සැපයුම ගැන අපි මුළු හදවතින්ම දෙවිට ස්තුතිවන්ත වෙමු. ඇත්තෙන්ම උපදෙස් හා හික්මවීම් ලබා දීම දෙවි අපට ප්‍රේමය පෙන්වන එක් ආකාරයක්. අපේ ආශාව වන්නෙත් යෙහෝවා දෙවිගේ ප්‍රේමය සැමදා ලැබීම නොවෙයිද!—හෙබ්‍රෙව් 12:6-11.

“ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වන්න”

ඊජිප්තුවෙන් නිදහස් වී ආ ඊශ්‍රායෙල් ජාතියට බොහෝ උවදුරු සහිත පාළුකරයක් මැදින් ගමන් කිරීමට සිදු වුණා. විශාල සෙනඟක්ව සිටි ඔවුන්ට, මඟ පෙන්වීම් ලබා දීම පහසු කාර්යයක් වුණේ නැහැ. ඔවුන්ගේ නායකයා වූ මෝසෙස්ට ඒ සඳහා යම් උපකාර අවශ්‍ය වුණා. ඒ නිසා ඔහු, “ඊශ්‍රායෙල් සෙනඟ අතරින් වගකීම් දැරිය හැකි පුරුෂයන්ව තෝරාගත්තේය. පසුව ඔහු දහසක්, සියයක්, පනහක් හා දහයක් බැගින් වූ කණ්ඩායම්වලට සෙනඟව වෙන් කර ඔවුන්ව බලාගැනීමට තෝරාගත් පුරුෂයන්ව පත් කළේය” කියා සඳහන් වෙනවා.—නික්මයාම 18:25.

ඒ හා සමානව අද දිනත් ක්‍රිස්තියානි සභාවේ කටයුතු හොඳින් සංවිධානය කර තිබෙනවා. ක්ෂේත්‍ර සේවා කණ්ඩායමක් භාරව සහෝදරයෙක් සිටින්නෙත් සභාවක් වැඩිමහල්ලන් භාරයේ තිබෙන්නෙත් සභා කිහිපයක් රැකබලා ගැනීමට චාරිකා සේවකයෙකු සිටින්නෙත් රටක සිදු කරන සේවය අධීක්ෂණය කිරීමට ශාඛා කමිටුවක් හෝ දේශීය කමිටුවක් පත් කර තිබෙන්නෙත් ඒ නිසයි. ක්‍රිස්තියානි සභාව එසේ සංවිධානය කර තිබෙන නිසා දෙවිගේ බැටළුවන්ව රැකබලා ගැනීමේ වගකීම තිබෙන සෑම පුරුෂයෙකුටම තම රැකවරණය යටතේ සිටින බැටළුවන්ට කිට්ටු අවධානයක් දීමට හැකි වී තිබෙනවා. එමෙන්ම තම වගකීම ඉටු කරන ආකාරය ගැන යෙහෝවා දෙවිටත් යේසුස්ටත් ගණන් දිය යුතු බව ඔවුන් මතකයේ තබාගන්නවා.—ක්‍රියා 20:28.

ක්‍රිස්තියානි සභාව ඒ අයුරින් සංවිධානය කර තිබෙන නිසා එහි සාමාජිකයන් වන අප සියලුදෙනාම එම සැලැස්මට සහයෝගය දැක්වීම ඉතා වැදගත්. ලබා දෙන මඟ පෙන්වීම්වලට සෑම අවස්ථාවකදීම කීකරු වීමෙන් අපට එසේ කළ හැකියි. පෙරමුණ ගෙන ක්‍රියා කළ සහෝදරයන්ට අගෞරවනීය ලෙස සැලකූ දියොත්‍රෙෆස් මෙන් කටයුතු නොකිරීමට අපි වගබලා ගනිමු. (3 යොහන් 9, 10) ඒ වෙනුවට පාවුල්ගේ මෙම වදන් අපි සිතට ගනිමු. “ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වන්න. එලෙසම ඔවුන්ට යටත් වී සිටින්න. ඔබ එසේ කළොත් ඔවුන්ට තම කාර්යය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වේ. මන්ද ඔබ ගැන ගණන් දිය යුතු අය ලෙස ඔවුහු ඔබ ගැන සෝදිසියෙන් සිටිති. තම කාර්යය සුසුම්ලමින් කිරීමට සිදු වුවහොත් එයින් ඔබට හානියක් සිදු වේ.” (හෙබ්‍රෙව් 13:17) සමහර අය පෙරමුණ ගෙන ක්‍රියා කරන සහෝදරයන් ලබා දෙන මඟ පෙන්වීම් පිළිගැනීමට පහසු අවස්ථාවලදී කීකරු වුණත් එම මඟ පෙන්වීම් පිළිගැනීමට අපහසු අවස්ථාවලදී හෝ මඟ පෙන්වීම් ලබා දීමට හේතු තේරුම්ගත නොහැකි අවස්ථාවලදී කීකරු වීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් දෙවිට කීකරු වීම යනු අපට පහසු අවස්ථාවලදී පමණක් නොව අප කීකරු වීමට එතරම් කැමැත්තක් නොදක්වන අවස්ථාවලදී පවා කීකරු වීමයි. එමනිසා ‘මම පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට පහසු අවස්ථාවලදී මෙන්ම අපහසු අවස්ථාවලදීත් කීකරු වෙනවාද’ කියා අපෙන්ම අසාගැනීම මොන තරම් වැදගත්ද!

සභාවේ සෑම කටයුත්තක්ම සංවිධානය කළ යුතු ආකාරය ගැන බයිබලයේ සඳහන් වී නැහැ. නමුත්, “සෑම දෙයක්ම ඔබිනා ලෙසත් පිළිවෙළකටත් සිදු විය යුතුයි” කියා එහි පවසා තිබෙනවා. (1 කොරින්ති 14:40) පාලක මණ්ඩලය එම උපදෙසට කීකරු වෙමින් සභාවේ කටයුතු මනා ලෙස සංවිධානය කිරීමට උපකාරවත් වන මඟ පෙන්වීම් ලබා දෙනවා. එම මඟ පෙන්වීම් ක්‍රියාත්මක කිරීමට වගකීම් දරන පුරුෂයන් මහත් උත්සාහයක් දරනවා. එසේ කිරීමෙන් මඟ පෙන්වීම්වලට කීකරු වීම සම්බන්ධයෙන් ඔවුන් සභාවට තබන්නේ හොඳ ආදර්ශයක්. එමෙන්ම සංවිධානය රැකබලා ගැනීමට පත් කර ඇති අයට තමන්, “කීකරු වීමට සූදානම්” බවත් තමන් “සාධාරණ ලෙස කටයුතු කරන” අය බවත් පෙන්වනවා. (යාකොබ් 3:17) එහි ප්‍රතිඵලයක් ලෙස සෑම කණ්ඩායමකම, සභාවකම, චාරිකාවකම හා රටකම සිටින දෙවිගේ සේවකයන්ට එක පවුලක් මෙන් එක්ව දෙවිට සේවය කිරීමට හැකි වී තිබෙනවා. එයින් ප්‍රීතිමත් දෙවි වන යෙහෝවාට ලැබෙන්නේ මොන තරම් ගෞරවයක්ද!—1 කොරින්ති 14:33; 1 තිමෝති 1:11.

සභාවේ පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට අකීකරු වීම හානිදායක දෙයක් බවත් හෙබ්‍රෙව් 13:17හි සඳහන් වදන්වලින් තේරුම්ගත හැකියි. සභාවේ සිටින අය අකීකරුව ක්‍රියා කරන විට වගකීම් දරන අයට තම වගකීම් ඉටු කිරීමට සිදු වන්නේ “සුසුම්ලමින්” බව එහි පවසා තිබෙනවා. ඇතැම් සහෝදරයන් සභා සැලැස්මට සහයෝගයක් නොදක්වන විට හෝ කැරලිකාර ස්වභාවයක් පෙන්වන විට පෙරමුණ ගෙන ක්‍රියා කරන සහෝදරයන්ට තම වගකීම් ඉටු කිරීම මහත් බරක් සේ දැනිය හැකියි. දෙවිට හා තම සහෝදරයන්ට සේවය කිරීමට ලැබී තිබෙන අනගි අවස්ථාවෙන් සතුටක් ලබනවා වෙනුවට එය ඔවුන්ට මහත් දුකක් විය හැකියි. එය “ඔබට” එනම්, මුළු සභාවටම බලපානවා. සභාවේ සැලැස්මට කෙනෙකු අකීකරු වන විට එය යෙහෝවා දෙවි සමඟ ඔහුට තිබෙන මිත්‍රත්වයටත් බලපානවා. මන්ද උඩඟු ලෙස ක්‍රියා කිරීම නිසා ඔහු ටිකෙන් ටික දෙවිගෙන් ඈත් වෙනවා. (ගීතාවලිය 138:6) ඒ නිසා අප සියලුදෙනාගේම අධිෂ්ඨානය විය යුත්තේ ලබා දෙන මඟ පෙන්වීම්වලට සෑම අවස්ථාවකදීම කීකරු වීමයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න