1වෙනි පරිච්ඡේදය
සැබෑ දෙවියන් මොන වගේ කෙනෙක්ද?
1, 2. සාමාන්‍යයෙන් මිනිසුන් අහන්නේ මොන වගේ ප්‍රශ්නද?
පුංචි දරුවෝ ගොඩක් ප්‍රශ්න අහනවා. ඒවාට කොච්චර උත්තර දුන්නත් එයාලට මදි. තවත් ප්‍රශ්න අහනවා.
2 පුංචි අය විතරක් නෙවෙයි වැඩිහිටියනුත් ප්‍රශ්න අහනවා. වෙලාව දැනගන්න ඕන වුණාම, හරි පාර දැනගන්න ඕන වුණාම අපි ප්‍රශ්න අහනවා. ඒ වගේම අපේ ජීවිතේ ගැනත් අනාගතේ ගැනත් අපිට ප්‍රශ්න තියෙනවා. ඒවාට උත්තර හොයාගන්න බැරි වුණාම අපිට ලොකු කලකිරීමක් දැනෙනවා.
3. වැදගත් ප්‍රශ්නවලට උත්තර හොයාගන්න බැහැ කියලා සමහරු හිතන්නේ ඇයි?
3 ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන්ද? සමහරු හිතනවා පුළුවන් කියලා. ඒත් ඒවා හොයාගන්නේ කොහෙන්ද කියලා එයාලා දන්නේ නැහැ. ඒවාට උත්තර බයිබලයේ ඇති කියලා හිතන අයත් ඉන්නවා. ඒත් බයිබලය තේරුම්ගන්න අමාරුයි කියලා එයාලා හිතන නිසා ඒවාට උත්තර දන්නේ ගුරුවරුන්, පූජකයන් වගේ අය විතරයි කියලා එයාලා හිතනවා ඇති. තවත් අය ඒ ප්‍රශ්නවලට උත්තර දන්නේ නැහැ කියලා පිළිගන්න ලැජ්ජයි.
4, 5. ඔයා උත්තර දැනගන්න ආස මොන ප්‍රශ්නවලටද? ඔයා දිගටම ඒවාට උත්තර හොයන්න ඕන ඇයි?
4 අපි ඉපදෙන්නේ ටික කාලයක් ජීවත් වෙලා මැරිලා යන්නද? මැරුණාට පස්සේ මොකද වෙන්නේ? දෙවි කෙනෙක් ඉන්නවාද? ඉන්නවා නම් ඔහු මොන වගේ කෙනෙක්ද? ඒ ප්‍රශ්න ගැන ඔයා හිතලා තියෙනවාද? යේසුස් මෙහෙම කිව්වා. “නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබෙයි. නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වෙයි.” (මතෙව් 7:7) ඒ නිසා හරි උත්තර ලැබෙන කල් උත්සාහය අත්හරින්න එපා.
5 ඔයා “නොකඩවාම” බයිබලයෙන් උත්තර හෙව්වොත් අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙයි. (හිතෝපදේශ 2:1-5) ඒවා තේරුම්ගන්න අමාරු නැහැ. උත්තර දැනගත්තාම මේ කාලේ සතුටින් ඉන්න විතරක් නෙවෙයි ලස්සන අනාගතයක් ගැන දැනගන්නත් ඔයාට පුළුවන්. හුඟක් අය කල්පනා කරන ප්‍රශ්නයක් ගැන දැන් බලමු.
දෙවියන්ට අපේ දුක දැනෙන්නේ නැද්ද?
6. දෙවියන්ට මිනිසුන්ගේ දුක දැනෙන්නේ නැහැ කියලා සමහරු හිතන්නේ ඇයි?
6 අද හැම තැනම තියෙන්නේ යුද්ධ, වෛරය, අසනීප, මරණය. ‘දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇස්, කන් වහගෙන ඉන්නේ ඇයි’ කියලා සමහරු හිතනවා.
7. (අ) ආගමික නායකයන් දෙවියන් ගැන උගන්වන්නේ මොනවාද? (ආ) දුක් කරදරවලට වග කියන්න ඕනෙ දෙවියන් නෙවෙයි කියලා අපි දන්නේ කොහොමද?
7 ආගමික නායකයන් උගන්වන දේවල් නිසාත් සමහරු හිතනවා දුක් කරදරවලට වග කියන්න ඕනෙ දෙවියන් කියලා. විපතක් වුණාම ඒක දෙවියන්ගේ කැමැත්ත කියලයි එයාලා උගන්වන්නේ. එයාලා අඟවන්නේ දෙවියන් දුක් කරදර ඇති කරන, හිතක් පපුවක් නැති කෙනෙක් කියලයි. ඒත් දෙවියන් කවදාවත් නපුරු දේවල් කරන්නේ නැහැ. හබක්කුක් 1:13 මෙහෙම කියනවා. ‘ඔබ මොන තරම් ශුද්ධ දෙවි කෙනෙක්ද කිව්වොත් නපුර ගණන් නොගෙන ඉන්න ඔබට බැහැ. දුෂ්ටකම් නොසලකාහරින්න ඔබට බැහැ.’ එහෙනම් දෙවියන් නපුරුකම් කරන්නේ නැහැ කියලා හොඳටම පැහැදිලියි. (යෝබ් 34:10-12 කියවන්න.) දැන් අපි දුක් වේදනාවලට වග කියන්න ඕනෙ දෙවියන් නෙවෙයි කියලා තේරුම්ගන්න උදාහරණයක් බලමු.
8, 9. දුක් කරදර එද්දී දෙවියන්ට දොස් කියන එක සාධාරණ නැත්තේ ඇයි? උදාහරණෙකින් පැහැදිලි කරන්න.
8 ආදරය, සෙනෙහස විඳිමින් හැදී වැඩෙන තරුණ පුතෙක් ගැන හිතන්න. තාත්තා එයාට ගොඩක් ආදරෙයි. හරි තීරණ ගන්නත් එයාට කියලා දෙනවා. ඒත් එයා අකීකරු වෙලා බලෙන්ම ගෙදරින් යනවා. නරක වැඩ කරලා කරදරේ වැටෙනවා. පුතාට යන්න දෙන්නේ නැතුව නවත්වගත්තා නම් එහෙම දෙයක් වෙන්නේ නැහැනේ කියලා ඔයා ඒ තාත්තාට දොස් කියනවාද? නැහැ නේද? (ලූක් 15:11-13) ඒ තාත්තා වගේ දෙවියනුත් මිනිසුන් හිතාමතාම ඔහුව අත්හැරලා නරක වැඩ කරන්න පටන්ගත්තාම එයාලව නැවැත්තුවේ නැහැ. එහෙනම් නරක දේවල් වෙද්දී දෙවියන්ට දොස් කියන එක සාධාරණද?
9 දුක් කරදරවලට හේතුව දෙවියන් නෙවෙයි කියලා ඒකෙන් පැහැදිලියි. දෙවියන් ඔයාට ආදරෙයි. හැම විපතක්ම නවත්වන්න පුළුවන් ඔහුට විතරයි. (යෙසායා 33:2) ඒත් දෙවියන් තාමත් මේ විපත්ති නවත්වලා නැත්තේ ඇයි? ඒකට හොඳ හේතුවක් තියෙනවා. (ඒ ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා මේ පොතේ 11වෙනි පරිච්ඡේදයෙන් දැනගන්න පුළුවන්.)
10. ලෝකේ සිද්ධ වෙන හැම නරක දෙයක්ම දෙවියන් නැති කරනවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන් ඇයි?
10 කොයි තරම් හොඳ අය අතින් වුණත් නරක දේවල් වෙනවා. හොඳම, අවංකම පාලකයෙක්ට වුණත් මිනිසුන් කරන හැම නරක දෙයක්ම නතර කරන්න බැහැ. ඒත් දෙවියන් ඊට වඩා වෙනස්. ඔහු ශුද්ධ කෙනෙක්. (යෙසායා 6:3) ඔහුගේ සිතුම් පැතුම්, චේතනා පවිත්‍රයි. ඔහු අතින් කවදාවත් නරක දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔහුගේ බලයට සීමාවක් නැහැ. ඒ නිසා හැම නරක දෙයක්ම නවත්වන්න ඔහුට පුළුවන්. ඔහු ළඟදීම හැම කරදරයක්ම නැති කරනවා.—ගීතාවලිය 37:9-11 කියවන්න.
මිනිසුන්ගේ දුක දැක්කාම දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?
11. ඔයා දුක් විඳිද්දී දෙවියන්ට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?
11 ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන, ඔයා විඳින වේදනාවන් ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද? බයිබලයේ කියන්නේ දෙවියන් ‘යුක්තියට ප්‍රිය කෙනෙක්’ කියලයි. (ගීතාවලිය 37:28) හරි වැරැද්ද ගැන දෙවියන් ගොඩක් හිතනවා. අසාධාරණ විදිහට මිනිසුන් දුක් විඳිනවාට ඔහු කැමති නැහැ. අතීතයේ පොළොව නපුරුකම්වලින් පිරිලා තියෙනවා දැක්කාම “දෙවිගේ සිතට මහත් වේදනාවක් දැනුණා” කියලා බයිබලයේ කියනවා. (උත්පත්ති 6:5, 6) දෙවියන් වෙනස් වෙලා නැහැ. (මලාකි 3:6) ඔහු ඔයා ගැන හුඟක් සැලකිලිමත්.—1 පේතෘස් 5:7 කියවන්න.
මුළු විශ්වයේම නිර්මාතෘ යෙහෝවා දෙවියන් කියලා බයිබලයේ තියෙනවා
12, 13. (අ) මිනිසුන් දුක් විඳිනවා දැක්කාම අපිට දැනෙන්නේ කොහොමද? අපිට අනිත් අය ගැන ආදරයක් ඇති වෙන්නේ ඇයි? (ආ) හැම දුකක්ම, අයුක්තියක්ම දෙවියන් නැති කරනවා කියලා කියන්න පුළුවන් ඇයි?
12 කවුරු හරි දුක් විඳිනවා දැක්කාම ඔයාටත් ලොකු දුකක් දැනෙනවා නේද? ඇයි එහෙම දැනෙන්නේ? ඒ ඔයා අයුක්තියක් වෙනවාට කැමති නැති නිසා. ඒ වගේම දුක් විඳින කෙනා ගැන ඔයාගේ හිතේ ආදරයක් තියෙන නිසා.
13 අපිට ඒ වගේ ගතිලක්ෂණ ලැබුණේ කොහොමද? බයිබලයේ කියන්නේ දෙවියන් අපිව හැදුවේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුව කියලයි. (උත්පත්ති 1:26) උදාහරණෙකට බයිබලයේ කියනවා “දෙවි ප්‍රේමයයි” කියලා. (1 යොහන් 4:8) දෙවියන් හැම දේම කරන්නේ ආදරෙන් පෙලඹිලා. ඔහු අපිව නිර්මාණය කරලා තියෙන්නෙත් ආදරේ පෙන්වන්න පුළුවන් විදිහට. මිනිසුන් දුක් විඳින එක ගැන ඔයාට දුකක් දැනෙනවා නම් දෙවියන්ට ඊටත් වඩා දුකක් දැනෙන්නේ නැද්ද? ඒවා නවත්වන්න ඔයාට බලය තිබුණා නම් ඔයා ඒවා නවත්වන්නේ නැද්ද? දෙවියන්ට ඒ දේ කරන්න බලය තියෙන නිසාත් ඔහු අපිට ආදරේ නිසාත් ඔහු අනිවාර්යයෙන්ම ඒවා නවත්වනවා. මේ පොතේ මුල් පිටුවල තියෙන හැම පොරොන්දුවක්ම විශ්වාස කරන්න අපිට හොඳ හේතු තියෙනවා. ඒත් ඔයාට ඒ ගැන විශ්වාසයක් ඇති වෙන්න නම් ඔයා දෙවියන්ව හොඳින් හඳුනාගන්න ඕනේ.
ඔයා දෙවියන් ගැන දැනගන්නවාට දෙවියන් කැමතියි
ඔයාට කාව හරි හඳුනාගන්න ඕනෙ නම් ඔයා එයාට ඔයාගේ නම කියනවා නේද? දෙවියනුත් ඔහුගේ නම අපිට බයිබලයෙන් දැනුම් දීලා තියෙනවා
14. දෙවියන්ගේ නම මොකක්ද? අපි ඒ නම පාවිච්චි කරනවාට දෙවියන් කැමතියි කියලා අපි දන්නේ කොහොමද?
14 ඔයාට කාව හරි හඳුනාගන්න ඕනෙ නම් ඔයා එයාට ඔයාගේ නම කියනවා. දෙවියන්ටත් නමක් තියෙනවාද? හුඟක් ආගම්වල කියන්නේ දෙවියන්ගේ නම ‘දෙවියන් වහන්සේ’ නැත්නම් ‘ස්වාමීන් වහන්සේ’ කියලා. ඒත් ඒවා “රජතුමා,” “ජනාධිපතිතුමා” වගේ පදවි නම් විතරයි. දෙවියන්ගේ නම යෙහෝවා කියලා ඔහුම කියලා තියෙනවා. බලන්න ගීතාවලිය 83:18 කියන දේ. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.” බයිබලයේ පොත් ලියපු අය දෙවියන්ගේ නම 7,000 වාරයකටත් වඩා සඳහන් කළා. ඔයා ඒ නම දැනගෙන ඒක පාවිච්චි කරනවාට දෙවියන් කැමතියි කියලා ඒකෙන් පැහැදිලියි. දෙවියන් ඔහුගේ නම දැනුම් දීලා තියෙන නිසා ඔයාටත් පුළුවන් ඔහුගේ හොඳ යාළුවෙක් වෙන්න.
15. යෙහෝවා කියන නමේ තේරුම මොකක්ද?
15 යෙහෝවා කියන නමේ තේරුම ඔහු දෙන ඕනම පොරොන්දුවක්, අරමුණු කරන ඕනම දෙයක් ඉටු කරන්න ඔහුට පුළුවන් කියන එකයි. කිසිම කෙනෙකුටවත් කිසිම දේකටවත් ඒ දේ නතර කරන්න බැහැ. ඒ නම ගැළපෙන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි.a
16, 17. මේ යෙදුම් යෙහෝවා දෙවියන්ට විතරක් ගැළපෙන්නේ ඇයි? (අ) “සියලු බලැති තැනැත්තා,” (ආ) “සදාකාල රජ්ජුරුවන්,” (ඇ) “නිර්මාතෘ.”
16 ගීතාවලිය 83:18 කියන්නේ යෙහෝවා දෙවියන් ‘පමණක් මහෝත්තම දෙවියන්’ කියලා. ඔහුට විතරක් ගැළපෙන තවත් පදවි නම් බයිබලයේ තියෙනවා. එළිදරව් 15:3 කියන්නේ මෙහෙමයි. “සියලු බලැති තැනැත්තා වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද! සදාකාල රජ්ජුරුවනි, ඔබ කරන සෑම දෙයක්ම ධර්මිෂ්ඨය, විශ්වාසවන්තය.” යෙහෝවා දෙවියන්ව “සියලු බලැති තැනැත්තා” කියලා හඳුන්වන්නේ ඔහු විශ්වයේ ඉන්න බලවත්ම කෙනා නිසයි. “සදාකාල රජ්ජුරුවන්” විදිහට හඳුන්වන්නේ ඔහු හැමදාටම ඉන්න නිසයි. ගීතාවලිය 90:2 කියන්නේ ඔහුට පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැහැ කියලයි.
17 එළිදරව් 4:11 මෙහෙම කියනවා. “අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය. ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත් ඔබේ කැමැත්ත නිසාය.” ස්වර්ගයේ ඉන්න දේවදූතයන්, ඉර, හඳ, ග්‍රහලෝක, තරු වගේම පොළොවේ තියෙන හැම දෙයක්ම නිර්මාණය කළේ යෙහෝවා දෙවියන්. ඒ නිසා නිර්මාතෘ කියලා කියන්න පුළුවන් ඔහුට විතරයි.
යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාටත් පුළුවන්ද?
18. දෙවියන්ගේ යාළුවෙක් වෙන්න බැහැ කියලා හුඟක් අය හිතන්නේ ඇයි? ඒත් බයිබලයේ ඒ ගැන කියන්නේ මොනවාද?
18 ‘එච්චර බලවත් දෙවි කෙනෙක් මං වගේ කෙනෙක් ගැන හිතයිද’ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් එහෙම හිතනවාට දෙවියන් කැමති නැහැ. යෙහෝවා දෙවියන්ට ඕනෙ අපිට කිට්ටු වෙන්න. ‘ඔහු අපෙන් දුරස්ව සිටින කෙනෙක් නෙවෙයි’ කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි. (ක්‍රියා 17:27) ඔයා යෙහෝවා දෙවියන්ට ළං වුණොත් ‘ඔහුත් ඔයාට ළං වෙනවා’ කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා.—යාකොබ් 4:8.
19. (අ) දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? (ආ) ඔයා වැඩියෙන්ම ආස දෙවියන්ගේ මොන ගතිලක්ෂණයටද?
19 දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? යේසුස් මෙහෙම කිව්වා. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.” (යොහන් 17:3) දෙවියන් ගැනත් යේසුස් ගැනත් දිගටම ඉගෙනගත්තොත් ඒ දෙන්නාව හොඳින් හඳුනාගන්න පුළුවන්. සදාකාලෙටම ජීවත් වෙන්නත් පුළුවන්. දෙවියන් ගැන ඔයාට මොන වගේ දේවල් ඉගෙනගන්න පුළුවන්ද? “දෙවි ප්‍රේමයයි” කියලා අපි ඉගෙනගත්තා. (1 යොහන් 4:16) දෙවියන්ට ඒ වගේ ගතිලක්ෂණ ගොඩක් තියෙනවා. බයිබලයේ කියන්නේ යෙහෝවා දෙවියන් ‘දයාන්විත, කරුණාවන්ත, කෝප වීමට ඉක්මන් නොවන, ඉමහත් ප්‍රේමයක් පෙන්වන’ කෙනෙක් කියලයි. (නික්මයාම 34:6) ඒ වගේම ඔහු “සමාව දීමට කැමති, යහපත්” කෙනෙක්. (ගීතාවලිය 86:5) ඔහු ගොඩක් ඉවසනවා, විශ්වාසවන්තයි. (2 පේතෘස් 3:9; එළිදරව් 15:4) දෙවියන්ගේ තවත් ගතිලක්ෂණ ඔයාට බයිබලයෙන් ඉගෙනගන්න පුළුවන්.
20-22. (අ) පේන්නේ නැති දෙවි කෙනෙක්ව යාළුවෙක් කරගන්න පුළුවන් කොහොමද? (ආ) ඔයා බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්නවාට සමහරු අකමැති වුණොත් ඔයා මොනවාද කරන්නේ?
20 පේන්නේ නැති දෙවි කෙනෙක්ව යාළුවෙක් කරගන්නේ කොහොමද? (යොහන් 1:18; 4:24; 1 තිමෝති 1:17) ඔයා යෙහෝවා දෙවියන් ගැන බයිබලයෙන් ඉගෙනගද්දී ඔහු ඇත්තටම ඉන්න කෙනෙක් කියලා ඔයා තේරුම්ගනියි. (ගීතාවලිය 27:4; රෝම 1:20) ඔයාට දෙවියන් ගැන ලොකු ආදරයක් ඇති වෙයි. ඔහු ඔයා ළඟින්ම ඉන්න යාළුවෙක් කියලා දැනෙයි.
ඕනම තාත්තා කෙනෙකුට වඩා වැඩියෙන් යෙහෝවා දෙවියන් අපිට ආදරෙයි
21 යෙහෝවා දෙවියන් අපි හැමෝගෙම තාත්තා කියලත් ඔයාට තේරෙයි. (මතෙව් 6:9) ඔහු අපිට ජීවිතය දුන්නා විතරක් නෙවෙයි, දරුවන්ට ආදරේ කරන තාත්තා කෙනෙක් වගේ අපිට හොඳම දේ දෙන්නයි ඔහුට ඕනේ. (ගීතාවලිය 36:9) ඔයාට පුළුවන් යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න. (යාකොබ් 2:23) හිතන්න, විශ්වයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට ලැබිලා තියෙන අවස්ථාව මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද කියලා.
22 ඔයා බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්නවාට සමහරු කැමති වෙන එකක් නැහැ. සමහරවිට ඔයා ආගම වෙනස් කරයිද කියලා එයාලට බයක් දැනෙනවා ඇති. ඒත් ඔයා යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න එක නැවැත්තුවොත් ඔහුගේ යාළුවෙක් වෙන්න ඔයාට බැරි වෙයි. ඒකට ඉඩ දෙන්න එපා. මොකද, ඔයාට ඉන්න පුළුවන් හොඳම යාළුවා ඔහුයි.
23, 24. (අ) ප්‍රශ්න අහන එක වැදගත් ඇයි? (ආ) අපි ඊළඟ පරිච්ඡේදයෙන් බලන්නේ මොනවා ගැනද?
23 බයිබලය ඉගෙනගද්දී සමහර දේවල් ඔයාට තේරෙන එකක් නැහැ. එතකොට මොකද කරන්නේ? පුංචි ළමයි ප්‍රශ්න අහන විදිහ ඔයා දැකලා ඇතිනේ. යේසුස් කිව්වේ පුංචි ළමයි වගේ නිහතමානී වෙන්න කියලා. (මතෙව් 18:2-4) ඒ නිසා ප්‍රශ්න අහන්න ලැජ්ජ වෙන්න එපා. ඔයා බයිබලයේ තියෙන දේවල් ඉගෙනගද්දී ඒකට හොඳ අවධානයක් දෙන්න. ඒ තොරතුරු ඇත්තද කියලා තේරුම්ගන්න ඒක ඔයාට උදව් වෙයි.—ක්‍රියා 17:11 කියවන්න.
24 යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගන්න පුළුවන් හොඳම විදිහ බයිබලයේ තියෙන තොරතුරු ඉගෙනගන්න එකයි. බයිබලය අනිත් හැම පොතකටම වඩා වෙනස් වෙන්නේ කොහොමද කියලා ඊළඟ පරිච්ඡේදයෙන් දැනගමු.
a යෙහෝවා කියන නමේ තේරුම ගැන තවත් විස්තර දැනගන්න මේ පොතේ 1වෙනි අමතර සටහන බලන්න.