ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 98 පරි. 228 පි.-229 පි. 5 ¶
  • නියෝජිතයන් උසස් තනතුරු ඉල්ලයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නියෝජිතයන් උසස් තනතුරු ඉල්ලයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ මරණය ළං වෙත්ම ගෝලයන් අතර වාදයක්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ‘යේසුස් අවසානය දක්වා ඔවුන්ට ප්‍රේම කළා’
    “මගේ අනුගාමිකයෙක් වෙන්න”
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමුගැනීමට පෙර ප්‍රේරිතයන්ව සූදානම් කිරීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 98 පරි. 228 පි.-229 පි. 5 ¶
සලෝමි යේසුස් ළඟට ඇවිත් තම පුතුන් වෙනුවෙන් ඉල්ලීමක් කරනවා

98වෙනි පරිච්ඡේදය

නියෝජිතයන් උසස් තනතුරු ඉල්ලයි

මතෙව් 20:17-28 මාක් 10:32-45 ලූක් 18:31-34

  • යේසුස් තමන්ගේ මරණය ගැන නැවතත් කියයි

  • උසස් තනතුරුවලට ආශාවෙන් ඉන්න නියෝජිතයන්ට උපදෙස් දෙයි

පෙරයාවේ ඉඳන් යෙරුසලමට යන යේසුස් සහ ගෝලයන් යෙරිකෝවට කිට්ටුවෙන් යොර්දාන් ගඟ හරහා යනවා. ක්‍රි.ව. 33 පාස්කු උත්සවයට යන ලොකු සෙනඟකුත් ඔවුන් එක්ක ඉන්නවා.

යේසුස් ගෝලයන්ට ඉදිරියෙන් ගමන් කරන්නේ පාස්කු උත්සවය පවත්වන වෙලාවට යෙරුසලමේ ඉන්න ඔහුට ලොකු උවමනාවක් තියෙන නිසයි. හැබැයි ගෝලයන් නම් ඉන්නේ බයෙන්. මොකද යෙරුසලමට යන එකේ ලොකු අනතුරක් තියෙනවා කියලා ඔවුන් දන්නවා. ලාසරුස් මැරුණාට පස්සේ යේසුස් පෙරයාවේ ඉඳන් යුදයට යන්න හැදුවාම “මැරෙන්න සිදු වුණත් අපි ඔහු සමඟ යමු” කියලා තෝමස් කියපු දෙයින් ඒක පැහැදිලි වෙනවා.—යොහන් 11:16, 47-53.

යෙරුසලමට ගියාම සිද්ධ වෙන්න නියමිත දේවල් ගැන ගෝලයන්ව දැනුවත් කරන්න යේසුස් දැන් ඔවුන්ට මෙහෙම කියනවා. “අපි දැන් යන්නේ යෙරුසලමටයි. එහිදී මනුෂ්‍ය පුත්‍රයාව නායක පූජකයන් හා නීතිය පිටපත් කරන්නන් අතට භාර දෙනු ලබයි. එවිට ඔවුන් ඔහුව මරණයට නියම කරයි. ඉන්පසු ඔවුන් ඔහුව වෙනත් ජාතීන් අතට භාර දෙයි. ඒ ජාතීන් ඔහුට කවටකම් කර කසයෙන් තළා, කණුවක ඇණ ගසා මරා දමයි. නමුත් තුන්වෙනිදා ඔහුව නැඟිටුවනු ලබයි.”—මතෙව් 20:18, 19.

මීට කලිනුත් දෙවතාවක්ම යේසුස් තමන්ගේ මරණය ගැන ඔවුන්ට කියලයි තියෙන්නේ. (මතෙව් 16:21; 17:22, 23) මේ වතාවේ ඔහු පැහැදිලිවම කියනවා තමන්ව වධ කණුවක ඇණ ගහනවා කියලා. යේසුස් කියන දේවල් ගෝලයන් අහගෙන හිටියත් ඔවුන් ඒ දේවල් තේරුම්ගන්නේ නැහැ. සමහරවිට යේසුස් ඊශ්‍රායෙල් දේශයේ රාජ්‍යයක් පිහිටුවලා ඒකේ උසස් තනතුරු තමන්ට ලබා දෙයි කියලා ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්න ඇති.

යාකොබ් සහ යොහන්

යාකොබ් සහ යොහන් කියන නියෝජිතයන් දෙන්නාගේ අම්මාත් යෙරුසලමට යන සෙනඟ අතරේ ඉන්නවා. යේසුස් “ගර්ජනාවේ පුත්‍රයන්” කියන අර්ථය තියෙන නම ඒ දෙන්නාට දැම්මේ ඔවුන්ට ඉක්මනින්ම කේන්ති යන නිසයි. (මාක් 3:17; ලූක් 9:54) ක්‍රිස්තුස් රාජ්‍යය පිහිටෙව්වාම ඒකේ උසස් තනතුරක් දරන්න කාලයක් තිස්සේ මේ දෙන්නා ඉන්නේ ලොකු ආශාවකින්. දැන් ඔවුන්ගේ අම්මා යේසුස් ළඟට ඇවිත් දණින් වැටෙනවා. “ඔබට මොනවාද ඕනේ” කියලා යේසුස් ඇහුවාම ඇය කියන්නේ මෙහෙමයි. “ඔබේ රාජ්‍යයේදී මගේ මේ පුතුන් දෙදෙනාගෙන් එක් කෙනෙකුට ඔබේ දකුණු පැත්තේද අනික් පුතාට ඔබේ වම් පැත්තේද ඉඳගැනීමට අවසර දෙන්න.”—මතෙව් 20:20, 21.

යේසුස්ගෙන් ඒ දේ ඉල්ලන්න කියලා ඇයට කියන්න ඇත්තේ යාකොබ් සහ යොහන් කියලා නම් සැකයක් නැහැ. ඒත් යේසුස් දැන් මෙහෙම අහනවා. “ඔබ දෙදෙනා ඉල්ලන්නේ කුමක්ද කියා ඔබ දන්නේ නැහැ. මට බොන්න සිදු වන දේ බොන්න ඔබට පුළුවන්ද?” ඉක්මනින්ම ඊට පිළිතුරු දෙන ඔවුන් කියන්නේ “අපට පුළුවන්” කියලයි. (මතෙව් 20:22) පෙනෙන විදිහට යේසුස් කියන දේ ඔවුන් තේරුම් අරන් නැහැ.

ඒත් යේසුස් මෙහෙම කියනවා. “ඔබට අනිවාර්යයෙන්ම මගේ කුසලානයෙන් බොන්න සිදු වෙයි. නමුත් මගේ දකුණු පැත්තේද මගේ වම් පැත්තේද ඉඳගන්න ලැබීමේ වරප්‍රසාදය ලබා දෙන්නේ කාටද කියා තීරණය කරන්න මට අයිතියක් නැහැ. එය හිමි වන්නේ මගේ පියාණන් ඒ සඳහා සූදානම් කර තිබෙන අයටයි.”—මතෙව් 20:23.

යාකොබ් සහ යොහන් යේසුස්ගෙන් ඉල්ලලා තියෙන දේ ගැන අනිත් නියෝජිතයන්ට දැනගන්න ලැබුණාම ඔවුන්ට කේන්ති යනවා. කලින් වතාවකදී තමන් අතරින් උතුම් කවුද කියලා නියෝජිතයන් අතරේ ඇති වුණු වාදයේදී යාකොබ් සහ යොහන් තමන්ට හැඟෙන දේ කෙළින්ම කියන්න ඇති. (ලූක් 9:46-48) කොහොමවුණත් ඒ දෙන්නා යේසුස්ගෙන් කරපු ඉල්ලීමෙන් පැහැදිලි වෙනවා තමන්ට වඩා අනිත් අය උසස් කියලා හිතන්න කියන යේසුස් දීපු උපදෙස නියෝජිතයන් 12දෙනා තවමත් අදාළ කරගෙන නැහැ කියලා. උසස් තනතුරු ලබන්න ඔවුන්ට තවමත් ආශාවක් තියෙනවා.

ඒ ආශාව නිසා නියෝජිතයන් 12දෙනා අතරේ අමනාපයක් ඇති වෙලා තියෙනවා කියලා තේරුම්ගන්නා යේසුස් ඔවුන්ට කතා කරලා මෙහෙම කියනවා. “විවිධ ජාතීන්ව පාලනය කරන අය තම තනතුරුවල වැජඹෙමින් සිටින බවත් බලධාරීන් තමන් යටතේ සිටින්නන් කෙරෙහි දැඩි ලෙස තම අණසක පතුරුවන බවත් ඔබ දන්නවා. නමුත් ඔබ අතරේ එවැනි දෙයක් සිදු නොවිය යුතුයි. ඔබ අතරෙහි උතුම් වන්න ඕනෑ කරන යමෙක් සිටිනවා නම් ඔහු ඔබේ සේවකයා විය යුතුයි. ඔබ අතරෙහි ප්‍රථමයා වන්න ඕනෑ කරන යමෙක් සිටිනවා නම් ඔහු අන් සියලුදෙනාගේ දාසයා විය යුතුයි.”—මාක් 10:42-44.

තමන්ගේ ආදර්ශය අනුගමනය කරන්න ඔවුන්ට දිරිගන්වන යේසුස් දැන් මෙහෙම කියනවා. “මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොවෙයි. ඔහු පැමිණියේ සේවය කරන්න හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.” (මතෙව් 20:28) ඇත්තෙන්ම යේසුස් මේ වෙද්දී අවුරුදු තුනක් විතර අනිත් අය වෙනුවෙන් සේවය කරලයි තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි තව ටික දවසකින් ඔහු මුළු මිනිස් වර්ගයා වෙනුවෙන්ම තම ජීවිතය පූජා කරනවා. ඔව්, ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් සේවය ලබනවා වෙනුවට සේවය කරන්නත් උසස් තනතුරු ගැන හිතනවා වෙනුවට තමන්ට වඩා අනිත් අය උසස් කියලා හිතන්නත් ඉගෙනගන්න ඕනේ.

  • මුහුණ දෙන්න තියෙන දේවලට යේසුස් ගෝලයන්ව සූදානම් කළේ කොහොමද?

  • නියෝජිතයන් දෙන්නෙක් යේසුස්ගෙන් ඉල්ලුවේ මොනවාද? ඒ ගැන අනිත් නියෝජිතයන්ට හැඟුණේ කොහොමද?

  • නියෝජිතයන් තනතුරු ගැන හිතනවා කියලා දැනගත්තාම යේසුස් කළේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න